කණ්ඩායම් රැස්වීමේදී රනිල් සරත් වීරසේකරගේ කට වහයි!
රාජාසන මේනියාව හැදුණු හැටි!
ජවිපෙ මුලින් හා කියා පස්සෙ බෑ කියයි!
තෛපොංගල් දා ජනාධිපති රටටම දාපු 13 තොප්පිය!
රට කරවටක් ආර්ථික අර්බුදයක ගිලී තිබියදී රටේ සියලු ජනතාව ආර්ථික අර්බුදයෙන් දැඩි පීඩා විඳිමින් සිටියදී, අසාධාරණ බදු පැනවීමට එරෙහිව වරාය, ඛනිජ තෙල්, විදුලිය, ජල සම්පාදන සේවකයන් සහ වෛද්‍යවරුන්, සරසවි ආචාර්යවරු ඇතුළු විවිධ වෘත්තිකයන් පාරට බැස ආණ්ඩුවට එරෙහිව විරේධය පළ කරමින් සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා තවත් විශාල දේශපාලන බෝම්බයක් පත්තු කළේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් බවට රටට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීම හරහාය. ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය සමග පැවැති සාකච්ඡාවලදී මේ පිළිබඳ ඔවුන්ට නොනිල වශයෙන් දැනුම්දී තිබුණත් ඒ බව නිල වශයෙන් රටට ප්‍රකාශයට පත් කළේ ඉකුත් තෛපොංගල් දා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයේදීය.
ජාතිකවාදී බලවේග යළි එළියට එයි!
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමගම එතෙක් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් විරෝධය පළකර සිටි ජනතාවට අමතරව ජාතිකවාදී තලයේ සිටින දේශපාලනඥයන් මෙන්ම ස්වාමින්වහන්සේලාද ඊට එරෙහිව විශාල වශයෙන් හඬ නගමින් කලඑළි බසින ආකාරයක් දැකගන්නට ලැබිණි. ආණ්ඩුව ඇතුළේත් මේ පිළිබඳ විශාල බෙදීමක් ඇති බව පෙන්වමින් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට පළමුව විරෝධය පළකළේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාය. එහිදී මාධ්‍ය හමුවේ දැඩි ප්‍රහාරයක් එල්ල කළ සරත්, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළහොත් රට බෙදීම වැළැක්විය නොහැකි බව කියා සිටියේය.
සරත් වීරසේකරම මහනාහිමිවරුන් ළඟට ප්‍රශ්නය අරන් යයි!
එතැනින් නොනැවතුණු සරත් වීරසේකර මන්ත්‍රීවරයා ඊට පසු දිනම මහනුවරට ගොස් මහානායක හිමිවරුන්ද මේ පිළිබඳ දැනුවත් කිරීමට පියවර ගත්තේය. එම ගමනට නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය වන අනුරාධා යහම්පත් මහත්මියද එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව ඔවුන් දෙදෙනාද ඇතුළු තවත් කිහිප දෙනෙක් මහානායක හිමිවරුන් මුණගැසි 13 වැනි සංශෝධනයට විරුද්ධව අදහස් පළකළා පමණක් නොව මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස මහානායක හිමිවරුන්ට දැනුම් දීමටද පියවර ගත්හ.
ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට සැර ලියුමක්! 13 එපා!
එහි ආසන්නම ප්‍රතිඵලය වූයේ ත්‍රෛනිකායික පාර්ශ්වයේ නායක හිමිවරුන් අතරද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වටයක් ආරම්භ වීමය. එහිදී විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලා මහානායක හිමිවරුන් තීරණය කළේ පළමු වටයේදී 13 වැනි සංශෝධනයට විරෝධය පළකොට උන්වහන්සේලාගේ අස්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකිරීමටය. එම ලිපිය මෙසේය.
යවපු ලියුම මෙන්න!
2023.02.01
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ අනර්ථකාරීත්වය පිළිබඳවයි
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට විධායකය ලෙස ඔබතුමන් කටයුතු කරන බවට සිදුකළ ප්‍රකාශය රට තුළ දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට හේතුවී ඇත. ඉඩම් හා පොලිස් බලතල, පෞරාණික, ඓතිහාසික ස්මාරක වාර්තා හා ආගමික සමිති නියාමනය ඇතුළු බලතල ක්‍රියාත්මක කිරීමට පළාත් සභා වෙත බලය ලබාදීම රට තුළ බෙදුම්වාදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථාව විවර කරන්නකි. මීට පෙරද ධුරය දැරූ විධායක ජනාධිපතිවරුන් විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් වැළකී සිටියේ රට තුළ ඇතිවිය හැකි ව්‍යාකූලත්වයන් හා එහි අනර්ථකාර බව අවබෝධ කරගත් නිසා බව ඔබතුමන්ද මනාව දන්නා කරුණකි. ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමේ වගකීමෙන් බැඳී සිටින විධායක ජනාධිපතිවරයා මධ්‍යම රජයේ ස්වාධිපත්‍ය බිඳවැටීමට හේතුවන මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම දැඩි මහජන අප්‍රසාදයටද හේතු වේ.
රට තුළ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ කලාපීය හා ගෝලීය බලවතුන්ගේ සහයෝගය ලබාගැනීම උදෙසා යම් කොන්දේසි සඳහා එකඟ වීමට බලපෑම් එල්ල වුවද, රටේ භෞමික අඛණ්ඩතාව හා ස්වාධීනත්වය අනතුරෙහි හෙළන මෙවැනි යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ යුතු බව මහා සංඝරත්නය ලෙස අප අවධාරණය කර සිටිමු. නිදහසින් 75 වැනි අභිමානවත් සංවර්ධනය සමරන අපි ශ්‍රී ලාංකිකයන් ලෙස ජාති, ආගම් භේදයෙන් තොරව රටේ සුරක්ෂාවත්, සමෘද්ධියත් උදෙසා කැපවූ ආකාරය පෙන්වා දෙන සාක්ෂි අප ඉතිහාසය තුළ බොහෝය.
