අමෙරිකාවෙන් එන්න යන පණිවුඩය
සබ්‍රි ඥානසාර හිමිගේ තටු කපයි!
16ට ආණ්ඩුව බය වෙලාද?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේදී ආන්දෝලනාත්මක කතාවන් දෙකක් සිදුකළේය. පළමු කතාව සිදුකළේ සිය ගම් පළාත වූ වීරකැටියේදීය. දෙවැනි කතාව සිදුකළේ කොළඹදීය. මේ කතා දෙකම ආන්දෝලනාත්මක යැයි මුලින්ම සඳහන් කළේ එහි අන්තර්ගතව තිබූ කරුණුත්, එම කතාවන්හි තිබූ ආවේගශීලීත්වයත්, එම කතාවන් කිරීම සඳහා පසුබිම්ගත වූ කරුණුත් සලකා බැලීමේදීය.
ජනපතිගේ වීරකැටියේ ‘වීර’ කතාවට පසුබිම් වූ කතාව
ජනාධිපතිවරයා වීරකැටියේ සිදුකළ කතාවට පසුබිම් වූ කතාවක්ද තිබේ. එනම් මෙම උත්සවය ජනාධිපතිවරයා යොදාගෙන තිබුණේ සිය ස්කොට්ලන්ත සංචාරයට පෙරාතුවය. සිය මවුපියන්ගේ පින්කම් උත්සවය නිමිත්තෙන් වීරකැටියේ සිදුකළ සංවර්ධන කටයුතු ජනතා අයිතියට පැවරීමේ උත්සවය සංවිධාන කෙරුණේ නාමල් රාජපක්ෂ විසිනි. ඒ අනුව නාමල් ජනාධිපතිවරයා ස්කොට්ලන්තය බලා පිටත්ව යෑමට ප්‍රථම ජනාධිපතිවරයා මුණගැසී දින වකවානු වෙන් කරගැනීමට පියවර ගත් අතර, ජනාධිපතිවරයාද සිය මවුපියන්ගේ පින්කම හේතුවෙන් වෙනත් කිසිදු රාජකාරියක් මේ දිනයට භාර නොගැනීමට පියවර ගෙන තිබිණි. එහිදී නාමල් උත්සව අවස්ථාවේදී ජනාධිපතිවරයාට කතාවක් සිදුකරන ලෙස ආරාධනා කළද එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා නාමල්ට දැනුම් දුන්නේ තමන්ට කතාවක් කළ නොහැකි බවත්, උත්සවයට සහභාගි වීමට පමණක් තමන් පැමිණෙන බවත්ය.
නාමල් ඉන්විටේෂන් බෙදලත් ඉවරයි
ජනාධිපතිවරයාගේ මෙම දැනුම්දීමට අනුව නාමල් ආරාධනා පත්‍රය සකස් කළේ ජනාධිපතිවරයාගේ නම ඊට ඇතුළත් කොට අගමැතිවරයාට කතාවක් කිරීමට අවස්ථාව ලබාදෙමිනි. එමෙන්ම උත්සව අවස්ථාවට සහභාගි වන ලෝක බැංකු නිලධාරීන්ගේ නම් පවා ඇතුළත් කිරීමට නාමල් පියවර ගත්තේය. ඒ, මාර්ග සංවර්ධන කටයුතුවලට ලෝක බැංකුවේ සහායද ලැබී තිබුණු හෙයිනි. ඒ අනුව අදාළ ආරාධනා පත්‍ර බෙදාහැරීමටද නාමල් පියවර ගෙන තිබිණි.
ජනාධිපති හදිසියේම කතාවක් ඉල්ලයි
කෙසේ වෙතත් තත්ත්වය වෙනස් වුණේ ජනාධිපතිවරයාගේ ස්කොට්ලන්ත සංචාරයෙන් අනතුරුවය. මන්ද ජනාධිපතිවරයාගේ ස්කොට්ලන්ත සංචාරය අතරතුරදී රට ඇතුළේ දේශපාලන පෙරළි ගණනාවක් සිදුව තිබීම ඊට හේතුව විය. ඒ අනුව හිටිහැටියේම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නාමල්ට පණිවුඩයක් ලැබුණු අතර ඉන් කියැවුණේ මෙම උත්සවයේදී ජනාධිපතිවරයාට කතාවක් කිරීමට අවශ්‍ය බවකි. ඊට පිළිතුරු දුන් නාමල් කියා සිටියේ මේ වන විට ආරාධනා පත්‍ර සියල්ල යවා අවසන් බවත්, ජනාධිපතිවරයාගේ මුල් දැනුම් දීමට අනුව එහි සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයා සහභාගි වන බව පමණක් බවත්, කතාව සිදුකරන්නේ අගමැතිවරයා විසින් බව එහි සඳහන්ව ඇති බවත්ය. එහි ගැටලුවක් නොමැති බවට කළ දැනුම් දීමත් සමග සම්ප්‍රදායට අනුව නාමල් අගමැතිවරයාගේ කතාවට පසුව ජනාධිපතිවරයාගේ කතාව යොදා උත්සවයේ න්‍යාය පත්‍රය නැවත සකස් කිරීමට පියවර ගත්තේය.
