පසන් ගෞතම මුනිඳු බුදු වී
සාසනේ ලොව පැවතියේ
එසම් පත් ඇති අයත් යනවා
මරුව සමගින් උරුදියේ
වසන් ඇතිදා කරපු පින්මයි
කැටුව යන්නේ පැහැදියේ
උපන්දා සිට කරපු පව් නැත
වරක් වැන්දොත් කැලණියේ
ඉහත සඳහන් පැදියේ මුල් පද තුනත් (3) පැදිය රචිත මහනුවර යුගයේ විසු ලෝකුරු නයිදේ නමැති කාව්‍යක්කාරතුමා පිළිබඳවත් අපේ වැඩි දෙනකු නොදනිතත් එහි අවසාන පදය වූ “උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ” යන පදය නො දන්නා කෙනකු ඇත්නම් හෙතෙම මව් කිරි වැරූ අයකු නොවන තරම් වන්නේය. (තවමත් මව් කිරි බොන දරුවෙකි)
මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීම
‘ලක් ඉතිහාසයේ දේශපාලන ක්‍ෂේත්‍රයේ මෙතෙක් කිසිදිනෙක නොවූ විරූ අන්දමේ අචින්ත්‍ය අනන්ත මහජන වරමක් හිමි කරගත්තාවූද අගමැති මහින්ද රාජපක්‍ෂ විරුවාණන් සිය අග්‍රාමාත්‍ය ධූරයේ රාජකාරි භාරගැනීමට පෙරාතුව සිය පරිවාරයන් පරිවාර කොටගෙන නමෝවිත්තියෙන් ගෞරව බහුමානයෙන් යුතුව සපත කිරීම (දිවුරුම් දීම) සඳහා කැලණිතිස්ස රජුන් රාජ්‍ය විචාල, කැලණි මහ වෙහෙර හෙවත් කැලණි මහා චෛත්‍යය රාජයාණන් පිහිටියාවූද කැලණි මහා විහාරස්ථානයටම ප්‍රවිෂ්ඨ වීමම මේ ලක් පින්බිමේ වාසනා ගුණයේ මහිමය ප්‍රදර්ශනය කරන්නකි.
ඒ මන්ද? සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ ඇස්, ඉස්, මස්, ලේ දන්දී දසමන් පෙරුම් පුරා සුවඅසූ දහසක් ධර්මස්කන්ධය අවබෝධ කරගත් අප මහ බුදු රදානන් වහන්සේ විසින් මෙ ලක් පොළොවට වැඩ වදාරනු ලැබ චූලෝදර, මහෝදර නම් දෙමයිල් නා රජුන් අතර මිණි පළඟක් අරභයා වන්නට ගිය මහා සංග්‍රාමයක් වළකා ශ්‍රී සම්බුද්ධ ශාසනය ඇති පන් දහස් පන්සියයක් සහ නැති පන්දහස් පන්සියයක කාලයක් තුළ මේ රටේ සාමය සාමග්‍රිය සෞභාග්‍ය ස්ථාපනය කරන ලද මහා පින් කෙත (පුඤ්ඥං ඛෙත්තං) කැලණි ශුද්ධ භූමියම නිසා බැවිනි.

කැලණි විහාරස්ථාන වාසීව වැඩ වුසු ගිරිදර රතන ජෝති නම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනකුන් විසින් වර්ෂ එක් දහස් අටසිය අනූ (1890) වැන්නේදී ලියනු ලැබූ “කල්‍යාණි විහාර වර්ණනාව” කෘතියේ දෙ නා රජුන් අතර ඇති වන්නට යෙදුණු සංග්‍රාමය මෙසේ දැක්වේ.