දශක තුනකට අධික කාලයක් මෙරටෙහි අපි දැඩි අමිහිරි අත්දැකීම් රාශියකට මුහුණ දී ඇත්තෙමු. එහි ඍජු බලපෑමට ලක්වූ උතුරු-නැගෙනහිර පළාත් සංවර්ධනය කොට ජන ජීවිත සුඛිත මුදිත කිරීමට රජය යුහුසුළුව කටයුතු කළ යුතුව පවතී. මධ්‍යම රජයේ වගකිව යුතු කැබිනට් ඇමැති තනතුරු දරමින් එම පළාත්වලින් පත්වන දේශපාලන නායකයන් හට ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා මෙන්ම ජනතා අභිවෘද්ධිය උදෙසා සුවිසල් කාර්යභාරයක් සිදුකිරීමට ඉඩප්‍රස්ථාව පවතින බව අපි හොඳාකාරව දනිමු. එහෙත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට ඉඩම් හා පොලිස් බලතල ඇතුළු ඉහත කී බලතල පළාත් සභා වෙත ලබාදීම රාජ්‍යයේ පාලනය ව්‍යාකූල කිරීමට හේතු වන බව නොරහසකි.
එහෙයින් රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව මහා සංඝරත්නය ලෙස මෙයින් අවධාරණය කර සිටිම්හ.
ඔබතුමන්ට රත්නත්‍රයේ ආශීර්වාදය ලැබේවායි ආශිංසනය කරම්හ.
ඒ වගත් මෙසේම,
අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන
මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකියේ
මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර,
මල්වතු මහාවිහාරය, මහනුවර.
අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන
මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ
අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර,
අස්ගිරි මහාවිහාරය, මහනුවර.
අතිපූජ්‍ය දොඩම්පහළ ශ්‍රී චන්දසිරි අභිධාන
අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ස්ථවිර,
ශ්‍රී ගෝතම තපෝවනය,
කලපලුවාව, රාජගිරිය.
අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ස්ථවිර,
මිණිඔළුව විද්‍යාවාස මහපිරිවෙණ,
මීරිගම.
ජනපති සාගලත් අරන් මහනාහිමිවරු බැහැදකී!
ඒ සමගම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන්ද මහානායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ කටයුතු දෙකක් සිදුවිය. ඉන් පළමුවැන්න වූයේ ජනාධිපතිවරයා සහ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානියාද වන සාගල රත්නායක මහතා මහනුවරට ගොස් මහානායක හිමිවරුන් සමග මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගැනීමය. අපට ඇති ආරංචිවලින් නම් කියැවෙන්නේ බාහිර පුද්ගලයන් නොමැතිව දොරගුලුලාගෙන පැවැති මේ සාකච්ඡාවේදී මහානායක හිමිවරුන් සඳහන් කළ කරුණු ජනාධිපතිවරයා සාවධානව අසා සිටි බවකි. විශේෂයෙන් මහානායක හිමිවරුන් මෙහිදී 13 වැනි සංශෝධනයේ ඇති පොලිස් හා ඉඩම් බලතල පළාත් සභා වෙත ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළකොට ඇති බවක් ආරංචිය.
කරු ජයසූරියත් කරලියට! මහනුවරට යයි!
කෙසේ වෙතත් ඉන් අනතුරුව හිටපු කතානායක කරු ජයසූරිය මහතාද මහනුවර ගොස් මහානාහිමිවරුන් බැහැදැකීමට පියවර ගත්තේය. රනිල් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කරු ආණ්ඩුව සමග සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය ආකාරයක් පසුගිය කාලය පුරා දැකගන්නට ලැබිණි. ඒ සමීප සබඳතාව කොතෙක්ද යත් වරක් කරු තමන්ගේ සංකල්පයක් වන ජනසභා ක්‍රමය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමැතිවරු දැනුවත් කිරීම සඳහා වික්ටර් අයිවන් සමග කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වී දේශනයක් පැවැත්වීමටද පියවර ගෙන තිබිණි. එමෙන්ම මීට දින කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයා විසින් කරු ජයසූරියට ලංකාවේ ඉහළම සම්මානයක් වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානයද ලබාදීමට පියවර ගත්තේය. ඒ අනුව කරු මහනුවරට පැමිණ මහානායක හිමිවරුන් හමුවීම සම්බන්ධයෙන් මත කිහිපයක් දේශපාලන කරළියේ කතාබහට ලක්වූ ආකාරයක් දැකගත හැකි විය. ඇතැමුන් කියා සිටියේ සම්මානය ලැබීමෙන් පසු කරු මහනුවර ගියේ එම කරුණද ඇතුලුව තවත් සාමාන්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සඳහා යැයි කියාය. තවත් සමහරු කියා සිටියේ 13 වැනි සංශෝධනයන්ට මහානායක හිමිවරුන්ගෙන් නැගි එන විරෝධය සමහන් කිරීමේ අරමුණෙන් කරු හදිසියේම මහනුවරට ගිය බවකි.
ඔන්න කරු ඔයාගේ එකත් මම කිව්වා!
එමෙන්ම ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා විසින් සිදුකළ රාජාසන කතාව ඇසීමට කරුද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. රාජාසන කතාව අවසන් වීමෙන් අනතුරුව පැවැති සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයේදී කරු දුටු ජනාධිපතිවරයා තමන් සමග අවට සිටි සම්භාවනීය අමුත්තන් පිළිබඳවද නොතකා ‘… අන්න කරු මම ඔයාගේ ජනසභා කෑල්ල රාජාසන කතාවේදි කිව්වා…’ යැයි සිනාසෙමින් තරමක් උස් හඬින් කියද්දී කරු ඊට සිය ස්තුතිය පළකරන ආකාරයක්ද දැකගත හැකි විය.