කොල එපා: කරන්නේ ස්වාභාවික කතාවක්
සාමාන්‍යයෙන් මෙවැනි ඉහළ පෙළේ රාජ්‍ය උත්සවයකදී ජනාධිපතිවරයා කලින් සකස් කරගත් කතාවක් ටෙලිප්‍රොම්ප්ටරයක් භාවිතයෙන් සිදුකිරීම සාමාන්‍ය සම්ප්‍රදාය නිසා ජනාධිපති මාධ්‍ය අංශයද ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ කතාවක් සකස් කරන්නද කියාය. නමුත් ජනාධිපතිවරයා එහිදී මාධ්‍ය අංශයට දැනුම් දී සිටියේ තමන් මෙවර කරන්නේ සැලසුම් කළ කතාවක් නොව, ස්වභාවික කතාවක් බවකි.
වෙනස මෙන්න
ඒ අනුව ඉකුත් සෙනසුරාදා දිනයේදී ජනාධිපතිවරයා වීරකැටියට පැමිණ උත්සවයට සහභාගි වීමෙන් පසු තමන්ගේ කතාව ඇත්තේ සම්ප්‍රදායට අනුව න්‍යාය පත්‍රයේ අවසානයට බව දුටුවේය. නමුත් තමන්ට කලින් කතාව සිදුකිරීමට අවශ්‍ය බවට කළ දැනුම් දීමෙන් පසු නාමල් වහාම න්‍යාය පත්‍රය වෙනස් කරමින් ජනාධිපතිවරයාට උත්සව සභාව ඇමතීමට අවස්ථාව ලබාදීමට පියවර ගත්තේය. ඒ අනුව ජනාධිපතිවරයා උත්සව සභාව ඇමතීමට පියවර ගත්තේ කිසිදු කොලයක් අතේ නොමැතිව ස්වභාවිකවමය. ඇත්තෙන්ම එම කතාව මහත් ආන්දෝලනාත්මක වූයේ ජනාධිපතිවරයා තමා හා අනෙකුත් හිටපු ජනාධිපතිවරුන් අතර ඇති වෙනස ප්‍රසිද්ධියේම සඳහන් කිරීමට කටයුතු කිරීම නිසාය. එහිදී තරමක් ආවේගශීලීව අදහස් දැක්වූ ජනාධිපතිවරයා එම වෙනසට තුඩුදී ඇති කරුණුද එකින් එක සභාවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
ආණ්ඩුවේ අයයි විපක්ෂයේ අයයි ලොබියේ කතාබහක
කෙසේ වෙතත් එම සතිය පාර්ලිමේන්තු සතියක් වූ බැවින් ජනාධිපතිවරයා සෙනසුරාදා කළ මේ කතාව පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් අතරද ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබිණි. ඒ අනුව පාර්ලිමේන්තු ලොබියේදී දෙපැත්තේම මැති ඇමැතිවරුන් මුණගැසුණු අවස්ථාවේ මේ පිළිබඳ ඔවුන් අතර කිසියම් සුහද සංවාදයක් ඇතිවූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගේ කතාව අගය කරමින් කතා කළ ආකාරයක් දැකගන්නට ලැබුණු අතර, විපක්ෂයේ මන්ත්‍රීවරුන් එහි ඇති ඍණාත්මක පැත්ත ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පෙන්වා දීමට පියවර ගත්තේය. ඔවුන් කියා සිටියේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් විසින් රටට පෙන්වා දිය යුතුව තිබූ කතාවක් ජනාධිපතිවරයාට කිරීමට සිදුව ඇතැයි කියාය.
ඊළග ජන්දයේදි වෙන වැඩේ
එමෙන්ම මෙහිදී ඉදිරි මැතිවරණයකදී ඡන්ද බෙදී යාහැකි ආකාරය පිළිබඳවද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර අදහස් හුවමාරුවක් සිදුවිය. එම අවස්ථාවේදී විපක්ෂයේ එක් මන්ත්‍රීවරයකු කළ විග්‍රහයට සියලු දෙනා සාවධානව ඇහුම්කන් දුන් ආකාරයක් දැකගත හැකි විය. ඒ මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුවේ සැලැස්ම වී ඇත්තේ ආණ්ඩුව කෙරෙහි කලකිරී සිටින ජනතාවගේ ඡන්දය විපක්ෂයට වැටීම වැළැක්වීම දැන් එකම අරමුණ වී ඇතැයි කියාය.
ආණ්ඩුව ජවිපෙ උස්සන්න යයි!
