තීරණාත්මක ජනාධිපතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ හරියටම සති දෙකක කාලසීමාවකි. තවමත් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න කල්තියා කීමට නොහැක්කේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ ගෝඨාභය රාජපක්ෂ මහතාත්, සජිත් ප්‍රේමදාස මහතාත් අතර කරට කර සටනක් මේ වනවිට මතුව තිබීම නිසාය. ඒ අනුව බොහෝ දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ එළැඹෙන මේ අවසන් සති දෙක ඇතුළත ප්‍රධාන අපේක්ෂයක් දෙදෙනා වන ගෝඨාත් සජිතුත් කරන කියන දෑ හා පෙන්වීමට නියමත ‘මැජික්’ අනුව ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීරණය වනු ඇතැයි කියාය. මෙම අවසන් සති දෙක ඇතුළත බොහෝ අපේක්ෂකයන් කට වරද්දා ගැනීම්, වැඩ වරද්දා ගැනීම් සහ සම්පූර්ණයෙන්ම අනා ගැනීම් සිදුකිරීම නිසා දේශපාලන විශ්ලේෂකයන් කියා සිටින්නේ ජනාධිපතිවරණ ජයග්‍රහණයේ තීරණාත්මක දින කිහිපය මේ යැයි කියාය.
මෛත්‍රී ගෝඨාටද- සජිත්ටද?
කෙසේ වෙතත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු බොහෝ දෙනකු බලා සිටියේ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහාය කුමන අපේක්ෂකයාට හිමිවනු ඇතිදැයි කියාය. මෛත්‍රිගේ පාර්ශ්වයෙන් කියැවුණේ කිසිදු අපේක්ෂකයකුට සහාය නොදී මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව සිටිනු ඇති බවකි. ඒ බව තහවුරු කරමින්දෝ එක්වරම මෛත්‍රිගේ පැත්තෙන් ජනාධිපතිවරණ සටන මැද්දේ දින 7ක ජපන් සංචාරයක ජනාධිපතිවරයා නිරත වන බවක් කියැවිණ. මෙය ඉතා රහසිගත කාරණයක් ලෙස අවසන් මොහොත තෙක් තබාගෙන සිටියද එම පුවත පළමුවරට අපි www.mawratanews.lk වෙබ් අඩවිය ඔස්සේ රටට අනාවරණය කිරීමට කටයුතු කළෙමු. මෛත්‍රි ජපන් සංචාරයක නිරත වීමට සිටින බවක් මුළු රටම දැනගත්තේද අප එම පුවත විශේෂ පුවතක් ලෙස අප වෙබ් අඩවියේ පළකිරීමත් සමඟය. මෛත්‍රි මෙම ජපන් ගමන අවසන් මොහොත තෙක් කෙතරම් රහසිගතව තබාගත්තාද කියනවා නම් අවම වශයෙන් ජනපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් පවා මෛත්‍රිගේ මේ ජපන් ගමන ගැන කිසිවක් දැන සිටියේ නැත. එමෙන්ම මෛත්‍රිගේ ජපන් ගමනට ජනාධිපති මාධ්‍ය ඒකකයේ කිසිදු නිලධාරියකු සහභාගි වී නොසිටි අතර, ඊට සහභාගි වී සිටියේ ජනපති බිරියත්, මෛත්‍රිගේ ළඟම හිතවතුනුත් පමණක් වීමද විශේෂත්වයක් වී තිබිණ.
ජපන් ඉදන් මෛත්‍රී හොරෙන්ම සිංගප්පූරු ගියේ ඇයි?
කෙසේ වෙතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මෛත්‍රිගේ ජපන් ගමනේ තවත් රහසක් හෙළිදරව් කිරීමට සූදානම්ය. ඒ මෛත්‍රි ජපානයේ සිට ඉන් අනතුරුව සිදුකළ සිංගප්පූරු සංචාරයක් පිළිබඳවය. මෛත්‍රි ලංකාවෙන් පිටව යද්දී මාධ්‍යයට දැනුම්දී තිබුණේ ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගි වීමට යන බවත්, දින හතක කාලයක් මෛත්‍රි ඒ වෙනුවෙන් ජපානයේ රැඳී සිටිනු ඇති බවත්ය. නමුත් ඇත්ත වශයෙන්ම සිදුවූයේ දින 7ම මෛත්‍රි ජපානයේ ගතකිරීම නොව, දින හතරක් ජපානයේ ගතකොට ඉතිරි දින තුන සිංගප්පූරුවේ ගතකිරීමය. මෛත්‍රිගේ එම සිංගප්පූරු ගමන ඉතා රහසිගතව සිදුකෙරුණු අතර ඒ පිළිබඳව අවම වශයෙන් මෙරට කිසිවකුත් දැන නොසිටීමද විශේෂ කාරණයක් විය.
මේ ආකාරයටම පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදීද මෙවැනිම සිදුවීමක් වී තිබිණ. එහිදීද මෛත්‍රි දින කිහිපයක සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්වන බවක් මාධ්‍යයට නිකුත් කර තිබූ නිවේදනයෙන් කියැවිණ. එම ඉන්දීය සංචාරයේදී මෛත්‍රී තිරුපති වන්දනාවේ ගොස් තිබූ අතර තිරුපති ගමනේ ඡායාරූපද එවකට ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබිණ. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සිදුවූයේ මෛත්‍රි මෙසේ ඉන්දීය සංචාරයේ යෙදී සිටින අතරතුරදීය. ඒ අනුව බොහෝ දෙනා මෛත්‍රි ඉන්දියාවේ සිට වහාම ලංකාව බලා පැමිණෙනු ඇති බවක් සිතා සිටියද එය එසේ වන බවක් දැකගන්නට නොලැබිණි. ඊට හේතුව සොයා බලද්දී සියලු දෙනාටම දැනගන්නට ලැබුණේ ඉන්දීය සංචාරය නිමා කර මෛත්‍රී කිසිවකුටත් නොකියා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවකි. ඉන්දියාව බලා පිටත්ව ගිය බවක් රටටම කියා තිබියදී මෛත්‍රි එසේ කාටවත් නොකියා හොර රහසේම සිංගප්පූරුව බලා පිටත්ව ගියේ ඇයි, කුමන කාරණයක් සඳහාද, එසේ සිංගප්පූරු ගිහින් කළේ කුමන කටයුත්තක්ද, එය නිල කාර්යයක්ද, එසේත් නැතිනම් පෞද්ගලික කාරණයක්ද යන කරුණු අදටත් ඇත්තේ පිළිතුරු නොමැති ප්‍රශ්න ලෙසටය. ඒ ආකාරයටම මෛත්‍රිගේ මෙවර ජපන් සංචාරයෙන් පසුව සිදුකළ සිංගප්පූරු ගමන පිළිබඳවද ඇත්තේ පිළිතුරු නොමැති ප්‍රශ්න ගොන්නකි.
