සබ්‍රි ජිනීවාවලින් ආණ්ඩුවට එවපු භයානක පණිවුඩය!
රනිල් පුංචි ජන්දෙට වංගුවක් ගහන්න ලෑස්ති වෙයි!
පොහොට්ටු ජ්‍යෙෂ්ඨයෝ රහස් සාකච්ජාවක!
විමල්ගේ කණ්ඩායමේ ලොක්කෙක් අමුතු කපුකමක!
රනිල් බ්‍රිතාන්‍යයෙන් ජපානයට! ජපානෙන් පිලිපීනයට! පිලිපීනෙන් ඉන්දියාවට! ඉන්දියාවෙන් චීනෙට!
රාජ්‍ය රහස් කල් තියා අනතුරු අඟවපු හැටි!
‘ලබන මස මුල් සතියේදී ජිනීවා මානව හිමිකම් මණ්ඩල රැස්වීමද ආරම්භ වීමට නියමිතය. ‘රාජ්‍ය රහස්’ තීරයට ලැබෙමින් පවතින තොරතුරුවලට අනුව දැනටමත් ජිනීවාවලදී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත වීමේ අවදානමක් මතුව තිබේ. එහි මධ්‍ය කණ්ඩායම වශයෙන් (core group) කටයුතු කරන රටවල් අතරට ඇමෙරිකාව, බි්‍රතාන්‍යය වැනි රටවල්ද ඇතුළත් තිබීම හේතුවෙන් මෙවරද ඔවුන් ඉකුත් වතාවේ මෙන්ම ලංකාවට එරෙහි බරපතළ යෝජනාවක් සම්මත කරගැනීමට ලහිලහියේ කටයුතු සිදුකරමින් සිටින බව ආරංචිය.
අගෝස්තු 28
‘මේ වන විටත් ලංකාව මුල්කරගෙන ජිනීවාහි තිරය පිටුපස ප්‍රබල රටවල් අතර විශේෂ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වෙමින් ඇති බව ජිනීවා නුවරින් ලැබෙන ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. ඊට ප්‍රධාන වශයෙන් මැදිහත්ව සිටින්නේ ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, කැනඩාව සහ යුරෝපා රටවල් කිහිපයකි. ඔවුන් මේ වන විට එක මතයකට පැමිණ අනෙක් රටවලටද දැඩිව බලපෑම් කරමින් සිටින්නේ මෙවර සමුළුවේදී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව අලූත් කළයුතු යැයි කියාය.
සැප්තැම්බර් 4
‘දැන් ආණ්ඩුවට මෙවර චෝදනා දෙකකට එකවර පිළිතුරු සැපයීමට සිදුව තිබේ. එක් චෝදනාවක් වන්නේ යුද අපරාධ චෝදනාවය. අනෙක් චෝදනාව වන්නේ ආර්ථික අපරාධ චෝදනාවය. ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුවට ඇත්තේ භයානක කාල වකවානුවකට මුහුණ දීමට බව අමුතුවෙන් කිවයුතු නැත.
සැප්තැම්බර් 11
‘වරින් වර අප කී එම සියලු කරුණු සනාථ කරමින් පසුගිය සතියේ ජිනීවා මානව හිමිකම් කාර්යාලයේ මහකොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ ලංකාවට එරෙහිව ඇති චෝදනා සියල්ල ලිඛිතව දැනුම් දෙමින් විශේෂ වාර්තාවක් ආණ්ඩුව වෙත එවීමට කටයුතු කර තිබිණි. අප කී ආකාරයෙන්ම එහි ලංකාවට එරෙහිව බරපතළ මානව හිමිකම් කඩකිරීමේ චෝදනා රැසක් අඩංගුව තිබිණි. නමුත් එහි තිබූ භයානකම චෝදනාව වූයේ ලංකාවේ ආර්ථික අපරාධ කළ පුද්ගලයන්ට එරෙහිව දඬවම් දියයුතු බවට වූ වගන්තියය.‘
සැප්තැම්බර් 11
කිසිම මාධ්‍යයක් වචනයක් කතා කළේ නෑ!
ඉහතින් දැක්වෙන්නේ පසුගිය සති කිහිපය පුරාම අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය තුළ ලංකාව සම්බන්ධයෙන් සිදුවීමට නියමිත සිදුවීම් සම්බන්ධයෙන් එකින් එක වාර්තා කළ ආකාරයය. මෙරට කිසිදු මාධ්‍යයක් ජිනීවා සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකොට ඇල්මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී අප ලංකාවට මෙවර ජිනීවාවලදී මුහුණ දීමට නියමිතව ඇති බරපතළ රාජ්‍යතාන්ත්‍රික අනතුර පිළිබඳ කල් තියා වරින් වර කරුණු අනාවරණ කිරීමට පියවර ගත්තෙමු.
ප්‍රබල රටවල් එරෙහිව යයි!
අප කී ඒ සියලු කරුණු තහවුරු කරමින් මේ වන විට ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ ලංකාවට එරෙහිව නව යෝජනාවක් සම්මත කරගැනීමට සියල්ල සූදානම්ය. ජිනීවා මානව හිමිකම් කොමිසම නියෝජනය කරන ප්‍රබල රටවල් දැනටමත් ලංකාවට එරෙහිව නිවේදන නිකුත් කොටද අවසානය. ඒ අතර ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, කැනඩාව, යුරෝපය, නවසීලන්තය වැනි රටවල් ප්‍රධානය.
ජපානයක් ගහන්න පටන් ගනී!
මීට අමතරව නව ජනාධිපතිවරයා ලෙස පත්වීම් ලැබීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් කියැවුණේ ජපානයෙන් ලංකාවට ඩොලර් බිලියන 4ක මුදලක් ගෙන ඒමට සූදානම් බවකි. එහෙත් අප එම ප්‍රකාශය අසත්‍ය බවත්, ජපානය ලංකාවට කිසිදු ආධාර මුදලක් ලබා නොදෙන බවත් ඒ දිනවලම අනාවරණ කර සිටියෙමු. අප කී කතාව තහවුරු කරමින් මෙවර ජපානයද ජිනීවා මානව හිමිකම් කොමිසයේදී ලංකාවට එරෙහිව ප්‍රබල ප්‍රකාශයක් කිරීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමකි.
