වසර දහස් ගණනක් ඈතට දිවෙන ග්‍රීක දේව පුරාණයේ තරම් රසවත් සහ තවත් වෙනත් කිසිදු ජන පුරාවෘත්තයකු නැති තරම්ය. බලගතු ග්‍රීක දෙවිවරුන් 12 දෙනකු විරාජමානව සිටියේ යැයි එම ග්‍රීක දේව පුරාණය අපට කියා සිටියි. එම දෙවිවරුන් අතරින් ජලයටත්, මහා සාගරයටත් අධිපති වූ ‘පොසයිඩන්’ (God Poseidon) දෙවියා ගැන වන වගතුගද බොහෝය. එනම් එහි එක් තැනක කියැවෙන්නේ ‘පොසයිඩන්’ දෙවියාගේ පුත්‍රයා වන්නේ ‘පෙගාසස්’ (Pegasus) බැව්ය. එහෙත් ‘පෙගාසස්’ යනු මනුෂ්‍ය වේශයකින් සිටින පියාඹන අශ්වයෙකි. මෙම අපූරු අශ්වයාට තම ශරීරයේ ඉදිරි දෙපස විශාල පියාපත් දෙකක් ඇත. පොළෝ තලයේ මෙන්ම අහස් කුසෙහිද ඕනෑම දෙසකට පියාඹා යෑමට මෙම අපූරු අශ්වයාට හැකියාව ඇත. ‘පෙගාසස්’ පියාඹන අශ්වයා යනු ග්‍රීක දේව පුරාණය විසිතුරු කරන අපූරු වගතුගකි. තවත් අයුරකින් ‘පෙගාසස්’ යනු බලගතු දිව්‍ය අශ්වයෙකි. ඒ ග්‍රීක පුරාණයේ එන ‘පෙගාසස්’ගේ වගතුගය. එහෙත් අපට පසුගියදා අපගේ ජන සමාජයෙන්ම අසන්නට ලැබුණේ තවත් අපූරු ‘පෙගාසස්’ කතාන්දරයකි. එනම් මෙම ‘පෙගාසස්’ අප සමාජය වෙත පියාඹා ආවේ පාර්ලිමේන්තුව තුළිනි. පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයකු වන, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් මෙම පෙගාසස් වගතුග පාර්ලිමේන්තුවේදි දිගහරින ලදී. ඔහු පවසන ලද ‘පෙගාසස්’ පියාඹන අශ්වයකු නොව, එය පරිගණක මෘදුකාංගයකි. ඉංග්‍රීසි බසින් Software යනුවෙන් ව්‍යවහාර වන පරිගණක මෙවලමකි. හිටපු ඇමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළේ මෙවැනි කතාවකි.
‘මෙම රජය පසුගියදා විශේෂ රහසිගත පරිගණක මෘදුකාංගයක් ලබාගෙන තිබෙනවා. ‘පෙගාසස්’ ලෙසින් හඳුන්වන මේ මගින් ඕනෑම කෙනකුගේ ස්මාර්ට් ජංගම දුරකතනවලට සූක්‍ෂ්ම ලෙස පිවිසිය හැකියි. ස්මාර්ට් දුරකතනවල කැමරාව, මයික්‍රෝෆෝනය, විවිධ පණිවුඩ, ඊ-මේල්, ස්ථාන දත්ත, වෙබ්අඩවි දත්ත සහ තවත් තොරතුරු රැසක් මෙම මෘදුකාංගය මඟින් රහසිගතව ක්‍රියාත්මක කළ හැකියි. එනම් තමන්ට අවශ්‍ය ඕනෑම කෙනකුගේ ස්මාර්ට් ජංගම දුරකතනය වෙත රහසිගතව ප්‍රවේශ වීමට මෙම ‘පෙගාසස්’ මෘදුකාංගයට හැකියාව තිබෙනවා. මෙය යමෙකුගේ පෞද්ගලිකත්වයට විශාල පහරක් එල්ල කිරීමක්. මේ ක්‍රියාවලිය සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම, ඩයලොග් හෝ මොබිටෙල් හෝ ආයතන සම්බන්ධ දැයි අපි සොයා බලනවා. එසේ වුවහොත් එයට එරෙහිව පියවර ගැනීමටද, අපි කටයුතු කරනවා’ යැයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියේය.
