මෙය මකරාගේ දේශයයි. එම භූමියෙන් අහස්කුස සිසාරා යන්නට ලකලැහැස්තිව ඇත්තේ අපූරු වාහනයකි. එනම් එය රොකට්ටුවකි. කාලය කෙමෙන් ගතවෙමින්ද තිබිණි. නිසි වේලාවද පැමිණියේය. මහා ගිනි ජාලාවක් පිට කරමින්, අහස්කුස දෙබෑ කරමින් රොකට්ටුව ඉහළට නඟින්නට විය. රොකට්ටුවල කතා බොහොමයක් ලොව තිබුණත්, මෙය ඒ අතරින් අසන්නට ලැබුණු අලුත්ම කතාවයි. අහස්කුසට ඇතුළු වී නොපෙනී ගිය රොකට්ටුව යා යුතු ගමන් මඟ එසේ, මෙසේ එකක් නොවන අතර, එය කිලෝමීටර් 3, 84,000 (තුන් ලක්ෂ අසූහතරදහසක්)ක මහා දුරකි. දවස් 09ක් පුරා එම චාරිකාව සිදුවිය යුතුය. අවසානයේදී මකරාගේ දේශයෙන් ගිය රොකට්ටුව පතිත වූයේ සඳ මතටය. ඉන්පසුව රොකට්ටුවෙන් ලහි ලහියේ රොබෝ රථයක් සඳ මතට පතිත වූයේය. එම රොබෝ රථයේ අඩුපාඩු විහිදුවමින් සිදුකරන්නට ගත්තේ අපූරු ක්‍රියාවකි. මඳ වේලාවක් යත්ම මකරාගේ දේශයේ කොඩිය සඳ මතුපිට ලෙළ දෙන්නට විය. රක්ත වර්ණ සාගරයක් මතුපිට කහවන් තරු බබළන්නට විය.
මෙයට දින කිහිපයකට පෙරදී සිදුවුණු මේ වගතුග කුමක්ද? ‘මකරාගේ දේශය’ නම් ඔබ යම් පමණකින් හඳුනනු ඇතිය. එහෙත් එයට ‘චීනය යැයි කියූ විට ඔබ හොඳින්ම හඳුනනු ඇතිය. එනම් පසුගියදා චීනය විසින් සිදුකරන ලද මහා අභ්‍යවකාශ මෙහෙයුමක තතු මෙසේ දිගහැරෙන්නට විය. කාලයක් පුරා සැලැසුම් කර පසුගියදා චීනය මෙම සඳ මෙහෙයුම දියත් කළේ, සඳ මතුපිට ඇති විවිධ පාෂාණ සහ ජල සාම්පල ආදිය පෘථිවියට ගෙනැවිත් පර්යේෂණ කිරීම සඳහාය. එසේම චීනයේ ජාතික කොඩිය සඳ මතුපිට ඔසවා තැබීමත් චීනයේ මහා අභිලාෂයක්ද විය. තරු පහක් ඇති එම රක්ත වර්ණ කොඩිය පසුගියදා මෙම සඳ ගමනේදී චීනය විසින් සඳ මතුපිට ස්ථාපිත කරන ලදී. එසේම දැන් මෙම චීන රොකට්ටුව සඳ මතුපිටින් නැවැත පිටත්වී මේ දිනවල පෘථිවියට පැමිණෙමින් සිටියි. සඳ මතින් ලබාගත් විවිධ සාම්පලද මෙහිදී පෘථිවියට ගෙන එනු ඇතිය.
