හඬ පට පිළිබඳ කතා බහ මීට පෙර ඕනෑ තරම් අසා තිබුණද, හඬ පටයක ඇති බැරෑරුම් බව අපේ රටේ ජනතාව හරියටම තේරුම් ගත්තේ පසුගිය දිනයේදීය. ඒ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ යැයි කියන හඬ පට විශාල ප්‍රමාණයක් මාධ්‍යයට නිකුත් වීමත් සමඟය. පොලිසිය විසින් පසුගිය 4 වැනිදා රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ මේ හඬ පට පිළිබඳ සොයා බැලීම සඳහාය. අනාවරණය වන අන්දමට රන්ජන් රාමනායක පසුගිය වසර කිහිපයේදී තමන්ගේ ජංගම දුරකතනයෙන් ලබා ගත් ඇමතුම් සියල්ල පටි ගත කර ඇත. එලෙස පටිගත කර ඇති ඇමතුම් ප්‍රමාණය එක් ලක්ෂ විසි දහසකට වැඩි බවද, එම ඇමතුම් දහසකට අධික සංයුක්ත තැටි ප්‍රමාණයක ගබඩා කර ඇති බවද අනාවරණය වී ඇත. රන්ජන් රාමනායක ඇමතුම් ලබා ගත් පුද්ගලයන් අතර මෙරට ප්‍රධාන පෙළේ විනිසුරුවන්, පොලිස් ප්‍රධානීන්, දේශපාලනඥයන් පමණක් නොව ප්‍රසිද්ධ නළු නිළියන් පවා ඇත. එම ඇමතුම් හරහා හෙළි වන තොරතුරුද විවිධාකාරය. එලෙස මාධ්‍යයට නිකුත් වූ හඬ පට කිහිපයක ඇතුළත් සංවාද තොරතුරු මෙයාකාරය.
රන්ජන්- පද්මිණී රණවක විනිසුරුවරියගේ හඩපටය
රන්ජන්- මැඩම් ගුඞ් මෝර්නින්ග්
පද්මිණි- හෙට නඩුව එනවා නේද? රසික කියන්නේ විජේදාසගේ ජූනියර්. මට හිතෙන්නේ විජේදාස රාජපක්ෂ ඕකේ යටින් ඉන්නවා.
රන්ජන්- ඔව්. එයා තමයි සේරම කරන්නේ මේකේ. සුනිල් පෙරේරා කියන්නේ විජේදාස ඇමැතිතුමා එක්ක ඡන්දේ ඉල්ලපු එක්කෙනෙක්.
පද්මිණි- අපෝ මේ හාමුදුරුවෝ ගැන නම් මතක් කරන්න එපා. අපේ පුතාට පෙන්නන්න බැහැ දැන් බොරුකාරයෝ. අම්මා වඳින්නත් එපා කියනවා. අපේ හාමුදුරුවරු කිසිම වැඩක් නැහැ. අර ආබෘ නම් එච්චර හොඳ එක්කෙනෙක් නෙවෙයි. එයාව පුළුවන්නම් අයින් කර ගන්න.
රන්ජන්- ඊයේ ගිහිල්ලා හම්බ වුණා ෆයිසර් මුස්තාෆාව. එයා කිව්වා “අයි තින්ක් හි ඉස් අ ගෝඞ්” කියලා. සිසිර ආබෘ ගැන කිව්වේ. බුවනෙක අළුවිහාර් ඉන්නවා කිව්වා. එයා කිව්වා සිසිර තමයි ඬේන්ජරස් මෑන් කියලා. හැබැයි දැන් ඒගොල්ලෝ සේරම බයේලු ඉන්නේ මැඩම් මං මොනවා කියයිද කියලා.
පද්මිණී- ඔව් දැන් හොර ලෝයරස්ලා, හොර ජජර්ස්ලා බයේ ඇත්තේ. හැබැයි ඉතින් අර සියයට හැත්තෑවක් කිව්වම මං බැලුවා මාවත් ඒ ගොඩට දාලදා කියලා.
රන්ජන්- අනේ නැහැ.