කුමක්ද මේ අමුතුම ආකාරයක වගතුගක් හෙළි කරන කතාන්දරය. මෙය හරියට ඔත්තුකාරයකු රහසිගතව තමන්ගේ ජංගම දුරකතනය වෙත කඩා පනිනවා හා සමාන කතාන්දරයකි. එතැනිනුත් නොනැවතී ඔත්තුකාරයා භෞතිකමය වශයෙන් යම් ක්‍රියාවලියක නිරත වන්නටද උත්සාහ කිරීම අනෙක් පියවරය. එසේත් නැත්නම් ‘පෙගාසස්’නමැති බලගතු පියාඹන අශ්වයා කොහේදෝ සිට පියාඹාගෙන අවුත් තමන්ගේ ජංගම දුරකතනයට රිංගා ගන්නවාද? කෙසේ හෝ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා කියන ‘පෙගාසස්’ කතාව සත්‍යයක්ය. එහෙත් එම පියාඹන අශ්වයා මෙතෙක් තම තමන්ගේ ජංගම දුරකතන ග්‍රහණය කර ගත්තේ දැයි පැවසෙන වගතුග ගැන හරියාකාරව දැනගන්නට නැත. ඒ වුවද එවැනි යම් රහසිගත ක්‍රියාවලියක් අපගේ සමාජය තුළ සිදුවන්නට යන බැව් නම් සැබෑවක්ය. මේ තත්ත්වය ගැන අප වැදගත් කරුණු බොහෝමයක් සොයා බලන්නට උත්සාහ ගනිමු.

පරිගණකය ලොවට පියවර තැබූ දින සිට මේ වන විට, මෙම අපූරු නිර්මාණයෙන් සිදුකෙරෙන විශ්කම් බොහෝය. ඒ කතාන්දර ග්‍රන්ථ ගණනාවක් පුරා ලියා තැබිය හැකි ඒවාය. එහෙත් අප පරිගණක විiාවේ තිබෙන එක් අංගයක් වන ‘මෘදුකාංග’ Software ගැන පමණක් මඳක් සොයා බලමු. මෘදුකාංගයක් යනු ඇසට නොපෙනෙන එහෙත් මිනිසා විසින්ම නිර්මාණය කරන ලද, තමන්ගේම පරිගණකය විවිධාකාරයෙන් හසුරුවා ගන්නා මෙවලමකි. අද වත්මන් ලෝකයේ මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ‘මෘදුකාංග’ සිය දහස් ගණනක් ඇත. මේවායින් සිදුකෙරෙන මෙහෙයන් බොහෝ වන අතර, එය බොහෝ විට යහපත උදෙසා වන අතරම, මිනිසාගේ අයහපත උදෙසා භාවිත වන මෘදුකාංගද රැසක් ඇත. ඒ හෙයින් මෙම විෂය වත්මන් ලෝකයේ බොහෝ සංකීර්ණ එකක් බවටද පත්ව තිබෙයි. අප මෙම ලිපියේ පෙරගමනේ තබා කතා කරනු ලබන ‘පෙගාසස්’ මෘදුකාංගයද මෙලෙස අයහපත මෙන්ම යහපතද සිදුකරනු ලබන නවීනතම මෘදුකාංගයකි. කෙසේ හෝ මෙහිදී සමාජය තුළ මෙම මෘදුකාංගය කැපී පෙනෙන්නේ බොහෝ විට අයහපත උදෙසා භාවිත කරනු ලබන පරිගණකමය නිර්මාණයක් ලෙසය.
