රණසිංහ ප්‍රේමදාස ඝාතනය වූ මැයි මාසයේ පැවැති හදිසි නීති විවාදයේදී එවකට ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැති ඒ.ජේ. රණසිංහ පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කීවේය. ඔහු කීවේ ප්‍රේමදාස ඝාතනය වූ දිනයේ රාත්‍රියේ කොළඹ හතේ රොස්මිඞ් පෙදෙසේ නිවෙසක ෂැම්පේන් සාදයක් තිබුණා යැයි කියාය. එම නිවෙසේ එක්තරා පවුලක් රටේ නායකයා මහ මඟ ඝාතනය වූ විට ෂැම්පේන් බී පාටි දැමීමට තරම් අශීලාචාර වීම ගැන තමා කනගාටු වෙනවා යැයි ඔහු කීවේය. ඒ.ජේ. රණසිංහ ඒ කීවේ බණ්ඩාරනායකලා ගැනය. බණ්ඩාරනායකලා පමණක් නොව ශ්‍රීලනිප පාක්ෂිකයෝද එදා රතිඤ්ඤා පත්තු කළහ. ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය එය වාර්තා කළේ ලංකාවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය වූ දින දකුණේ රතිඤ්ඤා පත්තු වුණා කියාය. එදා බණ්ඩාරනායකවරු ෂැම්පේන් බීවේත්, ශ්‍රීලනිප පාක්ෂිකයන් රතිඤ්ඤා පත්තු කළේත් ප්‍රේමදාස ජීවත්ව සිටියා නම් තමන්ට කවදාවත් ඔළුව උස්සන්න බැරි බව ඔවුන් දැන සිටි නිසාය. ප්‍රේමදාස ඝාතනය වී වසරක් සම්පූර්ණ වුණි. 1994 මැයි රැලියේදී ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදුජන පෙරමුණ කැම්බල් පිටියේ පෙළපාළි ගියේ බාබුගේ රූපයක් හදා ඒ රූපයට මල් මාලයක් තබා පහන් පත්තු කර “බාබු බුදුවේවා” කියා කෑගසමින්ය. බාබු යනු ප්‍රේමදාසව ඝාතනය කළ මරාගෙන මැරෙන කොටි බෝම්බකරුගේ නමය. බණ්ඩාරනායකලාටත් ශ්‍රීලනිපයටත් වාමාංශිකයන්ටත් ප්‍රේමදාස ගැන තිබුණේ පුදුම වෛරයකි. හේතුව යූ.ඇන්.පී.ය ධනපති පන්තියේ පක්ෂයක් කියා, ඇති උන්ගේ පක්ෂයක් කියා ශ්‍රීලනිපය ඇතුළු වාමාංශිකයන් ගහපු හංවඩුව ප්‍රේමදාස මකල දැම්ම නිසාය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීලනිපය පිහිටුවමින් රටේ දේශපාලනය ඉරකින් වෙන් කළේය. ඔහු යූ.ඇන්.පී.ය ධනපතියන්ගේ, ඇති උන්ගේ පක්ෂය යැයි වෙන් කළේය. ශ්‍රීලනිපය නිර්ධන පන්තියේ, නැති උන්ගේ පක්ෂය කියා වෙන් කළේය. 1977දී මේ ඉර මැකුවේ ප්‍රේමදාසය. ඔහු කීවේ ශ්‍රීලනිපය රදලයන්ගේ වලව්කාරයන්ගේ පක්ෂය, යූ.ඇන්.පී.ය පොදුජනයාගේ පක්ෂය යැයි කියාය. ඔහු ශ්‍රීලනිපයේ ධනපති පන්තියට එරෙහි නිර්ධනයන්ගේ සටන වෙනස් කළේ යූ.ඇන්.පී.යේ වලව්වාදයට රදලවාදයට එරෙහි පොදු ජනතාවගේ සටන ලෙසය. මෙය ඉවසාගත නොහැකිව අනුර බණ්ඩාරනායක ප්‍රේමදාසට පහත් වචනවලින් ගැහුවේය. 1977 පාර්ලිමේන්තුවේදී ප්‍රේමදාස ඒවාට උත්තර දුන්නේ මෙසේය.
