ඉකුත් සතියේදී එක්සත් ජාතික පක්‍ෂය ඇතුළේ නායකත්ව අර්බුදය විසඳුණේ එක් පැත්තකින් නායකත්වය සම්බන්ධයෙන් විසඳුමකුත්, අනෙක් පැත්තෙන් එජාපය දෙකට බෙදන විසඳුමකුත් එකවර ඉතිරි කරමිනි. මෙතෙක් ඇදි ඇදී ගිය නායකත්ව ප්‍රශ්නය විසඳුණේ බ්‍රහස්පතින්දා (30දා) දිනයේදී තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පවත්වා යළිත් වතාවක් පක්‍ෂ නායකත්වය රනිල්ට භාර දුන් බවට ප්‍රකාශයක් නිකුත් කරමිනි. අනෙක් පැත්තෙන් මෙය පක්‍ෂයේ බෙදීමකට මඟපෑදෙන ආකාරයේ විසඳුමක් වූයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැති බ්‍රහස්පතින්දා උදේ වරුවේම සජිත්ට හිතවත් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් වූ සරත් ෆොන්සේකාගේත්, අජිත් පී. පෙරේරාගේත්, රෝසි සේනානායකගේත්, ඉමිතියාස් බාකීර් මාකර්ගේත් සාමාජිකත්වය අහෝසි කිරීම නිසාය. ඒත් සමඟම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට සජිත් ඇතුළු ඔහුට හිතවත් මන්ත්‍රි කණ්ඩායම තීරණය කළ අතර, මේ වන විට මෙම ප්‍රශ්නය පවතින්නේ සජිත් පිල වෙනම සන්ධානයකින් මහමැතිවරණයට ඉදිරිපත් වන තැනකට තල්ලු වෙමින්ය.
කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා දිනයේ මෙම තීන්දුව ගන්නා තෙක් එජාපය ඇතුළේ සාකච්ඡා, සංවාද, පණිවුඩ හුවමාරු වීම්, මතගැටුම් විශාල ප්‍රමාණයක් සිදුවන ආකාරයක් දැකගත හැකි විය. එහිදී රනිල් පිලත්, සජිත් පිලත් සතිය ආරම්භයේ සිටම තමතමන්ගේ පිල් ශක්තිමත් කරමින් පක්‍ෂයේ බලය අල්ලාගන්නා සටන තීව්‍ර කරන ආකාරයක් දැකගන්නට ලැබුණු අතර, ඇතැම් විටක සජිත් පිල ශක්තිමත් වන ලකුණුත්, ඇතැම් විට රනිල් පිල ශක්තිමත් වන ලකුණුත් අඩු වැඩි වශයෙන් දැකගන්නට ලැබිණි.
සජිත් පුංචි මන්ත්‍රීවරු කොළඹට ගෙන්වයි
මෙහිදී සතිය ආරම්භ වන විට ශක්තිමත් බව පළමුවෙන්ම පෙන්වා සිටියේ සජිත් පිලය. ඒ පසුගිය ඉරිදා (26දා) කොළඹ සම්මේලන හා ප්‍රදර්ශන ශාලාවට පක්‍ෂයේ පිටකොන්ද වන් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු කැඳවමින්ය. ඉකුත් සතියේ සිටම සජිත් පිල මෙම මෙහෙයුම සාර්ථක කරගන්නට වැඩි වශයෙන් උත්සාහ කරනු දැකගන්නට ලැබුණේ එම වෑයම සාර්ථක වුවහොත් සඳුදා දින පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පක්‍ෂයේ බිම් මට්ටමට සජිත් සමඟ සිටින බවට ඒත්තු ගැන්වීමට හැකි වන නිසාය.
මේ තත්ත්වය රනිල් පිලද නොදැන සිටියා නොවේ. ඒ නිසාම සෙනසුරාදා දින සිරිකොතින් සියලුම එජාපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට පණිවුඩයක් ලැබුණු අතර, ඉන් කියැවුණේ කිසිසේත්ම මෙම රැස්වීමට සහභාගි නොවන ලෙසටත්, පක්‍ෂයේ නියෝග නොතකා රැස්වීමට සහභාගි වුවහොත් විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවටත්ය. මේ නිසාම එම රැස්වීමට සහභාගි වීම සම්බන්ධයෙන් ඉරිදා වනවිටත් ඇතැම් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් සිටියේ තරමක දෙගිඩියාවකිනි. නමුත් එම දෙගිඩියාව මැකී ගියේ සිරිකොතින් ලැබුණු මෙම පණිවුඩය සම්බන්ධයෙන් දැනුවත්ව සජිත් පිලද වෙනම මෙහෙයුමක් ඊට සමගාමීව දියත් කිරීම නිසාය. එම මෙහෙයුමේදී සජිත් පිලද සෑම මන්ත්‍රිවරයකුටම කතා කරමින් සිරිකොතින් පැමිණෙන පණිවුඩවලට බිය නොවන ලෙසටත්, පැමිණෙන සෑම මන්ත්‍රිවරයෙක් වෙනුවෙන්ම සජිත් පෙනී සිටින බවටත් දැනුම් දී සිටීම විශේෂ සිදුවීමක් විය.
