මීට සති දෙකකට ඉහතදී ඉන්දියාව පමණක් නොව ලංකාවද කැලඹෙන ආකාරයේ මහත් ආන්දෝලනාත්මක පුවතක් තමිල්නාඩුවේ ප්‍රකට දේශපාලනඥයකු වන පාෂා නෙදුමාරන් විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය. එහිදී ඔහු කියා සිටියේ එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවත්, ඔහු නියමිත වේලාවට යළි කරළියට පැමිණීමට සූදානමින් සිටින බවත්ය. මේ ප්‍රකාශය තමිල්නාඩු මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග තමිල්නාඩු දේශපාලනය පමණක් නොව ලංකාවේ දේශපාලනයද කැලඹී ගිය අතර, වහාම යුද හමුදාව විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින කතාව අසත්‍ය බව යළිත් වතාවක් නිල වශයෙන් නිවේදනය කිරීමට කටයුතු කළේය. නමුත් තමිල්නාඩු මාධ්‍ය මගින් හෝ ඉන්දීය ආණ්ඩුව මගින් ඒ සම්බන්ධයෙන් වැඩිමනත් කරුණු ප්‍රකාශ නොකිරීම හේතුවෙන් ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින කතාව යට ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
කෙසේ වෙතත් පසුගිය සතියේදී නැවත වතාවක් ප්‍රභාකරන්ගේ මෙම කතාවට පණ ලැබුණේ ඉන්දීය දෙමළ මාධ්‍ය මගින් ප්‍රභාකරන්ගේ වයස්ගත ඡායාරූපයක් එළියට දැමීමත් සමගය. මෙය පළකොට තිබුණේ ‘වජිර මීඩියා’ යනුවෙන් හැඳින්වෙන තමිල්නාඩු වෙබ් අඩවියක් මගිනි. එය ‘වෙන්කටේශ් කුමාර් ජී’ නමැත්තකු විසින් පළකර තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. මෙම ඡායාරූපය තමිල්නාඩු මාධ්‍යවල පළවීමත් සමග එය ඉන්දියාව පුරා රැල්ලක් මෙන් පැතිර යන ආකාරයක් දැකගත හැකි විය. සෑම ඉන්දීය සමාජ මාධ්‍යයක්ම පාහේ මෙම ඡායාරූපය පළකිරීමට පියවර ගැනීමත් සමග යළිත් වතාවක් ප්‍රභාකරන් ඉන්දියාවේ අංක 01 මාතෘකාව බවට පත්වීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. මේ සමගම බොහෝ දෙනා මෙම ඡායාරූපයේ ඇත්ත නැත්ත සොයා බැලීම ආරම්භ කළේ එය බැලූ බැල්මටම ප්‍රභාකරන්ගේ වයස්ගත කාලය නිරූපණය කරන ඡායාරූපයක් වූ නිසාය.
#Prabhakaran JOY 🤞 pic.twitter.com/E9skiAHjhD
— Venkatesh Kumar.G (@dirvenkatesh) February 13, 2023
මෙහි ප්‍රධාන කාර්යයක් ඉටු කළේ ‘ෆැක්ට් රිසෙන්ඩෝ’ නම් වෙබ් අඩවියය. එම වෙබ් අඩවිය සමාජ මාධ්‍ය ජාලවල පළවන පුවත්වල සත්‍ය අසත්‍යතාව සොයා බලන වෙබ් අඩවියකි. ඒ අනුව ඔවුන් මේ පිළිබඳ සොයාබැලීම ආරම්භ කරමින් අදාළ ඡායාරූපය පළකළ ‘වජිර මීඩියා’ ට්විටර් ගිණුම හරහා ඒ පිළිබඳ ප්‍රශ්න කොට පණිවුඩයක් තැබීමට පියවර ගෙන තිබිණි. එහිදී ඔවුන් ප්‍රතිචාර දක්වා තිබුණේ මෙම ඡායාරූපය සත්‍ය එකක් නොවන බවත්, ප්‍රභාකරන්ගේ පැරැණි ඡායාරූපයක් ගෙන එය, වයසට යන විට මුහුණේ හැඩය වෙනස් වන ආකාරය පෙන්වන ‘ෆේස් ඇප් එකක්’ මගින් සංස්කරණය කොට සැකසූ එකක් බවත්ය. ඒ අනුව ඡායාරූපය අසත්‍ය එකක් බව එහිදී පැහැදිලිවම තහවුරු වී තිබිණ.
කෙසේ වෙතත් මෙහි ඇති ගැටලුව එය නොවේ. ගැටලුව වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉන්දියාවේ තහනම් සංවිධානයක් ලෙස නම්කොට තිබියදීත් ප්‍රභාකරන් සම්බන්ධයෙන් මේ ආකාරයේ විවිධ ගුප්ත පුවත් පළවීමය. ඒවා පළවන්නේ කුමන පදනමක් මතද, එහි සැඟවුණු අරුත කුමක්ද යන්න වටහාගත නොහැකි නමුත් හිටිහැටියේම තමිල්නාඩුව හරහා ප්‍රභාකරන් මුල් කරගෙන යම් විවාදයක් මතුව තිබීම මීට වඩා ප්‍රවේශමෙන් සොයා බැලිය යුතු කරුණක් බව බොහෝ දෙනාගේ අදහසය.