කවදාවත් නැතිව ඉන්දියාවත් පස්ස හරවයි!
නමුත් පුදුමයට කරුණ වන්නේ ජිනීවා ඉතිහාසය තුළ ලංකාවට හිතකර ස්ථාවරයක් දිගටම දැරූ ඉන්දියාව මෙවර සිය ස්ථාවරය අංශක 360කින් වෙනස් කරගැනීමට පියවර ගෙන තිබීමය. ඉන්දියාව අපගේ ආසන්නම ප්‍රබල අසල්වැසියා ලෙස ආරම්භයේ සිටම ජිනීවාවලදී අප ආරක්ෂා කළ ප්‍රතිපත්තියක සිටියේය. කොටින්ම කියනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අවුරුදු 4කට ඩොලර් මිලියන 3.8ක් ලබාදිය හැකි බව කියද්දී මීට මාස 4කට ප්‍රථම රට බංකොලොත් වූ අවස්ථාවේදී නොමසුරුව ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් ඩොලර් බිලියන 4කට ආසන්න ණය මුදලක් ලබාදීමට ඉන්දියාව කටයුතු කළේය. ලංකාව ඒ මාස කිහිපයේ ඉන්ධන, ආහාර හා ඖෂධ ලබාගත්තේ ඉන්දියාව ලබාදුන් එම ණය මුදලට පින් සිදුවන්නටය. නමුත් එවැනි උපකාරයක් කළ ඉන්දියාව කෝපගන්වමින් චින ඔත්තු නැවට ලංකාවට පැමිණිමට ඉඩ දීමත් සමග ඉන්දියාවද මේ වන විට ප්‍රතිචාර දැක්වීම ආරම්භ කර ඇති බවක් දැනගන්නට ඇත. ඉන් එකක් වන්නේ ජිනීවාවලදී ලංකාවට එරෙහිව ප්‍රබල සංඥාවක් ලබාදීමය. දෙවැන්න වන්නේ තවදුරටත් ඉන්දියාව ලංකාවට මූල්‍ය ආධාර ලබා නොදෙන බවට ප්‍රකාශ කිරීමය. ඒ අනුව ලංකාවට පක්ෂව මේ දක්වා ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ අදහස් දක්වා ඇත්තේ චීනයත්, මේ වන විට ලෝකයෙන් හුදෙකලා වී සිටින උතුරු කොරියාවත්, ආර්ථික වශයෙන් අර්බුදයක සිටින මාලදිවයිනත් පමණක් වීම විශේෂ සිදුවීමකි. ඒ හරහා ජාත්‍යන්තරය සම්පූර්ණයෙන්ම ලංකාවට එරෙහි ස්ථාවරයකට ගමන් කරමින් සිටින බව පැහැදිලිය.
පුද්ගලයන් නම් කරන ලකුණු!
කෙසේ වෙතත් මෙවර ලංකාවට එරෙහිව ඉදිරිපත් වීමට ඇති යෝජනාව සම්බන්ධයෙන් ගතහොත් පසුගිය ආණ්ඩු කිහිපයම ජිනීවා සමග කටයුතු කළ නියෝජිතයන්ගේ අදහස වී ඇත්තේ මෙතෙක් ඉතිහාසයේ ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ බරපතළම යෝජනාව මෙවර ඉදිරිපත් වීමට නියමිතව ඇති බවකි. ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙවර යෝජනාවේදී ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන් පෞද්ගලිකව නම් කරමින් ඔවුන්ට එරෙහිව යම් යම් සම්බාධක පැනවීමේ අවදානමක් මතුව ඇති බවකි. විශේෂයෙන්ම ඔවුන්ට යම් යම් රටවලට ඇතුළු වීමේ තහනමක් බොහෝ දුරට පැනවීමේ ඉඩකඩක් පවතින බවද කියැවේ. මීට අමතරව ආර්ථික අපරාධ සිදුකළ පුද්ගලයන්ට එරෙහිව යම් යම් තහංචි ඇතුළත් වගන්ති කිහිපයක්ද මෙම යෝජනාවට අන්තර්ගතව ඇති බවද එම ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
සබ්‍රි ලංකාවට දුන් බරපතළ පණිවුඩය!
ඊට මුහුණ දීම සඳහා ජිනීවාවලට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතා හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවා පසුගිය දිනවල මානව හිමිකම් කොමිසම තුළ සිදුවූ යම් යම් සිදුවීම් හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. විත්‍ශ්ෂයෙන් අලි සබි්‍ර ලංකාවට දී තිබූ පණිවුඩය වී තිබුණේ කිසිදු බලවත් රටක් ලංකාවට පක්ෂපාතී ස්ථාවරයක නොමැති බවත්, මුහුණ දීමට පවා නොහැකි ඉතා අසීරු තත්ත්වයක් ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ නිර්මාණය වී ඇති බවත්ය.
IMF එකටත් බලපෑම්!
