වාරාවසාන කිරීමෙන් පසු රැස්වන පාර්ලිමේන්තුවේදී වත්මන් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විපක්ෂයක් බිහිවීමේ ලකුණු මේ වන විට පහළ වී තිබේ.
මෙතෙක් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා සමග සිටින මන්ත්‍රීවරුන් 15 දෙනකුගේ කණ්ඩායම කෙළින්ම විපක්ෂයත් සමග එක්වී පාර්ලිමේන්තුව තුළ දේශපාලනය කිරීමට තීන්දු කිරීම මේ සඳහා හේතුවී ඇත.
එම කණ්ඩායමට ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු ප්‍රබලයන් කිහිප දෙනකුම ඇතුළත්ව සිටිති.
මීට අමතරව ලබන පාර්ලිමේන්තුවේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඍජුවම විපක්ෂය සමග එක්ව දේශපාලනය කිරීමට මේ වන විට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය, ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ශ්‍රීලනිපය, අනුර දිසානායක මහතාගේ ජනතා විමුක්ති පෙරමුණ, ආර්. සම්බන්ධන් මහතාගේ දෙමළ ජාතික සන්ධානය මෙන්ම අනුර ප්‍රියදර්ශන යාපා මහතා සමග සිටින පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමද විපක්ෂයට එක්වීමට නියමිතය.
ඒ අනුව මෙම ප්‍රමාණය 85ද ඉක්මවා යන මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකින් සමන්විත බව වාර්තා වේ.










