“ශ්‍රී ලංකාව චීනයේ සුවිශේෂ මිතුරෙක්. දෙරට අතර ඇත්තේ දිගු කාලීන අඛණ්ඩ සුහද සබඳතාවක්. මෑතක අප කොවිඩ්-19 ආපදාවට මුහුණ දුන් විට ඔබ අප සමග සිටියා. කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහාය දෙන්න චීනය සූදානම්”, ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා ඊයේ (29) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට දැනුම් දී තිබේ.
ඊයේ සවස ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදුවිය.
ජනාධිපතිවරයා සමග සුහද සාකච්ඡාවක නිරත වූ වැඩබලන තානාපතිවරයා චීන කියමනක් උපුටා දක්වමින් “සැබෑ මිත්‍රත්වය සැපතේදීත්, විපතේදීත් එකට සිටීමයි” යනුවෙන් සදහන් කර තිබේ.
ශ්‍රී ලංකාව තම රට අරබයා අනුගමනය කළ එකී පිළිවෙත ගැන තම රජයත්, ජනතාවත් කෘතඥවන බව පවසා ඇති චීන තානාපතිවරයා එබැවින් ශ්‍රී ලංකාවේ අනාගත අභියෝග ජය ගැනීම සඳහා උපකාර කිරීම චීනයේ අපේක්ෂාව බවද අවධාරණය කර ඇත.
පශ්චාත් කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීමට චීන මධ්‍යම ආණ්ඩුවේ සහයෝගය මෙන්ම එරට ප්‍රධාන පෙළේ සමාගම් සහ බැංකුවල ද සහභාගීත්වය ලැබෙනු ඇතැයි හූ වෙයි මහතා සඳහන් කර ඇත.
රබර් – සහල් ගිවිසුම සමයේ සිට චීනය ශ්‍රී ලංකාවට දුන් සහයෝගය හා ගැටුම පැවති අවධියේත්, ගැටුම නිමාවී ආර්ථික සංවර්ධනය ආරම්භ කළ විටත් චිනයෙන් ඉමහත් සහයෝගයක් ලැබුණුු බව ජනාධිපතිවරයා සිහිපත් කර තිබේ.
කොවිඩ්-19 වසංගතය ගෝලීය ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද බෙහෙවින් හානිකර ප්‍රතිඵල උදාකර ඇති බව සහ විදේශ විනිමය ආදායම් විශාල ලෙස පහත වැටීම ප්‍රධාන ගැටලුවක් බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා ලෝක ආර්ථිකය අඩාලවීම නිසා ඇගළුම් කර්මාන්තයෙන් සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම අහිමි වී ගොස් ඇති බවත්, ආර්ථික පසුබැසීම යථා තත්ත්වයට පත්වීමට තව කල් ගතවිය හැකි බවත් සදහන් කර තිබේ.
ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් මත පදනම් වූ නව සංවර්ධන මාදිලියක් අනුගමනය කිරීම සඳහා මිතුරු රටවල උදව් අපේක්ෂා කරන බව මෙන්ම අපේ එකම අපේක්ෂාව ණය හෝ මූල්‍යාධාර ලබා ගැනීමට එහා ගිය නිෂ්පාදන වර්ධනයට දායක වන ආයෝජන ගෙන්වා ගැනීම බවද ජනාධිපතිවරයා චීන තානාපතිවරයාට පෙන්වා දී ඇත.
කෘෂිකාර්මික නිෂ්පාදන සහ ඉදිකිරීම් ක්ෂේත්රය වැනි අංශ ගණනාවක විදේශ ආයෝජනයට හිතකර ඉඩ ප්රස්ථා බහුල බවත් ඉන් ප්‍රයෝජන ගන්නා ලෙසට ජනාධිපතිවරයා චීනය ඇතුළු රටවලට ආරාධනා කරන බවද දැනුම් දී ඇත.
කොවිඩ් 19 ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ගැන වැඩබලන චීන තානාපතිවරයා විමසා සිටි අතර සමස්තයක් ලෙස ගත් කල රෝග ව්‍යාප්තිය පාලනය වී ඇතත් ගත වූ දෙතුන් දින තුළ රෝගීන් සංඛ්‍යාවේ හදිසි වැඩිවීමට හේතු සහ ඉන් උගත් පාඩම පිළිබඳව සාකච්ඡාවක්ද ඇති වී තිබේ.
“ජනාධිපතිතුමනි අප ඔබ සමගයි” යනුවෙන් වැඩබලන චීන තානාපතිවරයා සුහද කථා බහ අවසානයේ දී පවසා ඇත.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානි ලූඕ මහතා ද සාකච්ඡාවට එක්ව සිටියහ.












