පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රෝස්මරී ඒ. ඩිකාලෝ මහත්මිය සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකළෙමු. එහිදී අප කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතාගේ විශේෂ නියෝජිතවරියක ලෙස රෝස්මරී ලංකාවට පැමිණීමට නියමිත බවත්, එහිදී මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සැලැසුම් කොට ඇති බවත්ය. රෝස්මරීගේ මේ සංචාරයේ පසුබිම සකස් කිරීම සඳහා පසුගිය සතියේදී එක්සත් ජාතික සංවිධානයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ලංකාවට පැමිණි බවක්ද අපි එහිදී සඳහන් කළෙමු.
ආණ්ඩුව දෙමළ සන්ධානයට ඉව අල්ලයි
පසුගිය සතියේ අප කළ එම අතිවිශේෂ හෙළිදරව්ව හා සමානවම තවත් අතිවිශේෂ හෙළිදරව්වක් මේ සතියේ අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ ඉදිරිපත් කිරීමට සූදානම්ය. ඒ, ආණ්ඩුව හා දෙමළ ජාතික සන්ධානය අතර හීන්සීරුවේ ගොඩනැගෙමින් පවතින ඇයි හොඳැයියක් පිළිබඳවය.
ආණ්ඩුව පසුගියදා සම්මත කරගත් 20 වැනි සංශෝධනයේදී විපක්ෂය සමඟ සිටින මුස්ලිම් පක්ෂවල නියෝජිතයන් හයදෙනකු ආණ්ඩුව සමඟ එක්ව ඡන්දය භාවිතා කළ බව මේ වන විට සියල්ලන්ම දන්නා කාරණාවකි. ඒ අනුව ආණ්ඩුව රවුෆ් හකීම් හා රිෂාඞ් බදුර්දීන් හැරුණු විට එම මුස්ලිම් පක්ෂ දෙකේ සියලුම මන්ත්‍රිවරුන් ආණ්ඩුවට එක්කර ගැනීමට සමත් විය. ඒ සඳහා තිරය පිටුපස සාකච්ඡා වට ගණනාවක් පැවැති බවද අලුත් කතාවක් නොවේ. නමුත් 20 වැනි සංශෝධනයේදී දෙමළ ජාතික සන්ධානයේ කිසිදු මන්ත්‍රිවරයකු ආණ්ඩුවත් සමඟ එක්ව ඡන්දය භාවිතා කිරීමක් සිදු නොවූ අතර, අවම වශයෙන් දෙමළ ජාතික සන්ධානය හා සාකච්ඡාවක්වත් ඒ දවස්වල සිදුවූයේ නැත.
කව්ද මේ ශානක්‍ය රාසමාණික්කම්?
නමුත් මේ සඳහා පදනම වැටුණේ පසුගියදා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2020 වසර සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අයවැයේදීය. මෙහිදී මහින්ද අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසු සුපුරුදු පරිදි අයවැය විවාදය ආරම්භ වූ අතර, ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් එහිදී එහි ඇති ගුණදොස් දක්වමින් අදහස් පළ කරන ආකාරයක් දැකගන්නට ලැබිණ. මෙහිදී දැකගන්නට ලැබුණු සුවිශේෂීම සිදුවීම දැකගන්නට ලැබුණේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන නවක මන්ත්‍රීවරයකු වූ ශානක්‍ය රාසමාණික්කම් මහතා සිදුකළ අය වැය කතාවේදීය. ශානක්‍ය රාසමාණික්කම් යනු පසුගිය වසරේ දෙමළ ජාතික සන්ධානය සමඟ දේශපාලනය කොට මඩකළපුවෙන් ජාතික ලැයිස්තුවට තේරී පත්වූ තරුණ මන්ත්‍රිවරයෙකි. තවමත් ඔහුගේ වයස අවුරුදු 30 සම්පූර්ණ වූවා පමණි.
කෙසේ වෙතත් ඉතා ධනවත් පවුලකින් පැවත එන රාසමාණික්කම් අධ්‍යාපනය හදාරා ඇත්තේ නුවර ත්‍රිත්ව විද්‍යාලයේය. මේ හේතුව නිසාම දෙමළ, ඉංග්‍රීසි භාෂාව පමණක් නොව සිංහල භාෂාවද රාසමාණික්කම්ට චතුර ලෙස හැසිරීමේ හැකියාව තිබේ. අධ්‍යාපනය නිමා කිරීමෙන් පසුව මුලින්ම රාසමාණික්කම් දේශපාලනය ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මඩකළපු දිස්ත්‍රික්කයේ පදිරිප්පු ආසන සංවිධායකවරයා ලෙසටය.
2015 මහ මැතිවරණයට මඩකළපුවෙන් ශ්‍රීලනිපයට තරග වැදුණත් එහිදී ඔහුට ජයග්‍රහණය ලබාගත හැකි වූයේ නැත. පසුව රාසමාණික්කම් ශ්‍රීලනිපයෙන් ඉවත්ව මහින්දත් සමඟ එක්ව මඩකළපුවේ දේශපාලන කටයුතු සිදුකළ අතර, ඒ හේතුවෙන් මහින්දගේ මඩකළපු නියෝජිතයා වන ටී.එම්.වී.පී. නායක පිල්ලෙයාන් සමඟ ඉතා සමීප සම්බන්ධයක්ද රාසමාණික්කම්ට තිබිණ. කෙසේ වෙතත් 2020 මහ මැතිවරණය ආසන්න වන විට රාසමාණික්කම් පිල්ලෙයාගෙන්ද ඉවත්ව දෙමළ ජාතික සන්ධානය සමඟ සමීපව කටයුතු කරන්නට පටන් ගත්තේය. ඒ නිසාම ඔහුට දෙමළ ජාතික සන්ධානයෙන් ජාතික ලැයිස්තුවට ඇතුළු වීමේ හැකියාව ලැබිණ.
පාර්ලිමේන්තුව හොල්ලපු රාසමාණික්කම්ගේ සිංහල
ඒ අනුව පාර්ලිමේන්තු ආ රාසමාණික්කම් අය වැය විවාදය ආරම්භ කරමින් කළ කතාවේදී ඉතා චතුර ලෙස සිංහල භාෂාවෙන් තම කතාව සිදුකිරීමට පියවර ගත්තේ ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද පුදුමයට පත්කරවමිනි. ඇතැමුන් කීවේ බොහෝ කලකට පසු දෙමළ ජාතික සන්ධානයට සිංහල භාෂාවෙන් දකුණට ආමන්ත්‍රණය කළ හැකි මන්ත්‍රිවරයකු ලැබී ඇතැයි කියාය. උතුරේ ප්‍රශ්න සිංහල භාෂාවෙන් දකුණට කිව හැකි මන්ත්‍රිවරයකු ලැබී ඇතැයි කියාය. මීට පෙර එම කටයුත්ත ඉතාමත් ඉහළින් සිදුකර තිබුණේ වෙන කවුරුවත් නොව දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රි නඩරාජා රවිරාජ්ය. නමුත් ඔහුගේ ඝාතනයෙන් පසු එම හිඩැස පිරවීමට සමත් මන්ත්‍රිවරයකු සොයා ගැනීමට දෙමළ ජාතික සන්ධානයට නොහැකි විය. වසර ගණනාවකට පසු එම හිඩැස පිරවීමට දෙමළ ජාතික සන්ධානයට හැකි වූයේ රාසමාණික්කම් හරහාය.
