මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණට එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වයන් දෙකකින්ම විවිධ පණිවුඩ ලැබෙමින් පවතින බවක් දැනගන්නට තිබේ. ඒ, ඉදිරි මහමැතිවරණයේදී සන්ධානයක් සඳහා ලෙස තරග වැදීමට පැමිණෙන ලෙසට ආරාධනා කරමිනි. එම ආරාධනාව එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙනුත්, සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙනුත් එකවර ලැබෙමින් තිබීම විශේෂ සිදුවීමකි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැනටමත් ජවිපෙ කිසියම් තීන්දුවක් ගෙන ඇති බවත් ආරංචිය. ඒ රනිල්ගේ නායකත්වයෙන් බිහිකරන නව සන්ධානයකට එකතු වනවා තියා ඒ සම්බන්ධයෙන් අවම වශයෙන් සාකච්ඡාවක් හෝ නොපැවැත්වීමටය. නමුත් සජිත්ගේ පාර්ශ්වයෙන් ලැබෙන යෝජනාව එකවර ප්‍රතික්ෂේප නොකොට එය සාකච්ඡා සඳහා විවෘතව තැබීමටද මේ වන විට ජවිපෙ තීරණය කොට ඇති බව පැවැසේ. මේ ආකාරයට එජාපයේ අලුත් සන්ධානයට ජවිපෙ එක්කර ගැනීම සම්බන්ධයෙන් එජාපය තුළ මත 2ක් මතුව ඇති බවක්ද දැනගන්නට ඇත. එහිදී ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දී ඇත්තේ ජවිපෙ සමඟ එජාපය සන්ධානගත වුවහොත් 2004දී ශ්‍රිලනිපයට මුහුණ දුන් සිදුවීමටම එජාපයටද මුහුණ දීමට සිදුවනු ඇතැයි කියාය. එවර ජවිපෙ ශ්රීලනිපය සමඟ සන්ධානගතව තරග වැදුණු අතර, සැම දිස්ත්‍රික්කයම ජවිපෙ නියෝජිතයන් මනාප ලැයිස්තුවේ ඉහළටම රැගෙන ඒමට ශ්‍රිලනිප සාමාජිකයන් පියවර ගෙන තිබිණි. මේ නිසාම වාර්තාවක් තබමින් ජවිපෙ මන්ත්‍රිවරුන් 35 දෙනකු එවර පාර්ලිමේන්තුවටද තේරී පත්විය. ඒ නිසා එජාප ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ජවිපෙට දැනටමත් විරෝධය පළකොට ඇත.
නමුත් තරුණ එජාප මන්ත්‍රිවරුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විපක්ෂයක් බිහිකරලීමට නම් ජවිපෙ ශක්තියද එජාපය ප්රමුඛ නව සන්ධානයට ලබාගත යුතු යැයි කියාය. ශ්රීලනිපය මෙන් නොව එජාප පාක්ෂිකයන් කවදාවත් පක්ෂයෙන් පිට ඡන්දය හෝ මනාප භාවිත නොකරන පිරිසක් බව ඔවුන්ගේ තර්කය වී තිබේ. කෙසේ වෙතත් මේ සියලු තර්ක විතර්ක මැද ජවිපෙ සජිත් පිල නියෝජනය කරන පිරිස් සමඟ දැනටමත් සංවාදයක් ආරම්භ කොට ඇති බවද ආරංචිය.