විපක්ෂය ජනපතිගේ රාජාසන කතාවට නෑ! හිටියෙ දෙමළ සන්ධානෙ අයයි තව තුන්දෙනයි!
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ රාජාසන කතාවද විශේෂ සිදුවීම් රැසකින්ම සමන්විත එකක් වීම විශේෂ සිදුවීමකි. ඉන් ප්‍රධානම සිදුවීම වූයේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ලම ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පැවැත්වෙන දිනයේදී එය වර්ජනය කිරීමට පියවර ගෙන තිබීමය. එම තීන්දුව ගැනීම සඳහා විපක්ෂයේ ප්‍රධාන පක්ෂ කිහිපයක්ම පසුගිය සඳුදා සිට සාකච්ඡා ආරම්භ කර තිබූ ආකාරයක් දැකගත හැකි විය.
සජබ වර්ජනය කරන්න තීන්දු කළ හැටි!
ප්‍රධාන විපක්ෂය වන සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් පසුගිය සඳුදා රැස්වී සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී මන්ත්‍රී කණ්ඩායමේ මත දෙකක් පැවැති ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් කිරිඇල්ල ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක්ම පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ඉතිහාසයේ කිසිදු අයකු නොකළ පරිද්දෙන් මාස 7ක් ඇතුළත පාර්ලිමේන්තු සැසිය දෙවතාවක්ම අවසන් කොට රාජාසන කතා පැවැත්වීමට පියවර ගැනීම පිළිගත නොහැකි එකක් බවත්, මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ මූල්‍ය කමිටුව, කෝප්, කෝපා කමිටු ඇතුළු කමිටු 4කට ආසන්න ප්‍රමාණයක් අවසන් වන නිසා සිදුකරගෙන ආ කටයුතු සියල්ල අතරමග ඇණහිට ඇති බවත්ය. මේ හේතුවෙන් ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කළ යුතු බව කිරිඇල්ලගේ ස්ථාවරය විය.
සජිත් දැඩි ස්ථාවරයක!
එමෙන්ම සජිත්ද දැඩි ස්ථාවරයක සිටිමින් ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කළ යුතු බව මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටියේය.
‘මේක රටේ මැතිවරණයක් පැවැත්වෙන වෙලාවක්. මැතිවරණ කොමිසම ඡන්දෙට දිනය නියම කරලා. අපි ඔක්කොම කැම්පේන් පටන් අරගෙනයි තියෙන්නේ. මම හැම දවසකම කොහේ හරි රැස්වීම් තුන හතරක් දාගෙනයි තියෙන්නේ. මේ ඡන්ද අස්සේ ජනාධිපතිතුමා හිටි හැටියේම පාර්ලිමේන්තුව වහලා රාජාසන කතා දැම්මට අපට පුළුවන්ද මේ දාගත්ත වැඩ නවත්තලා ඒක අහන්න යන්න? මට මගේ ආසන සංවිධායකවරුන්ට, ජනතාවට බොරුකාරයො වෙන්න බෑ. ඒ නිසා අපි රාජාසන කතාව වර්ජනය කරමු…’ යනුවෙන් සජිත් සිය ස්ථාවරය දැනුම් දීමෙන් පසු සමගි ජන බලවේගය තීන්දු කළේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කිරීමටය.
ඩලස්ලා කවුරුත් නොකළ දෙයක් කරන්න තීන්දු කරයි!
මීට අමතරව ඩලස්, ජී.එල්., විමල්, මෛත්‍රී පාර්ශ්වයන් නියෝජනය කරන නිදහස් ජනතා සන්ධානයද ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම රැස්වී සාකච්ඡා පවත්වන ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී පළමුව පැවැති සාකච්ඡාවලදී ඔවුන්ද තීන්දු කළේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කිරීමටය. ඒ බව සඳුදා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රසිද්ධියේම රටට කියා සිටීමට පියවර ගත්තේය. නමුත් සඳුදා දිනයෙන් පසු නිදහස් ජනතා සන්ධානයේ සෙසු පක්ෂ කිහිපයකම මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබුණේ කෙළින්ම ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කර එළියේ සිටිනවාට වඩා ආණ්ඩුවටත්, ජනතාවටත් දැනෙන මීට පෙර කිසිදු පක්ෂයක් රාජාසන කතාවේදී සිදු නොකළ දෙයක් කළ යුතු යැයි කියාය.
රාජාසන මේනියාව!
ඒ අනුව සඳුදා රාත්‍රියේම මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නිදහස් ජනතා සන්ධානයේ ජ්‍යෙෂ්ඨයෝ විශේෂ සාකච්ඡාවක් කැඳවීමට පියවර ගත්හ. එහිදී විවිධ යෝජනා ඉදිරිපත් වූ ආකාරයක් දැකගන්නට ලැබුණු අතර සියලු දෙනාම යෝජනා කර සිටියේ රාජාසන කතාව නිකම්ම වර්ජනය නොකොට ඊට සහභාගි වී ජනාධිපතිවරයාට විරෝධය පළකොට ඉන් පිටව යා යුතු යැයි කියාය. ඒ අනුව තීන්දු වූයේ ජනාධිපතිවරයා රාජාසන කතාව කිරීමට සභා ගැබට පැමිණෙන විට ජනාධිපතිවරයාට විරෝධය පා නැගිට යෑමටය. එහිදී තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම පෙන්වා දුන්නේ එසේ නැගී සිට ඉවත්ව යන අවස්ථාවේදී විවිධ දේ නොකියා එක් සටන් පාඨයක් පමණක් සියලු දෙනාම කිව යුතු යැයි කියාය. ඒ අනුව තීන්දු වූයේ ‘රාජාසන මේනියාව…’ යනුවෙන් කියමින් ජනාධිපතිවරයාට විරෝධය පා සභාගැබෙන් පිටව යා යුතු බවයි.
කළු පටි අත්වල!