ජනපති ටීවී එකෙන් රාසමාණික්කම්ගේ කතාව බලයි
කෙසේ වෙතත් රාසමාණික්කම් සිංහලෙන් කළ මෙම අය වැය කතාව තවත් එක් විශේෂ පුද්ගලයෙක්ද රූපවාහිනියෙන් සජීවීව බලා සිටියේය. ඒ වෙන කවුරුවත් නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඉතා චතුර ලෙස සිංහල භාෂාව හසුරුවමින් අය වැය කතාව සිදුකරන දෙමළ ජාතික සන්ධානයේ මේ අලුත් තරුණයා දෙස රූපවාහිනියෙන් බලා සිටි ජනාධිපතිවරයා හට ඔහුත් සමඟ සාකච්ඡා කිරීමට ඒ මොහොතේම සිත්විය. ඒ අනුව ජනාධිපතිවරයා එම කාර්යය පැවරුවේ වෙන කාටවත් නොව කලක් නැඟෙනහිර ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ රෝහිත බෝගොල්ලාගමටය. රෝහිත ඒ කාර්යය අකුරටම ඉෂ්ට කරමින් පසුගිය සතියේ රාසමාණික්කම්ව ජනාධිපතිවරයා හමුවට රැගෙන ආවේය.ව ජනාධිපතිවරයා හමුවට රැගෙන ආවේය.
රෝහිත රාසමාණික්කම්ව ජනපති ළගට අරන් එයි
මෙම හමුවේදී ජනාධිපතිවරයා රාසමාණික්කම් අගය කරමින් කතා කළ අතර, වැඩිදුරටත් කියා සිටියේ මේ ආකාරයට වැඩකටයුතු කරන තරුණයන් දෙමළ ජාතික සන්ධානය හරහා පාර්ලිමේන්තුවට පැමිණ සිටීම ඉතා හොඳ ප්‍රවණතාවයක් යැයි කියාය. ඒ අනුව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයටද ආණ්ඩුවත් සමඟ එක්ව කටයුතු කිරීමට මේ වන විට කාලය පැමිණ ඇතැයි කියාය. “මොකද ඔයගොල්ලො තවමත් ඔය විදිහට කටයුතු කරන්නෙ. ඇයි ඕගොල්ලන් උතුරටයි, නැඟෙනහිරටයි හිරවෙලා දේශපාලනය කරන්නෙ. ඔයගොල්ලො අපිත් එක්ක කතා කරන්නෙ නෑ. ඒකයි මෙතැන තියෙන ප්‍රශ්නය. අපිත් එක්ක කතා කරන්න ඕගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. මම කියන්නෙ අපි ඉස්සරහට එකතු වෙලා වැඩ කරමු කියලයි. ඒක ඔයා ගිහිල්ල ඕගොල්ලන්ගෙ නායකයන්ටත් කියන්න…” යනුවෙන් ජනාධිපතිවරයා කියද්දී රාසමාණික්කම් කියා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානීන් දැනුවත් කරන්නම් යැයි කියාය.
රාසමාණික්කම් දෙමළ සන්ධානයට පණිවුඩය දෙයි
කිව්වා වාගේම රාසමාණික්කම් ඒ සම්බන්ධයෙන් වහාම දෙමළ ජාතික සන්ධානයේ නායකයා වන ආර්. සම්බන්ධන් මහතා සමඟත්, මාධ්‍ය ප්‍රකාශක ලෙස සැලකෙන එම්.ඒ. සුමන්තිරන් මහතා සමඟත් සාකච්ඡා කළේය. දෙදෙනාගෙන්ම ඊට යහපත් ප්‍රතිචාරයක් පළවිය. නමුත් සුමන්තිරන් කියා සිටියේ එවැනි සාකච්ඡාවක් කළ හැකි වුවත් මේ ඊට සුදුසු වේලාව නොවේ යැයි කියාය. ඊට හේතු වශයෙන් සුමන්තිරන් පෙන්වා දුන්නේ 20 වැනි සංශෝධනයේදී මුස්ලිම් මන්ත්‍රිවරුන් ආණ්ඩුවට සහාය දැක්වීමත් සමඟ දෙපාර්ශ්වයම සමාජයේ දැඩි විවේචනයට ලක්වීම නිසා මේ අවස්ථාවේදී ආණ්ඩුවත් සමඟ යම්කිසි සාකච්ඡාවක් ආරම්භ කළහොත් ඒ හරහා උතුරේ ද්‍රවිඩ ජනතාවගෙන් දැඩි විරෝධයක් තම පක්ෂයට එල්ල විය හැකි බවත්, ඒ හා සමානවම දකුණේ ජනතාවගෙන් දැඩි විරෝධයක් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වෙත එල්ල විය හැකි බවත්ය. එම නිසා මේ අවස්ථාවේදී එවැනි සාකච්ඡාවක් පැවැත්වීම නුවණට හුරු දෙයක් නොවන බව සුමන්තිරන් සහ සම්බන්ධන් රාසමාණික්කම්ට පෙන්වා දුන්නේය.
ආණ්ඩුව ගහන්න යන ගේම
කෙසේ වෙතත් රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇත්තේ ආණ්ඩුව මේ ආකාරයට දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට සූදානමින් සිටින්නේ ලබන මාර්තු මාසයේ ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සැසිවාරය ඉලක්ක කරගෙන බවය. මන්දයත් මෙම සැසිවාරයේදී එම සංවිධානය ඉකුත් යහපාලන ආණ්ඩුව සම්මත කළ මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් එල්ල කිරීමට සූදානමින් සිටින බව වාර්තා වී තිබේ. ඊට උපක්‍රමයක් ලෙස ආණ්ඩුව මේ වන විට සූදානමින් සිටින්නේ කොරෝනා වසංගත තත්ත්වය පිට දමා ඒ සඳහා කල් ඉල්ලා ගැනීමටය. ඊට සහාය ලබාගැනීමේ අරමුණින් මෙසේ ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට සැලැසුම් කර ඇති බවක්ද දැනගන්නට ඇත. සුමන්තිරන් ආණ්ඩුවේ එම ප්‍රයත්නය කල් තියාම යම්කිසි කාලයකට කල් දමා ගත්තේ මේ තත්ත්වය පිළිබඳව දැනගැනීමෙන් පසුව බවද දැනගන්නට ඇත.
මාවෙයි විරුද්ධ වෙයි: වෙනම සන්ධානයක් හදන්න සාකච්ජා….
