පොලිස්පති ධූරය සදහා වන සටන මේ වනවිට තවත් උත්සන්න කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගේ නමද එම ලයිස්තුවට එකතු වී ඇති බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.
වත්මන් පොලිස්පති සි.ඩි වික්‍රමරත්න මහතා සිය සේවා කාලය සම්පූර්ණ කර මේ මස 20 වන දින විශ්‍රාම ගැනීමට නියමිත අතර පොලිස්පති ධූරය සඳහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් තිදෙනාගේ නම් ඒ සදහා ඉදිරියෙන් පවතින බව මුලදී කියවිණ.
මේ වනවිට පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට පොලිස්පති ධූරය හිමිවනු ඇති බවට බොහෝ දෙනා මුලින් අනාවැකි පළ කර තිබුණත් පාස්කු ප්‍රහාරය සිදුවූ අවදියේදී බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් ඒ මහතා කටයුතු කිරීම නිසා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ඒ මහතාටද චෝදනා එල්ල වී තිබිණ.
නමුත් එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා වන විශේෂ පරීක්ෂණ මණ්ඩල වාර්තාවෙහි කිසියම් හෝ තැනක නිලන්ත ජයවර්ධන මහතා හෝ වෙනයම් පුද්ගලයකු ඊට ඍජු වශයෙන් වගකිව යුතු බව අනාවරණය කොට නැත.
එහි නිර්දේශවල සදහන්ව ඇත්තේ සමස්ත යාන්ත්‍රණයේම පවතින දුර්වලතා හේතුවෙන් මෙම ප්‍රහාරය සිදුව ඇති බවත්, ඒවා මගහරවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත්ය.
ඒ අනුව දැනට පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිලන්ත ජයවර්ධන මහතා හට එහි කිසිදු ඍජු චෝදනාවක් එල්ල වී නොමැති වීම මුල් කරගෙන පොලිස්පති ධූරය සදහා වන නම් අතරට ඔහුගේ නමද නිර්දේශ වී ඇති ආකාරයක් වාර්තා වේ.