මීට අමතරව ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට විරෝධය පළකොට සියලු දෙනාගේම දකුණු අතේ කළු පටි පැලඳීමටද තීරණය කෙරිණි. එමෙන්ම මේ සියලු කරුණු රහසක් වශයෙන් තබාගත යුතු බවටද එහිදී තීන්දුවක් ගැනිණි.
ජවිපෙ එන බව මුලින් කියයි!
කෙසේ වෙතත් සඳුදා රාත්‍රියේ සිරස නාලිකාව සිය ප්‍රවෘත්ති විකාශය අතරතුරදී සජබය සහ නිදහස් ජනතා සන්ධානය පමණක් නොව උතුරේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාද ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කරන බව කියා සිටියත්, දෙමළ ජාතික සන්ධානය සමග ජනතා විමුක්ති පෙරමුණ ඊට සහභාගි වන බව සඳහන් කර සිටියේය. ඒ, ජවිපෙ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා උපුටා දක්වමිනි. එමෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරන සෙසු පක්ෂ නායකයන් වන රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මහත්වරුන්ද ඊට සහභාගි වන බවක් සිරස වාර්තා කර සිටියේය.
පස්සෙ ජවිපෙත් වර්ජනයට එක්වෙයි! සජබෙ තුන් දෙනා ගියේ ඇයි?
සඳුදා රාත්‍රිය වන විට තත්ත්වය එසේ වුවද අඟහරුවාදා දිනය වන විට ජවිපෙ නියෝජනය කරන ජාතික ජන බලවේගයද විශේෂ තීන්දුවක් ගනිමින් ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කිරීමට පියවර ගත්තේය. ඒ, අනුව බදාදා දින රාජාසන කතාව කිරීමට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට එද්දී කලින් තීන්දු කළ පරිදි සමගි ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ කිසිවකුත් සභාවේ නොසිටියත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීරුවන්ට අමතරව විපක්ෂයේ අසුන්ගෙන සිටියේ නිදහස් ජනතා සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසකුත්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුත්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් සහ පලනි දිගම්බරම් යන මන්ත්‍රීවරුනුත් පමණි. අධිකරණයේ විශේෂ නඩු කටයුත්තක් යෙදී තිබුණු බැවින් හකීම්ද එදින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත. පසුව කිරිඇල්ල මනෝ, රිෂාඩ් සහ දිගම්බරම්ගෙන් සභාවට ගිය හේතුව පිළිබඳ විමසද්දී ඔවුන් කියා තිබුණේ විපක්ෂනායකවරයා තමන්ට කතා කොට නොතිබූ බැවින් ඊට සහභාගී වූ බවකි. සජිත්ටද රට පුරා යමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි බැවින් ඔවුන්ට කතා කිරීමට නොහැකි වී තිබිණ.
ජනපතිට පාර්ලිමේන්තුවේදී හූ තියයි!
කෙසේ වෙතත් විපක්ෂය ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කරන බව කියා තිබූ පසුබිමක නිදහස් ජනතා සන්ධාන මන්ත්‍රීවරුන් එදින විපක්ෂයේ අසුන්ගෙන සිටි අයුරු දටු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ඒ පිළිබඳ ඉතා ඉහළින් කතා කළත් සියලු දෙනාගේම ඇස් නළලට ගියේ ජනාධිපතිවරයා සභාව මැදින් පැමිණ රාජාසන කතාව සිදුකිරීමට කතානායක අසුනේ අසුන් ගැනීමත් සමගය. ඒ සමගම නැගී සිටි නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ‘රාජාසන මේනියාව… රාජාසන මේනියාව’ යැයි කෑගසමින් සභාවෙන් පිටව යනු දුටු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට කරකියාගත හැකි දෙයක් නොවීය. එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් ‘හූ’ තබන ආකාරයක්ද දැකගත හැකි විය.
ආණ්ඩු පක්ෂයෙත් 13ක් නෑ!
අනෙක් අතට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කිහිප දෙනෙක් එදින සභා ගැබේ දැකගන්නට නොලැබීමද විශේෂ සිදුවීමක් විය. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මේ වන විට මන්ත්‍රීවරුන් 122ක සංඛ්‍යාවක් සිටියද එදින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ 109ක මන්ත්‍රීවරුන් පිරිසක් පමණි. ඒ අනුව මන්ත්‍රීවරුන් 13 දෙනකුම ආණ්ඩු පක්ෂයේ දැකගන්නට නොලැබුණු අතර දේශපාලන කරළියේ ගිය කටකතාවකින් කියැවුණේ 13ට විරෝධය පළකිරීමක් වශයෙන් මෙම මන්ත්‍රීවරුන් 13 දෙනා එදින ජනාධිපතිවරයාගේ රාජාසන කතාව ඇසීමට නොපැමිණි බවකි.
ෆවුසි ආවා ගියා!
මීට අමතරව එදින පාර්ලිමේන්තුවේ තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, කොළඹ නගරාධිපති ධුරය සඳහා තරගවැදීමට ඉල්ලා අස්වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගේ පුරප්පාඩුවට ඒ.එච්.එම්. ෆවුසි මහතා දිවුරුම් දීමය. කෙසේ වෙතත් ෆවුසි මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දී එදින පාර්ලිමේන්තු සභාගැබේ ගතකළේ විනාඩි කිහිපයක් පමණි. එසැණින් ඔහුද රාජාසන කතාව වර්ජනය කළ සහෝදර මන්ත්‍රීවරුන්ගේ තීන්දුවට අනුගත වෙමින් සභාගැබෙන් ඉවත්ව යෑමට පියවර ගත්තේය.
එළියේ වෙනම කතාවක්!
