පුංචි ජන්දය වෙනුවට උතුරු නැගෙනහිරට විතරක් පළාත් සභා!
දෙමළ පක්ෂවලට රනිල් ගහන්න යන ගේම තේරෙයි!
නාමල්ට බැසිල්ගෙන් දේශපාලන ටොක්කක්!
රාජිතට දෙනවා නම් ජොනීට-රෝහිතටත් ඇමැතිකම් දෙන්න!
ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩුව!
පළාත් පාලන මැතිවරණය ව්‍යවස්ථාවට අනුව ලබන මාර්තු මාසයට පෙරාතුව පවත්වා අවසන් විය යුතුව තිබුණද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව මුල සිටම සැලසුම් කර තිබුණේ කෙසේ හෝ මැතිවරණය නොපවත්වා එය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආකාරයටම තවත් වසරකින් හෝ වසර කිහිපයකින් කල්දමා ගැනීමටය. ඒ අනුව විවිධ උපක්‍රම ආණ්ඩුව පාර්ශ්වයෙන් ක්‍රියාවට නැංවිණි. පළමු උපක්‍රමය වූයේ අලුත් සීමානිර්ණ කමිටුවක් පත්කොට යළිත් සීමා නිර්ණ කිරීමට අවශ්‍ය බව පවසමින් මැතිවරණය යම් කාලසීමාවකට කල්දමා ගැනීමය. ආණ්ඩුවේ මෙම උත්සාහය එළියට පැන්නේ USAID ආයතනයේ ප්‍රධාන පරිපාලක සමන්තා පවර් ලංකාවට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදීය. අනතුරුව එජාප වෘත්තීයවේදීන් සමග පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කියා සිටියේ පළාත් පාලන ආයතනවල සභිකයන් සංඛ්‍යාව අටදහසේ සිට හාරදහස දක්වා අඩු කළ යුතු බවත්, ආයතන සභාපතිවරුන් සතුව පවතින බලතල විමධ්‍යගත කොට කමිටුවකට එම බලය පැවරිය යුතු බවත්ය. අවශ්‍ය නම් මේ සඳහා ජනමත විචාරණයකට යෑමට පවා ආණ්ඩුව සූදානම් බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය. ඔවුන්ගේ සැලැස්ම වී තිබුණේ විපක්ෂයට අධිකරණයට යෑමෙ ඉඩ අහුරමින් මෙම කටයුත්ත සිදුකිරීමටය.
දෙවන ගේම කරු-වික්ටර් හරහා!
දෙවැනි වටයේදී ඡන්ද කල්දැමීමේ සැලසුමේ තවත් පියවරක් ඉදිරියට තබමින් ආණ්ඩුව අලුතින්ම චරිතයක් කරළියට අරගෙන ආවේය. ඒ, හිටපු කතානායක කරු ජයසූරිය සහ සිවිල් ක්‍රියාකාරිකයකු වූ වික්ටර් අයිවන්ය. ඒ අනුව කරු සහ වික්ටර්ව කැබිනට් මණ්ඩල රැස්වීමට පවා රැගෙන ආ ජනාධිපතිවරයා ඔවුන් ලවා ජනසභා ක්‍රමය පිළිබඳ කැබිනට් ඇමැතිවරුන්ට දේශන පැවැත්වීමටද පියවර ගෙන තිබිණි. එහිදී ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබුණේ ප්‍රාදේශීය සභා ක්‍රමය වෙනුවට ජනසභා ස්ථාපිත කරන බව කියමින් මැතිවරණය කල්දැමීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමය. නමුත් එයද එතරම් සාර්ථක වූ බවක් දැකගන්නට නොලැබිණි.
හිටපු මැකොවත් අරන් එයි!
ඒ අනුව ජනාධිපතිවරයා තවත් අලුත්ම චරිතයක් කරළියට රැගෙන එමින් පුංචි ඡන්දය කල්දමා ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කරගැනීමට තවත් උත්සාහයක් දැරූ ආකාරයක් දැකගත හැකි විය. එවර ජනාධිපතිවරයා තෝරාගෙන තිබුණේ මැතිවරණ ක්‍රමය පිළිබඳ හසල අත්දැකීම් සහිත පුද්ගලයකු වූ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාය. මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් යුත් නව සීමා නිර්ණ කමිටුවක් පත්කොට සියලු පක්ෂ සමග සාකච්ඡා පැවැත්වීමට අවස්ථාව ලබාදී පුංචි ඡන්දය පැවැත්වීම කල් දැමීමට අවශ්‍ය කාලවේලාව ලබාගැනීම මෙහිදී ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබිණි.
සජිත් පටන් ගනී! විපක්ෂයම මහින්දට පහර දෙයි!
කෙසේ වෙතත් ආණ්ඩුව මේ ආකාරයට ඡන්ද කල්දැමීමට සැලසුම් සකස් කරද්දී විපක්ෂය නිකම් සිටියේ නැත. සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ සියලු පක්ෂ ඇතැම් අවස්ථාවල ඒකාබද්ධව සහ ඇතැම් අවස්ථාවල තනි තනිව මෙම වෑයමට එරෙහිව කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන් සමගි ජන බලවේගය ආරම්භයේ සිටම ආණ්ඩුවේ ඡන්ද කල්දැමීමේ උත්සාහයට එරෙහිව පාර්ලිමේන්තුව තුළත්, පාර්ලිමේන්තුවෙන් පිටතත්, අධිකරණය තුළත් ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය. අවසන් වතාවට මහින්ද දේශප්‍රිය රැගෙන එමින් ආණ්ඩුව ඡන්ද කල්දැමීමට ගන්නා උත්සාහයට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේම ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේ ඒ අනුවය. ඉන් අනතුරුව විපක්ෂයේ සියලු පක්ෂ මහින්ද දේශප්‍රියට පහර පිට පහර එල්ල කරද්දී මාධ්‍ය හමුවේ මහින්ද දේශප්‍රිය විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම කමිටුවේ වැඩකටයුතු හේතුවෙන් මැතිවරණ්‍ය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවත්, මැතිවරණය නිසි කලට පැවැත්විය හැකි බවත්ය. මහින්දගේ එම ප්‍රකාශයත් සමග ආණ්ඩුවේ ඡන්ද කල්දැමීමේ එම උත්සාහයද ලත් තැනම ලොප් විය.
ව්‍යවස්ථාදායක සභාවෙත් අවුලක්!
මේ ආකාරයට ඡන්දය කල්දැමීම සඳහා ගැසූ තුරුම්පු එකින් එක බිඳවැටෙද්දී ආණ්ඩුව තවත් සැලසුමක් දියත් කළ ආකාරයක් පසුගිය සති කිහිපයේදී දැකගන්නට ලැබිණි. ඒ, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග වහාම ව්‍යවස්ථාදායක සභාව පත්කොට ඒ හරහා අලුතෙන් කොමිෂන් සභා ස්ථාපිත කිරීමය. එහිදී දැනට ඍජුව කටයුතු කරන මැතිවරණ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ආයතනවලට නව සාමාජිකයන් පත්කොට තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු මෙහෙයවා ගැනීම ආණ්ඩුවේ සැලසුම වී තිබිණි. ඒ සඳහා කමිටුවේ පක්ෂ නායක හමු කිහිපයක්ම පැවැත්වීමටද ආණ්ඩුව කටයුතු කර තිබිණි.
සජිත් ගහපු තුරුම්පුව!
කෙසේ වෙතත් ආණ්ඩුවේ මේ සැලසුම් පිළිබඳ විපක්ෂයටද නොතේරුණා නොවේ. ඒ අනුව පැවැති පක්ෂ නායක රැස්වීම්වලදී විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් පෙන්වා දී තිබුණේ ව්‍යවස්ථාදායක සභාවට පත්කරන සිවිල් සංවිධාන පුරවැසියන් සුදුසුකම් සහිත, ස්වාධීන පුද්ගලයන් විය යුතු බැවින් ඒ සඳහා මහජනතාවගෙන් අයැදුම්පත් කැඳවා එම සාමාජිකයන් තෝරාගත යුතු බවය. ඒ සඳහා පුවත්පත් දැන්වීම් පළකොට සති 2ක කාලයක් ඊට ලබාදිය යුතු බවද සජිත්ගේ යෝජනාව විය. සජිත්ගේ එම යෝජනාවට කතානායක ඇතුළු සියලු පක්ෂ නායකයන් එකඟතාව පළකළ බැවින් කඩිමුඩියේ ව්‍යවස්ථාදායක සභාව පත්කොට ඒ හරහා කොමිෂන් සභාවලට නව සාමාජිකයන් පත්කොට ඡන්ද කල්දැමීමේ තුරුම්පුවද අවසන් විය.
පළාත් සභා ඉදිරියට අරන් එයි!
ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළමු වතාවට අනාවරණ කරන්නේ ඡන්දය කල්දැමීම සඳහා ආණ්ඩුව ගැසීමට යන අලුත්ම තුරුම්පුව පිළිබඳවය. මෙවර ජනාධිපතිවරයාගේ සැලසුම වී ඇත්තේ උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ උපයෝගී කරගෙන පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කරගැනීමය. ඒ අනුව ජනාධිපතිවරයා සැලසුම් කොට ඇත්තේ උතුරු නැගෙනහිර සියලු දෙමළ දේශපාලන පක්ෂ නායකයන්ට සාකච්ඡාවක් සඳහා ආරාධනා කොට දැනට වසර ගණනාවක් තිස්සේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය ඉදිරියට ගෙන පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමය. ඒ අනුව දැනටමත් සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස දෙමළ පක්ෂවලට ආරාධනා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට අවසානය.
උතුරු නැගෙනහිරට විතරක් ඡන්දය!
