රටේ තැන් කිහිපයකින් පමණක් පළමු අදියරේදී වාර්තා වුණු කොරෝනා රෝගීන් මේ වන විට රට වටින්ම හිටිහැටියේ හමුවන තැනට ව්‍යාප්ත වන ආකාරයක් දැකගන්නට තිබේ. පසුගිය අඟහරුවාදා දිනයේදී කොරෝනා මර්දනය පිළිබඳ කාර්ය සාධක බළකාය ප්‍රකාශයට පත්කර තිබුණේද මේ වන විට කොරෝනා රෝගය තෙවැනි අදියර දක්වා රට තුළ පැතිරී ගොස් ඇති බවය. එනම් මුල් සම්බන්ධය අනාවරණය කරගත නොහැකි රෝගීන් සමාජය තුළින් හමුවන බවය.
මුලින් ගම්පහ බ්‍රැන්ඩික්ස් පොකුරින් ආරම්භ වූ කොරෝනා රැල්ල කොළඹට ව්‍යාප්ත වීම ආරම්භ වූයේ පෑලියගොඩ මාළු පොකුර හරහාය. ඒ අනුව මේ වන විට කොළඹ නගර සීමාව ඇතුළත ඉතා දැඩි ලෙස කොරෝනා රෝගය ව්‍යාප්ත වන ආකාරයක් දැකගන්නට තිබේ. මේ නිසාම කොළඹ නගර සීමාව ඇතුළත ප්‍රදේශ කිහිපයක්ම මේ වන විටත් ඇත්තේ හුදෙකලා කර දමාය.
අරලිය ගහ මැදුරටත් කොරෝනා රිංගයි
කොළඹ පුරා පැතිර ගිය කොරෝනා රැල්ලේ උණුසුම කෙතරම් දරුණු වූවාද කියනවා නම් දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද මැද සහ දැඩි ආරක්ෂාවකින් සමන්විත අරලියගහ මන්දිරයටද මේ කොරෝනා වෛරසය පසුගිය සතිය වන විට රිංගා තිබිණ. එහිදී කියැවුණේ අගමැතිවරයාගේ ආරක්ෂාවට සිටින සාමාජිකයන් කිහිපදෙනකු හට කොරෝනා වෛරසය වැළඳී තිබීම හේතුවෙන් අරලියගහ මන්දිරයේ එක් පැත්තක් වසා දමා ඇති බවත්, අරලියගහ මන්දිරයේ රාජකාරි කරන කාර්යමණ්ඩලය පවා සීමාසහිත කොට අත්‍යවශ්‍ය සේවකයන් පමණක් රාජකාරියට කැඳවා ඇති බවත්ය.
අරලියගහ මන්දිරය යනු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල කාර්යාලයය. මහින්ද උදේ හවස සිය රාජකාරි සඳහා පැමිණෙන්නේ අරලියගහ මන්දිරයටය. මහින්ද තමන්ට අයත් අමාත්‍යාංශවල රාජකාරි කටයුතු මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවන්නේත්, අමාත්‍යවරුන් හමුවන්නේත්, සාමාන්‍ය ජනතාව හමුවන්නේත් එහිදීය. රටේම තියෙන ප්‍රශ්න කතා කරන වේදිකාවත් අරලියගහ මන්දිරයය. සාමාන්‍යයෙන් ජනාධිපති මන්දිරය අමුත්තන්ගෙන් පිරී නොතිබුණත් මහින්ද රාජකාරි කරන අරලියගහ මන්දිරය එසේ නොවේ. සෑම මොහොතකදීම සිය ගණනක පිරිසක් මහින්දත් සමඟ එහි නිතර කතාබහ කරමින් සිටින ආකාරයක් දැකගන්නට හැකිය.
පවුලේ ඥාතීන්ටත් කොරෝනා හැදිලද?
කෙසේ වෙතත් මේ ආකාරයට අරලියගහ මන්දිරයට කොරෝනා ඇතුළු වී ඇති බව වාර්තා වීමත් සමඟ පසුගිය සතියේ සමාජ මාධ්‍ය ජාලාවල විවිධ ආකාරයේ පුවත් සහ කටකතා වාර්තා වන ආකාරයක් දැකගත හැකි විය. ඒ ඇතැම් පුවත් මහින්දට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාව කම්පනය කරවන සුළු ඒවා විය.
“අරලියගහ මන්දිරයේ හතළිහකට කොරෝනා හැදිලා”
“අගමැතිගේ පවුලේ කීපදෙනකුටත් කොරෝනා හැදිලලු”
“කවුරුවත් දැන් එළියට එන්නෙ නැහැලු”
මේ පසුගිය සතියේ සමාජ මාධ්‍ය ජාලාවල පළවූ පුවත්ය. මේ තත්ත්වය කොතරම් උග්‍ර අතට පෙරළුනාද කියනවා නම් අවසානයේදී අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිටටද ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් පවා නිකුත් කිරීමට සිදුවිය. එහි සඳහන් වූයේ අරලියගහ මන්දිරයේ රාජකාරි කරන කිසිවකුටත් කොරෝනා වැළඳී නොමැති බවත්, සියලුම ආයතන අත්‍යවශ්‍ය සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යන බවත්, අරලියගහ මන්දිරයට පරිබාහිර ඒකකයක සිටින කිහිපදෙනකුට පමණක් කොරෝනා වැලඳී ඇති බවත්ය.
මහින්දගේ මහින්දගේ මාධ්‍ය ලේකම් දැමූ නිවේදනය
මේ රොහාන් වැලිවිට විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනයය.
“අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිඳු නිලධාරියෙකුට කොවිඞ්-19 රෝගය වැළඳී නොමැති බවට සහතික කරමි.
කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට ජාතික පුවත්පතක පළ වී ඇති පුවත සාවද්‍ය මෙන්ම පදනම් විරහිත පුවතක් වන අතර එහි කිසිඳු සත්‍යතාවයක් නොමැත.
කොවිඞ්-19 තත්ත්වය හමුවේ රජය හා සෞඛ්‍ය අංශවලින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම, අරලියගහ මන්දිරයේ දෛනික රාජකාරී කටයුතු කිසිඳු බාධාවකින් තොරව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පවත්වාගෙන යනු ලබයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරයේ රාජකාරී කටයුතු සඳහා කැඳවා ඇත්තේ අන් රාජ්‍ය ආයතන, අමාත්‍යංශවල මෙන් සේවයට අත්‍යවශ්‍ය නිලධාරීන් පිරිසක් පමණි.
එසේම, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබන කාර්ය සාධක බළකායේ කටයුතු ද කිසිඳු බාධාවකින් තොරව අරලියගහ මන්දිර පරිශ්‍රයේ සිට පවත්වාගෙන යනු ලබයි.
කොවිඞ් ආසාදිත පුද්ගලයින් හමුවී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකිනි.
අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරය තුළ රාජකාරියේ නියුතු ආරක්ෂක අංශ නිලධාරීන් පෙර පරිදි රාජකාරී කටයුතුවල නියැළී සිටින බවද අවාධාරණය කරමි.
රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්”
මහින්දට මොකද වුණේ?