‘පෙගාසස්’ (Pegasus) මෘදුකාංගය අද වත්මන් ලෝකය විසින් හඳුන්වනු ලබන්නේ ‘ඔත්තු මෙවලමක්’ (ස්පයිවෙයාර් -Spywear) ලෙසිනි. මෙය සැබෑ ලෙසම ඉතාමත් බාරදූර හඳුන්වා දීමකි. එසේම මෙය පරිගණක විiාවේදී හඳුන්වනු ලබන තවත් ප්‍රබල නාමයක්ද වෙයි. එය නම් ‘සයිබර් ආර්ම්’ (Cyberarm) ලෙසින්ද හඳුන්වයි. මෙහි අර්ථය වන්නේ ‘අන්තර්ජාල අවිආයුධයක්’ යන්නය. පෙගාසස් මෘදුකාංගය නිල වශයෙන් හඳුන්වාදී තිබෙන්නේ මෙලෙසය. මෙම මෘදුකාංගය මුලින්ම නිර්මාණය කර ඇත්තේ යුද්ධ කටයුතු කෙරෙහි අතිශය ප්‍රවීණත්වයක් දරන ඊශ්‍රායලය විසිනි. ඊශ්‍රායලය යනු යුද ක්‍රමෝපාය පමණක් නොව, යුද ඔත්තු සේවා ක්‍රියාවලියෙහිද අති ප්‍රවීණයෝය. මේ අනුව පසුගිය 2016 අගෝස්තු මාසයේදී ඊශ්‍රායලයේ ටෙල්අවිව් අගනගරයේ පිහිටා තිබෙන NSO නමැති Cyber arms (අන්තර්ජාල අවි) පරිගණක පර්යේෂණ සමාගමක් විසින් මෙම සුවිශේෂී ‘පෙගාසස්’ මෘදුකාංගය සාර්ථක ලෙස නිර්මාණය කළේය. මෙම NSO සමාගම බොහෝ විට ඊශ්‍රායල යුද්ධ හමුදාව සමඟ සමීපව කටයුතු කරන පරිගණක පර්යේෂණ ආයතනයක් වන අතර, නිව්, ශලෙව් සහ ඔම්රි (Niv, Shalev and Omri) යන පරිගණක විශේෂඥයන් තිදෙනකුට මෙම සමාගම අයත්ය. සමාගමේ නමට යොදා ඇත්තේ ඔවුන්ගේ නම්වල මුල් අකුරු තුනය. මොවුන් තිදෙනා පරිගණක ඔත්තු මෙවලම් නිර්මාණයෙහි අති දක්‍ෂයන් බැව් පැවසෙයි. ‘පෙගාසස්’ නමැති පරිගණක ඔත්තු මෙවලමේ පූර්ණ අයිතිය ඇත්තේද මොවුන් සතුවය. මෙම පරිගණක විශේෂඥයන් තිදෙනා 2010 වසරේදී සිටම මෙම මෘදුකාංගය නිර්මාණය කිරීමට පර්යේෂණ පැවැත්වූ අතර, 2016 වසරේදී ඔවුන් එය සාර්ථකව නිමකර භාවිතයටද ගත්තේය. NSO සමාගම මේ වන විට 500කට අධික සේවක පිරිසක් සේවය කරනු ලබන ප්‍රධාන පෙළේ පරිගණක පර්යේෂණ සමාගමකි. එහෙත් මෙම සමාගම සාමාන්‍ය පරිගණක සමාගමක් නොවන බැව් අප අමතක නොකළ යුතුය.

මෙම ‘පෙගාසස්’ මෘදුකාංගය අපි සිතනවාටත් වඩා බොහෝ ගැඹුරු, සංකීර්ණ නිර්මාණයකි. එසේම එය මනුෂ්‍ය ජීවිතයටබොහෝ බලපෑම් කරනු ලබන බියකරු පරිගණක මෙවලමක්ද වෙයි. මෙම මෘදුකාංගය මගින් බොහෝ බලපෑම් එල්ල කළ හැක්කේ දැනට සමාජයෙහි භාවිතවන ‘ස්මාර්ට්’ ජංගම දුරකතන වෙතය. අනෙකුත් සාමාන්‍ය දුරකතන කෙරෙහි මේ මගින් කිසිදු බලපෑමක් සිදුකළ නොහැකිය. එනම් අද සමාජයෙහි භාවිත වන අතිශය මිල අධික ජංගම දුරකතන වර්ගයක් වන ‘ඇපල්’ (Apple) දුරකතන සඳහා භාවිත වන විශේෂිත ෂධී සන්නිවේදන ක්‍රමය සඳහා මේ මෘදුකාංගය හරහා බලපෑම් සිදුකළ හැකිය. එසේම අනෙකුත් බහුතරයක් ස්මාර්ට් දුරකතන සඳහා භාවිත කෙරෙන ‘ඇන්ඩ්‍රයිඩ්’ වර්ගයේ සියලුම අන්වර්ථයන් අති දුරකතන සඳහාද මේ මගින් බලපෑම් එල්ල කළ හැකිය. එනම් ‘පෙගාසස්’ නමැති මෙම ඔත්තු මෙවලම මගින් ප්‍රධාන වශයෙන් වෙනත් පුද්ගලයකුගේ දුරකතනයකට බලපෑම් කළ හැක්කේ මෙසේය.
– රහසිගතව දුරකතන කැමරා එකක් හෝ කිහිපයක් හෝ ක්‍රියාත්මක කිරීම.
– දුරකතනයේ මයික්‍රෝෆෝනයන් රහසිගතව ක්‍රියාත්මක කිරීම.
