• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කටුනායක අත්අඩංගුවේ සිටි ‘බූරු මූනා’ මුදාගත් ඩුබායි පාතාල මෙහෙයුමේ සියල්ල හෙළිවෙයි! පොලිසියයි හාමුදුරුවරුයි සෙට් ‌වුණු හැටි මෙන්න!

March 5, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
කටුනායක අත්අඩංගුවේ සිටි ‘බූරු මූනා’ මුදාගත් ඩුබායි පාතාල මෙහෙයුමේ සියල්ල හෙළිවෙයි! පොලිසියයි හාමුදුරුවරුයි සෙට් ‌වුණු හැටි මෙන්න!
Share on WhatsAppShare on Facebook

ඩුබායි හි රැඳී සිටින ප්‍රබල පාතාල අපරාධකරුවන්ගේ කොන්ත්‍රාත්වලට අනුව බස්නාහිර හා දකුණු පළාත් ආශ්‍රිතව මෑතකදී සිදුවූ මිනිස් ඝාතන රැසක අබිරහස් වෙඩික්කරුවා වූයේ කළුමිණි රවිදුසංඛ ද සිල්වා නොහොත් බූරු මූණාය. ඒ බව තහවුරු කරන්නේ පාතාල අපරාධකරුවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් විසිනි. ඒ අයට අනුව බූරු මූණා විසින් කර ඇතැයි කියනු ලබන ඝාතන ගණන දහ පහළොවකට වැඩිය. කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් කිහිප දෙනකු විසින් පසුගිය දා පැන යන්නට ඉඩදී බලා සිටියේ මෙවන් අපරාධකරුවකුටය.

පාදුක්ක, වග ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන කේ.කේ. රවිඳු වර්ණ රංග නමින් සිය මුහුණේ ඡායාරූපය යොදා සකස් කළ “N 10119203“ අංකය දරන විදෙස් ගමන් බලපත්‍රයෙන් ඩුබායි රටට පලා යන්නට බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පසුගිය 24 වෙනිදා සවස ආ බූරු මූණාව අල්ලා කටුනායක පොලිසියට බාර දෙන්නේ ආගමන විගමන නිලධාරීන්ය. ඒ අවිස්සාවේල්ල මහාධිකරණයෙන් එම විදෙස් ගමන් බලපත්‍රය අත දරන පුද්ගලයාට විදෙස් ගමන් තහනමක් පනවමින් අවිස්සාවේල්ල මහාධිකරණය විසින් “ම/උ/බී 9026/2022“ අංකය යටතේ 2022 වසරේ නිකුත් කර තිබුණු නියෝගයකට අනුවය.

මෙම නියෝගය අධිකරණයෙන් ලබා ගෙන තිබුණේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි. ඒ 2022 වසරේ දෙසැම්බර් 18 වෙනිදා හංවැල්ලේ සිදුවූ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙනි. හංවැල්ල හරස් පාරේ පිහිටි මුස්ලිම් හෝටලයේ හිමිකරු වූ මොහොමඩ් ෆර්ෂාන්ට එදා බූරු මූණා විසින් වෙඩි තබන්නේ හෝටලය වසා දැමීමට සූදානම් වූ මොහොතේ එතැනට පැමිණ දුම්වැටියක් මිලදී ගැනීමේ මුවාවෙනි. හෝටලයේ කැෂියර් කූඩුවේ රැඳී සිටි මෙම ව්‍යාපාරිකයාට වෙඩි තබන අයුරු ඒ අසල වූ ආරක්ෂක කැමරාවක පවා සටහන්ව තිබුණේ තැබූ වෙඩිල්ලේ හඬ ද සමඟිනි.

එදා මහ රෑ මුහුණ වසාගෙන දුම්වැටි සොයා ගෙන විත් ෆර්ෂාන් ට වෙඩි තබන්නේ රවිදු සංඛ ද සිල්වා නොහොත් බූරු මූණා බව හෙළි කර ගන්නේ ද බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ය. බූරු මූණා විසින් මෙම ඝාතනය සිදු කරනු ලැබුවේ කොන්ත්‍රාත්තුවකට අනුව බව ද බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අවසානයේදී සොයා ගත්තේය. ඒ එම කොන්ත්‍රාත්තුව පිටුපස ඉන්නේ කවුරුන්දැයි කියා හැම තොරතුරක්ම සමඟිනි.