මෙම පළාත් සභා අතුරුදන් වූයේද එදා ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් කටයුතු කරද්දී රැගෙන ආ සීමා නිර්ණ ගැටලුවක් මුල් කරගෙනය. ඒ අනුව කල්දැමුණු පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් අද වන විටත් නිශ්චිත දිනයක් නොමැත. විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත් සභා අක්‍රීය කිරීම සම්බන්ධයෙන් පළාත් සභාවන්හි නිර්මාතෘවරයා වන ඉන්දියාවද මේ වන විට සිටින්නේ ආණ්ඩුව සමග දේශපාලන කහටක් හිතේ තියාගෙනය. ඒ අනුව එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු එකවර දඩයම් කිරීමේ අරමුණෙන් ආණ්ඩුවේ සැලසුම වී ඇත්තේ දෙමළ පක්ෂ සමග පවත්වන සාකච්ඡාවලදී උතුරු නැගෙනහිර පළාත් සභා දෙකට පමණක් ඡන්දය පවත්වා එම පළාත් දෙකෙහි පමණක් පළාත් සභා පිහිටුවීමටය. එහිදී දකුණේ ජනතාවට දීමට උත්තරයක්ද ආණ්ඩුව සකස් කරගෙන තිබේ. ඒ, ඉකුත් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මැතිවරණ කඩ කඩා පැවැත්වූ ආකාරයට පසුව රටේ අනෙකුත් පළාත් සභා පැවැත්වීමට පියවර ගන්නවා යැයි කියාය. ඒ හරහා එම පළාත්වල පමණක් නොව ලංකාවේම පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමත්, දකුණේ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි කිරීමත්, උතුරු නැගෙනහිර පළාත් සභා පිහිටුවීම හරහා ඉන්දියාවේ හොඳ හිත දිනාගැනීමත් ආණ්ඩුවේ සැලසුම වී ඇති බව පෙනෙන්නට තිබේ.
දෙමළ පක්ෂවලට ආණ්ඩුවේ වැඩේ තේරෙයි!
කෙසේ වෙතත් ආණ්ඩුවේ මෙම උප්පරවැට්ටිය පිළිබඳ උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ නායකයන්ට මේ වන විටත් ඉව වැටී අවසන්ය. ඒ අනුව සාකච්ඡා සඳහා ආරාධනා ලැබීමෙන් පසු උතුරේ දෙමළ පක්ෂ නායකයන් වූ ආර්. සම්බන්ධන්, සී.වී. විග්නේෂ්වරන් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් උතුරේ මාධ්‍ය වෙත පවසා ඇත්තේ ආණ්ඩුව නැවත වතාවක් දෙමළ ජනතාව රැවටීමකට ලක්කිරීමට සූදානම් වන බවකි. පසුගිය කාලයන්හීද ආණ්ඩුවට ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ ප්‍රශ්න මතුවෙද්දී සහ ඉන්දියාව සමග ගැටලු මතුවෙද්දී ඒවා විසඳා ගැනීමට දෙමළ පක්ෂ සමග ලෝකෙට පෙනෙන්නට සාකච්ඡා පවත්වන බවත්, පසුව ඒවා අමතක කර දමා ආණ්ඩුව කටයුතු කරන බවත් මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි දෙමළ පක්ෂ නායකයන් මෙවරත් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉන්දියාව සමග යම් යම් සාකච්ඡා ආරම්භ කර ඇති බැවින් ඔවුන්ට පෙන්වීම සඳහා සාකච්ඡා සඳහා ආරාධනා කර ඇති බවත් එහිදී මාධ්‍ය වෙත අවධාරණය කොට තිබේ. ඒ අනුව එම සාකච්ඡා ප්‍රතික්ෂේප කරන බවද ඔවුන් දැනටමත් ප්‍රකාශයට පත්කොට අවසන්ය. ඒ අනුව උතුරු නැගෙනහිර පළාත්වලට පමණක් පළාත් සභා මැතිවරණය පවත්වා ඒ හරහා පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමේ ආණ්ඩුවේ අලුත් උත්සාහයද මේ වන විට පවතින්නේ වැට උඩය.
විපක්ෂයම එකතු වෙයි!
ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණය කල් තැබීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බව සජිත් ඇතුළු සමගි ජන බලවේගය තේරුම් ගත්තේ මීට මාස කිහිපයකට පමණ පෙර සිටය.විශේෂයෙන්ම ජනාධිපතිවරයා පත් කිරීමේදී පොහොට්ටුව පාර්ශවය විසින් ඉදිරිපත් කොට තිබූ යෝජනාවක් වූයේ ආණ්ඩුව විසුරුවීම නොකළ යුතු බවය. කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු වුවත් එය පවා නොපැවැත්වෙන තැනට කටයුතු කිරීමට ආණ්ඩුව වග බලා ගනිමින් සිටින බවක් පෙනෙන්නට තිබුණි. ඒ නිසා සජිත් සිය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට උපදෙස් දී තිබුණේ මේ තත්ත්වයට විරුද්ධව වහාම ක්‍රියාත්මක විය යුතු බවය. ඒ අනුව පොදු විපක්ෂය එකට එක් වී මීට මුහුණ දිය යුතු බවත් වහාම නිසි පරිදි නිසි කලට මැතිවරණ ඉල්ලා සිටීමට ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගත යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස මුලින්ම ඩලස් පාර්ශවය විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් මුණගැසුණි.
ජී.එල්. කියපු කතාව!
”මේ ආණ්ඩුව හදන්නේ මැතිවරණය කල් දාන වැඩේට. ආණ්ඩුව මොන තරම් නෑ කීවත් ඇත්ත ඒක තමයි. මොකද ආණ්ඩුව දන්නව මේ වෙලාවේ මැතිවරණයක් තිබ්බොත් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා” සජිත් කීවේය. ”ඒක ඇත්ත, අනිත් එක මැතිවරණය කල් දාන්න කිසිම නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. මේ වෙලාවේ මේකට විරුද්ධව එකතු වෙන එක ඉතාම වැදගත්” ජී.එල් පීරිස් කීවේය.
අශෝකට-ඩිලාන්ට වැඩේ බාරදෙයි!
”විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ එක්ක මේ ගැන කතා කරමු. පොදු එකඟතාවයකට ඇවිල්ල ඇවිල්ල ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපයට විරුද්ධව මැතිවරණ කොමිසමට යමු” ඩලස් කීවේය. ”එක පැත්තකින් අපි ලියුමක් දෙමු. ඒ එක්කම අපි මැතිවරණයක් ඉල්ලලා අත්සන් ලේඛනයකුත් දෙමු.” සජිත් කීවේය. ඒ අනුව සෙසු පක්ෂ සමඟ කටයුත්ත සම්බන්ධීකරණය කිරීමට සමගි ජන බලවේගය අසෝක අබේසිංහත්,ඩලස් පාර්ශ්වයෙන් ඩිලාන් පෙරේරාත් නම් කරනු ලැබීය.
ශ්‍රීලනිපයටත් කතා කරයි!
ඒ මොහොතේම ක්‍රියාත්මක වූ එම දෙපළ මුලින්ම කතා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ය. ”එක මොහොතක් හරි මැතිවරණය කල් දානවට අපි විරුද්ධයි,එනිසා ආණ්ඩුවේ ඒ වැඩේට විරුද්ධ වෙන ඕනම කණ්ඩායමක් එක්ක අපි එකතුවෙනවා” ශ්‍රී ල නි පෙන් සුබවාදී පිළිතුරක් ලැබුණි.ද්‍රවිධ සන්ධානයෙන් ලැබුණේ ද එවැනිම ප්‍රතිචාරයකි. ඒ අනුව විපක්ෂය කණ්ඩායම සාමූහිකව තීන්දු කළේ වහාම නිසි කලට නිසි පරිදි මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් ලිවීමට ය. එය සඳහා නීතිඥ කණ්ඩායම්වලට උපදෙස් දුන් සජිත් සමගි ජන බලවේගය ඊට යොමු කළේ ජනාධිපති නීතිඥ ඉක්‍රාම් මොහොමඩ් ය. ඊට සමගාමීව මැතිවරණයක් ඉල්ලා මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිත යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටද සජිත්’ උපදෙස් දුන්නේ ය..
අයවැය කතාව අස්සේ අස්සන් ගනී! ආණ්ඩුව බයවෙයි!
ඒ අනුව ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරන අතරතුරදී’ අත්සන් එකතු කිරීමේ මෙහෙයුම ආරම්භ කොට තිබුණි. මේ මෙහෙයුම දුටු සැනින් ආණ්ඩු පක්ෂය බලවත් කුතුහලයටත් තිගැස්මටත් ලක්විය. අශෝක සහ ඩිලාන් දෙදෙනා මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කරන්නේ කුමකටද යන්න දැනගැනීමේ කුතුහලය ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනාට ඇති විය. කෙසේ වෙතත් ඒ වන විටත් අවශ්‍ය අත්සන් ප්‍රමාණය ලබාගැනීමට අශෝක සහ ඩිලාන් කටයුතු යොදා තිබුණි.
විපක්ෂයම මැතිවරණ කොමිසමේ!
ඊට පසුදා පිරිස මැතිවරණ කොමිෂන් සභාව වෙත පිටත් වූ අතර වෙන් වෙන්ව පැමිණි විපක්ෂයේ කණ්ඩායම් මැතිවරණ කොමිෂන් සභාවේ දී එකට එක්විය. මැතිවරණ කොමිෂන් සභාවේ දැන් තියෙන්නේ භාරකාර තත්වයක්.” යැයි මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙකු එසේ පැවසූ විට’ ඒ ප්‍රකාශය වැරදි බව සජිත් පැවසීය. රංජිත් මද්දුම බණ්ඩාර,අනුර යාපා,චන්දිම වීරක්කොඩි, ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර, සුමන්තිරන් ඇතුළු සියලු දෙනා ද සජිත් ගේ තර්කය අනුමත කළහ. ”දැන් පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවන්න පුළුවන් කවද්ද? ”මහලේකම් රංජිත් ඇසුවේය.
මැතිවරණ කොමිසම කියන දේ කරයිද?
