අප්‍රේල් 25 වැනි දිනට පසු මහමැතිවරණය පැවැත්වීමේ නව දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය ව්‍යවස්ථාපිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලැබෙන බවත්, ඒ අනුව යමින් ජනාධිපතිවරයා මහමැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.
විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ අප්‍රේල් 25 වන දින මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා මුලින් තීන්දු කළද පවතින තත්ත්වය යටතේ එම දිනට මැතිවරණය පැවැත්වීමට නොහැකි බව යථාර්ථයක් වන නමුත් අප්‍රේල් 25 ඉකුත් වන තෙක් නව දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට නෛතික බලයක් නොමැති බවකි.
අප්‍රේල් 25 වැනි දිනට ජන්දය පැවැත්විය නොහැකි වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 113 වන වගන්තිය යටතේ නව දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට බලය හිමිවන බවද ගම්මන්පිල මහතා එහිදී අවධාරණය කොට ඇත.