ඊට අනුව ෆර්ෂාන්ව මරා දැමීමට බූරු මූණාට කොන්ත්‍රාත්තුව දී තිබුණේ හංවැල්ලේ බලය ගොඩනඟමින් මත්කුඩු ජාවාරම සියතට ගැනීමට වෙර දරමින් සිටි ලලිත් කන්නංගර‍ නැමැති පාතාලයේ ප්‍රබලයාය. ඒ ඔහුත් එක්කම ඩුබායි හි රැඳී සිටින හංවැල්ලේ චමියාද සමඟ එක්වය. ෆර්ෂාන්ව මරා දැමීමට ලලිත්ට වුවමනාවක් ඇති වන්නේ ෆර්ෂාන්ගේ සහෝදරයා සමඟ ලලිත් කළ යම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ ආරවුලකි. එම ගනුදෙනුව කුමක්දැයි අදටත් ඇත්තේ අභිරහසක් ලෙසිනි. එය මුල් කරගෙන අවස්ථා කිහිපයකදීම ෆර්ෂාන්ගේ සහෝදරයා මරා දැමීමට ලලිත් සිය ගෝලබාලයින් යොදවනු ලැබුවත්, ඒ හැම උත්සාහයක්ම වැරදී ගොස් තිබුණේය. අවසාන උත්සාහයේදී ෆර්ෂාන්ගේ සහෝදරයා විසින් ලලිත්ගේ ගෝලයන්ට පහර දුන්නේය. එහිදී ලලිත්ගේ ගෝලයින් දෙතුන් දෙනෙකුට තුවාල ද සිදුව තිබුණේය. හංවැල්ල පොලිසියේ සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජිකයෙක් වූ බැවින් ෆර්ෂාන්ට පොලිසියේ යම් හයියක් ද තිබුණේය.

ඒ නිසාම ලලිත් තීරණය කරනුයේ කට්ටි පනිමින් සිටින ෆර්ෂාන්ගේ සහෝදරයාට දැනෙන්නට ෆර්ෂාන් ව මරා දමන්නටය. හෙළිවෙමින් ඇති ආකාරයට අනුව ෆර්ෂාන්ගේ ඝාතකයා වූ බූරු මූණාව මේ සඳහා ලලිත්ට ලබා දෙන්නේ රත්ගම විදුරය. ඒ විදුරගේ මත්කුඩු ජාලයේ ලලිත් ප්‍රබල පුරුකක් වූ බැවිනි. ඒ වන විටත් විදුර සිටියේ බූරු මූණාගෙන් හොඳටෝම වැඩ ගනිමිනි.

පොලිසියේ ඇති තොරතුරුවලට අනුව බූරු මූණාගේ නම ඉදිරියේ සටහන් වන මුල්ම මිනිස් ඝාතනය වන්නේ රත්ගම ගම්මැද්දේගොඩ පිහිටි නිවසකට කඩා වැදී බහුදින යාත්‍රා හිමිකරුවකු වූ දේව නන්දලාල් ප්‍රියන්තට ටී 56 අවියකින් වෙඩි තබා මරා දැමීමය. 2022 වසරේ ජූලි 31 වෙනිදා මෙම ඝාතනය ඔහු විසින් සිදු කරනු ලබන්නේ විදුරගේ කොන්ත්‍රාත්තුවකට අනුවය.

පාතාලයේ අපරාධකරුවෙක් ලෙස බූරු මූණා කරලියට එන්නේ ඒත් එක්කමය. රත්ගම විදුරගේ කොන්ත්‍රාත්තුවකට අනුව බූරු මූණා එදා නන්දලාල්ට වෙඩි පත්තු කළ බව හෙළිකර ගන්නේ එවකට ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස සේවය කළ ඇඹිලිපිටියේ වත්මන් පොලිස් ප්‍රධානී සුදත් මාසිංහ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමකි. ඒ වන විට බූරු මූණා සිටියේ දකුණෙන් කොළඹට පැන ගොසිනි. ඒ පොලිසිය ඔහු යන එන හැම තැනකටම ඉව අල්ලමින් සිටි බැවිනි. මේ අතර බූරු මූණා රටින් පැන යාමේ අවදානමක්ද විමර්ශන කණ්ඩායමට මතු විය. සුදත් මාසිංහගේ උපදෙසින් ඊට ද වැට බඳින්නේ ගාල්ල මහාධිකරණයෙන් ලබා ගන්නා ගුවන් තහනම් නියෝගයක් මඟිනි.