”ජනවාරි දෙවෙනි සතියේ නාමයෝජනා කැදවීම කරන්න පුලුවන්” මැතිවරණ කොමිසමෙන් පැවසීය. ”නියමිත කාලයට මැතිවරණය තියෙනවද? එහෙම තියන්න පුළුවන්ද?” එහෙම ඇහුවේ සජිත් ය. ”නියමිත කලට මැතිවරණය තියෙනවා” මැතිවරණ කොමිෂන් සභාවේ පිළිතුර විය. ඉන් අනතුරුව නිසි කලට නිසි පරිදි මැතිවරණය මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා විපක්ෂයේ සියලු පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීම් ලිපිය විපක්ෂ නායක සජිත් විසින්’ භාර දුන්නේය.
අනුර යාපලාත් සජිත් ළඟට!
ආණ්ඩුව මේ ආකාරයට කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමට ගේම් ගසද්දී විපක්ෂය සිටින්නේ ආණ්ඩුවේ එම උත්සාහය ව්‍යර්ථ කොට ව්‍යවස්ථාවට අනුව නිශ්චිත කාලයට මැතිවරණය පවත්වා ගැනීම සඳහා වූ සටනක නිරත වෙමින්ය. ඒ අනුව පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන වූ කණ්ඩායමක් (14දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග සන්ධානගත වූහ. මුලින්ම එක්වූයේ අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්ය. රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට මෙලෙස එක්වීම පිළිබඳ සිය කෘතවේදීත්වය පිරිනමන බවත්, ඉදිරියේදී වඩාත් ශක්තිමත්ව සාමූහිකව, කටයුතු කිරීමට මේ එකමුතුව අතිශයින්ම වැදගත් බවත් සජිත්’ එහිදී පැවසීය. සෑහෙන කලක් කරන ලද සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස එක්වු බවත්, ඉදිරියේදී ප්‍රබල බලවේගයක් ලෙස සමගි ජන සන්ධානය ගොඩනගන්නට දායකත්වය ලබා දෙන බවත් එහිදී අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය.
ගෝඨා ගැන අපි කරපු හෙළිදරව්ව!
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් අප හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අලුත්ම තොරතුරක් වාර්තා කළෙමු. එහිදී අප අනාවරණ කළේ ගෝඨා ඇමෙරිකාවට යෑම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා වශයෙන් තමන් පත්කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කොට ඇති බවට ආණ්ඩුවට යෝජනා කර ඇති බවය.
අමෙරිකාවට යන්න විදි හොයයි!
ඉකුත් ජූලි 09 වැනිදා ඇතිවූ ජන අරගල හේතුවෙන් ගෝඨා හොර රහසේම ලංකාවෙන් පලා යද්දී එකම ඉලක්කය වී තිබුණේ කෙසේ හෝ ඇමෙරිකාවට පැනගැනීමය. පළමුව ඒ සඳහා මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වීසා අයැදුම් කළද එය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ගෝඨාට ඇමෙරිකාවට ඇතුළු වීමට නොහැකි විය. ඒ අනුව ගෝඨා ගියේ මාලදිවයිනටත්, ඉන් අනතුරුව සිංගප්පූරුවටත්ය. කෙසේ හෝ සිංගප්පූරුවේ සිටියදී ග්‍රීන්කාඩ් ක්‍රමය ඔස්සේ ඇමෙරිකාවට පිවිසීමට ඇයැදුම්පත ඉදිරිපත් කළද එයද ඇත්තේ ලැබෙනවාට වඩා නොලැබෙන තත්ත්වයකය.
තානාපති විදිහට ගියොත් ප්‍රශ්නයක්!
අනෙක් අතට මීට මාස කිහිපයකට ඉහතදී ගෝඨාට එරෙහිව ඇමෙරිකාවේ ත්‍රස්ත අධිකරණයක් හමුවේ එරට නීතිපතිවරයා විසින් පවරනු ලැබ ඇති මානව හිමිකම් නඩුකරයක් හේතුවෙන් ගෝඨාට ඇමෙරිකාවට ඇතුළු වීම සඳහා තවත් බාධාවක් මතුව තිබේ. මුල් වටයේදී ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ඇමෙරිකාවට යෑමට ගෝඨාට යෝජනාවක් ඉදිරිපත් වුවද එහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමට සිදුවන බවත්, එහිදී යම් ගැටලුවක් මතුවුවහොත් ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් අක්තපත්‍ර ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇති බවත්, එසේ වුවහොත් බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් දැනුම් දීම නිසා එම තානාපති යෝජනාව අතහැර දැමීමට ගෝඨා කටයුතු කළේය. පසුව එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයා ලෙස නම්කළහොත් එම සංවිධානයේ නීති පද්ධතිය වෙනස් වීමත්, එය ස්වාධීන ආයතනයක් වීමත් හේතුකොටගෙන ගැටලුවක් මතු නොවනු ඇති බවට ගෝඨාට උපදෙස් ලැබීමත් සමග එම යෝජනාව මේ වන විට ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති බවක් දැනගන්නට තිබේ.
යෝජනා ගෙනත් තියෙන්නේ බැසිල්!
ඒ අනුව මෙම තොරතුර ඉකුත් සතියේ අප විශේෂ පුවතක් ලෙස රාජ්‍ය රහස් තීරයේ වාර්තා කිරීමත් සමග මේ වන විට ඊට ගැටගැසුණු තවත් තොරතුරු රැසක්ම අප වෙත වාර්තා වෙමින් තිබේ. ඒ අනුව මෙම යෝජනාව පළමුව ජනාධිපතිවරයා වෙත යොමුකොට ඇත්තේ මේ දිනවල ඇමෙරිකාවේ සිටින බැසිල් රාජපක්ෂය. එහිදී බැසිල් හා ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් අදහස් රැසක් හුවමාරු වී තිබුණත් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. විශේෂයෙන් එවැනි පත්කිරීමක් කළහොත් මතුවිය හැකි ගැටලු පිළිබඳ යම් සාකච්ඡාවක් මෙහිදී සිදුව ඇති බවද දැනගන්නට තිබේ.
ගෝඨා රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්නට එයි!
ඒ කොයි හැටි වෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් මේ දිනවල සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැත් ශක්තිමත් කිරීම සඳහා උපරිම උත්සාහයක් සහ වෙහෙසක් දරමිනි. මෙවර අප රාජ්‍ය රහස් තීරයෙන් තවත් විශේෂ අනාවරණයක් කිරීමට සූදානම් වන්නේ ගෝඨා විසින් රනිල්ව ශක්තිමත් කිරීම සඳහා පසුගිය දිනවල තිරය පිටුපස දියත් කළ නිහඬ මෙහෙයුමක් පිළිබඳවය. ඇතැම් විට ගෝඨා මෙසේ කරනුයේද එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස යෑමේ අරමුණ ඔළුවේ තබාගෙන විය යුතුය.
ආණ්ඩුව මෝදි පස්සේ!
පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව මේ වන විට රනිල්ට ඇති ප්‍රධානම ප්‍රශ්නයක් වී ඇත්තේ ඉන්දියාවත්, ඇමෙරිකාවත්, යුරෝපා කොමිසමත් එම පත්වීම නිල වශයෙන් පිළිගත් බවක් දැකගන්නට නොලැබීමය. විශේෂයෙන් නව ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු ලංකාවේ පත්වූ සැණින් පළමු නිල විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට ගියද මෙතෙක් ජනාධිපතිවරයා වෙත ඉන්දියාවට පැමිණෙන ලෙසට එරට අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ආරාධනා ලැබී නැත. එමෙන්ම තවමත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් සුබපැතීමක් සිදුකොට නැත. යුරෝපා කොමිසමේ තත්ත්වයද එසේය. මේ සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡා සඳහාත්, ලෝක බැංකුව සමග පවත්වන සාකච්ඡා සඳහාත්, යුරෝපා රටවල් සමග පවත්වන සාකච්ඡා සඳහාත් අහිතකර බලපෑමක් එල්ල කරන බව අමුතුවෙන් කිව යුතු නැත. මන්ද මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වැඩි දායකත්වයක් ඇමෙරිකාව විසින් ලබාදීම ඊට හේතුවය. අනෙක් අතට අවස්ථා ගණනාවකදීම විවිධ පාර්ශ්ව හරහා ඉල්ලීම් ඉදිරිපත් කළද තවමත් මෝදිගෙන් රනිල්ට වේලාවක් ලබාගැනීමට නොහැකි වීම තානාපති ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති මාතෘකාවක් බවට පත්ව ඇති ආකාරයක්ද මේ වන විට දැකගන්නට තිබේ. ඒ අනුව ආණ්ඩුව සතුව ඇති සියලු සම්පත් මෝදිගේ හමුවීම ලබාගැනීම සඳහා ආණ්ඩුව උපයෝගී කරගනිමින් සිටින ආකාරයක්ද මේ වන විට දැකගැනීමට පුළුවන.
ගෝඨාත් වැඩේට එන්ටර් වෙයි!
පළමුව ආණ්ඩුව බැලුවේ මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා මෙම හමුවට අවස්ථාව ලබාගැනීමටය. නමුත් එය හරි නොගිය තැන ආණ්ඩුව බැලුවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වන මිලින්ද මොරගොඩ මහතා හරහා ඔහුගේ පෞද්ගලික සබඳකම් උපයෝගී කොටගෙන එම අවස්ථාව ලබාගැනීමටය. එයද අසාර්ථක වූ තැන මීට සති දෙකකට ඉහතදී ජනාධිපතිවරයා සිය පෞද්ගලික ලේකම්වරයා වූ සාගල රත්නායක මහතා කාටත් හොරා ඉන්දියාවට යැව්වේ එම අවස්ථාව ලබාගැනීමටය. එහිදී සාගලට හැකි වූයේ එරට විදේශ ලේකම්වරයා හමුවී සාකච්ඡා කිරීමට පමණි. ඒ අනුව සාගලටද රනිල් හා මෝදි අතර හමුක් සංවිධාන කිරීමට නොහැකි විය. නමුත් ආණ්ඩුව තවමත් ඒ සඳහා දරන උත්සාහය අවසන් කොට නොමැති බවක් පසුගිය සතියේ ගෝඨා හා බැඳුණු සිදුවීමකින් අනාවරණය විය.
