කංජිපානි ඉම්රාන් රටෙන් පැනලා ගිහිල්ලා. දැන් ප්‍රවෘත්ති පළවෙනවා. ඔහු රහසේම වෙස්වළාගෙන ඉන්දියාවට පලාගිය බවත්, ඉන්දියාවෙන් ඔහු යළිත් පාකිස්තානයට පලාගොස් ඇති බවත් ආරක්ෂක අංශ මේ දවස්වල වාර්තා කරමින් ඉන්නවා. දැන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල රාජකාරිය වෙන්නේ වාර්තා කිරීමද, එහෙම නැත්නම් ආරක්ෂා කිරීමද කියන එක ගැන අපට පොඩි සැකයක් තියෙනවා. එක්කො ඒගොල්ලෝ වාර්තා කිරීම භාර අරගෙන, අපට ආරක්ෂා කිරීම භාරදෙන්න ඕනෙ. එහෙම නැත්නම් ඒගොල්ලො ආරක්ෂා කිරීම සිදුකරලා, වාර්තා කිරීම අනෙක් අයට භාරදීලා පැත්තකට වෙලා ඉන්න ඕනෙ. කොහොම නමුත් මේ සිදුවීම දිහා අපට කෙළින්ම බලද්දී පේන්නේ අපූරු දේවල් ටිකක්. ඇත්තටම මෙතැනදී අපට පැහැදිලිවම පෙනෙන දෙයක් තමයි කංජිපානි ඉම්රාන් කියන්නේ ඉතා දක්ෂයෙක් බව. ඔහුගේ දක්ෂතාව මේ හොරා පොලිස් සෙල්ලමේදී එළියට එනවා. ඔබට මතක ඇති පුංචි කාලේ අපි කරපු සෙල්ලමක්. ඒ තමයි හොරා-පොලිස් සෙල්ලම. මේ සෙල්ලමේදී හොරුන්ගේ අවශ්‍යතාව වෙන්නේ පොලීසියෙන් බේරී පලා යෑම. හැකි තරම් දුරට පලා යෑම හොරා දක්ෂයි නම්, ඔවුන් ජයග්‍රහණය කරනවා. හොරු හැකි තරම් ඈතට පලා යනවා. හැකි තරම් රහසේ සැඟවෙන්න උත්සාහ කරනවා. ඔවුන් සතු සියලු උපක්‍රම භාවිත කරමින් හොරු සැඟවෙනවා. පොලිසිය මේ කාර්යයේදී දක්ෂ විය යුත්තේ තමන් සතු සියලු ශක්තීන් යොදාගනිමින් හොරුන් කොටු කරගන්න. ඒ සඳහා ඔවුන් විවිධ උපක්‍රම භාවිත කරනවා. මේ සෙල්ලම අවසන් වෙන්නේ කොහොම හරි හොරු ටික කොටු කරගෙන. එහෙම නැත්නම් අපි මීට අවුරුදු ගණනක කලින් පටන්ගත්තු හොරා-පොලිස් සෙල්ලම තවමත් කරනවා. ඒකට හේතුව හොරු කොටු වෙනකන්, පොලිසිය හොරුන් පස්සේ පන්නන්න ඕනෙ. ඒ නිසා කොයිම වෙලාවක හරි හොරු කොටු නොවුණා නම් තාමත් පොලිසියට සිද්ධ වෙනවා ඒ හොරු පස්සෙන් පන්න පන්න ඉන්න.
