සති දෙකක් පුරාවට රජගල පුරාවිද්‍යා පරිශ්‍රය පිළිබඳව අප ගෙන ආ තොරතුරු ඔස්සේ ඉතිහාසයේ මෙතෙක් බොහෝ දෙනකු නොදැන සිටි බොහෝ දේ ගැන කතා කරන්න අපට හැකියාව ලැබුණා. මෙතෙක් කලක් ඉතිහාසය තුළ සඟවා තැබූ ලජ්ජතිස්ස නැමැති සුවිශේෂී පාලකයා පිළිබඳ බොහෝ දේ කතා කරන්නත් අපිට ඒ හරහා අවස්ථාව ලැබුණා. මේ වටිනා පුරාවිද්‍යා පරිශ්‍රය පුරා දින ගණනක් සිදු කළ සංචාරයේදී අප අනාවරණය කර ගත් තවත් අපූරු කරුණු කාරණා බොහොමයි. ඒ ගමනේ තවත් පියවරක් ඉදිරියට තියන්න තමයි මේ උත්සාහය. ඒ වගේම පසුගිය සතියේ රජගල සම්බන්ධයෙන් පළ වූ ලිපියේ සඳහන් වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ අපවත් වීම යන්න මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිණිවන් පෑම ලෙස නිවැරැදි විය යුතු බවත් සඳහන් කරන්න කැමැතියි.
මිහිඳු සෑය පහුකරගෙන ඉදිරියට යද්දී වම් පසින් රජගල වැව දැක ගන්න පුළුවන්. රජගල පුරාවිද්‍යා පරිශ්‍රයේ උස අඩි 1038ක් වන බව තමයි සඳහන් වෙන්නේ. එතරම් උස කඳු මුදුනක මේ වැව පිහිටා තිබීමත් විශේෂත්වයක්. ආරාමවාසී සංඝයා වහන්සේලාගේ ප්‍රයෝජනය වෙනුවෙන් ඉදි කළ වැවක් වීම හින්දා ආරාමික වැවක් ලෙස හඳුන්වන මේ වැව “කබුඩක වාපී” ලෙසින් තමයි වංශ කතාවල සඳහන් වෙන්නේ. මේ වැවත් ලජ්ජතිස්ස රජු විසින් ඉදි කරවූවක් බව මේ වෙද්දි තහවුරු වෙලා තියෙනවා.
එතැනින් ඉදිරියට ගමන් කිරීමේදී දකුණු පසින් ඡත්‍රාකාර ලෙනට පිවිසෙන්න පුළුවන්. එම ලෙනේ ස්වභාවික පිහිටීම හින්දා තමයි ඒ නම වැටිලා තියෙන්නේ. කුඩයක් ඉහලූ විට දිස්වන ආකාරයේ අපූරු පෙනුමක් ඒ ලෙනට හිමි වෙලා තියෙනවා. මේ ඡත්‍ර ලෙන සංඝයා වහන්සේ විසින් ප්‍රයෝජනයට ගත් බවට එහි කොටා ඇති කටාරම් සාක්ෂි සපයනවා. එතැනින් නැවතත් ප්‍රධාන මාර්ගයට ආවම පෙත්මඟට පිවිසෙන්න පුළුවන්.

පෙත්මඟ දිගේ ඉදිරියට යද්දී දෙපසින්ම ඉතාම වටිනා පුරාවස්තු රාශියක් දැක ගන්න පුළුවන්. දාන ශාලාව, ජන්තාඝරය (භික්ෂූන් වහන්සේ ඖෂධ ස්නානය කළ ස්ථානය), ලහබත්ගේ (දානයට පෙර භික්ෂූන් වහන්සේ හමුවූ ස්ථානය) වැනි ගොඩනැගිලි වගේම තවම හඳුනා නොගත් ගොඩනැගිලි කිහිපයකුත් ඒ අතරේ දැක ගන්න පුළුවන්. ඒ අතරේ ඇති එක් ගොඩනැගිල්ලක් ගබඩා සඳහා භාවිතා කළ එකක් බවට පුරාවිද්‍යාඥයන් සැක කරනවා. මේ ගොඩනැගිලි සියල්ලම ඉතා විශාල ප්‍රමාණයේ ඒවා. මීට වසර කිහිපයකට පෙර තැන තැන සුන්බුන්ව විසිර තිබූ මේ පුරාවස්තු මේ වෙද්දි නිසියාකාරයෙන් සකස් කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. එලෙස සකස් කිරීම සඳහා සිදු කළ අංකනය කිරීම් අදටත් දැක ගන්න පුළුවන්.