දෝවාල්ගෙන් වෙලාවක් ගන්න යයි!
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කරන අජිත් දෝවාල් මහතා යනු එරට ප්‍රබල චරිතයක් මෙන්ම අගමැති නරේන්ද්‍ර මෝදිට ඉතා සමීපව කටයුතු කරන ඉන්දීය ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා කණ්ඩායම (තින්ක් ටෑන්ක්) නියෝජනය කරන ප්‍රබල චරිතයකි. දෝවාල් ඉකුත් ගෝඨාභය ආණ්ඩු සමයේදී ගෝඨා සමග ඉතා සමීපව කටයුතු කළ චරිතයක් ලෙසද ප්‍රකටය. එමෙන්ම ඉන්දීය පාලක පක්ෂය වූ භාරතීය ජනතා පක්ෂය සමග ගෝඨාට හිතවත්කම් ගොඩනගා දුන්නේද මේ කියන අජිත් දෝවාල්ය. මේ නිසා ඉන්දියාවේ මෝදිගේ ආණ්ඩුවේ දෝවාල් ප්‍රබල චරිතයක් බැවින් ඕනෑම වැඩක් දෝවාල්ට අවශ්‍ය නම් කිරීමට හෝ නොකිරීමට පුළුවන. මීට අමතරව ගෝඨාට මෙන්ම දෝවාල් සමග මිලින්ද මොරගොඩටද සමීප සබඳතාවක් පැවැති නිසා පසුගිය සතියේදී දෝවාල් මුණගැසුණු මිලින්ද මෝදි සහ ජනාධිපතිවරයා අතර හමුවක් කෙසේ හෝ සූදානම් කරන ලෙසට ඉල්ලීමක් කර සිටියේය. මෙම ඉල්ලීම කිරීමෙන් අනතුරුව තවත් විශේෂ ඉල්ලීමක් මිලින්ද විසින් දෝවාල්ගෙන් ඉල්ලා ඇති බවක් ආරංචිය. ඒ, ගෝඨා දෝවාල් සමග කතා කිරීමට කැමැත්තෙන් සිටින බැවින් ඔහු සමග කතා කරන ලෙසටය. ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු වහා මිලින්ද කළේ සහ දෝවාල් සහ ගෝඨා අතර දුරකතන සංවාදයක් සූදානම් කිරීමය. මෙම සුහද සාකච්ඡාවේදී ආගිය තොරතුරු කතා කිරීමෙන් අනතුරුව ගෝඨා දෝවාල්ගෙන් ඉතා කාරුණික ඉල්ලීමක් කරමින් කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාට උදව් උපකාර කරන ලෙසටය. එමෙන්ම මේ මොහොතේ ඉන්දියාවේ උපකාරය ජනාධිපතිවරයාට ඉතා තීරණාත්මක බවත්, රට ඇතුළේ ආර්ථික ප්‍රශ්න ගණනාවක් උද්ගතව ඇති බවත් මෙහිදී සඳහන් කර සිටි ගෝඨා කෙසේ හෝ මෝදි සහ රනිල් අතර හමුවක් සූදානම් කිරීමට මැදිහත් වන ලෙස කාරුණික ඉල්ලීමක් කිරීමටද පියවර ගත්තේය.
දෝවාල් දුන්නු උත්තරේ!
ගෝඨා හා දෝවාල් අතර ඉතා සමීප හිතවත්කමක් තිබුණත් මෙම ඉල්ලීම ඉදිරිපත් වූ වහා දෝවාල් සිය රාජ්‍යතාන්ත්‍රික භාෂාව භාවිත කරමින් ගෝඨාට ඍජු උත්තරයක් දී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. අපට දැනගන්නට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ එම රාජ්‍යතාන්ත්‍රික පිළිතුරෙහි සාරාංශය සාධනීය එකක් නොවන බවකි. මිලින්ද සහ ගෝඨා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ආකාරයේ පිළිතුරක් මෙහිදී දෝවාල් විසින් ලබාදී ඇති බවක්ද අපට ආරංචිය.
එදා දෝවාල්ට දුන් පොරොන්දුව ගෝඨා කඩකරපු හැටි!
ගෝඨා සහ දෝවාල් අතර පසුගිය සතියේ මෙම දුරකතන ඇමතුම සූදානම් වුවත්, ඉකුත් ජූලි මාසයේ අරගලයේ උච්චතම අවස්ථාව පැමිණි විට ගෝඨා සහ දෝවාල් අතර විශේෂ දුරකතන සංවාද කිහිපයක්ම සිදුවිය. එම තීරණාත්මක අවස්ථාවේ විශේෂයෙන්ම දෝවාල්ද ඇමතුම් කිහිපයක්ම ගෝඨාට ලබාදීමට පියවර ගෙන තිබිණී. එම අවස්ථාවේදී ගෝඨා තමන් තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව දෝවාල්ට දැනුම්දී ඇති අතර, දෝවාල් එහිදී ප්‍රබල ඉල්ලීමක් ගෝඨාගෙන් ඉල්ලා ඇති බවක් දැනගන්නට ඇත. විශේෂයෙන්ම ආර්ථික අර්බුදය උග්‍ර වූ අවස්ථාවේදී කිසිවකුත් ලංකාවට උදව් නොකළ පසුබිමක ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක දැවැන්ත මුදලක් ලංකාවට ලබාදුන් බව එහිදී සිහිපත් කර ඇති දෝවාල්, පසුව සිදුකළ ප්‍රබල ඉල්ලීමට ගෝඨා එකඟතාව පළකොට තිබූ බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. දෝවාල් පමණක් නොව ඉන්දීය රජයේ ඉහළ පෙළේ යම් යම් නියෝජිතයන් කිහිප දෙනකුද දෝවාල් කළ මෙම ඉල්ලීමම ගෝඨාගෙන් ඉල්ලා සිටීමටද පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් ගෝඨා හොර රහසේම රටින් පලායෑමෙන් පසු විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ බලපෑම ඔස්සේ එම පොරොන්දුව කඩකිරීමට පියවර ගෙන තිබිණි. ඒ සමග ඉන්දියාව සහ ගෝඨා අතර තිබූ සියලු සබඳතා පළුදු වී බිඳවැටුණු ආකාරයක් දැකගන්නට ලැබිණි. ගෝඨාද ඒ බව නොදැන සිටියා නොවේ.
ගෝඨා අවුට්!
පසුගිය සතියේදී ගෝඨා දෝවාල් සමග සැලකිය යුතු කාලයකට පසු දුරකතන සංවාදයක නිරත වූයේ මෙවැනි පසුබිමක සිටය. ඒ නිසාදෝ එහිදී රනිල් වෙනුවෙන් ගෝඨා කළ එම ඉල්ලීමට දෝවාල්ගෙන් ලැබුණු ප්‍රතිචාරය ඔස්සේ ඉන්දියාව ගෝඨාව සම්පූර්ණයෙන්ම විසින් අතහැර ඇති බවක් දැකගන්නට පුලුවන.
පිටිපස්සේ හිටියේ බැසිල්!
මෙම සිදුවීම පසුපස ඇති තවත් රහසක්ද මේ වන විට ඉන්දියාව විසින් හෙළිදරව් කරගෙන තිබේ. ඒ, ගෝඨා දෝවාල්ට ලබාදුන් පොරොන්දු කඩකිරීම පසුපස බැසිල් රාජපක්ෂද සිට ඇති බවය. එම පොරොන්දුව කඩකිරීමට දැඩිව බලපෑම් කර ඇත්තේ බැසිල් විසින් බව මේ වන විට ඉන්දියාව තහවුරු කරගෙන තිබේ. ඒ අනුව ඉන්දියාව මේ වන විට බැසිල් සමගද සිටින්නේ එතරම් හිත හොඳින් නොවේ. මන්ද යත් ලංකාවට අසීරු අවස්ථාවේදී ඩොලර් බිලියන හතරක ආධාර ලබාදීමට පැවැති සාකච්ඡාවලදී ඊට සහභාගි වූයේ මුදල් ඇමැතිවරයා වශයෙන් බැසිල් රාජපක්ෂය. එසේ ආධාර දී තිබියදීත් ඉන්දියාවේ ඉල්ලීමට මුලින් එකඟ වී පසුව එය කඩකිරීම සම්බන්ධයෙන් ඉන්දියාව මේ වනවිට සිටින්නේ බැසිල් සමගද යම්කිසි දේශපාලන ආරෝවකින් යුතුවය.
දෝවාල්ගේ පුතාත් හොරෙන්ම කොළඹ ඇවිත්!
කෙසේ වෙතත් දෝවාල් සහ ගෝඨා අතර මෙම දුරකතන සංවාදය පැවැත්වීමට දින කිහිපයකට පෙර කොළඹදී තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, අජිත් දෝවාල්ගේ පුත්‍රයා වූ ෂවුර්යා දෝවාල් හදිසියේම වැඩි සද්දබද්දයකින් තොරව ලංකාවට පැමිණීමය. ෂවුර්යාද සැලකෙන්නේ අජිත් දෝවාල් මෙන්ම ඉන්දීය බී.ජේ.පී. පක්ෂය සමග, මෝදි සමග සමීපව කටයුතු කරන චරිතයක් ලෙසටය. එමෙන්ම මෝදිගේ තීන්දු තීරණ ගන්නා ‘තින්ක් ටෑන්ක්’ එක නියෝජනය කරන අයකු ලෙසටය. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ෂවුර්යා දින දෙකක පෞද්ගලික සංචාරයකට ලංකාවට පැමිණියේ ඔහුට අතිශය හිතවත් ඉන්දීය ජාතික ව්‍යාපාරිකයකු සමග බවය.
රනිල් ෂවුර්යා හමුවුණාද?