දැඩි දේශපාලන සම්බන්ධකම් ඇති පාතාලයේ කුඩු රජෙක් ලෙස සැලකෙන රත්ගම විදුරගේ කොන්ත්‍රාත්තුවකට අනුව නන්දලාල්ව මරා දමමින් අබිරහස් වෙඩික්කරුවෙක් ලෙස පාතාලයට පිවිසෙන බූරු මූණාගේ නම ඉදිරියේ ඊට පෙර ලියැවී ඇති එකම අපරාධය වන්නේ ගස් කැපීමට යොදා ගන්නා යාන්ත්‍රික කියතකින් සිව්දෙනකු කපා තුවාල කිරීමකි. එය සිදු වන්නේ 2018 වසරේදීය. ඒ සිය පියාට පිරිසක් විසින් කළ පහරදීමකට ප්‍රතිප්‍රහාරයක් ලෙසිනි.

බූරු මූණාගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ ඔහු පාසල් අවදියේදී සිටම දරුණු පුද්ගලයෙක් බවය. දඩබ්බරයෙක් මෙන්ම කුකුල් කේන්තිකාරයෙක් වූ බූරු මූණාට මේ නම පටබැඳී ඇත්තේ ද පාසලිනි. පාසලේ මිතුරන් පවා ඔහුව ඇමතුවේ බූරු මූණා යැයි කියාය. ඒ ඔහුට ඇති දිගැටි මුහුණ සහ කන්පෙතිවල ඇති හැඩය මුල්කර ගනිමිනි. වරක් ඔහුට බූරු මූණා යැයි කියූ සිසුවකු දෙපාවලින් අල්ලා මහල් ගොඩනැඟිල්ලකින් බිමට සිරුර දමා ඔසවා ගෙන සිටි අයුරු අදටත් ඔහුගේ පාසල් මිතුරන්ගේ මතකයේ ලියැවී ඇත්තේය. ඒ අය කියන හැටියට බූරු මූණා අධ්‍යාපනයට එතරම් දස්කම් දැක්වූවෙක් නොවීය. ඒ නිසාම ඔහු සිය පාසල් අධ්‍යාපනය අහවර කර තිබුණේ 10 පන්තියෙනි.

බූරු මූණාගේ පවුල ආර්ථික අතින් ශක්තිමක් එකක් නොවීය. පියා ගස් කැපීම ජීවිකාව කර ගත්තෙකි. ඔහුට සිටියේ බාල සහෝදරයෙක් සහ වැඩිමල් සහෝදරියක් පමණි. නිසි කල උදාවීමත් සමඟ ඇය විවාහයක් කර ගන්නේ අනුරාධපුරයෙනි. ඒ මවගේ දැඩි විරෝධය මධ්‍යයේය. ඒ පියාගේ වුවමනාව මතය. ඒ නිසාම මවත් පියාත් අතර ඇති වන්නේ විරසකයකි. මවගේත් පියාගේත් එම විරසකය ඔඩු දුවන්නේ ගාල්ලපැත්තේ කුළි නිවසක් සොයාගෙන ගොස් මව එහි පදිංචියට යාමෙනි. ඇය එහි යන්නේද තනිවම නොව, බූරු මූණා සහ ඔහුගේ බාල සහෝදරයාවද රැගෙනය.

බූරු මූණාගේ සහෝදරියගේ විවාහයට ද එතරම් කාලයක් ආයුෂ තිබී නැත. ඇයට සිදුවන්නේ සිය සැමියා අතහැර මවගේ දෙපතුල ළඟටම එන්නටය. ඇගේ දෙවැනි විවාහය අකුරැස්සෙන් සිදුවන්නේ මවගේ ආශීර්වාදය ඇතිවය. නාවික සෙබළෙක් ලෙස බූරු මූණා නාවික හමුදාවේ විශේෂ නාවික බලඝණයට එක්වන්නේ මේ අතරතුරදීය. ඒ 2013 වසරේදීය. එකල ඔහු අවුරුදු 19ක තරුණ ගැටයෙකි. මේ තරුණ ගැටයා කුඩා කල සිට යම් අසාමාන්‍ය රෝගී තත්ත්වයකින් පෙළුණේය. ඒ පොහොය උදා වන විට අතිවන පිස්සු වැටීමකි. හඳ මෝදුවන විට ඔහු නිවෙසේ අඳුරු මුල්ලකට වී ගුලිවී සිටින්නේ කෑමොර දෙමිනි. නාවික හමුදාවට ඔහු එක්වන්නේ ද එම රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබමින් සිටියදීය.

