නිමල් සිරිපාලට මොකද වුණේ!
නාමල් එළියට එයි!
ධම්මික ගැන අපි කරපු හෙළිදරව්ව!
පසුගිය සතියේ දේශපාලන කරළියේ වීරයා බවට පත්වුණේ වෙන කවුරුවත් නොව දේශපාලන ක්ෂේත්‍රයට අලුතින්ම අඩිය තැබු කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාය. ධම්මික දේශපාලනයට එන බව කන වැකීමත් සමග මහත් කලබලයට පත්ව සිටි ප්‍රධානම චරිතය වූයේ වෙන කවුරුවත් නොව අගමැති රනිල් වික්‍රමසිංහය. එම නිසා රනිල් පළමුව ඒ බව තහවුරු කරගැනීම පිණිස තුන්වැනි පාර්ශ්වයක් හරහා ජනාධිපතිවරයාට පණිවුඩයක් යැවීමට පියවර ගත් බව අප මීට සති තුනකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කළෙමු. එය ජනාධිපතිවරයා විසින් තහවුරු කළ විට තමන් ඊට අකැමැති බව රනිල් ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පෙන්වා දුන්නෙමු. එවිට ජනාධිපතිවරයා දැඩි පිළිතුරක් ලබාදෙමින් එසේ නම් තනතුරුවලින් ඉවත්වී යන ලෙසට රනිල්ට කළ දැනුම්දීම ද අපි මෙහි වාර්තා කළෙමු.
කිසිම මාධ්‍යයක් දන්නෙත් නෑ! කිව්වෙත් නෑ!
ඉන් අනතුරුව රනිල් තමන්ගේ මාමණ්ඩියට අයත් පවුලේ පුවත්පත් උපයෝගී කරගෙන ධම්මිකට පහරදීමට කටයතු කළ ආකාරයත් අප පෙන්වා දුන්නෙමු. හිටිහැටියේම පසුව ධම්මිකගේ නිවෙස ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ වූ අතර ඊට රනිල්ට චෝදනා එල්ල වූ ආකාරයත් අපි අනාවරණ කළෙමු. අවසානයේදී අප ධම්මිකගේ පාර්ලිමේන්තු ගමන වැළැක්වීම සඳහා නීති තර්කයන් රනිල්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ ආකාරයත්, ඒ හේතුවෙන් ධම්මිකට සිය ව්‍යාපාරික කටයුතුවලින් ඉවත් වීමට සිදුවූ ආකාරයත් පෙන්වා දුන්නෙමු. අප මේ සියල්ල එකින් එක වාර්තා කළේ ලංකාවේ කිසිදු මාධ්‍යයක් ඒ පිළිබඳ වචනයක් හෝ කතා නොකරද්දීය. එසේ වීමට ප්‍රධාන හේතුව වී තිබුණේ බොහොමයක් මාධ්‍ය රනිල්ගේ මාමණ්ඩිය වූ රංජිත් විජේවර්ධන මහතාට අයත් ඒවා වී තිබීම නිසාය. එමෙන්ම ඇතැම් මාධ්‍ය රනිල්ගේ ග්‍රහණයට හසුවී තිබීම නිසාය. නමුත් අප ඒ කිසිවකට අයත් නැති බැවින් මෙම කරුණු සියල්ලම රටට හෙළිකිරීමේ හැකියාව අපට තිබිණි.
රනිල් ගේම අත් නොහරී! පළමු කැබිනට්ටුවේදීම ධම්මිකට ගහන්න ලෑස්ති වෙයි!
ඒ අනුව මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කරන්නේ ධම්මික පාර්ලිමේන්තුවට පැමිණ ආර්ථිකය සම්බන්ධ අමාත්‍ය ධුරයක දිවුරුම් දීමට නියමිත බවට වූ පළමු ඉඟිය නිකුත් වීමත් සමග රනිල් ධම්මිකට එරෙහිව තවත් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ ආකාරයය. ධම්මිකට අමාත්‍ය ධුරයක් හිමිවන පළමු ලකුණ පහළ වූයේ ජනාධිපතිවරයා ධම්මික දිවුරුම් දීමටත් පෙර ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරය ගැසට් කොට ඊට අදාළ ආයතනද ගැසට් කිරීමත් සමගය. ඒ අනුව රනිල් සැලසුම් කළේ ධම්මික අමාත්‍යවරයකු වශයෙන් සහභාගීි වන පළමු කැබිනට් රැස්වීමේදීම ප්‍රහාර එල්ල කොට ධම්මික බිම දැමීමටය. රනිල් ඒ සඳහා තෝරාගත් තුරුම්පුව වූයේ ධම්මිකගේ එක් ව්‍යාපාරයක් වූ කැසිනෝ ව්‍යාපාරයය. ඒ අනුව රනිල්ගේ සැලසුම වී තිබුණේ ධම්මික අසුන්ගන්නා පළමු කැබිනට් රැස්වීමේදී කැසිනෝ ව්‍යාපාර සඳහා බදු පැනවීමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට කැබිනට් මණ්ඩලය ඉදිරියේ ධම්මිකව අපහසුතාවට පත්කිරීමය. එහි ඇති විශේෂත්වය වූයේ කිහිප වතාවක් අගමැතිකම් දැරුවද, ආණ්ඩු කළද ඒ අවස්ථාවලදී ඉදිරිපත් නොකළ කැසිනෝ බදු කැබිනට් පත්‍රිකාව රනිල්ට මේ අවස්ථාවේදීම ඉදිරිපත් කිරීමට තදබල අවශ්‍යතාවක් මතුව තිබීමය. අවම වශයෙන් ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ විධායක අගමැතිවරයා වශයෙන් කටයුතු කරද්දී පවා රනිල් ඒ සම්බන්ධයෙන් කතාවත් කර නොතිබිණි. ඒ අනුව රනිල් මේ මොහොතේ එය කරළියට ගෙනාවේ වෙන මොනවත් නිසා නොව ධම්මිකට එරෙහිව හිතාමතාම දේශපාලන ගේමක් ගැසීම සඳහා බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ. එසේ නැතිව කැසිනෝවලට බදු පැනවීම සම්බන්ධයෙන් කිසිවකුගේ විරෝධයක් නැති බවද මෙහිදී සඳහන් කළ යුතුව ඇත.
ධම්මිකට රනිල් එන පොට වැටහෙයි!
