දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින තමන්ව දකුණු පළාතෙන් බැහැර වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාතාල කල්ලි නායකයෙකු බව කියන මොහොමඩ් වසීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නවදෙනකු නම් කර තිබුණි.
පෙත්සම්කාර මොහොමඩ් ඉම්රාන් කියා සිටින්නේ තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් බූස්ස බන්ධනාගාරය තුළ රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවය.
ඊට අමතරව විමර්ශන සඳහා බන්ධනාගාර නිලධාරීන් හැර වෙනත් සන්නද්ධ පරීක්ෂණ කණ්ඩායම් තම සිර කුටිය තුළට ඇතුළුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු වැඩිදුරටත් සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.