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මෙම නිවේදනය නිකුත් වීමත් සමඟ හැමෝම සොයාබලන්නට වූයේ අරලියගහ මන්දිරයේ නිතරම රැඳී සිටිමින් රාජකාරි කරන මහින්දට කුමක් සිදුවූයේද කියාය. මන්දයත් පසුගිය සතිඅන්තයෙන් පසු මහින්ද ප්‍රසිද්ධියේ කිසිදු ස්ථානයක දැකගන්නට නොලැබීම බොහෝ දෙනාගේ මේ සොයා බැලීමට හේතු විය. ඒ අනුව අපිද මහින්දට සිදුවූයේ කුමක්ද යන්න සොයා බැලීමට කටයුතු කළෙමු. එහිදී මුලින්ම අවධානය යොමුවූයේ ඉකුත් සඳුදා (23දා) පාර්ලිමේන්තුවේ පැවැත්වුණු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට අදාළ විවාදයට මහින්දට පැමිණේදැයි කියාය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමේදී අගමැතිවරයා පැමිණීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය නිසා අප මෙන්ම බොහෝ දෙනකු මහින්ද ඊට සහභාගි වනු ඇතැයි බලා සිටියද මහින්ද සඳුදා දිනයේ පාර්ලිමේන්තු පැමිණියේ නැත. ඒ අනුව අරලියගහ මන්දිරයේ කොරෝනා කතාව සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ඇතිවූ කුතුහලය එදින තරමක් ඉහළ ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.
අඟහරුවාදා (24දා) දින පැවැත්වුණේ මහින්දගේම අය වැය ශීර්ෂයය. සඳුදා පාර්ලිමේන්තු නොපැමිණියද මහින්ද තමන්ගේ අමාත්‍යාංශ සම්බන්ධයෙන් වන විවාදයට නියත වශයෙන්ම සහභාගි වනු ඇති බව සියල්ලන්ම සිතා සිටියත් මහින්ද ඊටද සහභාගි වූයේ නැත. ඒ අනුව කවුරුවත් ප්‍රසිද්ධියේ කතා නොකළාට එදින මුළු පාර්ලිමේන්තුවේමත් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ලොබියේත්, කැන්ට්මේත්, පුස්තකාලයේත්, විවිධ අහුමුළුවලත් සිදුවූ කතාවල ප්‍රධාන මාතෘකාව වූයේ මහින්දගේ නොපැමිණීමය. ඇතැමුන් එහිදී කියා සිටියේ වෙනදාට කතා කරන දුරකතන අංකයට ඇමැතුමක් ලබාගත්තද මහින්ද ඊටද පිළිතුරු දෙන්නේ නැතැයි කියාය. වෙනදා නම් එවැනි මඟහැරුණු ඇමැතුම්වලට මහින්ද නියත වශයෙන් පසුව ඇමැතුවද සඳුදා සිට මහින්දගේ එවැනි ඇමැතුම් හෝ නොලැබෙන බව ඔවුහු කියා සිටියහ. විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද තමන්ට හිතවත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසීම් කළද ඔවුන්ද කියා සිටියේ තමන්ද ඒ සම්බන්ධයෙන් නිශ්චිතව දැනුවත් වී නැතැයි කියාය. ඇතැම් ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් ඊට සිනාවකින් පමණක් පිළිතුරු දෙන ආකාරයක් දැකගත හැකි විය.
පක්ෂ නායක රැස්වීමේදී මාධ්‍යවේදීන් ගැන කතා
කෙසේ වෙතත් මහින්ද සම්බන්ධයෙන් පැවැති මේ කුතුහලය වඩාත් දෙගුණ තෙගුණ වූයේ සඳුදා සිදුවූ තවත් සිදුවීම් දෙකක් මුල්කරගෙනය. ඉන් එකක් වූයේ පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමය. මෙම පක්ෂ නායක රැස්වීමට කතානායකවරයා ඇතුළු ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නායකයන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සහභාගි වී සිටි අතර, එහිදී පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සම්බන්ධයෙන්ද සාකච්ඡාවක් ඇතිවිය.
එම සාකච්ඡාවෙන් පසුව සමඟි ජන බලවේගය වෙනුවෙන් එම සාකච්ඡාවට සහභාගි වූ රංජිත් මද්දුමබණ්ඩාර සහ ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේ මාධ්‍යවේදීන්ට අය වැය විවාදය වාර්තා කිරීමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන්ය. රංජිත් පෙන්වා දුන්නේ අය වැය විවාදය වාර්තා කළ මාධ්‍යවේදීන් තිදෙනකු හට කොරෝනා වැළඳී තිබීම මුල්කරගෙන සියලුම මාධ්‍යවේදීන්ට අය වැය විවාදය වාර්තා කිරීම අත්හිටුවීම අසාධාරණ යැයි කියාය. ඊට උදාහරණ දක්වමින් රංජිත් කියා සිටියේ පාර්ලිමේන්තුවේ සේවය කරන පොලිසියේ ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනකුටද කොරෝනා වැළඳී තිබුණද පොලිසිය රාජකාරි කටයුතුවලින් ඉවත් කිරීමට කටයුතු කොට නැති බවකි. එම නිසා මාධ්‍යවේදීන්ටද එම අයිතිය ලබාදිය යුතු බව රංජිත්ගේ තර්කය විය.
නමුත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඊට එතරම් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ආණ්ඩුව පැත්තෙන් කියැවුණේ මේ අවස්ථාවේ අවදානමක් ගෙන මාධ්‍යවේදීන්ට අය වැය වාර්තා කිරීමට අවස්ථාව ලබාදිය නොහැකි යැයි කියාය. එය වාර්තා කිරීම සඳහා සියලුම මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුව මඟින් අවශ්‍ය පිටපත් ලබාදී ඇති බවත්, එමෙන්ම සජීවී විකාශයෙන් ඒ තොරතුරු ඔවුන්ට ලබාගත හැකි බවත් ආණ්ඩුවේ මතය විය. ඊට විරෝධය දක්වමින් අදහස් දැක්වූයේ දෙමළ සන්ධානය වෙනුවෙන් රැස්වීමට සහභාගිව සිටි සුමන්තිරන්ය. සුමන්තිරන් කියා සිටියේ බොහෝ සංවාද සිංහල භාෂාවෙන් සිදුවන නිසා එය දෙමළ මාධ්‍යවේදීන්ට අසාධාරණයක් යැයි කියාය. ඒ අනුව පාර්ලිමේන්තු මහලේකම් සාකච්ඡාවට සම්බන්ධ වූයේ ඒ අවස්ථාවේදීය. එම ප්‍රශ්නයට වහාම පිළිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා කියා සිටියේ ඊට පිළියමක් ලෙස අදාළ අය වැය විවාදයන් ඒ අවස්ථාවේදීම දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් විසුරුවා හැරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගතහැකි යැයි කියාය.
ඉන් අනතුරුව සාකච්ඡාව තරමක් උණුසුම් වූයේ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට ප්‍රශ්න ඇසීමට ඇති කාලයෙන් හරි අඩක්, එනම් සියයට පනහක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ටද හිමිවිය යුතු බවට ආණ්ඩු පක්ෂයෙන් ආ යෝජනාවත් සමඟය. ඊට සමඟි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් පමණක් නොව ජවිපෙ නායක අනුරද, දෙමළ සන්ධානයේ නියෝජිත සුමන්තිරන්ද විරෝධය පළ කරන ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව එම මාතෘකාව අවසන් වූයේ එකඟතාවයකින් තොරවය.