දයාසිරි මෛත්‍රීට දාපු නෝන්ඩිය
කෙසේ වෙතත් සිංගප්පූරුවේ සිටින අතරතුර පවා මෛත්‍රි මෙරට දේශපාලන තත්ත්වය පිළිබඳව කිසියම් විපරමක යෙදී සිටීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව සිංගප්පූරුවේ සිටියදීම පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වරක් දුරකතනයෙන් කතා කළ මෛත්‍රි ලංකාවේ දේශපාලන තත්ත්වය පිළිබඳව ඔහුගෙන් විමසා සිටීමට කටයුතු කළේය. ජනාධිපතිවරණ සටන පිළිබඳවත්, ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර ඇතිකරගත් සන්ධානයෙන් පසුව දේශපාලන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳවත් කෙටි විස්තරයක් එහිදී මෛත්‍රිට කළ දයාසිරි තවත් එක් ප්‍රශ්නයක්ද මෛත්‍රිගෙන් විමසා සිටීමට කටයුතු කළේය. ඒ, නැවැත ලංකාවට පැමිණීමෙන් පසුව මෛත්‍රි සිදුකරන්නට යන දේ පිළිබඳවය. එහිදී සිනාසෙන ගමන්ම පිළිතුරු දුන් මෛත්‍රි කියා සිටියේ තවම ඒ පිළිබඳව අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත්, පවතින තත්ත්වය හොඳින් විශ්ලේෂණය කර සිදුකළ යුතු දේ පිළිබඳව තීන්දුවක් ගත යුතු බවත්ය. එහිදී මෛත්‍රි දුන් උත්තරයට සිනාසෙන ගමන්ම නැවත පිළිතුරු දෙමින් දයාසිරි ඉතා වැදගත් කාරණයක් යාප්පුවෙන් මෙන් මෛත්‍රිට කියා සිටීමට කටයුතු කළේය.
“අනේ සර් මම එකක් කියන්නම්… පහුගිය ඡන්ද කාලවල වගේ මේ පාරත් ඇවිල්ල ‘සප්‍රයිස්’ නම් දෙන්න යන්න එපා. අපි දැන් මේ බොහොම අමාරුවෙන් කැම්පේන් එක ගැටගහගෙන යනවා” යන්න දයාසිරි එහිදී දුන් උත්තරය විය. දයාසිරි සිනාසෙන ගමන් විහිළුවට මෙන් දුන් මේ උත්තරයට මෛත්‍රි වැඩිදුර උත්තර දෙන ආකාරයක් නම් දැකගන්නට ලැබුණේ නැත.
කේලමකුත් කනේ තියයි
මීට අමතරව දයාසිරි තවත් කතාවක්ද මෛත්‍රිගේ කනේ තැබීමට එහිදී කටයුතු කළේය. ඒ, චන්ද්‍රිකා සහ වෙල්ගම එක්ව සිදුකරන්නට යන කටයුත්තක් පිළිබඳවය.
“චන්ද්‍රිකයි, වෙල්ගමයි එකතුවෙලා 05 වැනිදා සුගතදාසයේ ලොකු ෂෝ එකක් තියන්න යනවා. මේක පිටිපස්සෙ ඉන්නෙ මංගලයි, එයාගෙ ලේකම්වරයෙකුයි කියලයි ආරංචිය. දැනටමත් මේ අය අපේ සංවිධායකවරුන්ට ලියුම් යවලත් තියෙනවා” යන්න දයාසිරි එසේ මෛත්‍රිට කියද්දී චන්ද්‍රිකාට පමණක් නොව මහින්දටද බැනවදින ගමන් මෛත්‍රි කියා සිටියේ “මම ඔය ගෑනිට පක්ෂය කඩන්න දෙන්නෙ නෑ. මම ආවම ඕක ගැන බලාගන්නම්. ඔය ඔක්කොටම මම හොඳ පාඩමක් උගන්වනවා” යැයි කියාය.
බැසිල් ශ්‍රීලනිපය නෙළුම් මාවතට කැදවයි
කෙසේ වෙතත් ජපාන සහ සිංගප්පූරු සංචාර නිමවා මෛත්‍රි යළි ලංකාවට පැමිණෙන විට පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් තමන් යටතට ගැනීම සඳහා වැඩපිළිවෙළ කිහිපයක්ම දියත්කොට තිබිණ. ඉන් එක් වැඩපිළිවෙළක් වූයේ ශ්‍රීලනිපයත්, පොහොට්ටුවත් එක්ව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු දියත් කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා බැසිල් විසින් සියලුම ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයට කැඳවා තිබීමය.
අමරවීරගේ ගෙදරට බැසිල්ගේ සල්ලි
දෙවැන්න ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කිරීම සඳහා බැසිල් විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේදී ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට මුදල් බෙදාදෙනු ලැබීමය. තුන්වැන්න වූයේ මෛත්‍රි ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ඉරිදා දිනයේ නෙලුම් පොකුණ රඟහලේ පැවැති පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙවර ජනාධිපතිවරණය මහමැතිවරණයක් පැවැත්වීම සඳහා මතය ප්‍රකාශ කරන මැතිවරණයක් බවට පත්කරගන්නා ලෙසට විශේෂ ප්‍රකාශයක් කර තිබීමය. මේ සිදුවීම් තුනම හරහා මෛත්‍රි ලංකාවට එන විට ශ්‍රීලනිපය ඇතුළේ මතුව තිබුණේ විශාල කලබැගෑනියකි. විශේෂයෙන්ම ශ්‍රීලනිප සංවිධායකවරුන් සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයට කැඳවා තිබීමත්, අමරවීරගේ නිවෙසේදී පෙළක් මැති ඇමැතිවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට මුදල් බෙදාදීම පිළිබඳවත් දයාසිරි ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් රැසක්ම සිටියේ විශාල කලබලයකට පත්වය. විශේෂයෙන්ම දුමින්ද දිසානායකද මේ සම්බන්ධයෙන් සිටියේ තරමක් කළකිරීමකට පත්වය. එමෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයේදී හදිසි මහ මැතිවරණයක් පිළිබඳව මහින්ද කළ ප්‍රකාශය දුමින්ද ඇතුළු කණ්ඩායමේ දැඩි විවේචනයටද ලක්ව තිබිණ. ඔවුන් පෙන්වා දී තිබුණේ මේ මොහොතේ කිසිවතුත් හදිසි මහ මැතිවරණයකට යෑමට සූදානමක් නැති නිසා මහින්ද කළ එම ප්‍රකාශය දෙපාර්ශ්වය අතර ගොඩනැගී ඇති සම්බන්ධය පලුදු කරවීමට සමත්ව ඇතැයි කියාය. මේ නිසා සියල්ලන්ටම මහින්දගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් පොහොට්ටුවේ පාර්ශ්වයෙන් අවශ්‍ය වී තිබිණ. ඒ අනුව ඔවුන්ට එම අවස්ථාව උදාවූයේ අමරවීරගේ නිවෙසේ පැවැති ආසන සංවිධායකවරුන්ට මුදල් ලබාදීමේ අවස්ථාවය. එහිදී ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් මේ පිළිබඳව බැසිල්ගෙන් දැඩිව විමසද්දී දෙපැත්තටම නැති උත්තරයක් ලබාදී බැසිල් ඉන් ගැලවී යන ආකාරයක් දැකගන්නට ලැබිණ.