පසුගිය නොවැම්බර් 23දා චීනය විසින් දියත් කළ මෙම සඳ මෙහෙයුම මෙම දෙසැම්බර් 11දා පමණ වන විට නිම කිරීමට නියමිතය. චීනය විසින් මෙලෙස පසුගියදා සඳ මත ස්ථාපිත කරන ලද චීන ජාතික ධජය පළලින් මීටර් 02ක් සහ උසින් මීටර් 01ක් පමණ වන අතර, බරින් කිලෝග්‍රෑම් 01ක් පමණද වෙයි. මෙම ධජය ඉතාමත් විශේෂිත රෙදි වර්ගයකින් නිර්මාණය කර ඇත්තේ සඳ මතුපිට ඇති විවිධ දේශගුණික තත්ත්වයන්ට (විශේෂයෙන් සීතල) සරිලන ආකාරයෙන්ය. චීනය මෙම සඳ මෙහෙයුම නම්කර ඇත්තේ ‘චැන්ග්-ඊ’ ලෙසිනි. චීන භාෂාවෙන් එහි තේරුම ‘සඳ දේවතාවිය’ යන්නය. චීනය මෙයට පෙරද වසර කිහිපයකම සිට සඳ මෙහෙයුම් කිහිපයක් සිදුකර ඇතත්, මෙවර මෙහෙයුම ඉතා පුළුල් මට්ටමකින් සිදුකෙරුණු එකකි. එනම් චීනය තමන්ගේ ජාතික ධජය මෙලෙස සඳ මත ස්ථාපිත කළේ ප්‍රථම වතාවට වන අතර, මුල්වරට එවැන්නක් සිදුකළේ ඇමෙරිකාව විසිනි. එනම් 1969 වසරේදී ඇමෙරිකාව තම ජාතික කොඩිය සඳ මත ස්ථාපිත කරන ලද අතර, 1972 දක්වා ඔවුන් ජාතික කොඩිය 05 වතාවක්ම සඳමත ස්ථාපිත කළේය.

මේ අනුව මෙවැනි ක්‍රියාවක් සිදුකළ ලෝකයේ දෙවැනි රට වශයෙන් චීනය වාර්තාගත වෙයි. එසේම තවද 1969 වසරේදී ඇමෙරිකාව සිදුකළ එවැනි ක්‍රියාවලියකට වසර 50කට පසුව චීනය මෙවැන්නක් සිදුකිරීමද, වාර්තාවක් වනු ඇතිය. චීනයේ මෙම නව සඳ මෙහෙයුම ගැන එරට රජය නිල ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියි.
Its Proud to have our National Flag on the moon. The ‘Change-e’ collected Samples and took off from moon. It will contribute to Global Scientific studies” – China Government Account.
‘අපගේ ජාතික ධජය සඳ මත ලෙළ දෙන්නට ලැබීම අපට ඉතාමත් ආඩම්බරයක්. ‘චැන්ග්-ඊ’ යානය සඳ මත සාම්පල රැගෙන පෘථිවියට නැවැත එනවා. මෙය ගෝලීය විiාත්මක අධ්‍යයනයන් සඳහා අපට දායක වීමට හැකිවීමක් වෙනවා.’ – චීන රජයේ ප්රකාශනයකි.
චීනය තමන්ගේ සඳ මෙහෙයුම් ගවේෂණ ව්‍යාපෘතිය නම්කර ඇත්තේ Chinese Lunar Exporation Program ලෙසින් වන අතර, මෙය 2003 වසරේදී ආරම්භ කර මේතාක් දක්වා පවත්වාගෙන යමින් සිටින ව්‍යාපෘතියකි. කෙසේ හෝ චීනය මෙලෙස තමන්ගේ මෙහෙයුම ගැන උදම් ඇනීම සිදුකළත්, මෙතෙක් ඔවුන්ට සඳ මතට සජීවී ගගනගාමියකු යැවීමට නොහැකි වී ඇත. මින් පෙර දෙවතාවක්ම චීන මෙහෙයුම්වලදී දෙවතාවක්ම සඳ මතට යානා ගොඩබැස්සවීම පමණක් සිදුකර ඇත. මෙතෙක් සඳ මතට සජීවී ගගනගාමීන් ගොඩබැස්ස වීම සිදුකර ඇත්තේ ඇමෙරිකාව පමණක් වන අතර, 1969 වසරේදී ප්‍රථම වතාවට ලොව සසලවූ නීල් ආම්ස්ට්‍රෝන්ග් ගගනගාමියා සඳ මතට බැස සඳ මත ඇවිදීමද සිදුකළේය. ඉන් පසුව ඇමෙරිකාව තවත් තෙවතාවක් පමණ ගගනගාමීන් සඳ මතට සාර්ථකව යැවුයේය.