ආසනඝරය, පොහොය ගෙය, පිළිම ගෙය, බෝධිඝරය, ධර්ම ශාලා වගේම වැසිකිළි, කැසිකිළි පද්ධති වැනි තවත් පුරාවස්තු රැසක් ඒ අතරේ විසිරී තිබෙනවා. මේ සියල්ල අතරේ ඇවිදිමින් මීට වසර දහසකට පමණ පෙර මේ ස්ථානයේ පැවැති ශ්‍රී විභූතිය සිතින් මවා ගන්න ඕනෑම කෙනකුට පුළුවන්. අද වෙද්දී නටබුන් භූමියක් බවට පත් වෙලා තිබුණත් අනුරාධපුර යුගයේ මුල් අවධියේ සිට එහි අවසානය දක්වාම වසර දහසකට වැඩි කාල සීමාවක් රජගල කෙතරම් සශ්‍රීකව පැවතුණාද යන්න සිහිපත් කරද්දී හිතට දැනෙනේනේ කනගාටුවක්.
ගොඩනැගිලි පරිශ්‍රය පසු කරමින් තවත් ඉදිරියට යද්දී හමුවන දාගැබ් ද්විත්වයක් රජගල වටිනාකම වැඩි කරන තවත් පුරාවස්තු ලෙස හඳුන්වන්න පුළුවන්. මේ අතරින් එක් දාගැබක කොත වෙනුවට දක්නට ලැබෙන්නේ ඡත්‍රයක්. එය ඉන්දියාවේ සුප්‍රකට සාංචි ස්ථූපයට බොහෝ සමානකම් දක්වන දාගැබක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රජගලදී දකින්න ලැබෙන සියලුම සඳකඩ පහන් කැටයම් රටා අවම අනුරපුර මුල් යුගයේ ඒවා වීමත් විශේෂ කාරණයක්.
ගොඩනැගිලි සංකීර්ණය සහ දාගැබ් පිහිටි ප්‍රදේශයට අමතරව රජගල විසිරී ඇති තවත් පුරාවස්තු බොහොමයි. ඒ අතර ඇති අඩක් වැඩ නිම කළ බුදුපිළිමය රජගලදී දැක ගත හැකි සුවිශේෂී පුරාවස්තුවක්. කුමන හෝ හේතුවක් මත වැඩ අවසන් කර ගත නොහැකි වූ එම බුදු පිළිමය ගල් වඩුවා වැඩ කරමින් සිටි ආකාරයෙන්ම තවමත් පවතින බව තමයි පැවසෙන්නේ. ඊට අමතරව දැක ගත හැකි ප්‍රධානම පුරාවස්තුව ලෙස පැන් මණ්ඩපය හඳුන්වන්න පුළුවන්. රජගල කඳු පංතියෙන් ගලා එන ජල දහරා උපයෝගී කර ගනිමින් සකස් කර ඇති මේ පැන් මණ්ඩපය අදටත් ක්‍රියාත්මකව පවතින්නේ අපේ අතීත ඉංජිනේරු වික්‍රමය ලොවට හඬගා කියමින්. ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමු වී ඇති මෙවැනි ආකාරයේ එකම පැන් මණ්ඩපය ලෙසත් මෙය සැලකෙනවා.