‘චුළෝදර, මහෝදර නම් දෙමයිල් නා රජුන් දෙදෙනා මිණි පළඟක් නිසා වඩුන්නා ගල තිස් කෙළක් නයින් හා කැළණියේ විසි කෙළක් නයින් හා ජලජථලජ වූ අසූ කෙළක් නයින් හා මණිනාග දිවයින තිස් කෙළක් නයින් හා ජලජථලජ අසූ කෙළක් පමණ ද්විවිධ නාග සේනාව යුද්ධයට සැරහී සාහසික වහසි බස් බෙණෙමින් මතු මත්තෙහි දුවන රළ පෙළක් මෙන් පෙළින් පෙළ සෑදී කඩු, පළඟ, පත්තිරම්, පාරාවළලු, වලකඩි, දුනු, තෙප්, කොන්ත, සෙන්කෝල්, යගදා, මුගුරු, සිරු ආදී වූ නානායුධ ගෙන විදුලිය කැළ මෙන් ලෙළවා රණ දෙරන එකලු කෙරෙමින් උනුන් පසුකර රණොන්මත්ත චිත්තයෙන් දර්ප සහිතව ඉදිරිව දිවෙමින් සටනට දෙපිට සෙනඟ ඇණිලාසිට ගත්හ.
මෙ සේ වහසි බස් බැණ සංග්‍රාම (සංග්‍රාම) භූමියෙහි රැස්ව නාග දෙ සෙනග විඳ ගන්නාා ව්‍යසන අප බුදුහු දිවැසින් දැක ඔවුන් කෙරෙහි කරුණාවෙන් එදවස් පෙර වරුවම දෙව්රම් වෙහෙරින් නික්ම ඒ ජෙතවන fදාරටුව සමිපයෙහි සිටි කිරිපලු රුක අරක් ගත් සමිද්ධි සුමන නම් දිව්‍ය රාජයා විසින් මූලෝත්පාටනයෙන් ගෙන සිරසට අල්වන ලද එම කිරිපලු රුක සෙවණින් අහසින් අවුත් මණිනාග දිවයිනට වැඩ ක්‍රෑරතර යුද්ධයට පටන් ගත් නාග දෙ සෙනඟට මැද පෙනී අහස් කුස කිරිපලු තුරු සෙවණ නමැති ඉන්ද්‍රනීල මාණික්‍ය චත්‍රය යට පළක් බැඳ වැඩ හිඳ නයින් භය ගන්වනු පිණිස අන්ධකාරයක් මවා එයින් ත්‍රස්තව භයට පත් නයින්ට ළහිරු මඬලක් මෙන් ආලෝක පතුරුවා නොයෙක් පෙළහර දක්වා ධර්ම දේශනා කොට දෙ සෙනඟ සමගි කරවූ කල්හි,
සියලු නාග සේනාව තම තමන් අත තුබූ ආයුධ දමා අනෙකප්‍රකාර වූද පඬුරු සරහා ගෙනවුත් ස්වකීය වූ නාග කන්‍යාවන් සමග පුදකොට අහසින් භූමියට බුදුන් වැඩම කරවා ගෙන ඔවුන් විසින් පිළිගන්වන ලද මිණි පළඟ මත්තෙහි වැඩහිඳ නයින් පිළිගැන්වූ දිවබොජුන් වළඳා අසූ කෙළක් නයින්ට ධර්ම දේශනා කොට සරණ සීලයෙහි පිහිටුවා ඔවුන්ට අභිවෘද්ධි කුශල වර්ධනය පිණිස වැඳ පුදා ගන්නා ලෙස කිරිපලු රුක සහ මිණි පළඟ පාරිභෝගික චෛත්‍යය කොට කිරිපලුරුකට පිට දී මිණි පළඟ පිට වැඩඋන් සේක.
මෙම පුණ්‍ය භූමිය වු කැලණිය රජ මහ විහාරස්ථානයේ වර්ථමාන විහාරාධිපතින් වහන්සේ (අවසරයි) ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝයි.
බුදුන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව පරණ පොත පතෙහි මෙසේ දැක්වේ.