කෙසේ හෝ අද වර්තමානයේ චීනය ආඩම්බර වන මෙම නවතම සඳ මෙහෙයුම ගැන ඔබට පැහැදිලිව ලියා තැබුවේ චීනයේ එම කතාන්දරයම කියන්නට පමණක් නොවේ. චීනය ගැන කතා කරන විටදී අද කොරෝනා යන වදනද ලෝක ඉතිහාසයට ලියැවී අවසානය. අද ලෝකයේ රටවල් 200ක පමණ ප්‍රමාණයකට කොරෝනා යක්ෂයා තෑගි කළේ චීනය විසින් බැව් මුළු ලොවම අවිවාදයකින් තොරව පිළිගනු ලබයි. මෙයට මාස කිහිපයකට පෙරදී කිසිදු මාරක රෝගාබාධයක් නැතිව ලොව ජීවත් වූ අහිංසක ජනතාව ලක්ෂ 15කට අධික ප්‍රමාණයක් අමු, අමුවේම මරණයට පත්කළේ මෙම කොරෝනා මාරයාය. මෙය සැබෑ ලෙසම මරණයට පත්කිරීමක් නොව පණපිටින් ඝාතනයට පත්කිරීමක්ය. චීනය විසින් මෙසේ දායාද කළ කොරෝනා යක්ෂයා නොසිටියේ නම් මේ වන විටත් මෙම අහිංසක මිනිසුන් ලක්ෂ 15ක් ජීවතුන් අතර යහතින් සිටිති. විවිධ මාරාන්තික වසංගත රැසක්ම ලොවට දායාද කළ අංක එකේ රට වන්නේද චීනය වන අතර, එම වගතුග ගැන සවිස්තරාත්මක ලිපියක් මින් පෙර අප ලියා තැබුවෙමු. මෙලෙස ඔවුන් අලුතින් දායාද කළේ මෙම කොරෝනා වසංගතය වන අතර, මෙය ලොවට තෑගිකර දැනට හරියටම වසරක කාලයක් ගතවී ඇත. එයින් ලොවට සිදුවන විනාශයේ නිමක්ද තවම දක්නට නැත. කොරෝනා සන්නියෙන් ලොව තවම දැවි, දැවී තිබියදී දැන් මකරාගේ දේශයෙන් ඇසෙන්නේ කොරෝනා කතාන්දර නොව සඳට යන රොකට්ටුවල කතාන්දරයි. සැබැවින්ම ලෝකය තවම කොරෝනා ගිනි ජාලාවෙන් දැවෙන බව චීනය නොදන්නේද? එසේම චීනය අන්ධයන්, ගොළුවන්, බිහිරන් ලෙස සිටින්නේද? චීනයට සැබෑ ලෙසම මෙම දිනවලදී කොරෝනාවලට වඩා සඳට යෑම වැදගත් වී ඇතැයි ලොව බොහෝ ජනතාව දෝෂාරෝපණය කර සිටිති. චීනය තමන්ගේ රටේ තිබුණු කොරෝනා වසංගතය කෙසේ හෝ මෙල්ල කරගෙන, අනෙක් රටවල් තවද දුක්විඳින මෙම මාරක වසංගතය ගැන කිසිදු සොයා බැලීමක් නොකරන බවටද මෙම ජනතාව දෝෂාරෝපණය කරති. කොරෝනා නිසා ලෝකයේ අහිංසක මිනිසුන් මැරි මැරී වැටෙන මොහොතකදී, චීනය විසින් සඳ ගමන් සඳහා ඩොලර් කෝටි ගණන් මුදල් වැය කිරීම අතිශය මහත් පාපකර්මයක් බැව්ද විවිධ පාර්ශ්ව ප්‍රකාශ කර සිටිති. සඳ මත චීනයේ කොඩිය සිටුවීමට වියදම් කළ මෙම මහා ධන සම්භාරය, කොරෝනා නිසා පීඩා විඳින ලොව දුප්පත් රටවලට ලබා දෙන්නට තිබුණේ යැයිද එම පාර්ශ්ව අවධාරණය කර සිටිති. මේ වන විට ලෝකයේ රටවල් රැසක් නිසි ධන වත්කමක් නැති හේතුවෙන් කොරෝනා වසංගතය සඳහා වූ පරීක්ෂණ පවා සිදුකර ගැනීමට නොහැකිව මහත් අර්බුදයකට පත්ව ඇත. ශ්‍රී ලංකාවද මේ අතර ප්‍රමුඛස්ථානයේ සිටින අතර, මේ වන විට කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාව අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටියි. චීනය යනු ශ්‍රී ලංකාවේද අතිමහත් සමීප මිතුරෙකි. කොරෝනා මුල් සමයේදී චීනය යම් ආධාර ලබා දීමක් සිදුකර තිබුණත්, දැන් ඒ ගැන වචනයක කතාබහක්වත් නැත. අද ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය අතිශය බියකරු තත්ත්වයකට පත්ව ඇති අතර, මේ ගැන සොයා බලන්නට නිසි නායකත්වයක්ද නොමැති බවට ජනතාව එකහඬින් දොස් පවරති. අද ශ්‍රී ලංකාව තුළ තිබෙන්නේ ‘මැරෙන එකා මැරියන්’ යන සිද්ධාන්තයේ සිට කෙරෙන ක්‍රියාවලියක් යැයි ජනතාව හඬගසති.

