පසුගිය සතියේ අප පළමු වතාවට විශේෂ හෙළිදරව්වක් කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාදීම සඳහා ලිපියකට අස්සන් තැබූ බව රාජ්‍ය රහස් තීරයෙන් අනාවරණය කළෙමු. එහිදී අප පෙන්වා දුන්නේ පළමු වටයේදී මන්ත්‍රිවරුන් හැත්තෑවක ප්‍රමාණයක් ඊට අස්සන් තැබූ බවකි. කෙසේ වෙතත් පසුගිය සතියේ අපි මව්රට වෙබ් අඩවිය ඔස්සේ පළමු වරට තවත් විශේෂ අනාවරණයක් කරමින් මෙම ලිපියට විපක්ෂයේ මන්ත්‍රිවරුන් පස්දෙනකුද අස්සන් තබා ඇති බවක් හෙළිදරව් කළෙමු. ඒ කවුරුන්ද යන වග අනාවරණය කරමින් අප එහිදී කියා සිටියේ ප්‍රගතිශීලී දෙමළ සන්ධානය නියෝජනය කරමින් මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන්, අරවින්ද් කුමාර්, මයිල්වාගනම් යන මන්ත්‍රිවරුන්ද ඊට අස්සන් තබා ඇති බවකි. ඊට අස්සන් තැබීම සඳහා දිගම්බරම් මන්ත්‍රිවරයා ඔවුන්ට යෝජනා කර තිබූ බවක්ද අපි එහිදී අනාවරණය කර සිටියෙමු.
කෙසේ වෙතත් අප කළ මෙම අනාවරණයත් සමඟ දෙමළ මාධ්‍යයද මෙම තොරතුරු හෙළිදරව් කිරීමට කටයුතු කර තිබිණ. එහිදී එම මාධ්‍ය පෙන්වා දී තිබුණේ රාජපක්ෂවරුන්ගේ ප්‍රබල හිතවතකු වන දුමින්ද සිල්වා නිදහස් කර ගැනීමට මනෝ ගනේෂන්ද එකතු වී ඇති බවකි. විශේෂයෙන්ම දමිළ මාධ්‍ය කළ එම හෙළිදරව්වත් සමඟ දමිළ සමාජයෙන් විශාල විරෝධයක් මනෝ ගනේෂන් ඇතුළු පිරිසට පසුගිය සතිය වන විට එල්ලවෙමින් තිබිණ. රට වටේම සිටින දෙමළ ජනතාව මනෝට කතා කරමින් ඊට එරෙහිව විරෝධය පළකිරීම නිසා දිනක් දෙකක් ගතවන විට තත්ත්වය එතරම් හොඳ නැති බව මනෝට වැටහිණ. ඒ අනුව මනෝ කළේ වහාම සිය හිතවතකු වන දෙමළ සන්ධානයේ යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්ට කතාකොට මේ සම්බන්ධයෙන් උතුරේ දමිළ මාධ්‍ය පාලනය කරදෙන ලෙසට ඉල්ලා සිටීමය. නමුත් සුමන්තිරන් කියා සිටියේ තමන්ට එය කළ නොහැකි බවත්, මනෝටම එම මාධ්‍යයට කතාකොට එය සිදුකර ගන්නා ලෙසත්ය. නමුත් එන්න එන්නම තත්ත්වය බරපතළ වූ බැවින් අවසානයේදී පසුගිය බ්‍රහස්පතින්දා වන විට මනෝ තීන්දු කළේ දුමින්දට සමාව දීමේ ලිපියෙන් තම අස්සන ඉවත් කර ගැනීමටය. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කොට එය රටට ඉදිරිපත් කිරීමටද මනෝ කටයුතු කළේය.
කපිල පුංචිමාන්නගේ