මේ දවස්වල සමාජයේ කතාබහට ලක් වෙන මනුස්සයෙකුගේ තරමක් අමුතු කතා බහක් ඇතුළත් වීඩියෝවක් මේ දවස්වල අන්තර්ජාලයේ සැරිසරනවා. අනුරාධපුරේ ශ්‍රී මහ බෝධි විහාරයේ අටමස්ථානාධිපති නායක හාමුදුරුවෝ ඉස්සරහ මේ මනුස්සයා “හාමුදුරුවනේ මං කාලි, ඔබ වහන්සේ ගේ අම්මා” කියලා ආවේගාත්මකව කෑගහන දර්ශනයක් තමයි ඒ වීඩියෝවේ තියෙන්නේ. මේ දර්ශනය රූපවාහිනී චැනල් දෙක තුනක ප්‍රවෘත්තිවලටත් ප්‍රචාරය වෙලා තියනවා. ඒ හින්දා ඒක දැකපු බොහෝ දෙනෙක් අපෙන් ඒ හැසිරීම මුල් කරගෙන එක එක ප්‍රශ්න අහනවා. ඒ අතරින් වැඩිම දෙනෙක් අහන්නේ ඒ මනුස්සයට මොකක් හරි බරපතළ මානසික ප්‍රශ්නයක් තියනවද කියලා. නමුත්, එහෙම වීඩියෝ හරි සැබෑ හරි දර්ශනයකින් කාගෙ හරි හැසිරීමක් බලලා ඒ මනුස්සයගේ මානසික සෞඛ්‍යය ගැන නිගමනයකට එන්න කිසිම මනෝ වෛද්‍යවරයෙකුට බැහැ. ඒකට සායනික පරීක්ෂණයක් කරන්නම වෙනවා. එහෙම නැත්නම් ඒක විද්‍යා විරෝධී වගේම ආචාර ධර්ම විරෝධී වැඩක් හැටියටයි සැලකෙන්නේ. කොහොම නමුත් කවුරු හරි කෙනෙක් තමන් වෙනුවට වෙන කෙනෙක් හැටියට ඉදිරිපත් වීම ගැන නම් මනෝ වෛද්‍ය විද්‍යාත්මක අදහසක් ඉදිරිපත් කරන්න මට පුළුවන්.
‘සාත්වික අභිනය’
මිනිස් සමාජයේ නොයෙක් පුද්ගලයන් නොයෙකුත් හේතු මත තමන්ගේ පුද්ගල භාවය වෙනස් කර ගන්නවා. බොහෝ වෙලාවට එක එක අපරාධ සම්බන්ධයෙන් නීතියට කොටු වෙන්න නියමිත අය ඉතාම සූක්ෂම, සැලසුම් සහගත විදිහට තමන්ගේ කතාබහ, අංග චලන, ඉරියව්, ගමන-බිමන වගේම මූණේ සියුම් ඉරියව් [Facial expressions] පවා වෙනස් කර ගන්නවා. මේකට කියන්නේ ‘සාත්වික අභිනය’ කියලා. සමහර අය එක එක වරප්‍රසාද, වාසි, ලාබ ප්‍රයෝජන හිමි කර ගන්නත් මෙහෙම පුද්ගලත්වය මාරු කර ගන්න පුළුවන්. මට මතකයි මහත්මා ගාන්ධි චරිතය ඇසුරින් නිපදවුණු “ගාන්ධි” චිත්‍රපටියේ මහත්මා ගාන්ධි චරිතය රඟපාපු බෙන් කිංස්ලි කියන ලෝක ප්‍රකට රංගන ශිල්පියා එක සඟරාවකට කියලා තිබුණා; තමන් මහත්මා ගාන්ධි චරිතය වෙනුවෙන් මොන තරම් කැප වීමක් කළා ද කිව්වොත් රූපගත කිරීම්වලින් පස්සේ ඒ චරිතයෙන් ඉවත් වෙන්නත් සෑහෙන්න අමාරු වුණා කියලා. සැලසුම් සහගතව උපක්‍රමශීලී විදිහට කරන මේ පුද්ගලත්වය මාරු කර ගැනීමට කියන්නේ සමාරෝපනය[ Impersonation] කියලා.
