වෛද්‍ය සභාවේ සාමාජිකයන් ඉවත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරියට බලයක් නැති නිසා තමන් සාමාජිකත්වයෙන් ඉවත් කිරීම වෛද්‍ය සභා ආඥාපනත උල්ලංඝනය කිරීමක් බව පවසමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉවත් කළ සාමාජිකයන් පස් දෙනා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිට එරෙහිව අධිකරණය හමුවට යාමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා, මහාචාර්ය නාරද වර්ණසූරිය, වෛද්‍යවරුන් වන පුෂ්පිත උබයසිරි, සුනිල් රත්නප්‍රිය, උපුල් ගුණසේකර යන සාමාජිකයන් පස් දෙනා මෙලෙස ඉවත් කර තිබේ.
වෛද්‍ය සභා ආඥාපනතට අනුව සෞඛ්‍ය ඇමැතිවරියට සාමාජිකයන් පත්කිරීමට හැකි වුවත් ඉවත් කිරීමේ බලයක් නොමැති බව එම සාමාජිකයෝ ප්‍රකාශ කරති.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මතුව ඇති ගැටලු විමර්ශනය කිරීම සඳහා වෛද්‍ය හේමන්ත පෙරේරාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ කමිටුවේ නිර්දේශ මත මෙම සාමාජිකයන් ඉවත් කළ බව සෞඛ්‍ය ඇමැතිවරිය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය ප්‍රමාද කිරීම, විදේශ උපාධිධාරීන්ගේ විභාගය කල් දැමීම, විනය ක්‍රියාමාර්ග සිදු කිරීමේ දී අකටයුතුකම් සිදු කිරීම, සුදුසුකම් නැති වෛද්‍යවරුන්ට ඊ.ආර්.පී.එම් විභාගය ලිවීමට අවස්ථාව ලබා දීම, විදේශ විශ්වවිද්‍යාල ලියාපදිංචි කිරීම නිසි පරිදි සිදු නොකිරීම යන චෝදනා සඳහා මෙම සාමාජිකයන් වැරැදිකරුවන් බව කමිටුව නිර්දේශ කර ඇති බව සෞඛ්‍ය ඇමැතිවරිය සඳහන් කරයි.