පද්මිණී- අපිට බය හිතෙනවනේ. දැන් අපි තමයි නැතිවෙලා ගියේ. අනේ මන්දා දැන් රියටයර්මන්ට් පේපර්ස් එන සතියේ දානවා කියනවා. දැම්මට ඉතින් හම්බ වෙන්නේ නැහැනේ. තව මාසයයි තියෙන්නේ. සුප්‍රීම් කෝට් තියෙන්නේ. ඒක පුරවන්නේ උඩින් මං හිතන්නේ. ඒක පිරෙව්වා නම් මට යන්න තිබ්බා කියලා.
රන්ජන්- ඉතින් ජනාධිපතිතුමා කිව්වනේ හම්බ වෙන්න කියලා ඇවිල්ලා.
පද්මිණී- මට හම්බ වෙන්න කිව්වේ නැහැ.
රන්ජන්- කිව්වා. කිව්වා මට කිව්වනේ. මං කිව්වේ.
පද්මිණී- අනේ නැහැ මට කිව්වේ නැහැ. අනිත් එක මං හම්බ වෙන්න යන්න බයයි. ඒ වුණාට අපේ ජජරස්ලට ටක් ගාලා නිව්ස් එක යනවා. දැන් අර කොමිෂනර් දානවා කියලා රිටයර් වෙන ජජ්ලට.
රන්ජන්- නැහැ නැහැ මෙහෙමයි. එදා කතා කරපුවම කිව්වා අනේ පොඩි ළමයෙක් වගේ කතා කරන්නේ ඇවිල්ලා හම්බ වෙන්න කියන්න කියලා.
පද්මිණී- අනේ මට නම් බයයි එහෙම එන්න. මට පුරුදුත් නැහැ.
රන්ජන්- අනේ ජනතාව වෙනුවෙන් කරන්න.
පද්මිණී- ඉතින් හම්බ වුණා කියලා මොනාද කරන්නේ මම.
රන්ජන්- හම්බ වෙලා කියන්න පුළුවන්නේ.
පද්මිණී- එයාට සීජේට කියන්න පුළුවන්. බලන්න කියන්න මං මේ මාස තුනේ ජජ්මනට් තිස් ගානක් දීල තියෙනවා.
රන්ජන්- සේරම එතැන හදලා ඉවරයි. ඔබතුමිය කෝල් එකක් දීල ගිහින් හම්බ වෙන්න විතරයි තියෙන්නේ.
පද්මිණී- එහෙනම් ඔබ තුමාට ගොඩක් ස්තූතියි. එහෙනම් මං රිටයර්මන්ට් පේපර්ස් දාන්න එපාද?
රන්ජන්- එපා. එපා. අනේ මොනවද මේ කරන්න හදන්නේ.
පද්මිණී- කොයි වෙලාවටද කතා කරන්න පුළුවන්.
රන්ජන්- කාටද ජනාධිපතිතුමාටද?
පද්මිණී- නැහැ. නැහැ. ඔබතුමාට.
රන්ජන්- ඕන වෙලාවක. මං ගත්තේ නැත්නම් මැඩම් එස්. එම්. එස්. එකක් එවන්න. මම කෝල් බැක් කරනවා.
රන්ජන්-රනිල් හඩපටය
රන්ජන්- ගරු අගමැතිතුමා
රනිල්- කවුද මරන්න ඉන්නේ?
රන්ජන්- සර්. තැන්ක්යූ සර් මාව ඩිෆෙන්ඞ් කළාට. කාලෙකින් ප්‍රැක්ටිස් කළේ නැති හින්දා සර් ප්‍රැක්ටිස් කළේ. මේ මහින්දානන්දට වෙඩි තියන්න තියෙනවනේ සර්. ඒ හින්දා පොඞ්ඩක් ප්‍රැක්ටිස් කළා. මම පොලිස්පතිතුමාට කතා කළා. එයා කිව්වා මිස්ෆයර් එකක් වුණා කියලා කියන්න කියලා.
රනිල්- මං මෙතැන කිව්වා ෆ්‍රැක්ටිස් කරපු හින්දා කියලා. කමක් නැහැ.
රන්ජන්- මං බැලුවා සර් ටී. වී එකේ.
රනිල්- ඔයා කියන්න මං මේක එළියට අරගෙන හිටියා. ෂූට් කරන්න නෙවෙයි. ඊට පස්සේ මිස්ෆයර් එකක් වුණා කියලා. අන්න එහෙම එකක් කියන්න.