කතානායකගේ කටින් පැන්න වචනය
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව අතරතුරදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ කටින් පැන්න එක්තරා වචනයක් මුල්කරගෙන මහින්ද සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් තුළ තිබූ කුතුහලය තවත් උත්සන්න විය. එහිදී කතානායකවරයාගෙන් කියැවුණේ අගමැතිවරයා ආසන්නයේ සිටින ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනකුටම කොරෝනා රෝගය වැළඳී ඇති බවත්, එම නිසා බොහෝ දුරට අගමැතිවරයා අඟහරුවාදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සභා රැස්වීමට සහභාගි නොවනු ඇති බවත්ය.
පාර්ලිමේන්තු සභාවත් කල් යයි
සාකච්ඡාව අතරවාරයේදී කතානායකවරයාගේ කටින් පැන්න මේ වචන කීපය නිසා විපක්ෂයේ මන්ත්‍රිවරුන් පමණක් නොව ආණ්ඩුවේ ඇමැතිවරුන්ද පුදුමයට පත්වන ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව සඳුදා සවසම කතානායක කාර්යාලය මඟින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අඟහරුවාදා පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු සභාවද අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයි කියාය. මෙම පාර්ලිමේන්තු සභාව අඟහරුවාදා දිනයේදී රැස්වීමට නියමිතව තිබුණේද ඉතා විශේෂ කටයුත්තක් සම්පූර්ණ කිරීම සඳහාය. ඒ අන් කිසිවක් නොව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභාවට එවා ඇති ස්වාධීන කොමිෂන් සභා හයක ප්‍රධානීන් ඇතුළු නියෝජිතයන්ගේ නම් සම්මත කිරීම සඳහාය. නමුත් පාර්ලිමේන්තු සභා රැස්වීම අවලංගු කරන බවට කතානායකවරයා කළ දැනුම්දීමත් සමඟ එම නම් ස්ථිර කිරීම තවත් සතියකින් පමණ කල් යෑමට නියමිතය.
සජිත්ගෙන් මන්ත්‍රීවරුන්ට යළි තහනමක්
මේ ආකාරයට මහින්ද එළිපහළියේදී දැකගන්නට නොලැබීමත් සමඟ සමඟි ජන බලවේගයද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට සූදානම් විය. ඒ සම්බන්ධයෙන් සමඟි ජන බලවේගය ඇතුළේ සාකච්ඡා වූයේ සඳුදා පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීය. මෙම කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ අය වැය විවාදයේදී ආණ්ඩුවට ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න සම්බන්ධයෙන් උපාය උපක්‍රම සකස් කිරීම සඳහාය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීන්දු තීරණ ගැනීමෙන් අනතුරුව මතුව ආවේ මහින්දගේ ප්‍රශ්නයය. ඒ අනුව බොහෝ මන්ත්‍රිවරුන් සජිත්ට පෙන්වා දුන්නේ මහින්ද පෙනෙන්නට නැති වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ යුතු බවය. ඔවුන්ගේ තර්කය වූයේ මේ හරහා අරලියගහ මන්දිරයට පවා කොරෝනා ඇතුළු වී ඇති බවත්, රටේ අගමැතිවරයා නිල කටයුතු සිදුකරන අරලියගහ මන්දිරය හෝ ආරක්ෂා කරගත නොහැකිව ආණ්ඩුව ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න කළ යුතු බවත්ය.
නමුත් මන්ත්‍රිවරුන් ගෙනා මෙම තර්කයට සජිත් එකඟ වූයේ නැත. මේ අයුරින්ම සජිත් මහින්ද සිය ආසනයේ අසුන්ගෙන අය වැය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බවට මන්ත්‍රිවරුන් අදහස් දක්වද්දී ඊටද විරෝධය පළකරමින් කියා සිටියේ එය සදාචාර විරෝධී කටයුත්තක් බවත්, ඕනෑම පුද්ගලයකුට ස්වාභාවික අපහසුතා ඇතිවිය හැකි බවත්ය. එම නිසා එවැනි කරුණු මතුකරමින් දේශපාලනය කිරීම තමන්ගේ පුරුද්දක් නොවන බව මන්ත්‍රිවරුන්ට එදා පෙන්වා දුන් සජිත්, මහින්ද පාර්ලිමේන්තුවේ අසුන්ගෙන අය වැය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කිසිවකුත් ප්‍රශ්න නොකළ යුතු බවට නියෝගයක්ද පැනවීමට පියවර ගත්තේය. ඒ අනුව කිසිදු මන්ත්‍රිවරයකු ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ වචනයක් හෝ කතා කිරීමට පියවර ගත්තේ නැත.
මහින්ද අගහරුවාදාත් නෑ
ඒ ආකාරයටම මෙවරද සජිත් මන්ත්‍රිවරුන්ට පෙන්වා දුන්නේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අගමැතිවරයා ප්‍රවේශම් සහගත වීම අගය කළ යුත්තක් බවත්, එය දේශපාලන කටයුතු සඳහා භාවිත නොකළ යුතු බවත්ය. තමන්ගේ දේශපාලනය එවැනි සංවේදී කරුණු උලුප්පා දක්වමින් දේශපාලනය කිරීම නොවන බව මන්ත්‍රිවරුන්ට පෙන්වා දුන් සජිත් අය වැය සම්බන්ධයෙන් ඕනෑම ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේදී මතු කළ හැකි බවත්, ඊට පරිබාහිර කටයුතු කතා නොකරන ලෙසත් මන්ත්‍රිවරුන්ට දැනුම් දී සිටියේය. අවම වශයෙන් අඟහරුවාදා දින පැවැත්වීමට නියමිත අගමැතිවරයාගේ වැය ශීර්ෂයට මහින්ද පැමිණියත්, නැතත් ඒ සම්බන්ධයෙන් හෝ ප්‍රශ්න නොකළ යුතු බව සජිත් මන්ත්‍රිවරුන්ට කියා සිටියේය.
සජිත් කීවා වාගේම අඟහරුවාදා දින පැවැති අගමැතිවරයාගේ වැය ශීර්ෂයට පවා මහින්ද සහභාගි වූයේ නැත. ඒ සමඟම මහින්දට වෙලා තියෙන්නේ මොකක්ද යන්න සම්බන්ධයෙන් වූ කසුකුසුව දේශපාලන ක්ෂේත්‍රයේම පැතිරී ගිය ආකාරයක් දක්නට ලැබිණ.
යෝෂිතගෙනුත් ප්‍රකාශයක්
දේශපාලන ක්ෂේත්‍රය පුරා මහින්ද ගැන පැතිර යන මේ කසුකුසුව ගැන රාජපක්ෂ පවුලේ අයටද නොදැනුණා නොවේ. ඒ අනුව අගමැතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා වන පුත් යෝෂිත රාජපක්ෂ පසුගිය බ්‍රහස්පතින්දා මාධ්‍යයට මේ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට පියවර ගත්තේය. එහිදී යෝෂිත කියා තිබුණේ අගමැතිවරයාට කිසිදු ගැටලුවක් නොමැති බවත්, දැඩි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් අගමැතිවරයා බොහෝ හමුවීම් සීමා කර ඇති බවත්ය. කෙසේ වෙතත් අගමැතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනකුටම කොරෝනා රෝගය වැළඳී ඇති බවද යෝෂිත රාජපක්ෂ මාධ්‍යයට ඒ අවස්ථාවේදී අනාවරණය කර තිබිණ.
ඒ අනුව ඇත්තටම මහින්දගේ තත්ත්වය කුමක්ද?
