පොහොට්ටුව මේ දිනවල තවත් දේශපාලන මෙහෙයුමක් දියත් කර ඇති බවක් ආරංචිය. ඒ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති තනතුරට පත්කිරීමේ මෙහෙයුමය. ඊට හේතු වී ඇත්තේ ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය නොමැතිව මොන යම් හෝ මැතිවරණයකට ගියහොත් පොහොට්ටුවට ඉතා භයානක ඉරණමක් අත්වනු ඇති බව පක්ෂයේ ප්‍රධානීන් හට අවබෝධ වී තිබීමය. එම තත්ත්වය යම් තරමකින් හෝ සමනය කරගැනීමට නම් ආණ්ඩුවේ ඉහළ තනතුරක් පොහොට්ටුව වෙත ලබාගත යුතු බව බැසිල් ඇතුළු පිරිසේ මතය වී ඇත.
නමුත් මේ සඳහා ප්‍රධාන බාධකය වී ඇත්තේ වන කවුරුවත් නොව වත්මන් අගමැතිවරයා ලෙස කටයුතු කරන දිනේෂ් ගුණවර්ධනය. දිනේෂ් ආණ්ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨයකු වන බැවින් එක්වරම මෙවැනි යෝජනාවක් ඔහුට ඉදිරිපත් කළ නොහැකි නමුත් පසුගිය සතිය වන විට රාජපක්ෂ පවුල ඇතුළෙන් ඔහුට මෙම පණිවුඩය නොනිල ලෙස ලබාදීමට කටයුතු කෙරිණි. එහිදී කියැවුණේ මහින්දට තවත් එක් අවස්ථාවක් පමණක් අගමැති ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කළ යුතු යැයි කියාය.
පළමු අවස්ථාවේදී දිනේෂ්ගෙන් නිහඬ ප්‍රතිචාරයක් ලැබී තිබුණු බැවින් රාජපක්ෂ පවුලේ කිහිප දෙනකුම යළිත් එම පණිවුඩය දිනේෂ් වෙත නොනිල ලෙස දැනුම් දී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. නමුත් දිනේෂ් මේ වන තෙක්ම ඊට ‘හා’ හෝ ‘බෑ’ කියා හෝ නොමැති බවක්ද දැනගන්නට ඇත. නමුත් රාජපක්ෂ පවුල තවමත් එම මෙහෙයුම අතහැර නැති බවද වාර්තා වේ.