එමෙන්ම ජනාධිපතිවරයාට ‘රාජසන මේනියාව’ යැයි කියමින් විරෝධය පළකරමින් සභාගැබෙන් පිටවුණු නිදහස් ජනතා සන්ධානයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කිරීමට පියවර ගැනීමද විශේෂ සිදුවීමක් විය. එහිදී ජී.එල්. පීරිස්, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් කියා සිටියේ ජනතා වරමක් නොමැතිව ජනාධිපතිවරයා සිදුකරන ක්‍රියාවන්ට විරෝධය පළකිරීම සඳහා මෙසේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කිරීමට තම කණ්ඩායම පියවර ගත්තා යැයි කියාය.
ජනපති ආණ්ඩු පක්ෂය හමුවෙයි!
පසුගිය බදාදා (08) පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට ප්‍රථම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමද හමුවී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. මෙහිදී ජනාධිපතිවරයා තමන් විසින් පාර්ලිමේන්තුවේ සිදුකිරීමට නියමිත රාජාසන කතාව විපක්ෂය වර්ජනය කොට ඇති බවට වූ පුවතට ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ විපක්ෂයට ලබාදී තිබූ කාලයද ලබාගෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් විපක්ෂයට ප්‍රහාර එල්ල කිරීම සඳහා එය අවස්ථාවක් කරගත යුතු යැයි කියාය.
ඒ වෙලාවත් අරන් විපක්ෂෙට ගහන්න!
‘මම රාජසන කතාව කරද්දී දැන් සජබෙත් නෑ. ජේ.වී.පී. එකත් එන්නේ නෑ කියලා කියනවා. ඒකෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඕනෙ තරම් කාලවේලාව තියෙනවා විපක්ෂයට ගහන්න. මම ප්‍රතිපත්ති ප්‍රකාශය කරලා ඉවර වුණාට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ සජබෙයි, ජවිපෙයි ප්‍රතිපත්ති මොනවද කියලා අහන්න. ඒ අය අපේ එකට විරුද්ධ නම් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය මොකක් කියලා රටට කියන්න ඕනෙ. ඕගොල්ලෝ ඒක අහන්න…’ යනුවෙන් ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේය.
සරත් 13 ගැන හ්ම් නෑ! වෙන විකාරයක් කියයි!
කෙසේ වෙතත් ඉන් අනතුරුව කතා කළේ සරත් වීරසේකරය. ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව පැවසීමෙන් අනතුරුව යකා නටමින් ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කළේත්, නැගෙනහිර ආණ්ඩුකාරවරිය සමග ගොස් මහානායක හිමිවරුන් මුණගැසී 13ට එරෙහිව අදහස් ප්‍රකාශ කළේත් සරත් වීරසේකරය. නමුත්, පුදුමයට කාරණය වූයේ මේ අවස්ථාවේදී සරත් වීරසේකර 13 ගැන වචනයක් හෝ කතා නොකරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමය.
ජනපතිට යකා නගී!
‘දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සල්ලි අද එනවා, හෙට එනවා කියලා කියනවා. හැබැයි එන පාටක් නෑ. අනෙක අයි.එම්.එෆ්. එකෙන් දෙන්නේ ඩොලර් බිලියන 2.9යි. ඒකත් අවුරුදු 4කට දෙන්නේ. ඒකෙන් පුළුවන්ද අපට මේ ප්‍රශ්න විසඳන්න? ඒ නිසා මුළු රටම ඩොලර් ප්‍රශ්නෙක හිරවෙලයි තියෙන්නේ. ඒ නිසා අපි පිටරට අයගේ සල්ලි දාලා තියෙන එකවුන්ට්ස්වලින් ඒ සල්ලි ගමු….’ යනුවෙන් සරත් අමුතු යෝජනාවක් කරද්දී ජනාධිපතිවරයාට යක්ෂාරූඪ වූ ආකාරයක් දැකගත හැකි විය.
එක එක්කෙනා තැන් තැන්වල කියන දේවල් අහලා මෙතන කියන්න එන්න එපා
‘කොහෙ තියෙන ඒවාද ඔයා ඔය කියන්නේ? එහෙම කරන්නේ කොහොමද? ඔය කියන දේවල් කරන්න බෑ. එක එක්කෙනා තැන් තැන්වල කියන දේවල් අහලා මෙතන කියන්න එන්න එපා. කවුද ඕවා කියන්නේ? අනිත් එක අයි.එම්.එෆ්. එකෙන් අපට දෙන්න හදන්නේ ඩොලර් බිලියන 2.9යි. ඒකෙන් මේ රට ගොඩ දාන්න බෑ. අපට ඒක පෙන්නලා අනිත් රටවලින් ආර්ථිකය ගොඩ දාගන්න උදව් ගන්න පුළුවන්. ඒකයි අපි කරන්න යන්නේ….’ යනුවෙන් ජනාධිපතිවරයා තදින් කියද්දී සරත් වීරසේකර නිහඬ වූ ආකාරයක් දැකගත හැකි විය.
ඉඩම් පොලිස් බලතල ගැන ප්‍රශ්නයක්!
ඉන් අනතුරුව තවත් මන්ත්‍රීවරයෙක් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳවත්, එහි සඳහන් ඉඩම් සහ පොලිස් බලතල පිළිබඳවත් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බව කියා සිටියත් මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මන්ත්‍රී කණ්ඩායම හමුවේ දුන්නේ දෙපැත්තටම නැති ලිස්සා යන උත්තරයකි.
රනිල් දුන්නු උත්තරේ!