‘විඝටන අනන්‍යතා ආබාධය’
ඔය අතරේ අවත් සමහරු තමන්ගේ ජීවිතවල දී මූණ දෙන මානසික අවපීඩන, ආතති තත්වයන් දරා ගන්න බැරුව තමන්ගේ සැබෑ පුද්ගලත්වයෙන් අයින් වෙලා වෙනත් පුද්ගලයන් හැටියට ජීවත් වෙන අවස්ථාත් ඉතාම කලාතුරකින් සිදු වෙන්න පුළුවන්. නමුත් මේ තත්වයට ඒ අයගේ පෞරුෂ ස්වභාවයන්, ඒ අය මූණ දෙන ගැටළු, ඒවායින් ඇති වෙන මානසික පීඩනය වගේම ඒ අයගේ මොළයේ ජෛව රසායනික ක්‍රියාකාරීත්වය වගේ තවත් හේතු කාරණා බලපාන්න පුළුවන්. ‘විඝටන අනන්‍යතා ආබාධය’ එහෙම නැතිනම් බහු විධ පෞරුෂ ආබාධය [Dissocative identity disorder or Multiple personality disorder ] කියන නම්වලින් හඳුන්වන මේ ගණයේ රෝගීන් මේ තත්වයට පත් වෙන්නේ තමනුත් නොදැනුවත්වමයි. උදාහරණයක් ගත්තොත් කලින් “ජෝන්” කියලා හැඳින්වුණු කෙනෙක් මේ රෝග තත්වය යටතේ “ජෝර්ජ්” විදිහට තමන්ගේ පුද්ගලත්වය මාරු කර ගත්තොත් ඒ මනුස්සයා හිතන්නෙත් තමන් ඇත්තටම ජෝර්ජ් කියලම තමයි. නමුත් මේ කියන ජාතියේ රෝගීන් අපේ රටෙන් නම් වාර්තා වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ගැන අමුතුවෙන් හිතන්න ගිහින් “නැති ලෙඩ දා ගන්න එපා” කියලත් කියන්නම වෙනවා. හැබැයි ඔය කියන රෝග තත්වය අපේ රටට ආගන්තුක වුණාට මොකද? යුරෝපයට, ඇමරිකාවට එච්චර අරුමයක් නෙවෙයි. ඒ වගේම ඉතින් ඔය රෝගය අපේ රටට නුහුරු නුපුරුදු වෙන්න හේතුවත් හොයලා බලන්න එපායැ. මම නම් හිතන්නේ අපේ රටේ කාලාන්තරයක් තිස්සේ ගමින් ගමට පැතිරිලා තිබුණු, ඒ වගේම අදටත් සමාජයේ හුඟ දෙනෙක් දන්න කියන, ඒ වගේම අදත් සමහරු අද්භූත බලයක්, හාස්කමක් විදිහට ඉස් මුදුනින්ම පිළිගන්න ආරූඪයයි, ආවේශයයි මඟිනුත් පුද්ගලත්වයේ වෙනසක් කෙරෙන හින්දා සමහරු මම මුලින් කියපු රෝග තත්වයට පත් වීමෙන් වැළකෙනවා ඇති; හරියට ගඟක් හරහා පාලමක් වැටිලා තියනවා නම් ඒ ගඟ හරහා යන්න ඔරු පාරු ඕනෙ නෑ වගේ.
මොකක්ද මේ ආවේශයයි, ආරූඪයයි..