‘දැන් ආණ්ඩුව දන්නවා ඡන්දෙ දීපු 69 ලක්ෂය ඔබතුමාලා එක්ක නෑ කියලා. මොකද ඔබතුමාලගෙ නායකයා වෙච්ච බැසිල් ඇමැතිතුමා ගම් මට්ටමේ තත්ත්වය හොඳින්ම දන්නවා. ඒ ලක්ෂ 69 ආයෙ මේ ජීවිතේට ගන්න බෑ කියලත් එතුමා දන්නවා. ඒ නිසා දැන් ආණ්ඩුවේ ලොකු තැන්වල ඉන්න අයගෙ සැලසුම වෙලා තියෙන්නේ මේ කලකිරුණු අයගෙ ඡන්ද සමගි ජන බලවේගයට වැටෙන එක නවත්තන්න. මොකද ඒ ඡන්ද ටික අපිට වැටුණොත් ආණ්ඩුවත් අරන්, ජනාධිපතිකමත් අපි ගන්නවා කියලා එතුමාලා දන්නවා. ඒ නිසා දැන් ඒ අය ප්ලෑන් කරන්නේ මේ ඡන්ද ජනතා විමුක්ති පෙරමුණට දීලා තත්ත්වය බැලන්ස් කරන්න. එතකොට ඉස්සෙල්ලම ජනාධිපතිවරණයක් ආවොත් ගෝඨාට හරි බැසිල්ට හරි ජනාධිපති වෙන්න අවස්ථාවක් තියෙනවා. මහ ඡන්දයක් ආවොත් ආපහු හවුල් ආණ්ඩුවක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම කැට තියලා කියන්නම්, ආණ්ඩුව ප්ලෑන් කරන්නේ මේ කලකිරෙන ඡන්ද ටික ජේ.වී.පී. එකට දීලා ඒ අය උස්සන්න. ඒක ආණ්ඩුවට වාසියි…’ යනුවෙන් විපක්ෂ මන්ත්‍රීවරයා කියද්දී පසුපෙළ මන්ත්‍රීවරු දෙතුන් දෙනකුම ඒ මන්ත්‍රීවරයාට උසුළු විසුළු කරමින් කියා සිටියේ, ‘උඹට පිස්සු,… අපිට පිස්සු නෑ ජේ.වී.පී. එක උස්සන්න…’ යැයි කියාය.
අනාවැකිය හරියටම හරි!
නමුත් සජබ මන්ත්‍රීවරයාගේ මේ දේශපාලන විග්‍රහය පැය 24ක් ඉක්ම යෑමටත් මත්තෙන් හරි ගිය බවක් දැකගන්නට ලැබුණේ ජනාධිපතිවරයා සිදුකළ දෙවැනි කතාව මුල් කරගෙනය. එහිදී ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම කියා සිටියේ ජනතාව මාරුවෙන් මාරුවට අසාර්ථක වූ පාර්ශ්වයන්ටම බලය ලබාදෙන බවත්, ඒ වෙනුවට අලුත් කණ්ඩායමක් සෙවීමට ජනතාව කටයුතු කළ යුතු බවත්ය. ඒ අලුත් කණ්ඩායම පිළිබඳ තමන් නොදන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.
උඹලා කියපු එක හරි. ඒක තමයි ගේම් එක…
ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයත් සමගම ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු ලොබියේදී යළිත් වතාවක් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හා සජබ මන්ත්‍රීවරුන් අතර සුහද කතාබහක් සිදුවන ආකාරයක් දක්නට ලැබිණි. එහිදී ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු සිනාසෙමින් ගත් කටටම කියා සිටියේ, ‘උඹලා කියපු එක හරි. ඒක තමයි ගේම් එක…’ යැයි කියාය.
ඉන්නවා නම් ඉඳපල්ලා, බැරි නම් පලයල්ලා
යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමෙරිකාවට පැවරීම සම්බන්ධයෙන් වූ මාතෘකාව තවමත් ආණ්ඩුව ඇතුළේ පවතින්නේ අළු යට ගිනි පුළිඟු මෙන් පුපුරු නඟමිනි. එය කෙතරම් ආණ්ඩුව ඇතුළේ අර්බුදයට මුලපුරා තිබෙනවාද කියනවා නම් නිල වශයෙන් නොවුණත් නොනිල වශයෙන් ආණ්ඩුව මේ වන විට ඇත්තේ දෙකඩවීය. විමල් ඇතුලු පක්ෂ 11ක කැරැලිකාර කණ්ඩායම දැනටමත් ආණ්ඩුවට එරෙහිව යුද ප්‍රකාශ කර ඇති අතර ආණ්ඩුවද සිටින්නේ ‘ඉන්නවා නම් ඉඳපල්ලා, බැරි නම් පලයල්ලා’ යන ආකල්පයේය. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු කිහිප දෙනකුම පසුගිය සතියේ දැක්වූ අදහස්වලින් පැහැදිලිවම පෙනෙන්නට ඇත්තේද විමල්ලා ආණ්ඩුවෙන් ගියද ආණ්ඩුව පවත්වාගෙන යෑමේ හැකියාවක් තමන්ට ඇති බවට වූ ස්ථාවරයකි.