‘13 කියන්නේ දැනටමත් ව්‍යවස්ථාවේ තියෙන එකක්. ඒකෙ ඉඩම් පොලිස් බලතලත් තියෙනවා. හැබැයි අපට ස්වාධීන පොලිස් කොමිසමක් තියෙනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමක් තියෙනවා. එතකොට ඕනෙ කෙනෙක්ට කටයුතු කරන්න වෙන්නේ ඒ පොලිස් කොමිසමටයි, ඉඩම් කොමිසමටයි යටත්ව. අනෙක තමයි අපි ගූගල් මැප් එකේ චෙක් කළාම උතුරේ ඉඩම් රෙජිස්ටර් වෙලා තියෙන ප්‍රමාණයක් තියෙනවා. ඒවායේ හිමිකරුවෝ ඉන්නවා. ඉතින් ඒවා අපට තියාගෙන ඉන්න බෑ. දැනට හමුදා භාරයේ තියෙන ඒ ඉඩම් අපට නිදහස් කරන්න සිද්ධ වෙනවා. එහෙම රෙජිස්ටර් වෙලා නැති ඉඩම් සම්බන්ධයෙන්, ඉඩම් කොමිසම යටතේ තමයි තීන්දු ගන්න වෙන්නේ…’ යනුවෙන් ජනාධිපතිවරයා ඊට ලිස්සා යන ආකාරයේ පිළිතුරක් ලබාදුන්නේය.
ඡන්දෙ තියනවද නැද්ද?
ඉන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ තවත් මන්ත්‍රීවරයෙකි. ‘අපට හරියටම කියන්න ජනාධිපතිතුමා ඡන්දෙ තියනවද නැද්ද කියලා..’ යනුවෙන් මේ මන්ත්‍රීවරයා ප්‍රශ්න කරද්දී, ජනාධිපතිවරයා සිනාසෙමින් ඊට දුන්නේ අපූරු පිළිතුරකි.
උසාවිය තීන්දු කරයි! හැබැයි සල්ලි නෑ!
‘ඒක මම දන්නෙ නෑ. ඒක උසාවිය තීන්දු කරයි. හැබැයි ඡන්දෙ තියන්න සල්ලි නෑ.’ යන්න ජනාධිපතිවරයා සිනාසෙමින් ඔළුව දෙපසට වනමින් කියද්දී මන්ත්‍රීවරුන්ද සිනාසෙන ආකාරයක් දැකගත හැකි විය.
ටුවරිසම් ගැන රෝහිතට ප්‍රශ්නයක්!
අනතුරුව ප්‍රශ්නයක් යොමු කළේ රෝහිත අබේගුණවර්ධනය. රෝහිතගේ ප්‍රශ්නය සංචාරක කර්මාන්තය ඉලක්ක කරගෙන යොමුකළ එකක් විය.
‘පහුගිය කාලේ වැටිලා තිබ්බ සංචාරක කර්මාන්තය දැන් යන්තම් පණගහගෙන එනවා. දැන් සුද්දො ටිකක් අපේ පැතිවලටත් ඇවිත් ඉන්නවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ දැන් හැමදාම කොළඹ උද්ඝෝෂණ අරගල තියෙනවා. එතකොට ආයෙමත් මේ එන සංචාරකයෝ බයවෙලා සංචාරක කර්මාන්තය වැටෙන්න පුළුවන්. ඒකටත් මොනව හරි කරන්න ඕනෙ…’ යනුවෙන් රෝහිත කියද්දී ජනාධිපතිවරයා ඊටද දුන්නේ තරමක් දැඩි පිළිතුරකි.
ඒක මගේ වැඩක් නෙමෙයි!
‘ඉතින් අරගල තියෙන එක මම කොහොමද නවත්තන්නේ? මට කරන්න පුළුවන් දේවල් මම කරලයි තියෙන්නේ. ඉතුරු ටික ඕගොල්ලෝ බලාගන්න. අරගල උද්ඝෝෂණ හින්දා සංචාරකයෝ එන එක අඩු වෙනවා නම් ඕගොල්ලෝ ගිහින් කියන්න ටුවරිසම් සෙක්ටර් එකේ ඉන්න අයට මේවට විරුද්ධ වෙන්න කියලා. වෙන ඉතින් කරන්න දෙයක් නෑ…’ යන්න එහිදී ජනාධිපතිවරයා ලබාදුන් පිළිතුර විය.
කුමන්ත්‍රණ ඔක්කොම පරාද කළ නඩු තීන්දුව!
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම මාර්තු 09 වැනි දින සිදුකරන බවට මැතිවරණ කොමිසම මීට මාසයකට කලින් තීන්දු කළද ආණ්ඩුව පැත්තෙන් මැතිවරණය කල්දමා ගැනීම සඳහා පසුගිය කාලසීමාව පුරාම දියත් කළ කුමන්ත්‍රණ එකින් එක අපි ‘රාජ්‍ය රහස්’ තීරය මගින් රටට අනාවරණ කළෙමු. අනෙකුත් සියලු මාධ්‍ය ආයතන ආණ්ඩුවේ වුවමනාවන් අනුව යමින් මැතිවරණය කල්දැමීම සඳහා බොරු පුවත් පළකරමින් ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමේ උත්සාහයන්ට විශාල වශයෙන් ප්‍රචාර ලබාදෙමින් කටයුතු කරද්දී ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් නොබියව සහ ඍජුවම පෙනී සිටියේ පුවත්පතක් වශයෙන් ‘මව්රට’ පුවත්පතත්, වෙබ් අඩවියක් වශයෙන් www.mawratanews.lk වෙබ් අඩවියත්, විද්‍යුත් නාලිකා වශයෙන් සිරස සහ සියත නාලිකා පමණක්ය.
මෙන්න ගහපු ගේම් කන්දරාව!