කෙසේ වෙතත් සාකච්ඡා සඳහා පැමිණෙන ලෙසට දෙමළ ජාතික සන්ධානයට ආණ්ඩුවෙන් ලද මේ ආරාධනයත් සමඟ මේ වන විට දෙමළ ජාතික සන්ධානය තුළද බරපතළ බෙදීමක් හටගෙන ඇති ආකාරයක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඒ සඳහා හේතුවී ඇත්තේ සුමන්තිරන් සහ සම්බන්ධන් එම සාකච්ඡා සඳහා කිසියම් යහපත් ප්‍රතිචාරයක් දැක්වුවත් දෙමළ ජාතික සන්ධානය ඇතුළේ සිටින දැඩි මතධාරීන් ලෙස සැලකෙන මාවෙයි සේනාධිරාජා ඇතුළු කණ්ඩායමක් ඊට දැඩිව විරෝධය පළකිරීමය. මෙම විරෝධය කෙතරම් දැඩිවී ඇද්ද කියනවා නම් මේ වන විට මාවෙයි සේනාධිරාජා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව අලුත් සන්ධානයක් පිහිටුවීම සඳහා මෙම පිපිරීම දුරදිග ගොස් ඇති බවක්ද දැනගන්නට ඇත. පසුගිය සතියේදී ඒ පිළිබඳව ඔහු උතුරේ අනෙකුත් දෙමළ පක්ෂ නායකයන් වන ගජේන්ද්‍ර පොන්නම්බලම්, සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් සමඟ සාකච්ඡා වටයක් ආරම්භ කර ඇති අතර, මාවෙයිගේ උත්සාහය වී ඇත්තේ ‘ටැමිල් යූනියන්’ හෙවත් දෙමළ සංගමය නමින් නව සන්ධානයක් බිහිකර ගැනීමය. ඒ සඳහා ගජේන්ද්‍රන්ගෙන් සහ විග්නේෂ්වරන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවක්ද ආරංචිය.
එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් හතරදෙනෙක්ද ඒ සඳහා දැනටමත් එකඟතාවය පළකොට ඇති බව පැවසේ. තවත් මන්ත්‍රිවරුන් හතරදෙනෙක් සම්බන්ධන් සහ සුමන්තිරන් සමඟ සිටියද ඔවුන්ද මේ වන විට වැට උඩ සිටින ආකාරයක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
යුරෝපා කොමිසම වැඩ පටන් ගනී
මේ අතර අප පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ ආණ්ඩුවට යළි ජාත්‍යන්තර ප්‍රශ්නයකට මුහුණදීමට සිදුව ඇති බවට කළ අනාවරණයෙන් පසුව එහි තවත් දිගුවක් එම අනාවරණයෙන් දින කිහිපයකට පසු සිදුවන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ ලංකාව මුල්කරගෙන යුරෝපා කොමිසම නිකුත් කළ ආන්දෝලනාත්මක නිවේදනයක් හරහාය. යුරෝපා කොමිසම මෙම නිවේදනය නිකුත් කළේ කොරෝනා ආරම්භ වීමත් සමඟ ලංකා ආණ්ඩුව ආනයන තහනම් කිරීමට ගත් තීන්දුව මුල්කරගෙනය. එහිදී යුරෝපා කොමිසම කියා සිටියේ ජාත්‍යන්තර වෙළෙඳාම යනු එක් පැත්තකට පමණක් සිදුවන එකක් නොවන බවත්, මෙසේ ඒකපාර්ශ්විකව ආනයන තහනම් කිරීමට පියවර ගැනීම ජාත්‍යන්තර වෙළෙඳ නීති උල්ලංඝනය කිරීමක් බවය. මෙම තතත්වය වහා වෙනස් නොකරන්නේ නම් යුරෝපා සංගමයටද ඊට ප්‍රතිචාර දැක්වීමට සිදුවනු ඇති බව එම නිවේදනයේ සඳහන් කොට තිබේ.
යුරෝපා කොමිසම යනු ශ්‍රී ලංකාවේ අපනයනවලින් අතිවිශාල ප්‍රමාණයක් මිලදී ගන්නා රාජ්‍යයන්ගෙන් සමන්විත රටකි. එමෙන්ම ජී.එස්.පී. ප්ලස් සහනයද යුරෝපා කොමිසම මඟින් ලංකාවට පිරිනමා තිබේ. එම නිසා යම් හෙයකින් එම ආනයන තහනම මුල්කරගෙන යුරෝපා සංගමය කිසියම් අහිතකර ප්‍රතික්‍රියාවක් දැක්වීමට කටයුතු කළහොත් එය ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් එල්ලකරනු ඇති බවක් අමුතුවෙන් කිවයුතු නැත. ඒ අනුව ආණ්ඩුවට යුරෝපා සංගමයේ මෙම ස්ථාවරය සම්බන්ධයෙන් වහාම සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබාගැනීමට සිදුව ඇති තත්ත්වයක් දැකගන්නට තිබේ.
යුරෝපා කොමිසම නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය මෙන්න
මෙය ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියානු තානාපති කාර්යාල සමඟ එක්ව කරනු ලැබූ නිවේදනයකි.
පවතින කොවිඞ් 19 වසංගතය හමුවේ ඇති අභියෝග ගණනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින්, යුරෝපා සංගමය හා එහි සාමාජික රටවල් නියෝජනය කරන තානාපතිවරුන් අංශ අවස්ථා ගණනාවක දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඉහළ පෙළේ පාර්ශ්ව රැසක් හමුවිය. යුරෝපා සංගමය, දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මිතුරෙකු බවත්, ගෙවුණු වසර 25ක කාලය පුරාවට යුරෝ බිලියනයකට වැඩි ආධාර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති බවත් එහිදී අවධාරණය කෙරිණි. ඊට අමතරව යුරෝපා සංගමයේ සාමාජික රටවල් ද්විපාර්ශ්වික මට්ටමින් ද ශ්‍රී ලංකාවට විවිධ ආධාර ලබා දී තිබේ.
එම සැලකිය යුතු සංවර්ධන සහයෝගයට අමතරව ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා ද සුවිශේෂී සහයෝගයක් ලබාදීමට යුරෝපා සංගමය ක්‍රියාකාර ඇත. ප්‍රධාන වශයෙන් ජී.එස්.පී. ප්ලස් පහසුකම හේතුකොටගෙන තීරු බදු සහ කෝටා ගාස්තු නොමැතිව යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. මෙය ශ්‍රී ලංකාව මානව හිමිකම්, ශ්‍රමය, පරිසරය, දේශගුණ විපර්යාස හා යහපාලනය සම්බන්ධයෙන් අන්තර්ජාතික සම්මුතීන් 27ක් අඛණ්ඩව පවත්වාගෙන යෑම පාදක කරගැනීමෙන් අත්කරගත් පහසුකමකි. මෙවැනි ඒකපාර්ශවික වෙළෙඳ වාසි නිසා ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජාත්‍යන්තර අපනයන වෙලෙඳපොළ බවටද යුරෝපා සංගමය පත්ව සිටී. 2018 සහ 2019 යන වර්ෂ දෙකෙහිදීම යුරෝපය හා ගනුදෙනු කිරීමෙන් යුරෝ බිලියනයකට (රු. බිලියන 220කට) වැඩි ධනාත්මක වෙළෙඳ ශේෂයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වීම ඒ බව මැනවින් තහවුරු කරයි.