“වලව්වක කටු ඔටුන්න හිමි කුමාරයෙක් මම කෙහෙල්වත්තේ ලවරියා වික්ක කොල්ලෙක් කීවා. මම මේ එයාට කියන්නේ. මම මේ කතා කරන්නේ කෙහෙල්වත්තේ ලැවරියා වික්ක කොල්ලා තමයි. කෙහෙල්වත්තේ ලැවරියා විකුණන්න මට ලැබුණා නම් ඒක මගේ වාසනාවක්. මට ආඩම්බරයක්. මම ඒ කුමාරයාට කියන්න කැමැතියි මම දවසක අත්තනගල්ලේ ඔය කුමාරයාගේ මාලිගය බිමට සමතලා කරලා එතැන උදාගමක් හදනවා කියන එක. ඒගොල්ලෝ පහත් කියල සලකන මුඩුක්කුවල ජීවත්වන මිනිස්සු ගෙනැල්ලා ඒ උදාගමේ පදිංචි කරනවා….”
ප්‍රේමදාස මේ වගේ කතාවලින් සාමාන්‍ය ජනතාව අතර කුල පීඩිත ජනතාව අතර ගම්වල ජනතාව අතර බණ්ඩාරනායක විරෝධයක් ශ්‍රීලනිප විරෝධයක් ගොඩනැඟුවේය. ජේ.ආර්. 1988 ජනාධිපතිවරණයට ප්‍රේමදාසව නම් කළේ මේ විරෝධය පාවිච්චි කොට යූ.ඇන්.පී.ය දිනවන්නටය. ජේ.ආර්.ගේ ගේම වැඩකළේය. තරගයට එන්නේ තමාටත් තම පවුලටත් අපහාස උපහාස කළ තමාවත් තම පවුලවත් දේශපාලනයෙන් ඉවත් කරන්න දරදිය ඇද්ද කුලයෙන් පීඩිත පන්තිය නියෝජනය කළ ප්‍රේමදාස බව දැනගත් විට මැතිනිය හොල්මන් විය. ඔහුගේ අතින් පරාජය වීම ඇය ඉවසුවේ නැත. ඇයගේ සෞඛ්‍ය පිරිහී ඇය රෝද පුටුවට වැටුණේ ඒ පරාජය විඳදරා ගන්න බැරිවය.
ප්‍රේමදාසගේ ඒ ජයග්‍රහණය ලෝක මාධ්‍ය වාර්තා කළේත් රදලයන් පරාජය කොට පොඩි මිනිහෙකු ලබපු ජයග්‍රහණයක් ලෙසය. 1988 දෙසැම්බර් 21 නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ප්‍රේමදාසගේ ජයග්‍රහණය වාර්තා කළේ මෙසේය.
“දුප්පත් කොල්ලෙක් වූ රණසිංහ ප්‍රේමදාස නාගරික කම්කරු ව්‍යාපාරය හරහා රදලයන් ආධිපත්‍ය දරපු දේශපාලනයේ ඉහළටම පැමිණ ජනාධිපති ධුරයට පත්වී තිබේ. ඔහු ඉපදුණේ කොළඹ මුඩුක්කු පෙදෙසකය. ඔහුගේ පවුල පැවැත ආවේ ලංකාවේ පීඩිත කුලයකින්ය. ඉන්දියාවේ තරම් සාක්ෂරතාව අතින් පොහොසත් ලංකාවේ කුල පීඩනය දරුණු නැති වුණත් ඉඩම් හිමි රදලයන් පාලනය කළ දේශපාලනයට ප්‍රේමදාස පිටතින් ආ අයෙක් විය…”
ඉන්දියා ටුඬේ 1989 ජනවාරි 15 වාර්තා කළේ වසර 2,500ක ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ඉඩම් හිමි ගොවිගම ප්‍රභූවරු පාලනය කළ ලංකාවේ පීඩිත කුලයක අයකු ජනාධිපති වී ඇති බවය.