මහින්ද එළියට එයි
විපක්ෂය තැන් තැන්වල කසුකුසු නගන ආකාරයට රාජපක්ෂ පවුලේ කිහිපදෙනෙක්ටත් කොරෝනා වැළඳිලාද?
ඒ අනුව රාජ්‍ය රහස් තීරයද මේ සම්බන්ධයෙන් විමර්ශනයක යෙදුණු අතර, අපට දැනගන්නට ලැබුණේ මහින්ද මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණ කිහිපයකට බඳුන්වී ඇති බවත්, ඒ සියල්ලම ‘නෙගටිව්’ ලෙස ප්‍රතිඵල ලැබී ඇති බවත්ය. නමුත් ආරක්ෂක පියවරක් ලෙස මහින්ද අත්‍යවශ්‍ය හමුවීම් හැරුණු විට අන් සියල්ලම අවලංගු කොට ඇති බවත් අපට දැනගන්නට තිබිණ.
එවැනි අත්‍යවශ්‍ය හමුවීමක් සිකුරාදා දින සවස පැවැත්වීමට නියමිතව තිබිණ. ඒ ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා සහ මාලදිවයින් ආරක්ෂක අමාත්‍යවරිය වන මරියා ඩීඩී මහත්මිය සමඟ හමුවය. බ්‍රහස්පතින්දා දිනයේ ලංකාවට පැමිණි මේ දෙදෙනාම සිකුරාදා දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබිණ.
එමෙන්ම සෙනසුරාදා දිනයේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ජාත්‍යන්තර සමුළුවක් ඇමැතීමටද මහින්ද සැලැසුම් කොට ඇත. ඒ අනුව බොහෝ දුරට පසුගිය දිනවල රටේ ජනතාවට දැකගන්නට නොලැබුණු මහින්දගේ මුහුණ සිකුරාදා දිනයේ හෝ සෙනසුරාදා දිනයේ දැක බලා ගන්නට හැකිවනු ඇත.
ලංකාවට එරෙහිව ගහන ජාත්‍යන්තර රැල්ල
කොරෝනා රෝගය ගෝලීය වශයෙන් දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පැවැතියද පසුගිය මාස දෙක තුන ඇතුළත ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර නායකයක් රැසක් ලංකාවට පැමිණීමට පියවර ගෙන තිබිණ. එසේ පළමුවෙන්ම ලංකාවට ආ ප්‍රධානියා වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ දෙවැනියා ලෙස සැලකෙන යැං ජිචෙයි ය. හදිසියේම ඔහු පැමිණ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් හමුවී සාකච්ඡා පවත්වා පැය 24ක් ඇතුළත ලංකාවෙන් පිටව යෑමටද පියවර ගත්තේය. මෙම චීන නියෝජිතයන්ගේ ගමනෙන් පසු ලංකාවට පැමිණියේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වන මයික් පොම්පියෝය. පොම්පියෝද ලංකාවට පැමිණ ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය.
ඉන් අනතුරුව ලංකාවට පැමිණියේ ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ මාලදිවයින් ආරක්ෂක ඇමැතිනී මරියා ඩීඩී ය. මේ දෙදෙනාගේ ලංකා සංචාරය පිළිබඳව විශේෂ සඳහනක් නොවුණත් රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇත්තේ අප මීට සති කිහිපයකට කළින් අනාවරණය කළ ඔස්ටේ්‍රලියා, ජපන්, ඇමෙරිකා සහ ඉන්දීය රාජ්‍ය නායකයන් අතර ජපානයේ පැවැති සාකච්ඡාවේ දිගුවක් ලෙස මෙම සංචාරය සිදුවන බවය.QUAD ලෙස හැඳින්වුණු මෙම සාකච්ඡාවේදී එම රටවල් හතර අතර දකුණු ආසියානු කලාපයේ මුහුදු ආරක්ෂාව සම්බන්ධයෙන් චීනය බරපතළ බලපෑමක් එල්ල කරන බවටත්, එම චීන බලපෑම මඟහරවා ගැනීම සඳහා එකමුතුව කටයුතු කළ යුතු බවටත් එකඟතාවක් ඇතිව තිබිණ. ඒ සම්බන්ධයෙන් එම රටවල් හතර අතර ගිවිසුම් කිහිපයකට අස්සන් තැබුණු අතර, පොම්පියෝ ඉන්දියාව බලා පැමිණියේද ඒ ගිවිසුම්වලට අස්සන් තැබීම සඳහාය. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී දොවාල් සහ ඩී.ඩී. ලංකාවට පැමිණියේද ඊට අවශ්‍ය සාකච්ඡා ලංකාව සමඟ පැවැත්වීම අරමුණු කරගෙනය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡා සම්බන්ධයෙන් මාධ්‍ය හරහා අනාවරණය කෙරුණේ 2011 වර්ෂයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ සමුළුවක් ආරම්භ වූ බවත්, 2014 වර්ෂයේ එය නවදිල්ලියේදී රැස්වූ බවත්, ඉන් අනතුරුව මෙවර ශ්‍රී ලංකාවේදී එම සමුළුව පැවැත්වීමට සූදානම් බවත්ය. දොවාල් සහ මරියා ඩීඩී ලංකාවට පැමිණියේ ඒ වෙනුවෙන් බවද එමගින් කියැවිණ.
ඔබාමා පළමු බෝම්බය ගහයි
මේ අතරවාරයේ ලංකාව මුල්කරගෙන ජාත්‍යන්තරය තුළ නැවැත වතාවක් කිසියම් අනතුරාදායක තත්ත්වයක් නිර්මාණය වන ආකාරයක් පසුගිය සති කිහිපය තිස්සේම අප රාජ්‍ය රහස් තීරය තුළින් අනාවරණය කර සිටියෙමු. එහිදී අප පෙන්වා දුන්නේ ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉලක්ක කරගෙන දැන් තියාම ප්‍රබල ජාත්‍යන්තර රටවල් කිහිපයක්ම සැලැසුම් සකස් කරමින්, නිවේදන නිකුත් කරමින් සූදානම් වන බවකි. පසුගිය සතියේ අප මේ පිළිබඳව තහවුරු කරමින් කියා සිටියේ ඇමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩන්ගේ පත්වීමත් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙවැනියා ලෙස සැලකෙන නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රෝස්මරී ඒ. ඩිකාලෝ මහත්මිය ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවකි.
එමෙන්ම මේ සතියේ අප ලංකාව මුල්කරගෙන ජාත්‍යන්තරය තුළ සිදුවූ තවත් විශේෂ සිදුවීම් දෙකක්ද ඉදිරිපත් කිරීමට සූදානම්ය. ඉන් එකක් වාර්තා වූයේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා නිකුත් කළ පොතක් හරහාය. දෙවැන්න සිදුවූයේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළය.
සියල්ලන්ම දන්නා පරිදි ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් පත්වුවත්, ඔහුගේ ජයග්‍රහණය පසුපස පැවැති දැවැන්තම සෙවනැල්ල වූයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාය. ඔබාමා ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ උප ජනාධිපතිවරයා වූයේද බයිඩන්ය. මේ නිසාම බයිඩන් ගන්නා තීන්දු තීරණ සියල්ලම පසුපස සිටින්නේ වෙන කවුරුවත් නොව ඔබාමාය. බයිඩන් පසුපස සිටිමින් ඔබාමා ඇමෙරිකාව යළි හසුරවනු ඇති බවක්ද මේ වන විට දැකගන්නට තිබේ.
