‘මේක අපි අමාරුවෙන් හදපු ආණ්ඩුව. හැබැයි මම එකක් කියනවා. මේ සැරේ ගල් ලෙන බිඳලා එළියට ගිහින් කවුරුහරි මේ ආණ්ඩුව විනාශ කරනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. මේ සැරේ ගල් ලෙන බිඳගෙන එළියට යනකම් අපි බලන් ඉන්නෙත් නැහැ. එහෙම නම් ඊට කලින් අපි ඒ අයව එලවල දානවා…’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අවධාරණය කොට ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කොට ඇත.
බැසිල් රාජපක්‍ෂ මහතාගේ මේ ප්‍රකාශයත් සමග නවක මන්ත්‍රීවරුන් එක දිගට අත්පොලසන් දී ඇති බව වාර්තා වේ.
එම නවක මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමකට අනුව පැවැති මෙම සාකච්ඡාවට මන්ත්‍රීවරුන් 40 දෙනකු සහභාගි වී තිබේ.
මෙහිදි නවක මන්ත්‍රීවරුන් බැසිල් රාජපක්‍ෂ මහතාට පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව එක මතයක සිට කතා කළ යුතු බවත්, ආණ්ඩුව ඇතුළේ සිට විපක්‍ෂයේ කාර්යභාරය කිරීමට කිසිවකුටත් ඉඩ දිය යුතු නැති බවත්ය.
කුමන තත්ත්වයක් යටතේ හෝ ආණ්ඩුව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නවක මන්ත්‍රීවරුන් 40 දෙනා පෙනී සිටින බවට සහතිකයක්ද එම මන්ත්‍රීවරුන් බැසිල් රාජපක්‍ෂ මහතා වෙත ලබා දී ඇත.