අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩ බාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය අරලිය ගහ මන්දිරයට පැමිණ අගමැතිවරයා මුණ ගැසී සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන ඇත.
මෙහිදී ඉකුත් මැතිවරණය පිළිබද අදහස් පළකොට ඇති ටෙප්ලිට්ස් මහත්මිය මැතිවරණ ප්‍රතිපලයෙන් ඉකුත් රජය පැහැදිලිවම ජනතාව විසින් ප්‍රතික්ෂේප කොට ඇති බවත්, ඉතා සාමකාමී පරිසරයක් යටතේ මැතිවරණය පැවැති බවත් සදහන් කොට තිබේ.
එමෙන්ම ආණ්ඩුව සමග ඉදිරියට සහයෝගයෙන් කටයුතු කිරීමට අමෙරිකාව සූදානම් බවද ඇය අගමැතිවරයා වෙත දැනුම් දී ඇත.
මීට අමතරව කොරෝනා වසංගතය පාලනය කළ ආකාරය පිළිබදව ආණ්ඩුව වෙත ප්‍රසාදය පළ කර ඇති තානාපතිනිය, නව රැකියා උත්පාදනය වන අයුරින් ලංකාවට ආර්ථිකමය වශයෙන් සහාය දැක්වීමට සූදානම් බවද සදහන් කර තිබේ.
මෙහිදී පළමුව ආණ්ඩුවේ ප්‍රමුඛතාවන් පිළිබද කළ විමසීමේදී අගමැතිවරයා සදහන් කර ඇත්තේ කොරෝනාවෙන් බිද වැටුණු ආර්ථිකය යළි නගා සිටුවීම ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යභාරය බවය. ඒ අනුව තරුණ ප්‍රජාවට රැකියා ලබා ගත හැකි පසුබිමක් නිර්මාණය කළ හැකි වෘත්තීය පුහුණු ආයතන රට වටා ස්ථාපිත කිරීමට සහාය වන ලෙස අගමැතිවරයා මෙහිදී තානාපතිනියගෙන් ඉල්ලීමක් කොට ඇත. ඊට තානාපතිනිය යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබේ.
එමෙන්ම වැඩි ජනතාවක් ජීවත් වන ප්‍රදේශවල පිරිසුදු පානීය ජලයේ හිගකමක් පවතින බව පෙන්වා දී ඇති අගමැතිවරයා එය වකුගඩු රෝග ව්‍යාප්තියට ඍජුවම බලපා ඇති බැවින් ඊට විසදුම් සෙවීමට සහාය වන ලෙසද තානාපතිනියගෙන් ඉල්ලීමක් කර ඇත.
මීට අමතරව නව ආයෝජන, ආණ්ඩුව සමග සිදු කරන ව්‍යාපෘති, ආරක්ෂක ක්ෂේත්‍රය, ප්‍රති ත්‍රස්ත කටයුතු, මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම මෙන්ම ජාත්‍යන්තර ජාවාරම් පිළිබදවද මෙහිදී සාකච්ජා වී ඇත.