කෙසේ නමුත් වෙළෙඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවේ. වර්තමානයේ දී පවතින ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ හා යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම සෘජු විදේශ ආයෝජනය වෙතද සෘණාත්මක බලපෑමක් සිදුව තිබේ. කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අරමුණු සාක්ෂාත් කරගැනීමට ද එය බාධාවකි. එමෙන්ම අමුද්‍රව්‍ය හා යන්ත්‍රසූත්‍ර ආනයනයට බාධා මතුවීම තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට ද අහිතකර බලපෑමක් එල්ල වේ. තවද දිගින් දිගටම ආනයන සීමා පැනවීම, ලෝක වෙළෙඳ සංවිධානයේ නියාමනයන්ට අනුකූල නොවන බව ද මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමු.
මානව හිමිකම් මතක් කරයි…
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට සහාය දැක්වීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය ද අවධානයට යොමුව තිබේ. ශ්‍රී ලංකාවේ විවිධ ජනවර්ග අතර සංහිඳියාව, සාධාරණත්වය හා සාමකාමී පැවැත්ම උදෙසා අඛණ්ඩව කැපවෙන බවට ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබේ. ඒ බව යුරෝපා සංගමය වෙත ද ශ්‍රී ලංකාව තහවුරු කර ඇත. රජය ඒ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමට ද යුරෝපා සංගමය නිරතුරුව සූදානමින් සිටී. විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍ය හා ක්‍රියාශීලී සිවිල් සමාජයක් පවත්වා ගැනීම එහිලා අත්‍යාවශ්‍ය වේ.
අවසාන වශයෙන්, තවදුරටත් ජාත්‍යන්තර බැඳියාවන් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් ශක්තිමත් සබඳතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව අපි මෙසේ නිවේදනය කරන්නෙමු.
මෛත්‍රී ගහන රතිඤ්ඤා
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සැලකෙන්නේ බොහෝ නිහඬව සිට හිටිහැටියේ දේශපාලන රතිඤ්ඤයක් දෙකක් පත්තු කරන දේශපාලකයකු ලෙසටය. ඉකුත් ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුවේ ඇමැතිකමක් හෝ නොලැබීම හේතුකොටගෙන පසුගිය කාලයේ මෛත්‍රි සිටියේ දේශපාලනයෙන් තරමක් යටගොස්ය. එසේ සිටියද ඉඳහිට සමාජ මාධ්‍ය උපයෝගි කරගනිමින් දේශපාලන රතිඤ්ඤා එකක් දෙකක් පත්තු කිරීමට මෛත්‍රි පහුගිය කාලයේ කටයුතු කළේය.
ෂැංග්‍රිලා ෆොටෝ එක
ඒ අනුව පසුගිය සතියේදීද එසේ නිහඬව සිටි මෛත්‍රි එක්වරම සිය ෆේස්බුක් පිටුවේ, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ඉහළ මාලයක සිට කෝපි කෝප්පයක් බොමින් ඊට යාබදව ඉදිවෙමින් ඇති වරාය නගරය දෙස බලා සිටින ආකාරයේ ඡායාරූපයක් පළකිරීමට පියවර ගෙන තිබිණ. කොරෝනා මැද්දේ හදිසියේම මෛත්‍රිගේ ෆේස්බුක් පිටුවේ මෙම ඡායාරූපය පලවීමත් සමඟ එය කෙතරම් ජනතාවට අල්ලලා ගියාද ගිහින් තියෙනවා නම් විනාඩියක් යෑමට මත්තෙන් ඊට ‘ලයික්ස් 1400ක්’ වැටී තිබිණ. ඒ විවිධ පාඨක ප්‍රතිචාරද සහිතවය.
ධනුෂ්කව ගෙන්ව ගත්තේ ඇයි…
මෙයින් ලැබුණු පාඨක ප්‍රතිචාරත් සමඟ මෛත්‍රි පසුගිය සතියේ තවත් විවාදයට තුඩුදෙන වැඩක්ද කළේය. ඒ, වෙන කිසිවක් නොව මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව සිටින පුද්ගලයකු තම නිල නිවෙසට ගෙන්වා සාකච්ඡා කිරීම හරහාය. ඒ පුද්ගලයා වෙන කවුරුවත් නොව මහරගම නාගරික මන්ත්‍රිවරයකු මෙන්ම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ සමීපතමයකු සේ සැලකෙන ධනුෂ්ක රාමනායකය. හිටි හැටියේම ධනුෂ්ක රටේ මාතෘකාවක් බවට පත්වූයේ මිරිසවැටිය විහාරයට ගොස් ජනාධිපති, අගමැති ඇතුළු පවුලේ සියලු දෙනා දානමය පින්කමකට සහභාගි වන ආකාරයේ ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුවේ පළකිරීම හරහාය. ඒ සමඟම සමාජ මාධ්‍ය ජාලාවල මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පිරිස්ද මෙය ව්‍යාජ ඡායාරූපයක් බව සඳහන් කර සිටීමත් සමඟ ධනුෂ්කට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබී තිබිණ. (එම සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් සී.අයි.ඩී. ස්පෙෂල් තීරයේ පළවේ)
කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඡායාරූපය සම්බන්ධයෙන් ධනුෂ්කගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු මෛත්‍රි කළේ ධනුෂ්කව තම නිවෙසට කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය.
කොමිසමෙන් මෛත්‍රීට කන්න වෙයිද?
මේ ආකාරයට මෛත්‍රි එක්වරම තමාගේ ෆේස්බුක් පිටුවේ ඡායාරූප පළකරමින් සහ ආණ්ඩුවට එරෙහිව ප්‍රචාරයක් දියත් කළ බව කියන පුද්ගලයන් සිය නිල නිවෙසට ගෙන්වා ගනිමින් සහ ඒ සම්බන්ධ ඡායාරූප ප්‍රචාරය කරවා ගනිමින් විවිධ දේශපාලන රතිඤ්ඤා පත්තු කළේ කුමක් නිසාද යන්න බොහෝ ාදෙනාට ප්‍රහේලිකාවක් වී තිබිණ. නමුත් රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ලැබුණු ආකාරයට මෛත්‍රි මෙසේ දේශපාලන රතිඤ්ඤා කිහිපයක් පත්තු කොට ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීමට නියමිතව තිබීම නිසාය. එදින මෛත්‍රිට එරෙහිව සාක්ෂි ලබාදුන් සියලුම නීතිඥවරුන් මෛත්‍රිගෙන් හරස් ප්‍රශ්න විමසීමට සූදානමින් සිටීම පිළිබඳ ඇති ජනතා අවධානය වෙනතකට හැරවීම මෙම ඡායාරූප පළකිරීමේ යටි සැලැස්ම වී තිබූ බවද ආරංචිය.