දැනට ඇති ආරංචිවලට අනුව ලංකාවට එරෙහි මෙම යෝජනාවට සත්කාරකත්වය ලබාදී තිබෙන්නේ ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, කැනඩාව, යුරෝපා කොමිසම ඇතුළු රටවල් කිහිපයක් එක කණ්ඩායමක් ආකාරයටය. එමෙන්ම මෙම යෝජනාව සම්මත වීමට නියමිතව ඇත්තේද මේ සියලු රටවල අනුමැතිය ඇතිවය. අනෙක් අතට මෙම සියලු රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව නියෝජනය කරන රටවල් වීමද විශේෂිතය. මේ වන විට රට තුළ මතුව ඇති උග්‍ර මූල්‍ය අර්බුදය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ආණ්ඩුවේ එකම විකල්පය වී ඇත්තේ මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමය. නමුත් මෙම රටවල් එක්ව ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කිරීමෙන් පසු එම යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සමගද සම්බන්ධ වීමට නියමිතය. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සමගද සම්බන්ධ වීමට නියමිතය. ඒ අනුව ලංකාවට ණය ආධාර ලබාදීම සම්බන්ධයෙන් වූ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතියට එන අවස්ථාවේදී මෙම මානව හිමිකම් ගැටලු සහ ආර්ථික අපරාධ සම්බන්ධ චෝදනා එකට ගැටගැසී ඇති බවක් අමුතුවෙන් කිවයුතු නැත. එම නිසා මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඉතා වගකීමෙන් යුතුව කියා සිටින්නේ ජිනීවා යෝජනාව සම්මත වන දින සිට එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාව සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය දැඩි අනතුරුදායක තැනකට තල්ලු කෙරෙනු ඇති බවය. එසේ වුවහොත් රටට මුහුණ දීමට සිදුවනු ඇත්තේ ඉතා බරපතළ අනතුරකටය.
තවම ජනාධිපතිව පිළිඅරන් නෑ!
අනෙක් අතට ලංකාවට එරෙහි මෙම ජිනීවා යෝජනාවේදී ප්‍රධාන භූමිකාවක් රඟ දක්වන්නේ ඇමෙරිකාව බව අප මේ තීරය ඔස්සේ දිගින් දිගටම පෙන්වා දුන් කාරණයක් විය. මූල්‍ය අරමුදලේ ප්‍රධාන තීරකයකු ලෙසද, ලෝක බැංකුව තුළ ප්‍රධාන තීරකයකු ලෙසද කටයුතු කරන්නේ ඇමෙරිකාවය. මෙරට ඇමෙරිකානු නියෝජිතවරිය ලෙස ජූලි චන්ග් මහත්මිය අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා පැවැත්වුවත්, ලංකාවට සහාය දෙන බව ප්‍රකාශ කළත් ඇමෙරිකානු රජය තවමත් ලංකාවේ පත්වූ නව ජනාධිපතිවරයාට නිල වශයෙන් සුබ පැතීමක් සිදුකොට නොමැති වීම විශේෂ සිදුවීමකි. අතීතයේ සිට පැවතෙන සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ ඕනෑම රටක ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් පත්වූ විට ඇමෙරිකාව එය නිල වශයෙන් පිළිගනිමින් එම ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට සුබ පැතුම් එක් කිරීමය. නමුත් තවමත් ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට නිල වශයෙන් සුබ පැතුම් එක් නොකිරීම පසුපස කරුණු කාරණා කිහිපයක්ම තිබේ.
චන්ග් දුන් පණිවුඩය!
ඉන් ප්‍රධානම එකක් වී ඇත්තේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ මෙරට ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය අතර පැවැති සාකච්ඡාවන්ය. එම සාකච්ඡාවල ප්‍රතිඵලය වී ඇත්තේ එවැනි නිල පිළිගැනීමක් ලබාදීමට තරම් සුදුසු තත්ත්වයක ලංකාව නොමැති බව මෙරට තානාපතිනියත්, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත්, ඇමෙරිකානු ධවල මන්දිරයත් තීන්දු කොට තිබීමය. එය ඇමෙරිකාව පැත්තෙන් නිකුත් වූ බරපතළ සංඥාවක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම ඇමෙරිකාව එවැනි ස්ථාවරයක සිටීම යනු ලංකාව ඉදිරියේදී සෑම අතින්ම හිරවීමට යන ගමනක සිටින බවට වූ අනතුරු ඇඟවීමක් ලෙසද සැලකිය හැකිය.
යුරෝපයම එරෙහි වෙයි! ජී.එස්.පී ප්ලස් අනතුරේ!
අනෙක් බරපතළ සාධකය වී ඇත්තේ යුරෝපා කොමිසමද ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට දායකත්වය ලබාදී තිබීමය. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ලංකාවට සම්බාධක පැනවිය යුතු බවට වූ වගන්ති යෝජනාවට ඇතුළත් කිරීම සඳහා යුරෝපා කොමිසම ඉතා ක්‍රියාශීලි දායකත්වයක් සපයා ඇති බවකි. යුරෝපා කොමිසම යනු ලංකාවේ අපනයනයන්ගෙන් වැඩි කොටසක් මිලදී ගන්නා රටවලින් සමන්විත ඒකකයකි. දැනටමත් ලංකාවට ලැබෙන ඩොලර්වලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ඇමෙරිකාව, බි්‍රතාන්‍යය සහ යුරෝපා කොමිසමේ රටවලට සිදුකරන අපනයනයන්ගෙනි. විශේෂයෙන්ම ලංකාවට මේ වන විට වැඩිම ඩොලර් ආදායමක් උපදවන ඇඟලුම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ යුරෝපා කොමිසම විසින් ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් සහනය මතය. පසුගිය කාලසීමාව පුරා ලංකාවේ මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සිදුවෙද්දී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කොට ගෙන අරගලකරුවන් සහ වෙනත් පුද්ගලයන් මර්දනය කරද්දී යුරෝපා කොමිසම එය හෙළාදකිමින් බරපතළ නිවේදන ගණනාවක්ම නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. එම සිදුවීම් ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීම කෙරෙහි අහිතකර බලපෑම් ඇතිකරනු ඇති බව ප්‍රකාශ කොට තිබිණි. නමුත් ලංකාව ඒ අවස්ථාවේදී එම කිසිදු ප්‍රකාශයන් කනකට ගත් ආකාරයක් දැකගන්නට තිබුණේ නැත. නමුත් මෙවර ජිනීවා යෝජනා සම්මත වීමත් සමග යුරෝපා කොමිසම මගින් ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් සහනයද බරපතළ අනතුරක ඇති බව සඳහන් කළ යුතුව ඇත.
ජන්දයකට යන ලෙස දැනුම් දීමක්!