බැසිල් ප්‍රශ්නයෙන් ලිස්සා යයි
“ඒක අපි කවුරුවත් සාකච්ඡා කරල ගත්ත තීන්දුවක් නෙමෙයි. හිටපු ජනාධිපතිතුමා ඔය නිකන් කියන්න ඇති මහ මැතිවරණයක් තියෙන්න අපිට ‘මැන්ඬේට්’ එකක් දෙන්න කියල. ඒකට එච්චර කලබල වෙන්න දෙයක් නෑ. පාර්ලිමේන්තුව විසුරුවා හරිනව නම් අපිට තුනෙන් දෙකක් ඕනෙ කරනවා. එහෙම බලයක් අපිට මේ වෙලාවෙ හදාගන්න බැහැනෙ. එහෙම තිබ්බ නම් අපි ඉතින් විසුරුවා හැරල මහ ඡන්දෙකට යනවනෙ. ඒ හින්ද ඔය කතාව ගැන ඔච්චර කලබල වෙන්න ඕනෙ නෑ…” යනුවෙන් බැසිල් ප්‍රශ්නයෙන් ලිස්සා යන උත්තරයක් දී ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ගේ කලබලය සමථයට පත්කිරීමට සමත් වුවත් එහි සිටි ඇතැම් මන්ත්‍රිවරුන් එය පිළිගන්නා ආකාරයක් දැකගන්නට තිබුණේ නැත. ඒ අනුව ඔවුන් කියා සිටියේ අපට මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර පැහැදිලි තීන්දුවක් ලබාගැනීම සඳහා මහින්ද සහ ගෝඨාභය සමඟ සාකච්ඡාවක් අවශ්‍ය යැයි කියාය. බැසිල්ගෙන් ඊටද ලැබුණේ තරමක ලිස්සා යන ආකාරයේ උත්තරයකි.
“කොහොමත් දැන් ඉස්සරහට අපි දෙගොල්ලොම නිතරම හම්බවෙනවනෙ. අපිට කැම්පේන් එක කරන්න වෙන්නෙ එකට. ඒ නිසා ඒ හම්බුවෙන වෙලාවක අපි මේ ගැන සාකච්ඡා කරල පැහැදිලි කිරීමක් කරගමු…” යන්න බැසිල් එහිදී ලබාදුන් උත්තරය විය. කෙසේ වෙතත් පෙළක් ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ද සිටියේ මහින්ද එම කතාව එතරම් හිතාමතා කළ එකක් නොවේය යන ස්ථාවරයේය. එම නිසා එම කතාව පිළිබඳව වැඩි කලබලයක් නොවිය යුතු බව එම මන්ත්‍රිවරුන් පෙන්වා දුන්නද බහුතරයක් මන්ත්‍රිවරුන් සිටියේ ඒ සම්බන්ධයෙන් මහත් තැතිගැන්මකින් යුක්තවය.
සල්ලි බෙදුවාට මෛත්‍රී කෝපයෙන්
කෙසේ වෙතත් මේ සියල්ල අතරවාරයේ මෛත්‍රි යළි ලංකාවට පැමිණීමෙන් පසු වහාම දයාසිරිට පැජට් පාරේ පිහිටි ජනපති නිල නිවෙස වෙත එන ලෙසට කැඳවීමක් ලැබුණේ මෙම ගැටලු සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහාය. සාමාන්‍යයෙන් වෙනදා නම් විදෙස් සංචාරයකට ගොස් යළි ලංකාවට පැමිණීමෙන් පසු මුලු මන්ත්‍රි කණ්ඩායමම කැඳවා සාකච්ඡා කිරීම මෛත්‍රිගේ පුරුද්දක් වුවත් මෙවර එය එසේ නොවිණ. ඒ වෙනුවට ප්‍රසිද්ධ සාකච්ඡා කිසිවක් නොපැවැත්වූ මෛත්‍රි අප්‍රසිද්ධියේම දයාසිරි පමණක් කැඳවා මතුව ඇති මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයට කැඳවීම පිළිබඳවත්, ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ට අමරවීරගේ නිවෙසේදී මුදල් බෙදාදීම සම්බන්ධයෙනුත් මෛත්‍රි තරමක කෝපයෙන් යුතුව අදහස් දක්වනු දැකගත හැකි විය.
“එහෙම කොහොමද ශ්‍රී ලංකා එකේ අපේ කට්ටියට පොහොට්ටුවේ පක්ෂ කාර්යාලයට එන්න කියල බැසිල් දැනුම්දීම් කරන්නෙ. එහෙම ඒ අයට කරන්න ඉඩදෙන්න බෑ. ඒකට ඒ අයට අයිතියකුත් නෑ. මමයි තවම මේ පක්ෂයේ නිල නායකයා. අනෙක ඒගොල්ලො කොහොමද අමරවීරගෙ ගෙදරට ඇවිල්ල අපේ පක්ෂයෙ ආසන සංවිධායකවරුන්ට සල්ලි බෙදන්නෙ. එහෙම සල්ලි දෙන්න ඒගොල්ලන්ට උවමනාවක් තිබ්බ නම් අපේ පක්ෂ මූලස්ථානයට ආසන සංවිධායකවරුන්ව කැඳවල එතැනදි ඒක කරන්න තිබ්බා. එහෙම නැතුව තැන් තැන්වල, අපේ එක් එක්කෙනාගෙ ගෙවල්වල මේව කරන්න බෑ…” යනුවෙන් මෛත්‍රි තරමක කෝපයෙන් යුක්තව කියද්දී දයාසිරි එතරම් ගණන් නොගෙන තරමක සැහැල්ලුවෙන් යුතුව අදහස් දක්වනු දැකගන්නට හැකි විය.
දයාසිරිට මෛත්‍රීගෙන් නියෝගයක්
ඒ හරහා දයාසිරි මෙම ගැටලු වැඩිදුර ගෙනියන්නට අකැමැති බව පෙන්වුවත් මෛත්‍රි දයාසිරිට බල කරමින් කියා සිටියේ අඩුම තරමින් පොහොට්ටු පක්ෂ කාර්යාලයේ පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප සංවිධායකවරුන්ගේ සාකච්ඡාව හෝ නැවැත්වීමට කටයුතු කළ යුතු යැයි කියාය. ඒ අනුව තමන් ඉදිරියේ සිටම ශ්‍රීලනිප මූලස්ථානයට කතාකොට එම රැස්වීමට නොයන ලෙසට ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ට දැනුම්දීමක් කරන්න යැයි මෛත්‍රි දයාසිරිට කියා සිටියේය. ඒ අනුව බැරිම තැන දයාසිරිද මෛත්‍රි ඉදිරියේ තබාගෙනම ශ්‍රීලනිප මූලස්ථානයට ඇමැතුමක් ලබාදී සියලුම ආසන සංවිධායකවරුන්ට පොහොට්ටු පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන රැස්වීමට සහභාගි නොවන ලෙසට දැනුම්දීමක් කරන්න යැයි උපදෙස් ලබාදුන්නේය.
ඩාලි පාරෙන් පණිවුඩය බැසිල්ට එයි
කෙසේ වෙතත් දයාසිරි ශ්‍රීලනිප පක්ෂ කාර්යාලය වෙත මෙම නියෝගය දී විනාඩි දෙකක් යෑමට මත්තෙන් ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයෙන් බැසිල්ට දුරකතන ඇමැතුමක් ලැබිණ. එම දුරකතන ඇමැතුමෙන් කියැවුණේ පොහොට්ටු පක්ෂ කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රීලනිප සංවිධායකවරුන්ගේ සහ පොහොට්ටු සංවිධායකවරුන්ගේ සාකච්ඡාවට සහභාගි නොවන ලෙසට දයාසිරිගෙන් පක්ෂ මූලස්ථානයට දුරකතන ඇමැතුමක් මේ දැන් ලැබුණා යැයි කියාය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ බැසිල්ද සිය පක්ෂ කාර්යාලයට දුරකතන ඇමැතුමක් ලබාදී අදාළ හමුව වහාම අත්හිටුවීමට උපදෙස් ලබාදෙන ලෙසට දැනුම්දී සිටියේය.