අමෙරිකාවෙන් එන්න යන පණිවුඩය
කෙසේ වෙතත් යුගදනවි ගිවිසුම මුල් කරගෙන ආණ්ඩුව ඇතුළේ මෙබඳු අර්බුදයක් නිර්මාණය වී පැවැතියදී ඇමෙරිකාව පසුගිය සතියේ ලංකාව සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගත්තේය. ඒ, ඇමෙරිකානු රජය නියෝජනය කරන ඉහළ පෙළේ නියෝජිතවරියක් ලංකාවට එවීමටය. ඇය නමින් කෙලී කීඩර්ලින්ග්ය. බයිඩන් රජය බලයට පත්වීමෙන් පසු ලංකාවට එන පළමු ඉහළ පෙළේ නිලධාරිනිය වන්නේද මේ කියන කෙලී කීඩර්ලින්ග්ය. ලබන සඳුදා (15) දින ලංකාවට එන ඇය ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
කෙලී කින්ඩර්ලින්ග් යනු දකුණු හා ආසියානු කලාපය භාර ඇමෙරිකානු බියුරෝවේ නියෝජ්‍ය ලේකම්වරියය. ඒ අනුව ඇයට ලංකාවට අමතරව බංග්ලාදේශය, භූතානය, මාලදිවයින සහ නේපාලය යන රටවල්ද නිරීක්ෂණය කිරීමේ වගකීම බයිඩන් රජය විසින් පවරා දී ඇත. ඒ අනුව 15 වැනිදා සිය ආසියානු කලාප සංචාරය ආරම්භ කරමින් කෙලී පළමු වරට පැමිණිමට නියමිතව ඇත්තේ ලංකාවටය. මෙහිදී ඇය විසින් ලබාදීමට නියමිත වාර්තාව අනුව බයිඩන් රජය ලංකාව සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව දැනගන්නට ඇත.
මුතුරාජවෙල අර්බූදය
ආණ්ඩුව මේ දිනවල මුහුණදී සිටින අර්බුද අතර තවත් එක් අර්බුදයක් වී ඇත්තේ මුතුරාජවෙල සම්බන්ධ ප්‍රශ්නයය. මේ ප්‍රශ්නයට මුල් වූයේ සංවර්ධන කටයුතු සඳහා යැයි කියමින් හිටි හැටියේම කිසිවකුත් දැනුවත් නොකරමින් නාගරික සංවර්ධන අධිකාරිය කැබිනට් පත්‍රිකාවක් මගින් මුතුරාජවෙලට යාබද ඉඩම් පවරාගැනීමට කටයුතු කිරීමය. මෙහිදී මුතුරාජවෙලට අමතරව අවට ගම්මානවල ජීවත්වන ජනතාවගේ පාරම්පරික ඉඩම්ද මෙම කැබිනට් පත්‍රිකාව හරහා නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට පියවර ගෙන තිබීම අර්බූදයට මුල් වී තිබිණ.
කෙසේ වෙතත් මෙම තත්ත්වය වාර්තා වීමත් සමග එම ප්‍රදේශවල වෙසෙන බහුතර ධීවර ජනතාවද, කතෝලික ජනතාවද කාදිනල් හිමිපාණන් වහන්සේ මුණගැසී මේ පිළිබඳ උන්වහන්සේගේ අවධානය යොමුකිරීමට පියවර ගත්හ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ කාදිනල් හිමිපාණන් විසින් නාගරික සංවර්ධන අධිකාරිය ගෙන තිබූ මෙම තීන්දුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වීමය.
ලන්සා සුදර්ශනී ආණ්ඩුවට ගහන්න ගනී
එපමණක් නොව ආණ්ඩුව නියෝජනය කරන කතෝලික මැති ඇමැතිවරුන් දැනුවත් කිරීමටද කාදිනල් හිමිපාණෝ පියවර ගත්හ. එහි ප්‍රතිඵලය වූයේ රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලන්සාත්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේත් හදිසියේම නාගරික සංවර්ධන අධිකාරියත්, එය භාරව සිටින රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාත් විවේචනයට ලක්කිරීමය.
එමෙන්ම පසුගිය පාර්ලිමේන්තු සතියේදී සභා ගැබට යෑමට ප්‍රථම ගොඩහේවා හමුවී සිය විරෝධය දැඩිව ගොඩහේවාට පළ කිරීමටද ලන්සා කටයුතු කළේය.