කෙසේ වෙතත් පසුගිය කාලයේ ආණ්ඩුව මැතිවරණය කල්දමා ගැනීම සඳහා කරන්නට පුළුවන් උපරිම පහත් ආකාරයේ වැඩපිළිවෙළක් දියත් කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. වරෙක මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල විය. වරෙක මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වූ චාල්ස් මහත්මිය ඉල්ලා අස්වූ බවටත්, එම ඉල්ලා අස්වීම පිළිගත් බවටත් ප්‍රචාරය කළේය. මැතිවරණයේ නාමයෝජනා භාර නොගන්නා ලෙස කැබිනට් තීන්දුවක් ගත් බව කියමින් කැබිනට් ලේකම්වරයා හරහා රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට ලිපියක් යැව්වේය. අනතුරුව රාජ්‍ය පරිපාලන ලේකම්වරයා වූ නීල් හපුහින්න මහතා මැතිවරණයේ නාමයෝජනා භාර නොගන්නා ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යොමුකිරීමටද පියවර ගත්තේය. ඉන් අනතුරුව මැතිවරණ කොමිසමේ ඒකමතිකභාවයක් නොමැති බව කියා සිටියේය. ගැසට් පත්‍රවලට සාමාජිකයන් පස්දෙනාම අස්සන් තබා නොමැති බව කියා සිටියේය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලවා මැතිවරණ දිනය සඳහන් ගැසට් පත්‍රය නිකුත් කොට නොමැති බවටත්, එය සියලු දෙනාගේ අස්සන් සහිතව තවමත් රජයේ මුද්‍රණාලය වෙත ලැබී නොමැති බවටත් නිවේදනයක් නිකුත් කළේය. ඒ සියලු උත්සාහයන් අප ඒ මොහොතේම අප වෙබ් අඩවිය මගින් අනාවරණ කරමින් ප්‍රතිචාර දැක්වීම නිසා ඒ සියල්ල ව්‍යර්ථ වූ ආකාරයක් දැකගත හැකි විය. අවසානයේදී ආණ්ඩුවේ එකම සටන් පාඨය වූයේ ඡන්දය පැවැත්වීමට මුදල් නැතැයි කියන සටන් පාඨයය. ආණ්ඩුවේ මැති ඇමැතිවරු දිනපතාම පාහේ මාධ්‍ය හමුවලට පැමිණ දිගින් දිගටම කියන්නට වූයේ ඡන්ද කරන්න සල්ලි නැතැයි කියාය. ඡන්ද කිරීමට ගියහොත් රජයේ සේවකයන්ට පඩි ගෙවීමට නොහැකි වනු ඇතැයි කියාය. විශ්‍රාම වැටුප් ගෙවීමට නොහැකි වනු ඇතැයි කියාය. සමෘද්ධිය ගෙවීමට නොහැකි වනු ඇතැයි කියාය. නැවතත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම්වල සිටීමට සිදුවනු ඇතැයි කියාය.
භාණ්ඩාගාර ලේකම් දිව්රුම් ප්‍රකාශයකුත් දෙයි!
මීට අමතරව ජනාධිපතිවරයාම ඊට මැදිහත් වෙමින් අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර වෙන් කිසිදු කටයුත්තකට මුදල් වැය නොකරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කළේය. එමෙන්ම මහා භාණ්ඩාගාර ලේකම්වරයා අධිකරණය හමුවට ගොස් අත්‍යාවශ්‍ය කටයුතුවලට හැර වෙනත් කටයුතුවලට මුදල් නොමැති බවට දිවුරුම් ප්‍රකාශයක් ලබාදුන්නේය.
අන්තිමට කතානායකට ආණ්ඩුවෙන් ලියුමක්!
මේ සියල්ල අවසානයේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණය මගින් තීන්දුව ලබාදීමට තිබූ සිකුරාදා දිනට පෙර දින එනම් බ්‍රහස්පතින්දා දිනයේදීත් පළාත් පාලන මැතිවරණය කල්දැමීම ඉලක්ක කරගෙන විශේෂ මෙහෙයුම් දෙකක් දියත් වූ ආකාරයක් දැකගත හැකි විය. ඉන් එකක් වූයේ මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපය විමසා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් පත්කරන ලෙසට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනකු අස්සන් කළ ලිපියක් කතානායකවරයා වෙත භාරදීමය.
බ්‍රහස්පතින්දා වටේම ගිය පණිවුඩය!
එමෙන්ම බ්‍රහස්පතින්දා (09) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ සිටින විවිධ පිරිස් වෙත එක් තැනකින් නිකුත් වූ පණිවුඩයක් ලැබුණු ආකාරයක් දැකගත හැකි විය. එම පණිවුඩයෙන් කියැවුණේ අධිකරණය මගින් සිකුරාදා දිනයේදී පළාත් පාලන මැතිවරණය මාස කිහිපයකට කල්දැමීමට නියෝග ලබාදෙනු ඇති බවත්, මුදල් සාධකය මත එම තීන්දුව ගැනීමට නියමිතව ඇති බවත්ය. පාර්ලිමේන්තුව ඇතුළට පවා ගිය මේ පණිවුඩයෙන් කියැවුණේ මැතිවරණය නියත වශයෙන්ම කල් යනු ඇති බවකි. ඒ අනුව බොහෝ මන්ත්‍රීවරුන්ද එම කතාව සත්‍යයක් සේ සලකා හිත හදාගත් ආකාරයක් දැකගන්නට ලැබිණි.
ඔක්කොම හතරගාතේ දා වැටෙයි!
මේ ආකාරයට මැතිවරණය කල්දමා ගැනීම සඳහා මාස කිහිපයක් පුරා ගැසූ තුරුම්පු එකින් එක ව්‍යර්ථ වී ගියේ සිකුරාදා දිනයේ ලැබුණු අධිකරණ නියෝගයත් සමගය. එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවරා තිබූ නඩුව පෙරවරුවේ විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වූ එස්. තුරෙයිරාජා, එම්. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් තීන්දු කළේ මැතිවරණ කොමිසම සැලසුම් කළ ආකාරයටම මැතිවරණ කටයුතු ඉදිරියට කරගෙන යෑමට අවසර දීමටය. ඒ අනුව මාස ගණනක් තිස්සේ මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව දියත් කළ සැලසුම් සියල්ලටම තිත වැටීම ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මේ ඓතිහාසික තීන්දුවත් සමග සිදුවිය.
එනවා එනවා කිව්වට IMF සල්ලි නැත්තේ ඇයි?