එකම නෙත් මානයට පුරාවස්තු විසිරුණු රජගල පුරා ඇවිද යමින් දැක ගන්නට ඇති තවත් දේ බොහෝයි. දාගැබ් දෙක අසලින් ඉහළට ඇති මාර්ගයේ ගමන් කරාම තමයි ලෙන් සංකීර්ණය හමු වෙන්නේ. මේ රජගල වන පෙත පුරා ලෙන් 80කට ආසන්න ප්‍රමාණයක් විසිරී තිබෙනවා. ඒ අතරින් 25ක් ලජ්ජතිස්ස රජු විසින් භික්ෂූන් වහන්සේ සඳහා සකස් කර පූජා කළ බව සඳහන් වන අතර ඉන් පසු තවත් රජවරු කිහිප දෙනකු විසින් කරවූ ලෙන් පිළිබඳව තොරතුරුද සෙල්ලිපිවල සඳහන් වී තිබෙනවා. මේ අතරින් රජගල ආරම්භකයා වූ ලජ්ජතිස්ස රජු කරවා ඇති ලෙන් විහාර කිහිපයක් ඉතාම සුවිශේෂීයි. සීත ලෙන් ලෙස හඳුන්වන එම ලෙන් ස්වභාවික සුළඟ රඳවා ගෙන සීත කළ හැකි ආකාරයෙන් තමයි ඉදි කර තියෙන්නේ. අදටත් කර්කශ රජගලදී ඒ ලෙන් තුළ අපූරු සිසිලසක් රඳා පවතිනවා. එයත් අපේ කතා නායකයා වන ලජ්ජතිස්ස රජුගේ වික්‍රමයක් ලෙස හැඳින්විය යුතුමයි. කටාරම් කොටා ඇති මේ ලෙන් හැම එකක්ම ඉදිරියේ සිටුවා ඇති ගල් කණු අදටත් දැක ගන්න පුළුවන්. අතීතයේ මේ හැම ලෙනක්ම ඉතා සුවපහසු ලෙස ආරාමවාසී භික්ෂූන් වෙනුවෙන් සකසා තිබූ බව ඒ අනුව පැහැදිලි වෙනවා.
අපි මෙතෙක් කතා කළේ සෙල්ලිපි සාධක හරහා තහවුරු වී ඇති රජගල ඉතිහාසය පිළිබඳව පමණයි. නමුත් අනුරාධපුර යුගයටත් වසර දහස් ගණනකට පෙර මධ්‍යතන ශිලා යුගයේදීත් රජගල ජනාවාසව පැවැති බව ප්‍රාග් ඉතිහාසඥයන් මේ වෙද්දී තහවුරු කර ගෙන තියෙනවා. රජගලට අයත් මහ ලෙන තුළින් හමුවූ මිනිස් දත්, වඳුරන්ගේ දත්, කැකුණ ඇටවල පොතු, මාළුන්ගේ ඇටකටු සහ මිරිදිය සහ මුහුදු ගොළු බෙල්ලන්ගේ අවයව තුළින් ඒ තොරතුරු තහවුරු වී තිබෙනවා. රජගලට අපේ ඉතිහාසයේ හිමි වන වටිනාකම තවත් වැඩි කරන්න මේ කරුණු ඉවහල් වෙලා තියෙනවා. එවැනි ආකාරයේ ප්‍රාග් ඓතිහාසික සාධක හමුවූ අම්පාර දිස්ත්‍රික්කයට අයත් එකම ස්ථානය වෙන්නෙත් රජගල පමණයි.
මධ්‍යතන ශිලා යුගයේදී ජනාවාස බවට පත් වුණු අනුරාධපුර යුගයේ ලජ්ජතිස්ස රජු විසින් දියුණු ආරාම සංකීර්ණයක් බවට පත් කළ රජගල අනුරපුර යුගයෙන් පසු වල් බිහි වී පාළුවට ගිය ආකාරය අපි පසුගිය සතියේදී විස්තර කළා. ගිරිකුම්භිල විහාරය, අරියාකාර විහාරය වැනි විවිධ නාමයන්ගෙන් හැඳින්වූ රජගල ඉන් පසුව වන සතුන්ගේ නිජභූමියක් වුණා. නමුත් ඒ අතර ඇතැම් කාලවලදී මෙහි වැදි ජනතාව ජීවත් වූ බවටත් සාක්ෂි ලැබී තියෙනවා. රාස්සගල හෙවත් රජගල ප්‍රදේශයේ ජීවත් වූ නාගකච්චා නැමැති ආදිවාසියා සහ ඔහුගේ පිරිවර පිළිබඳව ආර්. එල්. ස්පිටල් මහතාගේ සංචාරක සටහන්වල දක්වා තියෙනවා.