චන්ද්‍රිකාත් ශ්‍රීලනිපය කැදවයි
ශ්‍රීලනිපය හා පොදු පෙරමුණ අතර මෙසේ විවිධ මතගැටුම් මතුවෙද්දී ශ්‍රීලනිප හිටපු නායිකාව වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද පසුගිය සතිය වන විට අලුත් වැඩකට අතගසා සිටියාය. පසුගිය සති කිහිපය පුරාම ලන්ඩනයේ රැඳී සිටි හිටපු ජනාධිපතිනිය පසුගිය සතියේ ලංකාවට ආවේ විශේෂ වැඩකටයුතු දෙකක් සැලැසුම් කරගෙනය. ඉන් පළමුවැන්න සිකුරාදා (01දා) එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීමේ වැඩකටයුත්තය. දෙවැන්න වූයේ එළැඹෙන 05 වැනිදා කොළඹ සුගතදාසයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විකල්ප කණ්ඩායමේ රැස්වීමය. චන්ද්‍රිකා ලන්ඩනයේ සිටියද මේ සියල්ල සංවිධාන කිරීමේ වැඩකටයුත්ත කරට ගෙන තිබුණේ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන කුමාර වෙල්ගමය. වෙල්ගම මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රසිද්ධියේම කියා සිටින්නේ තමන් කිසිසේත්ම ගෝඨාට සහාය නොදක්වන බවත්, සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් කටයුතු නොකරන බවත්ය. එමෙන්ම ශ්‍රීලනිපය පොහොට්ටුව සමඟ සන්ධානගත වීම වැරැදි බව කියා සිටින වෙල්ගම මෙම තත්ත්වය මත ශ්‍රීලනිප සංවිධායකවරුන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත්, ඔවුන්ට ශක්තියක් වීමට තමන් චන්ද්‍රිකා සමඟ එක්වී විකල්ප වැඩපිළිවෙළක් සකස් කරන බවත් වෙල්ගම කියා තිබිණ. ඒ අනුව වෙල්ගම පසුගියදා සියලුම ශ්‍රීලනිප සංවිධායකවරුන්ට සිය අස්සනින් යුතුව ලිපියක් යොමුකරමින් කියා සිටියේ 05 වැනිදා සුගතදාසයේ පැවැත්වෙන ශ්‍රීලනිප උත්සවයට සහභාගි වන්න යැයි කියාය. අපට ඇති අරංචිවලට අනුව කියැවෙන්නේ චන්ද්‍රිකාගේත්, වෙල්ගමගේත් මෙම විකල්ප ශ්‍රීලනිපයේ උත්සවය මහත් උත්සවාකාරයෙන් සහ උත්කර්ෂවත් ලෙස සංවිධාන කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, ඊට විශාල පිරිසක් සහභාගි වීමට දැනටමත් තීන්දු කොට ඇති බවත්ය.
මෙච්චර කල් මෛත්‍රී ආණ්ඩු කළේ කොහොමද?
මෙවර ජනාධිපතිවරණයේදී මෛත්‍රි නිර්පාක්ෂිකව සිටින බව මේ වන විට ප්‍රකාශ වී තිබුණත් දැනට අපට ලැබෙන තොරතුරුවලින් කියැවෙන්නේ තවත් දින කිහිපයක් පමණක් මෙසේ මෛත්‍රි නිර්පාක්ෂිකව සිටිනු ඇති බවය. එනම් තවත් දින කිහිපයකින් මෛත්‍රි සිය නිර්පාක්ෂික සලු උනා දමා දිනන අශ්වයාගේ පිටේ නැඟීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය. එයද නිකම් ආවාට ගියාට නොව ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ආණ්ඩුවේ ඔත්තු සේවා ලබාදෙන නිල තොරතුරුවලට අනතුරුවය.
පසුගිය වසර හතරහමාරක කාලය පුරාම මෛත්‍රි දේශපාලනය කළේ කාගේවත් උපදෙස් මත හෝ තම හිතුමනාපයට හෝ නොව ආණ්ඩුවේ විවිධ ඔත්තු සේවා මගින් ලබාදුන් වාර්තා ඉතා සැලකිල්ලෙන් යුතුව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය. එය මෛත්‍රිට ඈතින් සිටින අය නොදන්නවා වූවාට මෛත්‍රි සමීපයේ සිටින අයට නම් අලුත් දෙයක් නොවේ. ඒ අනුව පසුගිය කාලය පුරාම මෛත්‍රි විවිධ අමාත්‍යවරුන් ඉලක්ක කරගෙන පහර දුන්නේත්, ඇතැම් මන්ත්‍රිවරුන්ට විවිධ ඇමැතිකම් ලබා නොදුන්නේත්, අගමැතිවරයා ඉලක්ක කරගෙන පහර දීම ආරම්භ කළේත්, කොටින්ම කියනවා නම් නීත්‍යානුකූල නොවන සහ නීති විරෝධීව ආණ්ඩු පෙරළා මහින්දගේ නායකත්වයෙන් යුත් ආණ්ඩු සකස් කළේත් ආණ්ඩුවේ ඔත්තු සේවා දී තිබූ ඇතැම් බුද්ධි වාර්තා දෙස බලාය. නොඑසේ නම් මෛත්‍රිගේ ආණ්ඩු කිරීමේ ‘බයිබලය’ වූයේ වෙන කිසිවක් නොව ආණ්ඩුවේ ඔත්තු සේවා දෛනිකව ලබාදෙන මේ වාර්තාය.
බුද්ධි වාර්තාව අනුව මෛත්‍රීගේ සහාය
ඒ අනුව ජපානයේ සහ සිංගප්පූරුවේ ගතකළ දින කිහිපය තුළදී පවා මෛත්‍රි ආණ්ඩුවේ ඔත්තු සේවා විසින් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සකක් කර තිබූ වාර්තා ඉල්ලා සිටීමට පියවර ගෙන තිබිණ. එහිදී ඔත්තු සේවා මඟින් දැනුම්දී තිබුණේ පළමුවැනිදා වන විට ආසන මට්ටමින් අනුමාන කළ හැකි ප්‍රතිඵල පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාදිය හැකි යැයි කියාය.
