දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා ආදායම් ඉලක්ක සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දිරිදීමනාව හැකි ඉක්මනින් ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශයට උපදෙස් දෙයි.
එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති හා අග්‍රාමාත්‍යවරයා අතර අද (13) පෙරවරුවේ අරලිගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාව අතරතුරදී මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් දුන්නේය.
ඒ අනුව ඉදිරි සතිය තුළ දේශීය ආදායම් ඉලක්ක සම්පූර්ණ කිරීම වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ 2019 වර්ෂයට අදාළ දිරි දීමනා ගෙවීම් කටයුතු සිදුකෙරෙනු ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් කැපවීමෙන් සිය සේවය ඉටුකිරීම රජයක් වශයෙන් අගය කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
කොවිඩ් අර්බුදය සමයේ වුවත් සේවකයින්ට හිමිවිය යුතු දිරි දිමනාව ලබාදීමට රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු සේවකයින්ගේ ගෞරවය සහ ස්තූතිය පළකරන බව මෙහිදී දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරී සංගමයේ ලේකම් ජේ. ටි. චන්දන මහතා සඳහන් කළේය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් නඳුන් ගුරුගේ මහතා, දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරී සංගමයේ නිලධාරීන් එක්ව සිටියහ.