– සාමාන්‍ය දුරකතන සංවාද සහ වීඩියෝ දුරකතන සංවාදවලට රහසිගතව සවන් දීම.
– දුරකතනයට ලැබෙන සහ දුරකතනයෙන් නිකුත් කෙරෙන සියලුම ලිඛිත පණිවුඩ රහසිගතව කියැවීමේ හැකියාව.
– දුරකතනයට ඇති අනෙකුත් ඕනෑම මෘදුකාංගයක ඇති දත්ත රහසිගතව ලබාගැනීමේ හැකියාව.
– දුරකතනයෙන් භාවිත වන සියලුම ‘රහස්‍ය මුරපද’ (Passwords) සොයා ගැනීමට හැකිවීම.
– දුරකතනය හරහා සිදුකෙරෙන සියලුම මූල්‍ය ගනුදෙනුවල රහස්‍ය තොරතුරු සොයා ගැනීමට ඇති හැකියාව.
ඉහත ක්‍රමවේදයන් 07 දෙස හොඳින් අවධානය යොමු කරන්න. මෙම ‘පෙගාසස්’ මෘදුකාංගය අප සිතනවාටත් වඩා බියකරු පරිගණක මෙවලමක් බැව් ඔබට අවබෝධ වනු ඇතිය. මෙලෙස එම ඔත්තු මෙවලම හරහා සිදුකළ හැකි ක්‍රියාවෙන් නිකරුණේ සිදුකරන ප්‍රකාශයක් නොව, එම වගතුග සඳහන්ව ඇත්තේ නිල වශයෙන් ප්‍රකාශිත ‘Pegasus – Spyware’ නමැති අන්තර්ජාල ‘විකිපීඩියා’ සටහන තුළය. එම සමීක්‍ෂණ සටහන් තුළ තවත් බොහෝ වැදගත් කරුණු අඩංගුව ඇත. එනම් ඊශ්‍රායලය විසින් නිපදවන ලද මෙම පරිගණක ඔත්තු මෘදුකාංගය ලොව රටවල් රැසක් විසින් භාවිතයට ගනු ලබයි. එහිදී එම රටවල් සියල්ලම පාහේ මෙය භාවිත කරන්නේ, තමන්ගේ රටවල් තුළ ඇති ත්‍රස්ත සහ අපරාධ ක්‍රියා මැඬලීමටත් සහ විරුද්ධවාදීන් මෙල්ල කිරීමටත්ය. එසේම එම රටවල පාලන තන්ත්‍රයන්ට එරෙහි වන මාධ්‍ය තර්ජන මැඬලීමටත් මෙය භාවිත කරයි. විරුද්ධවාදීන් මෙල්ල කිරීම යනු බොහෝ විට විරුද්ධ දේශපාලනවාදීන්ට එරෙහිව මර්දන කටයුතු සිදුකිරීමය. මේ අතර එම පාලනතන්ත්‍රයන්ට එරෙහිව කටයුතු කරනු ලබන මාධ්‍යවේදීන් මර්දනය කිරීම සඳහා ‘පෙගාසස් මෘදුකාංගය බහුලව භාවිත කරනු ලබයි. ඒ අතරම රටවල් රැසක පාලන තන්ත්‍රයන්ට එරෙහිව නැඟී සිටින ලද මානව හිමිකම් ක්‍රියාකාරීන් රැසක් මර්දනය කිරීම සඳහාද මෙම මෘදුකාංගය භාවිත කර ඇත.
කෙසේ හෝ මෙය නිර්මාණය කළ ඊශ්‍රායලය පවසා සිටින්නේ, මෙම මෘදුකාංගයෙහි භාවිතයෙහි පරමාර්ථය වන්නේ රටක අභ්‍යන්තර ආරක්‍ෂාව සලසා ගැනීම යැයි කියයි.