ඒ අනුව මේ වන විට ලොව ප්‍රබල රටවල් සියල්ල ජනාධිපතිවරයාත්, ජනාධිපතිවරයාගේ ආණ්ඩුවත් බෙල්ල මුලටම සිරකොට අවසානය. ඒ අනුව මෙම යෝජනාව සම්මත වුවහොත් ලංකාවට ආර්ථික වශයෙන් ජාත්‍යන්තරයේ සහාය හිමි නොවන තත්ත්වයක් මතුවීමේ ඉඩකඩක් නිර්මාණය වීමේ වැඩි ඉඩකඩක් පවතී. ඒ සඳහා වත්මන් ආණ්ඩුවට ජනවරමක් නොමැති වීමත් ඔවුන් නිරතුරුවම පෙන්වා දෙන කාරණයකි. හැකි ඉක්මනින් ලංකාවේ ජනවරමක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ. පසුගියදා ලංකාවට පැමිණි මූල්‍ය අරමුදලේ කණ්ඩායමේ ප්‍රධානියා වූ පීටර් බෲවර් මහතාද සිය මාධ්‍ය හමුවේදී අවධාරණය කොට කියා සිටියේ රටේ ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නම් ජනවරමක් සහිත ආණ්ඩුවක් පැවැතිය යුතු යැයි කියාය. ඒ අනුව මතුව ඇති වාතාවරණය හමුවේ රට හදිසි මහ ඡන්දයකට තල්ලු වීම වැළැක්විය නොහැකි තැනට මේ වන විට පත්ව ඇත. ඉක්මණින් මහ ඡන්දයකට ගියහොත් ජනවරමක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ආර්ථික අර්බුදයෙන් ඉක්මණින් මිදීමට ජාත්‍යන්තරයේ සහාය ලබාගැනීමට ලංකාවට හැකි වනු ඇත. එසේ නොවන්නේ නම් ඉදිරියේදී රට ඇතුළේ කුමන තත්ත්වයක් මතුවනු ඇතිද යන්න සිතාගැනීමට හෝ අසීරුය.
ජන්දය අලුත් පැත්තකට!
මේ සියල්ල අතරතුර පසුගිය සතිය වන විට මැතිවරණ සම්බන්ධයෙන් ලංකාව ඇතුළේ අලුත්ම තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින ආකාරයක් දැකගත හැකි විය. හරි නම් මේ වන විට ව්‍යවස්ථාව අනුව පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් විය යුතුව තිබුණත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනවාරි මාසයේදී එය වසරකින් කල් දැමීමට පියවර ගත්තේය. නමුත් පවතින ව්‍යවස්ථාවට අනුව දැන් කිසිසේත්ම පළාත් පාලන මැතිවරණය කල්දැමිය නොහැකි අතර ලබන මාර්තු 20ට පෙරාතුව ඒවායේ නව සාමාජිකයන් පත්වන පරිදි මැතිවරණය පවත්වා අවසන් කළ යුතුව ඇත.
රනිල් පුංචි ජන්දෙට වංගුවක් ගහන්න ලෑස්ති වෙයි!
නමුත් දැනට රට තුළ මතුව පවතින වාතාවරණය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂයටත්, පොහොට්ටුවටත් අත්වන භයානක ඉරණම එජාපයේ ජනාධිපතිවරයාත්, පොහොට්ටුවේ ආණ්ඩුවත් හොඳින්ම දනී. ඒ අනුව පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන විපක්ෂයේ පක්ෂය ඊළඟ මහ මැතිවරණය ජයග්‍රහණය කොට ආණ්ඩු බලය අල්ලන බවද ජනාධිපිතවරයාත්, ආණ්ඩුවත් හොඳින්ම දනී. ඒ අනුව පළාත් පාලන මැතිවරණය යළිත් වතාවක් කෙසේ හෝ කල් දමා ගැනීමට රනිල් මේ වන විට අමුතුම තාලේ තුරුම්පුවක් ගැසීමට සැලසුම් කර ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. රනිල්ගේ මේ සැලසුම එළියට ආවේ පසුගිය දින කිහිපය පුරාම එජාපයේ පළාත් පාලන සාමාජිකයන්ගෙන් ජනාධිපතිවරයාටත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට සහ ජනාධිපති උපදේශකයන්ටත් ලැබුණු දුරකතන ඇමතුම් හේතුකොටගෙනය. යම් හෙයකින් පළත් පාලන ඡන්දය පැවැත්වුවහොත් දැනට එජාපයේ ඉතිරිව සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට, නගර සභා මන්ත්‍රීවරුන්ට යන එන මං නැතිවන බව දන්නා නිසා කලබලයට පත්ව සිටින ඔවුන් රනිල්ගෙන් මේ පිළිබඳ විමසද්දී රනිල් දැනුම් දී ඇත්තේ කලබල නොවන ලෙසටය. ජනාධිපති උපදේශකවරුන්ගෙන් විමසද්දී ඔවුන්ද පිළිතුරු දී ඇත්තේ කලබල නොවන ලෙසත්, ජනාධිපතිවරයා ඊට යම් තුරුම්පුවක් ගැසීමට සැලසුම් කර ඇති බවත්ය. නමුත් ඒ තුරුම්පුව කුමක්ද යන්න රනිල් හෝ රනිල්ගේ උපදේශකවරුන් සිය පාක්ෂිකයන්ට අනාවරණ කොට තිබුණේ නැත.
එළියට පැන්නේ සමන්තා පවර්ගේ හමුවෙන්!
නමුත් රනිල්ගේ මේ තුරුම්පුව එළියට පැන්නේ ඇමෙරිකානු ඹී්ෂෘ ආයතනයේ ප්‍රධාන පරිපාලක වූ සමන්තා පවර් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදීය. මෙම ගමනේදීද ආණ්ඩුවේ ජනවරම පිළිබඳ ප්‍රශ්නය මතුවන බව කල්තියාම දැන සිටි රනිල්, සමන්තා පවර් සමග පැවැති සාකච්ඡාවේදී එය මතුවීමට ප්‍රථම මැතිවරණ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බවත්, ඒ සඳහා මාස 06ක කාලයක් වෙන්කොට ඇති බවත්, එම මාස 06 ඇතුළත අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කොට එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් ජනමත විචාරණයකට එය යොමු කිරීමට තමන් සූදානම් බවත් කියා සිටියේය.
