“ ආරෝග්‍යා පරමා ලාභා” තේමාව යටතේ, මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේදී පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පොසොන් කමිටුව අද (15) පස්වරුවේ තීරණය කළේය.
විජේරාමයේ නිල නිවසේදී පැවැති රැස්වීමේදී මෙම තීරණයට එළැඹියේය.
ලෝකය සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ රාජ්‍ය වෙසක් උත්සවය සැමරූ ආරෝග්‍යා පරමා ලාභා තේමාවම රාජ්‍ය පොසොන් උත්සවය සැමරීමටද සුදුසු බවට එහිදී අදහස් පලවිය.
මිහිදු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කර වසර 2328ක් සපිරෙන මෙවර පොසොන් පොහොය කෝවිඞ් – 19 වෛරස තත්ත්වය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට හානි නොවන ආකාරයෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සැමරීමට ද එහිදී තීරණය විය.
ඒ අනුව මිහින්තලා පුදභූමියේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සහ අටස්මස්ථාන ආශ්‍රිතව වෙනත් වර්ෂවල මෙන්ම පිරිත් දේශනා, හේවිසි පූජා, කප්රුක් පූජා, සහ මාධ්‍ය ආයතනවල අනුග්‍රහය ඇතිව ආලෝක පූජා පැවැත්වීම ද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් සිදුකෙරේ.
මිහින්තලය විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධමමරතන නාහිමි, පූජ්‍ය වහන්තරේ සිද්ධාර්ථ හිමි, පූජ්‍ය අග්රහැරේ කස්සප හිමි, පූජ්‍ය එගොඩඋයන ඤාණවිමල හිමි, බුද්ධ ශාසන ආගමික හා බෞද්ධ කටයුතු අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට එක් වූහ.