ඒ අනුව පසුගිය සතියේ ඔබාමා ලංකාවට එරෙහිව පළමු වෙඩිමුරය පත්තු කරමින් පොතක් එළිදැක්වූ අතර, එහි ලංකාව පිළිබඳව විශේෂ පරිච්ඡේදයක් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණ. “අ ප්‍රොමිස්ඞ් ලෑන්ඞ්” යනුවෙන් නම් කර තිබූ මෙම පොත පිටු 768කින් යුක්ත වූ අතර, දැනටමත් එහි පිටපත් මිලියන 1.7ක් විකිණී අවසන්ව ඇත.
ලංකාව ගැන සදහන
“ශ්‍රී ලංකාව වැනි රටවල් තුළ තිබුණ ජනවාර්ගික ඝාතනයන් නැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ රටවල් සිදු කළ ක්‍රියාකලාපය ඉතාමත් පසුගාමී, එමෙන්ම ඉතාමත් අසාර්ථක තත්ත්වයකයි තිබුණේ. එසේම සෝමාලියාව වැනි අසාර්ථක රාජ්‍යයන් නැවැත ප්‍රතිනිර්මාණය කිරීමට හෝ ශ්‍රී ලංකාව වැනි වාර්ගික අරගල ඇති රටවල් එම තත්ත්වයෙන් මුදාගැනීමට හෝ කිසිදු නිසි ක්‍රමවේදයක් හෝ කැමැත්තක් හෝ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්වලට තිබුණේ නැහැ.” යනුවෙන් ඔබාමා එහි සඳහන් කොට ඇත.
එම අර්බුදකාරී අවස්ථාවේදී අවසාන යුද්ධය සඳහා බර අවි භාවිතා නොකරන ලෙසට තමන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි බවත්, එමෙන්ම ග්‍රහණයට ගෙන සිටි සිවිල් වැසියන් වහාම නිදහස් කරන ලෙසටත් තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන්ද ඉල්ලා සිටි බවත්, බැරැක් ඔබාමා තම ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත. මෙම ඉල්ලීම් ගැන තමන් ප්‍රසිද්ධියේම මාධ්‍ය ඉදිරිපිටදී ප්‍රකාශයක් සිදුකළ බවත් ඔහු අවධාරණය කර ඇත.
දෙවන බෝම්බය බයිඩන්ගේ පැත්තෙන්
ඔබාමාගේ මේ පොත නිකුත් වීමෙන් අනතුරුව බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමටත් ප්‍රථම එරට කොංග්‍රස් මණ්ඩලයට බයිඩන්ගේ සමීපතම නියෝජතයන් දෙදෙනකු වූ බ්‍රැඞ් ෂර්මන් සහ ජැට්ක්ස් රැස්කින් ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. බයිඩන්ගේ ඩිමොක්‍රඩික් පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරිකයන් දෙදෙනකු වූ මේ දෙදෙනා ‘අතුරුදන් කිරීම් අවසන් කරනු’ මැයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ශ්‍රී ලංකා රජය අතුරුදන්වීම්වලට වගකිවයුතු පාර්ශ්ව ගැන කටයුතු කිරීම සඳහා ඇමෙරිකානු රජය සමඟ එක්ව ක්‍රියා කළ යුතු බවත්, ත්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතු බවත් දන්වා තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා හමුදාවට අපරාධ චෝදනා එල්ල කරන 30/1 ජිනීවා යෝජනාවට සමාන ආකාරයෙන් කෙටුම්පත් කර ඇති මෙම යෝජනාව මගින් ලංකා රජය සතුව තිබූ වදකාගාර පිළිබඳව හෙළිකළ යුතු බවද සඳහන් කර තිබේ.
බොරිස් තුන්වන බෝම්බය පත්තු කරයි
ඇමෙරිකානු ජනාධිපති බයිඩන්ගේ ආණ්ඩුවෙන් මෙම අනතුරු ඇඟවීමේ සංඥාව නිකුත් වීමත් සමඟ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන්ද මේ හා සමානවම තවත් අනතුරු ඇඟවීමක් පසුගිය සතියේ නිකුත් විය. එහිදී ලංකාව සම්බන්ධයෙන් බි්‍රතාන්‍යයේ මානව හිමිකම් උපදේශකයා වන මැතිව් ෆෝමන්ගෙන් ප්‍රශ්න කර සිටි අතර, එහිදී ෆෝමන් ශ්‍රී ලංකාවේ සංක්‍රාන්තික යුක්තිය ගැන සිය දැඩි කනස්සල්ල සහ බලාපොරොත්තු සුන්වීම පිළිබඳව අදහස් ඉදිරිපත් කරමින් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණ.
ඉහත විෂයට අදාළව ගෙන එන ලද 30/1 යෝජනාවට සහාය නොදැක්වීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය ගැන, එක්සත් රාජධානියේ බලාපොරොත්තු සුන්වීම ගැනද මැතිව් ෆෝර්මන් අවධාරණය කර සිටියේය. වගවීම ගැන නිසි ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වීම ගැනද එක්සත් රාජධානියේ මානව හිමිකම් උපදේශකවරයා තම කනස්සල්ල පළ කළේය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාව තුළ ගැටුම්වලට ගොදුරු වූ බොහෝ දෙනකුගේ අරගලය මූර්තිමත් කිරීමට අර්ථවත් ප්‍රගතියක් නැති බැව්ද ඔහු ප්‍රකාශ කර ඇත. සංක්‍රාන්තික යුක්තිය උදෙසා ශ්‍රී ලංකාව විසින් යෝජිත එරට ‘දේශීය ක්‍රමවේදය’ කෙරෙහි සැකයක් ඇති බැව්ද මැතිව් ෆෝර්මන් තවදුරටත් අවධාරණය කරයි. එසේම යුක්තිය සහ වගවීම උදෙසා මින් පෙර ක්‍රියාත්මක කරන ලද අභ්‍යන්තර යාන්ත්‍රණයන්ද එම කාරිය ඉටු කිරීම සඳහා අසමත් වී ඇති බැව්ද ඔහු බි්‍රතාන්‍ය රජයට අවධාරණය කර ඇත. සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් ආරක්‍ෂා කරන්නන් කෙරෙහි වඩවඩාත් සතුරු වාතාවරණයන් ක්‍රියාත්මක වන බැව්ද ඔහු ප්‍රකාශ කර ඇත. එසේම සංක්‍රාන්තික යුක්තිය ගැන රජය ප්‍රකාශ කර ඇති කැපවීම ගැන ප්‍රශ්න කළ යුතු යැයි ඔහු අවසාන වශයෙන් බි්‍රතාන්‍ය රජයට අවධාරණය කර ඇත.
මීට අමතරව ඉකුත් නොවැම්බර් 5 වැනිදා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ මේ සම්බන්ධයෙන් කතා කළ බවත්, එහිදී මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර සහ හමුදාකරණය වීම පිළිබඳව සාකච්ඡා වූ බවත් හෙතෙම එහිදී බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේය.
