“ගම සමග පිළිසඳර” සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) දින බලංගොඩ, ඉඹුල්පේ රාවණාකන්ද ගමට පැමිණියේය.
ජනාධිපතිතුමා සහභාගී වූ “ගම සමග පිළිසඳර” තෙවන වැඩසටහන මෙයයි.
පළමුවැන්න සැප්තැම්බර් මාසයේ, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ දෙවැන්න ඔක්තෝබර් මාසයේ දී මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව පැවැත්විණ.
ග්‍රාමීය ජනතාවගේ දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති ගැටළු පිළිබඳව ඔවුන් සමග කථා බහ කර, ඒවා නිලධාරීන්ට ඉදිරිපත් කර කඩිනම් විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වේ.
දිවයිනේ අති දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව මුණ ගැසී ඔවුන්ගේ ගැටළු නිවැරදිව හඳුනා ගැනීම තවත් අරමුණකි.අද (18) පිළිසඳර රාවණාකන්ද ග්‍රාමයේ, තෝරවෙල්කන්ද විද්‍යාලයීය ක්‍රීඩා භූමියේ දී පැවැත්විණ.
රත්නපුර දිස්ත්‍රික්කයේ එක් කෙළවරක, නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම්ව බලංගොඩ, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් රාවණාකන්ද ග්‍රාමය පිහිටා තිබේ.
රාවණාකන්ද ග්‍රාමයට ආසන්න කට්ටඩිකන්ද, ගල්ලෙනකන්ද සහ තෝරවෙල් කන්ද ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක ගම්මු ජනාධිපතිතුමා හමු වී දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට තෝරවෙල් කන්ද විද්‍යාලයට පැමිණ සිටියහ.
ප්‍රතිසංස්කරණය කරණ ලද තෝරවෙල්කන්ද විද්‍යාලයේ ගොඩනැගිල්ලක් වැඩසටහන ආරම්භයේදී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.













