• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

ධම්මික එනවට බයේ නීති ගැටයක් ගහපු ප්‍රබලයා කව්ද? ධම්මික ගැන අහපු රනිල්ට ජනපති දුන් කන කිස් කන උත්තරේ! බැසිල්ට අයින් වෙන්න පුෂ්පා බලපෑම් කළේ ඇයි! 21ට වෙන්න යන නස්පැත්තිය! පොහොට්ටුව කඩන්න ලන්සා ලොකු ගේමක! (රාජ්‍ය රහස්)

June 12, 2022
in Exclusive, Rajya Rahas
Reading Time: 24 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

දයාසිරි ඩිලාන්ටයි රනිල්ටයි එකට තියා දෙයි!

ධම්මික අස්සන් කරන්න බෑ කියයි!

හරීන්-මනූෂ කලින්ම මාරුවෙයි!

රාජපක්ෂවරුන්ට නපුරු වූ නවය!

ජ්‍යොතිෂවේදීන් රාජපක්ෂවරුන්ට ‘9’ ඉලක්කම සුබ බව පසුගිය කාලයේ සෑම තැනකදීම කියා තිබිණි. ඔවුන් ඒ වෙනුවෙන් බොහෝ විට උදාහරණයට ගත්තේ 69 ලක්ෂයය. එය උපුටාගෙන ඔවුන් 9 ඉලක්කම රාජපක්ෂවරුන්ට කිවේ එය ජයග්‍රාහී ඉලක්කමක් යැයි කියාය. කෙසේ වෙතත් පසුගිය සතිය වන විට මේ 9 රාජපක්ෂවරුන්ට ජයග්‍රාහී එකක් නොව, නපුරු ඉලක්කමක් බවට පත්ව තිබුණු ආකාරයක් දැකගත හැකි විය. එහි ආරම්භය සනිටුහන් වී තිබුණේ ඉකුත් අප්‍රේල් 9 වැනි දිනය. ඒ, ගෝඨා ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බව කියමින් අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අප්‍රේල් 09 වැනි දින කඳවුරු බැඳීමත් සමගය. එහි පළමු ප්‍රතිඵලය ආවේ මැයි 09 වැනි දිනය. ඒ, ගෝඨා ගෝ ගමට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රට පුරා ගිනි ඇවිලීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස මැයි 09 වැනිදා රාත්‍රියේදීම තමන් ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිදුවීමත්ය. තුන්වැනි සිදුවීම වූයේ ජුනි 09 වැනි දිනය. එදින ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් එම තනතුරුවල හිඳුවාලූ මහ මොළකරුවා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතාට තමන්ට ඉතිරිව තිබූ එකම තනතුර වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉවත් වීමට සිදුවිය. ඒ අනුව මාස දෙකක් ඇතුළත රාජපක්ෂ පවුලට නව වැනි දින ප්‍රබල දේශපාලන ප්‍රහාරයන් තුනක් එක පිට එල්ලවී තිබීම විශේෂ සිදුවීමකි. ඒ අනුව බොහෝ දෙනා මේ වන විට බලා සිටින්නේ ලබන ජුලි 09 වැනි දින රාජපක්ෂ පවුලට කුමන දේශපාලන අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇද්දැයි කියාය.

21ට මොනවා වෙයිද?

කෙසේ වෙතත් මේ වන විට දේශපාලන පෙරමුණු කිහිපයකින්ම ආණ්ඩුව වෙත ප්‍රබල අභියෝගයන් කිහිපයක් එල්ලවී ඇති ආකාරය දැකගන්නට ඇත. ඉන් එක් අභියෝගයක් වී ඇත්තේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයය. රාජපක්ෂවරුන්ට එරෙහිව කඳවුරු බැඳගත් අරගලකරුවන්ගේ මුල සිටම තිබූ ඉල්ලීමක් වූයේ විධායකය සතුව ඇති අසීමිත බලතල ඉවත් කොට එම බලතල පාර්ලිමේන්තුවට පවරා පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කළ යුතු බවය. එමෙන්ම ජනාධිපතිවරයාගෙන් අමාත්‍ය ධුර ලබාගත් විජයදාස රාජපක්ෂත්, හරීන් ප්‍රනාන්දුත්, මනුෂ නානායක්කාරත් කියා සිටියේ ජනපති බලතල සීමා කරන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම සම්මත කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් තමන් මොහොතක් හෝ ආණ්ඩුවේ සිටීමට කටයුතු නොකරන බවත්ය. නමුත් රනිල් අගමැතිවරයා වශයෙන් පත් වුණු ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වුවද එය සම්මත කරගැනීමට හැකියාව ලැබුණේ නැත. ඒ, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත්ව තිබූ කොන්දේසි හේතුකොට ගෙනය. එහිදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කියා තිබුණේ මෙම සංශෝධන පක්ෂ නායකවරුන්ට ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස්ද ඊට ඇතුළත් කොට සියලු දෙනාගේම එකඟත්වයෙන් එය සම්මත කරගත යුතු යැයි කියාය. එමෙන්ම මේ මොහොතේ ආර්ථික අර්බුදය බරපතළ බැවින් පළමුව ඊට විසඳුම් සොයා දෙවැනුව ව්‍යවස්ථා සංශෝධන කළ හැකි බවට පොහොට්ටුව පාර්ශ්වයෙන් යම් මතයක්ද ඒ වන විට මතුවෙමින් තිබිණි. ඒ හරහා නොකියා කියැවුණේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අරගලකරුවන් සිතූ ආකාරයට බලතල සීමා කරන එකක් නොවන බවත්, යම් යම් සුළු සංශෝධනයන් කිහිපයක් පමණක් ඇතුළත් කොට එවැන්නක් සිදුවනු ඇති බවත්ය.

රනිල් මල්පාරට පක්ෂ නායකයන් කැදවයි! යාලුවො ඉස්සරහට! හකීම් එළියට යයි!

ඊට හොඳම උදාහරණය දැකගන්නට ලැබුණේ පසුගිය සිකුරාදා (03) කොළඹ මල් පාරේ පිහිටි අගමැති කාර්යාලයේ කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීමේදීය. එම කැඳවීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර තිබූ අතර, වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් කළ දැනුම්දීමට අනුව ආණ්ඩුවට කඩේ යන මාධ්‍යද කැඳවා තිබුණේ තමන්ට හිතවත් පක්ෂ නායකයන් ලවා සාකච්ඡා සාර්ථක බවට ප්‍රකාශ කර ඊට ප්‍රසිද්ධියක් ගැනීමේ අරමුණෙන් යුතුවය. මෙහිදී රනිල්ගේ පාර්ශ්වයෙන් ආසන පනවා තිබුණේද ඉතා අපූරු ආකාරයටය. රනිල් තමන් අසලටම කැඳවාගෙන තිබුණේ තමන්ට හිතවත් පක්ෂ නායකයන්ය. ඇතැම් පක්ෂ නායකයන් වෙනත් පක්ෂවලින් මැතිවරණයට ඉදිරිපත් වී එක් ආසනයක් හෝ දෙකක් ලබාගත් පුද්ගලයන්ය. මෙහිදී රවුෆ් හකීම්ට පනවා තිබුණේ තරමක් ඈත තිබූ ආසනයක්ය. නමුත් හකීම්ගේ පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව, ආණ්ඩුවට එක්වී ඇමැතිකමක් ගත් නසීර් අහමඩ්ට අගමැතිවරයා ආසන්නයේම ඉදිරි පෙළ ආසනයක් පනවා තිබූ ආකාරයක් දැකගත හැකි විය. මේ හේතුවෙන්දෝ හකීම් පළමුව සාකච්ඡා කාමරයට පැමිණ පසුව එළියට වී සිටි ආකාරයක් දැකගත හැකි විය. නැවතත් ඔහුව සාකච්ඡා මේසයට කැඳවාගෙන ආවේ දයාසිරි ජයරසේකරය.

සුමන්තිරන් පසුපෙළට දමයි!