එහෙත් එය සැබෑ ලෙසම මුසාවක් මෙන්ම අණ්ඩර දෙමළක්ද වෙයි. පිටතින් එවැනි චිත්‍රයක් පෙන්නුම් කළත්, මෙය අතිශයම භයංකර, කුරිරු පරිගණක අවියක් යැයි ලොව සිටින බොහෝ පරිගණක විශේෂඥයන් ප්‍රකාශ කර ඇත. ඒ හෙයින් එය රටක් විසින් ලබාගෙන භාවිත කිරීම අතිශය මානව හිමිකම් උල්ලංඝනයක් යැයිද ඔවුහු දැඩි ලෙස අවධාරණය කරති. දැනට ලෝකයේ බහුල ලෙස භාවිත කෙරෙන නොමිලයේ සපයන හෝ අඩු මුදලකට සපයා හෝ මෘදුකාංග මෙන් මෙය පහසුවෙන් ලබාගත හැකි මෘදුකාංගයක්ද නොවේ. රටක් විසින් මෙහි අයිතිය ලබා ගැනීමට ඩොරල් මිලියන ගණන් වියදම් කළ යුතුය. එනම් එය ශ්‍රී ලංකාවේ නම් රුපියල් කෝටි ගණනක මුදල් වියදම් කළ යුතුය. මෙම පුදුමාකාර මෘදුකාංගයේ අයිතිවාසිකම් ලබාගත හැක්කේ භීධ නමැති ඊශ්‍රායල සමාගමෙන්ම පමණක් වීම විශේෂත්වයකි. ලෝකයේ රටවල් රැසක් මෙම ‘පෙගාසස්’ මෘදුකාංගය මුදල් ගෙවීමෙන් පසුව හිමිකරගෙන ඇති අතර, පසුගිය කාලයේ අරාබි රටවල් රැසක්ද මෙය මිලදී ගත්තේය. එනම් තෙල් සම්පතත්, ධනවත් රටවල් වන සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු අරාබි රටවල් කිහිපයක්ම මෙහි අයිතිවාසිකම් හිමිකර ගත්තේය. පෙර කාලවලදී මෙන් නොව වර්තමානයේදී අරාබි රටවල් පවා තමන්ට එරෙහිව එන සතුරන් හා විරුද්ධවාදීන් මර්දනය කරන්නට ගත්තේය.
‘පෙගාසස්’ පියාඹන අශ්වයා ඔබගේ දුරකතනයට හොර රහසේ කඩාගෙන වදින්නේ කෙසේද? එනම් මෙය සයිබර් අවකාශය හරහා ඔබගේ දුරකතනයට ඇතුළු වන්නේ වෛරසයක මුවාවෙනි. පරිගණක විiාව තුළ ඇති වෛරස වර්ග දහසේ ගණනකි. ඒ අනුව අපගේ පරිගණක සහ ස්මාර්ට් දුරකතන වෙතට නිරන්තරයෙන්ම විවිධ වෛරසයන් ඇතුළු වෙයි. එහෙත් මෙම වෛරසයන් බොහෝ ප්‍රමාණයක් හානිකර ඒවා නොවේ. එසේම සමහර වෛරසයන් පරිගණකයේ හෝ දුරකතනයේ ඇති වෛරස් ආරක්‍ෂකය මගින් විනාශ කර දමයි. එහෙත් මෙම ‘පෙගාසස්’ මෘදුකාංගය සමඟ වෙස්වළාගෙන පැමිණෙන වෛරසය ඉතාමත්ම බලගතු එකකි. එය ‘ට්‍රෝජන්’ වර්ගයේ තවත් ආවරණයක් තුළ සැඟවී පැමිණෙන වෛරසයකි. එනම් වෛරසය දැක එය වළක්වන්නට ජංගම දුරකතන හිමියා උත්සාහ කරනවාත් සමගම පෙගාසස් මෘදුකාංගය දුරකතනය තුළට රිංගා ගනී. සමහර විට ‘ඊ-මේල්’ හෝ සාමාන්‍ය පණිවුඩ හරහාද මෙය දුරකතනයට ඇතුළු වෙයි. මෙම මෘදුකාංගය ඇතුළුවූ පසු එවැන්නක් තිබෙන්නේ දැයි කිසිදු සඳහනක්ද ඇති නොවෙයි. මෙම ඔත්තු මෙවලම එතරම්ම සූක්‍ෂ්ම එකක් වන අතර, දුරකතන හිමියෝ කිසිවිටෙකත් තමන්ට මෙවැනි තර්ජනයක් එල්ලවී ඇතැයි නොදනිති. එමෙන්ම එය ලෙහෙසියෙන් ඉවත් කිරීමට හැකියාවක්ද නැත.
