ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයට නිරතුරුවම නවක ගායක ගායිකාවන් බිහි වේ. එසේ බිහිවන ඇතැමෙක් එක් ගීතයකින් එක් රැයෙන්ම ජනප්‍රිය වී සීමිත දින ගණනාවකින් රසික මතකයෙන් බැහැර වේ. තවත් ඇතැමෙක් කාලයක් රැඳී සිටිමින් සෙමින් සෙමින් රසික මතකයෙන් ගිලිහී යති. තවත් පිරිසක් රසික ප්‍රසාදය අඩු වැඩිව ලබමින් ක්ෂේත්‍රයේ රැඳී සිටිති. ඇතැමෙක් ගීතයක් ගයමින් ක්ෂේත්‍රයට පැමිණ ගැයූ ප්‍රථම ගීතයත් සමඟ ලැබූ ජනප්‍රියතාවය දිගින් දිගටම රඳවා ගනිමින් රසික ප්‍රසාදය හා ආදරය මෙන්ම ගෞරවයද ලබමින් දිගින් දිගටම ගායන ක්ෂේත්‍රයේ රැඳී සිටිති. කීර්ති පැස්කුවල් නම් ගායකයා අයත් වන්නේ ඒ කොටසටය. කීර්ති පැස්කුවල් ගායකයකු ලෙස ගී ලොවට පිවිසෙද්දී සිටි ගායකයන් මෙන්ම ඔහුගෙන් පසු ගී ලොවට පිවිසි ගායකයන්ද ඔහුට අභියෝගයක් නොවීය. ඔහු විසින් දශක කිහිපයකට පෙර නීල අහසේ සැඳෑ වලාවන් ගීතය ගයමින් පැමිණියදා සිට වත්මන දක්වාම අඛණ්ඩව සිය ජනප්‍රියතාව මෙන්ම ජන ප්‍රසාදයද රැකගෙන සිටී.
කීර්ති පැස්කුවල් සිංහල ගීත ලොවට පිවිසෙන්නේ අහම්බෙන් නොවේ. ඔහු අපට සිටින දක්ෂ සංගීතවේදියෙකි. දක්ෂ ගිටාර් වාදක ශිල්පියෙකි. ඔහු ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සංගීතය මෙන්ම ගායනයද හොඳින් ප්‍රගුණ කරගෙනය. බටහිර වාද්‍ය ශිල්පියකු ලෙස ඔහුව මෙරට රසික පිරිස හඳුනා ගත්තද කීර්තිව ගායකයකු ලෙස පිළිගන්නේ පෙර අපර දෙදිග තුළ මැද මාවතේ ගමන් කරනා අයකු ලෙසයි.
‘නීල අහසේ’ ගීතයට අමතරව ‘කවිකාරියේ’, ’රන්තරු පායන’, ‘සිංහල රජ කාලේ’, ‘සඳලතා පායලා’ වැනි අතිශය ජනප්‍රිය ගීත ගොන්නක් සිංහල ගීතාවලියට කීර්ති සලකුණ ලෙස සටහන් කර තැබූ ඔහු, වසර කිහිපයක් මෙරටින් බැහැර වන්නේ ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළ සිදු වූ හැලහැප්පීම් නිසාය.
බොහෝ විට නිහඬව ක්ෂේත්‍රයෙන් බැහැරව සිටි යම් කලාකරුවකුගේ දෙවන ගමන සාර්ථක වන්නේ කලාතුරකිනි. එහෙත් කීර්තිට එය වලංගු වූයේ නැත. ඔහු යළි මෙරටට පැමිණ ගැයූ කඳුළ ඉතින් සමාවෙයන් ගීතයෙන් ඔහු යළිත් මෙරට අංක එකේ ගායකයකු විය. ‘තව දවසක් හමු වී’, ‘සිත කොහෙදෝ ගිහින්’ වැනි ඔහුගේ නවතම ගීත රසික පිරිස වැලඳගන්නේ කීර්තිද මවිත වන අන්දමිනි. මේ නිසාම ක්ෂේත්‍රයට පිවිසෙන නවක ගායක ගායිකාවන්ට කීර්තිව අභියෝගයක් වනවා මිස, කීර්තිට ඔවුන් අභියෝගයක් වන්නේ නැත.