එමෙන්ම මන්ත්‍රීවරු 15 දෙනකු සිටින විපක්ෂයේ ප්‍රබලතම පක්ෂයක් වූ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මහතාට පනවා තිබුණේ පසු පෙළ ආසනයකි. බොහෝ දෙනා කියා සිටියේ නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ සිදුවීමේදී දෙමළ ජාතික සන්ධානය නිර්දය ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව විවේචනය කිරීම හේතුවෙන් මෙසේ සුමන්තිරන්ට පසුපස ආසනයක් පැනවීමට අගමැතිවරයා කටයුතු කර තිබූ බවකි.

දිනේෂ්-ජී.එල්. කිව්වා-නැගිට්ටා-ගියා!

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් පැමිණියේ ජී.එල්. පීරිස් සහ දිනේෂ් ගුණවර්ධනය. එහිදී ඔවුන් පැහැදිලිවම කියා සිටියේ ජනාධිපතිවරයා හට ලක්ෂ 69ක ජන වරමක් හිමිව ඇත්තේ වසර 05කට බවත්, එම නිසා එම වසර පහ ඇතුළත වත්මන් ව්‍යවස්ථාව යටතේ කටයුතු කිරීමට ජනාධිපතිවරයාට අයිතිය ඇති බවත්, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඊළඟට එන ජනාධිපතිවරයාගේ ධුර කාලයේ සිට ක්‍රියාත්මක කළ යුතු බවත්ය. මේ හරහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇති විරෝධය පළමු වරට එළියට ආ බවක් දැකගත හැකි විය. එමෙන්ම ඔවුන් පෙන්වා දුන්නේ මුලින්ම මෙය කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කොට සම්මත විය යුතු බවත්, ඉන් අනතුරුව පක්ෂ නායකයන් සමග සාකච්ඡා කළ හැකි බවත්ය. එසේ කී ඔවුන් දෙදෙනා වහාම සාකච්ඡා මේසයෙන් නැඟිට යෑමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය.

ඩිලාන් රනිල්‌ට කඩේ යද්දී දයාසිරි ඩිලාන්ටයි රනිල්ටයි දෙන්නටම ගහයි!

අනෙක් අතට මෙය සර්වපාක්ෂික ආණ්ඩුවක් බව ආණ්ඩුව පැත්තෙන් කියැවුණද එය එසේ නොවන බව මෙම සාකච්ඡාවේදී දයාසිරිගේ කටින් පිටවිණි. ඒ, ඩිලාන් පෙරේරා කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි. ඩිලාන් සිය අදහස් දැක්වීම ආරම්භ කළේ සර්වපාක්ෂික ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් රනිල්ව හඳුන්වා දෙමිනි. නමුත් එසැණින් ඊට ප්‍රතිචාර දැක්වූ දයාසිරි මෙය සර්වපාක්ෂික ආණ්ඩුවක් නොවන බවත්, පක්ෂ මතයට පිටින් ගොස් විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇමැති තනතුරු ලබාදී සකස් කරගත් ආණ්ඩුවක් බවත් ප්‍රකාශ කර සිටියේය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ දයාසිරි මෙසේ අදහස් ප්‍රකාශ කරද්දී ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එක්වී ඇමැතිකමක් ලබාගත් නිමල් සිරිපාල ද සිල්වාද දයාසිරිට දකුණුපස ආසනයේ අසුන් ගෙන සිටීමය.
කෙසේ වෙතත් මේ ආකාරයේ විවිධ පිපිරිලි පක්ෂ නායක රැස්වීමේදී සිදුවුවද කලින් සැලසුම් කර තිබූ ආකාරයට පක්ෂ නායකයන් රැස්වීමෙන් පසුව මාධ්‍ය ඉදිරියට පැමිණ රටටම ඇහෙන්නට කියා සිටියේ මෙම පක්ෂ නායක රැස්වීම ඉතා සාර්ථක එකක් වූ බවකි. ආණ්ඩුවට කඩේ යන මාධ්‍යද මෙම දේශපාලන පිපිරීම් කිසිවක් වාර්තා නොකොට, එය ඉතා සාර්ථක රැස්වීමක් බව වාර්තා කළ ආකාරයක්ද දැකගත හැකි විය.

පොහොට්ටුවෙත් 21 ගැන කතාවෙයි! වීරසේකර විරුද්ධ වෙයි!

කෙසේ වෙතත් මෙම රැස්වීමෙන් පසු 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ තවත් සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්විණි. ඉන් එක් රැස්වීමක් වූයේ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමය. මෙම පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට රනිල්ටද ආරාධනා ලැබී තිබිණි. ඒ අනුව මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු සාකච්ඡාව ආරම්භ කළේම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවිධ කරුණු මතුකරමිනි. එහිදී සරත් වීරසේකර පැහැදිලිව පෙන්වා දුන්නේ ජනතාව පොහොට්ටුවට ජනවරමක් දුන්නේ ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒමට නොව, අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට යැයි කියාය. එම ව්‍යවස්ථාව මේ වන විට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කෙටුම්පත් වන බවත්, එය ඉදිරියේදී රටට ඉදිරිපත් කළ යුතු බවත් කී සරත් වීරසේකර, තමන් 19ට විරුද්ධ වූ ආකාරයටම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයටද විරුද්ධ බව සඳහන් කර සිටියේය.

ඔක්කොම පෝලිම් නැති කරන්න කියයි!

සරත්ට අමතරව මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුම ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ මේ වන විට රට ඉල්ලන්නේ ව්‍යවස්ථා සංශෝධන නොව, තුන්වේල කෑමට හැකි, පෝලිම් නැති ආර්ථිකයක් යැයි කියාය. ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට ප්‍රථම ජනතාවට තුන් වේල කන්න දිය යුතු බවත්, වහාම පෝලිම් සංස්කෘතිය අවසන් කිරීමට පියවර ගත යුතු බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරු, වෙනදා පැවැති තනි පෝලිමේ තෙල් පෝලිම මේ වන විට පෝලිම් තුනක් දක්වා වර්ධනය වී ඇති බවද පෙන්වා දුන්නේය. මන්ත්‍රීවරුන් මෙසේ කියද්දී රනිල් නිකටට අත තබාගෙන සුපුරුදු පරිදි අහක බලාගෙන සිටින ආකාරයක් දැකගන්නට ලැබිණි.

ඩලස් විතරක් 21ට පක්ෂව අදහස් දක්වයි!

ඉන් අනතුරුව අදහස් දැක්වූයේ ඩලස්ය. බොහෝ මන්ත්‍රීවරුන් 21ට විරුද්ධව අදහස් පළ කරද්දී 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව කතා කළේ ඩලස් පමණි. ඩලස් පෙන්වා දුන්නේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ විජයදාස හෝ රනිල් නිසා නොව, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබූ පොරොන්දුවක් අනුව බවය. බිම් මට්ටමේ ප්‍රශ්නය තේරුම්ගත යුතු බව කී ඩලස්, ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය දුර්වල නොකරන ලෙසත්, මෙම සංශෝධන කල් නොදමා ගෙන එන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට පියවර ගත්තේය.
කෙසේ වෙතත් විජයදාස කියා සිටියේ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු නිසා එය කෙටි කාලයකට කල් දැමීමට පියවර ගන්නා බවකි. රනිල්ද එහිදී ඊට එකඟතාව පළ කළ ආකාරයක් දැකගත හැකි විය.

ජගත් කුමාරට ජනපතිගෙන් දෝස්මුරයක්!

එමෙන්ම මෙම සාකච්ඡාවේදී මන්ත්‍රී ජගත් කුමාර මතු කළ කරුණක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කෝපයෙන් යුතුව අදහස් ප්‍රකාශ කළ ආකාරයක්ද දැකගත හැකි විය. එහිදී ජගත් කුමාර කියා සිටියේ රුසියානු ගුවන් යානයේ ප්‍රශ්නයට නිසි අයුරින් ජනාධිපතිවරයා මැදිහත් නොවීම නිසා එය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් දක්වා දුරදිග ගිය බවත්, ජනාධිපතිවරයා නිසි අයුරින් මැදිහත් වූවා නම් මෙපමණ අර්බුදයකට නොයා එය නිරාකරණය කරගත හැකිව තිබූ බවත්ය. ජගත්ගේ මේ කතාවෙන් ජනාධිපතිවරයා දැඩි කෝපයට පත්විය. තරමක් උස් ස්වරයකින් යුතුව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ තමන්ට හැකි පමණින් ඊට මැදිහත් වූ බවත්, අධිකරණ කටයුතුවලට ඇඟිලි ගැසීමට තමන්ටවත් බලයක් නොමැති බවත්ය. එම නිසා නොදන්නා දේ කියවන්නේ නැතිව කට පියාගෙන සිටින ලෙස ජගත්ට දැනුම් දීමටද එහිදී ජනාධිපතිවරයා පියවර ගත්තේය.