කෙසේවෙතත් දෝවාල්ගේ පුත් ෂවුර්යා තවත් ව්‍යාපාරිකයකු සමග පෞද්ගලික සංචාරයකට ලංකාවට පැමිණ අති බව ජනාධිපතිවරයාටද දැනගන්නට ලැබිණි. ඒ අනුව ජනාධිපතිවරයා පෞද්ගලික සාකච්ඡාවක් සඳහා ෂවුර්යාට ආරාධනා කිරීමට පියවර ගත්තේය. මෙහිදී ද ජනාධිපතිවරයාගේ අරමුණ වූයේ කෙසේ හෝ ෂවුර්යාගේ සබඳකම් හරහා මෝදි සමග හමුවක් සූදානම් කරගැනීමය. ඒ අනුව ජනාධිපතිවරයාගේ මෙන්ම ආණ්ඩුවේද සැලසුම වී ඇත්තේ කුමන හෝ මාර්ගයකින් ගොස් කෙසේ හෝ මෝදි සමග හමුවක් සූදානම් කරගැනීම බව මේ සිදුවීම්වලින් පැහැදිලිවම දැකගන්නට පුළුවන.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මුණගැසුණු ෂවුර්යා ඊට පසු දිනම ඉන්දියාව බලා පිටත්ව යෑමට පියවර ගත්තේය. නමුත් දෝවාල්, ගෝඨාට දී තිබූ පිළිතුරු හේතුකොට ගෙන ජනාධිපතිවරයා සහ ෂවුර්යා අතර සිදුවූ හමුවේ ප්‍රතිඵල සාධනීය එකක් වනු ඇතැයි තවමත් කීමට කල් වැඩිය.
දෝවාල් හදිසියේම ලංකාවට!
මේ අතර දෝවාල් හදිසියේම සෙනසුරාදා දින ලංකාවට පැමිණීමට තීරණය කර තිබීමද මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමකි. දෙදින සංචාරයක් වූ මෙහිදී දෝවාල් ජනාධිපතිවරයා ප්‍රම්ඡ ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් හමුවී සාකච්ජා පැවැත්වීමට නියමිතව ඇති බව පැවසේ. කෙසේවෙතත් දෝවාල් මේ එන්නේ ඉන්දීය රජයේ විශේෂ පණිවුඩයක් රැගෙනද එසේත් නැතිනම් ලංකා ආණ්ඩුවේ පණිවුඩය් රැගෙන යාමටද යන්න පිළිබදව තවමත් කිසිදු තොරතුරක් හෙළිදරව් වී නොමැත.
එනවා කිව්වාට මිලින්ද එන පාටක් නෑ!
මේ අතරවාරයේ රනිල් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු තමන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයෙන් ඉවත් වන බවට මිලින්ද කර තිබූ දැනුම්දීමට අනුව ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේදී ඉන්දීය මහකොමසාරිස් ධුරය සඳහා අලුත් නියෝජිතයකු පත්කිරීමට තීරණය කර තිබිණ. මෙම නියෝජිතයා පත්කිරීමට මිලින්ද සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතුව තිබුණත් තවමත් මිලින්ද එසේ නොකිරීම මේ වන විට ගැටලු ගණනාවක් මතුකිරීමට සමත්ව තිබේ. පසුගිය සතියේදී මිලින්දටත් නොදන්වා සාගල හදිසි ඉන්දීය සංචාරයක නිරත වීම හේතුවෙන් දැඩි කලකිරීමකට පත්ව සිටි මිලින්ද සිය හිතවතුනට දැනුම්දී සිටියේ තමන් ඉතා ඉක්මනින් යළිත් ලංකාවට යෑමට කටයුතු කරනවා යැයි කියාය. ඒ බව මිලින්ද සිය ඉන්දියානු හිතවතුන්ටද දැනුම් දීමට පියවර ගෙන තිබිණි. නමුත් මිලින්ද පසුගිය සතිය වන විටත් ජනාධිපතිවරයාට මෝදිගේ හමුව ලබාදීම සඳහා විවිධ මාර්ග ඔස්සේ උත්සාහ දැරීම හේතුවෙන් මිලින්ද යළි කැඳවීමට ජනාධිපතිවරයාටද නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව දැනගන්නට ඇත.
අමෙරිකාවෙන් තවමත් සුබපැතුම් නෑ!
මේ ආකාරයට ඉන්දීය අගමැති මෝදිගේ හමුව සූදානම් කරගැනීමට නොහැකි වූවාට අමතරව තවමත් ඇමෙරිකානු රජය නිල වශයෙන් ජනාධිපතිවරයාගේ පත්වීම පිළිගෙන සුබපැතුම් නිකුත් කර නොතිබීමද මේ වන විට තානාපති ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන කාරණාවක් බවට පත්ව තිබේ. පසුගිය කාලයේදී අවස්ථා කිහිපයකදීම අප මෙම තීරය ඔස්සේ වාර්තා කර සිටියේ විවිධ උපක්‍රම ඔස්සේ ජනාධිපතිවරයා මෙම ඇමෙරිකානු පිළිගැනීම ලබාගැනීමට උත්සාහ දැරූ බවකි. වරක් සමන්තා පවර් ලංකාවට පැමිණි අවස්ථාවේදී ඇය හරහා මේ බව ඇමෙරිකානු රජයට දැනුම්දීමට ජනාධිපතිවරයා කටයුතු කළද එයද සාර්ථක වූයේ නැත.
රනිල්ට ට්‍රම්ප් ගැන ලණුවක් දුන්නාද?
තත්ත්වය මෙසේ තිබියදී පසුගිය කාලයේදී ජනාධිපතිවරයා මෙරට ඇමෙරිකානු තානාපතිවරිය වූ ජූලි චන්ග් මහත්මිය සමග ගැටුම් ඇති කරගෙන තිබීමද මේ වන විට යම් ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අවස්ථාවේදී එය එතරම් ලංකාවට අවාසිසහගත නොවුණත් මේ වන විට මතුව ඇති ආර්ථික සහ ජාත්‍යන්තර ප්‍රශ්න හමුවේ එය ඉතා බරපතළ තත්ත්වයක් කරා ඇදී ගොස් ඇති බවක් පැහැදිලිව දැකගන්නට පුළුවන. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවලදී මෙය ඉතා අහිතකර ලෙස බලපානු ඇති බවට යම් යම් සාකච්ඡාවලදී මත පළව තිබීම හේතුකොට ගෙන පසුගිය කාලය පුරාම රනිල්, චන්ග් සමග ගැටුමකට නොගොස් යම් නිහඬ පිළිවෙක් අනුගමනය කළ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම අභ්‍යන්තර සාකච්ඡාවලදී ජනාධිපතිවරයාට ඇතැමුන් දැනුම්දී තිබුණේ ඇමෙරිකාවේ පැවැති මධ්‍ය මැතිවරණයෙන් වත්මන් ජනාධිපති ජෝ බයිඩන් නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂය දැඩි පසුබෑමකට ලක්වනු ඇතැයි කියාය. එමෙන්ම එම මැතිමරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් රිපබ්ලිකන් පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබනු ඇති බවද ජනාධිපතිවරයා වෙත දැනුම් දීමටද ඔවුන් කටයුතු කර තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයාද පසුගිය කාලසීමාව පුරා නිහඬව සිටියේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය බලයට පත්වීමෙන් පසු එම ආණ්ඩුව යටතේ තමන්ගේ ආණ්ඩුවට නිල පිළිගැනීමක් ලබාගැනීමේ අරමුණෙනි. සාමාන්‍යයෙන් රිපබ්ලිකන් පක්ෂය එතරම් මානව හිමිකම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන පක්ෂයක් ලෙස ප්‍රකටය. නමුත් බයිඩන්ගේ නායකත්වයෙන් යුත් ඩිමොක්‍රටික් රජය එසේ නොවේ. ඔවුන් මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරනු ලබයි. තවමත් ජනාධිපතිවරයාගේ වත්මන් ආණ්ඩුවට ඇමෙරිකාවෙන් නිල පිළිගැනීමක් ලැබී නැත්තේද මෙම මානව හිමිකම් කැඩීමේ ප්‍රශ්නය මුල්කොට ගෙනය.
ආණ්ඩුව තවත් හිරවෙයි!
නමුත් ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් අවසානයේ ලැබුණේ ජනාධිපතිවරයාට පැහැදිලි කර දී තිබූ ප්‍රතිඵලයට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයකි. එහිදී වත්මන් ජනාධිපති බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය නැවත වතාවක් විශාල බලයක් හිමිකර ගැනීමට සමත් විය. එම ජයග්‍රහණයෙන් පසු ලෝක නායකයන් සහභාගි වූ ජී 20 සමුළුවට පැමිණි බයිඩන් චීන ජනාධිපති ෂී ජින්පින් වෙත මිත්‍රත්වයේ දෑත් දිගුකරමින් සාකච්ඡා කරන ආකාරයක්ද දැකගත හැකි විය. එයද ලංකාව පැත්තෙන් ගත් විට එතරම් හොඳ සංඥාවක් නොවේ. මෙම තත්ත්වය යටතේ යම් හෙයකින් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට පියවර ගතහොත් හෝ තවදුරටත් මානව හිමිකම් කඩවන ආකාරයක් කටයුතු කළහොත් හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි තවදුරටත් සිරගත කොට තැබුවහොත් හෝ ජාත්‍යන්තරයෙන් එල්ල විය හැකි බලපෑම සුළුපටු නොවනු ඇත. ඒ අනුව නියමිත වේලාවට මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට සිදුවනවා පමණක් නොව මානව හිමිකම් ආරක්ෂා කරමින් කටයුතු කළ යුතු කාලවකවානුවක් එළඹ ඇති බවද සඳහන් කළ යුතුව ඇත.
අලුත් ව්‍යවස්ථාව අරන් බැසිල් එනවා!