‘මොකක්ද ඇමැතිතුමා මේ කරලා තියෙන්නේ? අනවශ්‍ය ප්‍රශ්නයක්නේ මේ දාගෙන තියෙන්නේ. අපේ ගම් පළාත්වල ජනතාවගෙන් අපිට ඉන්න නෑ ඔබතුමාලා මේ කරන වැඩ නිසා. මෙහෙම කරනව නම් අඩු තරමේ අපිව දැනුවත් කරලා කරන්න තිබුණා. අපිට දැන් අපේ ජනතාවගේ මූණ බලන්නත් බෑ…’ යනුවෙන් කියා සිටි ලන්සා, තමන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වන බවත් සඳහන් කර සිටියේය.
කිව්වා වාගේම එදින පාර්ලිමේන්තුව ආරම්භ වූ පසු පළමුවෙන්ම මුතුරාජවෙල දෙබරෙට ගල ගැසුවේ ගම්පහ තවත් කතෝලික මන්ත්‍රීවරයකු වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනය. කාවින්දගෙන් පසු කතා කළ ලන්සාත්, සුදර්ශනීත් කාවින්ද දැරූ මතයම දරමින් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.
මුතුරාජවෙලත් රිවස්
ඒ අනුව මොහොතක් යෑමට මත්තෙන් මෙම තත්ත්වය ජනාධිපතිවරයාටද වාර්තා විය. ඒ සමගම ජනාධිපතිවරයා කළේ ගොඩහේවාට කතා කොට එහි තත්ත්වය පිළිබඳ කරුණු විමසීමය. එපමණක් නොව වහාම එම ගැසට් පත්‍රය අත්හිටුවා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය පමණක් පවරාගැනීමටත්, ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමටත් ජනාධිපතිවරයා ගොඩහේවාට උපදෙස් ලබා දුන්නේය. ඊට අමතරව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරාටද කතා කළ ජනාධිපතිවරයා වහාම මුතුරාජවෙලට සම්බන්ධ ගැසට් පත්‍රය අත්හිටුවන ලෙස උපදෙස් ලබාදුන්නේය. එමෙන්ම පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් පවත්වා මෙම මුතුරාජවෙල ප්‍රශ්නය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේය.
රැස්වීම සාමකාමියි
ඒ අනුව ඉකුත් අඟහරුවාදා පෙරවරු 11.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස්වීමක් කැඳවීමට ආණ්ඩුව පියවර ගත්තේය. බොහෝ දෙනා මෙම රැස්වීම උණුසුම් වනු ඇති බවට මත පළකර තිබුණද ගැසට් පත්‍රය අකුලා ගැනීම හේතුවෙන් වැඩි හැලහොල්මනක් නැතිව රැස්වීම පැවැත්වුණු ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් මේ වන විට ආණ්ඩුව මුතුරාජවෙල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව විසඳීම සඳහා මැති ඇමැතිවරුන් 8 දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කොට තිබේ. ඊට මහින්ද අමරවීර, සී.බී. රත්නායක, නිමල් ලන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නාලක ගොඩහේවා, නලින් ප්‍රනාන්දු, ජයන්ත වීරසිංහ සහ වීරසුමන වීරසිංහ යන මැති ඇමැතිවරුන් ඇතුළත් කිරීමටද පියවර ගෙන ඇත.
සබ්‍රි-ජී.එල්.-දිනේෂ් ඉල්ලා අස්වීම
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ හෙළිදරව්වක් කරමින් අපි ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් තිදෙනකු විවිධ කාරණා මුල් කරගෙන ඉල්ලා අස්වීමේ සූදානමකින් පසුවන බව සඳහන් කර සිටියෙමු. මෙහිදී අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා ‘එක රටක් එක නීතියක්’ ජනපති කාර්යසාධක බළකායේ සභාපති ධුරය සඳහා පූජ්‍ය ඥානසාර හිමියන් පත්කිරීමට විරෝධය පළකරමින් ඉල්ලා අස්වීමට තීන්දු කර තිබූ බවත්, ඊට අදාළ ලිපිය පවා සකස් කරගෙන ජනාධිපතිවරයාට භාරදීමට සූදානමින් සිටි බවත් අපි එහිදී අනාවරණ කළෙමු. සබ්‍රිට අමතරව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් යන මහත්වරුන්ද සිය අමාත්‍යාංශ ලේකම්වරුන් සමග ඇතිකරගෙන තිබූ ගැටුම් හේතුවෙන් ඉල්ලා අස්වීමට තීන්දු කර ඇති බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.
සබ්‍රි ෂේප් කරගනී
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිය ස්කොට්ලන්ත සංචාරය නිමවා ලංකාවට පැමිණීමත් සමග අලි සබ්‍රි සිය ඉල්ලා අස්වීමේ ලිපියද රැගෙන ජනාධිපතිවරයා මුණගැසීමට ගියේ එම ලිපිය භාරදී සිය තනතුරට ආයුබෝවන් කීමේ අරමුණෙනි. සිය ඉල්ලා අස්වීමේ ලිපිය සමග තවත් එක් ලිපියක්ද මෙහිදී අලි සබ්‍රි රැගෙන ගොස් තිබිණි. ඒ, සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වීමේ ලිපියය. ඒ අනුව අලි සබ්‍රි සැලසුම් කර තිබුණේ සිය මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වී සුපුරුදු පරිදි අධිකරණයට ගොස් නීතිඥ වෘත්තියේ යෙදීමටය.
