මේ දිනවල දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාව ජනාධිපතිවරණය වුවත් විටින් විට විවිධ පුද්ගලයන් විසින් මවනු ලබන පුවත් හේතුකරගෙන ජනාධිපතිවරණය ඉක්මවා ගොස් එම පුවත්වලට මාධ්‍යවල වැඩි වටිනාකමක් ලැබෙන ආකාරයක්ද දැකගන්නට ඇත. පසුගිය සතියේදී ජනාධිපතිවරණයට වඩා මාධ්‍යවල සහ සමාජ මාධ්‍ය ජාලාවල ජනප්‍රියත්වයට පත්වූ ප්‍රධාන පුවතක් වූයේ ජනාධිපතිවරයා රැඳී සිටින පැජට් පාරේ පිහිටි නිල නිවෙස විශ්‍රාම යෑමෙන් අනතුරුවද ජනාධිපතිවරයාගේම භුක්තියට වෙන්කර ගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවය. හරියටම ජනාධිපතිවරයාට ධුරයේ රැඳී සිටීමට දින 30ක, එනම් මාසයක පමණ කාලයක් ඉතිරිව තිබියදී මෙසේ මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් රැඳී සිටින නිල නිවෙස විශ්‍රාම යෑමෙන් පසුවද තමාගේ භුක්තියට පවරා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම මෙහිදී දකින්නට ලැබුණු විශේෂ සිදුවීම විය.
සරල ජනපති බලයට එද්දි කියපු කතා
මෙය ජනාධිපතිවරණය ඉක්මවා ගොස් ප්‍රසිද්ධියක් ලද පුවතක් බවට පත්වීමට බෙහෙවින්ම බලපෑවේ 2015දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට මෛත්‍රිපාල සිරිසේන මහතා කර තිබූ ප්‍රකාශ හේතුවෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස සිට එක්සත් ජාතික පෙරමුණින් ජනාධිපති අපේක්ෂකයා බවට එක රැයෙන් පත්වීමෙන් පසු මෛත්‍රි රටටම ඇහෙන්නට කියා සිටියේ තමන් රාජපක්ෂවරුන් මෙන් නොව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සරල ජනාධිපතිවරයකු බවට පත්වනවා යැයි කියාය. ජනාධිපතිවරයකු සතුව ඇති අසීමිත වරප්‍රසාද සහ වියහියදම් තමන් සම්පූර්ණයෙන්ම කපාහරිනවා යැයි කියාය. මසකට විශාල විදුලි බිලක් වැය වන ජනාධිපති මන්දිරය සහ ජනාධිපති නිල නිවෙස තමන් ප්‍රයෝජනයට නොගන්නා බවත්, ඒ වෙනුවට පොළොන්නරුවේ තමාගේ නිල නිවෙසේ සිට රට පාලනය කරන බවත් මෛත්‍රි එවකදී කියා සිටියේය. මීටත් වඩා ජනතාව ආකර්ෂණය කරගත් විශාලම පොරොන්දුව වූයේ විධායක ජනාධිපති ධුරය තමන් විසින් අහෝසි කරනවා යැයි කී කතාවය. මේ නිසාම මෛත්‍රි ජනාධිපති වූ අලුත අප රටේ ජනතාව පමණක් නොව ජාත්‍යන්තර නායකයන් පවා මෛත්‍රිව හඳුන්වා දුන්නේ සරල ජනාධිපති යැයි කියාය. නමුත් මෛත්‍රි මෙසේ විශ්‍රාම යෑමෙන් අනතුරුව තමන් මෙතෙක් භාවිතා කළ පැජට් පාරේ අති සුඛෝපභෝගී නිල නිවෙස තමන්ගේම ප්‍රයෝජනයට ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමත් සමඟ මේ දිනවල මෛත්‍රිගේ මේ පරණ කතා යූටියුබ්වල සහ සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සැරිසරන ආකාරයක් දැකගන්නට ඇත්තේ හොඳ හොඳ ලුණු ඇඹුල් සහිත පාඨක ප්‍රතිචාරද සමඟිනි.
තවදුරටත් බලයේ ඉන්න ගහපු ගේම්
මේ ආකාරයට මෛත්‍රි තමන්ගේ විශ්‍රාම දිවිය සම්බන්ධයෙන් දැන්ම තියා සැලැසුම් සකස් කළද පසුගිය වසර එකහමාරක, දෙකක කාලය තිස්සේ මෛත්‍රි සිටියේ විශ්‍රාම යෑමේ අදහසින් නම් නොවේ. මේ නිසාම පසුගිය වසර එකහමාරක දෙකක කාලය පුරාම මෛත්‍රි විවිධ දේශපාලන ගේම් ගසමින්, දේශපාලන පිටියේ ඉත්තන් එහා මෙහා කරමින්, ප්‍රධාන පක්ෂ දෙක වූ එජාපය හා පොහොට්ටුව ඇතුළේ විවිධ මතගැටුම් නිර්මාණය කරමින්, ඒ පක්ෂවල සිය හිතවත් පුද්ගලයන්ට ප්‍රසිද්ධියේම චරිත සහතික ලබාදෙමින්, දැනට සිටන නායකයන් පන්නා දමන දේශපාලන මෙහෙයුමක නිරත වූයේ දෙවන වතාවටත් ජනපති වීමේ තම සිහිනය කෙසේ හෝ සැබෑකර ගැනීමේ අරමුණින් යුතුවය. එපමණක් නොව තම ජනපති සිහිනය කෙමෙන් කෙමෙන් බොඳ වෙමින් යන විට තමන්ගේ ධූර කාලය වසර 5ක්ද නැතිනම් 6ක්ද කියා විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පවා යාමට මෛත්‍රි කටයුතු කළේය.
පසුගිය කාලය පුරාම අප මෙම සිදුවීම් උදාහරණ සහිතව රාජ්‍ය රහස් තීරය ඔස්සේ රටට අනාවරණය කළේ පිටින් කුමක් පෙන්නුවද ඇතුළතින් මෛත්‍රි සිටින සිහිනය ජනතාව හමුවේ හෙළිදරව් කළ යුතු නිසාය. නමුත් අවසානයේදී මෛත්‍රිට සිදුවූයේ මේ සියලු සැලැසුම් බිඳවැටී කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ජනාධිපති ධුරයෙන් පළමු අවස්ථාවේදීම විශ්‍රාම යන්නටය. ඒ අනුව පළමු වාරයෙන්ම විශ්‍රාම යන්නට සිදුවූ ලංකාවේ පළමු ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වන්නේද මෛත්‍රිය.
සුපිරිම නිලනිවෙස තෝරාගත් හැටි
කෙසේ වෙතත් මෙසේ විශ්‍රාම යන්නට මාසයක් තියා මෛත්‍රි සිය නිල නිවෙස පවරා ගැනීම පසුපසද ඇත්තේ අපූරු කතාවකි. පොළොන්නරුවේ සිට රට කරවන බව කියමින් බලයට පැමිණි මෛත්‍රි මාස කිහිපයක් යද්දී කොළඹ නිවෙසක් සොයන්නට පටන්ගත්තේ අනෙකුත් ජනාධිපතිවරුන් මෙන්ම කොළඹ සිට රට කරවන්නටය. පැජට් පාරේ ඇමැතිවරුන් රැඳී සිටින සුඛෝපභෝගී නිල නිවෙසක් පිළිබඳව මෛත්‍රිට වාර්තා වී තිබුණේ ඒ අතරය. ඒ අනුව තවදුරටත් මෙම නිල නිවෙස පිළිබඳව සොයා බලද්දී වාර්තා වී තිබුණේ එය හිටපු ජනාධිපතිවරුන් පවා භාවිත කර තිබූ නිල නිවාස දෙකක් එක්කොට තනන ලද අතිසුපිරි ගණයේ එකක් බවය. විශේෂයෙන්ම ඩී.බී. විජේතුංග ජනාධිපති වූ පසුව මෙම නිල නිවෙසේ රැඳී සිට ඇති බවත්, අනතුරුව විශේෂ ඇමැතිවරුන් කිහිපදෙනකු මෙම නිල නිවෙස ප්‍රයෝජනයට ගෙන ඇති බවත් එහිදී තොරතුරු වාර්තා වී තිබිණ. ඒ අනුව මෙම නිල නිවාස දෙකක් එක්කොට තැනූ සුපිරි නිල නිවෙස සිය නිල නිවෙස්නය ලෙස තෝරාගත් මෛත්‍රි අනතුරුව ඊට යාබද තවත් නිල නිවෙසක්ද එම නිවෙසට එක්කර ගත්තේ දහස් ගණනක් වූ සිය ආරක්ෂකයන්ට රැඳී සිටීම සඳහාය.