ඒ අනුව මේ සියල්ලම ලබන මාර්තු මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉලක්ක කරගෙන සිදුවන ක්‍රියාදාමයක් බව පැහැදිලිය. මේ පිළිබඳව අප විටින් විට රාජ්‍ය රහස් තීරය ඔස්සේ රටට අනාවරණය කරන්නේ රට බියගැන්වීමට හෝ ආණ්ඩුවට එරෙහිව හෝ නොව ඊට නිසි සැලැස්මක් ඇතිව රටක් වශයෙන් මුහුණදිය යුතු නිසාය. එමෙන්ම එවැනි අනතුරක් මතුවෙමින් පවතින බව රටේ ජනතාවටද දැනගැනීම සඳහාය.
මැඩිල්ලේ හිමියන්ට වෙච්ච දේ
මේ ආකාරයට ආණ්ඩුවට ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් අනතුරකට මුහුණදීමට සිදුව පවතිද්දී රට ඇතුළෙන්ම කිසියම් සිද්ධියකට මුහුණදීමට සිදුවූයේ ආණ්ඩුව ගෙනඒමට විශාල මෙහෙයක් සිදුකළ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ පන්සලට රහස් පොලිසිය ගොස් උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වීමත් සමඟය. එම සිදුවීම මැඩිල්ලේ හිමියන් වීඩියෝ කර සමාජ ජාලාවලට යොමුකිරීමත් සමඟ එය පාර්ලිමේන්තුව දක්වා ඇදී යන ප්‍රශ්නයක් බවට පත්විය. මෙහිදී මැඩිල්ලේ හිමියන් ඊට පෙර දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබූ අතර, එහිදී උන්වහන්සේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ලබාදී තිබූ තොරතුරු කිහිපයක් සාකච්ඡාවේදී රටට අනාවරණය කිරීමට පියවර ගෙන තිබිණ. එහිදී පිළියන්දල ප්‍රදේශයේ තැබෑරුමක් සඳහා චමල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් බලපත්‍ර ලබාදී ඇති බවක් උන්වහන්සේ කියා සිටියේ එම තොරතුරු මත පදනම්වය. නමුත් එය අසත්‍ය තොරතුරුක් වීම නිසා චමල් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස රහස් පොලිසියට දැනුම්දී තිබූ අතර, රහස් පොලිසිය උන්වහන්සේගේ පන්සලට ගොස් තිබුණේ ඒ අනුවය. චමල් මේ බව පාර්ලිමේන්තුවේදීද කියා තිබුණේය. ඒ අනුව මේ වන විට මැඩිල්ලේ හිමියන්ට අසත්‍ය තොරතුරු දුන් ප්‍රාදේශීය ලේකම්වරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ වී ඇති බවක්ද දැකගන්නට තිබේ.
සියල්ල අස්සේ කරුත් ආණ්ඩුවට එරෙහිව බෝම්බයක් ගහයි
කෙසේ වෙතත් මෙවැනි පසුබිමක් අතරවාරයේ පසුගිය සතියේ හිටපු කතානායක කරු ජයසූරිය මහතා රටම හෙල්ලී යන අනාවරණයක් සිදුකිරීමට පියවර ගත්තේය. කොළඹ ජානකී හෝටලයේ පැවැති මෙම සාකච්ඡාවේදී කරු විස්සට එරෙහිව දැඩිව අදහස් දැක්වූ මහ සඟරුවන නිහඬ කරවීම සඳහා ආණ්ඩුව දියත් කර තිබූ මෙහෙයුමක් සම්බන්ධයෙන් පළමු වතාවට කරුණු අනාවරණය කර සිටියේය.
“20 වැනි සංශෝධනයට එරෙහිව විශාල ජනමතයක් ඇති වු බව අප දන්නා සත්‍යයක්. එමෙන්ම මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගම් නායකයන් මෙන්ම සිවිල් සමාජය, බුද්ධිමතුන් ඇතුළු ජන සමාජයේ දැඩි විරෝධයක් මුළු රට තුළින්ම ගොඩ නැගුනා. පසුගිය ඔක්තෝබර් 12 වන දින ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමාග්‍රී සංඝ සභාවේ උගත් මහතෙරුන් වහන්සේලා ද මේ ගැන බලවත් විරෝධය ප්‍රකාශ කළා. ඉන්පසුව කතෝලික රදගුරු සම්මේලනය ද, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ද එම මතය අනුමත කරමින් සිය විරෝධත්වය ප්‍රකාශ කළා..“
මෙහිදී කිසිසේත්ම තේරුම් ගත නොහැකි ආකාරයට ඊට පසු දින උදෑසන අමරපුර රාමඤ්ඤ සාමාග්‍රී සංඝ සභාවේ නිලතල උසුලන අනුනායක මහාචාර්ය ආදී මහතෙරුන් හමුවීමට ගොස් ඇති පොලිස් නිලධාරීන් පිරිසක් උන්වහන්සේලාගෙන් මේ ප්‍රකාශ ගැන කරුණු විමසා තිබෙනවා. ජන සමාජයේ දැඩි විරෝධයක් එල්ල වූ 20 වන සංශෝධනයට එරෙහිව සිය මතය පළකිරීම ගැන රටේ ඉහළම පිළිගැනීමක් ඇති කාගෙත් ගෞරවයට පාත්‍රවූ මහතෙරුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කිරීමට යාම සිදු නොවිය යුතු කරුණක්. ඒකාධිපති රටක, අත්තනෝමතික රාජාණ්ඩුවක් පවතින සමාජයක මෙවැනි සිදුවීම් විය හැකිමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ එවැන්නක් සිදුවීම ගැන ලැජ්ජා විය යුතුයි.
“මෙවැනි සිද්ධීන් නිසා රජයේ ගෞරවයට හා කීර්ති නාමයට හානිකරනවා. එබැවින් වහාම මේ ගැන පරීක්ෂණයක් පවත්වා මෙයට වගකිවයුතු පුද්ගලයින්ට නීත්‍යානුකූලව ක්‍රියා කරන ලෙස අප විශේෂයෙන්ම රජයෙන් ඉල්ලා සිටිනවා.“ යැයි කරු එහිදී කියා සිටියේය.
සජිත්ලාගේ පක්ෂයට පණ ආ හැටි
තුනෙන් දෙකක අතිබහුතර බලයක් සහිත ආණ්ඩුවක් බලයේ සිටින විට විපක්‍ෂය දැඩි ලෙස දුර්වල වීම සාමාන්‍යයෙන් ඕනෑම රටකදී දැකගන්නට හැකි සිදුවීමකි. එවැනි අවස්ථාවකදී විපක්‍ෂයට තරමක් හෝ ඔළුව ඉස්සීමට වසර තුන හතරක් බලා සිටීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. නමුත් මෙවර ලංකාවේ තත්ත්වය ඊට තරමක් වෙනස් වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ලංකාවේ ආණ්ඩුවට මන්ත්‍රිවරුන් 150කගේ සහාය තිබුණත්, 20 වැනි සංශෝධන සම්මත කරගත් ඉකුත් අවස්ථාවේ ප්‍රධාන විපක්‍ෂය වූ සමගි ජනබලවේගයේ මුස්ලිම් මන්ත්‍රිවරු 7 දෙනෙක් ඇතුළු 8 දෙනෙක් ආණ්ඩුව සමඟ එක්ව ඡන්දය ප්‍රකාශ කළත් ආණ්ඩුවට වසරක් පිරීමටත් පෙර පරාජයේ අළු ගසා දමා නැඟී සිටීමට සමගි ජනබලවේගය මේ වන විට සමත්ව තිබේ. ඊට හේතුව වී ඇත්තේ මීට සති කිහිපයකට පෙර ඔවුන් විසින් දියත් කළ ‘සර් ෆේල්’ ප්‍රචාරක ව්‍යාපාරය ඔවුන්ද නොසිතූ අන්දමට සමාජ මාධ්‍ය ජාලවල විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබීමය. මේ නිසා සමඟි ජනබලවේගය ඇතුළේ මේ දිනවල දේශපාලන කටයුතු සම්බන්ධයෙන් විශාල උනන්දුවක්, උfiා්ගයක් ඇතිව තිබෙන ආකාරයක් පෙනෙන්නට තිබේ. පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තුව ඇතුළේ විවිධ ක්‍රියාකාරකම් සිදුකිරීමටත්, දිනකට සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් විවිධ ස්ථානවල ප්‍රවෘත්ති සාකච්ඡා තුන, හතරක් පැවැත්වීමට පියවර ගෙන ඇත්තේත් පක්‍ෂය ඇතුළේ මතුව ඇති මේ හදිසි දේශපාලන උනන්දුව නිසාය. එමෙන්ම සමඟි ජනබලවේගයේ යළි ප්‍රතිසංවිධානය කොට දේශපාලන පක්‍ෂයක් ලෙස ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළඳ මේ සමඟම ක්‍රියාවට නැංවීමට එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සැලැසුම් කර ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ.