ප්‍රේමදාස රට තුළත් ජාත්‍යන්තරය තුළත් හදාගත් මේ දුප්පතාගේ හිතවතා ප්‍රතිරූපයට හානි කරන්න බණ්ඩාරනායකවරුන්ට සහ ශ්‍රීලනිපයට දුෂ්කර විය. ප්‍රේමදාස මානසික ලෙඩෙක් යැයි කියා ඔහු ජනාධිපති ධුරය දරන්න නුසුදුසු බව දක්වමින් ශ්‍රීලනිපය එජාපයේ ප්‍රභූ පන්තිය නියෝජනය කළ ලලිත් සහ ගාමිණී සමග දෝෂාභියෝගයක් ගෙන ආවේ ප්‍රේමදාසගේ ප්‍රතිරූපය කඩා බිඳදමන්නටය. එවකට ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු වූ මහින්ද රාජපක්ෂ ප්‍රේමදාසට එරෙහිව කතරගමට පාද යාත්‍රාවක් සංවිධාන කළේය.
ශ්‍රීලනිපය තුළ ප්‍රේමදාසට වැඩි වශයෙන්ම අපහාස කළේ ඔහුය. වරක් ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රේමදාස නිරුවතින් කන්‍යාවන් හත් දෙනකු ලවා කිරි කළ හතකින් නාන්න ගොස් රහස් ප්‍රදේශයට බඹරෙක් ඇන්නාය කියමින් ප්‍රේමදාසව සමච්චලයට ලක් කළේය. ප්‍රේමදාස භංග වේවා කියා භීෂණ කාලයේ අතුරුදන් වූ දරුවන්ගේ මවුවරුන් ලවා කතරගම දේවාලයේ පොල් ගැස්සුවෙත් ඔහුය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියට ගොස් ප්‍රේමදාස මිනී මරනවා කියා ඔහුගේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානි කළේත් මහින්දය.
එහෙත් ප්‍රේමදාස මේ කිසිවකින් සැලුණේ නැත. ඔහු කීවේ දෝෂාභියෝගය රදල වංශක්කාරයන්ගේ කුමන්ත්‍රණයක් කියාය. බණ්ඩාරනායකවරුන්ට, ශ්‍රීලනිපයට, වාමාංශිකයන්ට, එජාපයේ ප්‍රභූවරුන්ට ඔහුගේ ප්‍රතිරූපය විනාශ කිරීම අසීරු විය. අවසානයේ ඒ වැඬේට අතගැහුවේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. ඒ හේතු දෙකක් නිසාය. පළමුවැන්න ප්‍රභාකරන්ගේ වම් අත ලෙස ප්‍රකට කිට්ටු මහ මුහුද මැද මරාදැමීමට ඉන්දියාව සමඟ එක්ව සැලසුම් කිරීමය. දෙවැන්න ප්‍රභාකරන්ගේ දකුණු අත වන් එල්.ටී.ටී.ඊ.