පසුගිය කාලයක් පුරා ‘වට්ස්ඇප්’ සහ ‘ෆේස්බුක්’ භාවිත කරන දුරකතන ග්‍රාහකයන්ගේ පෞද්ගලිකත්වයට මෙම ‘පෙගාසස්’ මෘදුකාංගය හරහා විවිධ බලපෑම් රැසක් එල්ල විණි. මේ නිසා දැනට එම සමාගම් විසින් ඊශ්‍රායලයේ භීධ පරිගණක සමාගමට විරුද්ධව නඩු පැවරීමද සිදුකර ඇත. මෙම ‘පෙගාසස්’ ඔත්තු මෙවලම යමෙකුගේ දුරකතනයකට ඇතුළු වූ පසු එය ඉවත් කිරීම අතිශයින්ම අපහසු අතර, එය ඇතුළු කළ පිරිස විසින්ම එය ඉවත් කළ යුතුය. පරිගණක විශේෂඥයන් සහ විශ්ලේෂකයන් මෙම තත්ත්වයට දෙන එකම විසඳුම වන්නේ, අර්බුදයට මැදිවූ දුරකතනය භාවිතයෙන් ඉවත් කිරීමය. මේ වන විට මෙම මෘදුකාංගය භාවිත කරමින් ලොව පුරා විවිධ මූල්‍යමය වංචාවන් රැසක්ද සිදුකර ඇත. එසේ වන්නේ අදාළ දුරකතන හිමියාගේ බැංකු ගනුදෙනුවලට සම්බන්ධ රහසිගත මුරපද (පාස්වර්ඩ්) මෙම මෘදුකාංගය හරහා සොයා ගැනීමට හැකිවන හෙයිනි. ඉන්පසුව එම ග්‍රාහකයාගේ අන්තර්ජාල මූල්‍ය ගිණුම්වලින් මුදල් සොරා ගැනීම සිදුකරනු ලබයි. මෙහිදී ග්‍රාහකයා වහා සිදුකළ යුත්තේ ‘මුරපද’ වෙනස් කිරීම වන අතර, අන්තර්ජාල ගිණුමෙන්ද ඔහු වහා බැහැරවිය යුතුය. මේ ආකාරයට මෙය ඉතා බියකරු වාතාවරණයකි.
‘පෙගාසස්’ ඔත්තු මෙවලම නිර්මාණය කළ ඊශ්‍රායලයේ NSO සමාගම ප්‍රකාශ කර සිටින්නේ, මෙම මෘදුකාංගය ලෝකයේ රටවල් තමන්ගෙන් ඉල්ලන පලියට ලබා නොදෙන බැව්ය. එම රටවල්වල ඇති අවශ්‍යතාවය තම අවධානයට ගනිමින් එය ඉටුකරන බැව්ද සමාගම ප්‍රකාශ කර සිටියි. යුදමය පසුබිමක් ඇති රාජ්‍ය පරිපාලකයන් සිටින රටවල් රැසක් විසින් මෙම මෘදුකාංගය මිලදී ගෙන ඇති අතර, එසේ නොවන රටවල් විසින්ද එය ලබාගෙන ඇත. කෙසේ හෝ මෙය ශ්‍රී ලංකාව විසින් ලබාගැනීමට යන්නේ දැයි මෙතෙක් ස්ථිර වූ වගතුගක් දැනගන්නට නැත. එහෙත් එවැන්නක් ගැන අවධානය යොමු කළ පුවත් නම් සමාජයෙන් අසන්නට ලැබෙයි. මෙම ඔත්තු මෙවලම විකිණීමෙන් 2017 වසරේදී පමණක් භීධ සමාගම ඩොලර් බිලියන 1.2ක ආදායමක් හිමිකරගෙන ඇත. එය එක් වසරකදී පමණක් විය.
ලොව විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යන මැක්සිකානු ජාවාරම්කරුවන් විසින් ‘පෙගාසස්’ මෘදුකාංගය ඉතා බහුලව භාවිත කරනු ලබයි. මෙම ඔත්තු මෙවලම භාවිත කරමින් ලොව මිනිස් ඝාතනයන් රැසක්ද සිදුකර ඇති අතර, ඉන් කුරිරු අතිශය ම්ලේච්ඡ ඝාතනය වන්නේ, ඇමෙරිකානු සහ සවුදි අරාබි ප්‍රකට මාධ්‍යවේදී ජමාල් කශෝගී ඝාතනය කිරීමය. පුවත්පත් කතුවරයකුද වූ කශෝගී ඝාතනය කිරීමට අතදුන්නේ සවුදි අරාබියේ බින් සල්මාන් කුමරු වන අතර, කශෝගිගේ සියලු වතගොත සොයා බැලීමට සවුදි අරාබිය ‘පෙගාසස්’ මෘදුකාංගය භාවිත කර ඇත.
ප්‍රියන්ත හෙට්ටිගේ