ගහන්න යන ගේම මෙන්න! අල්ලගෙන ඉන්න විපක්ෂයේ කට්ටිය කව්ද?
ඒ අනුව රනිල් මෙම ජනමත විචාරණ තුරුම්පුව ගහන්නට යන්නේ කෙසේද?
රනිල් එම ගේම ගසන්නට යන ආකාරයද පසුගිය සතියේ අපි විසින් සොයා ගනු ලැබූවෙමු. ඒ අනුව රනිල් සැලසුම් කර ඇත්තේ විපක්ෂයේ දේශපාලන පක්ෂවල තමන්ට හිතවත් යම් යම් පුද්ගලයන් ලවා එම ජනමත විචාරණ සැලසුම ක්‍රියාවේ යොදවන්නටය. දැනටමත් රනිල් ඒ සඳහා සමගි ජන බලවේගයේත්, විමල්ගේත් කණ්ඩායම්වල සිටින තමන්ට හිතවත් පිරිස් ලවා මෙම මතය පැලකිරීමට කටයුතු යොදා තිබේ. මීට අමතරව තුන්වැනි පාර්ශ්වයක් ලවා ජවිපෙටද මෙම පණිවුඩය යැවීමට රනිල් දැනටමත් පියවර ගෙන අවසානය. මෙහිදී රනිල් විසින් තෝරාගෙන ඇති සජබ ඇතුළේ සිටින කණ්ඩායම පිළිබඳවද යමක් සඳහන් කළ යුතුය. මෙම කිහිප දෙනා පිළිබඳ ‘රාජ්‍ය රහස්’ තීරයට නම්ගම් ඇතිව රටට හෙළිදරව් කළ හැකිව තිබුණද අප මේ අවස්ථාවේදී එම නම්ගම් හෙළිදරව් කරන්නට යන්නේ නැත. නමුත් අවශ්‍ය වෙලාවට එම නම්ගම් රටට හෙළිකිරීමට අප සූදානම්ය. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියමින්, යහපාලනය ගැන කියමින් මෙම කණ්ඩායම රනිල් සහ රනිල්ගේ නියෝජිතයන් සමග පැවැත්වූ සාකච්ඡාවල තොරතුරු, එම සාකච්ඡා පැවැත්වූ ස්ථාන, ඒවායේදී කතා කළ යම් යම් කරුණු, එහි ඇතැම් සාකච්ඡා අසාර්ථක වූ ආකාරය යනාදී සියල්ල ඉදිරියේදී රටට හෙළිදරව් කරමින් ඔවුන්ගේ වෙස්මුහුණු ගැලවීමටද අප සූදානම්ය.
මැතිවරණ කොමිසම සූදානම්!
මෙහිදී රනිල් සමන්තා පවර් හට මෙම කරුණ අවධාරණය කළේ පාර්ලිමේන්තුව ඇතුළෙන්ම විපක්ෂයේ පිරිසක් එක්කොටගෙන පුංචි ඡන්දය කල්දැමීමේ සැලසුම සකස් කරගෙනය.
එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයාද සැලකෙන්නේ ඉකුත් රාජපක්ෂ රජය විසින් පත්කළ රාජපක්ෂවරුන්ට අතිශය සමීපව කටයුතු කරන රාජපක්ෂ හිතෛෂියකු ලෙසටය. එවකදී මැතිවරණ කොමසාරිස් නිමල් පුංචිහේවා මහතා පත්කරද්දී විපක්ෂය බරපතළ චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ පොහොට්ටුවට අවශ්‍ය ආකාරයට මැතිවරණ පැවැත්වීම සඳහා රාජපක්ෂ පවුලට අතිශය හිතවත් අයකු මැතිවරණ කොමිසමට පත්කළ බවකි.
ජන්දය තියන දිනය!
කෙසේ වෙතත් පසුගිය සතියේදී මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයකට එක්වෙමින් කියා සිටියේ ලබන සැප්තැම්බර් පළමුවැනි දිනට පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබෙන බවත්, එය ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හෝ වෙනත් කිසිවකුටත් අවලංගු කළ නොහැකි බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති නඩු තීන්දුවක් හරහා එය තහවුරු කර ඇති බවත්ය. ඒ අනුව ඔක්තෝබර් පළමු සතිය වන විට මැතිවරණ නාමලේඛනය සකසා අවසන් කරන බව පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලබන ජනවාරි මාසයේ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරන බවත්, මාර්තු 09 වැනිදාට ප්‍රථම මැතිවරණය පවත්වා අවසන් කරන බවත් සඳහන් කර සිටියේය.
මාස 6ට රනිල් ගහන්න යන ගේම!
ඒ අනුව රනිල් විසින් විපක්ෂයේ තමන්ට හිතවත් මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව සකස් කොට ඇති සැලැස්ම සාර්ථක කරගැනීමට නොහැකි වුවහොත් නියත වශයෙන්ම ලබන ජනවාරිය වන විට මැතිවරණ ප්‍රකාශයට පත්කිරීමට කොමිසම කටයුතු කරනු ඇත. මාර්තු 09 වැනිදාට ප්‍රථම දිනයක් ඒ සඳහා ලබාදීමටද කොමිසම කටයුතු කරනු නියතය. එසේ වුවහොත් ඒ දක්වා වූ කාලසීමාවට පවතින්නේද මාස 06ක කාලයකි. නමුත් පවතින සමාජ ආර්ථික දේශපාලන සහ ජාත්‍යන්තර අර්බුදය හමුවේ එම කාලය වන විට ලංකාවේ තත්ත්වය අතිශය භයානක වනු ඇති බව හොඳටම පැහැදිලිය.
රාජ්‍ය ඇමැතිකම් දුන්නේ බැසිල්ගේ ලිස්ට් එකට!