නැගලා ගිය සර් ෆේල්
ආණ්ඩුවට තුනෙන් දෙකක අතිබහුතර බලයක් ලැබුණද විපක්ෂය නියෝජනය කරන සමඟි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් විසින් ආණ්ඩුවට එරෙහිව පසුගිය සති දෙක, තුන ඇතුළත ගෙනගිය එක්තරා ප්‍රචාරක ව්‍යාපාරයක් හේතුකොටගෙන ආණ්ඩුව කිසියම් අසීරුතාවයකට මුහුණදී සිටි ආකාරයක් දැකගත හැකි විය. ඊට මුල්වූයේ විපක්ෂය ගෙනගිය ‘සර් ෆේල්’ නමැති කැම්පේන් එකය. සමඟි ජන බලවේගය මතු කළ මේ ‘සර් ෆේල්’ කැම්පේන් එක එම සති දෙක තුන තුළ රට ඇතුළේ කෙතරම් අල්ලාලා ගියාද කියනවා නම් සමාජ මාධ්‍ය ජාලා පිරීගොස් තිබුණේ එම කැම්පේන් එකෙනි. ඊට ආණ්ඩුවද ‘සර් පාස්’ යනුවෙන් වෙනම කැම්පේන් එකක් ආරම්භ කිරීම නිසා පසුගිය සතියේ සමාජ මාධ්‍ය ජාලා දෙපිල බෙදී ගහගන්නා තත්ත්වයට උණුසුම් වී තිබිණ. එමෙන්ම එය කෙතරම් ආණ්ඩුවට දැනී තිබුණාද කියනවා නම් පසුගිය බදාදා ජනාධිපති පදවි ප්‍රාප්තියට වසරක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාව තුළ ඒ පිළිබඳ යම් සඳහනක් කිරීමට පියවර ගෙන තිබීමද විශේෂිතය.
“මා සාර්ථකද අසාර්ථකද යන්න හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවෙයි….” යන්න එහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටි කාරණය විය.
කබ්රාල්ගෙන් මහින්දට අයවැය ගිය හේතුව
2021 වර්ෂයේ අය වැය ලේඛනය අගමැතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයාද වන මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය 17 වැනිදාය. ඊට පෙර අගමැතිවරයා අය වැය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා සමගද සාකච්ඡා වටයක් පවත්වා තිබූ අතර, එහිදී මහින්ද කබ්රාල්ට කියා තිබුණේ මෙවර අය වැය ඉදිරිපත් කිරීම ඇතැම් විට කබ්රාල්ට සිදුකිරීමට සිදුවනු ඇතැයි කියාය. ඊට හේතුව කුමක්ද යන්න ඒ මොහොතේ මහින්ද කබ්රාල්ට නොකීවත් කබ්රාල් සූදානම් වූයේ මෙවර අය වැය පාර්ලිමේන්තුවේදී කියැවීමටය. මෙම පුවත පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි අනාවරණය කිරීමටද කටයුතු කළෙමු.
කෙසේ වෙතත් මෙම තත්ත්වය වාර්තා වීමත් සමඟ බොහෝ දෙනා මහින්ද මුණගැසී කියා තිබුණේ මේ වන විට මහින්ද මුදල් අමාත්‍යවරයා වශයෙන් අය වැය දහයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එසේ අය වැය පාර්ලිමේන්තුවට වැඩිම වාරයක් ඉදිරිපත් කිරීමේ වාර්තාව සතු කරගෙන ඇත්තේ හිටපු මුදල් අමාත්‍යවරයෙක් වන රොනීද මැල් මහතා බවත්ය. ඒ හේතුව නිසා මෙවර අය වැය මහින්ද විසින් ඉදිරිපත් කළහොත් එකොළොස් වතාවක් අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ වාර්තාවේ සම අයිතිකරුවකු වීමට මහින්දටද හැකිවන බව ඔවුහු පෙන්වා දී සිටියහ. ඒ අනුව අවසානයේදී මහින්දද මෙවර අය වැය තමන් විසින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කළේය.
අයවැය පිටු 58ක්
ඒ අනුව ඉකුත් සඳුදා (16දා) මහින්ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය. ඊට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුද සහභාගිව සිටියහ. එහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විසින් පෙන්වා දී තිබුණේ මෙවර අය වැය සකස් කර ඇති ආකාරය අනුව එය පිටු 58කින් සමන්විත වන බවත්, එම අය වැය සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පැය දෙකක පමණ කාලයක් ගත වනු ඇති බවත්ය. ඒ අනුව සාකච්ඡාවේදී මහින්ද ඔවුන්ට පෙන්වා දුන්නේ තවත් හැකි තරම් එම අය වැය සාරාංශගත කරන ලෙසටය. නමුත් එසේ අය වැය කතාව තවත් සාරාංශගත කිරීමට ගියහොත් එහි සමස්තයට හානි විය හැකි බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු මහින්දට පෙන්වා දුන්හ. ඒ අනුව අවසානයේදී මහින්දද කිසිදු සංශෝධනයකින් තොරව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එකඟතාව පළ කළේය.
21 වන පිටුවේදී තේ බොන්න නවත්වයි
කෙසේ වෙතත් අඟහරුවාදා (17දා) මහින්ද අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී විපක්ෂයේ කිසිදු මන්ත්‍රිවරයකුගෙන් ඊට වචනයකින් හෝ බාධාවක් එල්ල නොවීම විශේෂ සිදුවීමක් විය. පිටු 58කින් යුත් අය වැය ලේඛනය කියවාගෙන යද්දී හරියටම 21 වැනි පිටුව කියවා අවසන් වීමත් සමඟ මහින්ද තමන්ට කෙටි විවේකයක් අවශ්‍ය බව කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව කතානායකවරයාද තේ පානය සඳහා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට කටයුතු කළේය.
කේක් ගෙඩි දෙකක් කපයි
එම විවේකය ලැබීමත් සමඟ මහින්ද කෙළින්ම ගියේ පාර්ලිමේන්තුවේ ඇති තමන්ගේ නිල කාමරයටය. මහින්ද එසේ යද්දී මහින්දගේ නිල කාමරයේ විශේෂ කේක් ගෙඩි දෙකක් සූදානම් කර තැබීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු කටයුතු කර තිබිණ. ඒ එදිනට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් දෙදෙනකු වන ප්‍රේමනාත් සී. දොලේවත්තගේත්, වීරසිංහ වීරසුමනගේත් උපන් දින නිමිත්තෙන්ය. එම කේක් ගෙඩි දෙක කපා ඔවුන්ට සුබ පැතීමෙන් පසු නැවැතත් මහින්ද පාර්ලිමේන්තු සභාගැබට පැමිණ අය වැය ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.