නෑ බෑ කියන රනිල්ට මන්ත්‍රීවරු ගහන්න සෙට්වෙයි!

කෙසේවෙතත් මෙම සාකච්ඡාව අවසාන වීමෙන් පසු පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු අතර රනිල් ප්‍රකාශ කළ කරුණක් සම්බන්ධයෙන් එහිදී කිසියම් කතාබහක් සිදුවිය. එහිදී මන්ත්‍රීවරුන් කියා සිටියේ රනිල් මේ වන විට සෑම විටම පාහේ තමන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කරමින් සිටින බවත්, ඩොලර් බිලියන ගණන් රැගෙන එන බවට මුලින් කියා සිටියත්, එක ඩොලරයක් හෝ ලංකාවට ගෙන ඒමට මෙතෙක් ඔහු අපොහොසත්ව ඇති බවත්ය. එම නිසා ඉදිරි මනත්‍රී කණ්ඩායම් රැස්වීමකදී නැවත වතාවක් ආර්ථිකයේ අසීරුතාව පිළිබඳ රනිල් කතා කිරීමට පියවර ගතහොත් ඔහුට එරෙහිව දැඩි ප්‍රතිචාර දැක්වීමටද මෙහිදී මන්ත්‍රීවරු තීරණයකට එළඹියහ. රනිල්ට නොහැකි නම් පොහොට්ටුවේ වෙනත් මන්ත්‍රීවරයකු අගමැතිවරයා ලෙස පත්කොට ජනවරමට අනුව පොහොට්ටු ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවටද මෙහිදී මන්ත්‍රීවරුන් සාකච්ඡා කරනු දැකගත හැකි විය.

බැසිලුත් රනිල්ගේ මල් පාරට යයි!

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ ඊළඟ වැදගත් සාකච්ඡාව සිදුවූයේ බැසිල් හා රනිල් අතරය. බැසිල්ට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය වී තිබුණේ 21 බැසිල්ගේ ද්විත්ව පුරවැසිභාවය මුල් කරගෙන ඉදිරිපත් කරන බවට චෝදනා එල්ල වී තිබීම නිසාය. එම සාකච්ජාව ඉකුත් සති අන්තයේ මල් පාරේ පිහිටි සිය අගමැති කාර්යාලයේදී පැවැත්වීමට රනිල් පියවර ගත්තේය.

විජයදාසට කට වරදී! 21 පසුපස අමෙරිකාව ඉන්න බව කියයි!

මෙම සාකච්ඡාවට බැසිල් පැමිණියේ තනිවම නොව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 15 දෙනකුද සමගය. රනිල්ගේ පාර්ශ්වයෙන් ඔහු එම සාකච්ඡාවට විජයදාසටද ආරාධනා කර තිබිණි. ඒ අනුව සාකච්ඡාවට පැමිණ සිටි බොහෝ දෙනා රනිල්ගෙන් විමසන්නට වූයේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ කාගේ වුවමනාවටදැයි කියාය. මේ වන විටත් ජනාධිපතිවරයා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය තමන්ද දැක නොමැති බව ප්‍රකාශ කර ඇති නිසා මෙය කවුරුන් විසින් ඉදිරිපත් කරන්නේද යන්න ඔවුහු රනිල්ගෙන් විමසා සිටියහ. එහිදී රනිල්ද කියා සිටියේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමන්ද කිසිවක් නොදන්නවා යැයි කියාය. එවිට මන්ත්‍රීවරු 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට මූලිකත්වය ගෙන සිටින විජයදාසගෙන් ඒ පිළිබඳ විමසීමට පියවර ගත්හ. එහිදී විජයදාස මෙතෙක් කිසිවකු නොදැන සිටි කරුණක් මන්ත්‍රීවරු හමුවේ තැබීමට පියවර ගත්තේය. විජයදාස කියා සිටියේ ජාත්‍යන්තරයෙන් එල්ලවන බලපෑම හේතුකොට ගෙන මෙම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කරනවා යැයි කියාය.

‘මම පහුගිය දවස්වල තානාපති නිලධාරීන් රැසක් හමුවෙලා සාකච්ඡා කළා. එහිදී බොහෝ දෙනෙක් මට කිව්වා වහාම දේශපාලන ප්‍රතිසංස්කරණ ඇතිකරන්න කියලා. විශේෂයෙන්ම ඇමෙරිකානු තානාපතිවරිය ඒ ගැන දැඩිව ඉල්ලීමක් කළා. එතුමිය මගෙත් එක්ක මේ ගැන පැය දෙකක් පමණ සාකච්ඡා කළා….’ යනුවෙන් කියමින් විජයදාස පළමු වතාවට ඇමෙරිකානු තානාපතිවරියගේ නම සඳහන් කිරීමට එහිදී පියවර ගත්තේය.

බැසිල්ගෙන් පළමු ඉගිය එයි!

විජයදාසගෙන් පසුව කතා කිරීමට පටන් ගත්තේ බැසිල්ය. එහිදී 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කළ බැසිල් පුද්ගලයන් ඉලක්ක කර ගෙන එන සංශෝධනවලට තමන් විරුද්ධ බවත්, සියල්ලන්ටම අවශ්‍ය තමන්ගේ ඉවත් වීම නම් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට සූදානම් බවත් සඳහන් කර සිටියේය. ඒ අවස්ථාවේදී කිසිවකුත් එවැන්නක් සත්‍ය වශයෙන් සිදුවනු ඇතැයි සිතා නොසිටියත්, බැසිල් තම පාර්ලිමේන්තු ජීවිතයට ආයුබෝවන් කීමට සූදානම් බවට වූ පළමු ඉඟිය ලබාදුන්නේ රනිල් සමග පැවැති මෙම සාකච්ඡාවේදීය. බැසිල් මෙය තරමක් ආවේගශීලීව කී නිසා එවැන්නක් සිදුවනු ඇතැයි එහි සිටි කිසිවකුත් ඒ මොහොතේ විශ්වාස කළේ නැත.

රනිලුත් ජනපති හමුවන්න යයි!

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තීරණාත්මක ඊළඟ සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතරය. මෙම සාකච්ඡාවට රනිල් සිය පාර්ශ්වයෙන් විජයදාස රාජපක්ෂ මහතා සහ නිමල් සිරිපාල ද සිල්වා මහතා එක් කරගෙන තිබූ අතර, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඊට එක්ව සිටියේ ජී.එල්. පීරිස් සහ දිනේෂ් ගුණවර්ධනය.

ජනපතිගේ පැත්තෙන් ප්‍රබල යෝජනා!

මෙහිදී දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡා වූයේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කෙරෙන වගන්ති පිළිබඳවය. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යෝජනා වී තිබුණේ අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී අගමැතිවරයා තනතුරෙන් ඉවත් කිරීමේ බලයත්, ඕනෑම අමාත්‍යාංශයක් දැරීමේ සහ ඕනෑම අමාත්‍යාංශයක් පවරාගැනීමේ බලයත් ජනාධිපතිවරයා සතු විය යුතු යැයි කියාය. ඒ අනුව අගමැතිවරයා පත්කිරීම සහ ඉවත් කිරීම, කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම ඇතුළු බලතල රැසක් සිය කාලසීමාවෙන් පසු ක්‍රියාත්මක වන ආකාරයට සංශෝධනය විය යුතු බවත්, තමන්ට ජනතාව ජනවරමක් ලබාදී ඇත්තේ වත්මන් ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමට බවත් මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ද්විත්ව පුරවැසිභාවය සාමාන්‍ය බහුතරයකින්!

එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තියද පුද්ගලයකු ඉලක්ක කර රැගෙන විත් ඇති බවට සමාජයේ මතයක් පවතින නිසා එය 21 වැනි ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු නැති බවත්, එය සාමාන්‍ය බහුතරයකින් සංශෝධනය කළ හැකි බවට නීතී උපදෙස් ලැබී ඇති බැවින් එසේ කළ හැකි බවත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ අදහස වී තිබිණි.

රනිල්ට හිස් අතින් එන්න වෙයි!

කෙසේ වෙතත් ස්වාධීන කොමිසන් සභා සම්බන්ධයෙන් මෙහිදී යම් යම් එකඟතාවන්ට පැමිණීමට දෙපිරිසට හැකි විය. ඒ අනුව එහිදී පැහැදිලිවම දැකගන්නට ලැබුණේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ වැඩි කැමැත්තක් නොතිබූ බවකි. අගමැතිවරයාගේ පාර්ශ්වය ජනාධිපතිවරයාගේ තටු කැපීමට විවිධ යෝජනා ඉදිරිපත් කළත්, ඊට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණු නිසා අවසානයේදී රනිල්ටත්, විජයදාසටත්, නිමල් සිරිපාලටත් සිදු වූයේ හිස් අතින් ආපසු හැරී ඒමටය.

21 කමින් සූන්!

ඒ අනුව අවසානයේදී 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කුමක් වනු ඇද්ද? අරගල භූමියේ සිටින අරගලකරුවන් ඉල්ලා සිටින ආකාරයට විධායකයේ බලතල විශාල ප්‍රමාණයක් ඉවත්වී එම බලය පාර්ලිමේන්තුවට ලැබෙනු ඇද්ද? ජනාධිපතිවරයාගේ බලතල සීමා වනු ඇද්ද? පාර්ලිමේන්තුවේ සහ අගමැතිවරයාගේ බලතල වැඩිවනු ඇද්ද? අපට දැනගන්නට ඇති ආරංචිවලින් නම් කියැවෙන්නේ මුලින් සකස් වූ කෙටුම්පතේ තිබූ වගන්ති බොහොමයක් ඉවත් කිරීමෙන් පසු ඉදිරි දින කිහිපය ඇතුළතදී 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළිත් වතාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවකි. ඉන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයේ සම්මත කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ. කෙසේ වෙතත් එහි අන්තර්ගත කරුණු කුමක්ද යන්න සියල්ලන්ටම දැනගන්නට හැකි වනු ඇත්තේ එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

හරීන්- මනූෂ මගින්ම යයි!

පසුගිය සතියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයා කැඳවා තිබුණේ සඳුදා පැවැති කැබිනට් රැස්වීමෙන් පසුවය. කැබිනට් රැස්වීම ජනාධිපති මන්දිරයේ පහළ මාලයේ පැවැති අතර, මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට සැලසුම් කර තිබුණේ ජනාධිපති මන්දිරයේ ඉහළ මහලේය. කැබිනට් රැස්වීම තරමක් පමා වූ බැවින් මන්ත්‍රීවරුන් පැමිණ ඉහළ මහලේ තේ පැන් සංග්‍රහය භුක්ති විඳිමින් සිටි අතර, කැබිනට් රැස්වීම නිම වූ වහාම ඇමැතිවරුන්ද ඉහළ මහලට පැමිණ තේ පානය කළ ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අමාත්‍යවරුන් වන මනුෂත්, හරීනුත් තේ බී කණ්ඩායම් රැස්වීමට සහභාගි නොවී ජනාධිපති මන්දිරයෙන් පිටව යෑමට පියවර ගැනීමය. ඊට හේතුව ලෙස බොහෝ දෙනා සඳහන් කළේ ඉකුත් පොහොට්ටු රැස්වීමේදී හරීන්ට එරෙහිව ඩයනා ගමගේ විසින් දැඩි වාග් ප්‍රහාරයක් එල්ලවී තිබීම යැයි කියාය.

රනිල්ට බැරිබැරියාව!

කෙසේවෙතත් රැස්වීම ආරම්භ කරමින් අදහස් දැක්වීමට පටන් ගත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. මුදල් අමාත්‍යවරයා වශයෙන් රනිල් මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන්නේ ඉදිරි මාස කිහිපය ඇතුළත ඩොලර් බිලියන පහක අවශ්‍යතාවක් මතුව ඇතැයි කියාය. මේ වන විට රටට ණය ලබාගැනීම දුෂ්කර කාර්යයක් වී ඇති බව කී රනිල්, ජපානය සහ චීනය සමග සාකච්ඡා කළ යුතු බවත්, ණය දෙන රටවල සමුළුවක් කැඳවීමට සැලසුම් කර ඇති බවත් මන්ත්‍රීවරුන්ට කියා සිටියේය. ඒ අනුව එම කතාවේදීද රනිල් මන්ත්‍රීවරුන්ට කියා සිටියේ අගමැති ධුරය භාරගැනීමට පෙර කී තමන් පැමිණි පසු ඩොලර් බිලියන ගණන් රටට එන බව නොව, මුදල් සොයාගැනීමට ඇති අමාරුකම පිළිබඳවය.

නන්දලාල් එයි!

කෙසේ වෙතත් මෙම රැස්වීමට මන්ත්‍රීවරුන්ට අමතරව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද කැඳවා තිබිණි. ඒ, පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඔහුගේ මතය දැනගැනීම සඳහාය. මෙම සාකච්ඡාව ආරම්භයේදී වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මේ වන විට රට තුළ ඇති ආහාර තොග සම්බන්ධයෙන් කිසියම් පැහැදිලි කිරීමක් කළේය. එහිදී මහ බැංකු අධිපතිවරයාට එරෙහිව කිසියම් චෝදනාවක් එල්ල කිරීමටද නලින් කටයුතු කළේය.

නලින්ගෙන් නන්දලාල්ට චෝදනාවක්!

‘ඩොලර් ප්‍රශ්නෙ නිසා ව්‍යාපාරිකයො බඩු ගෙන්වන්නෙ නෑ. ඒ අය මෙච්චර කල් කළේ ඕපන් එකවුන්ට්ස්වලට ආහාර ආනයනය කරලා ගබඩා කරලා තිබ්බ එක. හැබැයි දැන් මහ බැංකුවෙන් මේ ඕපන් එකවුන්ට්ස් නතර කරලා තියෙනවා. ඒ හින්දා දැන් ආහාර ඉතිරි වෙලා තියෙන්නේ දවස් 20කට විතරයි. අපිට හාල් හිඟය ඉවසන්න පුළුවන් වුණත්, අත්‍යාවශ්‍ය ආහාර හිඟය දවසක්වත් ඉවසන්න බෑ, ඒ හින්දා මම මෙතනට එන්න ඉස්සෙල්ලා අගමැතිතුමා එක්කත් කතා කළා. එතුමා එකඟ වුණා මේ ඕපන් එකවුන්ට්ස්වලින් භාණ්ඩ ගෙන්වන්න ඉඩ දෙන්න…’ යනුවෙන් නලින් ප්‍රනාන්දු කියද්දී සියලු දෙනාටම වැටහී ගිය කාරණාව වූයේ නලින් සහ රනිල් එළියේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම කාරණය මතුකළ බවය. නමුත් ඒ වනවිටත් අගමැතිවරයා සාකච්ජාවෙන් පිටව ගොස් තිබූ නිසා සියලු දෙනාම බැලුවේ මහබැංකු අධිපතිවරයාගේ මුහුණ දෙසය. නමුත් මහ බැංකු අධිපතිවරයා ඊට එකඟතාව පළ කළේ නැත. ඔහු කියා සිටියේ එය කිසිසේත්ම කළ නොහැකි යැයි කියාය.

නන්දලාල් කෙළින් සිටී!