දැන් අපි බලමු මොකක්ද මේ ආවේශයයි, ආරූඪයයි කියන්නේ කියලා. සරලව කිව්වොත් ‘ආවේශය’ කියන්නේ යමකුගේ මනැස ප්‍රකෘතියෙන් බැහැරට ගිහින් වෙනත් රේඛීය ස්ථාවරයක රැඳී තියන එකට. මේකට කියන්නේ Trance කියලා. ‘ආරූඪය’ කියන්නේ ඒ ස්ථාවරය තුළින්ම වෙන මානසික මුහුණුවරක්, ස්වරූපයක්, පෞරුෂයක් මතු වෙන එකට . ඒකට කියන්නේ Possession කියලා. නමුත්, අපේ රටට, සමාජයට මම අර කලින් කියපු ‘විඝටන අනන්‍යතා ආබාධය’ නුහුරු තරමටම යුරෝපයට, ඇමරිකාවට අපිට හොඳට හුරු පුරුදු ආවේශයයි ආරූඪයයි නුහුරු බවත් ඔබ දන්නවාද? කොටින්ම බැරිවෙලාවත් එංගලන්තයේ සුද්දෙක් ආවේශයකට හරි ආරූඪයකට හරි පත් වුණොත් එහේ මනෝ වෛද්‍යවරුන්ට ඒක මුල් කරගෙන රෝග විනිශ්චයකට එළඹෙන්නත් අසීරු වෙන්න පුළුවන්. මේ ආවේශයයි, ආරූඩයයි මඟින් මිනිසුන්ගේ කතාබහ හැසිරීම් මුළුමනින්ම වෙනස් වෙනවා. ඒ හින්දා ඉස්සර මිනිස්සු හිතුවේ මේකට හේතුව මනුෂ්‍ය ශරීරවලට පිටතින් එන අද්භූත බලවේග ඇතුල්වීමක් කියලා. පරණ ආගමික විශ්වාසවලිනුත් කියවුණේ මේ අදහසම තමයි. නමුත් මිනිස්සුන්ගේ බුද්ධිය දියුණු වීම, විද්‍යාත්මක චින්තනය පැතිරීම වගේ කරුණු මුල් කරගෙන මේ ආවේශයයි, ආරූඩයයි කියන්නේ මුළුමනින්ම මනෝ මූලික දෙයක් කියන එක අද වෙන කොට සියයට සීයක්ම තහවුරු තියනවා. ඒත්, අදටත් අපේ රටේ නම් වැඩිම දෙනෙක් හිතන්නේ මේ ආවේශයයි, ආරූඩයයි කියන්නේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ ශරීරවලට දෙවිවරු, යක්ෂයෝ, භූතයෝ, මළ පෙරේතයෝ ඇතුළු වීම කියලා. ඒ වගේ අන්ධ විශ්වාස හිත්වල පුරවා ගත්තු ‘මායාකාරී පෞරුෂ’ [Histrionic personality disorder] වගේ දුබල පෞරුෂයන් තියන අය තමයි ඔය දෙවිවරු විදිහට බහුබූත දොඩවන්නේ. නමුත් මේවා මේ විදිහට විස්තර කිරීම අපේ දේශීයත්වයට පහර ගැසීමක් විදිහට දකින “සෙට් එකකුත්” ඉන්නවා. ඒත් මේ රටේ කෙනෙක් විදිහට අපේ දේශීයත්වය ඒ තරම් සවුත්තු කරන්න මම නම් කොහෙත්ම කැමති නැහැ.