ඒ අනුව රනිල් කළේ ධම්මික තමන්ට එරෙහිව පවරා තිබූ නඩුවලින් ජයග්‍රහණය කිරීමත් සමග ඔහු අසුන්ගන්නා පළමු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ හැකි වන ආකාරයට කැසිනෝ බදු සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව සකස් කිරීමය. සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ප්‍රථම කැබිනට් ඇමැතිවරුන්ට ලබාදිය යුතු බැවින් එම කැසිනෝ පත්‍රිකාව ධම්මිකගේ අතටද ලැබිණි. එය දුටු සැණින් රනිල් පළමු කැබිනට් මණ්ඩලයේදීම තමන් අපහසුතාවට පත්කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව වටහා ගැනීමට ධම්මිකට එතරම් අපහසු නොවීය. මේ හරහා පළමු කැබිනට් රැස්වීමේදීම තමන් හා ගැටුමක් නිර්මාණය කරගෙන ඊට රනිල්ට හිතවත් මාධ්‍ය හරහා පුලුල් ප්‍රචාරයක් ලබාගැනීමට සැලසුම් කොට ඇති ආකාරයක්ද ධම්මිකට මෙහිදී වැටහිණි. ඒ අනුව ධම්මික කළේ වහාම ජනාධිපතිවරයාට කතා කොට ඒ පිළිබඳ දැනුම්දී සිටීමය.
ජනාධිපතිට කෝල් කර එන්නෙ නැති බව කියයි!
‘ජනාධිපතිතුමනි, කැසිනෝවලට බදු ගහන එකට මට කිසි ප්‍රශ්නයක් නෑ. මම ඒවට විරුද්ධත් නෑ. හැබැයි අගමැතිතුමා මම වාඩිවෙන පළමු කැබිනට් එකටම මේක ගේන්නෙ මාව අපහසුතාවට පත්කරන්න. ඒ නිසා මම මේ කැබිනට් රැස්වීමට නෑවිත් ඉන්නම්. ඔබතුමාලා මේ කැබිනට් පත්‍රිකාව ගැන ඕනෑම තීන්දුවක් ගන්න…’ යනුවෙන් ධම්මික ජනාධිපතිවරයාට කියද්දී ජනාධිපතිවරයා කියා සිටියේ එසේ නොකරන ලෙසත්, කැබිනට් රැස්වීමට සහභාගි වන ලෙසත්, තමන් එම කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කිරීම මීළඟ සතියට කල් දැමීමට කටයුතු කරන බවත්ය. ඒ අනුව ධම්මිකද මීට සතියකට ඉහතදී පැවැත්වූ සිය පළමු කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වීමට පියවර ගත්තේය. ඊට සැලසුම් කළ පරිදිම රනිල් කැසිනෝ සම්බන්ධ කැබිනට් පතිකාව ඉදිරිපත් කළ නමුත් ජනාධිපතිවරයා එය සාකච්ඡා කිරීම ඉකුත් සඳුදා දක්වා කල්තැබීමට පියවර ගත්තේය.
ධම්මික වැඩ පෙන්වන්න පටන් ගනී!
ඒ අතරවාරයේ ධම්මික අමාත්‍ය ධුරයේ වැඩ පෙන්වමින් ජනතාවට සහන සැලසීමේ කටයුතු කිහිපයක්ම දින කිහිපයක් ඇතුළත සම්පූර්ණ කිරීමට පියවර ගත්තේය. කොළඹට සීමාවී තිබූ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ කාර්යාල තවත් දිස්ත්‍රික්ක 5ක ස්ථාපිත කිරීමට ධම්මික, තම වියදමින් පියවර ගත්තේය. ආයෝජන සිදුකිරීමේදී මෙතෙක් කල් පිටු ගණන් පිරවීමට තිබූ අයදුම්පත්‍ර තනි පිටුවකට ගෙන ඒමට කටයුතු කළේය. විදෙස් ආයෝජන සඳහා දිනක් ඇතුළත අනුමැතිය ලබාදීමේ ක්‍රමවේදයක් ආයෝජන මණ්ඩලය හරහා සකස් කළේය. නමුත් ධම්මිකගේ ලොකුම සැලසුම වී තිබුණේ විදේශ ආයෝජකයන්ට වසර 10ක කාලයක් වීසා ලබාදීමේ ව්‍යාපෘතියය. ඒ හරහා ඩොලර් මිලියන 300ක් රටට ලබාගැනී ධම්මිකගේ සැලසුම වී තිබිණි. ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබුණද ගැටලුව වී තිබුණේ රනිල්ට අයත් මුදල් අමාත්‍යාංශය මගින් එම ව්‍යාපෘතිය ඉදිරියට යා නොදී විවිධ බාධක දමමින් බාල්දි පෙරළමින් කල් ඇද ඇද සිටීමය. අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳ සිහි කැඳවීම් කළද මුදල් අමාත්‍යාංශයේ සිටින රනිල්ගේ පිල්ලි ඊට ඉඩ දුන්නේම නැත.
ධම්මික තීන්දුවක් ගනී! රනිල්ට ගහන්න ලෑස්ති වෙයි!
ඒ අතරවාරයේ පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී රනිල් කැසිනෝ බදු පැනවීමේ පත්‍රිකාව සම්මත කරගෙන ඊට තමන්ගේ පවුලට අයත් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීමටත් පියවර ගත්තේය. ධම්මිකට ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නොතිබුණු නමුත් වීසා ලබාදීමේ ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට රනිල් කටයුතු කරමින් සිටීම ධම්මික ඉවසුවේ නැත. ඒ අනුව ධම්මිකද පසුගිය සතියේ දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට පියවර ගත්තේය. ඒ, රනිල් කරන මේ කටයුත්ත රටට හෙළිදරව් කිරීමය. මෙම තීන්දුව ගැනීම දක්වා වූ කාලය ඇතුළත ධම්මික කතා කළේ කාටද, ඒවායේදී කතාබහට ලක්වූ කරුණු මොනවාද යන්න පිළිබඳ අප හට තොරතුරු ඇතත් මේ අවස්ථාවේ අප ඒවා අනාවරණ කිරීමට සූදානම් නැත. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලදී ධම්මික රනිල්ට එරෙහිව ප්‍රහාරය දියත් කිරීමට තීන්දු කළ අතර භාරගත් රාජකාරිය නිවැරැදිව කළ නොහැකි නම් දේශපාලනයෙන් සමුගන්නා බවට වූ තීන්දුව ප්‍රකාශයට පත් කළ බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
www.mawratanews.lk වෙබ් එකෙන් අපි කලින්ම එළියට දැම්මා!
කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා පෙරවරුව වන විට ධම්මික විශාල දේශපාලන ප්‍රහාරයකට සූදානම් වන බවට අපටද තොරතුරු වාර්තා විය. ඒ අනුව අප www.mawratanews.lk වෙබ් අඩවිය මගින් එම පුවත අතිවිශේෂ පුවතක් ලෙස පළමු වරට රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු.එහිදී අප කියා සිටියේ එදින දහවල් වන විට බරපතළ දේශපාලන පෙරළියක් වීමට නියමිතව ඇති බවයි. ඒ අනුව අප මෙම පුවත අනාවරණ කොට පැයක් ඉක්මවීමට මත්තෙන් ධම්මික මාධ්‍ය වෙත රනිල් ඉලක්ක කොට ප්‍රබල ප්‍රහාරයක් දියත් කළේය. එහිදී ධම්මික කියා සිටියේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රනිල්ට මුදල් අමාත්‍යවරයා වශයෙන් කිසිදු සැලසුමක් නොමැති බවත්, අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සකස් කළ සැලසුම් පවා රනිල් විසින් කඩාකප්පල් කරන බවත්ය. එම නිසා රනිල් වහාම මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරිවලින් ඉවත් විය යුතු බව කියා සිටි ධම්මික, තමන් සමග විවාදයකට පැමිණෙන ලෙසට රනිල්ට අභියෝග කර සිටීමටද පියවර ගත්තේය. සාමාන්‍යයෙන් මෙය සැලකෙන්නේ රනිල්ට මෑත කාලයේ එල්ලවූ ප්‍රබලම දේශපාලන ප්‍රහාරය ලෙසටය.
රනිල් නන්නත්තාරයි!
ධම්මික මේ ආකාරයට රනිල්ට මුදල් ඇමැතිකමින් ඉවත් වන ලෙස කියදදී රනිල් සිටියේ සුපුරුදු පරිදි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වන ප්‍රශ්නවලට සිනාසෙමින්, උසුළුවිසුළු කරමින්, වෙනත් පාර්ශ්වයන්ට බෝලය පාස් කරමිනි. කෙසේ වෙතත් ධම්මිකගේ ප්‍රහාරය ඒ මොහොතේම ‘මව්රටනිවුස්’ වෙබ් අඩවියේත්, අපගේ Whattsapp සේවාවේත් පළකිරීමට අපි පියවර ගත්තෙමු. ඒ සමගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එය දැක වහාම රනිල්ගෙන් මේ පිළිබඳ විමසද්දී කිසිවක් නොදැන සිටි රනිල් මහත් අපහසුතාවටත්, කලබලයටත් පත්වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ‘යන්නෙ කොහෙද? මල්ලෙ පොල්’ උත්තරයක් ලබාදුන් රනිල් සභා ගැබෙන් පිටව යද්දී මහින්දත්, ජොන්ස්ටනුත් ආණ්ඩු පක්ෂයේ ලොබියේ අසුන්ගෙන සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව රනිල් ඔවුන් සමග අසුන් ගනිද්දී මහින්දත් ඒ පිළිබඳ විමසද්දී රනිල් කීවේ තමන් එවැන්නක් තවම දුටුවේ නැතැයි කියාය. එතැනින් එහා මෙහා ගිය ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ද ඒ පිළිබඳ විමසද්දී රනිල් දුන්නේ මහින්දට දුන් උත්තරයමය.
වහාම රනිල් ජනපති හමුවන්න දුවගෙන එයි!
කෙසේ වෙතත් මෙම බරපතළ ප්‍රහාරයෙන් පසු රනිල් ඒ පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව කියමින් වහාම තුන්වැනි පාර්ශ්වයක් හරහා පණිවුඩ කිහිපයක්ම තැබීමට පියවර ගත්තේය. ඉල්ලීම් කිහිපයකින් පසු ජනාධිපතිවරයා ඒ සඳහා බදාදා රාත්‍රී වේලාවක් ලබාදීමට පියවර ගත්තේය. ඒ අනුව රනිල් බදාදා රාත්‍රියේ එම සාකච්ඡාවට ගියේ අදාළ තුන්වැනි පාර්ශ්වයද සමගය. ධම්මික ඇමැතිකම භාරගැනීමට පෙර රනිල් සිංහයා මෙන් ධම්මික වටකොට ප්‍රහාර එල්ල කළද මෙම සාකච්ඡාවේදී රනිල්ගෙන් එවැන්නක් දැකගන්නට ලැබුණේ නැත. ඒ වෙනුවට රනිල් කළේ ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරමින් ධම්මිකගේ ප්‍රශ්නය විසඳාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමය. එහිදී ජනාධිපතිවරයාද පවසා සිටියේ ධම්මිකගේ ප්‍රහාරය පිළිබඳ තමන්ද මාධ්‍යවලින් දුටු පසු ඔහුට කතා කොට ඒ පිළිබඳ විමසීමක් කළ බවකි.
ජනපතිත් රනිල්ට හරි උත්තරේ දෙයි!
‘මමත් ධම්මික කරපු කතාව මාධ්‍යවලින් තමයි දැක්කේ. ඊට පස්සේ මමත් කතා කරලා ඇහුවා ධම්මිකගෙන් ඒ ගැන. එයා මට කිව්වා මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න එයා සැලසුම් ගොඩක් ක්‍රියාත්මක කළත් මුදල් අමාත්‍යාංශය පැත්තෙන් ඒවාට අවශ්‍ය සහයෝගය ලැබෙන්නේ නෑ කියලා. ඉතින් ඔබතුමා ඒ වැඩ ටික කරන්න. එතකොට ඔය තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳෙයි. ඒ ආයතන හරියට සම්බන්ධීකරණය කරලා වැඩ කරන්න. එහෙම බැරි නම් ඔබතුමා තීන්දුවක් ගන්න…’ යනුවෙන් ජනාධිපතිවරයා එහිදී රනිල්ට දැනුම්දී සිටියේය. ජනාධිපතිවරයා එහිදී නොකියා කීවේ එසේ නම් මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් වන්න යැයි කියාය.
රනිල් ඉවත් කරන්න වටෙන්ම බලපෑම්!