අප දන්නා තොරතුරුවලට අනුව නම් මෙම ඔත්තු සේවා මැතිවරණවලදී සිය විමසුම් ඔස්සේ ලබාදෙන බුද්ධි වාර්තා අතිශය නිවැරැදිය. එම ප්‍රතිඵල වැරැදීමේ ප්‍රතිශතය ඉතාම අවමය. මේ ආකාරයට අතිශය නිවැරැදි බුද්ධි වාර්තා ආණ්ඩුවට ලබාදීමට ආණ්ඩුවේ ඔත්තු සේවා කටයුතු ආරම්භ කළේ ඉකුත් 2001 වර්ෂය තරම් වූ ඈතක සිටය. එවකදී චන්ද්‍රිකාගේ ආණ්ඩුව නියත වශයෙන්ම පරාජයට පත්වන බවත්, රනිල් නව ආණ්ඩුවක් පිහිටුවන බවත් ප්‍රතිශත සහිතවම ආසන මට්ටමින් නිවැරැදි දත්ත ලබාදීමට ආණ්ුවේ ඔත්තු සේවා පියවර ගෙන තිබිණ. එදා සිට නිවැරැදිව 2005 ජනාධිපතිවරණයේදීත්, අනතුරුව පැවැති මහ මැතිවරණයේදීත්, 2010, 2015 ජනාධිපතිවරණවලදීත් ප්‍රතිඵල ලැබිය හැකි ආකාරය නිවැරැදිව ලබාදීමට ආණ්ඩුවේ ඔත්තු සේවා කටයුතු කර තිබිණ. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඔත්තු සේවාවල එම තීරණාත්මක වාර්තාව ලබාදීමට නියමිතව ඇත්තේ මෙම සතිය තුළදීය. මෛත්‍රි සූදානමින් සිටින්නේ මෙම ඔත්තු සේවාවන් ලබාදෙන අවසන් ප්‍රතිඵලය දෙස බලා සිය දේශපාලන ගමන්මගද තීරණය කිරීමටය. ඒ අනුව ජාතිය අමතන්නේ කෙසේද, එහිදී සහාය දක්වන්නේ කුමන අපේක්ෂකයාටද, ප්‍රහාර එල්ල කළ යුත්තේ කුමන අපේක්ෂකයාටද යන්න මෙම ඔත්තු සේවා වාර්තා අධ්‍යයනය කිරීමෙන් පසු මෛත්‍රි තීන්දු කිරීමට නියමිතය.
බැසිල් දේශපාලන දඩයමක
පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මුළු රටේම සිදුකරන ප්‍රචාරක ව්‍යාපාරයට අමතරව මේ දිනවල සිටින්නේ නැඟෙනහිර විශේෂ ඡන්ද මෙහෙයුමකට අත තබාය. බැසිල් මෙසේ නැඟෙනහිරට බැස්සේ ආවාට ගියට නොව එජාපය ඇතුළේ සිටින නැඟෙනහිර ප්‍රබලයන් වූ රිෂාඞ් බදුර්දීනුත්, රවුෆ් හකීමුත් යම් යම් අර්බුදවල පැටලී සිටින බවට තොරතුරු වාර්තා වීමත් සමඟය. එම අර්බුදවලට මුල්වී තිබුණේ මුදල් ප්‍රශ්නය. හකීම් සහ රිෂාඞ් නැඟෙනහිර ජනාධිපතිවරණ ව්‍යාපාරයන් දියත් කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන ලෙසට එජාපයට කළ දැනුම්දීමකට අනුව ඔවුන්ට ලැබී තිබුණේ ඉතාමත් සුළු මුදල් ප්‍රමාණයක් වීම ඊට මුල්වී තිබිණ. ඒ අනුව හකීම් සහ රිෂාඞ් එජාපයට දැනුම්දී තිබුණේ මැතිවරණය කිරීමට අවශ්‍ය තරම් මුදල් ලබානොදෙන්නේ නම් තමන් නැඟෙනහිර ඡන්ද සටනින් ඉවත් වීමට කටයුතු කරනවා යැයි කියාය. හකීම් සහ රිෂාඞ් පමණක් නොව වතුකරයේ දිගම්බරම්ද මෙම මුදල් ගැටලුවට බරපතළව මුහුණදී සිටි අතර ඔහුද එජාපයට දැනුම්දී තිබුණේ අවශ්‍ය තරම් මුදල් ලබානොදෙන්නේ නම් සක්‍රිය ඡන්ද සටනක් වතුකරය තුළ දියත් කළ නොහැකි යැයි කියාය. මේ තත්ත්වය පසුගිය සතිය වන විට තවත් උග්‍ර වී තිබුණේ මැතිවරණයට වියදම් කිරීම සඳහා එජාපයට අවශ්‍ය මුදල් ඒ වන විටත් ලැබී නොතිබුණ නිසාය.
එජාපය ඇතුළේ තිබුණු මෙම තත්ත්වය බැසිල්ට වාර්තා වීමත් සමඟ බැසිල් මෙතෙක් දියත් කර තිබූ උපාය මාර්ග වහාම වෙනස් කිරීමට කටයුතු කළේය. සාමාන්‍යයෙන් බැසිල් යනු හොඳ දේශපාලන ගොදුරක් දුටු විට හීන්සීරුවේ එම ගොදුර පසුපස ගොස් එය දඩයම් කිරීමේ කලාව ඉගෙනගෙන ඇති දේශපාලන දඩයක්කාරයෙකි. එම නිසා මෙම තොරතුරු වාර්තා වීමත් සමඟ බැසිල් සිය සම්පූර්ණ අවධානය සහ මැතිවරණ මෙහෙයුම නැඟෙනහිර ඉලක්ක කරගෙන සිදුකිරීම ආරම්භ කළේය. ඒ අනුව පළමුව මඩකළපුව දිස්ත්‍රික්කයට වෙනම සංවිධායක කණ්ඩායමක් යොමුකළ බැසිල් සමස්ත නැඟෙනහිර ආවරණය වන පරිදි වෙනම ප්‍රචාරක වැඩපිළිවෙළක් දියත් කිරීමට පියවර ගත්තේය. එමෙන්ම එය පියවර කිහිපයක් ඔස්සේ සිදුකිරීමටද බැසිල් සැලැසුම් සකස් කළේය. එහි ඊළඟ පියවර වූයේ මුදල් නොමැතිකමින් කලකිරීමට පත්ව සිටින හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසයේත්, රිෂාඞ්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේත් මන්ත්‍රිරුවන් කිහිපදෙනකු ගලවා පොහොට්ටුවට ගැනීමට කටයුතු කිරීමය.
මහින්දව මඩකලපුවට යවයි
මීට අමතරව හදිසියේම ඉකුත් දීපවාලි දිනයේදී මහින්ද මඩකළපු සිරගෙදරට ගොස් එහි රඳවා සිටින ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් බැලීමට කටයුතු කළේත් මෙහි තවත් පියවරක් වශයෙනි. ඒ හරහා බැසිල්ට අවශ්‍ය වී තිබුණේ මඩකලපුවේ ඇති විශාල ප්‍රමාණයක් වන දමිල, කතෝලික ඡන්දවලට ආමන්ත්‍රණය කිරීමය. ඉකුත් අප්‍රේල් 21 වැනි දින මඩකළපුවේ සියෝන් දේවස්ථානය මුල්කරගෙන පුපුරා ගිය බෝම්බයෙන් පසු මඩකළපුවේ සිටින දමිළ, කතෝලික ජනතාව මහත් අසීරුතාවයෙන් සිටින බවත්, ඔවුන්ගේ ගැටලුවලට මෙතෙක් කිසිවකුත් කතාකොට නැති බවත් බැසිල්ට වාර්තා වී තිබීම නිසා මහින්දව මඩකළපුවට යවා ඔවුන් සමඟ සබධතාවක් ගොඩනැඟීම එහි අරමුණ වී තිබිණ. ඒ අනුව මහින්දද මඩකළපුවට ගොස් පිල්ලෙයාන් හමුවී එළියට පැමිණ සියලුම ජනතාවට ‘සුබ දීපවාලියක්’ යනුවෙන් සුබපතා ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව කතා කරනු දැකගන්නට ලැබිණ. මහින්දගේ මේ ක්‍රියාවට සමාජ මාධ්‍ය ජාලවල ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබුණු ආකාරයක්ද දැකගත හැකි විය.