කෙසේ හෝ මෙවැනි වටාපිටාවක් යටතේ චීනය මේ වන විට කොරෝනා මාරයාගේ ග්රහණයෙන් බොහෝ දුරට මිදී ඇති අතර, චීනය තුළ මෙම සමයේදී කොවිඞ්-19 වසංගතය පැතිර ඇත්තේ ඉතාමත්ම අවම මට්ටමිනි. මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා පසුගිය කාලය පුරාම චීනය ඉතාමත් සුවිශේෂී, කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය. 2019 නොවැම්බර් 17 වැනිදා පළමු වැනි කොරෝනා රෝගියා චීනයේ වූහාන් නගරයෙන් සොයාගත් පසුව, මෙවැනි මාරක රෝග තත්ත්වයක් චීනය තුළ ඇති බවට කරුණු වසන් කිරීමට චීන බලධාරීන් කටයුතු කළේය. හරියටම මාස එකහමාරක් පුරා චීන කොමියුනිස්ට් පරිපාලනය විසින් මෙම මාරක රෝගයේ තතු ලොවටම වසන් කළේය. එම කාලය තුළදී රෝගීන් සිය ගණනක් වාර්තා වූ අතර, රෝගීන්ගේ ව්‍යාප්තිය චීනය පුරා සිදුවන්නට ගත්තේය. චීන බලධාරීන් මෙම රෝගයේ තතු ලෝක සෞඛ්‍ය සංවිධානයට ප්‍රකාශ කර සිටියේ 2019 දෙසැම්බර් මස 30 වැනිදාය. කෙසේ හෝ මේ වන විට අනෙකුත් විදෙස් රටවලටද රෝගය ව්‍යාප්ත වන්නට පටන්ගත්තේ රෝග කාරක චීන ජාතිකයන් විදෙස් රටවලට සංචාරය කිරීම හේතුවෙනි. විදෙස් රටවල සිට චීනයට පැමිණි සංචාරකයන්ටද වෛරසය ඇතුළු වූ අතර, ඔවුන් නැවැත රෝගය සමඟ තම රටවලට ගියේය.
කෙසේ හෝ මේ ආකාරයට චීන රජය පරිපාලනය විසින් අතිශය හිතුවක්කාර ආකාරයෙන් ලොව පුරා මෙම මාරක වසංගතය පැතිර හැරීමට කටයුතු කිරීම අද ලොව බහුතරයක් රටවල් දෝෂාරෝපණය කරන ප්‍රබල සාධකයකි. මේ පිළිබඳව ඉතාමත් ප්‍රබල ලෙස මුල්වරට චෝදනා කළේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ඉන් පසුව ලෝකයේ රටවල් රැසක නායකයන් සහ ජනතාවද චීනයට එරෙහිව දෝෂාරෝපණය කළේ, මෙම භයානක විනාශය සිදුකිරීමට එරෙහිව චීනය ලෝකයේ රටවල්වලට වන්දි ගෙවිය යුතු යැයි පවසමිනි. පසුගිය 2020 ඔක්තෝබර් මස අවසානයේදී පැවැති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදීද ඇමෙරිකානු ජනාධිපතිවරයා නැවැත වරක් ප්‍රසිද්ධියේම චීනයට දෝෂාරෝපණය කළේය. එසේම පසුගිය කාලයේදී මෙම ප්රශ්නය පිළිබඳව විවිධ රටවලදී පැවැත්වුණු ජනතා සමීක්ෂණවලදී 75%ක පමණ ජනතාවක් චීනයට එරෙහිව චෝදනා කර ඇත. කෙසේ හෝ එවිට චීන රජය ‘බීරි අලින්ට වෙන වාදනා’ මෙන් කිසිවක් නොඇසෙන ලෙස සිටි අතරම, සමහර අවස්ථාවලදී පෙරළා දෝෂාරෝපණයන්ද සිදුකළේය. චීන රජය කිසිදු අවස්ථාවක තමන්ගේ වැරැද්දක් බාර ගැනීමට කටයුතු නොකළේ අතිශය හිතුවක්කාර අයුරිනි.
තවත් අයුරකින් කියනවා නම් මකරා කඳුළු සලා විරහ වේදනාවට පත්වන්නට කටයුතු කළේ නැත.