කෙසේවෙතත් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී අලි සබ්‍රි, ඥානසාර හිමියන්ගේ බළකාය මුල් කරගෙන තමන්ට මුහුණ දීමට ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවූයේය. විශේෂයන්ම එකී බළකායේ නෛතික තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කළ සබ්‍රි එහි වෙනස් විය යුතු ස්ථාන රැසක් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය.
ඥානසාර හිමිගේ තටු කපයි!
ඒ අනුව අවසානයේදී ජනාධිපතිවරයා අලි සබ්‍රිට දැනුම් දුන්නේ ඉල්ලා අස්වීමට කටයුතු නොකරන ලෙසත්, අදාළ කාර්ය සාධක බළකායට ලබාදී ඇති බලතල සීමා කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට තමන් කටයුතු කරන බවත්ය. එමෙන්ම අලි සබ්‍රි පෙන්වා දුන් පරිදි අධිකරණ අමාත්‍යාංශයේ පනත් කෙටුම්පත් පිළිබඳ සලකා බැලීමේ බලතල ඉවත් කිරීමට කටයුතු කළ ජනාධිපතිවරයා මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් හා මතවාද සැලකිල්ලට ගනිමින් සහ එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සංකල්පමය රාමුවක් සකස් කිරිම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පමණක් එම කමිටුවට ලබාදීමට පියවර ගත්තේය.
තවදුරටත් අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට සබ්‍රි හිත හදාගත්තේ ජනාධිපතිවරයා මේ වෙනස්කම් සිදුකිරීමෙන් අනතුරුවය.
ජී.එල් ප්‍රසිද්ධියේ රිවස් වෙයි! දිනේෂ් සයිලන්ස් වෙයි!
අලි සබ්‍රි මේ ආකාරයට ජනාධිපතිවරයා මුණගැසී සිය තීරණය රිවස් කිරීමට තීන්දු කළද ජී.එල්. එසේ ජනාධිපතිවරයා මුණගැසී සිය අදහස සම්බන්ධයෙන් සාකච්ඡා කළ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. නමුත් හිටි හැටියේම ඉකුත් සඳුදා දින මාධ්‍ය හමුවකට එක්වුණු ජී.එල්. තමා හා අමාත්‍යාංශය ලේකම්වරයා අතර කිසිදු ගැටුමක් නොමැති බවත්, අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව තමා හා ලේකම්වරයා කටයුතු කරන බවත් කියමින් ඉල්ලා අස්වීමේ තීන්දුව ප්‍රසිද්ධියේම රිවස් කරගැනීමට පියවර ගත්තේය.
නමුත් අලි සබ්‍රිත්, ජී.එල්. පීරිසුත් එසේ කළද දිනේෂ් නම් සිය ප්‍රශ්නය සම්බන්ධයෙන් තවමත් කිසිදු ප්‍රකාශයක් සිදු නොකර නිහඬව සිටීම විශේෂ සිදුවීමකි.
චම්පික එක්ක පැටලුණු මහින්දානන්ද
මේ දිනවල ආණ්ඩුවේ මැති ඇමැතිවරු සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධ කරුණු මුල් කරගෙන එළිපිටම යුද ප්‍රකාශ කරගනිමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. එක පැත්තකින් මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දුත්, මනුෂ නානායක්කාරත් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය මුල් කරගෙන විශාල සංවාදයක පැටලී සිටින ආකාරයක් දැකගන්නට ඇත. අනෙක් පැත්තෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී චම්පික රණවක ඉන්දියාවෙන් ගෙන ආ නැනෝ පොහොර මුල් කරගෙන සංවාදයක නිරතව ඇත. මෙම සංවාද දෙකම පාර්ලිමේන්තුවේ සිදුකෙරුණද ඒ දෙකම මේ වන විට ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් වීම විශේෂය.