රැස්වීමේදී සජිත් පිලට අකරතැබ්බයක්
ඒ අනුව ඉරිදා දිනය වන විට පක්‍ෂයේ සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් 1352ටම ආරාධනා කළ සජිත් පිල එසේ පැමිණෙන සාමාජිකයන් වෙනුවෙන් ආසන 1500ක් පැනවීමට පියවර ගෙන තිබිණ. නමුත් වැඬේ වැරදුණු බව සජිත් පිලට වැටහුණේ රැස්වීම ආරම්භ වීමට ඔන්න මෙන්න තිබියදීය. එහිදී කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයට 3000ක පමණ පිරිසක් සහභාගි වීම හේතුකොටගෙන රැස්වීම් ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගොස් ඇති බවක් මොහොතක් යෑමට මත්තෙන් පිරිසට දැකගැනීමට හැකි විය. මෙහිදී ආරාධනා නොලැබූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් පවා රැස්වීමට ඉතා දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණ සිටීම විශේෂ සිදුවීමක් විය. පසුව දැනගන්නට ලැබුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් 1352ක් මෙම රැස්වීමට සහභාගිව සිටි බවකි.
මෙහිදී සජිත් සමඟ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් වන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් සහභාගි වී සිටි අතර හකීම් කල්මුණේ ප්‍රදේශයේ තිබූ රැස්වීමට සහභාගිව සිටි නිසා මීට සහභාගි වීමට නොහැකි වනු ඇති බව කල්තියාම දැනුම් දී තිබිණ. මීට අමතරව රිෂාඞ්ට මෙම රැස්වීමට ආරාධනා නොකිරීමට සංවිධායකයන් පියවර ගෙන තිබිණි.
වෙනම යන්න ඉල්ලීමක්
මෙහිදී පැමිණ සිටි පිරිස අමතා කතා කළ සජිත් පක්ෂයේ කොඳුනාරටිය මෙම පිරිස බවත්, තමන් මෙම පිරිස ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවන බවත් කියද්දී බොහෝ මන්ත්‍රිවරුන් කියා සිටියේ පක්ෂය සජිත්ට භාරදීමට වික්‍රමසිංහ මහතා කටයුතු නොකරන්නේ නම් වෙනත් පුළුල් සංවිධානයකින් තරග වැදීමට කටයුතු කළ යුතු යැයි කියාය. රනිල් යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වනවා තබා ගමට ඒමටවත් නොහැකි වනු ඇති බව පිරිස සජිත්ට පෙන්වා දුන්හ. එහිදී සජිත්ද කියා සිටියේ පාක්ෂිකයන්ගේ බහුතර මතයට අනුව තීන්දු තීරණ ගැනීමට තමන් කිසිසේත්ම පසුබට වන්නේ නැතැයි කියාය. ඒ හරහා සජිත් නොකියා කීවේ රනිල් ඇතුළු සුළු පිරිසක් ගමේ යථාර්ථය සහ රටේ යථාර්ථය පිළි නොගෙන කටයුතු කරන්නේ නම් තමන්ද ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවය.
සිරිකොත යකා නටයි: රනිල්‌ගෙන් කබීර්ට මලික්ට ඇමතුම්
මේ ආකාරයට සජිත් කොළඹට කැඳවූ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ රැස්වීම විශාල සාර්ථකත්වයක් ලබද්දී රනිල් පිල ඉන් දැඩි ලෙස කැළඹී ගිය ආකාරයක් ඉරිදා සවස වන විට දැකගන්නට ලැබිණි. ඒ බව හොඳින්ම පෙනෙන්නට තිබුණේ (27දා) සවස පැවැත්වීමට යොදාගෙන තිබූ පක්ෂයේ කෘත්‍යාධිකාරී රැස්වීම කල් දැමීමට රනිල් කටයුතු කිරීම හරහාය. මීට අමතරව තමන්ට එල්ල වන පීඩනය සමනය කර ගැනීම සඳහා රනිල් වහාම සජිත් පිලේ නියෝජිතයන් දෙදෙනකු වූ කබීර් හෂීම්ටත්, මලික් සමරවික්‍රමටත් තමන් හමුවන ලෙස පණිවුඩයක් තැබීමට කටයුතු කළේය. මෙම හමුවේදී ගැටලුව විසඳාගැනීම සඳහා තමන්ගේ පාර්ශ්වයෙන් වන යෝජනා කබීර්ටත්, මලික්ටත් දැනුම්දීමට රනිල් සැලැසුම් කර තිබිණ.
ඒ අනුව රනිල්ගේ මෙම පණිවුඩය ලැබුණු පසු සජිත් පිලද රැස්වී මෙම හමුවේදී ඉදිරිපත් කළ යුතු යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී ඇතැමුන් පක්ෂ නායකත්වය පවා සජිත් වෙත ලබාගත යුතු බව සඳහන් කළද, තවත් පිරිසක් පෙන්වා දුන්නේ සියල්ලන්ටම පිළිගත හැකි අතරමැදි යෝජනාවන් සඳහා රනිල්ව එකඟ කරගත යුතු යැයි කියාය. ඒ කෙසේ වෙතත් අලුතින් බිහිකිරීමට නියමිත නව සන්ධානයේ නායකත්වය සජිත්ට ලබාගැනීමටත්, එහි මහලේකම් ධුරය සජිත් පිලට ලබාගැනීමටත්, නාමයෝජනා මණ්ඩලයේ නායකත්වයද සජිත්ට ලබාගැනීමටත් සාකච්ඡා කළ යුතු බව එහිදී වැඩිදුරටත් කියැවිණ.