වසර 05ක් තිස්සේ විනය විරෝධී ක්‍රියාවකට හසු නොවී සිය රාජකාරිය නිසි ලෙස ඉටු කරමින් යහපත් ලෙස සිටි බූරු මූණාගේ ජීවිතයට කණ කොකා හැඬළෙන්නේ 2018 වසරේ නිවාඩු ලැබ නිවෙසට ආ පසුවය. ඒ පැමිණි ඔහු සුපුරුදු ලෙස සිය මවත් සහෝදරයාත් සමඟ ගාල්ලේ සිට රත්ගම ගම්මැද්දේගොඩ මහ ගෙදරට යන්නේ පියාගේ දුක සැප සොයා බලන්නටය. ගම්වැසියන් පිරිසක් වත්තට පැන පියාට එදා පහර දෙන්නේ ගමේ පිරිසක් සමඟ පෙර දිනයේ ඇතිවුණු යම් ආරවුලක් දුරදිග යමිනි. දහ පහළොස් දෙනෙක් සිය පියාට වට කරගෙන බිම පෙරළා ගෙන පහර දෙන අයුරු බලා සිටීමට බූරු මූණාට සිත් දුන්නේ නැත. ඔහුගේ ලේ කැකෑරෙන්නට ගත්තේය. සිය පියා ගස් කැපීමට යොදා ගන්නා යාන්ත්‍රික කියත අතට ගත් ඔහු එය පණ ගන්වා ගෙන ගොස් පියාට පහර දෙමින් සිටි සෑම අයෙකුගේම ඇඟට කියත ඇල්ලුවේ එකෙක් දෙනෙක් බාවනවා යැයි කියාගෙනය. බූරු මූණාගේ නම පොලිස් පොත්වල මුලින්ම ලියැවෙන්නේ මෙම සිදුවීම මුල් කරගෙනය. එදා ඔහුට සිදුවන්නේ තුන් හතර දෙනකු යාන්ත්‍රික කියතින් කපා තුවාල කිරීමේ වරදට බන්ධනාගාරගත වන්නටය.

අපරාධ ලෝකයේ කෙරුම් කාරයෝ රැසක් බූරු මූණාට ඇසුරු කරන්නට මෙන්ම හිතවත්කම් ගොඩනඟා ගන්නට අවස්ථාව උදා වන්නේ ඒත් එක්කමය. ටික කලක් මහ උළු ගෙදර බත් පතේ රස බැලූ බූරු මූණා ඇප මත නිදහස් වීමෙන් පසු නැවතත් නාවික හමුදා සේවයට ගිය බවක් වාර්තා වන්නේ නැත. කුලියක් මලියක් කරගෙන එදා වේල සරිකර ගනිමින් අලුත් ජීවිතයකට මුල පුරා තිබුණේය. මෙරට ප්‍රමුඛතම බිස්කට් සමාගමක ගාල්ලේ ඒජන්සියක සේවය කරන තරුණියක් සමඟ බූරු මූණා සම්බන්ධයක් ගොඩනඟා ගන්නේ ද මේ කාලය තුළදීය. උසස් පෙළ සමත් තරුණියක් වූ ඇය බූරු මූණාට පෙම් කළේ ඔහු ගැන හැමදෙයක්ම දැනගෙනය. ඇගේ ගෙදරින් මේ සම්බන්ධයට විරෝධය එල්ල වන විට ඔවුන් දෙදෙනා 2020 වසරේදී පලා යන්නේ විවාහය ද ලියාපදිංචි කරමිනි. එම විවාහයෙන් වසරකුත් මාස 11ක දරුපැටියෙක්ද බූරු මූණාට දැන් සිටින බව කියැවෙයි.