සීඅයිඩී ගිය කතාව
මෙහිදී මහින්දානන්දත්, චම්පිකත් අතර ගැටුම පැනනැඟුණේ චම්පික මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රටට අනාවරණ කළ කරුණක් මුල් කරගෙනය. එහිදී චම්පික කියා සිටියේ රසායනික පොහොර ගෙන්විය නොහැකි බවට ගැසට් පත්‍රයක් නිකුත්ව පවතිද්දී කෘෂිකර්ම අමාත්‍යවරයා ඉන්දියාවේ අයි.එෆ්.එෆ්.සී.ඕ. සමාගමෙන් නැනෝ යූරියා පොහොරක් ගෙන්වා ඇති බවත්, එහි 46%ක් නයිට්‍රජන් අඩංගු බවත්ය. එමෙන්ම ඊට අදාළ සමාගම් වෙබ් අඩවියේ එහි ලීටරයක මිල ඩොලර් 6ක් ලෙස සටහන්ව තිබුණද ලංකාවට ගෙන ඒමේදී එහි මිල ඩොලර් 25ක් ලෙස සටහන්ව ඇති බවත්, ඒ හරහා විශාල මුදලක් කිසිවකු විසින් වංචා කොට ඇති බවත් චම්පික එහිදී කියා සිටියේය.
මෙම හෙළිදරව්වෙන් අනතුරුව ඊට පසු දිනම පාර්ලිමේන්තුවේදී චම්පිකට පිළිතුරු දුන් මහින්දානන්ද චම්පිකට එරෙහිව එදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත්, චම්පික කර ඇත්තේ සම්පූර්ණ අසත්‍ය චෝදනාවක් බවත් සඳහන් කර සිටියේය.
මම දෙන උත්තරේ අහන් ඉන්න
කෙසේ වෙතත් මහින්දානන්ද මෙම ප්‍රකාශය සිදුකරද්දී චම්පික සභාගැබේ සිටියේ නැත. නමුත් මොහොතක් යෑමට මත්තෙන් මහින්දානන්ද කළ කතාව චම්පිකටද දැනගන්නට ලැබිණි. ඒ අනුව චම්පික කළේ වහාම මහින්දානන්දව පාර්ලිමේන්තුව තුළදීම මුණගැසී තමන් ඊට පිළිතුරු ලබාදෙන බවත්, සභාගැබට පැමිණ එය අසා සිටින ලෙසත් දැනුම් දී සිටීමය.
‘ඇමැතිතුමා, ඔබතුමා කියලා තිබුණා මම කරපු කතාවකට විරුද්ධව සී.අයි.ඩී. එකට පැමිණිලි කරනවා කියලා. මම බොරු කියනවා කියලත් ඔබතුමා කියලා තිබුණා. මම ඒකට දැන් පාර්ලිමේන්තුවේදී උත්තර දෙනවා. ඔබතුමා ඒ උත්තරයත් අහගෙන ඉන්න…’ යනුවෙන් චම්පික කියද්දී මහින්දානන්ද කියා සිටියේ තමන් එදිනම සී.අයි.ඩී.යට මේ පිළිබඳ පැමිණිලි කරනවා යැයි කියාය. ඊට චම්පික දුන්නේ අපූරු පිළිතුරකි.
මහින්දානන්ද දේශපාලනයෙන් සමුගන්න යයි!
‘අයියෝ ඇමැතිතුමා අපි ඒවට නම් බය නෑ. අපිත් සී.අයි.ඩී.යට ඇවිල්ලා ඕවට උත්තර දෙන්නම්. හැබැයි මේ ප්‍රශ්නවලට ඔබතුමා අපට හරි උත්තරයක් දෙන්න…’ යනුවෙන් චම්පික කියද්දී මහින්දානන්ද දුන්නේ චම්පික කිසිසේත්ම අපේක්ෂා කළ පිළිතුරක් නොවේ.
‘නෑ මන්ත්‍රීතුමා මම මේ අවුරුදු හතර විතරයි දේශපාලනය කරන්නේ. ඊට පස්සේ මම දේශපාලනයෙන් සමුගන්නවා. හැබැයි ඔබතුමාලා අපට මේ විදියට හොරකම් කළා කියලා චෝදනා කරද්දි අපට දේශපාලනයෙන් අයින් වෙලාවත් මොනවත් කරන්න බැරිව යනවා. ඒකයි මම මේ ගැන රහස් පොලිසියට පැමිණිලි කරන්නේ. මොකද මම මෙතන වංචාවක් කරලා නෑ…’ යන්න මහින්දානන්ද දුන් උත්තරය විය.