රනිල් ඔක්කොම දෙන්න එකග වෙයි
ඒ අනුව සඳුදා සවස රනිල්, මලික්, කබීර් සාකච්ඡා ඇරඹුණේ මෙම පසුබිම මධ්‍යයේය. කලින් තීරණය කරගෙන තිබූ පරිදි මලික් සහ කබීර් සජිත් පාර්ශ්වයේ යෝජනා රනිල්ට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පළමු වතාවට රනිල් මේ සියලු යෝජනාවන්ට එකඟතාව පළකිරීමය. නමුත්, තමන්ට මේ අවස්ථාවේ පක්ෂ නායකත්වය ලබාදිය නොහැකි බවද රනිල් කබීර්ටත්, මලික්ටත් දැනුම් දී සිටීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් මෙහිදී එක් විශේෂ ඉල්ලීමක් රනිල් මේ දෙදෙනාගෙන් කළේය. ඒ, ඉදිරි මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර දෙකක් තමන් වෙත ලබාදිය යුතු යැයි කියාය. ඒ හැරුණු විට වෙනත් ඉල්ලීම් ඉදිරිපත් නොකළ රනිල් නව සන්ධානයේ නායකත්වයත්, ලේකම් ධුරයත්, නාමයෝජනා මණ්ඩලයේ සභාපති ධුරයත් සජිත් පිලට ලබාදීමට එකඟතාව පළකළේය. ඉන් අනතුරුව එම සාකච්ඡාව නිමා කළ වහා කබීරුත්, මලිකුත් සජිත් පාර්ශ්වයට මේ බව දැනුම්දීමට කටයුතු කළ අතර, රනිල් කළේ ඒ වහාම කරු මුණගැසීම සඳහා බත්තරමුල්ලේ කතානායක නිල නිවෙස වෙත යෑමය.
තනියට තවත් දෙදෙනකුත්
රනිල් මේ ගමන ගියේ තනිවම නොව තවත් නියෝජිතයන් දෙදෙනකු සමඟය. ඒ කරුගේ බෑණනුවන් වූ නවීන් දිසානායකත්, රවි කරුණානායකත් සමඟය. මෙම සාකච්ඡාවේ දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පසුගිය කාලය පුරාම කරු සමඟ රනිල් කළ සාකච්ඡාවලදී නායකත්වයේ බලතල බාර දීම, නායකත්ව මණ්ඩල පිහිටුවීම, පක්ෂයට බලතල පැවරීම ආදී කරුණු ගැන සාකච්ඡා කළත්, මෙවර ඒ කිසිදු කරුණක් පිළිබඳව රනිල් සාකච්ඡා නොකිරීමය. ඒ වෙනුවට රනිල් මෙහිදී තමන් මෙතෙක් දැරූ ස්ථාවරයන් වෙනස් කොට ඍජුව කරුට සිය ස්ථාවරය පැහැදිලි කරන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව තමන් මේ අවස්ථාවේ කිසිසේත්ම නායකත්වය අත්නොහරින බවත්, සජිත්ට නායකත්වය ලබා නොදෙන බවත් කරූට කී රනිල් පක්ෂයට අලුත් නායකත්ව කණ්ඩායමක් බිහිකරන තෙක් ඊළඟ මැතිවරණය වනතුරු තමන්ට පක්ෂ නායකත්වයේ සිටීමට සිදුවන බවද දැනුම් දී සිටියේය. ඉකුත් වතාවන්හි කරු මේ සම්බන්ධයෙන් රනිල් සමග තර්ක විතර්ක කළද මෙවර කරු රනිල් සමඟ තර්ක කිරීමට නොයෑම විශේෂ සිදුවීමක් විය.
වජිර තවත් ගුලියක් අඹරයි
මේ සියල්ල අතරවාරයේ සජිත්ට එරෙහිව තවත් මෙහෙයුමක්ද රනිල්ගේ පාර්ශ්වයෙන් දියත් වෙමින් තිබිණ. ඊට මූලිකත්වය ගෙන සිටියේ වජිර අබේවර්ධනය. සඳුදා උදෑසනම රනිල් හමුවූ වජිර ඔහුට දැනුම් දී සිටියේ තමන් එදින රාත්‍රියේ කොල්ලුපිටියේ පිහිටි ‘කලබ්මු ස්විමින්ග් ක්ලබ්’හිදී එජාපයේ රනිල්ට හිතවත් කණ්ඩායමට රාත්‍රීභෝජන සංග්‍රහයක් සංවිධාන කොට ඇති බවත්, දැනටමත් ඊට සහභාගි වන බවට 52ක් තමන්ට තහවුරු කොට ඇති බවත්ය. එමෙන්ම මධ්‍යස්ථ අයද ඊට සහභාගි වන බව කියා සිටි වජිර මෙහිදී රනිල්ගේ නායකත්වය තහවුරු කර ගැනීම සඳහා යෝජනාවක් සම්මත කොට ලිපියකට අස්සන් ගැනීමටද තමන් බලාපොරොත්තු වන බව රනිල්ට දැනුම්දී සිටියේය.