ඒ හරහා මතුවන තවත් කාරණයක් මෙහිදී සිහිපත් කළ යුතුයි. රජගල අතීතයේදී රාස්සගල ලෙසින් හැඳින්වීම සම්බන්ධයෙන් විවිධාකාර මතවාද ඇති වී තිබෙනවා. මේ ප්‍රදේශයේ අතීතයේ රාස්සයන් ජීවත් වීම ඊට හේතු වී ඇති බව පිළිගන්නා බොහෝ දෙනකුත් ඒ අතර ඉන්නවා. නමුත් එය රජගල නාමය ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කිරීමේදී සිදු වූ දෙයක් කියලයි මේ ගැන අදහස් දැක්වූ පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් අප සමඟ ප්‍රකාශ කළේ. ඒ වගේම මේ ප්‍රදේශයේ රාස්සයන් ජීවත් වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව තමයි උන්වහන්සේගේ අදහස.
කොහොම වුණත් 1930 දශකයේ පටන්ම රජගල සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යොමු වූ බව පෙනෙනවා. ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුරාවිද්‍යාඥයා ලෙස සැලකෙන සෙනරත් පරණවිතාන මහත්මා මෙන්ම පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියනුත් මෙහි සංචාරය කර තිබෙනවා. නමුත් කුමන හෝ හේතුවක් මත අනුරාධපුරයට, පොළොන්නරුවට, සීගිරියට ලැබුණු සැලකිල්ල රජගලට නොලැබීම නිසා අදටත් එහි වටිනාකමට නිසි ඇගයීම හිමි නොවුණු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.

ඉංග්‍රීසි පාලන සමයේදීම පුරාවිද්‍යා අවධානයට ලක් වුණත්, නිසි සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පසුගිය දශක පහක පමණ කාලය පුරා රජගල නිදන් හොරුන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා තියෙනවා. විවිධ බලවතුන්ගේ සහායෙන්, විවිධ පුද්ගලයින් රජගලින් විවිධාකාරයේ නිදන් වස්තු සොරා ගත් බව අදටත් එහි ප්‍රදේශවාසීන් ඉතා කනගාටුවෙන් සිහිපත් කරනවා. ඒ අතරින් නිදන් වස්තු මංකොල්ලය වැඩියෙන්ම සිදු වී ඇත්තේ 90 දශකයෙනුත් පසුව කියන එකයි ප්‍රදේශවාසීන්ගේ අදහස. ඒ අතරින් වැඩිම නිදන් ප්‍රමාණයක් සොරා ගෙන ඇත්තේ රජගල පැන් මණ්ඩපය යටින් කියලයි ප්‍රදේශවාසීන් කියන්නේ. ඒ හේතුවෙන් 2012 වසරේ පුරාවිද්‍යා සංරක්ෂණ ආරම්භ කෙරෙන අවස්ථාව වන විට මේ පැන් මණ්ඩපය පෙරළා දමා තිබූ බවත් සඳහන්. වසර දහස් ගණනක් පුරා වනගතව තිබියදීත්, සොබා දහම විසින් රැක ගත් මේ වටිනා භූමිය දියුණු ලෝකයක ජීවත් වනවා යැයි කියන හිත් පිත් නැති නිදන් රකුසන්ගේ අණසකට යටත්ව තිබියදී නැවත වරක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතට පත් වෙන්නේ 2012 වසරේදී. නැවත වරක් මේ භූමිය දෙස් විදෙස් සංචාරකයන්ගේ මනදොල පිනවන තැනක් බවට පත් කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වෙද්දී විශාල වැඩ කොටසක් ඉටු කරලා තියෙනවා. ඉදිරියේදී නැඟෙනහිර පළාතේ සංචාරයක නිරත වෙනවා නම් මේ සුවිශේෂී පුරාවිද්‍යා පරිශ්‍රයත් ඒ ගමනට එකතු කර ගන්න. ඒ ගමනේදී ලජ්ජතිස්ස නැමැති මහා වික්‍රමිකයා සිහිපත් කරන්නත් අමතක කරන්න එපා. හැබැයි අවම වශයෙන් පැය හයක, හතකවත් කාල සීමාවක් ඒ ගමනට වෙන් කර ගත යුතු බවත් මතකයේ තබා ගත යුතුයි.
චන්දන පොන්නම්පෙරුම