ආණ්ඩුව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ඉල්ලා මාස කිහිපයක් ගතව ඇතත් තවමත් ඊට අදාළ ගිවිසුම්වලට එළැඹීමට හැකියාවක් ලැබී නොතිබිම විශේෂ තත්ත්වයක් වී තිබේ. ලංකාවට පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ඉල්ලූ බංග්ලාදේශයට මේ වන විට ණය පහසුකම් දෙකක්ම ලබාදීමට මූල්‍ය අරමුදල පියවර ගෙන ඇති අතර, පාකිස්තානයටද ණය ලබාදීම අනුමත කිරීමට ඔවුන් පියවර ගෙන ඇත. නමුත් මහබැංකු අධිපතිවරයාම මීට මාස 03කට පමණ ඉහතදී කියා සිටියේ දෙසැම්බර් මාසය වන විට මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමට ලංකාවට හැකිවනු ඇති බවකි. එමෙන්ම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ද වරින් වර කියා සිටියේ අයි.එම්.එෆ්. සල්ලි අද ලැබෙනවා, හෙට ලැබෙනවා යැයි කියාය. නමුත් තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ණය ආධාර ලැබෙනවා තියා ඊට අදාළ සාකච්ඡා හෝ අවසන් කර නොමැති බවක් දැනට තිබෙන තොරතුරුවලින් ආරංචිය.
චීනය දීපු සහතිකය මදි!
ඇත්තටම මූල්‍ය අරමුදලට ලංකාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව කුමක්ද? මෙහි ප්‍රධානම ප්‍රශ්නය වී ඇත්තේ චීනය මගින් මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකයක් ලැබී නොතිබීමය. මූල්‍ය අරමුදල චීනයෙන් බලාපොරොත්තු වන්නේ වසර 10ක ණය සහනයක් වුවද චීනය මූල්‍ය අරමුදල වෙත ලබාදී ඇත්තේ වසර 02ක ණය සහනයක් ලංකාවට ලබාදීමට සූදානම් බවට වූ ලිපියකි. ඒ අනුව මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම ලිපිය මූල්‍ය අරමුදලට කිසිසේත්ම පිළිගත නොහැකි බවකි.
දුන්නෙත් ආණ්ඩුවෙන් නෙමෙයි එක්සිම් බැංකුවෙන්!
මෙම ලිපියේ ඇති අනෙක් ගැටලුව වී ඇත්තේ එය චීන එක්සිම් බැංකුව මගින් නිකුත් කොට තිබීමය. සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන්නේ එසේ බැංකුවකින් නිකුත් කළ ලිපියක් නොව, චීන රජය මගින් නිකුත් කළ ලිපියකි. උදාහරණයක් ලෙස ඉන්දියාව ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරමට එකඟ බවට වූ ලිපිය ලබාදුන්නේ ඉන්දීය රජය මගිනි. නමුත් මෙම ලිපිය චීන එක්සිම් බැංකුව මගින් නිකුත් කර තිබීම නිසාත්, මූල්‍ය අරමුදලේ කොන්දේසි අදාළ ලිපිය මගින් සපුරා නොතිබීම නිසාත් මේ වන විට එම ලිපිය මූල්‍ය අරමුදලේ විධායක සභාවට ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයක් මතුව ඇති ආකාරයක් දැකගත හැකිය.
රනිල් චීන ජනපතිට කතා කරන්න හදයි!
අනෙක් අතට ලංකාවේ ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට භාරදී ඇති ලසාඩ් සමාගම අවස්ථා කිහිපයකදීම චීන එක්සිම් බැංකුවෙන් මීට වඩා සහනයක් බලාපොරොත්තුවෙන් සාකච්ඡා කළත් ඔවුන්ද දැනුම් දී ඇත්තේ වසර 02කට වඩා සහනයක් ලබාදීමට නොහැකි බවය. ඒ අනුව දැන් මෙය චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් බවට පත්ව අවසානය. දැන් එය විසඳාලිය හැක්කේ චීන ජනාධිපති ෂී ජින් පින් මහතා සමග ඇතිකරගන්නා එකඟතාවකින් පමණි. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවිධ මාර්ග ඔස්සේ චීන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලා ඇතත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක වී අති ආකාරයක්ද දැකගන්නට ඇත.
හිටපු චීන තානාපති යළි ඇවිත්!
මීට අමතරව පසුගිය කාලයේදී ලංකාව සම්බන්ධයෙන් දැඩි උද්යෝගයකින් යුතුව කටයුතු කළ ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන් හොන් මහතා දීර්ඝ නිවාඩුවක් සඳහා චීනයට ගොස් සිටි නිසා එහි වැඩ බලන්නට පත්කොට තිබුණේ තානාපති කාර්යාලයේ වැඩබලන නියෝජිතයෙකි. බොහෝ දෙනා සිතා සිටියේ ෂෙන් හොන් මහතා යළි නොපැමිණෙනු ඇති බවත්, මෙම වැඩබලන තාතානපතිවරයා දිගටම එම තනතුරේ කටයුතු ආවරණය කරනු ඇති බවත්ය. නමුත් චීන එක්සිම් බැංකුවෙන් මූල්‍ය අරමුදල වෙත ලිපිය යොමුකිරීමත් සමග ෂෙන් හොන් මහතා නැවතත් ලංකාවට පැමිණ සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවක් දැනගන්නට තිබේ.
මාර්තුවත් ලැබෙයිද?
ඒ අනුව චීනය සහ මූල්‍ය අරමුදල අතර ලංකාව සම්බන්ධයෙන් මතුව ඇති මෙම කඹ ඇදිල්ල හේතුවෙන් බොහෝ දෙනා පෙන්වා දෙන්නේ ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති මූල්‍ය අරමුදලේ විධායක සභා රැස්වීමට පවා ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇතැයි කියාය. එසේ වුවහොත් ලංකාවට මූල්‍ය අරමුදලේ ණය සහනය ලැබෙන කාලය තවත් ඉදිරියට යනු ඇත.