මේ සියල්ල මෙසේ පැවැතියදී ලබන 20 වැනිදා පොහොට්ටුවේ මහමොළකරුවා ලෙස සැලකෙන බැසිල් රාජප්කෂ මහතා ලංකාවට පැමිණීමට නියමිතය. මේ බව පසුගිය අඟහරුවාදා දිනයේදී පළමු වතාවට රටට හෙළිදරව් කළේ අපගේ www.mawratanews.lk වෙබ් අඩවියය. බැසිල් ලංකාවට පැමිණීමට තීන්දු කළ දිනට පෙර ජනාධිපතිවරයා සමග අවස්ථා ගණනාවකදීම අදහස් හුවමාරු කරගැනීමටද පියවර ගෙන තිබිණි. මෙම සාකච්ඡාවලදී මෙන්ම ලංකාවෙන් ලැබුණු තොරතුරුවලට අනුව මෙවර ලංකා ගමනේදී බැසිල්ට මුහුණ දීමට සිදුව ඇත්තේ බරපතළ ප්‍රශ්න කිහිපයකටය.
මෙච්චර කල් දිව්වේ රාජපක්ෂලාගේ කටවචනයට!
ඉන් පළමුවැන්න වී ඇත්තේ දිගින් දිගටම පොහොට්ටුවේ බලය දියවී යෑමය. එමෙන්ම රාජපක්ෂවරුන්ගේ බලය කෙමෙන් කෙමෙන් ගිලිහී යෑමද බැසිල්ට මුහුණ දීමට සිදුව ඇති බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. මේ නිසා පසුගිය කාලවකවානුව පුරාම ගිලිහෙමින් පවතින මෙම බලය යළි ගොඩනගාගැනීම සඳහා ඇමෙරිකාවේ සිටම යම් සැලැස්මක් සකස් කිරීමට බැසිල් පියවර ගත්තේය. ඉන් පළමුවැන්න වී තිබුණේ මෙතෙක් ව්‍යවස්ථාවක් නොමැතිව ඉබාගාතේ ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීමය. ඒ අනුව ඉතා රහසිගතව බැසිල්ගේ පූර්ණ අනුදැනුම මත මේ වන විට පොහොට්ටුවේ නව ව්‍යවස්ථාව සකස් වෙමින් තිබේ. මෙතෙක් කල් පොහොට්ටුව ක්‍රියාත්මක වූයේ ව්‍යවස්ථාවක් නොමැතිව රාජපක්ෂවරුන්ගේ කට වචනයටය. එහි තීන්දු තීරණ ගැනීමට අනෙක් පක්ෂවල මෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයක්, මධ්‍යම කාරක සභාවක් පැවැතියේ නැත. ඒ නිසාම පක්ෂ තීන්දුවට පිටින් ගිය මන්ත්‍රීවරුන්ට හෝ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට පොහොට්ටුවට හැකියාවක් තිබුණේ නැත. ඒ අනුව මේ වන විට බැසිල්ගේ උපදෙස් මත නව පක්ෂ ව්‍යවස්ථාවක් මෙන්ම එහි නිලධාරී මණ්ඩලය, කෘත්‍යාධිකාරී මණ්ඩලය, විනය කටයුතු ආදී සියල්ල ඇතුළත් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවක් දැනගන්නට තිබේ.
නාමල් ගහපු ගේම ආපිට කැරකෙයි!
කෙසේ වෙතත් බැසිල් ලංකාවේ නොසිටි කාලය තුළ පොහොට්ටුවේ බලය සියතට ගැනීම සඳහා නාමල් රාජපක්ෂ විශාල උත්සාහයක් ගත් ආකාරයක් දැකගැනීමට තිබිණි. ඒ අනුව නාමල් ආසන බලමණ්ඩල හරහා හම්බන්තොටින් රැස්වීම් පැවැත්වීම ආරම්භ කොට දිස්ත්‍රික්ක මට්ටමින් යෑමට උත්සාහ කළද එය ලත් තැනම ලොප් වූයේ මන්ත්‍රීවරුන් නාමල්ට කතා කොට ජනතාවගේ තවමත් විරෝධයක් පවතින බැවින් තම දිස්ත්‍රික්කවලට නොපැමිණෙන ලෙසට නාමල්ට දැනුම් දී තිබීම නිසාය. ඒ අනුව පක්ෂයත් රැගෙන නාමල්ගේ රට පුරා සංචාරය කිරීමේ සැලැසුම මුල වටයේදීම ව්‍යර්ථ වී ගියේය. එමෙන්ම නාමල් මුස්ලිම් තරුණියක් පක්ෂයේ ඉහළ තනතුරකට පත් කිරීමටද පසුගියදා පියවර ගත්තේය. ඒ බව නාමල් සිය ට්විටර් ගිණුමේ සඳහන් කිරීමටද කටයුතු කළේය. නමුත් ඊට පක්ෂය ඇතුළෙන්ම එල්ල වූයේ බරපතළ විරෝධයකි. මේ නිසාම පෙර කී මුස්ලිම් ජාතික තරුණියට තමන් පොහොට්ටු පක්ෂයේ එවැනි තනතුරක් භාර නොගත් බවට සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් තැබීමටද සිදුවිය.
පොහොට්ටු සම්මේලනය ජනවාරියේ!
කෙසේ වෙතත් මීට පෙර බැසිල් සැලසුම් කර තිබුණේ මේ නොවැම්බරයේදී පක්ෂයේ හය වැනි මහා සම්මේලනය අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමටය. ඇමෙරිකාව බලා පිටත්ව යෑමට කලින් ඒ සඳහා අවශ්‍ය සියලු වැඩකටයුතු සැලසුම් කිරීමටද බැසිල් පියවර ගෙන තිබිණි. නමුත් නාමල් පක්ෂ සම්මේලනය නොවැම්බරයේ පැවැත්වීමට කැමැති වූයේ නැත. නාමල්ගේ සැලසුම වී තිබුණේ පක්ෂයේ බලය සියතට ගෙන ඉන් අනතුරුව පක්ෂයේ මහා සම්මේලනය පැවැත්වීමටය. ඒ අනුව නාමල් සිය පියාගේ බලතල පාවිච්චි කරමින් පක්ෂ සම්මේලනය ලබන ජනවාරිය දක්වා කල්දමා ගැනීමට පියවර ගත්තේය. අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ නාමල් සූදානම් වී ඇත්තේ බැසිල් යටතේ තිබූ ජාතික සංවිධායක ධුරය තමා යටතට ගෙන ජනවාරියේ මහ සමුළුව පවත්වා ඒ හරහා පක්ෂයේ බලය ඇල්ලීමටය. නමුත් මේ වන විට බැසිල් පක්ෂයේ නව ව්‍යවස්ථාව සකස් කොට නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීමට ගෙන ඇති තීන්දුවත් සමග නාමල්ගේ සැලසුම් ව්‍යවර්ථව ගොස් ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එමෙන්ම වත්මන් සභාපතිවරයා වන ජී.එල්. පීරිස් මහතා එම තනතුරෙන් ඉවත් කොට ඊට අලුත් චරිතයක් ගෙන ඒමටද බැසිල් තීරණය කොට තිබේ. ඊට අමතරව පක්ෂයේ පසුපෙළ තරුණ මන්ත්‍රීවරුන්ට ඉහළ තනතුරු දී ඔවුන් බලගැන්වීමටත්, ජාතික සංවිධායකවරයා වශයෙන් තවදුරටත් පක්ෂයේ රැඳී සිටීමටත් බැසිල් මේ වන විට තීන්දු කොට ඇති බවක් දැනගන්නට තිබේ.
පොහොට්ටුවෙන් රනිල්ට යෝජනාවක්!
මේ සියල්ලට අමතරව ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවකදී බැසිල් තවත් විශේෂ යෝජනාවක් සිදුකර ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, පක්ෂ ව්‍යවස්ථාව නිසි ලෙස සකස් කොට සම්මේලනය පැවැත්වීමෙන් අනතුරුව පොහොට්ටුව සහ එජාපය අතර නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම පිළිබඳවය. අප මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කර තිබූ අතර එහිදී අප කියා සිටියේ ජනාධිපතිවරයා විවිධ උපක්‍රම හරහා පොහොට්ටුවේ බලය සියතට ගැනීමට කටයුතු කරමින් සිටිනවා යැයි කියාය. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ලෙස සැලකෙන නිමල් ලන්සා වැනි මන්ත්‍රීවරුන් යොදාගෙන ජනාධිපතිවරයා එම මෙහෙයුම සිදුකරන බවද අපි එහිදී වාර්තා කර සිටියෙමු. නමුත් මේ වන විට බැසිල් යොජනා කර ඇත්තේ පොහොට්ටුව ශක්තිමත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා සහ එජාපය සමග දේශපාලන සන්ධානයක් ඇතිකොට ගෙන ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමටය. එමෙන්ම මහ මැතිමරණයේදී එජාපය හා පොහොට්ටුව එක්වූ දේශපාලන සන්ධානයකින් තරග වැදීමටද මෙහිදී බැසිල් යෝජනා කර තිබේ. කෙසේ වෙතත් මේ සියල්ල තීරණය වන්නේ බැසිල් නැවත ලංකාවට පැමිණීමෙන් අනතුරුවය.
රාජිතට වෙච්ච දෙයක්!
පසුගිය සතියේ ලංකාවේ ප්‍රධාන දේශපාලන මාතෘකාව බවට පත්වූයේ රාජිත සේනාරත්නය. ඒ, රාජිත ජනාධිපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කරන දිනයේදී ආණ්ඩුවට එක්වන බවට වූ ප්‍රවෘත්තියට මෙරට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදී තිබීම නිසාය. කිසිදු සදාචාරාත්මක බවකින් තොරව ඇතැම් මාධ්‍ය පණ පිහිටුවමින් මේ පුවතට විශාල ප්‍රචාරයක් ලබාදීමට පියවර ගෙන තිබුණේ සජබෙන් විශාල කණ්ඩායමක් සමග රාජිත ආණ්ඩුවට එක්වන බවට මුල් පිටුවලම අතේ පැළවෙන පුවත් පළ කරමිනි. නමුත් අවසානයේදී ඇත්තටම සිදුවූයේ අයවැය ඉදිරිපත් කළ දිනයේ රාජිත සජබෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වීම නොව, ආණ්ඩුවත් සමග සිටි මන්ත්‍රීවරුන් හයදෙනකු විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සජිත් මුණගැසී විපක්ෂයට සහාය පළකර සිටීමය. නමුත් මේ පුවතට මේ කියන මාධ්‍යවල කිසිදු ප්‍රචාරයක් ලබාදීමට පියවර නොගැනීම විශේෂ සිදුවීමක් විය.