‘බෑ, අපිට ඒක කරන්න ඉඩ දෙන්න බෑ. මොකද අපි ඩොලර් එක මේ ගානට හරි අල්ලගෙන ඉන්නේ ඔය වගේ දේවල් නවත්තපු හින්දයි. මම ඔබතුමාලට එකක් කියන්නම්. මේ භාණ්ඩ ආනයනය කරන අය කරන්නේ බොරුවක්. ඒ අය බඩු ගෙනල්ලා ස්ටොක් කරලා හංගගෙන ඉන්නේ…’ යනුවෙන් කියද්දී මහ බැංකු අධිපතිවරයාගේ සහායට ඉන්දික අනුරුද්ධ ඉදිරිපත් වූ ආකාරයක් දැකගත හැකි විය. ඉන්දික කියා සිටියේ නලින් ප්‍රකාශ කරන කාරණය සිදුවිය නොහැකි බවත්, මහ බැංකුව ප්‍රකාශ කරන ආකාරයට සැපයුම්කරුවන් නිල අයුරින් මහ බැංකුව හරහා ගනුදෙනු කළ යුතු බවත්ය. මහ බැංකු අධිපතිවරයාද ඉන්දිකගේ කතාව අනුමත කරමින් අදහස් පළ කළේය. ඒ අනුව රනිල් – නලින් සාකච්ඡාවට පෙර එකඟතාව කට පැමිණ මෙම ප්‍රශ්නය මතු කළත් මහබැංකු අධිපතිවරයා ඊට අනුමැතිය ලබා දුන්නේ නැත.

රනිල්ටත් ෂොට් එකක් දෙයි!

ඉන් අනතුරුව මහ බැංකු අධිපතිවරයා රනිල් කර තිබූ තවත් කතාවකට ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේය. ඒ, ඉදිරියේදී ඩොලරයේ අගය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇතැයි කර තිබූ කතාවටය. එහිදී මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ඩොලරයේ අගය ඉදිරියේදී රුපියල් 300 ප්‍රමාණයට ගෙන ඒමට හැකි බවකි. එසේ කළ හැකි ආකාරයද මහ බැංකු අධිපතිවරයා මෙහිදී මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන්නේය.

ඩොලර් හංගන් ඉන්න අය පස්සේ පන්නයි!

‘මම සියලුම මුදල් හුවමාරු කරන්නන් ගෙන්වලා ඔවුන් එක්ක සාකච්ඡාවක් කළා. මම කිව්වා ඩොලර්වලින් කරන සියලු ගනුදෙනු බැංකු හරහා සිදුවිය යුතුයි කියලා. ඔවුන් එසේ කරන බවට මට පොරොන්දුවක් දුන්නා. හැබැයි තවම එහෙම දෙයක් වෙනවා කියන එක මට පේන්නේ නැහැ. ඒ හින්දා මම ඒ අයට තව සති දෙකයි දෙන්නේ. ඉදිරි සති දෙකේදී මේක වෙනස් වුණේ නැත්නම් මම ඔවුන්ගෙ සියලු බලපත්‍ර යම් කාලසීමාවකට අවලංගු කරනවා. එතකොට මේ ප්‍රශ්නෙ අපට සෑහෙන දුරකට විසඳගන්න පුළුවන්…’ යනුවෙන් කී මහ බැංකු අධිපතිවරයා තවත් බරපතළ අනතුරු ඇඟවීමක්ද එහිදී සිදු කළේය. ඒ, ඩොලර් සඟවාගෙන සිටින විවිධ වෘත්තිකයන් සම්බන්ධයෙන්ය.

‘පහුගිය කාලසීමාවෙ දීර්ඝව කරපු පරීක්ෂණවලින් පස්සේ අපිට හෙළිදරව් කරගන්න පුළුවන් වුණා විශාල වශයෙන් වැටුප් ගන්න වෘත්තිකයො බ්ලැක් මාර්කට් එකෙන් ඩොලර් අරගෙන ගෙවල්වල, අල්මාරි අස්සේ, කොට්ට මෙට්ට අස්සේ හංගගෙන ඉන්නවා කියලා. අපි ඒ අයට පැහැදිලිවම කියලයි තියෙන්නේ මෙහෙම කරන්න එපා කියලා. ඒ හින්දා අපිට දැන් ඉස්සරහට මේ ගෙවල්වලට ගිහින් විමර්ශන කටයුතු කරන්න සිද්ධ වෙයි. එහෙම කරලා හංගලා තියෙන ඩොලර් ආණ්ඩුවට ගන්න අපට සිද්ධ වෙයි.’ යනුවෙන් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

බැසිල් ගියේ පුෂ්පා නිසා!

පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධානම මාතෘකාව බවට පත්වූයේ බැසිල්ගේ ඉවත් වීමත්, අංක එකේ කෝටිපතියකු බවට පත්ව සිටින ධම්මික පෙරේරාගේ දේශපාලන සම්ප්‍රාප්තියත්ය. ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදී බැසිල් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවට ප්‍රකාශ වීමත් සමග බොහෝ දෙනා සිතා සිටියේ ආණ්ඩුව ඇතුළෙන්ම ආ ප්‍රබල බලපෑම හේතුවෙන් බැසිල් ඉවත් වන්නට ඇතැයි කියාය. තවත් සමහරු කියා සිටියේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තිය ගෙන ඒමට නියමිත බවට වූ කතාව නිසා ඊට පෙර බැසිල් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූවා යැයි කියාය. නමුත් අපට ඇති ආරංචිවලට අනුව බැසිල් සිය මන්ත්‍රී ධුරය අතහරින්නට තීන්දු කළේ ඒ කිසිවක් නිසා නොව, සිය පවුලෙන් ආ දැඩි ඉල්ලීම හේතුකොට ගෙනය. මුලින්ම එම ඉල්ලීම දැඩිව බැසිල්ට ඉදිරිපත් කළේ ඔහුගේ බිරිය වූ පුෂ්පා රාජපක්ෂය. ඉන් අනතුරුව ඇමෙරිකාවේ සිටින බැසිල්ගේ දරුවන්ය. ඔවුන් දැඩිව බැසිල්ට දැනුම් දී තිබුණේ මේ මොහොතේ කළ යුතු හොඳම දේ දේශපාලනයෙන් ඉවත් වීම යැයි කියාය. අවසානයේදී බැසිල්ද සිය පවුලේ මතයට හිස නමමින් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තීන්දු කොට එය සිය සහෝදරයන් වූ ජනාධිපතිවරයාටත්, මහින්දටත් දැනුම් දීමට පියවර ගත්තේය. ඒ අනුව ඔවුන් තිදෙනා අතර පසුගිය සතිය ආරම්භයේදී මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් සිදුවිය.

නම් 3ක් ජනාධිපතිට දෙයි!

මෙහිදී තම ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුවට නම් කළ යුතු පුද්ගලයන් කිහිප දෙනකුගේ නම් පවා බැසිල් ජනාධිපතිවරයාටත්, මහින්දටත් ඉදිරිපත් කළේය. ඉන් එක් නමක් වූයේ මිල්කෝ ආයතනයේ සභාපතිවරයා වන රේණුක පෙරේරාය. අනෙක් නම වූයේ මේ වන විට ඉතාලියේ තානාපති ලෙස පත්ව සිටින ජගත් වැල්ලවත්තය. ඒ දෙකම කළ නොහැකි නම් අවම වශයෙන් පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වන මහින්ද පතිරණ පත්කරන ලෙසද මෙහිදී බැසිල් දැනුම්දී සිටියේය.

ලොකු කොන්දේසියකුත් දමයි!

කෙසේ වෙතත් මෙහිදී තවත් එක් යෝජනාවක්ද බැසිල් කළේය. එය බැසිල්ගේ පැත්තෙන් ආ ලොකුම කොන්දේසිය ලෙසද දැකගන්නට ලැබිණි. එනම්, 69 ලක්ෂයක් ඡන්දය ලබාදුන්නේ පරාජිත පුද්ගලයකු හෝ වෙනත් පක්ෂයක පුද්ගලයකු අගමැතිවරයා ලෙස පත්කිරීමට නොව, පොහොට්ටුවේ අයකු අගමැතිවරයා ලෙස දැකීමට යැයි කියාය. මේ වන විට පාර්ලිමේන්තුවේ ඇත්තේ විකෘතියක් බව පෙන්වා දුන් බැසිල්, වහාම එය නිවැරැදි කළ යුතු බව ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය.