කෙසේ වෙතත් මෙම නිල නිවෙස පවරා ගැනීමෙන් අනතුරුව අතිවිශාල වියදමක් දරා විශේෂ ගණයේ පුද්ගලයන් රැඳී සිටින නිවාසයක් මෙන් නවීකරණය කිරීමට මෛත්‍රි පියවර ගත්තේය. එමෙන්ම එය ජනපති මැදුරක් හා සමානවම පෙනෙන පරිදි සකස් කිරීමටද මෛත්‍රි කටයුතු කර තිබිණ. මේ අයුරින් සිය නිල නිවෙස සකස් කරගෙන තිබුණත් සැවොම සිතා සිටියේ පළමු වාරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව කලින් කියූ පරිදිම මෛත්‍රි බොහෝ විට පොළොන්නරුවට ගොස් සිය උපන් බිමේ වාසය කරනු ඇතැයි කියාය.
කැබිනට් පත්‍රිකාව කවුරුවත්ම දැකලා නෑ
නමුත් පසුගිය අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වූ කැබිනට් පත්‍රිකාවකින් කියැවුණේ මේ සුඛෝපභෝගී සුවිසල් මැදුර කිසිදු වෙනස් කිරීමකින් තොරව විශ්‍රාම යෑමට නියමිත ජනාධිපතිවරයා වෙත ලබාදිය යුතු බවකි. එපමණක් නොව ජනාධිපතිවරයාට මේ අවස්ථාවේ ලබාදී ඇති විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ ආරක්ෂාවද ඒ ආකාරයෙන්ම කිසිදු අඩුවකින් තොරව විශ්‍රාම යෑමෙන් පසුවද ජනාධිපතිවරයා වෙත ලබාදිය යුතු බවද මෙම කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබිණ.
සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් හෙවත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ක්‍රම දෙකක් තිබේ. ඉන් එක් ක්‍රමයක් වන්නේ අදාළ කැබිනට් පත්‍රිකාව කල් තියා අමාත්‍ය මණ්ඩලයේ සියලුම ඇමැතිවරුන්ට ලබාදී ඒ පිළිබඳව අදහස් දැක්වීමට කාලවේලාව ලබාදීමය. දෙවැනි ක්‍රමය වන්නේ අතිවිශේෂ කැබිනට් පත්‍රිකාවක් නම් ඒ මොහොතේම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඊට කැබිනට් ඇමැතිවරුන්ගේ අනුමැතිය ලබාගැනීමය. නමුත් පසුගිය අඟහරුවාදා මෛත්‍රිට නිල නිවෙස විශ්‍රාම යෑමෙන් අනතුරුවද ලබාදෙන විශේෂ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ මේ ක්‍රම දෙකෙන්ම පරිබාහිර අමුතුම ක්‍රමයකටය. එනම් මෙතෙක් පැවැති එම සම්ප්‍රදාය කඩකොට මෙම කැබිනට් පත්‍රිකාව සදාචාර විරෝධී ආකාරයට හිටි හැටියේම ඉදිරිපත් කොට එය කිසිදු අමාත්‍යවරයකුටවත් දැකගැනීමට නොහැකි වන ලෙස සම්මත කොට පසුව එම කැබිනට් පත්‍රිකාව නැවැත රැගෙන යෑමය.
මංගල පත්‍රිකාව කියවද්දී මෛත්‍රී හිනාවෙමින් බලන් ඉදලා
දැනගන්නට ඇති ආකාරයට මෙම කැබිනට් පත්‍රිකාව ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ සකස් කෙරුණු අතර එය ඉදිරිපත් කිරීම භාරකොට තිබුණේ මුදල් අමාත්‍යවරයා වශයෙන් මංගල සමරවීර මහතාටය. මෛත්‍රිගෙන් ලද උපදෙස්වලට අනුව මෙය සිදුවූවක්ද නැතිද යන්න දැනගැනීමට තවමත් තොරතුරු නැතත් එදින සිදුවූයේ මංගල මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය හමුවේ සම්පූර්ණයෙන්ම කියවා එය නැවත තමාගේ බෑගයෙහි දමාගැනීමය. ඒ අනුව අදාළ කැබිනට් පත්‍රිකාවේ ඇති වගන්ති මොනවාද, කොන්දේසි මොනවාද, එය සිදුවන ක්‍රමවේදය කුමක්ද යන්න කිසිවක් අනෙකුත් ඇමැතිවරුන්ට දැනගන්නට නොලැබීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය. අනෙකුත් විශේෂම සිදුවීම වූයේ මංගල විසින් මෛත්‍රිට විශ්‍රාම යෑමෙන් අනතුරුව නිල නිවෙස හා විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ ආරක්ෂාව ඒ පරිදිම ලබාදිය යුතු බවට වූ කැබිනට් පත්‍රිකාව කියවද්දී දූෂණය, වංචාව, නාස්තිය, සරලකම ගැන කියා බලයට පැමිණි මෛත්‍රි කැබිනට් මණ්ඩලයේ මූලාසනයේ සිට බොහොම ආසාවෙන් යුතුව ඒ දෙස බලා සිටීමය.
විපක්ෂය සද්දයක්වත් නෑ
කෙසේ වෙතත් මෙම සිදුවීමේ කනගාටුදායකම පැත්ත දැකගන්නට ලැබුණේ එය පුවතක් වශයෙන් මාධ්‍ය විසින් වාර්තා කිරීමෙන් පසුවය. එනම් නාස්තිය, දූෂණය, සදාචාරය පිළිබඳව නිතරම කතා කරන විපක්ෂය මේ සම්බන්ධයෙන් වචනයක් හෝ නොකියා සිටීම මුල්කරගෙනය. මේ වන විට රටේ විපක්ෂය නියෝජනය කරන පාර්ශ්ව කිහිපයක් ඇති අතර ඉන් ඉදිරියෙන්ම සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණත්, ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා පොහොට්ටුවේ විවිධ පාර්ශ්වයනුත්, එජාපයේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමත්ය. මේ පුවතේ සැර බාල කොට සෑම මාධ්‍යයක්ම විවිධ ආකාරයෙන් සංස්කරණය කොට එය පළ කළත් මේ කියන කිසිදු විපක්ෂයක් ඒ පිළිබඳ අද වනතුරු වචනයක් හෝ කතා කර නොතිබීම මේ වන විට පුදුම උපදවන සිදුවීමක් බවට පත්ව ඇත.
