ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව, ලංකා බැංකුව විසින් සිය 83 වැනි සංවත්සරයට සමගාමීව පළාත් මට්ටමින් තෝරාගත් දිරිය ගම්මාන කිහිපයක් නගාසිටුවීමේ ව්‍යාපෘතිය දියත් කිරීම ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ, මහා කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි යන මහත්වරුන්ගේ සහ ලංකා බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරීත්වයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ආරම්භ කෙරිණි. ‘BOC ගම්මාන’ යනුවෙන් නම්කර ඇති මෙම වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති ‘තිස්සඅමුණ’ ග්‍රාමයෙන් ඇරැඹිණි.
ලංකා බැංකුවේ පාරිභෝගික හා සංවර්ධන බැංකු කටයුතු අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සංකල්පය මගින් තෝරාගනු ලබන ගම්මානවල ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව හා ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරයි. ඒ වෙනුවෙන් කුඩා කන්ඩායම් ණය යෝජනා ක්‍රම හඳුන්වා දීම, BOC මිතුරු කණ්ඩායම් ආරම්භ කිරීම, පාසල් මට්ටමින් BOC රන් කැකුළු සංසද ඇරඹීම තුළින් දරුවන්ගේ ඉතුරුම් පුරුද්ද වර්ධනය කිරීම, ගෙවතු වගාව සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම තුළින් දේශීය යැපුම් ආර්ථිකය ශක්තිමත් කිරීම, විවිධ සංවර්ධන ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම හා ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් යටතේ ස්වයං රැකියා සඳහා පහසුකම් සැලසීම වැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඇතැම් වැඩසටහන් මේ වන විටත් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.