යේ නියෝජ්‍ය නායක මහත්තයා සහ ප්‍රභාකරන් බිඳවීමය. ප්‍රේමදාස, මහත්තයාව අල්ලා ගත්තේ සාම සාකච්ඡා සමයේය. මමත් ඔබ වගේම පුංචි පන්තියෙන් ආ අයෙක් යැයි කියා ප්‍රේමදාස මහත්තයා සමග රහසේ සම්බන්ධතාවක් ගොඩනඟාගෙන මහත්තයාව ප්‍රභාකරන්ට එරෙහිව පාවිච්චි කළේය. පොට්ටු අම්මාන්ගේ ඔත්තු සේවය මෙය වාර්තා කළ විගස ප්‍රභාකරන් මහත්තයාව හිරකොට ප්‍රේමදාසව ඉවර කරන්න සැලසුම් කළේය. ඒ ප්‍රේමදාසගේ අංක එකේ හතුරා වූ ලලිත් ඇතුලත්මුදලිව පළමුව ඝාතනය කොට එය ප්‍රේමදාස කළ වැඩක් සේ පෙන්නා ප්‍රේමදාසව ඝාතනය කිරීමෙන්ය. රන්ජන් විජේරත්න, ඊට පෙර නාවික හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් විජය විමලරත්න, ඩෙන්සිල් කොබ්බෑකඩුව ප්‍රභාකරන් විසින් ඝාතනය කළ විට බණ්ඩාරනායකවරු සහ රාජපක්ෂවරු ඇතුළු ශ්‍රීලනිපය කීවේ මේ ඝාතන කලේ ප්‍රේමදාස කියාය. ප්‍රභාකරන්ගේ ඉලක්කය හරි ගියේය. ලලිත් ඝාතනය ප්‍රයෝජනයට ගෙන බණ්ඩාරනායකවරු ශ්‍රීලනිපය සහ ගාමිණී ඇතුළු එජාපයේ ප්‍රභූවරු ප්‍රේමදාසගේ ප්‍රතිරූපයට දැඩි සේ හානි කළහ. එයින් කම්පනයට පත් වූ ප්‍රේමදාස, ඝාතනය වීමට පෙර කතා කළ අවසන් රැස්වීමේදී මෙසේ කීවේය.
“සත්‍ය කවදා හරි ජය ගන්නවා. කවදාවත් අපට අයුක්තියක් අසාධාරණයක් කළ අයට හොඳක් නම් වෙලා නැති බව අපි දන්නවා. මාව නැති කරන්න අද ඊයේ නෙවෙයි ඔයගොල්ලො උත්සාහ කළේ. මම තමුන්නාස්සේලා අතරින් මතුවෙච්ච සාමාන්‍ය පුද්ගලයෙක් බව තමුන්නාන්සේලා දන්නවා. මේ රට රදලයන්ට යටවෙලා තිබුණේ. ඒ යටවීම මම නවත්වපු බව තමුන්නාන්සේලා දන්නවා. ඒකට ඊර්ෂ්‍යා කරනවා. කරුණාකරලා මා එක්ක අමනාපයක් තියෙනවා නම් මගේ ශරීරයට වෙඩි තියල මාගේ ජීවිතය නැති කළාට කමක් නැහැ. මම කුඩා කාලයේ ඉඳලා ආරක්ෂා කරගත්ත මාගේ චරිතය ඝාතනය කරන්න එපා කියලයි මම ඒ උදවියට කියන්නේ. සත්‍ය කවදා නමුත් එළිවෙයි…”
මේ ඔහුගේ අවසාන වචනය. පසු දින ප්‍රේමදාස ඝාතනය විය. හැමෝම හිතුවේ බෝම්බය පුපුරා ගිය විට ප්‍රේමදාසගේ ආරක්ෂකයෝ ඔහුව ආරක්ෂිත ස්ථානයකට ගෙන ගියා කියාය. රටේ රාජ්‍ය නායකයා විනාඩි කිහිපයකට අතුරුදන්ව සිටියේය. මහ ඉස්පිරිතාලේ මෝචරියේදී අත් ඔරලෝසුවෙන් ප්‍රේමදාසව හඳුනාගත්තේ දොස්තර ජයලත් ජයවර්ධනය.