රාජිතට දෙනවානම් ජොනීට රෝහිතටත් දෙන්න!
කෙසේ වෙතත් රාජිත ආණ්ඩුවට එක්වන බවට වූ පුවත දේශපාලන ක්ෂේත්‍රයේ රැව් පිළිරැව් දෙද්දී අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පැවැති අවසන් කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී මධ්‍යස්ථව කටයුතු කරන සහ ජනතාවගේ යම් ප්‍රසාදයක් ඇති කැබිනට් ඇමැතිවරු කිහිප දෙනකුම මේ පිළිබඳ ජනාධිපතිවරයාගෙන් විමසා සිටීමට පියවර ගත්හ. ඔවුන්ගේ තර්කය වී තිබුණේ රාජිත කැබිනට් මණ්ඩලයට එක් කරගන්නවා නම් රාජිත හා සමානවම චෝදනා ඇති පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්වද කැබිනට් මණ්ඩලයට එක් කරගත යුතු යැයි කියාය.
දෙගොල්ලන්ටම එකම චෝදනා!
‘ආරංචියක් යනවා ඔබතුමා රාජිත සේනාරත්න මැතිතුමාව ආණ්ඩුවට අරගෙන ඇමැතිකමක් දෙන්න යනවා කියලා. ඒකට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබතුමා රාජිතට ඇමැතිකක් දෙනවා නම් පොහොට්ටුවේ ජොන්ස්ටන්ටත්, රෝහිතටත් ඇමැතිකම් දෙන්න ඕනේ. එහෙම නම් ඒ ඔක්කොම එකපාර කැබිනට් එකට ගන්න ඕනෙ. මොකද ඔබතුමා ජොනීලව, රෝහිතලව කැබිනට් එකට නොගන්න කියන හේතු හා සමානම චෝදනා රාජිත ඇමැතිතුමාටත් තියෙනවා. ඒ හින්දා අපි දකින්නේ රාජිතගෙයි, ජොනීගෙයි, රෝහිතගෙයි කිසිම වෙනසක් නෑ කියලා. ඒ තුන්දෙනාටම එක වගේ චෝදනා තියෙනවා. අපි පොහොට්ටුවෙන් ආපු මන්ත්‍රීවරු. ඒ හින්දා ඔබතුමා පොහොට්ටුවේ අපේ මන්ත්‍රීවරුන්ට චෝදනා තියෙනවා කියලා කැබිනට් එකට නොගෙන රාජිතට ඇමැතිකමක් දෙන්න හදන එකෙන් පක්ෂය ඇතුළේ අපි අපහසුතාවට පත්වෙනවා. ඒ හින්දා දෙනවා නම් ඒ තුන්දෙනාටම දෙන්න…’ යනුවෙන් එම ඇමැතිවරුන් එක හඬින් කියද්දී ජනාධිපතිවරයා දී තිබුණු බවට අපට ආරංචි වන්නේ අපූරු පිළිතුරකි.
රනිල් දුන් උත්තරේ!
‘නෑ නෑ මම රාජිතට ඇමැතිකමක් දෙනවා කියලා කිසිම තැනක පොරොන්දුවක් දීලා නෑ. මේ රාජිතගේ පවුලේ අය තමයි (නම් සඳහන් කරමින්) මට දිගින් දිගටම කතා කරලා රාජිතට එන්න ඕනෙ කියනවා, එයාට කැබිනට් එකක් දෙන්න කියලා ඉල්ලන්නේ. එයා ඉස්සරහට දේශපාලන කරයිද දන්නෙත් නැහැලු. එයාගෙ සෞඛ්‍ය තත්ත්වය ගැනත් මේ අය මට පණිවුඩ එවනවා. අපේ පැත්තෙ එක්කෙනකුත් මට කියනවා එයාව හම්බවෙන්න ඇවිල්ලා ඇමැතිකම් ගැන කතා කරනවා කියලා. හැබැයි මම කිසිම පොරොන්දුවක් කාටවත් දීලා නෑ…’ යනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී කියා ඇති බවක් අපට ලැබුණු තොරතුරුවලින් ආරංචිය.
රාජිත එන එක ආණ්ඩුවට අවාසියි!
කෙසේ වෙතත් රාජිත සම්බන්ධයෙන් පසුගිය සතියේ ජනාධිපතිවරයා සමග ඉතා සමීප ඇමැතිවරුන් කිහිප දෙනකුද විශේෂ සාකච්ඡා වටයක් පවත්වා තිබේ. මෙහිදී බොහෝ දෙනා ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මේ අවස්ථාවේදී රාජිතව ආණ්ඩුවට ගතහොත් එය සජබයට විශාල වාසියක් වෙතැයි කියාය.
‘මේ වෙලාවේ රාජිතව ගන්න ගියොත් ඒක ආණ්ඩුවට අවාසියි. සජබෙට වාසියි. මොකද රාජිත වගේ අය සජබෙ ඉන්නකොට තමයි අපට වුණත්, ජේ.වී.පී. එකට වුණත් සජබෙට ගහන්න පුළුවන්. අපි රාජිතව ඇද්දොත් සජබෙ සුද්ද කළා වගේ වැඩක් තමයි වෙන්නේ. ඒක හින්දා රාජිත වගේ අය සජබෙම තියමු…’ යනුවෙන් මෙහිදී ජ්‍යෙෂ්ඨයන් කළ යෝජනාවද රාජිතව ආණ්ඩුව නොගැනීමට හේතු වී ඇති බවක් දැනගන්නට තිබේ.
මන්ත්‍රීවරු සජිත්ට කියපු කතාව!
එමෙන්ම සජබය ඇතුළේද රාජිත සම්බන්ධයෙන් පසුගිය සතියේ විශේෂ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්විණි. එහිදී තරුණ මන්ත්‍රීවරුන් රැසක්ම සජිත් මුණගැසී දැනුම් දී සිටියේ රාජිත කෙසේ හෝ ආණ්ඩුවට යවන ලෙසටය. එසේ කළහොත් සජබෙට වාසි බව මෙම මන්ත්‍රීවරු සජිත්ට දැනුම්දී සිටියහ. නමුත් සජිත් කියා සිටියේ තමන්ට කිසිසේත් එවැන්නක් කළ නොහැකි බවකි. රනිල්ගේ පාලන සමයේදීද මෙවැනිම ආකාරයට ආණ්ඩුවට යෑමට සිටි මන්ත්‍රීවරුන් නවතා ගැනීම සඳහා මුදල් මලු, සිංගප්පූරු ගුවන් ටිකට්පත් වැනි දෑ ලබාදෙන අයුරු තමන් දැක තිබුණද, තමන්ට එවැන්නක් කළ නොහැකි බව සජිත් එහිදී තරුණ මන්ත්‍රීවරුන්ට කියා සිටියේය.
රාජිත සජිත්ව හම්බවෙන්න එයි!
‘රාජිත මට යනවා කියලත් නෑ, යන්නෙ නෑ කියලත් නෑ…’ යනුවෙන්ද සජිත් එහිදී මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටියේය. එසේ වුවත් රාජිත ආණ්ඩුවට එක්වන බවට මාධ්‍ය වාර්තා කර සිටි පසුගිය සඳුදා දින උදෑසන රාජිත සජිත්ව මුණගැසීම සඳහා පැමිණියේය. එහිදී රාජිත කියා සිටියේ තමන් පිළිබඳ විවිධ කටකතා මාධ්‍ය වාර්තා කර ඇති නමුත් ආණ්ඩුවට එක්වීමට තමන්ගේ කිසිදු සූදානමක් නැතැයි කියාය.
වියදම් වැඩියි කියා ටී පාටිය කපා දමයි!
ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා වශයෙන් සිය පළමු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ ආණ්ඩුව සිය වියදම් පැත්ත හැකිතාක් දුරට අඩු කරගනු ඇතැයි කියාය. ඒ සඳහා කොළ එළියක් දල්වමින් ආණ්ඩුව පැත්තෙන් කියැවුණේ වියදම් අවම කිරීමේ අරමුණෙන් ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව තානාපතිවරුන්ට, පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට, සම්භාවනීය අමුත්තන්ට ලබාදෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පවා අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවකි. ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ මෙවර අයවැය අනවශ්‍ය වියදම් බොහෝ සෙයින් කපාහරින එකක් වනු ඇතැයි කියාය.
කිංස්බරියේ ග්‍රෑන්ඩ් ඩිනර් පාටි එකක්!
මේ ආකාරයට අයවැයේ තේපැන් සංග්‍රහය අත්හිටුවීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් ආණ්ඩුවේ සියලු මැති ඇමැතිවරුන්ට දැනුම් දීමක් කර තිබුණේ අයවැය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමක් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇතැයි කියාය. ඊට සියලු මැති ඇමැතිවරුන් සහභාගි විය යුතු බවද දැනුම් දීමට පියවර ගැනිණි. කෙසේ වෙතත් එම දැනුම්දීමෙන් පසු, ඊට පසු දින ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් නැවතත් සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක් කෙරුණේ අරලියගහ මන්දිරයේ සාකච්ඡාව අවලංගු කෙරුණු බවත්, ඒ වෙනුවට මැතිඇමැතිවරුන්ට කොළඹ කිංග්ස්බරි හෝටලයේ සුපිරි මධුවිතින් සහ රසමසවුලෙන් සපිරි රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර ඇතැයි කියාය. ඒ අනුව ඊට සහභාගි වන ලෙස සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය කටයුතු කර තිබිණි.
මේක ආපහු ගුටිකන වැඩක්!
කෙසේ වෙතත් මේ බව අපගේ ‘මව්රටනිවුස්’ වෙබ් අඩවියෙන් වාර්තා කිරීමත් සමග ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට කතාකොට දැනුම් දුන්නේ තමන්ට මෙම සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වීමට නොහැකි යැයි කියාය.