වජිරගේ මෙම දැනුම්දීමත් සමඟ රනිල් වහාම කතා කළේ ලක්ෂ්මන් කිරිඇල්ලටය. එහිදී තමන්ව සවස පහට මුණගැසෙන ලෙස කිරිඇල්ලට දැනුම්දීමට රනිල් පියවර ගත්තේය. එම දැනුම්දීමට අනුව ගිය කිරිඇල්ල මතුව ඇති තත්ත්වය පිළිබඳව තම ස්ථාවරය කෙළින්ම රනිල්ට දැනුම් දී සිටීමට පියවර ගත්තේය.
කිරිඇල්ලගේ ස්ථාවරය
“අපිට මේ විදිහට මේ ප්‍රශ්නය තවදුරටත් දිගට දිගට ඇදගෙන යන්න බෑ. දැන් ආණ්ඩුවත් ජනතාව අතර අප්‍රසාදයට පත්වෙලයි ඉන්නෙ. හැබැයි මේ ප්‍රශ්නය නිසා දැනටමත් අපි ආණ්ඩුවට වඩා පිටිපස්සෙනුයි ඉන්නෙ. මේව ඔක්කොම අපි ඉක්මනටම විසඳගන්න ඕනෙ. එක්කො ඡන්දයක් තියල හරි මේ ප්‍රශ්නය විසඳගන්න” යනුවෙන් කිරිඇල්ල රනිල්ට කියද්දී රනිල්ද එම ස්ථාවරය පිළිගත් ආකාරයක් දැකගන්නට ලැබිණ.
“මම ලබන බ්‍රහස්පතින්දා වර්කින් කමිටි එක කැඳවල මේ ගැන තීන්දුවක් ගන්නයි ඉන්නෙ. වජිර මට කිව්ව අද රෑ ස්විමින්ග් ක්ලබ් එකේ මීටින් එකක් තියෙනව කියල. පනස් දෙකක් ඒකට එනව කියලත් වජිර මට කිව්ව. ඔයත් ඒකට යන්න….” යනුවෙන් රනිල් කළ දැනුම්දීමට අනුව කිරිඇල්ලද දැනුම්දී තිබූ වෙලාවට ස්විමින්ග් ක්ලබ් එකට ගියේ වජිරගේ රැස්වීමට සහභාගි වීම සඳහාය. වජිර කොළඹ පිහිටි මෙම හෝටලය සාකච්ඡාවන් සඳහා වෙන්කර ගැනීමටද එක්තරා හේතුවක් තිබිණ. ඒ, වජිර එම හෝටලයේ යාවජීව සාමාජිකයකු වීම නිසාය.
වජිරගේ 52ට වෙච්ච දෙයක්
කෙසේ වෙතත් නියමිත වෙලාව ඉකුත් වී බොහෝ වේලාවක් ගතවුවද වජිර කී ආකාරයට 52ක කණ්ඩායමක් එම සාකච්ඡාවට සහභාගි වන බවක් දැකගන්නට ලැබුණේ නැත. වරින් වර මන්ත්‍රිවරුන් එක්කෙනා දෙන්නා සාකච්ඡාවට එක්වීමෙන් පසු අවසානයේදී එහි සිටියේ 28ක කණ්ඩායමකි. ඒ අතර රනිල්ට අතිශය හිතවත් වජිර, නවීන්, ආශු, සන්දිත් සමරසිංහ, සුජිත් පෙරේරා වැනි මන්ත්‍රිවරුන් වූ අතර, රනිල්ට හිතවත් යැයි සැලකෙන රංගේ බණ්ඩාර, ලකී ජයවර්ධන ආදීන් ඊට සහභාගි වී නොසිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ පිළිබඳව පිරිස විමසද්දී සිය දිස්ත්‍රික්කවල සිටින බැවින් මෙම රැස්වීමට සහභාගි විය නොහැකි බව ඔවුන් දැනුම්දී සිටි බව වජිරගේ පැත්තෙන් කියැවිණ.