මානසික රෝගීන්ගෙන් සාත්තර ඇසීම…
එක එක පෞරුෂ දුබලතා තියන අය මේ විදිහට තමන්ගේ නියම පෞරුෂයෙන් අයින් වෙලා ආවේශවීම්, ආරූඩ වීම් විදිහට ද්විතීයික පෞරුෂ මතු කර ගන්නේ තමන් ජීවිතයේ මූණ දෙන ගැටළු අර්බුදවලින් මතු වෙන “මානසික ගැටුම්”වලින් පලා යාමේ යටි හිතේ පවතින උවමනාව හින්දා බව පැහැදිලියි. ඒ කියන්නේ සමාජයෙන් කිසිම පිළිගැනීමක් නැති කෙනෙක් ඒකෙන් ඇති පීඩනය දරා ගන්න තරම් හිත ශක්තිමත් නැති කෙනෙක් ඒ කාරණය මුල් කර ගත්තු මානසික ගැටුමත් එක්ක එක සැරේම දෙවි කෙනෙක් විදිහට කතා කරන්න, හැසිරෙන්න පුළුවන්. ඒකෙන් ඒ මනුස්සයා තාවකාලිකව තමන්ගේ ඒ අසරණ, අනාරක්ෂිත බවින් අත්මිදෙනවා. ඒත්, අපේ අපේ රටේ සිද්ධ වෙන්නේ ඒ වගේ අසරණයන්ගෙන් සාත්තර අහන එක. ඒ මිනිස්සු මානසික අර්බුද මුල් කරගෙන ඇති කර ගන්න දෙවිවරුන් එක්ක කතා කිරීම් වගේ මායාකාරී අද්දැකීම් මුල් කර ගෙන නිර්මාණය වුණු වට්ටෝරු බේත් බොන එක වගේ විපරීත වැඩ. පුදුමේ කියන්නේ මේ වගේ බොළඳ වැඩවලට අපේ රටේ උගත්, බුද්ධිමත් කියලා සම්මත අයත් හරි හරියට හවුල් වෙන එකනේ. අපේ රටේ තත්වය එහෙම වුණාට මේ ආවේශ වීම් සහ ආරූඩ වීම් කියන මේ මානසික අර්බුද ඛාණ්ඩය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර රෝග වර්ගීකරණ දහ වන වෙළුමට [ICD 10] ඇතුළත් කරලා තියනවා. නමුත් මේවා එක එක කලාපීය සංස්කෘතික තත්ව යටතේ දකින්න ලැබෙන පුද්ගල සහ සමාජ ක්‍රියාකාරිත්වයන් බව නැවත නැවතත් තහවුරු වෙන හින්දා දැන් මේවා ඒ රෝග වර්ගීකරණවලත් “පිළිකන්න පැත්තට” තල්ලු වෙලා තියනවා.
වෙද්දු දෙවිවරු කියලා හිතුවට දෙවිවරු වෙද්දු කියලා නොසිතන්න..
ඒ වගේම මේ ආවේශ වීම්, ආරූඩ වීම් කියන පුද්ගල වගේම සමාජ ක්‍රියාකාරකම් අද වෙන කොට නවීනත්වයෙන් කොයි තරම් ඈතට තල්ලුවෙලා තියනවද කියනවා නම් ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමයේ මානසික ආබාධ පිළිබඳ රෝග විනිශ්චය සහ සංඛ්‍යානමය අත්පොතේ පස් වෙනි වෙළුමෙන් [DSM 05] මේ මානසික අර්බුද ඛාණ්ඩය එහෙම්පිටින්ම හලලා දාලා තියනවා. ඒ මේවා මානසික රෝග සහ අර්බුදවලට වඩා “පුහු මනස්ගාත” කියන මතයේ පිහිටලා මිසක් මේවායේ මොකක් හරි ගුප්ත බලයක් තියනවා කියලා බයවෙලා එහෙම නෙවෙයි. නමුත් මේ වැඩේ අපේ වගේ ගුප්ත, මහා බලගතු හාස්කම් තියන රටවල් වලට ඉස්මතු වෙන්න තියන ඉඩ-කඩ අහුරන ගෝලීය කුමන්ත්‍රණයක් කියන අදහස දරණ වගේම පිළිගන්න “සෙට් එකකුත්” අපේ රටේ ඉන්න බව මම නොදන්නවා එහෙම නෙවෙයි. කොහොමත් අද වෙනකොට මේ දේවාරූඩයෙන් සාත්තර කියන වගේම දේවාරූඩයෙන් විද්‍යාත්මක පරීක්ෂණ කරන වගේම දේවාරූඩයෙන් කොරෝනාවට බේත් හොයා ගන්න වැඩෙත් නැගලම යනවා. මේ කොරෝනා වසංගතේ පැතිරෙන විදිහට කෙනෙකුට දෙවියො සිහි වෙන්න පුළුවන් තමයි. ඒත් ඒකට දෙවියන්ගෙන් බේත් ඉල්ලලා හරියන්නේ නෑ. මොකද වෙද්දු දෙවිවරු කියලා හිතුවට කමක් නෑ දෙවිවරු වෙද්දු කියලා හිතන්න එපා. අනික මිනිස්සු දෙවියන්ව මැව්වා මිසක් දෙවියො මිනිස්සු මැව්වෙත් නෑනේ.
