කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි රටට සෘජුව ප‍්‍රකාශ කරන්නැයි නිවේදනයක් නිකුත් කරමින් මහනුවර ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියෝ ඉල්ලා සිටිති.
ඉස්ලාමීය කොරෝනා මෘතදේහ ආදාහනයෙන් බැහැරව භූමිදානයට අවසර දී ඇතැයි යන ආරංචියක් හේතුවෙන් සහ ඒ සනාථ කරමින් කැබිනට් ඇමතිවරයෙකු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් කනස්සල්ලෙන් සිටින බවද උන්වහන්සේ කියා සිටිති.
එල්ලවන විරෝධය හමුවේ දැනට හකුළාගෙන ඇති එම තීන්දුව අද නැතත් තව මාස දෙකකින් හෝ ක්‍රියාවට නැංවීමට මේ රජයට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි ද උන්වහන්සේ අවධාරණය කරති.
එසේ කරන්නේ නම් රුවන්වැලි මහා සෑ මළුවේ දුටුගැමුණු පිළිරුව අබියස ජනාධිපතිතුමන් දිවුරුම් දෙමින් පෙන්නූ අභිමානනීය ප්‍රතිරූපය කෙලෙසා ගැනීමක් ලෙස සලකන බවද උන්වහන්සේ කියා සිටිති.
එමෙන්ම 69 ලක්ෂයක් වූ බහුතර සිංහල බෞද්ධ ජනතාව විසින් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය විද්‍යාත්මක නොවූ කරුණක් නිසා හානි කරගනු දැකීමට කැමති නොවන බවද එහි දැක්වෙයි.
අන්තවාදී අතාර්තික හා අවිද්‍යාත්මක ඉල්ලීම් වලට සවන් දී තීන්දු ගැනීමට කැබිනට් මණ්ඩලයට ඉඩ නොදිය යුතු බව තවමත් මේ රටේ බහුතර ජනතාව ජනාධිපතිගෙන් බලාපොරොත්තු වන බවද උන්වහන්සේ එම ලිපිය පෙන්වා දෙති.










