ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 750ක් දුරින් ස්ථානගතව ඇති මෙම පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී ඊට පසු එළඹෙන පැය 12ක කාලය තුලදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.
මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකළපුව සහ මුලතිව් අතරින් රට තුළට ලබන බදාදා සවස් කාලයේදී ඇතුළුවිය හැක.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 01 වෙනිදා සිට 03 වෙනිදා දක්වා කාලය තුලදී දිවයිනේ උතුරු සහ නැගෙනහිර ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80-100 දක්වා ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශය රළු විය හැක.
කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2-3ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.