කෙසේ හෝ අද චීනය යනු කොරෝනා මාරයා බොහෝ සාර්ථක අයුරින් පරාජය කළ රටකි. එම තත්ත්වය ගැන සැබෑ ලෙසම සතුටු විය යුතුය. එම දේශය ඉතාමත්ම බුද්ධිමත් සහ ක්‍රියාශීලී ක්‍රමවේදයක් හරහා මේ වන විට තම රට තුළ කොරෝනා වසංගතය මැඬලීමට කටයුතු කර ඇත. කොරෝනා ලොවටම දායාද කළ වූහාන් නගරයේ අද එකදු කොරෝනා රෝගියකු හෝ නැත. චීනයේ අනෙකුත් බොහෝ නගරද එවැනි තත්ත්වයක තිබෙන අතර, දැන් මුළු මහත් චීනය තුළින්ම දිනකට කොරෝනා රෝගීන් වාර්තා වන්නේ 5-10ත් අතර ප්රමාණයකි. මරණ කිසිවක් වාර්තා නොවෙයි. ලොව බලවත් දේශයන්ගේ ජනතාව ලක්ෂ ගණනින් මියයන විට චීනයේ මෙතෙක් වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාවම 4,634ක් පමණි. චීනයේ ජනතාව මේ වන විට ඉතාමත් සතුටින් විනෝද වෙමින් ජීවිතය ගතකරන පිරිසක් බවට පත්ව ඇත. මෙලෙස චීනය හා අනෙකුත් ප්‍රධාන රටවල් සංසන්දනය කරන විට එම රටවල්වල සිදුවූ කොරෝනා මරණ ප්‍රමාණයන් මෙසේය.
කොරෝනා මරණ
● ඇමෙරිකාව – 2,90,443
● බ්‍රසීලය – 1,77,388
● ඉන්දියාව – 1,40,994
● මෙක්සිකෝව – 1,10,074
● ඉතාලිය – 60,606
● එංගලන්තය – 61,434
● ප්‍රංශය – 55,521
මෙසේ ලියා තැබුවේ කොරෝනා මරණ 50,000ට වැඩි රටවල් 7ක දත්තයන් පමණි. කෙසේ හෝ අද චීනය කොරෝනා වසංගතයෙන් බොහෝ දුරට සාර්ථකව මිදී සඳ ගවේෂණ මෙහෙයුම්ද සිදුකරන තත්ත්වයට පත්ව සිටියි. ලෝකය තවම කොරෝනා මාරයාගේ දත් අතර සිරවී සිටියදී චීනය හඳට ගොස් ඔවුන්ගේ ජාතික ධජයද එහි සිටුවා තබා පෘථිවියට පැමිණියේය. අද ලෝකයේ බොහෝ තීව්ර කොමියුනිස්ට් රාජ්‍ය පාලනයක් තිබෙන ප්‍රධානතම රට වන්නේ චීනයයි. එසේම චීනය වත්මන් ජනාධිපති ෂී ජින් පින් ද එම පාලනය බොහෝ දරදඬු ලෙස පවත්වා ගැනීමටද කටයුතු කරනු ලබන පාලකයෙකි. චීනය බොහෝ ධනවත් රටක් වුවද, මෙහි බහුතරයක් ජනතාව දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන දුගී ජනතාවක් බැව් ජනගහන වාර්තා පෙන්වා දෙයි. ජනාධිපති ෂී ජින් පින් හඳුන්වන්නේ චීනයේ උත්තරීතර නායකයා ලෙසින් වන අතර, ඔහු මේ වන විට වසර 8කට ආසන්න කාලයක් මෙම උත්තරීතර නායකත්වයේ කටයුතු කර ඇත. ඔහුගේ පසුගිය කාලය තුළදී ඔහු ලොව ඉතාමත්ම බලගතු නායකත්වයකට පත්වූ අතර, ලෝකයේ රටවල් රාශියක් චීනය වෙත නතුකර ගැනීමට හැකි වූයේය. එනම් එම රටවලට විවිධ ආධාර, උපකාර කරන මුවාවෙන් එම රටවල් චීනයේ ග්‍රහණයට ගෙන ඇත.
