හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල සිටින්නේ සිය පළමු නිල විදෙස් සංචාරය සඳහා සූදානම් වෙමිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අඩි පාරේ යමින් මහින්දද මෙවර සිය පළමු සංචාරය ලෙස තෝරාගෙන තිබෙන්නේ ඉන්දියාවය. කෙසේ වෙතත් මහින්ද ජනාධිපතිවරයා වශයෙන් සිටි කාලයේ ඔහුට එල්ල වුණු බරපතළ චෝදනාවක් වූයේ විශාල පිරිසක් සමඟින් සෑම අවස්ථාවකම විදෙස්ගත වුණා යැයි කියාය. ඒ අනුව මෙවර බොහෝ දෙනා බලා සිටින්නේ මහින්ද කොපමණ සංඛ්‍යාවක් සමඟ ඉන්දියාව බලා පිටත්ව යනවා දැයි කියාය. ගෝඨාභය සිය පළමු නිල සංචාරයට කිසිදු ඇමැතිවරයකු එක්කර නොගැනීමත්, සිය පවුලේ කිසිදු අයකු එක්කර නොගැනීමත්, නිලධාරීන් කිහිප දෙනකු පමණක් එක්කර ගැනීමත් නිසා සියලු දෙනාම මහින්ද දෙස බලා සිටීම ඊට හේතුවය. ‘රාජ්‍ය රහස්’ තීරයට දැනට ලැබී ඇති තොරතුරුවලින්ද කියැවෙන්නේ ගෝඨාභය මෙන්ම මෙවර මහින්දද ඉතා සුළු පිරිසක් සමඟ ඉන්දියාව බලා පිටත්ව යනු ඇති බවකි.
මේ අතර හම්බන්තොට සියලු දෙනා බලා සිටින්නේ රාජපක්ෂ පවුලේ ඊළඟ දේශපාලන තරුව කවුරුන්ද යන්න සම්බන්ධයෙනි. නාමල් මේ වන විට වසර ගණනාවක්ම දේශපාලනයේ නිරතව ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිසා මෙවර රාජපක්ෂවරුන් තීරණය කර ඇත්තේ පවුලේ ප්‍රධානියා වූ යෝෂිතව රාජපක්ෂ පවුලේ ඊළඟ දේශපාලන තරුව කරන්නටය. ඒ අනුව ළඟදීම නාවික හමුදා සේවයෙන් ඉවත් වී පූර්ණකාලීන දේශපාලනයට පිවිසෙන ලෙසට දැනටමත් යෝෂිත වෙත රාජපක්ෂ පවුලෙන් උපදෙස් ලැබී තිබේ.
ඒ අනුව දැන්ම තියා යෝෂිත අගමැති කාර්යාලයට වී අගමැති කාර්ය මණ්ඩලයේ රාජකාරි අධීක්ෂණය කරමින් සිටින බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. වාර්තා වන්නේ එළැඹෙන මහමැතිවරණයෙන් පසු ගාමිණී සෙනරත් දැරූ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි ධුරය යෝෂිත විසින් භාරගනු ඇති බවකි. එමෙන්ම මහමැතිවරණයෙන් පසු එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී යෝෂිත මහ ඇමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ සූදානමක් පවතින බවද ආරංචිය.
මේ සඳහා බලපා ඇති තවත් හේතුවක්ද තිබේ. ඒ යෝෂිතගේ හඳහනය. බොහෝ දෙනා පෙන්වා දී ඇත්තේ යෝෂිතගේ හඳහන ඉතා ප්‍රබල එකක් බවත්, රාජ යෝග පවා එම හඳහනේ දකින්නට ඇති බවත්ය.










