මේ වනවිට සිය රටට පැමිණීමට නොහැකිව රටවිරුවන් අනත් අසරණව සිටින බවත්, වහාම ඔවුන් පිළිබද සොයා බලා එම පිරිස් නැවත ලංකාවට ගෙන්වා ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තිස්සමහාරාම ඔසුවින්න ආසනගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයට පැමිණ එහි විහාරාධිපති, පොදු රාජ්‍ය මණ්ඩලීය බෞද්ධ කවුන්සිලයේ, රුහුණු මාගම්පත්තුවේ හා ඌව පළාත් අධ්‍යක්ෂක විචිත්‍ර භානක ශ්‍රී පියනන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍යපාද දොළොස්බාගෙ සුපන්නක තිස්ස නාහිමිපාණන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.
පසුගිය මැතිවරණ සමයේ පොහොට්ටුව ජයග්‍රහණය කිරීම වෙනුවෙන් එතෙර සිටින අපේ ශ්‍රමික පිරිස ද අති විශාල කැප කිරීමක් කළ බවත්, එදා මේ ආණ්ඩුව අපේ විදේශ ශ්‍රමිකයින් ව රට විරුවන් ලෙස හැඳින්වූ බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියේ අද වන විට ආණ්ඩුව ඔවුන් සහමුලින්ම අමතක කොට ඇති බවයි.
මවුබිමෙන් බැහැරව කොරෝනා ව්‍යසනය මැද දැඩි පීඩාවට පත්ව සිටින අපේ රටේ පුරවැසියන් මෙලෙස අමතක කොට දැමීම පිළිබඳව සිය අප්‍රසාදය ආණ්ඩුවට පළ කරන බව කී ඒ මහතා , ආණ්ඩුව කඩිනමින් මැදිහත් ව ඔවුන් නැවත මෙරටට ගෙන්වාගෙන නිසි නිරෝධායන ක්‍රමවේදයකට ලක් කළ යුතු බවද පැවසීය.