චන්ද්‍රිකා-මහින්ද නිලනිවාස ගන්න විදපු දුක
අනෙක් අතට හිටපු ජනාධිපතිවරුන්ට නිල නිවාස ලබාදීම සම්බන්ධයෙන් වූ ඉතිහාසය දෙස බලන විට අපට දැකගන්නට ඇත්තේ ඉතා අසීරුවෙන් නිල නිවාස ලබාගත් ඉතිහාසයකි. උදාහරණයක් ලෙස හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා ඝාතනය වීමෙන් පසුව හේමා ප්‍රේමදාස මැතිනියට තමන්ට නිල බලයෙන් හිමි නිවාසය ලබාගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. 2005 චන්ද්‍රිකා මැතිනිය විශ්‍රාම යෑමෙන් පසුව තමන්ට ව්‍යවස්ථාවෙන්ම හිමි නිල නිවාසය ලබාගැනීම සඳහා විශාල කාලයකට පමණක් නොව විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට චන්ද්‍රිකාට සිදුව තිබිණ. මෑත ඉතිහාසය ගතහොත් 2015 දී පරාජයට පත්වූ මහින්දට තමන්ට හිමි නිල නිවාසය ලබාගැනීම සඳහා මෛත්‍රිට එරෙහිව විශාල සටනක් දියත් කරන්නට සිදුවී තිබිණි. එමෙන්ම විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණදීමටද මහින්දට සිදුවිය. එවන් පසුබිමක් යටතේ විශ්‍රාම යෑමට මාසයක කාලයක් තියාම තමන් මෙතෙක් ජීවත් වූ සුපිරි නිවාසය සහ තමන්ට ලැබුණු ආරක්ෂාව කැබිනට් පත්‍රිකාවක් මඟින්ම සම්මත කරගෙන විශ්‍රාම යන දින සිටම එම පහසුකම් භාවිතාවට ගැනීමට නියමිත ලංකාවේ එකම ජනාධිපතිවරයා වන්නේ වෙන කවරුවත් නොවන මෛත්‍රිපාලය.
මාරපන විතරක් ප්‍රශ්න කරයි
කෙසේ වෙතත් මෙම කැබිනට පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමෙන් අනතුරුව එය ඇහැට නොදැක්ක නිසා කිසිදු ඇමැතිවරයකුට ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට නොහැකි වුවත් තිලක් මාරපන ඇමැතිවරයා පමණක් ඒ පිළිබඳව කිසියම් ප්‍රශ්න කිරීමක නිරත විය. මාරපනට ගැටලුව වී තිබුණේ විශ්‍රාම ගැනීමෙන් පසුව මෛත්‍රිට දෙන නිල නිවෙස පිළිබඳව නොව මෛත්‍රිට දීමට යන එස්.ටී.එෆ්. ආරක්ෂාව පිළිබඳවය. මාරපන කියා සිටියේ මෛත්‍රිට එවන් ආරක්ෂාවක් දෙනවා නම් හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකාට සහ මහින්දටද එවැනි එස්.ටී.එෆ්. ආරක්ෂාවක් ලබාදිය යුතුයි යැයි කියාය. මහින්දට මෙන්ම චන්ද්‍රිකාටද තවමත් එල්.ටී.ටී.ඊ. තර්ජන තිබීම ඊට හේතුව බව මාරපන එහිදී කැබිනට් මණ්ඩලයට පෙන්වා දුන්නේය. නමුත් ඊට ඉදිරිපත් වූ පිළිතුර වූයේ චන්ද්‍රිකාට, මහින්දට ලොකු ජීවිත තර්ජනයක් නොමැති බවත්, කුඩු වසංගතය රටින් තුරන් කර දැමීමට කටයුතු කිරීම හේතුවෙන් බරපතළ ජීවිත තර්ජනයක් මෛත්‍රිට මතුව ඇති බවත්ය. එම නිසා මෛත්‍රිට විශ්‍රාම ගැනීමෙන් අනතුරුවද එස්.ටී.එෆ්. ආරක්ෂාව ලබාදිය යුතු බවද එහිදී වැඩිදුරටත් කියැවිණි.
මේ ආකාරයට විශ්‍රාම යෑමට නියමිතව සිටින මෛත්‍රි නිල නිවෙස හා ආරක්ෂාව පමණක් නොව නිල වාහනද රැගෙන යෑමේ සූදානමකින් සිටින බව පෙනෙන්නට ඇත්තේ මීට සති දෙකකට ඉහතදී තමන්ට ආරක්ෂක රථ දෙකක් ගෙන්වා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ පරිපූරක ඇස්තමේන්තුව දෙස බලන විටය. අපි ඉකුත් සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ මේ පිළිබඳව කරුණු දැක්වීමට කටයුතු කළෙමු. පසුගිය සතියේදී නිල නිවෙස සහ ආරක්ෂාව ලබාගැනීමට මෛත්‍රි කටයුතු කළ ආකාරය දෙස බලන විට මෙම රථ වාහන දෙකද තමන් විශ්‍රාම යෑමෙන් පසු භාවිතයට ගැනීමට මෛත්‍රිගේ සූදානමක් ඇති බව පෙනෙන්නට ඇති කරුණකි.
චන්ද්‍රිකා යළි සටන අරඹයි
ජනාධිපතිවරණ සමයන්හිදී විවිධ දේශපාලන ගේම් ගැසීමට උපන් හපන්කම් දක්වන චරිත කිහිපයක්ම ලංකාවේ දේශපාලනයේ දැකගන්නට පුළුවන. ඉන් එක් ප්‍රධාන චරිතයක් වන්නේ හිටපු ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකය. 2015 දී මහින්ද රාජපක්ෂව පරාජය කොට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති පුටුවේ වාඩිවූයේ චන්ද්‍රිකා එදා තිරය පිටුපස ගැසූ විශාලම දේශපාලන ගේම් එක නිසාය. නමුත් මෛත්‍රි බලයට පැමිණ තමන් දුන් පොරොන්දු එකින් එක අමතක කළා සේ වැඩිකල් නොගොස් චන්ද්‍රිකාවද අමතක කර දැමීමට කටයුතු කළේය. ඒ කලකිරීම නිසාම පසුගිය කාලය පුරාම චන්ද්‍රිකා සිටියේ මෛත්‍රිගෙන් ඉවත්ව පසෙකට වීය.
කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය පොහොට්ටුවට සහායදී පොහොට්ටුව සමඟ ගිවිසුම් ගතවීමට කටයුතු කිරීමත් සමඟ විශාල කලකිරීමකින් සිටි චන්ද්‍රිකා කළේ සියලු දේවල් අතහැර දමා ලන්ඩනය බලා පිටත්ව යෑමය. එසේ ගිය චන්ද්‍රිකා ලන්ඩනයේ සිටද පක්ෂ මහලේකම්වරයා වූ දයාසිරිට ලිපියක් ලියමින් මෙසේ ශ්‍රීලනිපය පොහොට්ටුවට පාවාදීම සම්බන්ධයෙන් දැඩි දෝෂදර්ශනයක නිරත වූවාය. (පසුගිය සතියේදී අප එම ලිපිය රාජ්‍ය රහස් තීරයේ පළකිරීමට කටයුතු කළෙමු).
මංගල රනිල්ට දුක කියන්න එක්කගෙන යයි
කෙසේ වෙතත් මෙසේ ලන්ඩනයට ගියද චන්ද්‍රිකාට නිදහසේ නම් සිටින්නට හැකියාව ලැබුණේ නැත. ඊට හේතු වූයේ ශ්‍රීලනිපය පොහොට්ටුවට හේත්තු කිරීමත් සමඟ අසරණ වූ අතිවිශාල ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගෙන් චන්ද්‍රිකාට දිගින් දිගටම ලැබුණු පණිවුඩය. මෙම ආසන සංවිධායකවරුන් පොහොට්ටුව පැත්තෙන් සිද්ධවෙමින් පවතින කෙනෙහිළිකම් හා අඩු සැලකිලි සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා නායකත්වයක් සෙව්වද ඔවුන්ට එවැනි නායකත්වයක් දැකගන්නට නොලැබීම චන්ද්‍රිකා යළිත් කරළියට පැමිණීමට ප්‍රධානම හේතුව විය.