චීනය බොහෝ සද්භාවයක් පෙන්වමින් මෙලෙස ලෝකයේ රටවල් රැසකට ආධාර ලබාදී ඇත්තේ, ණය මුදල් ආධාර ක්‍රමවේදයක් මතය. මේ අනුව දැනට චීනය ලෝකයේ රටවල් 68කට මෙලෙස ආධාර කිරීම් සිදුකර ඇති අතර, මෙලෙස ලබාදී ඇති ණය ආධාර මුදල් ප්‍රමාණයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 700ක් පමණ වෙතැයි ප්‍රකාශ වෙයි. මෙය විටෙක සිතාගත නොහැකි තරමේ අතිශය මහත් ධනස්කන්ධයක් වුවත්, එය මේ වන විට සත්‍ය ලෙස සිදුවී ඇත. එනම් චීනය විසින් මෙලෙස ලොව රටවල්වලට ණය ආධාර ලබා දීම ගැන ආර්ථික විශ්ලේෂකයන් එය හඳුන්වා සිටින්නේ ‘චීන ණය උගුල’ (ක්‍යසබ් ෘැඉඑ ඔර්ච) ලෙසිනි. චීනය මෙලෙස ණය ආධාර දෙන්නේ දුප්පත් රටවලටම පමණක් නොවේ. එනම් ලෝකයේ ධනවත් රටවල්ද චීනයෙන් ණය ආධාර මුදල් ලබාගනියි. කෙසේ හෝ චීනයේ ණය උගුලට පැටලී සිටින ප්‍රධානතම රටවල් අතරින් ශ්‍රී ලංකාවද ඉහළින්ම සිටියි. රට රටවල්වල විවිධ ආර්ථික සංවර්ධන කටයුතු උදෙසා චීනය මෙසේ නොමසුරුව ආධාර ලබාදීම සිදුකරනු ලබයි. දැනට මෙලෙස ණය ආධාර ලබාගත් රටවල්වලින් බහුතරයක්ම මේ වන විට එම උගුලේ භයානක ලෙස පැටලී සිටිති.
එක් විදෙස් ආර්ථික විශ්ලේෂකයකු පවසා ඇත්තේ, චීනය මෙසේ රටරටවලට සද්භාවයෙන් උදව් කිරීම සමාන කළ හැක්කේ ට්‍රෝජන් අශ්වයාගේ ක්‍රියාවලියට බැව්ය. එනම් ලෝක ඉතිහාසයේ සඳහන් පරිදි ග්‍රීක සොල්දාදුවන් විසින් ට්‍රෝයි නගරය ආක්‍රමණය කිරීම සඳහා විශාල ලී අශ්වයකු සාදා එය තුළ සැඟවී එම අශ්වයා නගරය තුළට ගෙනැවිත් පහර දීම සිදුකළ බැව්ය.
ඒ ආකාරයට චීනයද රටරටවල් තුළට ඇතුළු වන්නේ බොහෝ කපටි, රැවටිලි ආකාරයෙන් බවත්, එහෙත් පසුව එම රටවල් සූක්ෂ්ම ලෙස ආක්‍රමණය කරන බවත් මේ උපහරණයට අනුව අර්ථ ගැන්වෙයි. කෙසේ හෝ මේ වන විට චීනයෙන් ණය ලබාගත් රටවල් රැසක්ම එම ණය නැවැත ගෙවා ගැනීමට නොහැකිව දරුණු අගාධයකට වැටී ඇත. මෙවැනි තත්ත්වයන් යටතේ දැන් චීනය එම රටවලට ප්‍රකාශ කර ඇත්තේ එම ණයවලට හිලව් වන ආකාරයෙන් එම රටවල තිබෙන වෙනත් වටිනා දේපොළ චීනයට පවරා දෙන ලෙසය. පසුගිය 2017 වසරේදී හම්බන්තොට වරාය චීනයට පවරා දුන්නේ එලෙසිනි.
ඒ අතරම අප්‍රිකාවේ තිබෙන ප්‍රධානතම වරායක් වන කෙන්යාවේ, මොම්බායි වරායද චීනයට පවරා ගැනීමට කටයුතු කර ඇත. මේ ආකාරයට දැනට ලෝකයේ චීන ණය ගෙවා ගැනීමට නොහැකි රටවල් රැසකම වටිනා දේපොළ චීනය විසින් කොල්ලකෑමට කටයුතු කර ඇත. චීනයේ මේ කතාන්දර සියල්ල ලියන්නට ග්‍රන්ථයක්ද මදිය. කෙසේ හෝ අද කොරෝනා නිසා තත්පර 30කට දෙදෙනකු මියයන ලෝකයේ චීන්නු ඩොලර් පුච්චා දමමින් හඳටද යති.
ප්‍රියන්ත හෙට්ටිගේ