අපි පුංචි කාලේ පුංචිකමට කරපු සෙල්ලම වගෙයි නෙවෙයි මේ සෙල්ලම දැන්. මේ සෙල්ලම කරන්නේ රටක් එක්ක. ඒක නිසා හොරු කොටුකර ගැනීමේ වගකීම පොලිසියට අපි හොරා-පොලිස් සෙල්ලම කරපු කාලේ තිබුණට වඩා දැන් වැඩිපුර තියෙනවා. ඒත් අපට එදා හොරා-පොලිස් කරද්දී තිබිච්ච වගකීමවත් අද අපේ රටේ අයට නැද්ද කියලා අපට වෙලාවකට හිතෙනවා. එහෙම හිතෙන එක වැරැදි නම් සමාවෙන්න. අපි සාමාන්‍ය මිනිස්සු විදියට අපට මේවා දැනෙන්නේ, අපට මේවා පෙනෙන්නේ ඒ විදියට. කංජිපානි ඉම්රාන් කියන්නේ ලංකාවේ නමගිය අපරාධකරුවෙකු බව බොහෝ තැන්වලදී අපි දැක තිබෙනවා. ඇත්තෙන්ම ඔහු නමගිය අපරාධකරුවකු බව අපි දන්නෙත් පොලිසිය කියපු නිසා. කංජිපානි ඉම්රාන් කියන්නේ අහිංසකයෙක්ද කියලත් අපි දන්නේ නෑ. මොකද ඒකට හේතුව තමයි හොරා හදන්නේ, හොරා නිර්මාණය වෙන්නේ පොලිසිය විසින් අපට කියන කයි කතන්දරත් එක්ක නිසා. පොලිසිය අපට කියපු කයි කතන්දර 100%ක් බොරු නම් කංජිපානි ඉම්රාන් කියන්නේ අහිංසකයෙක්. ඇත්තටම ඔවුන්ව අත්අඩංගුවට ගන්නේ ඉතා විශාල ප්‍රයත්නයකින් පස්සේ. මේ ප්‍රයත්නය කොයි තරම් විශාලද කියනවා නම්, ඔවුන් අත්අඩංගුවට ගන්නේ ලංකාවෙදී නෙවෙයි. ඩුබායිවලදී. ඒ, එක්තරා සාදයකදී. පොලිසිය ඒ සාදය කොටු කරගන්නේ ඉතා අසීරුවෙන්. අසීරුවෙන් කොටු කරගත්ත මේ සාදයට ශ්‍රී ලංකාවෙන් නිලධාරීන් පිටත් කර යවනවා. ඒ සඳහා කොයි තරම් මුදලක් වැය කරන්න ඇද්ද කියලා අපට ගණන් හිලව් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. අපට විශ්වාසයක් තියෙනවා ඒක විශාල මුදලක් වැය කරපු, විශාල වැටලීමක ප්‍රතිඵලයක් කියලා. ඒ වැටලීමෙන් ප්‍රධාන වශයෙන් දෙන්නෙක්ව අත්අඩංගුවට ගන්නවා. එක්කෙනෙක් මාකඳුරේ මධුෂ්. අනෙක් කෙනා කංජිපානි ඉම්රාන්. මාකඳුරේ මධුෂ් කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්, ඔහු අපරාධරුවෙක් කියලා විවිධ කතන්දර අපට කිව්වත්, මාකඳුරේ මධුෂ්ව හදිසියේ නාඳුනන තුවක්කුවක උණ්ඩයකින් මරාදැමුවා මිස ඔහු පිළිබඳ ඇත්ත කතාව අපි තවමත් දන්නේ නෑ. ඔහු ගැන සියල්ල වාර්තා කරන්න කිසිවකුට පුළුවන් වුණේ නෑ. මාකඳුරේ මධුෂ් අදත් ජීවතුන් අතර හිටියා නම් ඔහු නිසා කියවෙන්න තිබුණු නම් ගොඩක් එදා ඔහුව මරාදැමීමත් එක්ක සැඟව ගිය බව අපි කවුරුත් දන්නවා. කවුරු කොහොම කිව්වත් ඒකයි ඇත්ත. මාකඳුරේ මධුෂ්ව මැරුවේ මහමොළකාරයන් ගොඩකගේ නම් හෙළිදරව් වෙන එක නවත්වන්න කියලා අපට හිතෙනවා. එහෙම හිතෙන එක හරි සාධාරණයි. ඇත්තටම අපි මේ රටේ සාමාන්‍ය මිනිස්සු. මේ රටේ ලොකු මිනිස්සු ගන්න තීරණ ගැන ලොකු අවබෝධයක් අපට නෑ. අපට හිතෙන දේවල් තමයි අපි මේ කියන්නේ. ඒවා වැරැදි නම් නිවැරැදි කිරීමේ හැකියාව තියෙනවා. අපි ඒකට ඕනෑම වෙලාවක ලෑස්තියි. කොහොම නමුත් කංජිපානි ඉම්රාන්ට පහුගිය දවසක ඇප ලැබෙනවා. ඒක තමයි අධිකරණමය ක්‍රියාදාමය. යම් කිසි වරදකරුවෙක් අත්අඩංගුවට ගැනීම, ඔහු පිළිබඳ නඩු විභාග කිරීමත්, ඔහුට ඇප දිය හැකි නම් ඇප ලබාදීමත්, ඔහුට ඇප ලබාදිය නොහැකි නම් ඔහුව රඳවා තබාගැනීමත්, ඔහුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමත්, ඉන් පස්සේ ඔහුට නිසි දඬුවම් ලබාදීමත් ශ්‍රී ලංකාවේ අධිකරණමය ක්‍රියාදාමයක්. ඒකෙ අඩුලුහුඬුකමක් අපට තේරෙන්නේ නෑ. සමහර වෙලාවට මේක හදපු ක්‍රමය ඇතුළේ යම් කිසි ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ නීති හදපු කවුරුවත් අද අපිත් එක්ක නැති නිසා අපට එහෙම කියන්න බෑ.