‘බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් අට වසරකින් (8) පසු එළැඹුණු වෙසක් මස පුර පසළොස්වක දින ලක් බිමට වැඩ වදාළහ. ඒ උන්වහන්සේගේ තුන් වැනි පැමිණීමය. ඒ කරුණු අනුව මේ ශුද්ධ භූමියේ ඓතිහාසිකත්වය ක්‍රිස්තු පූර්ව පස් වැනි (5) සිය වස දක්වා දීර්ඝ වූවකි. මණිඅක්කිත නා රජුන්ගේ ආරාධනයෙන් උන් වහන්සේ පන්සියයක් (500) මහ රහතන් වහන්සේලා සමගින් නාග භවනයට වැඩම කළහ. වාස භවන සමීපයේන් ගලා බස්නා කැලණි නදියෙන් ස්නානය කළ බුදුහිමියෝ දන් වැළඳීමෙන් අනතුරුව අලංකාර මැණික්‍ය ආසනයේ වැඩ හිඳ ධර්මදේශනා කළහ. බුද්ධ පාරිභෝගික වස්තුවක් බවට පත් ඒ මාණික්‍ය ආසනය නිධන් කොට මණිඅක්ඛිත නාරජුන් විසින් ස්ථූපයක් ඉදි කරනු ලැබිණි.
ක්‍රි.පූ. දෙසිය හත් වැන්නේදී (207) උත්තිය කුමාරයා විහාර කර්මාන්තයට දායකවූ බවද යඨාල තිස්ස රජතුමන් කැලණි චෛත්‍ය රාජයා සැට (60) රියනක් උසට බන්දවා එමතුද නොව විහාරස්ථානය පස මහල් කර ඉදිකළ බවද ඉතිහාසයේ සඳහන්.
ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේදී කැලණියෙහි රජ වූවේ කැලණි තිස්ස ප්‍රාදේශීය රජතුමාය. එතුමා මාගම (රුහුණ) රාජ්‍යයට අවනතව රාජ්‍ය විචාළේය. ඒ රජු සොහොයුරා වූ උත්තිය කුමරුන් සමග ඒ රජුගේ බිසව පවත්නා ලදැයි කියන ප්‍රේම සම්බන්ධතාවකට කැලණිතිස්ස නම් මහරහතුන් කෙනකුන් වගකිව යුතු බවට අස්ථානීයව සැක කළ රජතුමා උන් වහන්සේ උතුරන තෙල් කටාරමක ලා ඝාතනය කරවනු ලැබූහ. (මේ වෘතාන්තය ඉතා පළ බැවින් සංක්‍ෂේපයේන් දක්වමු)
මහ රහතුන් කෙනකු ඝාතනය කිරීමෙන් ඇති වූ දේව කෝපයෙන් මුහුද ගොඩගලා (සුනාමිය මෙන්) ගම් දනව් වැනසිණි. කැලණි තිස්ස රජුගේ සෙළොස් හැවිරිදි දියණි දේවී කුමරිය සාගරයට බිලිදීමෙන් කෝපය සංසිඳිණි. අනතුරුව කැලණි රාජධානිය අභාවයට ගියේය. පසු කලෙක දුටු ගැමුණු රාජ සමයේ (ක්‍රි.පූ. 161-137) කැලණි විහාරස්ථානයේ මහ රහතන් වහන්සේලා පන්සියයක් (500) දෙනා වැඩ වසන ලදහයි මහාවන්සයේ සඳහන්.
කණිෂ්ඨ රජුද (ක්‍රි.ව. 227)මහා පරාක්‍රම බාහු රජුද (ක්‍රි.ව. 1153-1186) එමෙන්ම පොළොන්නරුවේ නිශ්ශංක මල්ල රජුද විහාර සංවර්ධනයට විශාල මෙහෙයක් කළ බැව් ඉතිහාසයේ විස්තර වේ.