බැලූ බැල්මට පෙනෙන්නට ඇති තරමේ ස්ථිර රැකියාවක් නොමැතිව සිටි බූරු මූණා 2022 වසරේ ජුනි 25 වෙනිදා අරුගම්බේ යනවා යැයි කියා බිරියට පවසමින් නිවෙසින් පිටත්ව යන්නේ හෝටලයක රැකියාවක් ලැබුණේ යැයි කියාය. ඒ ගිය ඔහු නැවත නිවෙසට එන්නේ හරියටම මාසයකට පසුවය. ඒ ජුනි 25 වෙනිදාය. ඒ පැමිණි ඔහු පැය කිහිපයකට වඩා නිවසේ රැඳී නොසිටියේය. ආ පයින්ම නිවෙසින් පිටව යන බූරු මූණා ගැන තොරතුරක් එළියට එන්නේ ජුලි 31 වෙනිදා මැද්දෙගොඩදී නන්දලාල්ට වෙඩි තබා මරා දැමීමත් සමඟිනි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ යටතේ ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම නන්දලාල්ගේ ඝාතනයට අල්ලන්නට සොයමින් සිටියදී කොළඹට පැන්න බූරු මූණා නැවතත් එළියට එන්නේ දෙසැම්බර් 18 වෙනිදා හංවැල්ලේ මුස්ලිම් හෝටලයේ සිදුවූ ඝාතනයත් සමඟිනි. එම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය බොහෝ තොරතුරු හෙළි කර ගනිමින් ඊට ගෑවුණු අපරාධකරුවන් හය හත්දෙනෙක්ම කොටු කර ගත්තේය. ඒ අතර ඩුබායි සිට ලලිත් විසින් ලබා දෙන උපදෙස්වලට අනුව මෙම ඝාතනය මෙහෙයැවූ සම්පත් නිරෝෂන් ද සිටියේය. පරකඩුවෙන් කුලියට නිවෙසක් මිලදී ගෙන එහි බූරු මූණාව නතර කරවා ගෙන ෆර්ෂාන්ව මරා දමන්නට හැම පහසුකමක්ම සපයා දුන්නේ ඔහුය. බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ ‍කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ ඔහු ඒ හැම දෙයක්ම හෙළි කළා පමණක් නොව, හැම දෙනෙක්වම පාවා ද දුන්නේය. හංවැල්ල දිද්දෙණියේ කිඹුල්බෙනය ප්‍රදේශයේ පාළු නිවසකදී පසුගිය ජනවාරි 06 වෙනිදා බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් වෙඩි කා ෆර්ෂාන්ගේ ඝානයට සම්බන්ධ අපරාධකරුවෙක් මරුමුවට පත්වන්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙසිනි. එහිදී පොලිස් වෙඩි පහරකා මියැදෙන්නේ යුද හමුදාවේ හිටපු සෙබළෙක් වන රසිදු චතුරංග නොහොත් කරවිට සීයා නැමැති පාතාල අපරාධකරුය. මුලදී කියැවෙන්නේ ෆර්ෂාන්ගේ ඝාතනයේ වෙඩික්කරු ඔහු යැයි කියාය. එහෙත් පසුව අනාවරණය වන්නේ එදා ෆර්ෂාන්ට වෙඩි තැබීමට බූරු මූණා ගිය යතුරු පැදිය පදවා ඇත්තේ කරවිට සීයා බවය.

බූරු මූණා ගැන බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයට තොරතුරු ගලා එන්නට ගන්නේ මේත් එක්කමය. බූරු මූණා ෆර්ෂාන්ව මරා දැමීමට එන්නේම ඒ වැඩේ හමාර කිරීමෙන් පසු රටින් පැන යන්නට සූදානමින් බව බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට පෙනී ගියේය. ඒ ෆර්ෂාන්ගේ ඝාතනයට සැකපිට අල්ලාගත් සැකකරුවකුගේ ජංගම දුරකතනයේ තිබුණු විදෙස් ගමන් බලපත්‍රයක ඡායාරූපයකිනි. එම ඡායාරූපය බූරු මූණාගේ මුහුණ යොදා සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයක් බව බැලූ බැල්මටම පෙනී ගියේය. ඒ අනුව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට පෙනී ගියේ බූරු මූණා වෙන නමකින් රටින් පැනීමේ සූදානමකින් සිටින බවකි. එම විදෙස්ගමන් බලපත්‍රයේ ඇති තොරතුරුවලට අනුව අවිස්සාවේල්ල මහාධිකරණයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විදෙස් ගමන් තහනමක් ගන්නේ එබැවිනි. එම විදෙස් ගමන් බලපත්‍රය ගැන සොයා බැලීමේදී හෙළි වෙන්නේ එය බූරු මූණා විසින් සකස් කරගෙන ඇත්තේ දෙසැම්බර් 11 වෙනිදා බවය.