16ට ආණ්ඩුව බය වෙලාද
ආණ්ඩුව විසින් ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය යුතු බවට සමගි ජන බලවේගය තීරණය කළේ මීට සති කිහිපයකට පෙරාතුවය. දිනෙන් දින ඉහළ යන බඩු මිල, පොහොර අර්බුදය, ගෑස්, තෙල් ප්‍රශ්නය, රටේ සම්පත් විදේශයන්ට විකිණීම ආදී කරුණු රැසක් මුල් කරගෙන මෙම විරෝධතාව දියත් කිරීමටත්, එළැඹෙන 16 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී ජනතාව ගෙන්වා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමටත් එහිදී සමගි ජනබලවේගය තීරණය කර තිබිණි. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් හයිඩ් පිටිය ඒ සඳහා කල් තියාම වෙන් කරවා ගැනීමටත් පියවර ගත්තේ පහුවන විට ආණ්ඩුව ඊට බාල්දියක් පෙරළනු ඇති බවට මතුව තිබූ සැකය නිසාමය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඉකුත් අඟහරුවාදා දිනයේදී රැස්වී ඒ සම්බන්ධයෙන් නැවත වතාවක් සාකච්ඡා කිරීමට පියවර ගත්තේ ආණ්ඩුව කොරෝනා පිට දමා මෙම රැස්වීම නැවැත්වීමට පියවර ගනු ඇති බවට ආණ්ඩුවේ පැත්තෙන් ලැබී තිබූ යම් යම් තොරතුරු නිසාමය. එහිදී මන්ත්‍රීවරු කිහිප දෙනකුම මේ තත්ත්වය මතු කරමින් ආණ්ඩුව විරෝධතාව තහනම් කරනු ඇති බව පෙන්වා දීමට පියවර ගත්තද සජිත් දැඩි ස්ථාවරයක සිටිමින් කියා සිටියේ ආණ්ඩුව කොපමණ බාධා කළද ඒ සියල්ල මැද හෝ මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විය යුතු යැයි කියාය.
ඩේලිමිරර් ගහපු පචේ
‘ආණ්ඩුව අපේ විරෝධතාව කඩාකප්පල් කරන්න පුළුවන් හැම දෙයක්ම කරයි. හැබැයි අපි මේ විරෝධතාව කරන්න ඕනෙ. මොකද සමහරු කියනවා අපි තාම ආණ්ඩු බලය ගන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි කියලා…’ යැයි සජිත් කියද්දී මදක් කලබලයට පත්වුණේ සරත් ෆොන්සේකා මහතාය. ඒ, පසුගිය සතියේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට අයත් ‘ඩේලි මිරර්’ පුවත්පතේ ෆොන්සේකා මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් සිය මුල් පිටුවේ සජබය තවමත් ආණ්ඩු බලය ලබාගැනීමට සූදානම් නැති බවට වාර්තා කර තිබීම නිසාය. පසුව එදිනම ෆොන්සේකා එම පුවත නිවැරැදි කරමින් තමන් එසේ නොකී බවත්, ඩේලි මිරර් පුවත්පත කරුණු සඟවමින් ඔවුන්ට අවශ්‍ය කොටසක් පමණක් ගෙන එම පුවත වාර්තා කොට ඇති බවත් කියා තිබිණි.
ඒ අනුව වහාම සජිත් කී කතාවට උත්තර දුන් ෆොන්සේකා කියා සිටියේ තමන් එසේ නොකී බවත්, ඩේලි මිරර් පුවත්පත වැරැදි ලෙස තොරතුරු වාර්තා කොට ඇති බවත්ය.
‘නෑ නෑ… මම දන්නවා ඔබතුමා එහෙම කිව්වෙ නෑ කියලා. හැබැයි අපේ පක්ෂයේම සමහරු එහෙම කියනවා අපි තවම බලය ගන්න සූදානම් නෑ කියලා. ඒකට අපි උත්තර දෙන්න ඕනේ…’ යනුවෙන් සජිත් එහිදී කියා සිටියේය. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ යොදාගත් පරිදි උද්ඝෝෂණය 16 වැනිදා පැවැත්වීමටය.
16 විරෝධය ස්ථිරයි!
කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා වන විට ආණ්ඩුවේ ඉහළ තැන්වලට දැනෙන්නට ලැබී තිබුණේ මෙම විරෝධතාවට රට වටෙන්ම විශාල ජනකායක් පැමිණීමට සූදානමින් සිටිනවා කියයා. එසේ වුවහොත් එය අවාසිදායක විය හැකි බව ආණ්ඩුවේ ප්‍රධානීන්ටද වැටහී තිබිණ. ඒ අනුව බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මුළු රටම කොරෝනා කලාපයක් සේ සලකා සියලු රැස්වීම් තහනම් කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. එපමණක් නොව සිකුරාදා දිනයේ කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා විසින් සමගි ජන බලවේගයට ලබාදී තිබූ කොළඹ හයිඩ් පිටිය වහාම අවලංගු කිරීමටද පියවර ගත්තේය.
ඒ අනුව සමගි ජන බලවේගය සිය ආණ්ඩු විරෙධී උද්ඝෝෂණය හකුලාගනු ඇති බව ආණ්ඩුව සිතා සිටියද සමගි ජන බලවේගය මේ වන විට තීන්දු කොට ඇත්තේ සිය දෙවැනි විකල්පය ක්‍රියාත්මක කිරීමටය. ඒ හරහා සැලසුම් කරගත් පරිදි උද්ඝෝෂණ ව්‍යාපාරය 16 වැනි දින පැවැත්වීම සජබෙ අරමුණ වී තිබේ.
කපිල පුංචිමාන්නගේ