මේ ආකාරයට ජනාධිපතිවරයා රනිල්ට මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙසට ඉඟි කළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර මහබැංකු අධිපතිවරයා සම්බන්ධ සිද්ධියේදීද ජනාධිපතිවරයා මුදල් ඇමැතිකමෙන් ඉවත් වන ලෙස රනිල්ට කෙළින්ම දැනුම් දීමට පියවර ගෙන තිබිණි. එය සිදුවූයේ තමා යටතේ පවතින මහබැංකුවේ අධිපති ධුරයෙන් නන්දලාල් වීරසිංහ ඉවත් කිරීමට රනිල් ගහපු ගේම් සියල්ල ව්‍යර්ථ වීමෙන් අනතුරුවය. මෙහිදී නන්දලාල් සහ ආර්ථික කමිටුව නියෝජනය කරන නියෝජිතයන් ජනාධිපතිවරයාට පැහැදිලිව දැනුම්දී තිබුණේ රනිල් දේශපාලනය සහ ආර්ථිකය යන කරුණු දෙක පටලවාගෙන සිටින බැවින් ආර්ථිකය හැසිරවීමේදී බරපතළ ප්‍රශ්න මතුවෙමින් පවතින බවකි. උදාහරණයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡා අසාර්ථක වී ඇත්තේද, රටවල් කිහිපයක් සමග මත ගැටුම් මතුව ඇත්තේද, ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද වී ඇත්තේද රනිල්ගේ මෙම පටලවාගැනීම නිසා බව ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති මහබැංකු නියෝජිතයන් පූර්ණකාලීන මුදල් අමාත්‍යවරයකුගේ අවශ්‍යතාව දැඩිව මතුව ඇති බවද ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ. එමෙන්ම මෙහිදී ඇතැම් නිලධාරීන් පෙන්වා දී ඇත්තේ රනිල් අගමැති ධුරයට අමතරව මුදල් අමාත්‍ය ධුරය ලබාගත්තේ සිය දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රීයාත්මක කිරීමට බවත්, මේ වන විට පැහැදිලිවම එය දැකගත හැකිව ඇති බවත්ය. මේ හේතුවෙන් අර්බුද ගණනාවක් මතුව ඇති නිසා පැය 24ම කටයුතු කරන පූර්ණකාලීන මුදල් අමාත්‍යවරයකු සිටිය යුතු බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කළ හැකි අයකු එම තනතුරේ සිටිය යුතු බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකළ හැකි අයකු ඊට පත්විය යුතු බවත් ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. මෙම සාකච්ඡාවට සහභාගි වූ කණ්ඩායම කවුරුන්ද යන්න පිළිබඳ අප හට සවිස්තරාත්මක තොරතුරු ඇතත් අප මේ අවස්ථාවේදී එය හෙළි නොකරන බවද මෙහිදී සඳහන් කළ යුතුමය. කෙසේ වෙතත් ධම්මික, රනිල් ඉලක්ක කර පරමානු බෝම්බයක් එල්ල කළේ මෙම සාකච්ඡාව සිදුවී දින කිහිපයක් ඉක්ම යෑමෙන් අනතුරුවය.
9න් පස්සේ වෙනස්කම් රැසක්!
ඒ අනුව අප අද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තවත් සැබෑ වන අනාවැකියක් කීමට සූදානම්ය. ඒ, 09 වැනිදා ආරම්භ වන ජන අරගලයෙන් පසු ආණ්ඩුව ඇතුළේ තවත් දේශපාලන පෙරළි ගණනාවක් සිදුවීමේ ලකුණු පහළ වෙමින් පවතින බවය. ඉදිරියේදී අප ඒ පිළිබඳ අතිවිශේෂ තොරතුරු රැසක් රටට ඉදිරිපත් කිරීමට සූදානම්ය.
මන්ත්‍රී රැස්වීමත් මුලින්ම www.mawratanews.lk එකෙන්! මනූෂ ආඩපාලි තියයි!
මේ ආකාරයට රනිල් සම්බන්ධ තවත් සිදුවීමක් ඉකුත් සඳුදා අප www.mawratanews.lk වෙබ් අඩවියේ පළකරමින් කියා සිටියේ එදින ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රනිල් ඉලක්ක කර සරත් වීරසේකර මන්ත්‍රීවරයා විසින් බරපතළ විවේචනයක් සිදුකොට ඇති බවකි. ඒවන විටත් කණ්ඩායම් රැස්වීම පැවැත්වෙමින් තිබුණු අතර ඒ මොහොතේදීම අප වෙබ් අඩවියේ මේ පුවත පළව තිබෙනු දුටු ඇමැතිකමක් ගෙන ආණ්ඩුවට එක්වූ මනුෂ නානායක්කාර ඒ බව ඒ මොහොතේම මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දීමට පියවර ගත්තේය.
‘මේ බලන්න… දැන් මේ මන්ත්‍රී කණ්ඩායමේ වෙච්ච දෙයක් mawratanews වෙබ් එක මේ දැන් පළකරලා තියෙනවා. මේ mawratanews වෙබ් අඩවිය අගමැතිතුමාට පහර දෙන ගමන් අගමැතිතුමා හා ජනාධිපතිතුමා අතර ප්‍රශ්න හදන්න හදනවා. ඒක සජිත්ව පුම්බන්න කරන වෙබ් එකක්. ඒක කරන්නේ අගමැතිතුමාත් හොඳින් දන්න තුෂාර ගුණරත්න. අපි මේකට එරෙහිව වහාම පියවරක් ගන්න ඕන..’ යැයි මනුෂ කියද්දී රනිල් අහක බලාගෙන සිනාසෙනු දැකගත හැකි විය. ජනාධිපතිවරයාද ඊට සිනාසුණා මිස මනුෂ කී කතාව සතපහකටවත් ගණන් ගත්තේ නැත. අනෙක් කිසිදු මන්ත්‍රීවරයකු හෝ මනුෂගේ කතාවට එකතු වී වචනයක් හෝ කියන්නට ගියේ නැත.
මනූෂ පාර්ලිමේන්තුවේදිත් අපිට ගහයි! සජිත්ගෙන් පඩි ගන්නා බව කියයි!