කාලිංග මාඝ, පෘතුගීසි, ලන්දේසි ආදි පරසතුරු උවදුරුවලින් වැනසුණු මේ ශුද්ධ භූමියේ ගොඩනැගිලි වැලිවිට ශ්‍රී සරණංකර මහ නාහිමියන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් විහාරස්ථානය යළි ගොඩනගන ලදුව මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන්ට ස්ථානය තඹ සන්නසකින් පවරන ලදැයි ක්‍රි.ව. එක්දහස් හත් සිය හැත්තෑ නමයේ (1779) ලියන ලද කැලණි සෙල්ලිපියේ දක්වා ඇත.
පසු කලෙකදී (1927) විහාරස්ථානයේ විශාල සංවර්ධනයක් ඇතිවුයේ හෙළේනා විජයවර්ධන මැතිනියගේ දායකත්වය නිසාය. ඇය ඉතා අලංකාර ලෙස බුද්ධ මන්දිරය ඉදිකෙරෙව්වාය. ඉතා ශ්‍රේෂ්ඨ කලා ශිල්පියකු වන සෝලියස් මැන්දිස් සූරීන් ගේ පරිපූර්ණ චිත්‍ර ඥාණය විහාර කර්මාන්තයේ පිළිබිඹු කෙරේ. ඉදිකිරීම් කර්මාන්තය නිමා වූයේ එක් දහස් නමසිය හතළස් හතේදීය (1947).
ගෝඨාභය රාජපක්‍ෂ මහතා දිවුරුම් දීම

ශ්‍රී ලංකාවේ අතිගරු හත් වැනි ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දිවුරුම් දුන්නේ අනුරාධපුයේ රුවන් මැලිසෑය යනුවෙන් මෙන්ම රුවන්වැලි සෑය ලෙසින්ද හඳුන්වනු ලබන රත්නමාලි මහා සෑය අභියසදීය.
චෛත්‍යය උසින් අඩි තුන්සිය තිස් අටකි (338) විෂ්කම්භය අඩි නම සිය හතළිස් දෙකකි (942).
පාලි භාෂාවෙන් මහා ථූප ලෙසන් හැඳින්වෙන මේ දැවැන්ත චෛත්‍යය රාජයා විවිධ නම්වලින් හඳුන්වනු ලැබේ. ඒවා මෙසේය. මහා ස්ථූපය, මහා ථූපය, මහා සෑය, රුවන් වැලි මහා සෑය, රුවන් මැලි මහා සෑය, රත්නමාලි සෑය, රතන මාලි මහා සෑය, හේමමාලි සෑය, හේමමාලි මහා සෑය, අසදෘශ මහා සෑය, ස්වර්ණ මාලි මහා සෑය වශයෙනි. සර්වඥ ධාතූන් නැලි දෙකක් (සේරු දෙකක්) නිධාන් කර ඇතැයි පැවසේ. සෝනුත්තර රහතන් වහන්සේ ඍධි බලයෙන් සර්වඥ ධාතූන් ගෙනා බවද කියත්.
චෛත්‍යට ස්වර්ණමාලි යන නම තැබීමට හේතු භූතවූ (පාදක) සිද්ධිය ඉතා රසවත්ය. චෛඉත්‍ය ඉදි කිරීමේ කර්මාන්තය සඳහා ස්ථානීය පරීක්‍ෂාවට මැති ඇමති ගණයා හා සපිරිවරින් ගිය දුටුගැමුණු රජතුමාට ඒ අසල තෙලඹු වෘක්‍ෂයක (ගසක) ස්ත්‍රී රූපයක් දැක ගන්නට ලැබී තිබේ. ඇය එ ගසැ වුසූ වෘක්‍ෂ දේවතාවියකි.
එම පුරාවෘතය එක් දහස් නමසිය විසි තුනේදී (1923) “ස්වර්ණමාලි චෛත්‍ය වන්ඳනාව” යන මැයෙන් එළි දැක්වුණු කවි පොතක ඉතා අලංකෘතව විස්තර කෙරී ඇත. මේ පොත ලියූ කවියා ගැන ද වචනයන් කිව මනාය.