කීර්ති පැස්කුවල් ගායකයකු ලෙසින් සාර්ථක ඒක පුද්ගල ප්‍රසංග කිහිපයක්ම පැවැත් විය. දර්ශන දිනයට පෙරම ප්‍රසංග සඳහා නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍ර විකිණී අවසාන වීමෙන්ම කීර්තිගේ ජනප්‍රියතාව පිළිබඳ වටහාගත හැකි බවට හොඳ සාධකයෙකි. පසුගිය වසරේ නෙලුම් පොකුණ රඟහලේ පිරී ඉතිරී ගිය ප්‍රේක්ෂක පිරිසක් හමුවේ පැවැත්වූ ‘මනමාල හැන්දෑව’ නම් ප්‍රසංගය කීර්ති පැස්කුවල් මෙරට සිටින ජනප්‍රියම ගායකයකු යැයි ඔප්පු කර පෙන්වීය.
සංගීතඥයකු හා ගායන ශිල්පියකුට අමතරව රංගන වේදියකු ලෙස ටෙලිනාට්‍ය හතරක ඔහු ප්‍රධාන චරිත රඟපෑවේය. එහෙත් ඊට දිගින් දිගටම නැඹුරුවීමට ඔහු තුළ කැමැත්තක් නොවීය. ඒ නිසාම ඉල්ලීම් ගලා ආවද ඔහු රංගන කාර්යභාරයෙන් ඉවත් වී නිරන්තරයෙන්ම අභ්‍යාසයන්හි යෙදෙමින් ගායකයකු ලෙසින්ම කටයුතු කළේය.
කීර්ති පැස්කුවල් යනු මානුෂීය හැඟුම්වලින් පිරි කලාකරුවෙකි. ඔහු තරම් සමාජ සේවකයකු ලෙස කලා ක්ෂේත්‍රයට හා ඉන් බාහිරව සේවයක් කළ වෙනත් කලාකරුවකු නොමැති තරම්ය. ක්ෂේත්‍රයේ තම හිතවත් කලාකරුවන්ට පමණක් නොව ඉන් බාහිරවද ඕනෑම තරාතිරමක අසරණ පිරිස් වෙත හැකි පමණින් උදව් කර අසරණ වූවන් ඉන් මුදවා ගැනීමට ඔහු සැම විටම පෙරමුණ ගනී.
අසරණ රෝගීන් වෙත ඔහු තරම් කාරුණික වූ කලාකරුවෙක් සිටීදැයි සැකසහිතය. රෝගීන් හට සෙත සැලසීම සඳහා කීර්ති මුල් වී පියවර රැසක් ගෙන තිබේ. ඉන් ප්‍රධාන තැනක් උසුලන්නේ කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකයට මිලියන ගණනක් වටිනා උපකරණ ලබාදීමට කීර්ති මුල් වී ඇරඹි ප්‍රාර්ථනා ව්‍යාපෘතියයි. කලාකරුවකු ලෙස ඔහුගේ හැකියාව කීර්ති නිර්ලෝභීව ඒ සඳහා ප්‍රදානය කිරීමට ඉදිරිපත් විය.
සාර්ථක කලාකරුවකු හා මිනිසකු ලෙස කීර්ති පැස්කුවල් අද ස්ථාවරව සිටින්නෙකි. එනමුදු ඔහුගේ ජීවිත ගමන් මඟ මෙන්ම, කලාකරුවකු ලෙස පැමිණි ගමන් මඟද බාධක කම්කටොලු වැටීම්, නැඟිටීම්, දුක, සතුට, කඳුළ, සිනහව නොඅඩුව තිබිණි. ඇතැම් සිදුවීම් සිනමා පටයක ජවනිකාවන් වැන්නය. ඔහුගේ ජීවිතය තුළින් නවක කලාකරුවන්ට මෙන්ම ඉන් බැහැර අයටද ලබා ගත හැකි පාඩම් බොහොමයක්ම පිරී පවතී.
සංගීතඥයකු, ගායකයකු ලෙස මෙන්ම ඔහුගේ පුද්ගලික ජීවිතයටද එබී බලන්නට ඔහු වටා සිටින රසික රසිකාවියන්ගේ ඇති කැමැත්ත කීර්ති වෙත ලැබෙන ලිපි හා දුරකතන ඇමතුම් මගින්ද ඔහුගේ ප්‍රසංග අවසානයේ දී කීර්තිව වට කරගෙන නඟන ප්‍රශ්නවලින්ද හොඳින් පැහැදිලි වේ. මේ සියල්ලටම පිළිතුරු ලෙසින් කීර්ති පැස්කුවල්ගේ ජීවිත කතාව කෘතියක් ලෙසින් එළිදක්වන්නට කටයුතු යොදා ඇත. එය ඔහුගේ රසික රසිකාවියන්ට සුබ ආරංචියක් වනු ඇත.