‘69 ලක්ෂයක් අපට ඡන්දෙ දුන්නේ රනිල්ව අගමැති කරන්න නෙවෙයි. මේක විකෘතියක්. ඔතන ඉන්න ඕනෙ පොහොට්ටුවෙ අගමැතිවරයෙක්. පොහොට්ටුවෙ ඇමැති මණ්ඩලයක්. ඒ නිසා මම අයින් වෙන්නේ ඒ වැඩේ පහසු කරන්න ඕනෙ කියලා හිතලයි. මොකද ගොඩක් අය කියනවා මම ඉන්නකන් ආණ්ඩුවට එන්නෙ නෑ කියලා. ඒ අය ස්වාධීන වෙලා ඉන්නෙ ඒ නිසා කියලා කියනවා. ඒ නිසා මම අයින් වුණාම ස්වාධීන කට්ටියත් එකතු කරටගෙන ආයෙමත් පොහොට්ටුවෙ ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්…’ යනුවෙන් බැසිල් එහිදී ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය.
බැසිල් මෙසේ ප්‍රකාශ කරද්දීත් ජනාධිපතිවරයා හා රනිල් අතර මත ගැටුම් කිහිපයක්ම මතුව තිබීම විශේෂත්වයකි. දෙදෙනා අතර මුල්ම අර්බුදය මතුවූයේ මුදල් අමාත්‍ය ධුරය සම්බන්ධයෙන්ය. ජනාධිපතිවරයා එය අලි සබි්‍රට ලබාදීමට සූදානමින් සිටියත්, රනිල් එය තමන්ට අවශ්‍ය බව දැඩිව කියා තිබිණි. ඉන් අනතුරුව මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන්ද යම් මත ගැටුමක් දෙපාර්ශ්වය අතර ඇතිව තිබිණි. රනිල් ඊට දිනේෂ් වීරක්කොඩි පත්කළ යුතු බව කියා තිබුණත්, ජනාධිපතිවරයා ඊට එකඟතාව පළකොට තිබුණේ නැත. එමෙන්ම අගමැති ධුරය භාරගැනීමට ප්‍රථම ජාත්‍යන්තරයෙන් ඩොලර් බිලියන 05ක ආධාර ලබාගැනීමට හැකි බවට රනිල් පුරසාරම් දොඩා තිබුණද මෙතෙක් එකදු ඩොලරයක් හෝ ලබාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද සිටින්නේ මේ වන විට රනිල් පිළිබඳ තරමක අප්‍රසාදයකිනි. එම නිසා ඉදිරියේදී අගමැති ධුරයේ යම් වෙනසක් සිදුවන දේශපාලන ලකුණුද මේ වන විට පහළ කර නැතුවාම නොවේ.

ධම්මිකගේ නම උඩට ආ හැටි!

ඒ කෙසේ වෙතත් පසුගිය සතියේ බැසිල් සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවට ජනාධිපතිවරයාට කළ දැනුම්දීමත් සමග ඔහු ඉදිරිපත් කළ නම් පිළිබඳ ජනාධිපතිවරයා සිය හිතවතුන් සමග සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වූවේය. එහිදී කිසිවකුත් නොසිතූ ආකාරයට එක නමක් සාකච්ඡා මේසයට ආවේය. ඒ, ධම්මික පෙරේරාගේ නමය. එහි සිටි බොහෝ දෙනා පෙන්වා දුන්නේ ධම්මික වැනි අයකු හට ආර්ථිකය සම්බන්ධයෙන් වැඩි වගකීම් කොටසක් ලබාදුනහොත් ඔහු එය සාර්ථකව ඉටු කරනු ඇතැයි කියාය. බැසිල්ගෙන් හිස්වන මන්ත්‍රී ධුරයට සාමාන්‍ය අයකු පත්කරනවාට වඩා මූල්‍ය පැත්ත සම්බන්ධයෙන් දැනුම් තේරුම් ඇති ධම්මික වැනි පුද්ගලයකු පත්කිරීම සුදුසු බව එහිදී බොහෝ දෙනාගේ අදහස විය. ඒ අනුව ජනාධිපතිවරයා පසුව මෙම අදහස බැසිල්ට දැනුම් දීමට පියවර ගත්තේය.

බැසිල් මුලින් විරුද්ධ වෙයි!

නමුත් බැසිල් මුලදී ඊට එකඟතාවක් දැක්වූයේ නැත. ඒ අනුව බැසිල් හා ධම්මික අතර සමගි පාලමක් තනන්නට දෙදෙනාටම හිතවත් එක්තරා පුද්ගලයෙක් පියවර ගත්තේය. ඒ අනුව දෙපාර්ශ්වයටම පණිවුඩ කිහිපයක් ගෙන යෑමෙන් පසුව බැසිල් හා ධම්මික සාකච්ජාවක් පැවැත්විණ. අවසානයේදී දින කිහිපයක සාකච්ඡාවලින් පසු ධම්මිකගේ පාර්ලිමේන්තු ගමනට බැසිල්ගේද එකඟතාව හිමි විය. එහිදී දෙදෙනා අතර ඇති කරගත් එකඟතාවන් මොනවාද යන්න තවමත් පැහැදිලි නැතත් ධම්මිකගේ වැඩපිළිවෙළට බැසිල්ගෙන්ද කොළ එළියක් පත්තු වී ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

මහජන්දයක් ළග එනවා!

දෙදෙනා අතර මෙසේ එකඟතාවක් මතුවෙද්දී ජනාධිපතිවරයා හා බැසිල් අතර තවත් එකඟතාවක් මතුව ඇති බව අපට දැනගන්නට තිබේ. ඒ, මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්ය. දැනට පවතින ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට බලය හිමිවන්නේ පෙබරවාරි 05 වැනි දිනය. එදිනට වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවිය යුතු බවට බැසිල් ගෙන ආ යෝජනාවට ජනාධිපතිවරයාගේ එකඟතාව ලැබී ඇති බවක් ආරංචිය. ඒ අනුව අද සිට පෙබරවාරි මාසය දක්වා මාස 7ක පමණ කාලයක් පවතින අතර, එම කාලය ඇතුළත පොහොට්ටුව යළි සංවිධාන කොට, ආර්ථිකය යළි කළමනාකරණය කොට, රට කෙළින් කටින් සිටුවිය යුතු බව ජනාධිපතිවරයාට බැසිල් දැනුම්දී ඇති බවක් ආරංචිය. එමෙන්ම ජනාධිපතිවරයා මෙතෙක් දේශපාලනයට ඍජුව සම්බන්ධ නොවුණද ඉදිරියේදී සක්‍රීයව දේශපාලනයේ නිරත වීමටත් මෙහිදී එකඟතාවක් මතුව ඇති බවක් දැනගන්නට ඇත.

රනිල් කලබල වෙයි! මාමාගේ පත්තරවලින් ධම්මිකට ගහයි!

කෙසේ වෙතත් බැසිල්ගෙන් හිස්වන මන්ත්‍රී ධුරයට ධම්මික ගෙන ඒමට රාජපක්ෂවරුන් තීන්දු කොට ඇති බව අනාවරණය වීමත් සමග වැඩියෙන්ම කලබලයට පත්වූයේ වෙන කවුරුවත් නොව රනිල්ය. කොච්චර කලබල වූවාද කියනවා නම් කවදත් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව මාධ්‍ය මෙහෙයවන සිය මාමා වූ රන්ජිත් විජයවර්ධනගේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් හරහා ධම්මික ඉලක්ක කරගෙන දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට රනිල් පියවර ගත්තේය. ඉකුත් සති අන්තයේ මෙම ප්‍රහාරය එල්ල වීමත් සමග සහ එහි ස්වභාවය දුටු සැණින්ම ජනාධිපතිවරයා සහ ධම්මිකට එය රනිල්ගේ වැඩක් බව වටහා ගැනීමට එතරම් අපහසුවක් නොවීය.

ලකුණු දාගන්න මූල්‍ය අරමුදලට කතා කරයි!