කෙසේ වෙතත් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ ආකාරයට ‘මව්රට’ ගැන කතා කළ මනුෂ එතැනින් නැවතුනේ නැත. ඊට පසු දින පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී පාර්ලිමේන්තුවේදී ‘මව්රට’ පුවත්පතට සහ mawratanews වෙබ් අඩවියට චෝදනා එල්ල කිරීමට පියවර ගත්තේය. එහිදී මනුෂ කියා සිටියේ සරත් වීරසේකර හා අගමැති අතර සිදුවූ කතාබහක් mawratanews වෙබ් අඩවිය ගැටුමක් ලෙස හඳුන්වමින් පළකොට ඇති බවත්, සජිත්ගෙන් වැටුප් ගන්නා පිරිසක් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන බවත්ය.
වීරසේකර රනිල්ට දුවන්නම දෙයි! මනූෂට කටඋත්තර නැති වෙයි!
නමුත් මනුෂ මේ ප්‍රකාශය කොට පැය 24ක් ගතවූයේ නැත. සරත් වීරසේකර මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙමින් රනිල්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගෙන තිබිණී. එය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙදී කළාට වඩා දරුණු ප්‍රහාරයක් බව දැකගන්නට ලැබුණේ එම ප්‍රකාශය හරහා සරත් වීරසේකර ඍජුවම රනිල් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරමින් සිටින්නකු බවත්, රටේ අර්බුදය දඩමීමා කරගෙන ඔහු දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කරමින් සිටින්නකු බවත් සඳහන් කර තිබීම හරහාය. මේ අවස්ථාවේ රනිල් ව්‍යවස්ථා සංශෝධන, ඉඩම් බෙදාදීම වැනි කටයුතු සිදුකරමින් රටේ ආර්ථික අර්බුදය විසඳීම පසෙකට දමා ඇති බවද ඔහු එහිදී ප්‍රකාශ කොට තිබිණි. කෙසේ වෙතත් සරත් වීරසේකරගේ මේ ප්‍රකාශය පළවූයේ ධම්මික පෙරේරා, රනිල් ඉලක්ක කර එල්ල කළ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසුව වීමද විශේෂත්වයකි. ඒ අනුව මේ සියල්ල කිසියම් සැලසුමකට අනුව දියත් වන ආකාරයක් නම් පැහැදිලිය.
පසුපෙළ 10ක් ජනපති හමුවෙයි! ආණ්ඩුව 19කට කැඩී ඇති බව ජනපති කියයි!
පසුගිය සතියේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිට ස්වාධීන වූ පසුපෙළ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් ජනාධිපතිවරයා මුණගැසීමට ජනාධිපති මන්දිරයට ගොස් තිබිණි. එහිදී පවතින දේශපාලන, ආර්ථික වටපිටාව පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ වත්මන් තත්ත්වය පිළිබඳ අපූරු පැහැදිලි කිරීමක් මන්ත්‍රීවරුන් වෙත සිදුකොට ඇති බව ආරංචිය. මෙහිදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව ඇතුළේ මේ වන විට බිහිවී ඇති කල්ලි කණ්ඩායම් පිළිබඳ පැහැදිලි කිරීමක් කොට එම ප්‍රමාණය 19ක් බව මන්ත්‍රීවරුන් වෙත සඳහන් කොට ඇත. ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම, බැසිල් රාජපක්ෂ මහතාගේ කණ්ඩායම, නාමල් රාජපක්ෂ මහතාගේ කණ්ඩායම, විමල් පිල ආදී වශයෙන් කණ්ඩායම් 19ක් ඇතුළත් බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.
වාර්තාව හැදුවෙ මහින්දානන්ද?
මෙහිදී මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා කී කතාව අසා එම කණ්ඩායම් පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කළේ කවුරුන්ද යනුවෙන් විමසීමක් කොට ඇත. නමුත් ඊට නිසි පිළිතුරක් දී නොමැති ජනාධිපතිවරයා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයකු විසින් මෙම කණ්ඩායම් 19 පිළිබඳ සඳහන් කරමින් තමන් වෙත වාර්තාවක් ලබාදී ඇති බව සඳහන් කොට ඇත.
කෙසේ වෙතත් මෙම සිදුවීම ‘රාජ්‍ය රහස්’ තීරය වෙත වාර්තා වීමත් සමග අපද මෙම වාර්තාව සකස් කළ මන්ත්‍රීවරයා පිළිබඳ සොයා බැලීමක නිරත වීමු. එහිදී අපට නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවුණේ මේ දිනවල ජනාධිපති මන්දිරයට වී කාලය ගතකරන මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මෙම ලියැවිල්ල ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවකි.
ප්‍රසන්නලාගෙන් අලුත් පක්ෂයක්!
ඒ කෙසේ වෙතත් මෙවර අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තවත් විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට සූදානම්ය. ඒ, මේ වන විට පොහොට්ටුව ඇතුළේ අලුත් දේශපාලන පක්ෂයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා ආරම්භ වී තිබීමක් ගැනය. මෙම පක්ෂය නිර්මාණය කිරීම සඳහා පොහොට්ටුවේ ප්‍රධානීන් තිදෙනකු මුල්වී ඇති බව කියැවේ. ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඊට මුල්වී ඇත්තේ ප්‍රසන්න රණතුංග, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේය. අවස්ථා ගණනාවකදී පැවැත්වූ පැවැත්වූ සාච්ඡාවලින් පසු ප්‍රසන්න විසින් ඒ සඳහා ලියාපදිංචි පක්ෂයක්ද ලබාගෙන ඇති බව වාර්තා වේ. එමෙන්ම ඊට, දැනට ස්වාධීන වී සිටින ඩලස් ඇතුළු කණ්ඩායමක්ද ඇතුළත්ව සිටින බව ආරංචිය.
රාජපක්ෂ පවුලෙන් දෙන්නයි!
ඒ අනුව පැවැති සාකච්ඡාවලදී මෙහි ව්‍යුහය පිළිබඳ සාකච්ඡා කෙරී ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එම සාකච්ඡාවලදී අති බහුතරයක් දෙනා ඊට රාජපක්ෂවරුන් දෙදෙනකු පමණක් ඇතුළත් කළ යුතු බව අවධාරණය කොට ඇති බවත්, ඒ, ගෝඨාභය සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ පමණක් බවත් සඳහන් කොට ඇති බවත් ආරංචිය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් තවමත් ගෙන ඇති බවක් දැනගන්නට නැත.
බැසිල්ට-නාමල්ට පණිවුඩය එයි! ඒ අයත් වැඩ පටන් ගනී!