(ගොඩගන්දෙණියේ මැද ගෙදර සලා නම් වූ ඔහු ලංකාවේ පළමු නාට්‍ය නිර්මාණිකයා බව මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් ලියන ලද “සඳ කිඳුරුදාව සහ සිංහල නාට්‍ය කලාව” නමැති පොතේ විස්තර කර තිබේ. පැදි පොත් තුන්සියයකට වඩා ලියා මුද්‍රණය කර තිබූ ජී.ඇම්. සලා කාව්‍යක්කාරතුමා අධ්‍යාපනය ලබා තිබුණේ තුන්වැනි පංතියට පමණක් වුවේය.)
දුටුගැමුණු රජතුමා ස්ථානීය පරීක්‍ෂාවේදී අත් දුටු ජවනිකාව රජු සහ වෘක්‍ෂ දේවතාවිය අතර දෙබසක් ලෙස ඉදිරිපත් කර ඇති ආකාරයයි.
දෙව් දුව –
නිවසමි කලෙක සිට මම සැප විඳ නොයෙක
නොම දෙමි කපන්නට මගෙ රන් තෙළෙඹු රුක
රජතුමා –
අර අර කවුද මැතියනි තෙළෙඹුව මුදුන
සුර පුර සිටන් බට ලියෙකැයි මට හැඟෙන
දෙව් දුව –
සැපා විඳ වෙසෙන මගෙ විමනය මෙවර
එපා නසන්නට සාමිණි නොව අදර
රජතුමා –
දෙව් ලොව සිටන් මෙ පුරට බට අඟනක්ද?
සව් මිය විගස තෙපව තී කවරක්ද?
දෙව් දුව –
වරුණ කැලුම් විහිදෙන රුවයෙන් සවුම
ස්වර්ණ මාලි දෙව් දුව නම් වේය මම
රජතුමා –
කාවන් තිස්ස රජ්ගේ පුත් දුටු ගැමුණු
මේමන් වේය දෙව් දුවෙ අසණුයෙ කුලුණු
දෙව් දුව –
පේමෙනි මබස කරුණාවෙන් පිළිගන්න
සාමිණි මගේ රන් තෙළඹුව නොකපන්න
රජතුමා –
තෙරුවන් සරණ අදහා සිතට නොමැලියේ
මෙගසින් බිමට බැසපන් ස්වර්ණමාලියේ
දෙව් දුව –
ඔබ ලෙස ගරු තුමෙක් අද සිරි ලක ඇත්ද?
මගෙ බස ඇසූ ඔබෙ සිත උණු වුණෙ නැද්ද?
රජතුමා –
සෑයක් මෙ තැන කරවමි රුවින් බැබළියේ
සෝදුක් නොවම බැසපන් ස්වර්ණ මාලියේ
දෙව් දුව –
අගේ වඩන තෙළඹුව හැර යමිය සුබා
මගේ නමින් කරනෙද මෙතැන දාගැබා
රජතුමා –
ස්වර්ණ මය රුවින් සෑයක් ඉදි කරමි
ස්වර්ණ මාලි චේතිය යන නම තබමි
රුවන්වැලි සෑ සල පතල මළුවේම දුටු ගැමුණු රජුන්ගේ ප්‍රතිමාවද තිබේ. එවන් නරපතියකුගේ ප්‍රතිමාව ආසන්නයේ දීම තවත් නරපතියකු (ජනාධිපති) දිවුරුම් (ප්‍රතිඥා)දීමේ සිද්ධියෙන් බුද්ධිමතුන්ට සිතා ගත හැකි එ හෙත් නොකියා කියන කතා බොහොමයක් තිබේ.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ දුටුගැමුණු රජතුමා යන නරනාථයින් දෙදෙනාම එකම පළාතේය. දෙදෙනාම දකුණේය. රුහුණේය.