එමෙන්ම ධම්මිකගේ ආගමනයෙන් කලබලයට පත්වූ රනිල් තවත් එක් කටයුත්තක්ද සිදු කළේය. ඒ, වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට දුරකතන ඇමතුමක් ලබාදී තමන්ට එහි කළමනාකාර අධ්‍යක්ෂවරිය වූ ක්‍රිස්ටියානා ජෝජියාවා මහත්මිය සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දැනුම්දී සිටීමය. ඊට මූල්‍ය අරමුදලෙන් ලැබුණු පිළිතුරු වූයේ එම යෝජනාව පිළිබඳ සලකා බලන්නම් යැයි කියාය. ධම්මික වැනි ජාත්‍යන්තරය දන්නා හඳුනන චරිතයක් පාර්ලිමේන්තු පැමිණ ආර්ථිකය සම්බන්ධයෙන් වැඩි වගකීමක් දැරීමට සූදානම් වන මේ මොහොතේ තමන් කුමක් හෝ නොකළහොත් තමන්ගේ දේශපාලන අනාගතය අනතුරේ වැටෙන බව හොඳ හැටි වටහා ගත් රනිල් කළේ නැවත නැවතත් මුල්‍ය අරමුදලේ නියෝජිතයන්ට කතා කොට කෙසේ හෝ කළමනාකාර අධ්‍යක්ෂවරිය සමග සාකච්ඡාවක් ලබාදෙන ලෙසට ඇවටිලි කිරීමය. රනිල්ගේ සැලසුම වී තිබුණේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තමන් සමග සිටින බව රටට පෙන්වා ඒ හරහා තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීමය.

මූල්‍ය අරමුදල කියපු කතාව!

ඒ අනුව බොහෝ පෙරැත්ත කිරීමෙන් පසුව මූල්‍ය අරමුදලෙන් රනිල්ට පසුගියදා ඇමතුමක් ලැබිණි. එම ඇමතුමෙන් ඔවුන් දැනුම්දී සිටියේ බදාදා දින පෙරවරුවේ ක්‍රිස්ටියානා ජෝජියාවා රනිල්ට කතා කරනු ඇති බවත්, ඊට සූදානමින් සිටින ලෙසත්ය. කීවා වාගේම රනිල්ට ක්‍රිස්ටියානාගෙන් ඇමතුම ලැබුණු අතර, එහිදී රනිල් කියා සිටියේ ආධාර වැඩසටහන ඉක්මන් කරන්නැයි කියාය. නමුත් මෙහිදී ක්‍රිස්ටියානා පැහැදිලිවම රනිල්ට කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන්ට කතා කොට පළක් නැති බවත්, ලංකාවෙන් ලැබුණු ඉල්ලීමට අනුව මූල්‍ය අරමුදලේ කණ්ඩායම සිය කටයුතු ආරම්භ කර ඇති බවත්ය. එම වැඩකටයුතුවලට අනුව ලබන 20 වැනි දින මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කණ්ඩායමක් ලංකාවට පැමිණෙනු ඇති බව රනිල්ට දැනුම්දී සිටි ක්‍රිස්ටියානා ඔවුන් ආණ්ඩුවේ බලධාරීන් සමග පූර්ව ගිවිසුම පිළිබඳවත්, එහි අඩංගු කොන්දේසි පිළිබඳවත් සාකච්ඡා කරනු ඇති බව කියා සිටියාය. ඉන් අනතුරුව එම ගිවිසුමට මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතු බව රනිල්ට පෙන්වා දුන් ක්‍රිස්ටියානා, එතෙක් ඉවසීමෙන් යුතුව බලා සිටිය යුතු බවද රනිල්ට දැනුම් දුන්නාය. එය මූල්‍ය අරමුදලේ සාමාන්‍ය ක්‍රියාවලිය බවත්, එය ඉක්මන් කිරීමට හෝ පමා කිරීමට තමන්ට බලයක් නොමැති බවත් අවසානයේදී ක්‍රිස්ටියානා රනිල්ට දැනුම්දී සිටියාය.

වැඩේ කළේ සබ්‍රී! ලකුණු ගන්න යන්නෙ රනිල්!

කෙසේ වෙතත් රනිල් මේ ආකාරයට ක්‍රිස්ටියානාට කතා කළේ මූල්‍ය අරමුදලේ මුදල් ලංකාවට ඉක්මනින් ලබාගැනීමට නොව, තමන් මුල්‍ය අරමුදල සමග දිගටම ගනුදෙනු කරන බවට පාර්ලිමේන්තුවේදී සඳහන් කිරීමටය. මන්ද යත් රනිල් බදාදා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබිණි. මේ නිසාම සිය කතාවට මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් කුමන හෝ කරුණක් ඇතුළත් කිරීම රනිල්ගේ සැලසුම වී තිබිණි. රනිල් මූල්‍ය අරමුදලේ ප්‍රධානියාට කතා කළේ මෙම සැලසුමට අනුවය. නමුත් ඇත්තම කතාව නම් ලංකාව මුල්‍ය අරමුදල හමුවට යා යුතු බවට තීරණය කළේ රනිල් නොව, ජනාධිපතිවරයාත්, එවක මුදල් ඇමැති අලි සබි්‍ර මහතාත්ය. එම තීරණයට අනුව ඉකුත් අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍යවරයාත්, නව මහ බැංකු අධිපතිවරයා වූ නන්දලාල් වීරසිංහ මහතාත්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වූ සිරිවර්ධන මහතාත් වොෂින්ටනයේ පිහිටි මූල්‍ය අරමුදල හමුවට ගොස් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීටම පියවර ගෙන තිබිණි.

බොරිස්ගෙ වැඩෙත් මැජික් එකක්!

කෙසේවෙතත් රනිල් ආණ්ඩුව ඇතුළේ මේ ආකාරයේ මැජික් පෙන්වූ පළමු අවස්ථාව මෙය නොවේ. ආණ්ඩු පක්ෂයේ පළමු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වීමට සූදානමින් සිටි මොහොතේද රනිල් මේ ආකාරයට මැජික් එකක් පෙන්වීමට කටයුතු කළේය. ඒ, තමන් බි්‍රතාන්‍ය අගමැති බොරින් ජොන්සන් සමග සාකච්ඡා කළ බව කියමිනි. එහිදී ජොන්සන් ලංකාවට ආධාර කිරීමට පොරොන්දු වූ බව රනිල් පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රකාශ කර සිටියේ හරියට රටක් රාජ්‍යයක් දිනාගත්තා වගේය. නමුත් එහිදී වැඩිමනත්ම අදහස් හුවමාරු වී තිබුණේ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙනි. අප ඒ බව පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන්ද අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. එදා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බොරිස් ජොන්සන් ගැන කීවා වාගේම රනිල් බදාදා පාර්ලිමේන්තුවේ කළ කතාවේදී මහත් උජාරුවෙන් යුතුව තමන් මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටියානා ජෝජියානා සමග සාකච්ඡා කළ බව රනිල් කියා සිටියේය.

රනිලුත් ධම්මිකට එරෙහිව යයි!

කෙසේ වෙතත් මේ කුමන කරුණකින් හෝ ධම්මික පෙරේරාගේ පාර්ලිමේන්තු ගමන වැළැක්විය නොහැකි බව අවසානයේදී රනිල්ට වැටහී ගොස් තිබිණි. ඒ අනුව රනිල් කළේ තුන්වැනි පාර්ශ්වයක් හරහා ඒ පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට පියවර ගැනීමය. මේ හා සමානවම ඉකුත් අවස්ථාවේදී මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රනිල් යොදාගත් තුන්වැනි පාර්ශ්වය වූයේ තිරු නඩේසන්ය. ඒ අයුරින්ම වෙනත් තුන්වැනි පාර්ශ්වයක් හරහා මෙවර රනිල් ජනාධිපතිවරයා වෙත පණිවුඩයක් යවමින් විමසා සිටියේ ධම්මික පෙරේරා පාර්ලිමේන්තු එන කතාව ඇත්තක්දැයි කියාය. එය ඇත්තක් නම් එතරම් සුදුසු නොවන බවද රනිල් ජනාධිපතිවරයා වෙත එම තුන්වැනි පාර්ශ්වය හරහා දැනුම්දී සිටියේය.

ජනපතිගෙන් රනිල්ට බරපතළ අනතුරු ඇගවීමක්!