මේ වන විට ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලය විශාල කරමින් තවත් පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 37 දෙනකු රාජ්‍ය ඇමැතිවරුන් ලෙස පත්කොට අවසානය. කෙසේ වෙතත් මෙම රාජ්‍ය ඇමැතිවරුන් 37 දෙනා පත්කළ ආකාරය පිළිබඳ ඇත්තේ අදටත් කිසියම් අබිරහසකි. නමුත් ‘රාජ්‍ය රහස්’ තීරය ඉතා වගකීමෙන් යුතුව මෙවර වාර්තා කරන්නේ පොහොට්ටුවේ මහමොළකරුවා වූ බැසිල් රාජපක්ෂ සහ ජනාධිපතිවරයා අතර පැවැති අතිශය රහසිගත සාකච්ඡා වට ගණනාවකින් පසු මෙම රාජ්‍ය ඇමැතිවරුන් පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවකි. මෙම සාකච්ඡාවලදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් විවිධ අදහස් උදහස්, යෝජනා චෝදනා ඉදිරිපත් වුවද, අවසානයේ දෙපාර්ශ්වය අතර කිසියම් එකඟතාවකට පැමිණ මෙම 37 දෙනා පත්කිරීමට බැසිල් සමත් විය. මෙහිදී එක් අවස්ථාවකදී සාකච්ඡා කඩාකප්පල් වීමට ඔන්න මෙන්න තිබියදී බැසිල් සිය අවසන් තුරුම්පුවද ගසමින් රනිල්ව ඊට නම්මා ගැනීමට සමත් විය. බැසිල් ගැසූ එම තුරුම්පුව වූයේ සතියක් ඇතුළත රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම සිදු නොකළහොත් ආණ්ඩුව ඇතුළේ බරපතළ ප්‍රශ්න ගණනාවක් මතුවීමට ඉඩ ඇති බවටත්, සිතාගැනීමටත් නොහැකි මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩු පක්ෂය ඇතුළේ ස්වාධීන වීමට ඉඩ ඇති බවටත් රනිල්ට දැනුම් දී සිටීමය. අවසානයේ බැසිල් ගැසූ එම තුරුම්පුවට හිස නැමීමට රනිල්ට සිදුවිය.
කැබිනට් ඇමැති ධූරත් ලෑස්තියි!
එමෙන්ම කැබිනට් ඇමැතිවරුන් පත්කිරීමටද මෙහිදී බැසිල් රනිල්ට යෝජනා කිහිපයක්ම සිදුකොට ඇත. කැබිනට් ඇමැතිවරුන් වශයෙන් නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන පත් කළ යුතු බව බැසිල් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවක්ද ආරංචිය. ඊට හේතු වී තිබෙන්නේ ආණ්ඩුව ශක්තිමත් බවට පෙන්වීම සඳහා මේ සියලු දෙනාම කැබිනට් මණ්ඩලයේ අනිවාර්යයෙන්ම සිටිය යුතු බවට ජනාධිපතිවරයාට කොට ඇති දැනුම් දීමකි. ඒ අනුව මේ වනවිට පොහොට්ටුව පැත්තෙන් දිගටම ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ වහාම මෙම පත්වීම් සිදුකොට ආණ්ඩුව ශක්තිමත් කරන ලෙසත්, එසේ නොමැති වුවහොත් ආණ්ඩුව ඇතුළේ විවිධ ප්‍රශ්න ඇතිවිය හැකි බවත්ය. ඒ අනුව රනිල් සූදානමින් සිටින්නේ බැසිල් යෝජනා කළ නම්ද ඇතුළත්ව තවත් කැබිනට් ඇමැතිවරුන් 12 දෙනකු ඉදිරි දින කිහිපය ඇතුළත පත්කිරීමටය. බැසිල් රට ගියේ මෙම වැඩකටයුතු සියල්ල අවසන් කිරීමෙන් පසුවය.
පොහොට්ටුවත් රහස් තැනක රැස්වෙයි!
කෙසේ වෙතත් පසුගිය සතියේ කොළඹ එක්තරා විශේෂ තැනක (රහස්‍යභාවය හේතුවෙන් එම ස්ථානයේ නම සඳහන් නොකරමු) පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් රැස්වී සාකච්ඡාවක් පැවැත්වූහ. ඊට කැබිනට් මණ්ඩලයට එක්වනු ඇතැයි කියන කිහිප දෙනකුම සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. මෙම සාකච්ඡාව පැවැත්වුණේද මීට පෙර ස්ථාන කිහිපයක පැවැති සාකච්ඡා ගණනාවක දිගුවක් වශයෙනි. මෙහිදී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවට ලක්වී තිබුණේ ඉදිරියේදී ආණ්ඩුව ඇතුළේ කටයුතු කරන්නේ කෙසේද, මැතිවරණවලට මුහුණ දෙන්නේ කෙසේද යනාදිය පිළිබඳවය. එමෙන්ම එහිදී තීන්දු තීරණ කිහිපයක් ගැනීමටද මෙම ජ්‍යෙෂ්ඨයෝ සමත් වූහ. ඉන් එකක් වනුයේ ලබන නොවැම්බරයේදී පොහොට්ටුවේ සංවත්සරය ඉතා උත්කර්ෂවත් ආකාරයට පැවැත්වීමය. ආසන මට්ටමින් එය සංවිධාන කිරීමටද එහිදී තීන්දු විය. විශේෂයෙන්ම දැනට පක්ෂයෙන් වෙන්ව ගොස් සහ ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන්ගේ සහායද ඊට ලබාගැනීමටද එහිදී යෝජනා විය. මීට අමතරව තවත් දේශපාලන කරුණු කාරණා රැසක්ද එහිදී සාකච්ඡා වූ බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
විමල්ගේ කණ්ඩායමේ ලොක්කෙක් අමුතු කපුකමක!