ඩුබායි පනින්න බලාගෙන එදා හංවැල්ලේ ෆර්ෂාන්ව මරා දැමූවත් බූරු මූණාව ඩුබායි ගෙන්වා ගැනීමට ඩුබායි හි සිටින ලලිත්ට හෝ ඉතාලියේ සිටි විදුරට අවශ්‍යතාවක් නොවීය. ඒ අයට වුවමනා වූයේ ඩුබායි පෙන්වමින් බූරු මූණාගෙන් උපරිම වැඩ ගන්නටය. ඒ අනුව ජනවාරි 21 වෙනිදා රාජගිරිය – බුත්ගමුව පාරේ පරණ යකඩ මිලදී ගන්නා ස්ථානයක හිමිකරුවෙක් ඉලක්ක කරගෙන පත්තු වන්නේ ද බූරු මූණාගේ වෙඩිල්ලකි. එදා බූරු මූණාගේ වෙඩිල්ල වැදී තිබුණේ ඉලක්කයට නොව, වැරදීමකින් එහි සේවකයකුටය. බූරු මූණාට එම කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ ද ඩුබායි වලිනි. ඒ ඉන්දියාවේ හිරේ ඉන්න වැල්ලේ සාරංගගේ ගෝලයකුව කඩවතින් පැහැර ගෙනවිත් කඩුවෙලදී කටට වෙඩි තබා මරා දැමීමට කළ උත්සාහයකට පළිගැනීමක් ලෙසිණි. වැල්ලේ සුරංග නැමැති පාතාලයේ අපරාධකරුගේ ගෝලබාලයන් පිරිසක් විසින් කළ එම වෙඩි තැබීමට පළි ගන්නට බූරු මූණා යොදා එදා මරා දමන්නට උත්සාහගෙන තිබුණේ සාරංගගේ ගෝලයාව කඩවතින් පැහැර ගෙනවිත් කඩුවෙලදී වෙඩි තැබීම මෙහෙයැවූ බව කියන කෝසල නැමැති පාතාල අපරාධකරුගේ ඥාතියෙකුය. ඒ කෝසලට දැනෙන්නටය.

මේ හැරුණු කොට බූරු මූණාගේ නම ගෑවුණු තවත් අබිරහස් ඝාතන සහ වෙඩි තැබීම් බොහෝය. බුඩායි ඉන්න හැම පාතාල අපරාධකරුවෙක්ම පාහේ බූරු මූණාගෙන් මේ කෙටි කාලය තුළ ගෙන ඇති වැඩ බොහෝමය. ඒ අතර හරක් කටා ද සිටියේය. බූරු මූණාව ඩුබායි ගෙන්වා ගන්නට මේ අය සූදානම් වන්නේ ඔහුගෙන් ගන්නට හැකි හැම වැඩක්ම උපරිමයෙන් අරගෙනය. පසුගිය 24 වෙනිදා ඔහු ඩුබායි බලා යන්නට සූදානමින් ගුවන්තොටුපොළ වෙත එන්නේ ඒ අනුවය. ඒ ඔහු අත ඇති විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරුවලට අනුව ගුවන් ගමන් තහනමක් ඒ වන විටත් අධිකරණයෙන් පනවා ඇති බව නොදැනය.

එදා බූරු මූණා ගුවන්තොටුපොළ වෙත එන්නේ මිල්ලනියේ සිටය. ඒ අඹුසැමි යුවළක් සමඟිනි. කුලියට ගත් කුඩා වෑන් රථයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත බූරු මූණාව ඒ අය රැගෙන එන්නේ ලලිත්ගේ කීමටය. ගුවන්තොටුපොළ පරිශ්‍රයට බූරු මූණාව රැගෙන එන මෙම යුවළ නැවත පිටව යන්නේ මිල්ලනිය බලාය. ඒ අයට වැඩි දුරක් එදා යන්නට ඉඩක් නොවීය. බූරු මූණාව ගුවන්තොටුපො­‍ෙළ්දී ආගමන විගමන නිලධාරීන්ගේ ග්‍රහණයට හසුවී ඇති බවට පණිවුඩයක් එන්නේ ඩුබායි සිටය. ඒ ලලිත්ගෙනි. ඔහු මේ යුවළට උපදෙස් දෙන්නේ ටික දිනක් වහන් වී සිටින ලෙසිනි. ඒ අනුව ඔවුන් පැමිණි කුලී රථයෙන්ම මිල්ලනියට ගොස් බැලන්තුඩාවේ පිහිටි සිය නිවෙසින් ඇඳුම් පැලදුම් කිහිපයක් රැගෙන අතුරුදන්වන්නේ හංවැල්ල පැත්තට ගොසිනි.

ආගමන විගමන නිලධාරීන් විසින් සිය භාරයට ගත් බූරු මූණාව භාර දෙන්නේ ගුවන්තොටුපොළ පොලිසියටය. ඒ සවස 6.30ට පමණය. ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී භාරදෙන ඔහුව පොලිස් ස්ථානයට රැගෙන විත් මුලින්ම කළ යුතුව තිබුණේ සිර මැදිරියට ඔහුව දමා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයට ඒබව දැනුම් දීමය. ඒ වෙනුවට ගුවන්තොටුපොළ පොලිසියේ නිලධාරීන් කළේ බූරු මූණා සමඟ සුරතල් වීමය. බූරු මූණාව කූඩුවේ නොදමා දෑතට මාංචු ද නොමැතිව එදා ගුවන්තොටුපොළ පොලිසියේ කාර්ය භාර නිලධාරියා ලෙස සේවය කළ සැරයන් සේනාරත්න දැමුවේ අමුතු සෙල්ලමකි. ඒ ඔහුගේ අතට ලද ලොකු කුට්ටියක් නිසා ද නැතිනම් ඉහළ නිලධාරියකුගේ වුවමනා එපාකමකටදැයි තාමත් ඇත්තේ නොවිසඳුණු ගැටලුවක් ලෙසිනි.