අපට දැනගන්නට ඇති කරුණුවලට අනුව ජනාධිපතිවරයා එම තුන්වැනි පාර්ශ්වය අතේ රනිල්ට මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාරයක් දක්වා ඇති බවක් ආරංචිය. එහිදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ රනිල් යනු 20 වැනි සංශෝධනය යටතේ පත්වූ අගමැතිවරයකු බව අමතක නොකරන ලෙසටය. එය අමතක නොකරන ලෙසත්, 20 වැනි සංශෝධනය යටතේ තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බව මතක තබාගන්නා ලෙසත් එහිදී ජනාධිපතිවරයා රනිල්ට දැනුම් දී ඇති බව ආරංචිය.

ධම්මිකව බය කරන්න නීති තර්කයක්!

ඒ අනුව බ්‍රහස්පතින්දා වන විට නියත වශයෙන්ම ධම්මික පාර්ලිමේන්තු පැමිණෙන බව රනිල් ඇතුළු ඔහුගේ පාර්ශ්වයට වැටහී ගොස් තිබිණි. එම ගමන නැවැත්වීමට විවිධ ක්‍රියාමාර්ග ගත්තත් ඒ කිසිවක් සාර්ථක නොවූ බවද ඔවුන්ට වැටහී ගොස් තිබිණි. ඒ අනුව රනිල්ගේ පාර්ශ්වයෙන් ධම්මිකට එරෙහිව අවසන් තුරුම්පුවද ගැසුවේය. ඒ, ධම්මික ආණ්ඩුව සමග ව්‍යාපාර කරන බැවින් ඔහුට මන්ත්‍රී ධුරයක් දැරීමට නීතියෙන් වලංගු නැති බව කියමින් නීති තර්කයක් ඉදිරියට දැමීමය. ඒ සඳහා ඔවුන් උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේ රාජිත සේනාරත්නට එරෙහිව ඉදිරිපත්ව තිබූ නඩු තීන්දුවකි. එවක රාජිත ආණ්ඩුව සමග ව්‍යාපාර කළ බව කියමින් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට අධිකරණය පියවර ගෙන තිබිණි.

ධම්මිකත් පස්ස ගහයි!

ඒ අනුව ධම්මිකටද මන්ත්‍රී ධුරය දැරීමේ හැකියාව නොමැති බව ඔවුන්ගේ නීති තර්කය විය. ඇත්තම කියනවා නම් මෙම නීති තර්කයෙන් ධම්මිකද තරමක් පසුබැස්සේය. ඒ අනුව බ්‍රහස්පතින්දා රාත්‍රිය වන විට ධම්මික තීන්දු කළේ සිය පාර්ලිමේන්තු ගමන අවලංගු කිරීමටය. එම නිසාම බ්‍රහස්පතින්දා රාත්‍රියේ පොහොට්ටුවේ මහලේකම්වරයා වූ සාගර කාරියවසම් විසින් මන්ත්‍රී දිවුරුම සඳහා අස්සන් කළ යුතු දිවුරුම් ප්‍රකාශය ධම්මික වෙත එවනු ලැබ තිබුණද, ඊට අස්සන් කිරීම ධම්මික ප්‍රතික්ෂේප කර තිබුණේ මෙවැනි නීති තර්කයක් මතුව ඇති බව කියමිනි.

ජනපති ටීම් එකක් එවයි! ධම්මික සියල්ල අත්හරීී!

ඒ අනුව මොහොතක් යෑමට මත්තෙන් එය ජනාධිපතිවරයාටද වාර්තා විය. ඒ වන විටද ජනාධිපතිවරයා ධම්මිකට ලබාදිය යුතු අමාත්‍යාංශය සහ එහි විෂය පථය ගැසට් කිරීම සඳහා යොමුකර තිබූ නිසා ධම්මිකගේ මෙම තීන්දුවෙන් ජනාධිපතිවරයාද මහත් කලබලයට පත්විය. ඒ අනුව වහාම ඉහළ පෙළේ නීතිඥ කණ්ඩායමක් කැඳවූ ජනාධිපතිවරයා එහි නීතිමය තත්ත්වය පිළිබඳ විමසීමට පියවර ගත්තේය. එහිදී නීතිඥ කණ්ඩායම ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ එම තර්කය සත්‍ය බවත්, එය වලංගු නොවීමට නම් ධම්මික පෙරේරා තමන් දරන සියලු ආයතන තනතුරුවලින් ඉවත් විය යුතු බවත්ය. එම නීති උපදෙස ලබාගැනීමෙන් පසු ජනාධිපතිවරයා කළේ එම නීතිඥ කණ්ඩායම වහාම ධම්මික හමුවට එවීමය. ඒ අනුව ඔවුන්ද පැමිණ ධම්මිකට පවතින නීතිමය තත්ත්වය පැහැදිලි කිරීමෙන් පසු තමන් දරන සියලු සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල ධුරවලින් ඉවත් වීමට ධම්මික පියවර ගත්තේය. එමෙන්ම තමාගේ නමින් තිබූ විදුලි ව්‍යාපෘති කිහිපයක්ද සිය දරුවන්ගේ නමට පැවරීමට ධම්මික කටයුතු කළේය. සියලු තනතුරුවලින් ඉවත්ව, සාගර කාරියවසම් එවා තිබූ දිවුරුම් ප්‍රකාශයට ධම්මික සිකුරාදා පෙරවරු 10.30ට පමණ අස්සන් කළේ ඉන් අනතුරුවය.

විමල්ගෙන් රනිල්ට ප්‍රහාරයක්!

කෙසේ වෙතත් මේ ආකාරයට බැසිල්ගේ ඉවත් වීමත් සමග මේ වන විට ආණ්ඩුව ඇතුළේ මෙන්ම පොහොට්ටුව ඇතුළේද යම් යම් වෙනස්කම් සිදුවෙමින් පවතින ආකාරයක් දැකගත හැකි විය. ඉන් පළමු වෙනස්කම වූයේ මෙතෙක් නිහඬව සිටි පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම වූ විමල්ගෙ පක්ෂ 11 පිල පළමු වතාවට පාර්ලිමේන්තුවේ රනිල්ට එරෙහිව බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීමය. ඒ අනුව විමල් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී රනිල්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටියේ රනිල් හරියට කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ අනාවැකි කියන්නෙකු බවට පත්ව ඇතැයි කියාය. අරවා නැතැයි මේවා නැතැයි කියමින් නහයෙන් අඬමින් නොසිට, ජනතාවට අවශ්‍ය දෑ සපයා දීමට රනිල් කටයුතු කළ යුතු බවත්, එසේ නැතිව නහයෙන් අඬන අගමැතිවරයකු රටට වැඩක් නැති බවත් විමල් එහිදී කියා සිටියේය.

ලන්සා රනිල් වෙනුවෙන් කපුකමේ!

මෙම සිදුවීමට අමතරව මේ දිනවල පාර්ලිමේන්තුවද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ විවිධ ක්‍රියාකාරකම් දැකගත හැකි තැනක් බවට පත්ව තිබේ. ඒ අනුව පසුගිය සතියේදී පොහොට්ටුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වූ වසන්ත යාපා බණ්ඩාර රනිල්ගේ පාර්ලිමේන්තු නිල කාමරයට ගොස් සාකච්ඡා කරන ආකාරයක් දැකගත හැකි විය. එම සාකච්ඡාව සංවිධාන කොට තිබුණේ මේ වන විට රනිල් සමග ඉතා හිතවත්ව කටයුතු කරන පොහොට්ටු මන්ත්‍රීවයකු ලෙස සැලකෙන නිමල් ලන්සාය. වසන්ත යාපාට අමතරව ලන්සා මේ සම්බන්ධයෙන් පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග සාකච්ඡා කොට ඇති බවක්ද දැනගන්නට තිබේ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

කන්නෙ නැතිව ඇවිත් කෝප් එකට බොරු කියපු ලංවිම සභාපතිට දෙන දඬුවම මොකද්ද! කෝප් සභාපතිතුමනි අපි ඔබෙන් අහන්නෙ? (VIDEO)

Next Post

චීනය අහක බලයි! ‌ඉල්ලපු ඩොලර් බිලියන 1.5ක ණය දෙන්න බෑ කියයි! ලංකාව තවත් හිරවෙයි!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.