37 වැනි පිටුවේදී අසුන් ගනී
එසේ ආරම්භ කර 37 වැනි පිටුව කියවද්දී ස්ථාවර නියෝග අනුව මහින්ද කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේ තමාට අසුන්ගෙන අය වැය ඉදිරිපත් කිරීමට ඉඩ ලබාදෙන්න යැයි කියාය. කතානායකවරයා ඊට එකඟතාව පළ කිරීමෙන් පසු මහින්ද 37 වැනි පිටුවේ සිට 56 වැනි පිටුව දක්වා තම ආසනයේ අසුන්ගෙන අය වැය කතාව ඉදිරිපත් කළේය. අනතුරුව නැවැතත් නැඟී සිට 57 වන සහ 58 වැනි පිටු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අය වැය කතාව අවසන් කිරීමට මහින්ද පියවර ගත්තේ 11 වතාවක් අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා ලෙස රොනීගේ වාර්තාව සම කරමින්ය.
අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් තේපැන් සංග්‍රහයක් පැවැත්වුණද මෙවර එය තානාපතිවරුන්ට පමණක් සීමා කර තිබූ බව පළමුවරට අපි ‘මව්රට’ වෙබ් අඩවිය ඔස්සේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු. නමුත් එහිදී දැකගන්නට ලැබුණු එක් සිදුවීමක් වූයේ අගමැතිවරයා මෙන්ම විපක්ෂ නායකවරයාද එම තේපැන් සංග්‍රහයට සහභාගි නොවීමය. ඒ සම්බන්ධයෙන් යම් කසුකුසුවක් පාර්ලිමේන්තුව ඇතුළේ ගියත් මහින්ද ඊට සහභාගි නොවුණේ සිය කාර්යාලයේ පෙර කී මන්ත්‍රිවරුන් දෙදෙනාගේ උපන් දින කේක් ගෙඩි කැපීමට සූදානම් කර තිබීම නිසාය. සජිත් ඊට සහභාගි නොවුණේ කමිටු ශාලා අංක 01 සිය පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම සූදානම් කර තිබීම නිසාය.
සජිත්ගෙන් මන්ත්‍රීවරුන්ට ගිය නියෝගය
ඒ අනුව සමඟි ජන බලවේගයේ රැස්වීම සජිත්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර මුලින්ම සජිත් මන්ත්‍රිවරුන්ට දැඩිව කියා සිටියේ අය වැය විවාදයට සහභාගි වීමේදී කිසිදු මන්ත්‍රිවරයකු හෝ මුදල් අමාත්‍යවරයා වශයෙන් මහින්ද අසුන්ගෙන අය වැය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කිසිදු වචනයක් සඳහන් නොකළ යුතු යැයි කියාය. ඒ සම්බන්ධයෙන් උසුළු විසිලු කිරීම හෝ අපහාස කිරීමට සූදානම් නොවන ලෙසත්, එය ස්වාභාවික සිදුවීමක් බවත් මන්ත්‍රිවරුන්ට පෙන්වා දුන් සජිත් ඇතැම් විට හෙට දිනයේ තමන්ට හෝ මෙහි සිටින ඕනෑම මන්ත්‍රිවරයකුට ඊට මුහුණදීමට සිදුවනු ඇති බවද කියා සිටියේය. විපක්ෂයක් ලෙස එවැනි තත්ත්වයකට පත්විය යුතු නැති බවත්, අපහාස හෝ උපහාසවලින් තොරව දේශපාලනිකව පමණක් අය වැය විවේචනය කිරීමට පියවර ගන්නා ලෙසත් එහිදී සජිත් මන්ත්‍රිවරුන්ට දැඩිව කියා සිටියේය. සජිත්ගේ කතාව මන්ත්‍රිවරුද පිළිගත්හ.
ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අය වැය විවාදය ආරම්භ කිරීමටය. විපක්ෂ නායකවරයා ලෙස අය වැය සම්බන්ධ සජිත්ගේ ස්ථාවරය ඉදිරිපත් කිරීම සිකුරාදා දිනට යොදාගැණින.
ඩයනා ගැන තීන්දු 3ක්
මීට අමතරව මෙම කණ්ඩායම් රැස්වීමේදී විස්සට පක්ෂව ඡන්දය ලබා දුන් ඩයනා ගමගේ සම්බන්ධයෙන්ද තීන්දු තුනක් ගැනිණ. ඉන් පළමුවැන්න වූයේ ඩයනාව පක්ෂයෙන් නෙරපන ලිපිය නිකුත් කිරීමටය. දෙවැන්න වූයේ සමඟි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායමෙන් ඉවත් කොට ඩයනාට වෙනම ආසන පනවන ලෙස කතානායකවරයාට දැනුම්දීමටය. තුන්වැන්න වූයේ ඩයනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටය.
අරවින්ද් හොල්මන් වෙයි
මේ අතර ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමද එදින පාර්ලිමේන්තුවේ පැවැති අතර විශේෂ පුද්ගලයන් දෙදෙනෙක් ඊට එක්ව සිටියහ. ඒ දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ සිට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙමින් ආණ්ඩුවට එක්වූ අරවින්ද් කුමාර් සහ සමඟි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක්වූ ඩයනා ගමගේය. මේ දෙදෙනා ආණ්ඩුවේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට එක්ව සිටින බව ආරම්භයේදීම ප්‍රකාශ වීමත් සමඟ සියලුම මැති ඇමැතිවරු අත්පුඩි ගසා ඔවුන් දෙදෙනා පිළිගැනීමට කටයුතු කළහ. එමෙන්ම එදිනට අරවින්ද්ගේ උපන් දිනය යෙදී තිබීම හේතුවෙන් විශේෂ උපන් දින කේක් ගෙඩියක් කපා ඔහුට සුබ පැතීමටද අගමැතිවරයා පියවර ගෙන තිබිණ. එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව දේශපාලනය කළ පසුගිය අවුරුදු ගණනාව පුරාම මෙවැනි පිළිගැනීමක් නොලැබීම හේතුවෙන් අරවින්ද් මේ උණුසුම් පිළිගැනීම දෙස බලා සිටියේ පුදුමයෙන් යුක්තවය.
“සර්… මම අවුරුදු ගණනාවක් යූ.ඇන්.පී. එකත් එක්ක දේශපාලනය කරල තියෙනවා. හැබැයි කවදාවත් මේ වගේ පිළිගැනීමක් ඒ අය අපිට දීල නෑ. මේකට බොහොම ස්තුතියි…” යනුවෙන් අරවින්ද් කියා සිටියේ බොහෝ හැඟීම්බරවය.
මෙහිදී පාර්ලිමේන්තුවේ එදිනෙදා කටයුතු සාකච්ඡා කිරීමෙන් අනතුරුව බන්දුල කියා සිටියේ තමන් දිස්ත්‍රික් මට්ටමින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට සාකච්ඡා කොට ඇති බවත්, ඊට අය වැයෙන් මුදල් වෙන් කළ යුතු බවත්ය.
