හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මූලිකත්වයෙන් විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයේ කල්ලාරු රක්ෂිතය එළිකොට අනවසර ජනාවාස ඉදිකිරිම නීතිවිරෝධි බව අද (16) තීන්දු කළ අභියාචනාධිකරණය, වනය එළිකර ජනාවාස ඉදිකළ ප්‍රදේශවල හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිය පෞද්ගලික වියදමින් නැවත ගස් සිටුවීමට පියවර ගතයුතු බවද නියෝග කළේය.
එම නඩුවට අදාල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළේය.
2015 වර්ෂයේදී “පරිසර යුක්ති කේන්ද්‍රය” මගින් ගොනුකළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
ඒ අනුව විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයේ, කල්ලාරු වනාන්තරය එළිකොට අනවසර ජනාවාස ඉදිකිරිම නීතිවිරෝධි බව අධිකරණය තීන්දු කරනු ලැබීය.
එමෙන්ම එළිපෙහෙළි කළ වනාන්තර කලාපයේ ජනාවාස සෑදූ ප්‍රදේශවල සිය පෞද්ගලික වියදමින් ගස් සිටුවීමට පියවර ගන්නා ලෙසද අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා වෙත නියෝග කෙරුනි.
ඊට අමතරව පැමිණිලි පාර්ශ්වයේ නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් පෙත්සමේ වග උත්තරකාර පාර්ශ්වයට නියෝග කර තිබේ.