ඔවුන් එම පැමිණිලි මෛත්‍රිපාලට ඉදිරිපත් කළද ජනපති මැදුරට වී සිටින මෛත්‍රිපාලගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. අනතුරුව ඔවුන් සිය පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා චන්ද්‍රිකාව සෙව්වද ඔවුන්ට දැනගන්නට ලැබුණේ සියලු දේ අතහැර චන්ද්‍රිකා ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇති බවට වූ පණිවුඩයය. ඒ අනුව අවසානයේදී ඔවුන් සිය ප්‍රශ්න අරගෙන ගියේ ඔවුන්ගේ පැරැණි ශ්‍රීලනිප මිතුරා වූ මංගල සමරවීර අමාත්‍යවරයා ළඟටය. එසේ ගිය මේ පිරිස තමන්ට පොහොට්ටුවේ පිරිස් වෙතින් එල්ලවෙන බලපෑම් සහ තමන්ගේ දුක කීමට කිසිවකුත් නොමැති වීම සම්බන්ධයෙන් මංගලට පැමිණිලි කර සිටීමට පියවර ගත්හ. ඒ අනුව තමාට හැකි පරිදි මංගල මෙම ගැටලු විසඳීමට උත්සාහ කළත්, හරිහමන් ශ්‍රීලනිප නායකත්වයක් නොමැති වීම නිසා ඔවුන් දැඩි අසරණ භාවයකට පත්ව සිටින ආකාරය මංගලටද දැකගත හැකි විය. ඒ අනුව මංගල අවසානයේදී කළේ ලන්ඩනයේ සිටින චන්ද්‍රිකාට පණිවුඩ පිට පණිවුඩ තබමින් එම තත්ත්වය තේරුම් කර දීමට උත්සාහ දැරීමය. නමුත් එය අසාර්ථක වූයේ මංගලගේ කිසිදු ඇමැතුමකට චන්ද්‍රිකා ප්‍රතිචාර දැක්වීමට කටයුතු නොකළ නිසාය.
චන්ද්‍රිකා ලන්ඩනයේ සිට එවපු ලියුමේ තිබූ දේ
ඒ අනුව පසුව මංගල ශ්‍රීලනිපයේ මෙම ප්‍රශ්නය අරගෙන ගියේ රනිල් ළඟටය. පවතින තත්ත්වය මංගල පැහැදිලි කිරීමෙන් පසු රනිල් ඒ සම්බන්ධයෙන් චන්ද්‍රිකා සමඟ සාකච්ඡා කරන බවට මංගලට දැනුම්දීමට කටයුතු කළේය. ඒ අනුව වහාම රනිල් කළේ සිය දුරකතනයට ලන්ඩනයේ සිටින චන්ද්‍රිකා සම්බන්ධ කර ගැනීමය. වරක් දෙවරක් නොව අවස්ථා කිහිපයකදීම මෙසේ චන්ද්‍රිකාව සම්බන්ධ කරගත්ත රනිල් ශ්‍රීලනිපය තුළ මතුව ඇති බරපතළ අර්බුදය චන්ද්‍රිකාට පැහැදිලි කර දීමට කටයුතු කළේය. ඒ අනුව අවසානයේදී ඉතා ඉක්මණින් ලංකාවට පැමිණීමටත්, පැමිණි වහාම ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ට නායකත්වය ලබාදීමටත් චන්ද්‍රිකා සිය කැමැත්ත පළ කළාය.
ඒ අනුව චන්ද්‍රිකා මුලින්ම කළේ ලන්ඩනයේ සිටම ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් වෙත ලිපියක් එවීමය. එහි ඇතැම් තැන්වල මෙසේද සඳහන්ව තිබිණ.
“මා ආදරණීය සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයිනි ! මිත්‍රවරුනි !
අප සියලු දෙනාගේ ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන අදූරදර්ශී නායකත්වය නිසා පක්ෂය සහ පාක්ෂිකයා දැඩි ලෙස අසීරුතාවට පත්ව ඇති මේ අවස්ථාවේ, පක්ෂය වෙනුවෙන් මෙතෙක් කල් බොහෝ කැපවීම් කළ ඔබ ව ආමන්ත්‍රණය කිරීම මාගේ බලවත් යුතුකමක් සහ වගකීමක් ලෙස සලකමි. ඒ, දශක ගණනාවක් පුරා ඔබත් සමග අපගේ පක්ෂය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කළ මා, උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ දරන මතය කුමක්ද? යන්න පිළිබඳ ඔබ විශාල උනන්දුවකින් සහ උද්යෝගයකින් පසු වන බව දන්නා බැවිනි…‘
‘….එහෙත් ඉතිහාසයේ ප්‍රථම වරට තව නොබෝ දිනකින් මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමට පැවැත්වෙන තීරණාත්මක ජනාධිපතිවරණය සඳහා අප පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ගන්නට නොහැකි වී තිබේ.
පක්ෂය නැවතත් කුමන්ත්‍රණකරුවන්ට පාවා දීලා
ජනාධිපතිවරණ ඉතිහාසයේ පැවති ජනාධිපතිවරණ හතෙන් හතරක් ඍජුව ජයග්‍රහණය කර ගැනීමට අප පක්ෂයට හැකි විය. 1994 පැවති තුන්වන ජනාධිපතිවරණයේ දී වසර 17කට පසුව පක්ෂයට රාජ්‍ය බලය ලබා දී ලෝකයේ ජනාධිපතිවරණයක දී වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබා ගත් නායකයින් දෙදෙනාගෙන් එක් අයෙකු බිහි කිරීමට ද අප ආදරණීය පක්ෂයට හැකි විය. එවැනි ප්‍රතිශතයක් ලබා ගත් අනෙක් ලෝක නායකයා වූයේ දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා ය. ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වූ ජනාධිපතිවරණ තුනෙන් 2015 පැවති ජනාධිපතිවරණයේ දී ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයන් වූයේ අප පක්ෂයේ ම ලේකම් සහ සභාපතිවරයා යි. එහිදී පක්ෂ ලකුණ සභාපතිවරයා සතු වුව ද පක්ෂ ප්‍රතිපත්ති සහ සැබෑ පාක්ෂිකයා සිටියේ පක්ෂ මහලේකම්වරයාගේ පාර්ශවයේ ය. ඒ අනුව ගත් කල අප පක්ෂය පරාජයට පත් වූයේ ජනාධිපතිවරණ දෙකක් පමණි.
එවැනි ජයග්‍රාහී පක්ෂයක පසු කාලීනව නායකත්වය ලබා ගත් අඥාදායක නායකයකු පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් 2015 ජනාධිපතිවරණයේ දී මෙරට පොදු ජනතාව ජීවිත අවදානම් නොතකා නායකත්වය ගත්ත ද, හැට දෙලක්ෂයක ජනවරමින් බලයට පත්වූ නායකයා තම පෞද්ගලික අවශ්‍යතා සඳහා අද වන විට පක්ෂය නැවත කුමන්ත්‍රණකරුවන්ට පාවා දී තිබේ….’
‘…ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු වංචනිකයන්, මිනීමරුවන්, ජාවාරම්කාරයින්ගෙන් සමන්විත පක්ෂයක් නොවේ. එය මෙරට තැලෙන පෑගෙන පොදුජනතාවගේ පක්ෂයයි. ජාතිවාදය, ආඥාදායක්ත්වය, මර්දනය, සොරකම, අවනීතිය රජකරන යුගයකට රට නැවත තල්ලුරෑ කිරීමට කිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු සූදානම් නොමැති බව මම දනිමි….’
‘…එබැවින් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 95% කගේ විරෝධය නොතකා ඉතා අතලොස්සක් වන අවස්ථාවාදී නායකයන් පිරිසකගේ පෞද්ගලික බලලෝභී අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන්, පක්ෂයේ සදාදරණීය නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දහ නව වන ගුණානුස්මරණය යෙදී තිබූ ඉකුත් ඔක්තෝබර් 10 වන දින දී ම, පක්ෂය ගිවිසුමක් මගින් කුමන්ත්‍රණකරුවන් පිරිසකට පවරා දී, පක්ෂය විනාශ කිරීමට ගන්නා උත්සාහය සාර්ථක වීමට ඉඩ නොතැබිය යුතු ය. ඒ සඳහා ඔබ සියලු දෙනා එළඹෙන ජනාධිපතිවරණයේ දී වඩාත් බුද්ධිමත්ව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි…’
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
සෙනසුරාදාම ලන්ඩනයෙන් කොළඹට
ඒ අනුව චන්ද්‍රිකා යළි ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ සෙනසුරාදා (19දා) දිනයේදීය. එසේ ලංකාවට පැමිණීමෙන් පසු ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන යළිත් වතාවක් දැවැන්ත සටනකට සූදානම් වීමට චන්ද්‍රිකා තීන්දු කර ඇති බවද ආරංචිය.