සමාරෝපනය කපටියි..
මේ කතාවට සමහර දේව භක්තිකයෝ මාත් එක්ක තරහා වෙයි. නමුත් ආගම් කියන්නේ සදාචාරාත්මක දර්ශනයක් හින්දා ඒ හැම ආගමික පුරාවෘත්තයක්ම ඒ පදනමේ ඉඳලා විමසා බලන අය නම් එහෙම කරන එකක් නැහැ. කොහොම නමුත් අපේ රටේ බස් හෝල්ට් එකක් ගානේ තියන සාත්තර පොළවල්වලින් සීයට අනූවක් විතරම කාන්තා පාර්ශවයේ අය පවත්වාගෙන යාමත් ඒවායින් සීයට අනූවක් විතරම “කාලී වරමින්” සාත්තර කියන තැන් බවත් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ, ඒ වගේම පිරිමියෙකුට වුණත් තමන්ගේ ඇඟට කාලී වැහුණා කියලා ගෑනු කෙනෙක් විදිහට කතා කරන්න, හැසිරෙන්න බැරි කමක් නෑ. හැබැයි ඒවා ආවේශ ,ආරූඩවලට වඩා අර මම මුලින්ම කියපු ‘සමාරෝපන’ ගොඩට තමයි දාන්න වෙන්නේ. මොකද ආවේශය , ආරූඩය අසරණ හා අහිංසක වුණාට ඔය සමාරෝපනය උපායශීලියි, අපේ රටේ නම් කපටියි.
මෝහාබාධය, භින්නෝන්මාදය, ක්ෂිප්තතාවය, ද්විඅග්‍ර රෝග..
ඒ වගේම ප්‍රධාන ගණයේ මානසික රෝග වැළඳුණු කෙනෙක් වුණත් තමන් දෙවි කෙනෙක් කියලා හිතාගෙන කතා කරන්න, හැසිරෙන්න පුළුවන්. ප්‍රධාන ගණයේ මානසික රෝග වල පොදු ලක්ෂණයක් හැටියට පෙන්වලා දෙන්න පුළුවන්; වැරදි විශ්වාස, ඒ කියන්නේ මෝහ [Delusion] කියන රෝග ලක්ෂණය මුල් කරගෙන තමයි මෙහෙම වෙන්නේ. මේ ලක්ෂණය විතරක් තියන රෝග මෝහාබාධ [Delusional disorders] කියලා වෙනමත් හඳුන්වනවා. ඒ අතරේ භින්නෝන්මාදය [Schizophrenia] ක්ෂිප්තතාව [Bipolar disorder] ද්විඅග්‍ර රෝගය වගේ ප්‍රධාන ගණයේ මානසික රෝග වැළඳුණු අයටත් තමන්ට දෙවියන්ගේ හඬ ඇහෙනවා, දෙවියෝ තමන්ට නියෝග දෙනවා වගේ වැරදි මානසික සංඥා ලැබිලා ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන් ‘ක්ෂිප්තතාව’ කියන මානසික රෝගයේ දී තමන් දෙවි කෙනෙක්ය කියන වැරදි මානසික සංඥාව ලැබීමත් එක්ක ඇති වෙන මානසික උද්දීපනය මඟින් තැන නොතැන නොබලා ඒ බව කියලා කෑ ගහන්න, අතපය වීසි කරන්න වගේම ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙන්න වුණත් පුළුවන්. ඒ වගේ වෙලාවක නම් කරන්න ඕනේ හොඳම වැඩේ රෝගියා මනෝ වෛද්‍යවරයෙක් ළඟට එක්ක යන එක තමයි.
විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ
ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය ආයතනයේ හිටපු සභාපති