ඉන් අනතුරුව අදහස් දැක්වීම ආරම්භ කළ සුරේන් රාඝවන් ආණ්ඩුව රට පුරා විශ්වවිද්‍යාල ඇති කිරීමට යෝජනා කළත්, උතුරු-නැඟෙනහිර ප්‍රදේශවලට එක විශ්වවිද්‍යාලයක් හෝ ලබාදීමට පියවර ගෙන නොමැති බවට චෝදනාවක් එල්ල කළේය. නමුත් ඊට පිළිතුරු දෙමින් මහින්ද කියා සිටියේ ප්‍රදේශ වශයෙන් එය වෙන් කර නොමැති බවත්, එම ප්‍රදේශවලටද විශ්වවිද්‍යාල ලබාදීමට කටයුතු කළ හැකි බවත්ය.
ජනක අවුරුදු 15කින් නොකළ දෙයක් කරයි
කෙසේ වෙතත් මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව එක් කැබිනට් අමාත්‍යවරයකු ඉකුත් අවුරුදු 15ටම නොකළ කටයුත්තක් සිදුකිරීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය. ඒ ඇමැතිවරයා වෙන කවුරුවත් නොව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාය. ඉකුත් අවුරුදු 15 පුරාම ජනක කිසිදු දිනෙක පාර්ලිමේන්තු භෝජනාගාරයට අඩිය තබා තිබුණේ නැත. පාර්ලිමේන්තු ආ සෑම දිනකම ජනක සිය දිවා ආහාරය ලබාගැනීම සඳහා නිවසට ගියේය. නමුත් එදින ජනක කවදාවත් නැතිව පාර්ලිමේන්තු භෝජනාගාරයට ගියේ සිය පුතා වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිතගේ ඉල්ලීමකට අනුවය. ප්‍රමිත සිය පියාගෙන් ඉල්ලීමක් කරමින් අදට පමණක් තමන් සමඟ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තේ එකක් බොන්න එන ලෙසට කළ ආරාධනය ඉවත දැමීමට ජනකට නොහැකි විය. ඒ අනුව ජනක ප්‍රමිත සමඟ පාර්ලිමේන්තු භෝජනාගාරයට ඇතුළු වෙද්දී එහි සිටි මැති ඇමැතිවරුන් සියල්ලම පුදුමයට පත්වන ආකාරයක් දැකගත හැකි විය. එය වඩාත් හොඳින් දැකගන්නට ලැබුණේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවා ජනක ළඟට පැමිණ ඒ පිළිබඳව විමසීම හේතුකොටගෙනය.
“මේ පුතාගෙ වදෙන් බේරෙන්න බැරි නිසා ආවා…” යැයි සිනාසෙමින් කියමින් ජනක ඒ සියල්ලන්ටම පිළිතුරු දෙනු දැකගත හැකි විය.
මහින්දගෙන් කේක් වාර්තාවක්
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වැනි උපන් දිනය යෙදී තිබුණේ පසුගිය බදාදා (18දා) දිනය. එදින උදෑසනම මහින්ද සුපුරුදු පරිදි ගියේ සිය පළමු මුණුපුරා වූ නිර්වාන් රාජපක්ෂ බැලීම සඳහා රෝහිත රාජපක්ෂගේ නිවසටය. ඒ යන විටදීත් රෝහිත සිය පියා වෙනුවෙන් උපන් දින කේක් ගෙඩියක් සූදානම් කොට තිබිණ. ඒ අනුව මහින්ද සිය පළමු උපන් දින කේක් එක කැපුවේ සිය මුණුපුරා තුරුලට ගෙනය.
ඉන් අනතුරුව මහින්ද වෙනුවෙන් විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී තවත් උපන් දින කේක් ගෙඩියක් සූදානම් කොට තිබිණි. නෙලුම් කුළුණේ හැඩය සහිතව සකස් කර තිබූ මෙම කේක් ගෙඩිය කපන අවස්ථාවට පවුලේ හිතමිත්‍රාදීන් මෙන්ම හිතවතුන් රැසක්ද එක්ව සිටියහ.
ඉන් අනතුරුව මහින්ද අය වැය විවාදයට සහභාගි වීම සඳහා පාර්ලිමේන්තුවට යද්දී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අගමැතිවරයාගේ නිල කාර්යාලයේ තවත් කේක් ගෙඩියක් සූදානම් කොට තිබිණ. ඒ එදින මහින්ද කැපූ තුන්වන උපන් දින කේක් ගෙඩිය විය. එම අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන් සහභාගි වී සිටීම නිසා අය වැය විවාදය විපක්ෂයේ මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා විසින් ආරම්භ කරන විට ආණ්ඩු පක්ෂයෙන් සභාගැබේ සිටියේ දෙදෙනෙක් පමණි. ඒ, ඇමැති රංජිත් සියඹලාපිටියත්, තවත් එක් මන්ත්‍රිවරයෙකුත් පමණි.
සියලු රාජපක්ෂවරුන් යළි තීරණාත්මක සාකච්ජාවක
කෙසේ වෙතත් බදාදා රාත්‍රියේ තවත් විශේෂ උත්සවයක් විජේරාම නිල නිවසේ සංවිධාන කර තිබිණ. ඊට ආරාධනා ලැබූ තිබුණේ රාජපක්ෂ පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ උදවියට පමණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල්, ශෂින්ද්‍ර, රෝහිත, යෝෂිත, නිපුණ රණවක ඇතුළු පිරිසක් ඊට සහභාගිව සිටියහ. මෙහි ඇති විශේෂත්වය වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පවුලේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරා ගැනීම සඳහා පැලවත්තේ පිහිටි චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමින්ද්‍ර රාජපක්ෂ මහතාගේ නිවසේ පැවැති සාකච්ඡාවෙන් පසුව සියලුම රාජපක්ෂවරුන් එකතු වූ පළමු හමුව ලෙස මෙය වාර්තා වීමය. මෙහිදී මහින්ද වෙනුවෙන් තවත් කේක් ගෙඩියක් සූදානම් කර තිබූ අතර එය එදින මහින්ද කැපූ සිව්වන කේක් ගෙඩිය විය.
මෙම සාකච්ඡාවේදි එදා වගේම රාජපක්ෂ පවුල ඇතුළේ ඉතා වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගනු ලැබිණ. ඉන් සමහරක් තීන්දු රාජ්‍ය රහස් තීරයට වාර්තා වූ නමුත් ඇතැම් තීන්දු සම්බන්ධයෙන් තවමත් කිසිදු තොරතුරක් වාර්තා වී නැත. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී මහින්ද ගෝඨාභයගෙන් එක් ඉල්ලීමක් කළේය. ඒ, නිතරම පාර්ලිමේන්තු පැමිණ මන්ත්‍රිවරුන් සමග සුහදතාවය ගොඩනඟා ගන්නා ලෙසටය. ජනාධිපතිවරයාද එම ඉල්ලීම පිළිගත් ආකාරයක් දැකගන්නට ලැබුණේ ඊට පසු දිනම පාර්ලිමේන්තුවට පැමිණීමට තීන්දු කිරීම හරහාය.