මීට අමතරව ලංකාවට පැමිණීමෙන් පසු චන්ද්‍රිකා තවත් විශේෂ දේශපාලන මෙහෙයුමකට අතගැසීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත. ඒ ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරගෙනය. ලන්ඩනයේ සිටම චන්ද්‍රිකා මේ සම්බන්ධයෙන් මෛත්‍රි සමඟත්, මංගල සමරවීර මහතා සමඟත් සාකච්ඡා කර ඇති බවක්ද දැනගන්නට තිබේ. ඒ අනුව චන්ද්‍රිකා සූදානම් වන්නේ ජනාධිපතිවරණයෙක් කවුරු ජයග්‍රහණය කළද ඉන් අනතුරුව ශ්‍රීලනිපය නැවැත ප්‍රබල තත්ත්වයකට පත්කොට මහ මැතිවරණය ඉලක්ක කොටගෙන විශාල මෙහෙයුමක් දියත් කිරීමටය. අපට ලැබෙන තොරතුරු අනුව දැනගැනීමට ඇත්තේ ජනාධිපතිවරණ ඡන්ද සටන අතරතුරදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය සියලුම පිරිස් සමඟ යළි සාකච්ඡා ආරම්භ කොට ජනාධිපතිවරණ සටනින් පසු ඔවුන්ව යළි පක්ෂයට එක්කර ගැනීමේ ක්‍රමවේදයක් චන්ද්‍රිකා විසින් සකස් කර ඇති බවකි. ඒ හරහා මහ මැතිවරණය පැමිණෙන විට පක්ෂය ප්‍රබල තත්ත්වයකට රැගෙන ඒම ඇයගේ සැලැසුම වී ඇති බව ආරංචිය.
කරු යළි කරලියට
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන් විය යුතුද යන්න සම්බන්ධයෙන් මීට මාසයකට පමණ ඉහතදී පක්ෂය ඇතුළේ පැවැති සංවාදයේදී ඉහළින්ම කියැවුණු නමක් වූයේ කතානායක කරු ජයසූරිය මහතාගේ නමය. මෛත්‍රි සහ මහින්ද එක්ව බිහිකළ දින 52ක කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පරාජයට පත්කිරීමේ නියමුවා වශයෙන් කරු දැවැන්ත භූමිකාවක් රට ඇතුළේ නිරූපණය කිරීමත්, සියලු පාර්ශ්ව ඒකරාශී කරගෙන පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකි එකම චරිතය ලෙස කරු හඳුනාගෙන තිබීමත් මෙසේ ඔහුගේ නම යෝජනා වීමට හේතුවී තිබිණ. ඒ අනුව අවසාන මොහොතේදී පක්ෂ නායක රනිල්ද, කතානායක නිල නිවෙසට ගොස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස කරුට ආරාධනා කිරීමටද පියවර ගත්තේය. නමුත් පක්ෂයේ බහුතර කණ්ඩායමක් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් නම් කරන ලෙසට කරනු ලැබූ ඉල්ලීම් මුල්කරගෙන අවසානයේදී අඩියක් පසුපසට ගත් කරු ජනපති අපේක්ෂකත්වය සජිත්ට ලබාදීමටත්, ඒ හරහා පක්ෂයේ සියලුදෙනා අතර එකමුතුභාවය ගොඩනැඟීමටත් අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර සිටියේය. ඉන් අනතුරුව කරුගේ නම දේශපාලන ක්ෂේත්‍රයේ එතරම් ඇසෙන ආකාරයක් පසුගිය දින කිහිපය තුළ දැකගන්නට ලැබුණේ නැත.
රනිල් කරුගේ ගෙදරට යයි
කෙසේ වෙතත් හිටි හැටියේ පසුගිය සතියේ කරුගේ නම යළිත් වතාවක් එළියට ආවේ කරු හා රනිල් අතර අප්‍රසිද්ධියේම විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීම නිසාය. මීට පෙර පැවැති බොහෝ සාකච්ඡා කතානායක නිල නිවෙසේ පැවැත්වුණද මෙවර රනිල් හා කරු අතර සාකච්ඡාව පැවැතියේ කරුගේ අමරසේකර මාවතේ පිහිටි නිවෙසේදීය. ඊට හේතු වූයේ සම්ප්‍රදායට අනුව කතානායක නිල නිවෙස තුළ දේශපාලන කරුණු සාකච්ඡා නොකරන නිසාය. ඒ අනුව කරුගේ අමරසේකර මාවතේ පිහිටි නිවෙසේදී රනිල් හා කරු අතර සාකච්ඡා වූයේ එජාපයේ මැතිවරණ සටන මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳවය. මුලදී කරු රනිල්ගේ මේ යෝජනාවට අකැමැති වුවත්, පසුව සිදුකෙරුණු පැහැදිලි කිරීම් හමුවේ එජාපය ශක්තිමත් කිරීම පිළිබඳ දෙදෙනා අතර යම් යම් එකඟතාවන් ඇතිවූ බව ආරංචිය.
ඉදිරියේදී ලොකු වැඩක් කරන්න බාරගනී
කරු මේ වන විට සක්‍රිය දේශපාලනයෙන් තරමක් ඉවත් වී සිටියත් කාටත් අමතකව ඇති කරුණක් වන්නේ 2015 එජාපය ජයග්‍රාහී මාවතට අවතීර්ණ කළ ඌව පළාත් සභා මැතිවරණයේ බදුල්ල ඉලක්ක කරගත් සම්පූර්ණ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කරු විසින් මෙහෙයවූ ආකාරයය. 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා මූලිකව ඉවහල් වූයේ කරු විසින් බදුල්ලෙන් පත්තුකරන ලද ඒ පළමු වෙඩිමුරයය. එම ඡන්ද සටන දියත් කිරීම සඳහා සියලු පාර්ශ්ව සහ සංවිධාන එකතු කරුණු ලැබුවේ වෙන කවුරුවත් නොව කරුය. අද වනවිට වෙන වෙන පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් ලකුණු දාගත්තද ඇත්තටම එම ජයග්‍රාහී ඡන්ද සටන මෙහෙවූයේ කරුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකිනි. අවසානයේදී රනිල්, සජිත්, කරු යන තිදෙනාම බදුල්ලේ එක වේදිකාවකට පැමිණෙන තැන දක්වා සටන මෙහෙයවූයේ කරුය. ඒ අතින් බලන කල කරු යනු හොඳ සංවිධාන ශක්තියකින් යුතු චරිතයකි.
පසුගිය සතියේ රනිල් හා කරු අතර පැවැති සාකච්ඡාවේදී ඇතිකරගත් එකඟතා මොනවාද යන්න මෙතෙක් හෙළිදරව් වී නැතත් ඒවා මොනවාද යන්න ඉදිරි දින කිහිපය ඇතුළතදී කරු ගම්පහ දියත් කරන වැඩපිළිවෙළින් දැකබලාගත හැක.