තමන්ගේ අපේක්‍ෂිත ඉලක්කය කරා ළඟාවීමට දෙදෙනාටම අනන්ත අප්‍රමාණ බාධක රැසක් පසු කිරීමට සිදුවීය. ජීවිතය රෝස මල් යහනාවක් නොවේය යන සිද්ධාන්තය මේ නරනායකයන් දෙදෙනාටම අත්දකින්නට සිදුවු පොදු සාධකයකි.
එතකුදු වුවත් දුටු ගැමුණු රජුගේ මෙන්ම රාජපක්‍ෂ පරම්පරාවේ ලේවල ගතිලක්‍ෂණ ප්‍රදර්ශනය කෙරෙන තවත් සිද්ධාත්තයක්ද තිබේ. ඒ විශිෂ්ටත්වය යනු කිසිදා නොවැටී සිටීම නොව වැටෙන සෑම වාරයක් පාසා නැඟී සිටීමය.
දුටුගැමුණු රජතුමා උතුරේ මහජනතාව මෙන්ම දකුණේ මහජනතාවට ද එක හා සමානව නිදහසේ ජීවත්වීම උදෙසා මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව අධර්මය පරාජය කිරීමේ සටනක යෙදුණේය. වර්තමානයේ වෙසෙන මධ්‍යස්ථ මතධාරී මිනිසුන්ට රාජපක්‍ෂලා මහා සංඝ රතනයේ අනුශාසනා මධ්‍යයයේ උතුරේ අධර්මය නසා එහෙත් මෙහත් (උතුරේත් දකුණේත්) මිනිසුන්ට නිදහස ලබාදීමට ගත් උත්සාහය ගැන තවත් විස්තර කිරීමට අටුවා, ටීකා, ටිප්පණි, චූර්ණිකා, ගැටපද විවරණ, සන්නස්, වන්නම් අවශ්‍ය දැයි ඇසිය යුතුව ඇත.
ඇමති මණ්ඩලය දිවුරුම් දුන් මගුල් මඩුව

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ හත්වැනි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නව රජයේ අමාත්‍ය මණ්ඩලය පසු ගිය බදාදා (12) දිවුරුම් දුන්නේ මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදීය.
මගුල් මඩුව මේ හා සමාන ඇමතිවරුන් පත් කිරීමේ අවස්ථාවක් සඳහා තෝරා ගනු ලැබූ පළමු අවස්ථාව මේ බව මහනුවර දළදා මාළිග ආරංචිවලින් දැන ගන්නට තිබේ. මගුල් මඩුව යන්න හුදු සිංහල ඌරුව ගත් වචනයකි.
බොහෝ දෙනා මගුල් සහ මඩුව යන දෙවදනට වැවහර කරනුයේ මංගල සහ මණ්ඩප යන දෙවදනයි. එසේ වූ කල්හි මගුල් මඩුව යන්න මංගල මණ්ඩප වේ. මංගල යන්න යෙදෙනුයේ ශුභ කටයුත්තක් වශයෙනි. මහා මංගල සූත්‍රයේ දැක්වෙනුයේ එසේය. එබැවින් මේ ඓතිහාසික ගොඩනැගිල්ලට “මංගල මණ්ඩපය”යන්නද පර්යාය නාමයකි.
මගුල් මඩුවට “මහ නඩුව”යන අන්වර්ථ නාමයද බැවහැර කෙරිණි.
ඉහළම හෙවත් මහ නඩු අසනු ලබන්නේද රජු විසිනි. රජු අසන (පසිඳන) නඩු මහ නඩු වේ. මහ නඩු විමසන ස්ථානය ඒ හෙයින්ම මහනඩුව විය.
ස්ථානය රජතුමා සම්බන්ධ වන උත්සව පැවැත්වූ උත්සව ශාලාවක් සේම ප්‍රභූන් හමුවූ ස්ථානයද මගුල් මඩුව වේ.