ඒ අනුව පිරිස අතර සාකච්ඡා වූයේ පක්ෂය තුළ මතුව ඇති නායකත්ව අර්බුදය විසඳන ආකාරය පිළිබඳවය. මෙහිදී නැවැත වතාවක් සිය ස්ථාවරය කෙළින්ම පැහැදිලි කළ කිරිඇල්ල කියා සිටියේ ප්‍රශ්නය විසඳීම සඳහා ඇති එකම මාර්ගය වන්නේ ඡන්දය විමසීමක් පමණක් බවත්, ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවා ඡන්ද විමසීමක් කොට ප්‍රශ්නය විසඳාගත යුතු බවත්ය. නමුත් කිරිඇල්ලගේ මේ ස්ථාවරයට වජිර කිසිසේත්ම එකඟ වූයේ නැත. වජිර කියා සිටියේ ඡන්ද පැවැත්විය නොහැකි බවත්, එසේ කළහොත් පක්ෂය බෙදීමකට ලක්වනු ඇති බවත්ය. ඒ අනුව පැමිණ සිටි බොහෝ දෙනා තම තමන්ගේ අදහස් සාකච්ඡාවට ඉදිරිපත් කරන ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
ලියුමට අත්සන් කළේ 17යි
කෙසේ වෙතත් තත්ත්වය තරමක් උණුසුම් වූයේ රනිල්ව පක්ෂ නායකත්වයේ තවදුරටත් තබාගත යුතු බවට වූ ලිපියකට අස්සන් ගැනීමට වජිර සූදානම් වීමත් සමඟය. එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ රනිල් පක්ෂ නායකයා වුවද, නව සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා යැයි කියාය. නමුත් මේ ලිපියට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අස්සන් නොකළ අතර, ගාමිණී ජයවික්‍රම කෙළින්ම කියා සිටියේ තමන් ලිපිවලට අස්සන් නොතබන බවත්, කීමට ඇති දේ කෙළින්ම ප්‍රකාශ කරන බවත්ය. එමෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල සහ රවි කරුණානායකද ඊට අස්සන් තබන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව අවසානයේදී මන්ත්‍රිවරුන් 17 දෙනකු පමණක් ලිපියට අස්සන් තැබීම හරහා රනිල්ට මන්ත්‍රිවරුන් 52ක් එකතු කර දීමේ වජිරගේ උත්සාහය ලත් තැනම ලොප් වූ ආකාරයක් දැකගන්නට ලැබිණ.
මේ ආකාරයට රනිල්, සජිත් පාර්ශ්ව වෙන වෙනම තැන් තැන්වල රැස්වෙමින් පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී රනිල්, සජිත් මුහුණට මුහුණ හමුවක් පවත්වා මෙම ප්‍රශ්නය විසඳාගත යුතු බවට යෝජනාවක්ද පක්ෂය ඇතුළේ ඒ වන විට මතුවෙමින් තිබිණ. ඊට පක්ෂව අදහස් දැක්වූ බොහෝ දෙනා සඳහන් කර සිටියේ ඒ හරහා මෙම අර්බුදය කෙසේ හෝ විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවත්, එමගින්ද ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි වුවහොත් පමණක් සජිත්ගේ නායකත්වයෙන් වෙනම සන්ධානයක් බිහිකොට මහ මැතිවරණයට තරග කිරීමට සූදානම් විය යුතු බවත්ය.
සජිත් වෙනම යන්න සියල්ල සූදානම්
ඒ අනුව සජිත්ගේ පාර්ශ්වය කිසිවකුටත් නොදැනෙන්නට අප්‍රසිද්ධියේම නව සන්ධානයක් බිහිකිරීමේ තිරය පිටුපස මෙහෙයුම දියත් කිරීමට පියවර ගත්තේය. සජිත් පිලේ ප්‍රබලයන් දෙදෙනකු ඊට මූලිකත්වය ගෙන තිබූ අතර, අලුතින් බිහිකරන සන්ධානයේ ව්‍යවස්ථාව, එහි සලකුණ සෙසු පාර්ශ්වවලට බලතල බෙදී යන ආකාරය යනාදී සියලුම කටයුතු මේ වන විටත් ඔවුන් දෙදෙනා විසින් නිමාකොට ඇති බවත්, නීතිමය වලංගුභාවය ලබාගැනීම සඳහා ඒවා ඊට අදාළ ආයතන වෙත යවා ඇති බවත් දැනගන්නට ඇත.
රනිල් සියලු එකගතා කඩයි
කෙසේ වෙතත් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය විසඳ ගැනීම සඳහා රනිල් හා සජිත් අතර තීරණාත්මක සාකච්ඡාව පැවැත්වීමට තීන්දු වූයේ පසුගිය බදාදා (29දා) සවසය. රනිල්ගේ පාර්ශ්වය සහ සජිත්ගේ පාර්ශ්වය අතර මේ වන විටත් සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වී තිබීම නිසාත්, ඒ වන විටත් නව සන්ධානයේ නායකත්වය, මහලේකම් ධුරය, නාමයෝජනා කමිටුවේ නායකත්වය ආදිය සජිත් පාර්ශ්වය වෙත ලබාදී පක්ෂ නායකත්වය පමණක් තමා සන්තකයේ තබාගැනීමට රනිල් වාචිකව එකඟතාවයක් පළ කොට තිබූ නිසාත් බොහෝ දෙනා සිතා සිටියේ රනිල් හා සජිත් අතර පැවැත්වෙන මෙම මුහුණට මුහුණ හමුවේදී සියලු ප්‍රශ්න විසඳෙනු ඇතැයි කියාය. නමුත් සාකච්ඡාවේදී සිදුවූයේ මීට හාත්පසින්ම වෙනත් සිදුවීමකි. එනම් කළින් රනිල් එකඟ වී තිබූ යෝජනා තුනෙන් මෙම සාකච්ඡාවේදී රනිල් එකඟ වූයේ පළමු යෝජනාවට පමණි. ඒ නව සන්ධානයේ නායකත්වය පමණක් සජිත්ට ලබාදිය හැකිය යන්නය. ඉතිරි යෝජනා දෙක වූ සන්ධානයේ මහලේකම් ධුරයත්, නාමයෝජනා කමිටුවේ සභාපති ධුරයත් සජිත්ගේ පාර්ශ්වයට ලබාදිය නොහැකි බව මෙහිදී රනිල් කෙළින්ම සජිත්ගේ මුහුණටම කියා සිටියේ කළින් ඇතිකරගත් සියලු එකඟතාවයන් එක්වම බිඳදමමිනි. රනිල්ගේ මෙම හදිසි වෙනස දැකීමෙන් සජිත් පුදුමයට පත්වුවද ඒ බවක් නොපෙන්වා මහත් සංයමයකින් යුතුව කියා සිටියේ එම යෝජනාවට එකඟ විය නොහැකි යැයි කියාය. එමෙන්ම කළින් ඇතිකරගත් එකඟතාවයන් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා ලෙසද සජිත් මෙහිදී රනිල්ගෙන් ඉල්ලීමක් කළේය.