මේ ආකාරයට පොහොට්ටුව ඇතුළෙන්ම තවත් අලුත් දේශපාලන පක්ෂයක් බිහිවීමේ ලකුණු පහළවීමත් සමග එම සාකච්ඡා පිළිබඳ පොහොට්ටුවේ රාජපක්ෂ ප්‍රධානීන්ටද දැනගන්නට ලැබී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල්ද, රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා වන නාමල් රාජපක්ෂද පොහොට්ටුව බලගැන්වීමේ මෙහෙයුමක් මේ වන විට ආරම්භ කොට තිබේ.
නාමල් සමාජ මාධ්‍ය කණ්ඩායම් හමුවෙයි!
ඒ අනුව පසුගිය සතියේ නාමල් නෙළුම් මාවතට ඔහුට හිතවත් සමාජ මාධ්‍ය කණ්ඩායම් කැඳවීමට පියවර ගත්තේය. මෙම සමාජ මාධ්‍ය කණ්ඩායම සහ නාමල්ට ඇත්තේ තරමක් ඈත අතීතයකි. නාමල් අමාත්‍යවරයකු වශයෙන් පසුගිය කාලයේ කටයුතු කරද්දී මෙම සමාජ මාධ්‍ය කණ්ඩායම් සමග සමීපව කටයුතු කර තිබිණි. එමෙන්ම රුසියානු ජාතික සමාජ මාධ්‍ය ජාලා විශේෂඥයන් කණ්ඩායමක් ලංකාවට ගෙනැවිත් ඔවුන්ගෙන් වැඩගත් බවටත් එකල රාවයක් පැතිර තිබිණි.
බැසිල් පොහොට්ටුව කෙළින් කරන්න යයි!
ඒ අනුව බැසිල් – නාමල් මේ වන විට සූදානමින් සිටින්නේ පොහොට්ටුව යළි කෙළින් කටින් සිටුවා එළැඹෙන සැප්තැම්බරය – ඔක්තෝබරය වන විට යළි පොහොට්ටුවේ අගමැතිවරයකු පත්කොට මහ මැතිවරණයකට ඉදිරිපත් වන්නටය. ඔවුන් ඒ බව මීට සති කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයාටද දැනුම්දී තිබූ බව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි රටට අනාවරණ කිරීමටද පියවර ගත්තෙමු. එමෙන්ම කලක් නිහඬව සිටි මහින්ද රාජපක්ෂ මහතාද යළි කලඑළි බසිමින් දේශපාලන කටයුතු අරම්භ කොට ඇත්තේ මෙම කරුණ ඔළුවේ තබාගෙන විය යුතුය.
ජනපති වෙන ගේමක් ගහයි!
එම සිදුවීම මෙසේ පෙළගැසෙද්දී ජනාධිපතිවරයාද අප්‍රසිද්ධියේ තවත් වැඩකට අත ගසා ඇති බවක් ආරංචිය. ඒ, ඉකුත් මැයි 09 වැනිදා සිදුවූ කලබලවලින් නිවාස විනාශ වූ සභාපතිවරුන්, ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් කොළඹට කැඳවා ඔවුන් සමග පෞද්ගලිකවම කතා කිරීමය. එහිදී ජනාධිපතිවරයා ඔවුන්ට පෞද්ගලිකවම උදව් උපකාර කළ බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී ජනාධිපතිවරයා මෙම සභාපතිවරුන් සමග විනාඩි 45කට වැඩි කාලයක් පෞද්ගලිකවම සාකච්ඡා කොට ඇති බවක්ද ආරංචිය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසු බොහෝ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් පොහොට්ටුවෙන් ඉවත් වී නව දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බව කියමින් සිය ගම්බිම්වලට ගොස් අදහස් දක්වමින් සිටින බවක්ද දැනගන්නට ඇත.
රනිල්ට කරන්න බැරි වූ දේ කරන්න බැසිල් ඉන්දියාවට!
මේ අතර බැසිල්ද මේ දිනවල අලුත් දේශපාලන ගේමකට අත ගසමින් යළි කරළියට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මෙවර බැසිල් සැරසෙන්නේ ඉන්දියාවට ගොස් ලංකාවට යළි ආධාර ලබාගැනීම සඳහා ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමටය. ඉකුත් වතාවේ බැසිල් ඉන්දියාවට ගොස් ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කොට ලංකාවට ඉන්ධන ලබාගැනීම සඳහා ණය ආධාර ලබාගත් අතර පසුගිය සතිය දක්වාම ඉන්දියාවෙන් තෙල් ලැබුණේ ඒ ණය ආධාරයට පින් සිදුවන්නටය. රනිල් අගමැති ධුරය භාරගැනීමෙන් පසු තෙල් පෝලිම් පැය 48ක් තුළ අවසන් කරන බව දැනුම් දුන්නද මේ වන විට සිදුව ඇත්තේ රනිල්ගේ පැමිණීමෙන් පසු එක් පෝලිමක් ලෙස තිබූ තෙල් පෝලිම පෝලිම් 3ක් දක්වා වර්ධනය වීමය. එදා පැය දෙක තුනක් පෝලිමේ සිටීමෙන් තෙල් ලබාගත හැකි වුවද, මේ වන විට දින පහ හයක් පෝලිම්වල සිටියද ජනතාවට තෙල් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.
තෙල් ගැන සාකච්ජා!
අවස්ථා ගණනාවකදීම රනිල් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහාත්, ඉන්දියාවේ පිහිටි මහකොමසාරිස් කාර්යාලය හරහාත් ඉන්දීය බලධාරීන්ට නරේන්ද්‍ර මෝදි හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පණිවුඩ පිට පණිවුඩ යැවවද මෙතෙක් ඊට ඉන්දියාව පැත්තෙන් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නොමැත. ඒ අනුව බැසිල් නැවත වතාවක් ඉන්දියාව බලා පිටත්ව යෑමට සූදානම් වන්නේ රනිල්ගේ මේ දැඩි අසාර්ථකත්වය මුල්කරගෙනය. එහිදී බැසිල් ඉන්දීය බලධාරීන් සමග නැවත තෙල් ලබාගත හැකි ක්‍රමයක් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
සිරිපාල ගැන කරපු පළමු අනාවරණය!