‘කීර්ති – සුන්දර මියුරු සරක ආනන්දනීය චාරිකාව’ නමින් නම් කර ඇති මෙම කෘතියේ රචකයා වනුයේ නාට්‍යකරුවකු මෙන්ම ජනප්‍රිය නවකතාකරුවකු වූ උපාලි කුමාරවංශය. කීර්තිගේ ජීවිතයේ සියලු දෑ පරිච්ඡේද කිහිපයකට වෙන් කර මේ කෘතියේ සටහන් කර ඇත. කීර්ති ජීවිත වියමන පරිච්ඡේදය තුළ ඔහුගේ පුද්ගලික ජීවිතය පිළිබඳවද, සංගීත වියමන සහ සමාජ මෙහෙවර තුළින් කලාකරුවෙක් හා පරහිතකාමී සමාජ සේවකයකු ලෙස කීර්තිගේ ගමන් මඟද ලියවී ඇත. එමෙන්ම කීර්ති පිළිබඳව කලා ක්ෂේත්‍රයේ මෙන්ම ඉන් පිටස්තර විවිධ තරාතිරම්වල සිටින්නන් විසින් දක්වන කරුණු ඇතුළත් සහෘද සටහන් නම් තවත් පරිච්ඡේදයක් ඇත.
කීර්තිගේ ගීතවලට ප්‍රිය කරන මෙන්ම ඒවා ගායනා කරන්න උනන්දු වන අයට මෙන්ම ඔහුගේ ගීත වාදනය කරන්න කැමැති අයට උපකාර වන අයුරින් කීර්තිගේ ජනප්‍රිය ගීත 30ක පද මාලාවන් හා ස්වර රටාද මේ කෘතියට ඇතුළත් කර ඇති අතර, එම ගීත 30 මුල් පටිගත කිරීම් ඒ අයුරින්ම ඇතුළත් කළ එම්.පී.3 ගී තැටියක් කෘතිය සමඟ නොමිලේ ලබා දීමට ද කටයුතු කර ඇත. එදා මෙදා තුර කීර්ති පැස්කුවල් විසින් ගායනා කළ ගීත නාමාවලියක් හා කීර්ති පැස්කුවල්ගේ ළමා වියේ සිට අද දක්වා අලංකාර දුර්ලභ ඡායාරූප විශාල ප්‍රමාණයක් කීර්ති කෘතිය තුළ ඇතුළත් කොට ඇත. ඝන කඩදාසියේ වෛවර්ණයෙන් පිටු 256කින් සමන්විත විශාල ප්‍රමාණයේ මෙම කෘතියේ පිටකවරයද ඝන බැම්මකින් නිමා කර ඇත.
කීර්ති කෘතියට සමගාමීව කීර්ති පැස්කුවල්ගේ රසික රසිකාවන් වෙතින් ලැබුණ ඉහළම ඉල්ලුමට අනුව කීර්ති විසින් පැවැත් වූ ‘මනමාල හැන්දෑව’ ප්‍රසංගයේ ඩීවීඩී තැටියක් නිකුත් කිරීමටද සූදානම්ව ඇත.
ඉහළම රසික ප්‍රසාදයක් ලබමින් ඉදිරිපත් කර මනමාල හැන්දෑව ප්‍රසංගයේ සජීවී පටිගත කිරීම අති නවීන ඉහළම තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම ඩීවීඩී තැටිය නිම කර ඇත. මෙය කීර්තිගේ ‘මනමාල හැන්දෑව’ නරඹන්නට නොහැකිව ළතැවූ රසික රසිකාවියන්ට ලැබෙන මහඟු අවස්ථාවකි. මනමාල හැන්දෑව වේදිකාගත වෙද්දී වේදිකාව හැඩවූ ආලෝක රටාද ඒ අයුරින්ම ඇතුළත් පැහැදිලි දසුන් හා පැහැදිලි හඬින් ප්‍රසංගයේ වින්දනය ඒ අයුරින්ම ලැබෙන සේ ඩීවීඩී තැටිය නිමා වී ඇත.
කීර්ති පැස්කුවල් කලාකරුවාගේ සොඳුරු අවස්ථාවන් සනිටුහන් කරමින් කීර්ති කෘතිය හා මනමාල හැන්දෑව ඩීවීඩී තැටිය එළැඹෙන ජනවාරි මස 26 වැනි දින සවස 3.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී එළිදැක්වීමට කටයුතු කර ඇත. කීර්ති පිළිබඳව කතා බහකින් මෙන්ම ‘මනමාල හැන්දෑවේ’ සොඳුරු දසුන් ඇතුළත් විචිත්‍රකරණයකින් ද සැරසුණු මේ සුන්දර හැන්දෑව රසික ප්‍රජාවටද විවෘතව ඇත. එදින කීර්ති කෘතිය හා මනමාල හැන්දෑව ඩීවීඩී තැටිය විශේෂිත මිලකට ලබාගත හැකිය.