ජනපති පළමුවරට සභාවට එයි
බ්‍රහස්පතින්දා දිනයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු එද්දී ඔහුව පිළිගැනීමට පෙරමඟට පැමිණියේ වෙන කවුරුවත් නොව මහින්දය. ඒ අනුව ජනාධිපතිවරයා පිළිගත් මහින්ද කෙළින්ම ඔහුව රැගෙන ගියේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කාර්යාලයටය. ඒ වන විට ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා මැති ඇමැතිවරුන් විශාල පිරිසක්ද එම කාර්යාලයට පැමිණ තිබූ බවත් දැකගත හැකි විය.
කෙසේ වෙතත් මීට පෙර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පැමිණි ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයක් මෙදින දැකගත හැකි විය. ඒ, ජනාධිපතිවරයා සම්පූර්ණ යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසී පැමිණ තිබීම නිසාය. 20 සම්මත කරගත් අවස්ථාවේ සභාගැබට යෑමට නියමිතව සිටියත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ආවේ තමන්ට සුපුරුදු අත්කොට කමිසයකින් සැරසී සිටීම නිසා සභා ගර්භයට යෑමට අවස්ථාව සැලසුණේ නැත. එමනිසා මෙවර යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසී පැමිණි ජනාධිපතිවරයා සුළු වේලාවක් සිය කාර්යාලයේ සිට අගමැතිවරයා සමඟ පාර්ලිමේන්තු සභා ගැබට යෑමට කටයුතු කළේය.
සබා ගැබේ වාර්තාවක්
මෙම අවස්ථාවේ තවත් එක් විශේෂ සිදුවීමක් පාර්ලිමේන්තු සභා ගැබෙන් දැකගන්නට ලැබිණ. ඒ, වත්මන් ජනාධිපතිවරයා සමඟ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකුම ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු සභාගැබේ අසුන්ගෙන තිබීමය. ඒ වෙන කවුරුවත් නොව අගමැති මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත්ය. මහින්ද නම් දැන් අගමැති වුවත් මෛත්‍රි නම් තවම සභාගැබේ සිටින්නේ නිකම්ම නිකම් මන්ත්‍රිවරයකු ලෙසය.
දවල් කෑමට ගියේ ඩග්ලස් එක්ක
කෙසේ වෙතත් පසුව ජනාධිපතිවරයා සභාගැබෙන් නික්ම කෙළින්ම ගියේ දිවා ආහාරය ලබාගැනීම සඳහා මන්ත්‍රි භෝජනාගාරය වෙතය. ජනාධිපතිවරයා සමඟ එම ගමනට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාද එක්ව සිටිනු දැකගත හැකි විය.
ජනාධිපතිවරයා මෙසේ භෝජනාගාරයට එන අතරවාරයේ මන්ත්‍රි භෝජනාගාරයේ තවත් විශේෂ සාකච්ඡාවක් සිදුවෙමින් තිබිණ. ඒ, අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා අතරය. ඊට පෙර ජනාධිපතිවරයා ටී.එන්.ඒ. මන්ත්‍රි ශානක්‍ය රාසමාණික්කම් සමඟ සබඳතාවක් ගොඩනඟාගෙන තිබුණු බැවින් මහින්ද හා සුමන්තිරන් අතර සිදුවෙමින් තිබුණේ එහි පසු සාකච්ඡාවක්ය.
මහින්ද සුමන්තිරන්ට දැල එළයි
මෙහිදී මුලින්ම මහින්ද අසලට පැමිණි සුමන්තිරන් ඔහුගේ මේසයේම අසුන් ගනිමින් මහින්දට උපන් දින සුබපැතුම් එක්කර සිටීමට පියවර ගත්තේය. ඉන්පසුව කතාව ආරම්භ කළේ මහින්දය.
“දැන් අපි එකට වැඩ කරන්න ඕන කාලේ සුමන්තිරන්. කෝ ඉතින් ඕගොල්ලො එන්නෙ නෑනෙ අපිත් එක්ක සාකච්ඡා කරන්න…” යනුවෙන් මහින්ද කියද්දී සුමන්තිරන් කීවේ “ඔව්… අපිටත් ඒක දැනගන්න ලැබුණා. අපි ඉස්සරහදී මේ සාකච්ඡා ගැන සලකා බලන්නම්…” යැයි කියාය. නමුත් මහින්දද අතෑරියේ නැත. මහින්ද යළිත් කීවේ “ආයේ ඉතින් සලකා බලන්න දෙයක් නෑ. අපි ඉක්මනටම හම්බුවෙලා කතා කරමු…” යැයි කියාය.
ජනාධිපතිවරයා ඩග්ලස් සමඟ මහින්ද ආහාර ගනිමින් සිටි මේසය වෙත ආවේ ඒත් සමඟමය. ජනාධිපතිවරයා දුටු සැණින් මහින්ද සුමන්තිරන්ට කීවේ “ආ… මෙන්න දැන් ජනාධිපතිතුමාත් මෙතැනට ආවනෙ. ඔය දෙන්නා මේක ගැන කතා කරගන්න…” යැයි කියාය.
එවිට ජනාධිපතිවරයාද සිනාසෙමින් කියා සිටියේ අපූරු කතාවකි.
ජනපති සුමන්තිරන්ට කියපු කතාව
“ඉතින් අපි ජනාධිපතිවරණයට කලින් ඉඳලම ඕගොල්ලන් එක්ක සාකච්ඡා වට කීපයක්ම පැවැත්වුවානෙ. ඒ වගේ අපි ඉස්සරහටත් හම්බවෙලා මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරමු…” යනුවෙන් ජනාධිපතිවරයා සිනාසෙමින් සුමන්තිරන්ට කියද්දී ඒ අසල සිටි ඩග්ලස් දේවානන්දගේ මුහුණ හැකිලී යනු අවට සිටි සියල්ලන්ම දුටුවේය. මන්ද උතුරේ දේශපාලනයේදී ඩග්ලස් හා සුමන්තිරන්ලා යනු දේශපාලන පසමිතුරන්ය. එසේ තිබියදී සුමන්තිරන්ලා ආණ්ඩුව සඳහා සාකච්ඡා පැවැත්වීම ඩග්ලස්ලාගේ සතුටට හේතු නොවීම මීට හේතුවය.
ඩග්ලස්ගේ මූණ දෙක වෙයි
ඩග්ලස්ගේ මෙම වෙනස මහින්දටද නොදැනුණා නොවේ. ඒ අනුව ඉතාම රාජ්‍යතාන්ත්‍රික ලෙස සාකච්ඡාව අවසන් කරමින් මහින්ද කියා සිටියේ “එහෙනම් අපි පස්සෙ වෙලාවක දිනයක් වේලාවක් දාගෙන උතුරේ ප්‍රශ්න ගැන කතා කරමුකො සුමන්තිරන්…” යැයි කියාය.
පසුව ජනාධිපතිවරයා මහින්ද සහ මන්ත්‍රීවරුන් සමග එක්ව දිවා ආහාරයද ගෙන පාර්ලිමේන්තුවෙන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.
කපිල පුංචිමාන්නගේ