පසුගිය අඟහරුවාදා දිනයේ අප www.mawratanews.lk වෙබ් අඩවිය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සම්බන්ධයෙන් අතිවිශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් නිමල් සිරිපාල කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු භාරව සිටින ජපාන ‘තායිසෙයි’ සමාගම වෙත බලපෑම් එල්ල කොට ඇති බවත්, මේ සම්බන්ධයෙන් ජපාන තානාපති කාර්යාලය කළ දැනුම්දීමකට අනුව ජනාධිපතිවරයා නිමල් සිරිපාලව කැඳවා දැඩි ලෙස අවවාද කොට ඇති බවත්ය.
කෙසේ වෙතත් අප මේ කතාව සැර අඩුකොට අප වෙබ් අඩවියේ පළකළද එහි පසුපස ඇති කතාව ඊට වඩා අතිශය බරපතළය. ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප මේ කියන්නට යන්නේ කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ ඒ අතිශය බරපතළ කතාවය.
එයා හැමදාම ඇමැති!
නිමල් සිරිපාල යනු 2004 සිට අද දක්වාම පැවැති සෑම ආණ්ඩුවකම ඇමැතිකම් දැරූ අයෙකි. කොටින්ම කියනවා නම් නිමල් සිරිපාලට ඇමැතිකමක් නොමැතිව ජීවත් වීමට නොහැකි ලෙඩක් ඇති බව කිවහොත් එහිද කිසිදු වරදක් නැත. මෙවරද සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විපක්ෂය ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් සිටින අතරවාරයේ ආණ්ඩුවට එක්වී ඇමැති ධුර ලබා නොගන්නා බවට තීන්දුවක්ද ගෙන තිබියදීත් පක්ෂ මතයට පිටුපා නිමල් සිරිපාල ජනාධිපතිවරයා අතින් අමාත්‍ය ධුරයක් ලබාගෙන ආණ්ඩුවට එක්වීමට කටයුතු කළේය. එය පිටුපස ඇත්තේද රසවත් කතාවකි.
රනිල්ගේ ලණුව ගිලලා!
සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ශ්‍රීලනිපය විසින් අගමැති ධුරය සඳහා පළමුව යෝජනා කර තිබුණේ නිමල් සිරිපාලගේ නමය. නමුත් මෙම සාකච්ඡා සාර්ථක වූයේ නැත. පසුව අගමැති ධුරය සඳහා වෙනත් නම්ද යෝජනා විය. එවැනි පසුබිමක් යටතේ නිමල් සිරිපාල, රනිල් සමග පසුගිය මාස කිහිපය පුරාම ඉතා රහසිගත ගනුදෙනුවක නිරතව සිටියේය. එහිදී රනිල් නිමල් සිරිපාලට දුන් ලොකුම බලාපොරොත්තුව වූයේ තමා අගමැති ධූරය භාරගැනීමෙන් පසු අමාත්‍ය ධුරයක් නිමල් සිරිපාලට භාරගන්නා ලෙසත්, කොයිම හෝ අවස්ථාවක ජනාධිපති ගෝඨාභයට තනතුර අහිමි වී යාමට සිදුවන බවත්ය. ඒ අවස්ථාවේදී තමන් ජනාධිපති ධුරයට පත්වන බව නිමල් සිරිපාලට කියා තිබූ රනිල්, එවිට නිමල් සිරිපාලට අගමැති ධුරය ලබාගත හැකි බවද කියා තිබිණි. පසු කලෙක නිමල් අවස්ථා කිහිපයකදීම මේ බව සිය හිතවතුන්ට සඳහන් කිරීමටද පියවර ගෙන තිබිණි. නිමල් පක්ෂ මතයට පවා පිටින් ගොස් රනිල් සමග එක්වී ආණ්ඩුවේ ඇමැතිකමක් ගත්තේ රනිල් දුන් මේ දිරච්ච ලණුව කෑමෙන් අනතුරුවය.
බලය අතට ගන්න යයි! ජනපති හරස් වෙයි!
කෙසේ වෙතත් ඇමැති ධුරය භාරගත් වහා නිමල් සිරිපාල කළේ තමා යටතේ සියලු ආයතනවල බලය අතට ගැනීමය. ඒ අනුව වරෙක නිමල් සිරිපාල ගුවන් තොටුපළ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට නියෝග කළේය. ගුවන් තොටුපළ අධ්‍යක්ෂ මණ්ඩලයටද ඉවත් වන ලෙස දැනුම් දුන්නේය. නමුත් ජනාධිපතිවරයා ඊට ඉඩ නොදුන් අතර, අවසානයේදී නිමල් සිරිපාලට පත්කර ගත හැකි වූයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පස්දෙනාගෙන් දෙදෙනකු පමණි.
ජපන් සමාගමට දැල එළයි!
ඉන් අනතුරුව නිමල් සිරිපාල අතගැසුවේ ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය භාරව සිටින ජපාන තායිසෙයි සමාගමටය. මෙම ව්‍යාපෘතිය යහපාලන රජය සමයේ ආරම්භ වූවක් වූ අතර, තායිසෙයි සමාගම ජපානයේ ඉතා ප්‍රබල සමාගමක් ලෙසද සැලකේ. කෙසේ වෙතත් ඒ කිසිවක් නොබලා නිමල් සිරිපාල කළේ මෙම තායිසෙයි සමාගමට බලපෑම් කිරීමය. එම බලපෑම කොයි තරම් දරුණු වූවාද කියනවා නම් තායිසෙයි සමාගම කළේ ඒ පිළිබඳ මෙරට පිහිටි ජපාන තානාපති කාර්යාලයට පැමිණිලි කිරීමය. පසුව ජපාන තානාපති කාර්යාලය කළේ ජපානය සමග සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කොට ඇති විශේෂ නියෝජිතයා වන වසන්ත කරන්නාගොඩ මහතාට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමය. කරන්නාගොඩ පසුව එය ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට වගබලා ගත්තේය. ඒ අනුව දැඩි කෝපයට පත්ව වහාම ක්‍රියාත්මක වූ ජනාධිපතිවරයා නිමල් සිරිපාල කැඳවා දැඩි දෝෂාරෝපණයක් එල්ල කිරීමට පියවර ගත්තේය. එපමණක් නොව, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත්, එතෙක් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් නිමල් සිරිපාලට දැනුම් දීමට ජනාධිපතිවරයා වගබලා ගත්තේය.
වැඩේ පත්තු වෙයි! ඇමැතිකම ගහලා යයි!