මේ නීතිය සකස් කිරීමේ කාර්යභාරයේදී කංජිපානි ඉම්රාන් හෝ වෙනත් කිසිවකු පිළිබඳ සුවිශේෂ කොට නොසැලකීම නීතියේ සර්ව සාධාරණත්වයේ ලක්ෂණයක්. එසේ නොමැතිව යම් කිසිවකුට සර්ව සාධාරණත්වයෙන් ඔබ්බට ගොස් සර්ව සාධාරණත්වයටත් එහා සාධාරණත්වයක් ඉෂ්ට කරන්නට යනවා නම් ඒක නීතියේ තියෙන අඩුලුහුඬුකමක්. හැබැයි අපට මේ වෙලාවෙ එහෙම දෙයක් පේන්නේ නෑ. නමුත් කංජිපානි ඉම්රාන්ට ඇප ලැබීමත් එක්ක ඔහු ඉන්දියාවට පලායෑමේ ක්‍රියාදාමය ඉතා සරල පහසු දෙයක් කියලා කිසිවෙක් කියන්න උත්සාහ කරනවා නම්, අපි දන්නවා ඒක කිසිසේත්ම පහසු දෙයක් නොවන බව. ඒක අසීරු වෑයමක ප්‍රතිඵලයක්. මේ අසීරු උත්සාහය කියලා කියන්නේ මුහුදත් එක්ක පොරබදලා, පෝක් සමුද්‍ර සන්ධියට බැහැලා පීනලා ගියේ නෑ කියලා අපි කවුරුත් දන්නවා. මේක අසීරු උත්සාහයක් බවට පත්වෙන්නේ කී දෙනෙක්ව සල්ලිවලට ගන්න වුණාද කියන එක ඇතුළේ කියලා අපට හිතෙනවා. මොකද මේ වගේ වැඩකදී කීප තැනකදී කීප විටකදී මිල මුදල් ලබාදීලා නීතියේ හිල් අස්සෙන් රිංගලා, හිල් නැති තැන්වල නීතියේ හිල් හදලා ඔහු යන්න ඇති කියලා අපිට හිතෙනවා. එහෙම නැත්නම්, එහෙම නෑ කියලා කියන්න. ප්‍රශ්නයක් නෑ. නමුත් අපට හිතෙන දේ තමයි මේක නිර්මාණාත්මක දෙයක් බව. ඔහුගේ පලායෑම හොඳ නාට්‍යයක ප්‍රතිඵලයක්. දැන් ඔහු ලංකාවේ නැත්නම් ආයෙත් ඔහුව ගේන්න අපේ රටේ තුට්ටු දෙක වියදම් කරලා පිටරටවලට යන්න සිද්ධ වෙනවා. එහෙම රට ගියා කියලා ප්‍රතිඵලයක් තියෙනවද නැද්ද කියන එක අපි දන්නේ නෑ. මොකද එහෙම අල්ලගෙන ඇවිල්ලත් අන්තිමට වෙන්නේ මෙහෙම දෙයක් නම්, කොහොම කළත් එකයි කියලා තමයි අපට කියන්න තියෙන්නේ.
ලංකාවේ ආගමන විගමනය සම්බන්ධ විශාල ගැටලුවක් තියෙන බව අපට දැන් බැලූ බැල්මට පේන කාරණයක්. ඒකට හේතුව වෙන්නේ ඔබට මතක ඇති පහගිය දවසක කොල්ලුපිටියේ සිදුවෙච්ච රිය අනතුරෙන් පස්සේ, ඒ රිය අනතුර කරපු පුද්ගලයා ලංකාවෙන් පලායනවා. ඔහු ආපහු එන්නේ ටික දවසකින්. මේ විදියට අපරාධකාරයන්ට ලංකාවෙන් පලායන්න පුළුවන් නම්, අපරාධකාරයෙක්ට නීතියෙන් බේරෙන්න තියෙන හොඳම විසඳුම තමයි ලංකාවෙන් පිටවෙලා යන එක. ඒ විදියේ පරිසරයක් නිර්මාණය කරලා නම් තියෙන්නේ ලංකාවේ අපරාධකාරයන්ව අත්අඩංගුවට අරගෙන වැඩක් නෑ. ඔවුන්ට දඬුවම් කරලා වැඩක් නෑ. ඔවුන් පහසුවෙන් ලංකාවෙන් යනවා. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නිර්මාණය වෙනවා. මේකෙ ගැටලුව තියෙන්නේ කොතැනද කියලා වහාම හොයන්න ඕනෙ. පොලිස්පතිවරයා බවට පත්වෙන්න නිලධාරීන් පොරකන අස්සේ අපි ඇත්ත තේරුම් අරගන්න ඕනෙ. නැත්නම් වැඩක් නෑ. රටත් ඉවරයි, අපිත් ඉවරයි.

ජීවන පහන් තිළිණ










