හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට අමෙරිකාවට ඇතුල්වවීම තහනම් කිරීම මුල්කරගෙන අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කොට ඇත.
ඒ මහතා සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ පැවැති යහපාලන ආණ්ඩුව ගෙනගිය වැඩපිළිවෙළ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවත්, අමෙරිකාවද මධ්‍යතන යුගයේ දඩුවම් සිහිගන්වන ආකාරයේ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවත්ය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ නිවේදනයේ වැඩිදුර තොරතුරු පහත පරිද වේ.
“වෙනත් රටවලට අපගේ ආරක්ෂක හමුදා සාමාජිකයන් මේ ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන් හැටියට නම් කිරීමට අවකාශය ලැබුණේ, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගිය යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් කළ ඓතිහාසික පාවාදීම නිසාය.
මේ යෝජනාවේ පළමු ක්‍රියාකාරී වගන්තියේම, 2015 සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමාසාරිස් කාර්යාලය විසින් ලංකාවේ සන්නද්ධ හමුදා මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සම්පාදනය කර තිබූ වාර්තාව අගය කර තිබුණි.
මෙකී වාර්තාව ඊට කළින්, 2011 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා, එම ආයතනයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියට පිටින් පත් කොට තිබු නිල නොවන ත්‍රි පුද්ගල කමිටුවක වාර්තාව මත පදනම්ව තිබුණි.
ඒ ආකාරයට, යුද්ධය අවසන් වූ කාලයේ සිට අපේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව නොයෙක් පාර්ශව විසින් එල්ල කළ සියලුම පදනම් විරහිත චෝදනා, එක්සත් ජාතික පක්ෂය-දෙමළ ජාතික සන්ධාන-ජනතා විමුක්ති පෙරමුණ යහපාලන හවුල පිළිගෙන ඇත.
30/1 යෝජනාව ලංකාවේ සම අනුග්‍රාහකත්වය තුළින් පවත්වාගෙන යෑමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට අපේ ආණ්ඩුව තීරණය කර ඇත.
අපේ රටේ යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල මත මධ්‍යතන යුරෝපයේ සාමූහික දඩුවම් සිහිගන්වන ආකාරයේ සාමූහික ගමන් තහන්චියක් පනවා තිබුණද, යහපාලන හවුල එය හෙළා දැක නැත.
එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා, මේ ගමන් තහන්චිය පැනවීම අපේ ආණ්ඩුවේ වගකීමක් යැයි කියා, තම පක්ෂය 2015 කළ මහා පාවාදීම වසන් කිරීමට උත්සාහ දරයි.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ මොහොතේ ඇමරිකාව විසින් යුද හමුදාපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මත මේ ආකාරයට ගමන් තහංචි පනවා ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයක් ලබා දීමේ කුමන්ත්‍රණයක් (ඩීල් එකක්) නිසා බවය.
දෙමළ ජාතික සන්ධානය නම් ඇමරිකාව විසින් යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල මත පැනවූ සාමූහික දඩුවම ගැන කෙළින්ම ප්‍රසාදය පල කොට ඇත.
2015 දී එජාප ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වන විට ඊනියා අධිරාජ්‍ය විරෝධීන් යැයි කියාගන්නා ජනතා විමුක්ති පෙරමුණ එයට කිසිදු විරෝධයක් දැක්වූයේ නැති බවත් මෙහිදී ජනතාව සිහියේ තබාගත යුතුය.
යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුලට එරෙහිව පනවා ඇති සාමුහික දඩුවම ගැන ඇතිවී තිබෙන කථිකාවෙන් පෙනෙන්නේ මේ රටේ දේශපාලන බෙදීම පවතින්නේ එක් පැත්තකින් රට ජාතිය ගැන හිතන දේශ මාමක බලවේගයත්, අනෙක් පැත්තෙන් රට පාවාදීමට අවස්ථාවක් එනතුරු බලා සිටින උපන් ගෙයි දේශද්‍රෝහීනුත් අතර බෙදීමක් හැටියට බව නොවෙද? “