නමුත් නිමල් සිරිපාල කිසිවක් සිදු නොවූවාක් මෙන් තමන්ගේ පාඩුවේ වැඩ රාජකාරි කරගෙන සිටියේ එම සිදුවීමද අනෙක් ඒවාක් මෙන්ම යට යනු ඇතැයි සිතාය. නමුත් ප්‍රශ්නය පැනනැගුනේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමත් සමගය. එහිදී නම නොකියා විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී විමසා සිටියේ ජපාන සමාගමකට බලපෑම් එල්ල කොට ඇති බවට චෝදනා එල්ලවී ඇති අමාත්‍යවරයා කවුරුන්දැයි කියාය. අපට ලද තොරතුරුවලින් කියැවෙන්නේ සජිත් මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට ප්‍රථම තානාපති අංශවලට කතා කොට ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු ලබාගෙන ඇති බවකි. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සිදුකර පැය කිහිපයක් ඉක්ම ගිය පසු නිමල් සිරිපාල සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමුකරමින් කියා සිටියේ පැවැත්වෙන විමර්ශනවලට සහාය පළකරමින් ඒවා අවසන් වන තෙක් තමන් තාවකාලිකව අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගන්නා බවකි.
ළගදීම තවත් එකක් ලෑස්තියි!
කෙසේ වෙතත් අප වෙත ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ නිමල් සිරිපාල සම්බන්ධයෙන් තවත් බරපතළ හෙළිදරව්වක් ඉතා නුදුරු දිනෙකදී සිදුකිරීමට කටයුතු යෙදී ඇති බවකි. එමෙන්ම ශ්‍රීලනිපයද මේ වන විට සිටින්නේ නිමල් සිරිපාල සම්බන්ධයෙන් තවත් බරපතළ දේශපාලන තීන්දුවක් ගන්නා ස්ථාවරයකය. පක්ෂ මතයට පිටුපා අමාත්‍ය ධුර ලබාගැනීම හේතුවෙන් පක්ෂයේ සියලු තනතුරුවලින් මේ වන විටත් නිමල් සිරිපාලව ඉවත් කොට ඇති ශ්‍රීලනිපය, ඉදිරියේදී ගැනීමට නියමිත තීන්දුව හේතුකොට ගෙන ඔහුගේ දේශපාලනය සම්පූර්ණයෙන්ම අවසන් වීමේ අවදානමක්ද මතුව ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත.
සජිත් අලුත් ආණ්ඩුව හදන්න ලෑස්තියි!
බරපතළ ලෙස කඩාවැටී ඇති දේශය ගොඩනැගීම උදෙසා වූ ‘ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන’ වැඩසටහනේ තීරණාත්මක හමුවක් (04) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදීසිදුවිය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, වෛද්‍ය රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, සී. විග්නේෂ්වරන්, පී. දිගම්බරම්, ඇතුළු දේශපාලන නායකයන් රැසක්ද, වික්ටර් අයිවන්, ජනරංජන, ගාමිණී වියන්ගොඩ, රොහාන් සමරජීව ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
‘අවුරුදු ගානකට පස්සේ තමයි මං මේ මෙතැනට ආවේ…’ මෛත්‍රී විපක්ෂ නායක කාර්යාලය ඇතුළට පැමිණියේ එලෙස කියමිනි.
‘අපි වැඩි දවසක් මෙතැන ඉන්න කැමැති නෑ ජනාධිපතිතුමා…’ රාජිත කීවේය.
‘ඒ මොකද ඒ?’ මෛත්‍රී ඇසුවේය.
‘ඉක්මනට අපි ආණ්ඩුවක් හදන්න ඕන…’ රාජිත සිනාසෙමින් උත්තර දුන්නේය.
රමාඩා හෝටලයේදී අරගලකරුවන් හමුවෙයි!
‘පොදු මහජන අරගලයේ නිර්පාක්ෂික සංයුක්ත අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වූ සර්වපාක්ෂික එකමුතුවක්’ වෙනුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සහ පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති සහ අරගලකරුවන් එක් කරන ‘අරගලය දිනවන සම්මුතිය’ මහ සමුළුව (06දා) රාමඩා හෝටලයේදී පැවැත්විණි.
‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ මෙහි මැදිහත්කාර පාර්ශ්වය ලෙස සංවිධාන කටයුතු සිදුකරනු ලැබීය. ගෝල්ෆේස් අරගල භූමිය ඇතුළු මෙරට පොදු මහජන අරගලයේ නිරත අරගලකරුවන්ගේ මූලික ඉල්ලීම්වලට එකඟ වන පාර්ශ්ව මීට එක්විය.
‘අරගලය දිනවන සම්මුතිය මැයෙන්’ සර්ව පාක්ෂික’ අරගලකරුවන් විසින් සංවිධානය කර තිබූ අදාළ සම්මුතිය එළිදැක්වීමදී එහිදී සිදුවිය. අරගලය දිනවන සම්මුතිය විශේෂ කරුණු හයකින් අන්තර්ගත වන අතර එය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සර්ව පාක්ෂික අරගලකරුවන් කැපවන බවද ඔවුන් පැවසූහ.
‘ඔබතුමාට පුළුවන්ද ආරක්ෂකයෝ නැතිව එළිමහන යන්න? අරගලකරුවන් අතරින් ප්‍රශ්නයක් අජිත්ට යොමුවිය.
‘ඇයි බැරි මම එදත් බයක් නැති නිසා තමයි අරගල භූමියට ආවේ…’ සජිත් උත්තර දුන්නේය.
‘ඒත් එදා ඔබතුමාට ගැහුවනේ…?’ අරගලයේ තරුණයෙක් කීවේය.
‘මම ආවේ එදා ආණ්ඩුව ඒ එයට පහරදුන්න නිසා. මොකද අපි කිව්වා හැමදාම අරගලයට ආණ්ඩුව අත තිබ්බොත් අරගල බිමේ තරුණයන් වෙනුවෙන් පලිහක් වෙන්න අපි එනවා කියලා. අපි ආවේ ඒකට. එහෙම නැතිව කවදාවත් අපි අරගල බිම අපේ දේශපාලනයට පාවිච්චි කළේ නෑ. හෙටත් මට ආරක්ෂකයෝ නැතුව මහ පාරේ යන්න පුළුවන්…’ සජිත් උත්තර දුන්නේය.