කොළඹ යළිත් රනිල් අතට ගනී
නමුත් තවත් පියවරක් ඉදිරියට තබමින් එහිදී රනිල් කියා සිටියේ තමන් ඉදිරි මහ මැතිවරණයේදී යළිත් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට සූදානමින් සිටින බවකි. සජිත් ඊටද පිළිතුරු වශයෙන් කියා සිටියේ එසේ නම් අගමැති අපේක්ෂකත්වයද රනිල් විසින්ම භාරගෙන මහ මැතිවරණයේ ඡන්ද ව්‍යාපාරය දියත් කරන්න යැයි කියාය. නමුත් මීට ඍජු පිළිතුරක් නොදුන් රනිල් තමන් හෙට (බ්‍රහස්පතින්දා – 30දා) දිනයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කැඳවන බවත් එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට කටයුතු කරන බවත් කියා සිටියේය. ඒ අනුව මෙම රැස්වීම අවසන් වූයේ දෙදෙනා අතර කිසිදු එකඟතාවයකින් තොරව අර්බුදය තවත් බරපතළ අතට පෙරළමිනි.
සජිත්ට පළා බෙදනවාද
ඒ අනුව බදාදා රාත්‍රියේදී සජිත් පාර්ශ්වය වෙනම රැස්වී කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මෙම යෝජනාව පැමිණි විට ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී සියලු දෙනාම සජිත්ට කියා සිටියේ ඇතිකරගත් එකඟතාවන් කඩකරමින් රනිල් හිතුවක්කාර අයුරින් මේ ආකාරයට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී දැඩිව විරෝධය පළ කළ යුතු යැයි කියාය. එමෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම කැඳවිය යුතු බවටද මෙහිදී පිරිස යෝජනා කළේය. ඒ අනුව එම සාකච්ඡාව අවසන් වූයේ බ්‍රහස්පතින්දා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාවට දැඩිව විරෝධය පළකිරීමේ එකඟතාවයෙන් යුතුවය.
රනිල්-සජිත් ඊමේල් ගනුදෙනුවක
මීට අමතරව බදාදා රාත්‍රියේදී සජිත්ට රනිල්ගෙන් විශේෂ පණිවුඩයකින් ලැබුණු අතර ඉන් කියැවුණේ බ්‍රහස්පතින්දා දින පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත සජිත්ගේ යෝජනා තමන්ට ඊමේල් මාර්ගයෙන් ලැබෙන්නට සලස්වන්න යැයි කියාය. ඒ අනුව සජිත්ද රාත්‍රියේදී රනිල්ට ඊමේල් පණිවුඩයක් යොමු කරමින් කියා සිටියේ එජාප නායකත්වය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති නමුත්, නව සන්ධානයේ නායකත්වය, මහලේකම් ධුරය සහ නාමයෝජනා මණ්ඩලයේ ප්‍රධානත්වය තම කණ්ඩායමට හිමිවිය යුතු යැයි කියාය.
කෙසේ වෙතත් මොහොතක් යෑමට මත්තෙන් එම ඊමේල් පණිවුඩයට පිළිතුරු යොමු කර තිබුණු රනිල් නව සන්ධානයේ නායකත්වය සජිත්ට ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති නමුත්, ලේකම් ධුරය සඳහා යෝජනා කරන නාමය එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සම්මත විය යුතු බව දැනුම්දී සිටියේය. එමෙන්ම නාම යෝජනා මණ්ඩලයද එජාපය විසින් නම් කරන බව එහිදී කියා සිටි රනිල් එහි සජිත්ට අසුන්ගත හැකි බවද සිය පිළිතුර මඟින් දැනුම් දී සිටියේය. ඒ අනුව බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් මුහුණුවරක් ගන්නා ලකුණු බදාදා වන විටම පහළ කර තිබිණ.