මේ අතර බැසිල්ගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුව මේ වන විට උතුරේ ඡන්ද ලබාගැනීම සඳහාද වෙනම සැලැස්මක් දියත් කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ මූලික ඉලක්කය වී ඇත්තේ 2005 සිට 2015 දක්වාම මහින්ද උතුරෙන් ලබාගත් ඡන්ද ප්‍රමාණය වෙනසකට ලක්නොකොට ඒ ආකාරයෙන්ම ගෝඨාභයගේ ඡන්ද පෙට්ටියටද වට්ටවා ගැනීමය. ඊට අමතරව සැලකිය යුතු ඡන්ද වර්ජනයක් සහ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ලැබීමට නියමිත ඡන්ද වෙනත් අපේක්ෂකයන් හරහා බෙදීයෑමකට සලස්සවා උතුරෙන් ඇතිවිය හැකි අවාසිදායක තත්ත්වය අවම කර ගැනීමද පොහොට්ටුවේ සැලැසුමක් වී තිබේ. ඒ අනුව පසුගිය සතියේ ගෝඨාභය මහින්ද සමඟ උතුරේ සංචාරයක නිරත වෙමින් යාපනය, පේසාලේ ඇතුළු ස්ථාන කිහිපයකම රැස්වීම් පැවැත්වීමට පියවර ගෙන තිබිණ. මීට අමතරව නාමල් රාජපක්ෂද දින ගණනාවක්ම යාපනයේ රැඳී සිටිමින් ගෝඨාභය වෙනුවෙන් උතුරේ ඡන්ද සටන දියත් කරන ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
උතුරට කරන්න යන දේ
මෙම උතුරේ ඡන්ද ව්‍යාපාරය අතරතුරදී රාජපක්ෂවරුන්ට උතුර සම්බන්ධයෙන් මත දෙකක් පසුගිය සතිය වන විට වාර්තා වී තිබිණ. ඉන් එක් මතයක් වූයේ සිවිල් දේශපාලන නායකයකු ලෙස මහින්ද ලබාගත් ඡන්ද ප්‍රමාණය ඒ ආකාරයෙන්ම යුද නායකයකු වූ ගෝඨාභයට ලබාගත හැකිද යන කාරණයය. එහිදී ඇතැමුන් පෙන්වා දුන්නේ ගෝඨාභය නොමැතිව මහින්ද පමණක් උතුරට ගොස් මැතිවරණ සටන මෙහෙයවා එම ඡන්ද ප්‍රමාණය ගෝඨාභයට ලබාදිය යුතු යැයි කියාය. ඒ අනුව අවසන් මොහොත තෙක්ම පොහොට්ටුව තීරණය කර තිබුණේ ගෝඨාභයව උතුරට නොයවා මහින්දව පමණක් උතුරට යැවීමටය. නමුත් අවසන් මොහොතේදී ගෝඨාභය දැනුම්දී සිටියේ තමන්ටද උතුරේ ඡන්ද ව්‍යාපාරය සිදුකළ යුතු බවත්, ඒ අනුව අනිවාර්යෙන්ම තමන්ද යාපනයේ එක් රැස්වීමකට හෝ සහභාගි විය යුතු බවත්ය. මේ නිසාම උතුරේ තත්ත්වය සොයා බලා වාර්තා කිරීම සඳහා ගෝඨාභය තමන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ උතුර භාරව කටයුතු කළ මේජර් ජෙනරාල් හතුරුසිංහ මහතා උතුරේ රඳවා තැබීමට පියවර ගෙන තිබිණ. මේ ආකාරයට මේජර් ජෙනරාල් හතුරුසිංහ දින කිහිපයක් උතුරේ රැඳී සිටිමින් මැතිවරණ තත්ත්වය පිළිබඳව සොයා බැලුවද ඊට දෙමළ ජනතාවගෙන් එතරම් යහපත් ප්‍රතිචාරයක් හිමිවන බවක් දැකගන්නට ලැබුණේ නැත. එම තත්ත්වය උතුරේ පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇති බවක්ද එහිදී වාර්තා වී තිබිණ. වහාම මේජර් ජෙනරාල් හතුරුසිංහ ඇතුළු කණ්ඩායම උතුරේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් කිරීමට පොහොට්ටු නායකයන් පසුගිය සතියේ පියවර ගත්තේ ඒ අනුවය.
එජාපය කළඹපු අගමැති ප්‍රශ්නය
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බදාදා අරලියගහ මන්දිරේ හදිසි මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූයේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුමත් කිරීම සඳහාය. ඒ අනුව රජය විසින් මෙතෙක් සිදුකළ සංවර්ධන වැඩකටයුතු මෙන්ම ඉදිරියේදී සිදුකිරීමට නියමිත සංවර්ධන වැඩකටයුතු පිළිබඳවද අදහස් දක්වමින් සිටියදී මාධ්‍යවේදියකු විමසා සිටි එක්තරා පැනයක් මුල්කරගෙන එජාපය ඇතුළේ මහත් අර්බුදකාරී වාතාවරණයක් මතුකරන සිදුවීමක් සිදුවිය. එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වුවහොත් අගමැතිවරයා වශයෙන් වෙනත් අයකු පත්කරනවාද, එසේත් නැතිනම් අගමැතිවරයා තවදුරටත් එම තනතුරේ රැඳී සිටිනවාද යන්න ගැනය. මීට දෙවරක් නොසිතාම පිළිතුරු දෙමින් රනිල් කියා සිටියේ සජිත් ජනාධිපති වුවහොත් තමන් අගමැති තනතුරේ දිගටම රැඳී සිටිමින් මෙම සංවර්ධන ක්‍රියාදාමය තවදුරටත් ඉදිරියට ගෙනයන බවකි.
පවතින ව්‍යවස්ථාපිත නීතිය අනුව සහ අධිකරණ තීන්දුව අනුව තත්ත්වය එසේ විය යුතු වුවද රනිල් කළ මෙම ප්‍රකාශයත් සමඟ කිසියම් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවක් පෙනෙන්නට තිබුණේ එදිනම රාත්‍රියේ දඹුල්ලේ පැවැති රැස්වීමකදී සජිත් මීට පිළිතුරු දීමට යෑම නිසාය. එහිදී මාධ්‍ය වාර්තා කර තිබුණේ තමන් මේ වන විට නම්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍ය ධුරය පමණක් බව සජිත් ප්‍රකාශ කළා යැයි කියාය. ඒ අනුව තවමත් අගමැතිවරයා නම්කර නොමැති බවක් ඒ හරහා නොකියා කියැවිණ.
කෙසේ වෙතත් අගමැතිවරයා කළ මෙම ප්‍රකාශය සමඟ ගැටලු ගණනාවක් එජාපය ඇතුළේ පැනනැග ඇති ආකාරයක් දැකගන්නට ඇත. එනම් මෙය හිටි හැටියේ එජාපය ඇතුළේ මතුවූ ගැටුමක්ද, ජනාධිපතිවරණය කටමුල තියා මෙම ප්‍රකාශය හේතුකරගෙන එජාපයේ පිපිරීමක් ඇතිවෙයිද, මෙවැනි අගමැති ගැටුමක් නිර්මාණය කළේ කවුරුන් විසින්ද, මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට මෙය අහිතකර ලෙස බලපානු ඇතිද යන ගැටලු සියල්ලම එජාපය ඇතුළේ පසුගිය දින කිහිපය තුළ සාකච්ඡා වන ආකාරයක් දැකගන්නට ලැබිණ.
