මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521ක් පමණ ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා මෙම දැනුම්දීම සිදු කළේය.
“පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වනවිට මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521 ක් විවිධ පාර්ශ්ව විසින් ගොනු කර තිබෙනවා. එම පෙත්සම්වල අන්තර්ගත කරුණුවල සත්‍ය අසත්‍යතාව නිවැරදි ලෙස තහවුරු කරගැනීමෙන් අනතුරුව අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා” යනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණයෙන් අයැද සිටියේය.
මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම මගින් සඳහන් කර තිබුණේ, ඉකුත් ජනවාරි මස 20 වනදා වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිට ගාලු මුවදොර මුදල් අමාත්‍යාංශය දක්වා වෘත්තිකයින් විසින් පාගමනක් සංවිධානය කර තිබූ බවය.