පොහොට්ටුව ඇතුළේ මේ ආකාරයට විවිධ ස්ථානවල සාකච්ඡා පැවැත්වෙද්දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීමට ආණ්ඩුවේ සිටින විවිධ පිරිස් මලලසේකර මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවෙසට පැමිණෙන ආකාරයක්ද දැකගන්නට පුළුවන. ඉකුත් සතියේදී අප එසේ පැවැති සාකච්ඡා කිහිපයක තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කිරීමට පියවර ගත් අතර, මෙවර අප හෙළිදරව් කරන්නේ විමල් වීරවංශ නියෝජනය කරන උත්තර සභාගයේ ඉදිරිපෙළ ප්‍රධානියකු සහ ගෝඨා අතර පැවැති සාකච්ඡාවක තොරතුරුය. පසුගිය සතියේ ඉතා රහසිගත ලෙස පැවැති මෙම සාකච්ඡාවේදී විමල්ගේ උත්තර සභාගය නියෝජනය කරන මෙම ප්‍රධානියා ගෝඨා වෙත අලුත් දීගයක යෝජනාවක් ගෙන ඒමට කටයුතු කර ඇති බව වාර්තා වේ. ඒ, ගෝඨා නැවත දේශපාලනයට ගෙනැවිත් ජනාධිපති රනිල් හා ගෝඨා අතර අලුත් සන්ධානයක් නිර්මාණය කිරීමේ යෝජනාවකි. මේ සම්බන්ධයෙන් මෙම ප්‍රධානියා රනිල් සමගද අවස්ථා ගණනාවකදී අදහස් හුවමාරු කරගෙන ඇති බවක් දැනගන්නට ඇත. ඔහුගේ සැලසුම වී ඇත්තේ පොහොට්ටුව ඇතුළේ බැසිල් ශක්තිමත් වීම වළකා පොහොට්ටුවෙන් කැඩී ගිය සියලු දෙනා එක්කොට ගෝඨා යටතේ පෙළගස්වා, ගෝඨා පාර්ලිමේන්තු ගෙනැවිත් ඔහුගේ නායකත්වයෙන් රනිල් සමග එක්ව නව ආණ්ඩුවක් බිහිකිරීමය. මේ සඳහා තවත් ප්‍රධාන පෙළේ දේශපාලකයන් කිහිප දෙනකුද මෙම ප්‍රධානියා සමග එක්ව කටයුතු කරන බව දැනගන්නට තිබේ. දැනගන්නට ඇති ආකාරයට මෙම යෝජනාවට රනිල්ගේ පැත්තෙන් හෝ ගෝඨාගේ පැත්තෙන් මෙතෙක් විරෝධයක් ප්‍රකාශ වී නොමැත. නමුත් ගැටලුව ඇත්තේ එම අලුත් කපුකමට පොහොට්ටුවෙන් කැඩීගිය පිරිස් එක් කරගත හැකිද යන කාරණයය.
පවර් විපක්ෂය එකතු කරයි!
පසුගිය සතියේ ලංකාවට පැමිණි ඹී්සා ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කිරීමට ප්‍රථම සියලුම විපක්ෂ නියෝජිතයන්ද හමුවීමට කටයුතු කළාය. මෙම සාකච්ජාව පැවතුණේ බත්තරමුල්ලේ පිහිට වෝටර්ස් එජ් හෝටලයේදීය. එම සාකච්ජාවට ප්‍රථම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා සමන්තා පවර් මහත්මිය අතර වෝටර්ස් එජ් හෝටලයේ විශේෂ කාමරයක විනාඩි 15 වෙනම සාකච්ජාවක්ද පැවැත්විණ.
කෙසේවෙතත් මෙම හමුවට මෑථ ඉතිහාසයේ විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ නියෝජිතයන් සහභාගී වී සිටීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව සජිත් ප්‍රේමදාස, දයාසිරි ජයසේකර, එම්. ඒ. සුමන්තිරන්, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් ඊට එක්ව සිටියහ.
කතා කරපු දේවල් මෙන්න!
මෙම සාකච්ඡාවේදී විපක්ෂ නියෝජිතයන් කෙළින්ම සමන්තා පවර්ට පෙන්වා දී තිබුණේ ආණ්ඩුව මේ වන විට සිය ජනවරම අහිමි කොට ගෙන ඇති බවත්, නියත වශයෙන්ම මහ මැතිවරණයක් පවත්වා නව ජනවරමක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ජාත්‍යන්තරය ආණ්ඩුවට බලකළ යුතු බවය. එමෙන්ම ආධාර ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී සමන්තා පවර් විපක්ෂය සමග දීර්ඝව සාකච්ඡා කොට තිබේ. එහිදී විපක්ෂ නියෝජිතයන් අවධාරණය කොට ඇත්තේ ලංකාවට මේ මොහොතේ අත්‍යාවශ්‍ය බවත්, එසේ වුවත් දෙන ආධාර දේශපාලකයන් විසින් ගසා නොකා ජනතාවට නිසි අයුරින් ලැබෙන්නේද යන්න පිළිබඳ සොයා බැලීමට යාන්ත්‍රණයක් සකසා ආධාර ලබාදෙන ලෙසත්ය. කෙසේ වෙතත් මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් දෙපාර්ශ්වය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ ආකාරයක් දැකගත හැකිවිය.
රනිල් චීනයට එළි දල්වයි!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්ව මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් ගතව තිබේ. නමුත් තවමත් ජනාධිපතිවරයා නිල වශයෙන් විදෙස් සංචාරයක නිරතව නැත. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයකු පත්වූ සැණින් ඉන්දියාවේ සංචාරයක නිරත වීම සම්ප්‍රදායක් වශයෙන් සිදුකෙරෙන්නක් වුවත්, රනිල්ට මුලින්ම සිය රටට පැමිණෙන ලෙස ආරාධනා පැමිණියේ චීනයෙනි. අවස්ථා කිහිපයකදීම රනිල්ට චීනයට පැමිණෙන ලෙස ආරාධනා කළද පසුගිය කාලයේදී රනිල් එම ආරාධනාව පිළිගත් බවක් දැකගන්නට නැත.
