ආරක්ෂක හේතූන් මත කොරෝනා පැණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීීමට ඉඩ ලබා නොදීම හේතුවෙන් කෑගල්ලේ ධම්මික බණ්ඩාර කපු මහතා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ඉදිරියේ කළ තර්ජනාත්මක හැසිරීමෙන් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව තවත් දැඩි කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
මීට අමතරව අටමස්ථානාධිපති හිමියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
මෙම සිදුවීම වාර්තා වීමත් සමග ඊට පසුදින උදෑසනම පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාද අටමස්ථානාධිපති හිමියන්ට දුරකතනයෙන් කතා කොට මේ සම්බන්ධයෙන් විමසීමක් කොට ඇත.
නමුත් එහිදී අටමස්ථානාධිපති හිමියන් ප්‍රකාශ කොට ඇත්තේ දිනකට මෙවැනි පුද්ගලයන් පස් හය දෙනකු පැමිණෙන බවත්, තමන් එවැනි සිදුවීම පිළිබද එතරම් තැකීමක් නොකරන බවත්ය.
එමනිසා ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනවශ්‍ය බවද අටමස්ථානාධිපති හිමියන් පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
උතුරුමැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සදහන් කළේ මේ වනවිට ශ්‍රී මහා බෝධියේ සිට රුවන්වැලි සෑය දක්වා පමණක් පොලිස් නිලධාරීන් 295 දෙනකු යොදවා ඇති බවය.