මේ හැම දෙයක්ම සිදුවන විට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධීරද පොලිසියේ සිටියේය. ඔහුටද මේ ගැන කිසිදු වගේ වගක් නොවීය. සැරයන් සේනාරත්න බූරු මූණා සමඟ දුම්වැටියක් දෙකක් ද මේ කාලය තුළ ඉරුවේය. බූරු මූණා පරිහරණය කරන්නට පවා වූයේ පොලිසියේ නිලධාරින්ගේ වැසිකිළියයි. ඒ අතර බූරු මූණා තමා පොලිස් අත්අඩංගුවේ සිටින බවට පණිවුඩයක් පවා ඩුබායි වෙත තැබුවේය. බූරු මූණා මුදා ගැනීමේ මෙහෙයුම ලලිත් විසින් ඩුබායි සිට ඒ වන විට දියත් කරමින් තිබුණේ එම පණිවුඩයට අනුවය. බූරු මූණාට පොලිසියේ සිර මැදිරිය උරුම නොවන්නේ ද එහි ප්‍රතිඵලයක් නිසා විය හැකිය.

හෙට්ටිපොල රිට්ටදෙණිය ශ්‍රී ජයලංකාරාම දහම් නිකේතනයේ විහාරාධිපති පොතේවෙල ඉන්ද්‍රසාර නැමැති භික්ෂුව සිය විහාරස්ථානයේ වැඩ සිටින දිවුල්වැයේ දීපානන්ද නැමැති භික්ෂුව සහ 11 හැවිරිදි සාමණේර හිමිනමක් ද කැටුව NW KC – 6523 අංකය දරන රතු පැහැති ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයේ නැඟී ගුවන්තොටුපොළ වෙත වැඩම කරන්නේද බූරු මූණාව පැන්නීමට ඩුබායි සිට ලලිත් ගහමින් සිටි ගේමකට අනුවය. එදා ඒ වාහනය පදවන්නේ කළුබෝවිටියානේ පදිංචිකරුවෙක් වන දිලාන් පැතුම්ය.

විමර්ශනවලින් හෙළිවී ඇති තොරතුරුවලට අනුව පොතේවෙල ඉන්ද්‍රසාර නැමැති භික්ෂුව සහ ලලිත් අතර ඇත්තේ කිට්ටු සම්බන්ධයකි. මේ දෙදෙනාගේ හිතවත්කම දිව යන්නේ වසර විසිපහකට එහාටය. ඒ මේ දෙන්නාම අධ්‍යාපනය ලබා ඇත්තේ හොරණ පිහිටි පිරිවෙනක වූ බැවිනි. භික්ෂු ඇසුර ලබමින් පිරිවෙනක අධ්‍යාපනය ලැබූ ලලිත් කන්නංගර අද පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙස මිනී මරමින් සිටින විට ඔහු සමඟ එකට පිරිවෙනේ අකුරු කළ පොතේවෙල ඉන්ද්‍රසාර භික්ෂුව කර තිබුණේ ඔහුගේ අපරාධවලට සහය දැක්වීමකි. එසේ නොමැති නම් ලලිත්ගෙන් ලද දුරකතන ඇමතුමකට අනුව විහාරස්ථානයේ සිටි ගෝල බාලයින්ද කැටුව මහ රෑ ගුවන්තොටුපොළ වෙත එන්නට උන්වහන්සේට කිසිසේත්ම වුවමනාවක් මතුවන්නේ නැත.