මහනුවර මගුල් මඩුව රාජාධිරාජසිංහ රාජ්‍ය සමයේ දේවේන්ද්‍ර මූලාචාරිතුමන්ගේ සැලැස්මට අනුව ක්‍රිස්තු වර්ෂ එක් දහස් හත්සිය අසූ තුනේදී (1783) ඉදිකිරීම් ආරම්භ කෙරිණ. වැඩ නිමවූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුන් සමයේය. ගොඩනැගිල්ල දිගින් මිටර් දහනමයයි දශම හතයි පහකි (19.75) පළල මීටර් එකොළහයි දශම හයයි පහකි (11.65) සියුම් කැටයම් කළ දැව කණු එක පේළියකට විසි හතර (24) බැගින් දෙපේළියට හතළිස් අටක් (48) ලෙසින් එදා ඉදිකෙරිණි.
මගුල් මඩුවේ වැඩ අවසන් වන විට රාජ්‍යත්වයට එළඹ සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අමුත්තන් හමුවීමේ උත්සවය පැවැත්වූයේද මේ ස්ථානයේය.
මල්වතු අස්ගිරි මහ නායක ස්වාමීන් වහන්සේලාට රජු විසින් අක්තපත්‍ර පිළි ගන්වනු ලැබුවේද මගුල් මඩුවේදීය. (මේ චාරිත්‍රය වර්තමානයේදීද ක්‍රියාත්මක කෙරේ.
මගුල් මඩුවේ පැවැත්වූ ඉතාම පෘථූල (ප්‍රසිද්ධ) සිද්ධිය නම් එක්දහස් අටසිය පහළොවේ මාර්තු දෙවැනි දින (1815.03.02) සිංහල ප්‍රභූන් සහ ඉංගිරිසීන් අතර උඩරට ගිවිසුම අත්සන් කිරීමයි. එපමණක් නොව වෙල්ලස්සේ නිදහස් සටනේ මොනරවිල කැප්පෙටිපොළ නිලමතුමා ඇතුළු විරුවනට ඉංගිරිසීන් විසින් මරණ දණ්ඩනය නියම කරනු ලැබුවේද මේ (මගුල්) මඩුවේදීමය.
එංගලන්තයේ හත් වැනි එඞ්වඞ් ඇල්බට් රජු උඩරටට පැමිණි අවස්ථා සැමරුම් උත්සවය ඉංගිරිසි පාලකයන් විසින් පවත්වනු ලැබුවේ මගුල් මඩුවේදීය. ඒ උත්සවය වෙනුවෙන් ගොඩනැගිල්ලේ දිග මීටර් තිහ (30) දක්වා වැඩිවන සේ ඉදිකෙරිණි. ඒ සඳහා එක පැත්තකට කණු අට (8) බැගින් වැඩිකරනු ලැබිණි.
උඩරට අල්ලා ගත් සුද්දන් ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් ගිනිබත් කළත් මගුල් මඩුවට අත නොතිබ්බේ දේවේන්ද්‍ර මූලාචාරි තුමන්ගේ (එතුමාට ගෞරව වේවා) වාස්තු විදා්‍යාත්මක ශිල්පීය ඥාණ මහිමය නිසාය. මන්ද? දේශිය වාස්තු විදා්‍යාවේ ඉගැන්වීමට අනුව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී ගින්නෙන් ජලයෙන් සුළඟින් හානියක් නොවන අයුරින් ගොඩනැගිල්ල ඉදිකිරීමේ න්‍යායද උගන්වනු ලැබේ. එසේම එම කණුවල සියුම් කැටයම් විනාශ කිරීම මහත් පාපයක් බව සුද්දන්ටත් නොවැටහී නොතිබෙන්නට බැරිකමක් නැති හෙයිනි.
චන්ද්‍රසේන මාරසිංහ










