මනුෂ්‍යයකුගේ පරමායුෂ විදියට සැලකෙන්නේ අවුරුදු 120ක වගේ කාලයක්. නමුත් අවුරුදු 120ක් ජීවත් වුණු කෙනෙක් හොයාගැනීම ඉතාම දුෂ්කර කාරණයක්. ඊට හේතුව අවුරුදු 65 – 70 වන විට විවිධ රෝගාබාධයන්ට ගොදුරුවී අපේ වැඩිහිටියන් ජීවිතයෙන් සමුගෙන යෑමේ ප්‍රවණතාවක් මතුව තිබීමයි. ඒ අනුව බලන විට අද මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු 70ක පමණ කාලයකට සීමා වී ඇති බවටද නිගමනය කළ හැකියි. විෂම ආහාර රටාවකට හුරුවෙමින් ඇති වත්මන් පරපුර ඒ ආහාරවල තිබෙන කෘත්‍රිම සංඝටක නිසාම පිළිකා, වකුගඩු රෝග ඇතුළු මාරාන්තික රෝගයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවද වැඩිවී ඇති අයුරු දැකගත හැකියි. කෙසේ නමුත් පරිසර දූෂණය, කෘත්‍රිම ආහාර පරිභෝජනය, මරාන්තික වසංගත පෙර කවරදාටත් වඩා හිස ඔසවා ඇති පසුබිමක අවුරුදු 116ක් ආයුධ වින්දනය කරමින් අදටත් ඉතා නිරෝගීව වෙසෙන මිනිසෙක් ගැන කතා කරන්නට අපට හැකියාව ලැබීම විස්මයජනක කරුණක්. එවැනි අතිදුර්ලභ වාසනාවක් උරුමකගෙන තිබෙන්නේ භික්ෂුන්වහන්සේ නමක් වීම තවත් සුවිශේෂත්වයක්. උන්වහන්සේ උඩුවර බෝගස්කන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩසිටින පූජ්‍ය වෙලේදෙර සුමේධාලංකාර හිමියන්. වසර සියයක් ඉක්මවා ගිය ඉතිහාසයක් ගැන හොඳ මතකයක් සහ නිරෝගී මානසිකත්වයකින් පසුවන සුමේධාලංකාර හිමියන් සමග මේ දුර්ලභ සාකච්ඡාව සිදුකරන්නේ ‘හෙල රහස්’ යූටියුබ් නාලිකාව මගින්. වසර 116ක් ඉතා නිරෝගීව ජීවත් වීමේ රහස මෙන්ම අපි මෙතෙක් අසා නැති වටිනා ඓතිහාසික තොරතුරුද උන්වහන්සේ මෙම සාකච්ඡාවෙදි හෙළිකරනවා. ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අපි එම සාකච්ඡාව මෙලෙස අකුරු කරනවා.
අවසරයි අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේගේ වයස දැන් කොච්චර වෙනවද?
මට දැන් අවුරුදු 116ක් වෙනවා.
ඩී.එස්. සේනානායක මහත්තයා එහෙම ඔබවහන්සේගේ සමකාලීනයෙක් නේද?
ඔව්. දොන් ස්ටීවන් කියන එක තමයි ඩී.එස්. සේනානායක කියලා කෙටියෙන් කියන්නේ. එතුමා තමයි පොළොන්නරුව, හිඟුරක්ගොඩ ප්‍රදේශවලට ලොකු සේවාවක් කළේ. ඒ කාලේ මහා වනාන්තර තිබුණේ. ඒ කැලෑවේ ඉඳගෙන තමයි එතුමා කතා පැවැත්තුවේ. බණ්ඩාරනායක මහත්තයා එක්ක 1956 අවිස්සාවේල්ල, හොරණ, පාදුක්ක, ලබුගම පැතිවල අපි ඇවිද්දා. එතුමා ඡන්දෙ ඉල්ලුවා, ඡන්දෙන් දිනුවා. වැඩ ටිකක් කෙරුවා.
අපේ හාමුදුරුවන්ට හොරගොල්ල වලව්ව සුපුරුදු තැනක්ද?
ඔව්. දඹුල්ලෙ හිටපු මන්ත්‍රී තෙන්නකෝන් අයියා. කරුණාවතී අක්කගෙ මහත්තයා. අපි ඒගොල්ලොත් එක්ක තමයි ඒ කාලෙ රැස්වීම්වලට එහෙම යන්නේ. තෙන්නකෝන් අයියයි මමයි ඒ රැස්වීම්වල කවි කිව්වා. හිනා උපදින කවි තමයි අපි කිව්වේ. නමුත් දැන් මම මේ කැලෑවට වෙලා ඉන්නවා. මෙතනට මිනිස්සු එනවා බොහොම මහන්සියෙන්. ඒ එන්නේ අපේ වලව්කාරකමවත්, උද්දච්චකමවත්, උඩඟුකමවත් බලන්න නෙවෙයි. ඒගොල්ලෝ එන්නේ නැතිකමට. ඉතින් එහෙම ආපුවාම රිදවන්නේ, බයගන්වන්නේ නැතුව ඒගොල්ලන්ට කරන්න පුළුවන් වෙද හෙදකම් ටික අපි කරනවා.