“ මගේ කොල්ලෙක්ව එයාර්පෝට් පොලිසියට අහුවෙලා. පොඩ්ඩක් ගිහින් බලල විස්තර ටික මට කියන්න“ ලලිත් පැවසුවේ යැයි කියන්නේ මේ ටිකය. ඒ අනුව ලලිත්ගේ ගෝලයා ගැන බලන්නට පොතේවෙල ඉන්ද්‍රසාර නැමැති භික්ෂුව ඇතුළු පිරිස හෙට්ටිපොල සිට ගුවන්තොටුපොළ පොලිසියට එන්නේ රෑ 9.30ට පමණය. මේ අය එන විටත් බූරු මූණා සිටින්නේ පොලිස් ස්ථානය තුළ නිදැල්ලේය. ඒ පැමිණි මේ අය මුණ ගැසෙන්නේ පොලිස් ස්ථානාධිපතිවරයාවය. බොහෝ වේලාවක් ස්ථානාධිපතිවරයා සමඟ කතාබහක නිරතව සිටි ඒ අය පොලිසියෙන් පිටව යන්නේ පැයක් හමාරකට පසුවය. ඒ අතරතුර ලලිත්ට පණිවුඩ පිට පණිවුඩ රැසක්ම ගියේ පවතින තත්ත්වය ගැන කියාය. මෙම භික්ෂු කණ්ඩායම පොලිසියට ආවේ අත වනමින් ද එසේත් නැතිනම් ලලිත්ගේ කීමට පොලිසියට බෙදන්න ඇතෙක් බරට වස්තුව රැගෙන දැයි ඇත්තේ තවමත් නොවිසඳුණු ගැටලුවක් ලෙසිනි. විමර්ශනවලින් හෙළි වන ආකාරයට අනුව බූරු මූණා පොලිසියෙන් මිදී පලා යන්නේ මෙම භික්ෂූන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ටික වේලාවකට පසුවය. කියැවෙන ආකාරයට අනුව බූරු මූණා පළා යන්නේ ද පොලිස් ස්ථානය අසලට පැමිණ නතර කරනු ලබන කහ පැහැති ඇක්වා වර්ගයේ මෝටර් රථයක නැඟීය. බූරු මූණාවත් නංවා ගෙන මෝටර් රථය ගමන් කළේ යැයි කියැවෙන්නේ කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය දෙසටය. ඉන් එහාට බූරු මූණාට වූ දෙයක් සොයා ගන්නට නැති තරම්ය. අවසානයේදී සිදුවන්නේ බූරු මූණාට පලා යාමට අවශ්‍ය පසුබිම සකස් කරදීම හේතුවෙන් ගුවන්තොටුපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධීරත්, සැරයන් ඩබ්ලිව්. ආර්. සේනාරත්නටත්, කොස්තාපල්වරුන් වන රත්නායකටත්, ප්‍රසාද් කුමාරටත් අත්අඩංගුවට පත්වන්නටය. ඒ 25 වෙනිදා එළිවෙන ජාමේදීය. ඉහළ පොලිස් අණකින් මෙම සිවුදෙනාව අත්අඩංගුවට ගැනීමෙන් පසු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ද ඔවුන්ව ඉදිරිපත් කිරීමට මීගමුවේ පොලිස් බලධාරීන් පියවර ගත්තේය. එහිදී සැරයන් සේනාරත්න රක්ෂිත බන්ධනාගාරගත වෙමින් ස්ථානාධිපතිවරයාත් කොස්තාපල්වරුන් දෙදෙනාත් ඇප මත මුදා හැරුණේය. ඒ යැයි කියා බූරු මූණාට පලා යාමට ඉඩදුන් මෙම නිලධාරීන් සම්බන්ධයෙන් කෙරන විමර්ශන හමාර නැත. ඔවුන් සිවුදෙනාගේම වැඩ තහනම් කරමින් විමර්ශන පැවැත්වෙන්නේ බූරු මූණාට පලා යන්නට ඉඩ දුන්නේ ලොකු ගාණක් අරගෙනදැයි සොයමිනි. ඒ අතර බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දිවා රෑ නොබලා පන්නමින් සිටින්නේ ගුවනින් පැන ගන්නට බැරි වූ බූරු මූණා මුහුදෙන් පනින්ට පෙර කොටුකර ගැනීමේ අපේක්ෂාව ඇතිවය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

මම නඩු දානවා! උපයෝගිතා කොමිසමේ සභාපති ජනක ලයිට් බිල ඉහළ දාන්න අස්සන් කළ සාමාජිකයන් තිදෙනාට ලියුම් යවයි! VIDEO

Next Post

රටේ නායකයා පාර්ලිමේන්තුවට ඇවිත් තොප්පිය දාගත්ත එකෙන් ඔප්පු වුණා ඡන්දෙ කල්දාන්න ගහපු ගේම් පිටිපස්සේ හිටියේ කව්ද කියලා! රටට ඕන ඡන්දයක්! ඒක පාර්ලිමේන්තු ඡන්දයක් නම් වඩාත් හොඳයි! හකීමුත් කියයි! VIDEO

MORE NEWS

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

මම සාමාන්‍යයෙන් බලන්නේ රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියෙහි විකාශය වන නාට්‍යය පමණය. 1982 සිටම ඒවායේ බොහෝවිට ගුණාත්මක, පවුලටම එකට නැරඹිය හැකි,...

Read more
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.