බ්‍රිතාන්‍ය්‍යට ගිහින් ජපානයට!
කෙසේ වෙතත් ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතා ඝාතනයට ලක් වීමත් සමග ජනාධිපතිවරයා තීරණය කළේ ඔහුගේ පළමු විදෙස් සංචාරය ලෙස අබේ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජපාන සංචාරයක නිරත වීමටය. එය ලබන 27 වැනි දින සිදුකිරීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් හදිසියේ සිදුවූ බි්‍රතාන්‍ය මහ රැජිනගේ අභාවය හේතුකොටගෙන මේ වන විට රනිල් සූදානමින් සිටින්නේ සිය පළමු විදෙස් සංචාරය ලෙස ලබන 19 වැනි දින රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා බි්‍රතාන්‍යය බලා පිටත්ව යෑමටය. ඒ අනුව රනිල් මේ වන විට චීනයට දැනුම්දී ඇත්තේ තමන්ගේ ජපාන සහ බි්‍රතාන්‍ය සංචාරවලින් අනතුරුව ඉන්දියාව බලා යෑමට සැලසුම් කොට ඇති බවත්, ඉන් අනතුරුව චීනයට පැමිණෙන බවත්ය.
ජපානයෙන් පිලිපීනයට!
මේ අතර ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වන අලුත්ම තොරතුරකින් කියැවෙන්නේ ජපානයේ සිට නැවත ලංකාවට පැමිණෙන අතරතුර රනිල් පිලිපීනයේ සංචාරයකද නිරත වීමට නියමිතව ඇති බවකි. ඒ, ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් සමග පැවැත්වෙන සාකච්ඡාවකට එක්වීම සඳහාය. එහිදී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් සමග විධායක මට්ටමේ සාකච්ඡාවක් සංවිධාන කිරීමටද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සැලසුම් කොට තිබේ. එහි දේශනයක් පවත්වා ඒ හරහා ලංකාවට යම් පිළිගැනීමක් ලබාගැනීම ජනාධිපතිවරයාගේ පිලිපීන සංචාරයේ අරමුණ වී ඇති බව දැනගන්නට තිබේ.
පිලිපීනෙන් චීනෙට!
එසේ පිලිපීන සංචාරය නිමාකොට ජනාධිපතිවරයා ඉන් අනතුරුව ඉන්දියාවේ සංචාරය කිරීමටත්, පසුව චීනයේ සංචාරය කිරීමටත් මේ වන විට සැලසුම් කොට ඇත. කෙසේ වෙතත් පසුගිය සතියේ සමාජ මාධ්‍යවල පළවූ අපූරු ඡායාරූපයක් හේතුකොට ගෙන එම මාධ්‍ය ජාලවල විවිධ කතා සැරිසරමින් තිබූ ආකාරයක් දැකගන්නට තිබේ. එම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ‘හමීඩියා’ ආයතනයේ ප්‍රධානී ෆවුසුල් හමීඩ් විසින් රනිල්ට යුරෝපීය ඇඳුම් කට්ටලයක් අන්දවන ආකාරයයි. එම ඡායාරූපයට අදහස් දක්වා තිබූ බොහෝ දෙනා සඳහන් කර තිබුණේ රනිල් රටවල් පහකට පිට පිට සංචාරය කිරීමට නියමිතව ඇති බැවින් මෙසේ ‘හමීඩියා’ ආයතනයේ ප්‍රධානියාගෙන් ඇඳුම් මස්සවාගෙන ඇති බවකි.
කැබිනට් ඇමැතිට චෝදනා රැසක්!
කැබිනට් මණ්ඩලයට එක්ව සිටින පොහොට්ටුවේ ප්‍රබලයකුට එරෙහිව මේ වන විට ජනාධිපතිවරයා වෙත පාර්ශ්ව කිහිපයකින්ම පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙමින් පවතින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. විශේෂයෙන්ම ප්‍රබල පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුම මෙම අමාත්‍යවරයාට එරෙහිව ජනාධිපතිවරයාට පැමිණිලි ඉදිරිපත් කර ඇති පිරිස අතර සිටින බව දැනගන්නට තිබේ. යම් යම් භාණ්ඩ මෙරටට ආනයනය කිරීමේදී මෙම අමාත්‍යවරයා බලපෑම් කරමින් සිටින බවත්, යම් යම් මුදල් ප්‍රමාණයන් ඉල්ලා සිටින බවත් මෙම පැමිණිලි අතර ඉහළින්ම තිබෙන බවද වාර්තා වේ. එම අමාත්‍යවරයාට සම්බන්ධ මේ දිනවල ජනාධිපතිවරයාට සමීපව සිටින බව කියන තවත් පොහොට්ටු මන්ත්‍රීවරයකුද මෙම මෙහෙයුමේ සිටින බවද එම පැමිණිල්ලෙන් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇති බවක් දැනගන්නට ඇත.
රනිල් දක්වපු ප්‍රතිචාරය!
කෙසේ වෙතත් පසුගිය සතියේ මෙම ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වී තිබිණි. මෙහිදී එම ඇමැතිවරයා තම අමාත්‍යාංශය සමග කටයුතු කරන ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේම නම් සඳහන් කරමින් ඔවුන්ට එරෙහිව වැඩි බදු මුදලක් පැනවිය යුතු බව ප්‍රකාශ කොට ඇති බවක්ද ආරංචිය. එම ව්‍යාපාරිකයන් මෙම අමාත්‍යවරයාට කප්පම් දීමට අකැමැත්ත ප්‍රකාශ කිරීම මත මෙසේ බදු පැනවිය යුතු බව අමාත්‍යවරයා විසින් යෝජනා කොට ඇත. නමුත් ඇමැතිවරයා පිළිබඳ කල් තියාම පැමිණිලි රැසක් ලැබී තිබීම හේතුවෙන් ජනාධිපතිවරයාද සුපුරුදු පරිදි, ‘හ්ම් හ්ම්…’ යනුවෙන් කියමින් හිස දෙපසට වනා ඇති බව දැනගන්නට තිබේ.