පොලිසිය සහ මහජනයා අතර විශ්වාසය බිඳ වැටී ඔවුනොවුන් අතර දුරස්ථභාවයක් ඇති වීමට ප්‍රධාන හේතු සාධක තුනක් බලපා ඇති බව පොලිස් කොමිසමේ සභාපති විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පැවසීය.
සභාපතිවරයා සඳහන් කළේ ඒ සම්බන්යෙන් කළ විශේෂ සමීක්ෂණයකදී එම තොරතුරු හෙළි වූ බවය.
ඒ අතරින් ප්‍රධාන කාරණය වන්නේ යම් කිසි පැමිණිල්ලක් කිරීමෙන් පසු ඒ ගැන කඩිනමින් අපක්ෂපාතීව ක්‍රියා කිරීමට ඇතැම් නිලධාරීන් කටයුතු නොකිරීමය.
පොලිසියේ අභිමතය වැරැදි ලෙස පාවිච්චි කර තීන්දුව ලබා දෙන බවට ඇතැම් පැමිණිලිකරුවන්ට සැක මතු වීම සහ විත්ති පාර්ශ්වයට පක්ෂපාතීව කටයුතු කරන අන්දමේ හැසිරීම් රටාවක් පෙන්නුම් කරන අවස්ථා ඇති වීම අනෙක් සාධක ලෙස හඳුනා ගෙන ඇත.
එම තත්ත්වය වැළැක්වීමට පොලිස් කොමිසටම ලැබෙන පැමිණිලි පිළිබඳවද, ඒවා හරිහැටි සිදු වීද යන්න ගැන අදාළ පැමිණිලිකරුවන්ගෙන්ම දුරකතනය මඟින් තමා විසින්ම පසු විපරමක් සිදු කිරීමට තීරණය කර ඇති බවද පොලිස් කොමිසමේ සභාපතිවරයා සඳහන් කර සිටියේය.