ප්‍රශ්නය හැදුවේ ආචාර්ය හර්ෂ
කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය පුරාම එජාපය ඇතුළේ පැවැති ප්‍රධානම ගැටලුව වූයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳවය. පක්ෂයේ එක් පාර්ශ්වයක් සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා බවට පත්කළ යුතු බව කියද්දී තවත් පිරිසක් කියා සිටියේ රනිල් හෝ කරු ඒ සඳහා ඉදිරිපත් විය යුතු යැයි කියාය. නමුත් දීර්ඝ සාකච්ඡාවකින් පසු අවසානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීන්දු කළේ සජිත් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවය. ඒ අනුව එතෙක් පැවැති මත ගැටුම් එම තීන්දුවත් සමඟ අවසන් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබුණේ විරසකව සිටි සියලු දෙනාම එක වේදිකාවට ඇවිත් එකාවන්ව සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරනු දැකගන්නට හැකිවීම නිසාය. මෙහිදී සජිත්ගෙන් අගමැතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව අවස්ථා කිහිපයකදීම විවිධ පාර්ශ්ව ප්‍රශ්න කර සිටියද සජිත්ද ඒ හැම මොහොතකදීම අවස්ථාවෝචිතව පිළිතුරු දෙමින් කියා සිටියේ මෙය ජනාධිපති මැතිවරණයක් බවත්, එම නිසා මෙම මාතෘකාව මේ අවස්ථාවේදී කතාකළ යුතු නැති බවත්ය. රනිල්ගෙන් විමසා සිටිද්දී රනිල් පවා ගැටුමක් ඇති නොවන ආකාරයට පිළිතුරු දෙනු දැකගත හැකි විය.
නමුත් ගැටුමක් නැතිව තිබූ අගමැති ධුරය ගැටුමක් බවට පත්වූයේ ආචාර්ය හර්ෂද සිල්වා අගමැති ධුරය පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකුත් සමඟනි. හර්ෂ යනු සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු වන කිලී මහරාජාගේ අංක එකේ හිතවතකු වන අතර රනිල් පන්නන කිලී මහරාජාගේ වැඩපිළිවෙළේ ප්‍රබල සාමාජිකයෙකි. පසුගිය කාලය පුරාම කිලී මෙන්ම හර්ෂද සිටියේ රනිල්ව එජාපයෙන් පන්නන වැඩපිළිවෙළකය. ඒ අනුව ජනාධිපතිවරණ ඡන්ද සටන අතරතුරදීම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් හර්ෂ කියා සිටියේ සජිත් ජනාධිපතිවරයා වූ පසු අලුත් තරුණ අගමැතිවරයකු පත්වන බවත්, ඔහු වෘත්තීයවේදියකු වශයෙන් නමක් දිනාගෙන සිටින්නකු බවත්ය. ඒ අනුව එජාපය ඇතුළේ පිපිරී ගිය බෝම්බයේ සේව නූලට ගිනි පත්තු කළේ වෙන කවුරුවත් නොව මේ හර්ෂය. හර්ෂගේ මේ ප්‍රකාශයත් සමඟ පොහොට්ටුවද තමන්ට හිතවත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය උපයෝගි කරගෙන එජාපය ඇතුළේ විශාල අර්බුදයක් ඇති බව කියමින් බදාදා රාත්‍රියේ සිටම විශාල ප්‍රචාරක ව්‍යාපාරයත් දියත් කළ ආකාරයක්ද මෙහිදී දැකගත හැකි විය.
වොක්ෂෝල් කාර්යාලයටත් හර්ෂව එපාවෙයි
මේ ආකාරයට හර්ෂ එජාපය ඇතුළේ ගැටුම් ඇතිකරද්දී සජිත්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කර ඇති වොක්ෂෝල් වීදියේ පිහිටි කාර්යාලයේ ප්‍රධානීන්ද හර්ෂ ගැන දැඩි තීන්දුවක් ගෙන තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණ. එහිදී ඔවුන් සජිත්ටත්, මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටි ප්‍රධානීන්ටත් දිගින් දිගටම දැනුම්දී තිබුණේ තැනක් නොතැනක් නොබලා හර්ෂ මේ කරන කටකැඩිච්ච කතා හේතුකොටගෙන එජාපයට පමණක් නොව සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයටද බරපතළ හානියක් සිදුව ඇතැයි කියාය. විශේෂයෙන්ම හර්ෂ පසුගිය දිනෙක මාධ්‍ය හමුවකට පැමිණ රටේ සංවර්ධනය පිළිබඳව ආර්ථික විශ්ලේෂකයකු සහ ආචාර්යවරයකු වශයෙන් කර තිබූ ප්‍රකාශය සජිත්ට බරපතළ ලෙස අහිතකර ආකාරයට බලපා ඇති බව එහිදී ඔවුන් පෙන්වා දී තිබිණ. එහිදී හර්ෂ කියා තිබුණේ කොළඹ කාන්තාවන් අඩි උස සපත්තු පැළඳ නිතරම සැලුන්වලට වී කාලය ගතකරන බවත්, මේ හේතුවෙන් රටේ ආර්ථිකය වර්ධනය වී ඇති බවත්, කාන්තාවන්ට කිසිදු ගැටලුවක් නොමැති බවත්ය. හර්ෂගේ මේ කතාවටද ඒ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල මෙන්ම විපක්ෂයට හිතවත් මාධ්‍යවල දැඩි ප්‍රහාර එල්ල කරන ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව මාධ්‍යවේදීන්ද සිටියේ හර්ෂ කරපු මේ තරුණ අගමැති ගැන කතාව රනිල්ගෙන් අසන්නට වේලාවක් එන තෙක්ය. ඉකුත් බදාදා මාධ්‍යවේදීන්ට හිමිවූයේ එම අවස්ථාවය.
ඒ අනුව රනිල්, සජිත්, මංගල ඇතුළු කණ්ඩායම එක්ව ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව ඉදිරියට රැගෙන එද්දී සහ අගමැති මාතෘකාව යට ගොස් තිබූ වාතාවරණයක හිටි හැටියේම එජාපය ඇතුළේ අර්බුදයක් ඇති කරමින් හර්ෂ මෙම කතාව කළේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමටද, එසේත් නැත්නම් කාගේ හෝ බලපෑමකටද යන්න කීමට තාම කල් වැඩිය. නමුත් හර්ෂ නිර්මාණය කළ මෙම අර්බුදය හරහා එජාප ප්‍රචාරක ව්‍යාපාරය කඩාවැටේවිද, එසේත් නැතිනම් එජාපය ඇතුළේ අලුත් අර්බුදයක් මතුවනු ඇතිද එසේත් නැතිනම් සම්පූර්ණ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයෙන් හර්ෂ ඉවත් කොට එජාපය ඉදිරියට යනු ඇද්ද යන්න සම්බන්ධයෙන් බලාසිටිය යුතුව ඇත.