‘අම්මෝ අපට නම් ඕකට එන්න බෑ. මොකද ඕකට ගිහින් කාලා බීලා එළියට එද්දී මිනිස්සුන්ගෙන් අපට ගුටි කන්නයි වෙන්නේ. දැන් මිනිස්සුන්ට කන්න බොන්නත් නෑ. එහෙම තියෙද්දී අපි මෙහෙම කන්න ගියොත් එහෙම අන්තිමේදී ගියපාර වගේ හොඳ කෑමක් තමයි කන්න වෙන්නේ…’ යනුවෙන් මන්ත්‍රීවරුන් කතා කොට දැනුම් දීමත් සමග ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක කාර්යාලය මේ බව ජනාධිපතිවරයාට දැනුම් දීමට පියවර ගත්තේය.
එමෙන්ම මෙම පුවත වාර්තා වීමත් සමග විපක්ෂයද සූදානම් වූයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය වියදම් වැඩි යැයි කියමින් අවලංගු කළ ආණ්ඩුවට විස්කි බ්‍රැන්ඩිවලින් සමන්විත සුපිරි රාත්‍රී භෝජන සංග්‍රගහක් කිංස්බරි හෝටලයේදී පැවැත්වීමට මුදල් කොහෙන්දැයි පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටීමටය.
ග්‍රෑන්ඩ් ඩිනර් එක යළි ටී පාටියට බහී!
මේ තත්ත්වය ජනාධිපතිවරයාට වාර්තා වීමත් සමග අවසානයේදී කිංග්ස්බරි හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහයද අවලංගු කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ වෙනුවට නැවතත් ඉතා සුළුවෙන් පාර්ලිමේන්තුවේ තේ පැන් සංග්‍රහයක් සූදානම් කිරීමට අවශ්‍ය කටයුතු යෙදිණි. නමුත් ඒ බව කිසිදු මන්ත්‍රීවරයකුට දැනුම් දීමට හෝ කටයුතු නොකෙරිණි. ඒ වෙනුවට පාර්ලිමේන්තු භෝජනාගාරයේ වීදුරුවෙහි එදින සවස තේ පැන් සංග්‍රහයක් පැවැත්වෙන බවට කෙටි සඳහනක් පමණක් ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව වෙනදා නම් එම තේ පැන් සංග්‍රහයට විවිධ ආහාර වර්ග සහිත මේස තුනක් සූදානම් කර තිබුණද එදින දැකගන්නට ලැබුණේ පේස්ටි්‍ර සහ රෝල්ස් සහිත එක් මේසයක් පමණි.
ජී.එල්. පළමු වරට අලුත් වැඩක!
ඉකුත් සතිය පුරා නිදහස ජනතා සභා කාර්යාලය ඉතා කාර්යබහුල වූයේ ‘නිදහසට පෙරවදනක්’ වැඩසටහන සාර්ථක කරගැනීමට අවධානය යොමුව තිබීම හේතුවෙනි. ජී.එල්. පීරිස් ඉතිහාසයේ’ ප්‍රථම වරට දේශපාලන වැඩසටහනක් සංවිධාන කිරීමේ කටයුතුවලට සම්බන්ධ වූයේ මෙහිදීය. දිනපතා කාර්යාලයට පැමිණ සංවිධාන කටයුතු සොයා බලමින් මහාචාර්යවරයා කටයුතු කිරීම සෙසු අයට අලුත් දසුනක් සේම’ පුදුමයට කරුණක්ද වී තිබිණි. තවත් සාමාන්‍ය දේශපාලන වැඩසටහනක් නොවන අමුතුම ආකාරයකට උත්සවය පැවැත්වීමට සියලු දෙනාටම අවශ්‍ය විය.
‘නිදහසේ පත්‍රිකා යුගලය’ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ට සහ ආගමික නායකයන්ට භාරදෙමු’ පිරිසක් යෝජනා කළහ.
‘එහෙම නෙවෙයි. මේක භාරදෙන්න ඕනේ තරුණයන්ට විශ්වවිද්‍යාල දරුවන්ට…’ වෛද්‍ය උපුල් ගලප්පත්තිගේ අදහස විය. ‘එදාට කතා පවත්වන්නෙ කවුද’? ඊළඟට පැනනැඟි ප්‍රශ්නය එය විය.’
‘හැමදාම නායකයෝ කතා කරනවානේ. ඒ වෙනුවට අලුත් අයට කතාකරන්න දෙමු’ ඩලස් යෝජනා කළේය. තරුණයන් වේදිකාවට කැඳවා ප්‍රතිපත්ති ප්‍රකාශනය’ පිළිගන්වන්නත්, තවත් ජ්‍යෙෂ්ඨයන් තුන්දෙනෙක්ට ප්‍රකාශනය පිළිගැන්වීමත් සිදුවූයේ ඒ අයුරිනි.
සියලු දෙනා බුලත් හුරුලු දී පිළිගැනීමට උත්සව සංවිධායකයන් තීරණය කර තිබිණි. ඒ කටයුත්ත භාරවූයේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාටත්, උදයන කිරිඳිගොඩ මන්ත්‍රීවරයාටත්‍ය.’
එහිදී ඉතා සංවේදී සිදුවීමකටද මුහුණදීමට සිදුවිය.’ වමේ වෘත්තිය සමිති නායකයෙක්’ බුලත් හුරුල්ලක් දී පිළිගනිද්දී ඔහු පුදුමයෙන් සහ කඳුළු පිරි දෑසින් ‘ඇයි මේ අපිට බුලත් දෙන්නේ….’ යැයි විමසා සිටියේය. ‘අපි ප්‍රසිද්ධ ජනප්‍රිය මැති ඇමතිවරුන්ව වගේම මෙතැනට එන හැමෝටම බුලත් දීලා පිළිගන්නවා. ඒ ඔබව අපිට වටින නිසා’ යැයි’ ඩිලාන් පෙරේරා ඔහුගේ උරහිසෙන් අල්ලා ළෙංගතුව කීවේය. උත්සවයේ වැඩ කටයුතු එකිනෙකා භාරගෙන තිබිණි.’ පිටපත ලිවීම භාරව තිබුණේ’ කිරිඳිගොඩ මන්ත්‍රීවරයාටය.
මහ පාරේ නිදියපු අම්පාරේ මන්ත්‍රී!
වාර්තාංග සංස්කරණ කටයුතු භාරගත්තේ අම්පාරේ වෛද්‍ය තිලක් මන්ත්‍රීතුමාය.’ ඔහු 12 වැනිදා රාත්‍රී 8ට පමණ අවශ්‍ය ආම්පන්න ද ගෙන මහරගම එක්තරා සංස්කරණ’මැදිරියකට ගොඩවූයේ සංස්කරණ කටයුතු අවසන් කිරීමටය. වැඩ අවසන් වන විට පාන්දර පහට පමණ විය. සිය කැබ් රථය පදවාගෙන තනිවම පැමිණි මන්ත්‍රීවරයාට වෙහෙසත් සමග තද නිදිමතක් දැනිණි. මින් ඉදිරියට වාහනය පැදවීම අනතුරකට හේතුවිය හැකි බව ඒත්තු ගිය මන්ත්‍රීවරයා වාහනය පාර අයිනේ නවතා ඇස් පියා ගත්තේ මඳ විවේකයක් ගැනීමටය. එක්වරම කවුදෝ වාහනයේ වීදුරුවට තට්ටු කරන බැව දැනුණු මන්ත්‍රීවරයා ඇස් ඇර බලද්දී දුටුවේ පොලිස් නිලධාරියෙකි. ඔහු වහාම අත බැඳි ඔරලෝසුව දෙස බැලුවේය. වේලාව’ උදේ හතහමාරය. වාහනය නවතා තිබුණේත් අවසර නොමැති තැනකය. ‘මහත්තයෝ මම පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ…’
‘ඇයි මන්ත්‍රීතුමා. මොකක් හරි කරදරයක්ද?’ පුද්ගලයා හඳුනාගත් නිලධාරියෙක් ඇසීය.
‘වාහනේ ගෙනියන්න බැරි බව තේරිලා පොඩ්ඩක් ඇහැ පියාගත්තා. දන්නෙම නැතිව උදේ වෙලා…’
‘ආ එහෙමද මෙතැන වාහන පාර්ක් කරන්න නම් බැහැ…’
‘සොරි මහ රෑ නිසා ඒක වුණේ. දඩයක් ගහනවා නම් ප්‍රශ්නයක් නැහැ. මම කව්ද කියලා බලන්නෙ නැතිව ඔබතුමාගේ රාජකාරිය කරන්න…’
‘නැහැ එහෙම ඕනෙ නැහැ. වාහනය නතර කරලා අනතුරක් නතර කරපු එකම ඇති….’’
මන්ත්‍රීවරයා ඉක්මනින්ම පිටත් කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබිණි.
ඩලස් සියල්ල අධීක්ෂණය කරයි!
උත්සවය සංවිධාන කටයුතු සියල්ල අධීක්ෂණය කළ ඩලස්’ රාත්‍රියේ ආසන පැනවීමද පෞද්ගලිකවම අධීක්ෂණය කළේය. ඉන් නොනැවතුණු ඔහු කාර්යාලයට පැමිණ සැලසුම් වෙනස් කළේය. පසුදා උදේම පැමිණි ඩලස් මන්ත්‍රීවරුන්ට ආසන පැනවීමටද එක්විය. ‘මන්ත්‍රීතුමා මෙච්චර උදේ…’ ‘නැතුව බැහැ නේ. කිසිම මන්ත්‍රීවරයෙක්ට, ආරාධිතයෙක්ට’ අපහසුතාවක් වෙන්න බැහැ…’’ පෙරළා පිළිතුරු දෙමින් ඩලස් කීවේය. උත්සවයේ කතා කළ චරිත හේරත්, නාලක ගොඩහේවා පැමිණි අයගේ අවධානය දිනාගෙන තිබිණි. එම කතා බොහෝ දෙනෙක්ගේ ප්‍රසාදයට ලක්විය.