සජිත්ගේ 4ක් දොට්ට
නමුත් බ්‍රහස්පතින්දා උදය වරුව වන විට තත්ත්වය තවත් බරපතළ අතට පෙරළෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ කිසිදු නිල දැනුම්දීමකින් තොරව කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කළ සජිත්ට හිතවත් හතරදෙනකුගේ සාමාජිකත්වය අහෝසි කිරීමට රනිල් පියවර ගෙන තිබීමත් සමඟය. එසේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය අහෝසි කර තිබුණේ සරත් ෆොන්සේකා, අජිත් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේත්, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේත්, හිටපු මන්ත්‍රි ඉමිතියාස් බකීර් මාකර්ගේත්ය. එදින උදෑසනම මෙම පුවත වාර්තා වීමත් සමඟ දැඩි කෝපයට පත්ව සිටි සජිත් පාර්ශ්වය වහාම විපක්ෂ නායක කාර්යාලයේ හදිසි රැස්වීමක් පැවැත්වීමට පියවර ගත්තේය. එහිදී සියලු දෙනාම සජිත්ට පෙන්වා දුන්නේ මේ අයුරින් රනිල් සියලු එකඟතාවන් කඩකොට කටයුතු කරන්නේ නම් තවදුරටත් රනිල් සමඟ සාකච්ඡා පවත්වා පලක් නොමැති බවත්, රනිල් මෙසේ හිතුවක්කාරීව කටයුතු කරන්නේ නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගි වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගත යුතු බවත්ය. එහිදී සියලු දෙනාම සජිත්ට පෙන්වා දුන්නේ රනිල්ගේ මේ ක්‍රියාවට විරෝධය පළ කොට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට පියවර ගත යුතු යැයි කියාය. එපමණක් නොව වහාම සජිත්ගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයක් බිහිකිරීමේ කටයුත්ත අවසන් කළ යුතු බවද එහිදී ඔවුහු සජිත්ට පෙන්වා දුන්හ. මේ අනුව සජිත්ද අවසානයේ තීන්දු කළේ මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමටය. එපමණක් නොව තමන් වෙනුවෙන් පෙනී සිට අසාධාරණයට ලක්වූ සියලුම අය සමඟ තමන් කෙළින් සිටගන්නා බවත්, ඔවුන් කිසිදු අවස්ථාවක අතරමං කිරීමට තමන් කටයුතු නොකරන බවත් සජිත් මෙහිදී ඍජුවම කියා සිටියේය.
වර්ජනය තීන්දුයි: මලික් නියෝජිතයා කරයි
කෙසේ වෙතත් මෙහිදී සජිත් පිලේ යෝජනා මෙන්ම විරෝධයද කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත දැනුම්දීම සඳහා විශේෂ නියෝජිතයකු යැවීමටද එහිදී තීන්දු විය. එම කාර්යය පැවරුණේ කලක් රනිල්ගේ සමීපතම හිතවතකු බවට පත්ව සිට මේ වන විට සජිත් සමඟ කටයුතු කරන මලික් සමරවික්‍රමටය. මලික් ඒ වන විට නුවර සිය නිවෙසේ සිටි නිසා දුරකතන පණිවුඩයක් මඟින් මෙම දැනුම්දීම සිදුකිරීමටද සජිත් පාර්ශ්වය පියවර ගත්තේය.
මංගල රනිල්ගේ සහායට එයි
ඒ අනුව බ්‍රහස්පතින්දා (30දා) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට මලික් නුවර සිට පැමිණියේ විශේෂ හෙළිකොප්ටරයකිනි. ඊට අමතරව කෘත්‍යාධිකාරී මණ්ඩලයට එදින තවත් අතිවිශේෂ පුද්ගලයකුද සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ වෙන කවුරුවත් නොව මංගල සමරවීරය. මංගල යනු පසුගිය කාලසීමාව පුරාම රනිල් සමඟ සමීපව කටයුතු කොට ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් අපේක්ෂකයා බවට පත්කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් කළ අයෙකි. නමුත් ජනාධිපතිවරණ පරාජයත් සමඟ ලන්ඩනය බලා පිටත්ව ගිය මංගල පසුගිය කාලය පුරාම ලන්ඩනයේ ගත කරමින් දීර්ඝ විවේකයක් ගැනීමට කටයුතු කළේය. නමුත් එසේ සිටි මංගල නැවැත වරක් හදිසියේම දැකගන්නට ලැබුණේ මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය. එහිදී දැකගන්නට ලැබුණු අනෙක් විශේෂත්වය වූයේ මෙසේ ලන්ඩනයේ සිට පැමිණි මංගල, රනිල් තවදුරටත් නායකත්වයේ සිටිය යුතු බවට වූ ස්ථාවරයේ සිටිමින් අදහස් දැක්වීමය. මෙම රැස්වීමට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගෙන් 58 දෙනකුගෙන් 37 දෙනකු පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි විය.