අලුත් පක්ෂයේ නම මෙන්න
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත එහි නිලතල සියල්ල පත්කොට අවසන් කිරීමටත්, පක්‍ෂයේ නව ව්‍යවස්ථාව ප්‍රකාශයට පත්කර සම්මත කිරීමටත් විධායක සභාව පත්කිරීමටත්, තීන්දු කර ඇති අතර දෙසැම්බර් මාසයේ පළමු පක්‍ෂ සම්මේලනය පැවැත්වීමට සැලසුම් කර ඇත. කෙසේ වෙතත් මෙහිදී සුවිශේෂි තොරතුරු කිහිපයක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ සමගි ජනබලවේගයේ නම සම්බන්ධයෙන්ය. මුලදී මෙම ප්‍රතිසංවිධාන කටයුතුවලදී සමඟි ජනබලවේගයේ නම සහ සලකුණ වෙනස් වන බවක් සඳහන් වුවද මේ වන විට තීන්දු වී ඇත්තේ එම නමෙහි සහ සලකුණෙහි කිසිදු වෙනසක් සිදුනොකොට තවදුරටත් සමඟි ජනබලවේගය ලෙස පවත්වා ගෙන යෑමටයි. එමෙන්ම දුරකතනය සලකුණ තවදුරටත් පක්‍ෂයේ සලකුණ ලෙස පවත්වාගෙන යෑමටද තීන්දු වී තිබේ. කෙසේ වෙතත් සමඟි ජනබලවේගයේ ප්‍රධානත්වයෙන් අලුතින් නිර්මාණය කිරීමට නියමිත නව සන්ධානයේ නමද මේ වන විට ‘රාජ්‍ය රහස්’ තීරය වෙත වාර්තා වී තිබේ. ඒ අනුව නව සන්ධානයේ නම වන්නේ ‘සමඟි ජාතික පෙරමුණ’ය. ඉදිරියේදී ඒ කටයුතු සියල්ලද ආරම්භ කිරීමට සජිත් ඇතුළු කණ්ඩායම සැලැසුම් කර ඇති බවක්ද ආරංචිය.
බැසිල් ගැන යන කටකතාව
පොහොට්ටුව නිර්මාණය කොට ඉතා කෙටි කාලයක් ඇතුළත පළාත් පාලන ඡන්දයක්, ජනාධිපතිවරණයක් සහ මහමැතිවරණයක් වැනි ප්‍රධාන පෙළේ මැතිවරණ තුනක් පක්‍ෂයට දිනා දීමට සමත් වූ ප්‍රධානතම චරිතය බැසිල් රාජපක්‍ෂ බව පක්‍ෂ විපක්‍ෂ බේදයකින් තොරව රටේ සියලු දෙනා පිළිගන්නා කාරණයකි. ඒ අනුව බොහෝ දෙනා සිතා සිටින්නේ, අනාවැකි පළ කළේ, බැසිල් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණ කැබිනට් අමාත්‍ය ධුරයක දිවුරුම් දෙනු ඇතැයි කියාය. නමුත් ආණ්ඩුව පිහිටුවා මේ වන විට මාස 5කට ආසන්න කාලයක් ගත වුවත් බැසිල් තවම පාර්ලිමේන්තු එක පාටක් නැත. ඒ වෙනුවට මේ දිනවල බැසිල් ගැන විවිධ කටකතා දේශපාලන ක්‍ෂේත්‍රයේ රැව්පිළිරැව් දෙන ආකාරයක් දැකගන්නට තිබේ.
ඉන් එක් ප්‍රබල කටකතාවක් වන්නේ බැසිල් ඉදිරි දින කිහිපය ඇතුළත ඇමෙරිකාව බලා පිටත් වන්නට සූදානමින් සිටින ආරංචියය. ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසියකු වන බැසිල් පසුගිය ජනාධිපතිවරණයෙන් පසු දිගටම ලංකාවේ රැඳී සිටියේ ඒ වන විටත් ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගමන් තහනම හේතුකොටගෙනය. නමුත් බැසිල්ගේ බිරිය මෙන්ම දරුවන්ද පදිංචිව සිටින්නේ ඇමෙරිකාවේය. ඒ අනුව උසාවි නියෝගය පසුගිය සතියේ ඉවත් වීමත් සමඟ බැසිල් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට සූදානමින් සිටින බව මේ කටකතාවලින් කියැවෙයි.
ද්විත්ව පුරවැසි බව අයින් කර ගනීද?
සෑම අවුරුද්දකම දෙසැම්බර් නිවාඩුව පවුලේ උදවිය සමඟ ගතකිරීම බැසිල්ගේ සාමාන්‍ය සිරිතය. ඒ අනුව මෙවරද බැසිල් ඇමෙරිකා ගොස් මාස තුන, හතරක් එහි ගතකරනු ඇති බවක් එම කටකතාවලින් වැඩිදුරටත් කියැවෙයි.
කෙසේ වෙතත් මේ කටකතා අතරේ ‘රාජ්‍ය රහස්’ තීරයට තවත් නිල නොවන කතාවක්ද ආරංචිය. ඒ මෙවර බැසිල් ඇමෙරිකා යන්නේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බවය. පසුගිය මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව බැසිල් වහා පාර්ලිමේන්තු එනු ඇති බව කියැවුණද, ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් එම තත්ත්වය වැළැකී ගොස් තිබිණි. නමුත් 20 වැනි සංශෝධනය තුළින් ද්විත්ව පුරවැසිභාවයේ වගන්තිය අහෝසි කිරීමට පියවර ගැනීමත් සමඟ ඊට පසුදිනම බැසිල් පාර්ලිමේන්තු එනු ඇති බව බොහෝ දෙනා සිතා සිටියත්, තවමත් එවැන්නක් සිදුවන ආකාරයක් දැකගන්නට නැත.
