පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් පල්ලිවලින් සොයා ගත් 6000කට ආසන්න කඩු තොගයක් මෙරටට ආනයනය කර බෙදා හැරීම පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමන් විසින් රිට් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
ඒ අනුව අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් ලබන මාර්තු 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට ඊයේ (18) නොතීසි නිකුත් කරණු ලැබීය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ මෙම රිට් පෙත්සම බැලූ අතර එහිදී අදාළ නොතීසි නිකුත් කළ බව වාර්තා වේ.
තවද ඉහතකී රිට් පෙත්සම් සලකා බැලීමට මාර්තු 05 වැනිදාට දින නියම කිරීමට ද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග නිකුත් කළ බවද වාර්තා වේ.