ප්‍රේමදාස ඝාතනය වෙලාත් බණ්ඩාරනායකවරු රාජපක්ෂවරු ඇතුළු ශ්‍රීලනිපය ඔහුගේ නාමයට සැනසීමක් දුන්නේ නැත. ලලිත් ඝාතනයේ අප්‍රසාදය වහගන්න ප්‍රේමදාසම අනුකම්පා බෝම්බයක් පුපුරුවා ගත් බවත්, වැඬේ වැරැදී ප්‍රේමදාස ඝාතනය වූ බවත් ඔවුහු කීහ. ඒ, මීට වසර 26කට පෙරය. අද ඒ රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටී. සජිත්ව එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කරන්න එජාපය උසිගැන්වූයේ එදා රණසිංහ ප්‍රේමදාස ඝාතනය වූ වෙලාවේ රතිඤ්ඤා පත්තු කරපු ශ්‍රීලනිපය සහ එහි නායකයාය. අද සජිත් දිනවන්න ශ්‍රීලනිප ඡන්ද අරන් දෙන්න වැඩ කරන්නේ රණසිංහ ප්‍රේමදාසගේ චරිතය ඝාතනය කළ රදල බණ්ඩාරනායක පවුලේ මද්දුම දෝණි චන්ද්‍රිකාය. ප්‍රේමදාස මැයි පෙළපාලිය මැද ලේන්සුවක් වනා තමාම බෝම්බය පුපුරවා ගත්තා යැයි ලියපු ප්‍රේමදාස සහ ප්‍රේමදාස පවුලට එරෙහිව නිර්දය ලෙස පහර ගහපු වික්ටර් අයිවන් ඇතුළු විකල්ප පත්‍ර කරතෘවරු, ප්‍රේමදාස විරෝධය රට පුරා අවුලපු රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන අද සජිත් දිනවන්න සජිත් වටා එක් වී සිටී. අද සජිත් සටන් වදින්නේ ප්‍රේමදාසට වැඩියෙන්ම ගහපු රාජපක්ෂ පවුලට එරෙහිවය.
“සත්‍ය කවදා හෝ ජයගනී…”
ප්‍රේමදාස මියයන්න පැය කිහිපයකට කලින් කීවේ නිකම්ම නොවේ. 24-03-2011 දින ගුරුදා විග්‍රහයේ පලවූ ලිපියක මෙසේ සඳහන් විය.
“ප්‍රේමදාස ඝාතනය වෙන්න ටික කලකට කලින් ඔහු ජ්‍යොතිෂ උපදෙස් ගන්නා මහා සංඝයාවහන්සේ නමක් මහ රෑ ගෙන්වා ගත්තේ ප්‍රේමදාසට තදබල අපල කාලයක් එන නිසා පරෙස්සම් වෙන්න යැයි හාමුදුරුවෝ පණිවුඩයක් එවා තිබුණු නිසාය.
“හාමුදුරුවනේ මොකද මම කරන්න ඕනෑ…” ප්‍රේමදාස ඇහුවේය.
“මහත්තයෝ අපල කාලෙට රජකම දමල ගිහින් කැලේ වැදිලා බණ භාවනා කළ රජවරු ඉතිහාසයේ හිටියා” හාමුදුරුවෝ කීහ.
“ඉතින් ඔබවහන්සේ මට කියන්නේ තපස් රකින්න කියලද?” ප්‍රේමදාස ඇහුවේය.
“නැහැ, මේ කාලේ කරන්න ඕනෑ රජකම දමල ගහල විදේශගත වෙන එක. ජීවිතය බේරාගන්න පුළුවන් එකම ක්‍රමය ඒකයි…” හාමුදුරුවෝ කීහ.
“මම රජකම දමල ගියොත් මගේ හතුරෝ දිනුවා වෙනවානේ හාමුදුරුවනේ…” ප්‍රේමදාස කීවේ කෝපයෙන්ය.
“මම කිව්වේ ජීවිතය බේරාගන්න ක්‍රමයක්. දැන් රජකම දමල ගියොත් තව අවුරුදු 20කින් මිනිස්සු දෝලාව කරේ තියාගෙන එයි රජකමට ගෙන යන්න. ඒ දවසට රටම ප්‍රේමදාස කෙනෙක්ව ඉල්ලනවා…”
මේ එදා ඒ හාමුදුරුවෝ ප්‍රේමදාසට කී වචනය. ඒත් ප්‍රේමදාස ඒ උපදෙස් පිළිපැද්දේ නැත.”
2019 නොවැම්බර් 16ට ප්‍රේමදාස ඝාතනයවී හරියටම වසර 26කි. දැන් යළිත් ප්‍රේමදාස කෙනෙක් ඉල්ලන්න පටන් ගෙන තිබේ.
උපුල් ජෝශප් ප්‍රනාන්දු