කෘත්‍යාධිකාරියේ යෝජනා මෙන්න
කෙසේ වෙතත් කළින් සැලැසුම් කළ ආකාරයටම මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රනිල් නැවැත වතාවක් නායකයා ලෙස පත්කර ගැනීමට තීන්දු විය. මීට අමතරව ඉදිරි මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය, මැතිවරණයට මුහුණදීම සඳහා පිහිටුවන පොදු සන්ධානයේ නායකත්වය සහ නාමයෝජනා මණ්ඩලයේ සභාපතිත්වය සජිත්ට ලබාදීමටත් කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කළේය. කෙසේ නමුත් නව සන්ධානයේ මහලේකම් ධුරය නම් කිරීමේ බලය සජිත්ට පැවරුවද ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාව හිමිවිය යුතු බවද එහිදී කියැවිණි. පක්ෂ මහලේකම් අකිල විසින් නිකුත් කළ නිල නිවේදනයේ දැක්වුණේද මෙම කරුණුය.
රනිල්ගෙන් සජිත්ට ආපු අමුතු ලියුම
ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නිමවූ වහා සජිත්ගේ නියෝජිතයා වූ මලික් විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සජිත් ඇතුළු කණ්ඩායම එම යෝජනා සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගත්තේය. මෙහිදී ඇතැමුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සම්මත කළ මෙම යෝජනා කිසිසේත්ම පිළිගත යුතු නැති බවත්, සජිත්ගේ නායකත්වයෙන් බිහිකරන නව සන්ධානයේ කටයුතු ඉක්මන් කළ යුතු බවත් කියා සිටියද, තවත් සමහරු කියා සිටියේ මෙම යෝජනා හරහා සජිත්ගේ ස්ථානය තහවුරු වී ඇතැයි කියාය. ඒ අනුව සියලු දෙනා එක්ව ඉදිරියට යායුතු බවද එහිදී ඔවුහු සජිත්ට පෙන්වා දුන්හ.
කෙසේ වෙතත් මෙම හමුවෙන් පසු මලික්ට නැවැත වතාවක් රනිල්ගෙන් විශේෂ පණිවුඩයක් ලැබිණ. ඒ, වහාම පැමිණ තමන්ව හමුවන්නට යැයි කියාය. ඒ අනුව බ්‍රහස්පතින්දා රාත්‍රියේ රනිල්ව හමුවීමට ගිය මලික්ට රනිල් විශේෂ ලිපියක් ලබාදීමට පියවර ගත්තේය. ඒ තමන්ගේ අස්සනද සහිතවය. සාමාන්‍යයෙන් රනිල් මේ ආකාරයට තමන්ගේ අස්සන සහිතව පෞද්ගලික ලිපි නිකුත් කරන්නේ ඉතාම කලාතුරකින් වීම නිසා මෙම ලිපිය ඉතාම විශේෂ එකක් බව මලික්ට වැටහිණ. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය මඟින් කුමක් සම්මත කළද එම ලිපියේ රනිල් තමන්ගේ අස්සන සහිතව සජිත්ට ලබාදිය හැකි බලතල කරුණු පහක් ඔස්සේ සඳහන් කිරීමට පියවර ගෙන තිබිණ. එමෙන්ම එහි ඇතැම් තැන් සිය අත්අකුරින්ම සංශෝධනය කොට තවත් අලුතෙන් වගන්ති එක්කිරීමටද එහිදී රනිල් පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය.
කරුණු 5 මෙන්න
ඒ අනුව එහි පළමු කරුණින් දැක්වුණේ එජාපය වෙනුවෙන් සජිත් නව සන්ධානයේ නායකත්වය දරනු ඇති බවය. එම සන්ධානයේ තීන්දු තීරණ ගන්නා ව්‍යුහය තුළ සජිත් සහ එජාප නියෝජිතයන් බහුතරය සිටිනු ඇති බවද එම වගන්තියේ දැක්විණ.
දෙවන කරුණින් දැක්වුණේ සජිත් සහ අනෙක් පක්ෂ නියෝජිතයන් සන්ධානය පිළිබඳව සාකච්ඡා කොට ඒ තොරතුරු කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත වාර්තා කළ යුතු බවය.
තුන්වැනි කරුණින් දැක්වුණේ සන්ධානයේ මහලේකම් ධුරය සජිත් විසින් නම් කළ යුතු බවකි. ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හෝ එකඟතාව හිමිවිය යුතු බවද එහි සඳහන්ය. නමුත් ඊට යම් සංශෝධනයක් එක්කිරීමට රනිල් පියවර ගෙන තිබිණ.
හතරවැනි කරුණින් දැක්වුණේ සජිත්ගේ සභාපතිත්වයෙන් යුතුව නාමයෝජනා මණ්ඩලය පවතින බවත්, අනෙකුත් තනතුරු දරන්නන්ද ඊට ඇතුළත් බවත්ය.
පස්වැනි කරුණින් දැක්වුණේ උපදේශක කමිටුව නව ආසන සංවිධායකවරුන් පිළිබඳව තීන්දුව ගැනීමට පෙර රනිල් සහ සජිත් යන දෙදෙනාම එම පත්කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවත්ය.
මේ ආකාරයට රනිල්ගේ ලිපියත් සමඟ පැමිණි මලික් රාත්‍රියේම ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා කිරීමට පියවර ගත් ආකාරයක්ද දැකගන්නට තිබිණ.
කපිල පුංචිමාන්නගේ