ඔබවහන්සේ වෙද පරම්පරාවක කෙනෙක්ද?
ඔව්. අපේ අත්තම්මලා ගොඩේගෙදර වෙද පරම්පරාවේ. අපේ ලොකු අත්තත් වෙදකම කළා. එයා අපටත් වෙදකම ඉගැන්නුවා. ඉතින් අපිත් ඒ වෙදකම කරනවා.
මම දැක්කා පන්සලේ හරි අපූරු කවියක් ලියලා තියෙනවා, ‘වලව්කාරකම පැත්තක තියලා සිවුරක් දාගත්තා’ කියලා?
‘අත මිට මිල මුදල් වැඩිපුර තිබුණ අය
වැල නොකැඩී හිත මිතුරන් හිටිය අය
පරණ ගොන් බාන තම්බිට වික්ක අය
මගෙ තනියට සිටින්නේ බලු කුක්කාය’
අපි අද ඒක ඒ විදියටම දකිනවා. ඔබවහන්සේ වැඩම කරනවත් එක්කම බල්ලත් ඇවිත් ළඟින් ඉඳගත්තා?
ඔව්. මම අහිංසක සත්තුන්ට පාන් රාත්තල් 10ක් 12ක් ගෙනත් දෙනවා. ආඩම්බරයකට නෙවෙයි. අපේ අම්මා තාත්තා අත්තා මුත්තාට පින් සිද්ධ වෙන්නේ මේ අසරණයන්ට කන්න දෙනවා.
ඔබවහන්සේ පැවිදි වෙන්නේ කොයි කාලෙද?
- මම මුලින් පැවිදි වෙන්න හිටියේ පනස් ගණන්වල. ඒ කාලේ මම පොඩියි. මගේ අම්මා නැතිවෙලා. අත්තම්මා ළඟ තමයි මම හැදුණේ. අත්තම්මා කැමැති වුණේ නෑ මම පැවිදි වෙනවට. ලොකු අත්තා හරිම හොඳයි. කොස් පොලොස් කන්න පුරුදු කරලා අපිව හැදුවා.
ඔබවහන්සේ බණ්ඩාරනායකලා, සේනානායකලා ඇසුරු කළා. ඇයි මාලිගාවක් වගේ ලොකු පන්සලක් හදාගන්න බැරි වුණේ?
ඒ ලොකු පන්සල්වල කලබල වැඩියි. සම්බාධක වැඩියි. අවහිර බාධක වැඩියි. ඕක අපේ පංගුවේ කොටසක් කියලා ඉඩම් බෙදාගන්න කට්ටිය ඉන්නවා. ඒක නිසා ඒවා ඕනෙ නෑ. මොකද අපි දන්නවා ඇතිවෙන හැමදේම නැතිවෙනවා කියලා. ගෙනාපු දෙයක් නෑ, ගෙනියන දෙයක් නෑ කියලා. මේක අපට කියලා දුන්නේ අපේ ලොකු අත්තම්මා.
ඔබවහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්නේ කොයි පන්සලෙන්ද?
දණියායේ තිලකතිස්ස නායක හාමුදුරුවෝ යටතේ. උන්වහන්සේ බොහෝම හොඳයි. උන්වහන්සේ ජීවතුන් අතර නෑ. මම වෙදකම් එහෙම කරගෙන ඉන්නවා. මට දැන් ඇවිදින්න ටිකක් අමාරුයි. ඒත් මහන්සියෙන් හරි ඇවිදිනවා කාටවත් කරදරයක් කරන්නේ නැතුව.
මට ඇප උපස්ථාන කරන්න, මගේ අම්මා තාත්තා වගේ මාව බලාගන්න දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා තමයි මාව නාවලා කරලා බලාකියාගන්නේ. මොකක්වත් වාසියක් බලාපොරොත්තුව නෙවෙයි ඒ අය මට උපස්ථාන කරන්නේ. එයාලගෙ අම්මා තාත්තා නැතිවුණාට පස්සේ මෙහෙ හැදුණා. එයාලා හිටවපු ගස්කොලන් තමයි මේ තියෙන්නේ. ඒගොල්ලෝ හදපු ගස්වලින් ගෙඩි කඩලා දානේ පිළියෙළ කරලා පූජා කරනවා. ඒක හරිම වටිනවා.