සජිත් ගුවනේදී නූලෙන් බේරෙයි
පසුගිය සතියේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ නිරතව සිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා හට මහත් ඇබැද්දියට මුහුණදීමට සිදුවිය. ඒ, ප්‍රධාන රැස්වීමක් ආමන්ත්‍රණය කිරීම සඳහා කුරුණෑගල බලා යමින් සිටි මොහොතේදීය. ඉතා කාර්යබහුල කාලසටහනකට අනුව සජිත් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කොට ඇති නිසා දිනකට රැස්වීම් හය, හතක් ආමන්ත්‍රණය කිරීම සජිත්ගේ අරමුණ වී තිබේ. එයද විවිධ දිස්ත්‍රික්කවල යොදාගෙන තිබීම නිසා ඇතැම් අවස්ථාවල සජිත් එම ගමන් සිදුකරන්නේ කුලී ගෙවා ගනු ලැබූ හෙලිකොප්ටර් මඟිනි. ඒ අනුව කුරුණෑගල බලා ගිය ගමනටද සජිත් යොදාගෙන තිබුණේ එවැනි හෙලිකොප්ටරයකි. නමුත් ගැටලුව මතුවූයේ හෙලිකොප්ටරය කුරුණෑගලට ළඟාවීමත් සමඟ එම ප්‍රදේශය පුරාම එක්වරම විදුලිය විසන්ධි වී යෑම නිසාය. ඒ අනුව ගුවන් නියමුවන්ට හෙලිකොප්ටරය ගොඩබැස්විය යුතු තැනක් සොයාගැනීමට ඉතා අසීරු තත්ත්වයක් මතුවී තිබිණ. අවස්ථා කිහිපයකදීම ගොඩබැස්විය යුතු ස්ථානය සොයා බැලීමට හෙලිකොප්ටරය පහත් කළත් ඒ සෑම අවස්ථාවකදීම ඝන අඳුර හේතුවෙන් කිසිවක් සොයාගැනීමට නොහැකි වූ නිසා අවසානයේදී සජිත්ගේ විරෝධය මැද වුව ගුවන් නියමුවන් තීන්දු කළේ එම ස්ථානයෙන් ඉවත් වීමටය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුව රැස්වීම සංවිධානය කළ අශෝක් අබේසිංහ සොයාබැලීමක නිරත වූ අතර ඔහුට වාර්තා වී තිබුණේ පොහොට්ටුවේ ක්‍රියාකාරිකයන් විසින් ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර තිබූ බවකි. ඒ අනුව මෙය කඩාකප්පල් ක්‍රියාවක් බවත්, විරුද්ධ මතධාරීන් කටයුතු කළේ සජිත්ගේ ජීවිතයට අනතුරක් කිරීමට බවත් කියා සිටි අශෝක් මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට පැමිණිලි කර සිටීමටද පියවර ගෙන තිබිණ.
සන්ධාන ගිවිසුම් ගහද්දී මහින්දත් නෑ: මෛත්‍රිත් නෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂ ගණනාවක් එක්කොට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීම පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී කොළඹ පදනම් ආයතනයේදී සිදුවිය. මෙහි සම සභාපතිවරුන් ලෙස දක්වා තිබුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්ය. උත්සවාකාරයෙන් පැවැති මෙම අවස්ථාවට දෙදෙනාම සහභාගි වන බව මුලින් වාර්තා වී තිබුණද දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සම සභාපතිවරුන් වුවද ඒ දෙදෙනාම වෙනත් හේතූන් මත එම අවස්ථාවට සහභාගි වී නොසිටීමය. රාජපක්ෂ පාර්ශ්වය නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ මහතා ඊට සහභාගිව සිටි අතර, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඊට සහභාගිව සිටියේ දයාසිරි ජයසේකරය.
කෙසේ වෙතත් එම ගිවිසුමට අනුව මෙවර ජනාධිපතිවරණය පොහොට්ටුවෙන් තරග කළද ඉන් පසුව එන සියලුම මැතිවරණ පොදු ලකුණක් වූ පුටුව යටතේ තරග කිරීමට නියමිතය. ඒ අනුව 1994 පොදු පෙරමුණ යටතේ පුටුව ලකුණින් තරග වැදීමෙන් පසු නැවැත වතාවක් මෙවර ජනාධිපතිවරණයෙන් පසුව පුටුව ලකුණ දැකගැනීමට ඡන්දදායකයන්ට අවස්ථාව හිමිවනු ඇත.
හිරු ෆවුසිට කරපු දේ
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් ලෙස ජනමාධ්‍යයේ හැසිරීම පක්ෂ විපක්ෂ බොහෝදෙනාගේ මාතෘකාවක් බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. වෙනදා නම් රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහී ලෙස හැසිරෙන බවට බරපතළ ලෙස චෝදනා එල්ල වුවද මෙවර චෝදනාව එල්ලවී ඇත්තේ රාජ්‍ය මාධ්‍ය වෙත නොව පෞද්ගලික මාධ්‍ය වෙතටය. විශේෂයෙන්ම ඇතැම් පෞද්ගලික මාධ්‍ය දේශපාලකයන්ගේ කතා විකෘති කරමින් ප්‍රතිවාදී අපේක්ෂකයන්ට වාසිසහගත ලෙස පලකරන බවටත්, අසත්‍ය පුවත් ජනගත කිරීමට කටයුතු කරමින් සිටින බවටත්, ඇතැම් අපේක්ෂකයන්ට විශාල ගුවන් කාලයක් ලබාදීමට කටයුතු කර ඇති බවටත් වශයෙන් මෙහිදී විශාල චෝදනා එල්ල වී තිබිණ. මෙම පක්ෂපාතී මාධ්‍යවල පසුගිය සතිය වන විට ගොදුරක් බවට පත්ව සිටියේ හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාය. කොළඹ තොටළඟ ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී ෆවුසි කියා තිබුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස තහවුරු කිරීමට නම් ගෝඨාභය පරාජය කළ යුතු යැයි කියාය. නමුත් එදින රාත්‍රි හිරු නාලිකාවේ පුවත්වල මෙම ප්‍රවෘත්තිය වාර්තා කළේ ගෝඨාභය ඝාතනය කළ යුතුයි යැයි විකෘති කරමිනි. ඒ අනුව මෙම ප්‍රවෘත්තිය විකාශය වීමත් සමඟ ෆවුසිගෙන්ද හතර වටෙන්ම ඇමැතුම් ලබාදෙමින් විමසා සිටියේ මෙවැනි කතාවක් ෆවුසි තොටළඟදී කළාද යැයි කියාය. තමන් කිසිසේත්ම එවැනි කතාවක් නොකළ බව එහිදී ෆවුසි ඒ සැමටම කියා සිටි අතර අසත්‍ය පුවතක් පලකිරීම සම්බන්ධයෙන් හිරු නාළිකාවට එරෙහිව පැමිණිල්ලක් පලකිරීමටද පියවර ගත්තේය. එපමණක් නොව මංගල සමරවීර මහතාද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් හිරු නාලිකාවට එරෙහිව බරපතළ ප්‍රහාරයක් දියත් කළ අතර, මංගල එහිදී කියා සිටියේ මෙවැනි අසත්‍ය පුවත් පළ කරන හිරු නාලිකාව වර්ජනය කිරීමට ජනතාව කටයුතු කළ යුතු යැයි කියාය.
කෙසේ වෙතත් හිරු නාලිකාව මෙම අසත්‍ය ප්‍රවෘත්තිය පළකිරීමෙන් පසුදින කොළඹ නගරය පුරාම විශේෂ පෝස්ටරයක් ඇලවී තිබුණු අතර ඉන් කියැවුණේ “කුඩු එපා – හිරු එපා – බොරු එපා” යැයි කියාය.
කපිල පුංචිමාන්නගේ