දුමින්දගේ අනුරපුරින් පටන් ගත් හූ රැල්ල වටේටම යයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පොදුජන පෙරමුණත් සන්ධානගත වූයේ මීට සති දෙකකට පමණ ඉහතදීය. එසේ සන්ධානගත වීමෙන් අනතුරුව ගෝඨාභයගේ මංගල රැස්වීම පැවැත්වුණේ අනුරාධපුරයේය. පක්ෂ දෙක එක්වීම රටට පෙන්වනු වස් අනුරාධපුර මංගල රැලියට අනුරාධපුර ශ්‍රීලනිප ප්‍රබලයන් වූ දුමින්ද දිසානායකත්, වීරකුමාර දිසානායකත් ගොඩවනු දැකගන්නට ලැබිණ. නමුත් කිසිවකුත් නොසිතූ ආකාරයෙන් මෙහිදී දුමින්ද දිසානායකට පොහොට්ටුවේ පාක්ෂිකයන්ගේ එල්ලවූයේ දැඩි හූ හඬකි. අවසානයේදී මාධ්‍ය වාර්තා කළේ අනුරාධපුරයේ ශ්‍රීලනිප ප්‍රබලයා වූ දුමින්දට අනුරාධපුරයේදීම පොහොට්ටු පාක්ෂිකයන්ගේ හූ හඬට මුහුණදීමට සිදුවූවා කියාය. සැවොම සිතා සිටියේ දුමින්දගේ සිද්ධියෙන් පසුව පොහොට්ටුවේ සාමාජිකයන් ශ්‍රීලනිප සාමාජිකයන්ට හූ තැබීම නවතනු ඇතැයි කියාය. නමුත් සිදුවූයේ හූ තැබීම නැවතීම නොව ශ්‍රීලනිප සාමාජිකයන්ට හූ තැබීම රැල්ලක් ලෙස රට පුරා පැතිරී යෑමය.
රත්නපුරේ ජෝන්ටත්-ටී.බී.ටත්-තාරානාත්ටත් හූ තියයි
එහිදී දෙවැනි හූ තැබීම දැකගන්නට ලැබුණේ පසුගිය සතියේ රත්නපුරයෙනි. එහිදී පොහොට්ටු වේදිකාවේදී හූ හඬ කෑවේ වෙනකවුරුවත් නොව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකු වූ ජෝන් සෙනෙවිරත්නය. මෙසේ ජෝන්ට හූ තැබීම කෙතරම් දුරට ගියාද කියනවා නම් අවසානයේදී ජෝන් සිය කතාවේදීම මෙම පිළිකුල්සහගත ක්‍රියාව හෙළාදකින බව සඳහන් කළේ ඉතා අසරණ තත්ත්වයකට පත්වය.
ඉන් අනතුරුව කුරුණෑගල පැවැති රැස්වීමකදී හූ හඬ එල්ලවූයේ ටී.බී. ඒකනායකටය. ටී.බී. කතා කරන විට හූ හඬ කොතරම් දරුණු වූවාද කියනවා නම් අවසානයේදී ටී.බී.ව පැත්තකට දැමූ ජොන්ස්ටන් හූ නොතබන ලෙස ප්‍රසිද්ධියේම සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
එදිනම ගල්ගමුවේ පැවැති රැස්වීමකදීද ශ්‍රීලනිපයේ මන්ත්‍රිවරයකු වූ තාරානාත් බස්නායකට මුහුණදීමට සිදුවූයේ මෙම කනගාටුදායක ඉරණමටය. එහිදී පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු රැස්වීමට පැමිණ සිටි පාක්ෂිකයකුට පහරදෙන ආකාරයක්ද දැකගත හැකි විය.
මහින්දයි බැසිලුයි දුන් උත්තරය
මේ තත්ත්වය එන්න එන්නම දරුණු වීම නිසා ශ්‍රීලනිප නායකයන් මෙන්ම පොහොට්ටුවේ නායකයන්ද පත්වූයේ දැඩි අපහසුතාවයකටය. මේ නිසා අවසානයේදී ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ට හූ තැබීම නවතාලීම සඳහා මහින්දටද මැදිහත් වීමට සිදුවිය. එසේ මහින්දට මැදිහත් වීමට සිදුවූයේ ශ්‍රීලනිප නියෝජිතයන් පොහොට්ටුවේ වේදිකාවට ගොඩනොවන බවට එහි ප්‍රබලයන්ට කර තිබූ දැනුම්දීමත් සමඟය. ඒ අනුව ශ්‍රීලනිපයෙන් පොහොට්ටුවට එක්වූ මන්ත්‍රිවරුන් 18 දෙනාගෙන් බහුතරයක්ම පොහොට්ටු ප්‍රබලයන්ට දැනුම් දී තිබුණේ මෙම තත්ත්වය මත මන්ත්‍රිවරුන් කිහිපදෙනකුටම පොහොට්ටු වේදිකාවට ගොඩ නොවන බවට දැනටමත් තහවුරු කර ඇති බවකි. එමෙන්ම තවත් ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පොහොට්ටුවට දැනුම්දී සිටියේ තමන් පොහොට්ටු වේදිකාවට ගොඩ නොවී වෙනම ගෝඨාභය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙනයෑමට කටයුතු කරනවා යැයි කියාය.
ඒ අනුව අවසානයේදී මහින්ද සහ බැසිල් මෙම ප්‍රශ්නයට මැදිහත් වී සියලුම සංවිධායකවරුන්ට දැනුම්දීමක් කළේ මින් ඉදිරියට මෙවැනි සිදුවීමක් වුවහොත් අදාළ සංවිධායකවරයා එහි වගකීම භාරගත යුතු යැයි කියාය. ඒ අනුව සංවිධායකවරයා එසේ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් හූ නොතබන තත්ත්වයට රැස්වීම් සංවිධානය කළ යුතු බවද එහිදී මහින්දත්, බැසිලුත් ඔවුන්ට උපදෙස් ලබාදී තිබිණ.
ටී.එන්.ඒ්. කොයි අතට කැරකෙයිද?
2005 වසරේ සිට දකුණේ ජනාධිපතිවරුන් බිහිකිරීමේ තීරණාත්මක සාධකය වූයේ උතුරු නැඟෙනහිර දමිළ ජනතාවගේ ඡන්දය. 2005 වසරේදී මහින්ද සහ රනිල් අතර පැවැති ඡන්ද සටනේදී රනිල්ගේ ජය ඇස් පනාපිට පෙනෙන්නට තිබුණත් අවසානයේදී මහින්ද ජයග්‍රහණය කළේ එල්.ටී.ටී.ඊ.ය උතුරේ ඡන්ද වර්ජනයක නිරත වීම නිසාය. එම ඡන්ද වර්ජනය පසුපස සිදුවීම් මාලාවක් සිදුවූ බවද එකල මාධ්‍ය වාර්තා කර තිබිණ.
නැවත 2015දී මහින්ද සහ මෛත්‍රි අතර පැවැති ජනාධිපතිවරණ සටනේදීද මෛත්‍රිගේ ජයග්‍රහණය තීන්දු වූයේ උතුරේ ජනතාව පෝලිමේ ඇවිත් හංසයා ඉදිරියේ කතිරය ගැසීම නිසාය. මේ නිසාම මෙවර ජනාධිපතිවරණයේදීත් බොහෝ දෙනා බලා සිටින්නේ උතුරු, නැඟෙනහිර දෙමළ ඡන්ද හැසිරෙන ආකාරය දෙසය.
පසුගිය සතියේ අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ උතුරේ ඇතැම් දේශපාලන පක්ෂ 2005දී මෙන්ම ඡන්ද වර්ජනයකට යායුතු බවට විශාල ව්‍යාපෘතියක් පටන්ගෙන ඇති බව අනාවරණය කර සිටියේය. ගජන් පොන්නම්බලම් වැනි ප්‍රධාන චරිත එහි ඉදිරියෙන්ම සිටින බවද අපි වාර්තා කර සිටියෙමු. 2005 සිටම දකුණේ ජනාධිපතිවරුන් උතුරේ ජනතාව රැවටූ බව කියමින් මෙසේ ඡන්දය වර්ජනය කළ යුතු බවට මෙම පිරිස ප්‍රබල මතයක් ගෙනයෑම නිසා සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන්ගේ මතයට නතුවී සිටින බවක්ද මේ වන විට පෙනෙන්නට ඇති කාරණයකි.
