ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකකින් යළි විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
විදුලිබල මණ්ඩල නියෝජිතයින් ආර්ථික ස්ථායීකරණය සඳහා වූ ජාතික සභා අනු කමිටුවට පවසා ඇත්තේ, දැනට මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 70%කින් පමණ වැඩිවිය යුතු බවය.
පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් 2023 වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට මේ වනවිට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පවසා තිබේ.
ඔහු වැඩිදුරටත් ජාතික සභා අනු කමිටුවට දැනුම් දී ඇත්තේ කැබිනට් අනුමැතිය හිමිවූ විදුලි ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් වූ යෝජනා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිත බවය.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ විදුලි බිල යළි වැඩිකිරීමක් පිළිබඳ මහජන උපයෝගිතා කොමිසම මෙතෙක් සලකා බලා නොමැති බවය.