මීට මාසයකට ඉහතදී බැසිල්ව පාර්ලිමේන්තු එන ලෙස ඉල්ලා පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම විසින් ලිපියකට අස්සන් එකතු කොට බැසිල්ට බාර දීමටද පියවර ගෙන තිබිණි. එමෙන්ම පසුගිය අඟහරුවාදා දිනයේ පාර්ලිමේන්තුවේදී බැසිල්ට පාර්ලිමේන්තු එන ලෙස ඉල්ලා තවත් ලිපියකට අස්සන් තැබීම සිදුකොට තිබූ අතර, ඒ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ තවත් පසුපෙළ නවක මන්ත්‍රිවරයකු වූ ජගත් කුමාරය. ඊටද සැලකිය යුතු මන්ත්‍රිවරුන් පිරිසක් අස්සන් තබා තිබිණි.
ජන්ද සිතියම යළි දිග හරී
නමුත් මේ අයුරින් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට දසතින්ම ආරාධනා සිදුවෙද්දී තවමත් බැසිල් සිටින්නේ නිහඬවය. කොච්චර නිහඬව සිටිනවාද කියනවා නම් බැසිල් පසුගිය දින කිහිපයේ අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීම්වලට සහභාගි වූයේත් නැත. ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත්තේ මෙවර ඇමෙරිකානු සංචාරයේදී බැසිල් සිය ඇමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය අත්හැරීමට අදාළ සියලු ලිපි ලේඛන එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ආගමන – විගමන දෙපාර්තමේන්තුවට බාර දීමට සැලැසුම් කර ඇති බවකි. සන්ධානයේ දේශපාලන පක්‍ෂ කිහිපයක්ම බැසිල්ගේ ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව මත පළ කිරීම හේතුකොටගෙන එම චෝදනාවෙන්ද නිදහස්ව පාර්ලිමේන්තුවට පිවිසීම බැසිල්ගේ අරමුණ වී ඇති බවක් දැනගන්නට තිබේ.
මේ අතර බැසිල් සිය ඇමෙරිකානු සංචාරය නිමවා යළි ලංකාවට පැමිණීමෙන් පසු සිදුකිරීමට සැලසුම් කර ඇති දේශපාලන රාජකාරි කිහිපයක් පිළිබඳව දළ සැලැසුමක් සකස් කර ඇති බවක්ද දැනගන්නට තිබේ. ඉන් පළමුවැන්න වී ඇත්තේ දැනට හකුලා ඇති මැතිවරණ සිතියම යළි දිගහැරීමය. පළාත් පාලන ඡන්දයට තවත් වසරකුත් මාස 3ක පමණ කාලයක් ඉතිරිව පවතින බැවින් ආණ්ඩුවේ සැලැසුම වී ඇත්තේ සිය ජනප්‍රියතාවය උරගා බැලීම සඳහා පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පවත්වා අවසන් කරන්නටය. ඊටද හේතු කිහිපයක් ආණ්ඩුවට බලපා ඇති බවක් දැනගන්නට තිබේ. ඉන් එකක් වී ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට රට ඇතුළේ තරමක අර්බුදකාරී වාතාවරණයක් මතුවෙමින් පැවැතීමය. අනෙක ආර්ථික අර්බුදයය. මේ කරුණු දෙකින්ම තරමකින් හෝ මිදීම සඳහා තවත් වසරක් පමණ කාලයක් ගතවනු ඇති බැවින් හැකි ඉක්මනින් පවතින ජනප්‍රිය මුහුණුවර යටතේම පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කිරීම ආණ්ඩුවේ සැලැසුම වී තිබේ. ඒ අනුව බොහෝ දුරට ලබන වසරේ මැද භාගයේදී පළාත් සභා මැතිවරණය නියත වශයෙන්ම පැවැත්වෙනු ඇත.
දෙවන පෙළ නිර්මාණය කරයි
ඒ සඳහා බලපා ඇති අනෙක් හේතුව වන්නේ රටේ මෙතෙක් කල් බිහිව පැවැති දේශපාලන සම්ප්‍රදායක් පළාත් සභා අක්‍රිය වීම හේතුවෙන් අතරමඟ නතර වී තිබීමය. ඒ පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා ගැනීමේ සම්ප්‍රදායය. ලංකාවේ මහමැතිවරණයකදී පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා ගනිද්දී ජනතාව එක්වර ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු පාර්ලිමේන්තු යැවීමට කටයුතු කරන්නේ නැත. එසේ ගොස් තිබේ නම් ඒ කලාතුරකිනි. සම්ප්‍රදාය වී ඇත්තේ ප්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවට ගොස් ඉන් අනතුරුව පාර්ලිමේන්තු යෑමය. නමුත් කාලයක් තිස්සේ පළාත් සභා අකර්මණ්‍ය වී තිබීම හේතුවෙන් දැන් එම සම්ප්‍රදාය බිඳවැටීමකට ලක්ව තිබේ.
අනෙක් අතට හැකි ඉක්මනින් පළාත් සභා පිහිටුවා ගතහොත් 2022 පෙබරවාරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඉතා පහසුවෙන් සිදුකරගත හැකි බව ආණ්ඩුවේ මතය වී තිබේ. එසේම පිරිසුදු පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් පළාත් සභාවෙන්ම පත්කර ගත හැකි බවත්, පොහොට්ටුවේ දෙවැනි පෙළ ඒ හරහා ශක්තිමත් කරගත හැකි බවත් ආණ්ඩුවේ මතය වී තිබේ. එමෙන්ම ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව ඇතුළේ සිට කැරැලි ගහන ඇතැම් සන්ධාන නායකයන්ගේ කටවල් වැසීමද පළාත් සභා මැතිවරණය පැවැත්වීම හරහා සිදුකර ගැනීම ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ සැලැසුම වී තිබේ.
රුවන් පච වෙන හැටි
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා වශයෙන් රුවන් විජේවර්ධන මහතා තේරී පත්වී මේ වන විට මාස කිහිපයක් ගතවී ඇතත් පක්ෂය ප්‍රතිසංවිධානය මුල්කරගෙන ඔහු අතින් කිසිදු වැඩක් සිදුවූයේ නැත. අවම වශයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානය ප්‍රතිසංවිධානය කර ගැනීමට හෝ ඔහුට හැකියාව ලැබුණේ නැත. කෙසේ වුවත් පසුගිය සතියේ රුවන් විජේවර්ධන එජාපය ප්‍රතිසංවිධානය කිරීම අරමුණු කරගෙන දිස්ත්‍රික් මට්ටමින් රට වටා යෑම ආරම්භ කළේය. පළමුවෙන්ම ඔහු ගියේ අනුරාධපුරයටය. අනුරාධපුර පැවැති එම රැස්වීමට එජාප පාක්ෂිකයන් පනහක්වත් එකතු කර ගැනීමට ඔහුට නොහැකි විය. ඉන් අනතුරුව පක්ෂ ප්‍රතිසංවිධාන දෙවැනි වැඩසටහන රුවන් පසුගිය සතියේ මහනුවරදී සිදුකළේය. ඊට අනුරාධපුරයට සහභාගිව සිටි සංඛ්‍යාවවත් සහභාගි වූ ආකාරයක් දැකගන්නට තිබුණේ නැත.
ඉන් අනතුරුව රුවන් ඉකුත් බදාදා නුගේගොඩ නගර මධ්‍යයේ විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට පියවර ගත්තේය. එජාපයේ ප්‍රධානත්වයෙන් පැවැති ඊට සහභාගිව සිටියේ දහදෙනකුටත් වඩා අඩු පිරිසකි. පහත ඡායාරූපවලින් ඒ බව හොඳටම දැකබලා තේරුම්ගත හැක.
කපිල පුංචිමාන්නගේ