මේ පාරත් යාපන සිසුන් එළියට එයි
කෙසේ වෙතත් 2005 මේ ඡන්ද වර්ජනයට මුල් අඩිතාලම දැමුවේ යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන්ය. ඔවුන් එහිදී යෝජනාවක් සම්මත කරමින් මෙසේ ඡන්දය වර්ජනය කළ යුතු බවට එල්.ටී.ටී.ඊ. සංවිධානයද පොළඹවා ගත්තේය. මේ ආකාරයටම යමින් මෙවරත් යාපන සරසවි සිසුන් දෙමළ ජනතාව වෙනුවෙන් යෝජනාවලියක් සකස් කරමින් එය උතුරේ සමස්ත දමිළ නායකයන්ට ඉදිරිපත් කිරීමට පසුගිය සතියේ කටයුතු කළේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ දෙමළ ජාතික සන්ධාන නායකයන්, උතුරේ මහ ඇමැතිව සිටි සී.වී. විග්නේෂ්වරන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැනි කලක් විරසකව සිටි උතුරේ සියලුම දේශපාලන නායකයන් එක කාමරයක, එක සාකච්ඡා මේසයක් වටා ගොනුකර ගැනීමට යාපනය විශ්වවිද්‍යාල සිසුන් සමත්ව තිබීමය. එහිදී දීර්ඝව පැවැති සාකච්ඡා හරහා ඒ සියලු දෙනාම එක ප්‍රතිපත්ති මාලාවකට ගොනුකර ගැනීමටද එම සරසවි සිසුහු සමත් වූහ. ඒ අනුව අවසානයේදී ඔවුන් තීන්දු කළේ මෙම යෝජනාවලියට සියලුම දෙමළ නායකයන් අස්සන් තැබීමෙන් පසු එය ප්‍රධාන අපේක්ෂකයන් සියල්ලටම යොමුකිරීමටය. එහිදී එම යෝජනා පිළිගන්නා අපේක්ෂකයාට සහාය දීමටද ඔවුහු අවසන් තීන්දුවකට එලඹියහ. දකුණේ ඇතැම් ජාතිවාදී මාධ්‍ය උතුරේ කොන්දේසි ලෙස පොල්ගෙඩි අකුරෙන් පලකර තිබුණේත් මෙම ඉල්ලීමය. බැලූ බැල්මටම පිළිගත නොහැකි ලෙස ඉදිරිපත් කොට ඇති මෙම ඉල්ලීම් හරහා නැවැත වතාවක් උතුරේ ජනතාව සැරසෙන්නේ 2005දී කළාක් මෙන්ම ඡන්ද වර්ජනයකට යෑමටද යන්න මේ පිළිබඳව බොහෝදෙනා තුළ විශාල සැකයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
රනිල් බදාදාම යාපනයේ
කෙසේ වෙතත් මේ වන විට එජාපයද දෙමළ ජාතික සන්ධානයේ සහාය එජාප අපේක්ෂක සජිත් හට ලබාගැනීම සඳහා තිරය පිටුපස විශාල මෙහෙයුමක් දියත් කර තිබේ. ඊට මූලිකත්වය ගෙන ඇත්තේ වෙන කවුරුවත් නොව පක්ෂ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහය. රනිල් යනු කිසිදු අවස්ථාවක ජාතිවාදී දේශපාලනයක නිරත නොවූ පුද්ගලයකු වීම නිසාත්, දෙමළ ජාතික සන්ධාන නායකයන් සමඟ සබඳකම් ඇති එජාපයේ සිටින එකම නායකයා වීම නිසාත්, මෙම සාකච්ඡා සඳහා කෙළින්ම මැදිහත් වීමට රනිල් පසුගිය සතිය වන විට කටයුතු කර තිබිණ. ඒ අනුව රනිල් ඊට යොදාගත්තේ පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත්කිරීමේ උත්සවයය. මෙම උත්සවය බ්‍රහස්පතින්දා දිනයේ පැවැතියත් සාකච්ඡා සඳහා අමතර කාලය ලබාගැනීම වෙනුවෙන් රනිල් බදාදා දිනයේදීම යාපනය බලා පිටත්ව ගොස් තිබිණ. ඒ අනුව දෙමළ සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වූ රනිල් සජිත්ට සහාය ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමටද කටයුතු කළේය. එජාප ආරංචිමාර්ග සඳහන් කරන්නේ එම සාකච්ඡා ඉතා සාර්ථකව අවසන් වී ඇති බවකි.
නමුත් දෙමළ සන්ධානය මේ වන විට තීන්දු කර ඇත්තේ තම අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ජනාධිපතිවරණය පැවැත්වෙන අවසන් සතිය දක්වාම කල් ගැනීමටය. ජනාධිපතිවරණය ඔන්න මෙන්න තියා සිය තීන්දුව පොදු තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට ඔවුන් තීන්දු කර ඇති බවක්ද ආරංචිය.
මහින්දලාත් හොරෙන් හොරෙන් සුමන්තිරන් එක්ක සාකච්ජා
මේ ආකාරයට රනිල් දෙමළ සන්ධානය සහාය එජාපයට ලබාගැනීමට ප්‍රසිද්ධියේ සාකච්ඡා පවත්වද්දී දෙමළ සන්ධාන ප්‍රබලයකු වන එම්.ඒ. සුමන්තිරන් ඉතා අප්‍රසිද්ධියේ මහින්ද සහ ගෝඨාභයව මුණගැසී සාකච්ඡා පවත්වමින් සිටින බවක්ද දැනගන්නට තිබේ. රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇති තොරතුරුවලට අනුව පසුගිය සතියේ පමණක් සුමන්තිරන් හා රාජපක්ෂවරුන් අතර සාකච්ඡා වට දෙකක් පැවැත්වී ඇත. මෙහිදී කතාබහට ලක්වූ කරුණු පිළිබඳව තොරතුරු වාර්තා වී නැතත් පසුගිය සතියේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මාධ්‍යය මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කිසියම් ඉඟියක් රාජපක්ෂවරුන්ගෙන් ඉදිරිපත්වූ බවක් දැකගන්නට ලැබිණ. එහිදී ඔවුන් කියා සිටියේ අපට ඕන කෙනෙක් හමුවී සාකච්ඡා කිරීමේ හැකියාව පවතිනවා යැයි කියාය. ඒ අනුව එජාපය සමඟ ප්‍රසිද්ධියේම සාකච්ඡා පවත්වන දෙමළ ජාතික සන්ධානය, පොහොට්ටුව සමඟ අප්‍රසිද්ධියේ සාකච්ඡා පවත්වමින් සිටීම විශේෂ සිදුවීමකි.
රිෂාඩ් පොහොට්ටු දැලේ පැටලෙයිද?
මේ දවස්වල පොහොට්ටුව ජනාධිපතිවරණයේදී තමන්ට සහාය ගතහැකි සියලුම පිරිස් හට දැල එලමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව මේ දිනවල පොහොට්ටුව දැල එලා ඇත්තේ වෙන කාටවත් නොව එක්සත් ජාතික පෙරමුණේ සිටින ප්‍රබලයකුටය. මෙම ප්‍රබලයා රිෂාඞ් බදුර්දීන්ය. රිෂාඞ් යනු පාස්කු ප්‍රහාරයෙන් පසුව පොහොට්ටුවේ වැඩිම ප්‍රහාරයට ලක්වූ මුස්ලිම් නායකයාය. පොහොට්ටුවේ ඇතැම් දේශපාලකයන් ඒ දිනවල ප්‍රසිද්ධියේම කියා සිටියේ කිසිදු අවස්ථාවක තමන්ගේ ආණ්ඩුවකට රිෂාඞ්ව වැද්දගන්නේ නැතැයි කියාය. කොටින්ම කියනවා නම් රිෂාඞ්ට ඇමැතිකමෙන් තාවකාලිකව හෝ ඉවත් වීමට සිදුවූයේත් පොහොට්ටුව විසින් කරනු ලැබූ දැඩි බලපෑම් මුල්කරගෙනය.
නමුත් හිටි හැටියේම පොහොට්ටුවට රිෂාඞ් පිළිබඳව ආසාවක් පහළවුණේ මීට සති දෙකකට පමණ ඉහතදී සිදුව තිබූ එක්තරා විශේෂ සිදුවීමක් නිසාය. එම සිදුවීම වූයේ එජාපයේ මංගල රැලිය පැවැති ගෝල්ෆේස් පිටියේදීය. එම රැලියේදී කිසියම් පාර්ශ්වයකින් ඉදිරිපත්ව තිබූ යෝජනාවකින් කියැවුණේ රිෂාඞ්ට කතාවක් ලබානොදෙන ලෙසටය. ඒ අනුව යමින් සංවිධායකවරුන් රිෂාඞ්ට කතාවක් ලබාදී නොතිබූ අතර මේ හේතුවෙන්ම රිෂාඞ් කිසියම් කලකිරීමකින් පසුවූ බවක් දැකගන්නට ලැබිණ. ඉන් පසුව රිෂාඞ්ව එජාප වේදිකාවලදී දැකගන්නට පවා නොලැබිණ. ඇවිලෙන ගින්නට පිදුරු දැම්මාක් මෙන් තත්ත්වය තවත් දරුණු වූයේ එජාපයේ ප්‍රචාරක ව්‍යාපාරයේ කිසිදු තැනකදී රිෂාඞ්ව දැකගන්නට නොලැබීම නිසාය. ඒ අනුව මේ වන විට රිෂාඞ්ව පොහොට්ටුවට බාගැනීම සඳහා අමුතුම ආකාරයේ මෙහෙයුමක් පොහොට්ටුව පාර්ශ්වයෙන් දියත්කර ඇති බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
කවුරු ජනපති වුවත් අගමැති රනිල්මද?
ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මේ වන විට එක්සත් ජාතික පක්ෂයත්, පොහොට්ටුවත් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය රට පුරාම ගෙනයන ආකාරයක් දැකගන්නට තිබේ. සියලුම පක්ෂ මේ වන විට ජනාධිපතිවරණය පසුපස දිව්වත් බොහෝ දෙනකු වැඩි අවධානය යොමු නොකරන කාරණයක් දෙසටද මේ වන විට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම අවධානය යොමුව ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ වෙන කිසිවක් නොව ජනාධිපතිවරණයෙන් පසුව බිහිකරන ආණ්ඩුව පිළිබඳවය. මන්දයත් යම් හෙයකින් සජිත් ජනාධිපති වුවත්, ගෝඨාභය ජනාධිපති වුවත් දැනට රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිත්වයෙන් පවතින ආණ්ඩුව තවත් මාස කිහිපයක් යනතුරු වෙනස් කිරීමට නොහැකි වන පරිදි ව්‍යවස්ථාවෙන් නීති පැනවී තිබීම නිසාය. උදාහරණයක් ලෙස 19 වැනි සංශෝධනයට අනුව වසර හතරහමාරක් යනතුරු ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලතල නොමැති බවට වගන්තියක් පනවා තිබීම නිසා සජිත් ජනාධිපති වුවද, ගෝඨාභය ජනාධිපති වුවද ආණ්ඩුවේ අගමැතිවරයා බවට රනිල් වික්‍රමසිංහ මහතාම පත්වීම මේ අර්බුදයට හේතුවී තිබේ. මේ හේතුව නිසා ගෝඨාභය ජනාධිපති වුවද මහින්දව අගමැති බවට පත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව මේ වන විට හරහට සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ඒ සඳහා නියත වශයෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට ගෝඨාභයට සිදුවනු ඇත. එහිදී විශාල පිල් මාරුවක් හරහා බහුතරය පෙන්වීමට පොහොට්ටුවට සිදුවන අතර යම් හෙයකින් රනිල් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වුවහොත් තවදුරටත් පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් රනිල් අගමැතිවරයා වශයෙන් රැඳී සිටිනු ඇත. පිල් මාරුවක් හරහා මහින්දට බහුතරය හදාගැනීමට හැකි වුවහොත් අගමැතිවරයා වශයෙන් මහින්දට දිවුරුම් දීමට හැකිවනු ඇත. ඒ නිසාම දෙමළ ජාතික සන්ධානයෙත්, හකීම්ගේත්, රිෂාඞ්ගේත් සහාය ඉදිරියේදී මේ දෙපාර්ශ්වයටම ඉතා තීරණාත්මක සාධකයක් වනු නිසැකය.
බැසිල් තිරය පිටුපස ගහන ගේම
මේ තත්ත්වය ඉතාම හොඳින් තේරුම්ගත් පුද්ගලයකු පොහොට්ටුවේ සිටී. ඒ වෙන කවුරුවත් නොව පොහොට්ටුවේ මහ මොළකරුවා වන බැසිල් රාජපක්ෂය. ඒ නිසා බැසිල් මේ වන විට සිය කාර්යාලයේ සිට ජනාධිපතිවරණ මෙහෙයුම දියත් කරන අතරවාරයේදීම තවත් මෙහෙයුමක්ද කිසිවකුටත් නොදැනෙන්නට දියත් කර තිබේ. ඒ යම් හෙයකින් ගෝඨාභය ජයග්‍රහණය කළහොත් ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්නා මෙහෙයුමය. ඒ අනුව පාර්ලිමේන්තුවේ 113 බහුතරය හදාගන්නේ කුමන ආකාරයෙන්ද, ඒ සඳහා සහයෝගය ලබාගන්නේ කුමන පාර්ශ්වයන්ගෙන්ද, සාකච්ඡා පැවැත්විය යුත්තේ කා සමගද යන්න පිළිබඳ වෙනමම මෙහෙයුමක් බැසිල්ගේ කාමරයෙන් මේ වන විට දියත්වී තිබේ. මන්දයත් ගෝඨාභය ජයග්‍රහණය කළද පාර්ලිමේන්තුවේ බහුතරය සහ අගමැති නොමැතිව ආණ්ඩුව කළ නොහැකි බවත්, රට ඉදිරියට ගෙනයෑ නොහැකි බවත් බැසිල් මේ වන විට වටහාගෙන හමාරය. ඒ නිසා බැසිල් මේ වන විටත් සුළු ජාතික පක්ෂ කිහිපයක්ම සමඟ සාකච්ඡා ආරම්භ කොට ඇති අතර දැනටමත් ඉන් කිහිපයක් පොහොට්ටුව සමඟ එක්වීමට කැමැත්ත පළකොට ඇති බවත් ආරංචිය.
බැසිල් පමණක් නොව රනිල්ද මේ සෙල්ලම හොඳින් වටහාගෙන ඇති ආකාරයක් මේ වන විට පෙනෙන්නට තිබේ. මන්දයත් දින 52 කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හොඳහැටි අධ්‍යනය කර ඇති රනිල් කවුරු ජනපති වුවත් තමන්ට දැනටමත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක්ම අගමැති ධුරයේ රැඳී සිටිය හැකි බව වටහාගෙන තිබේ. ඒ අනුව රනිල්ද මේ දිනවල සජිත්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සහයෝගය ලබාදෙන අතරවාරයේදීම තමන් සතුව ඇති පාර්ලිමේන්තු බහුතරය තවදුරටත් තහවුරු කර ගැනීමේ මෙහෙයුමකද නිරතව සිටින ආකාරයක්ද දැකගන්නට තිබේ. රනිල් මෙසේ කරන්නේ වෙන හේතුවක් නිසා නොව ජනාධිපතිවරණයෙන් පසුව සිදුවිය හැකි පිල් මාරුකිරීම් හැකිතාක් දුරට වළක්වාලීම ඔළුවේ තබාගෙනය. ඒ අනුව නොවැම්බර් 16 වැනි දින සජිත් ජනාධිපති වුවත්, ගෝඨා ජනාධිපති වුවත් රනිල්ගේ අගමැති ධුරය වෙනස් කරලීමට නම් පාර්ලිමේන්තුවේ 113 බහුතරය තමන්ට පවතින බව පෙන්වාදීමට දිනන පාර්ශ්වය සමත් විය යුතුය.
කපිල පුංචිමාන්නගේ