රන්ජන්- හොඳයි හොඳයි සර්. මං දැන් ෂූට් ක්ලාස් යනවා සර්. මං දැන් ගේම් එකේමයි ඉන්නේ සර්. මුන්ට බය කරලා මේක කරන්න වෙනවා සර්. නැත්නම් හදා ගන්න බැහැ.
රන්ජන්-පිලපිටිය විනිසුරු හඩපටය
රන්ජන්- හෙලෝ ගුඞ් මෝර්නින්ග්. අනේ කරදර කරනවට සමාවෙන්න.
පිලපිටිය- නැහැ. නැහැ. කියන්න.
රන්ජන්- ෆවුසිගේ වැඬේට මුළු ජනතාවම බලන් ඉන්නවා ඔබතුමා ගැන.
පිලපිටිය- මට ඔබතුමා එක්ක පොඞ්ඩක් කතා කරන්න ඕනේ ඒක ගැන. තව කල් තියනවා ඒකට. ඊට ඉස්සෙල්ලා අපි හම්බ වුණා නම් හොඳයි නේද?
රන්ජන්- ආණ්ඩුවම බේර ගන්න පුළුවන් ඔබතුමාට. කියන තැනකට වඳින්නම්. ඕන උදව්වක් කරන්නම්. කවුරුත් නැහැ නේද ඔතැන. පැය ගානක් දැම්මත් ඇති. පැයක් දැම්මත් ඇති. ප්‍රතිපාදන තියෙනවද ඒකට.
පිලපිටිය- හරි. ප්‍රතිපාදන තියෙනවා. අපේ මැඩම්ට තමයි කරන්න පුළුවන්. ඒකේ පොඩි දෙයක් තියෙනවා සහතිකයක් දාගන්න.
රන්ජන්- මැඩම්ට කතා කළා මං දැන්.
පිලපිටිය- අන්න හරි. එයා අතේ තියෙන්නේ. එයා ඉල්ලීම කළා නම් හරි. මොකද එන අය කියනවා ඇප දීමට විරුද්ධ නැත කියලා. ඊට පස්සේ මට අමාරුයිනේ.
රන්ජන්- ඔයා අසරණ වෙනවා. ඒක ඇත්ත.
පිලපිටිය- දැන් ගෝඨලගේ එකේ වුණෙත් නීතිපති ඇවිත් කෙළින්ම කියලා තියෙනවා අපි ඇප දීමට විරුද්ධ නැහැ කියලා. එතකොට මට කරන්න බැහැනේ.
රන්ජන්- වෙනත් පාර්ශ්වයකින් බැරිද?
පිලපිටිය- අපි චුට්ටකින් මේක කතා කරගමු. අපි ඔක්කොම බේරිලා කොහොමද කරන්නේ කියලා. අධිකරණය බේරන්නත් එපැයි. මිනිස්සුන්ගේ විශ්වාසය රකින්නත් ඕනෙනේ. ඇයි මේකට විතරක් කළේ කියලා නැත්නම් බලනවනේ. ආණ්ඩුවේ ඉත්තෙක් කියලා බලනවනේ. මං එකපාරට කණපිට ගැහුවොත් ඒක ආණ්ඩුවටත් හොඳ නැහැ. ඒ හින්දා අපි සියලු දෙනාම බේරෙන විදියට අර පැමිණිල්ලෙන් ඇප දීමට විරුද්ධයි කියලා විරුද්ධ වීමට හේතුව කියන්න ඕනේ.
රන්ජන්- මේගොල්ලෝ කියන්නේ අපි පළිගන්නවා කියලනේ. මෙයාව පොඞ්ඩක් දැම්මොත් අපි සේරම බේරෙනවා.
පිලපිටිය- හරි. හරි. මට තේරෙනවා.
රන්ජන්- එතකොට පළි ගැනීමක් නැහැනේ. මොකුත් කියන්න බැහැ කාටවත්. අපේ අයවත් හිර කරලා.
පිලපිටිය- එහෙනම් අපේ මැඩමුයි, මායි, ඔබතුමයි ෆොන් එකෙන් කොන්ෆරන්ස් හරි දාලා කතා කරන්න පුළුවන්නේ. අපි එහෙම කරමු.
රන්ජන්- මට මොනවද කරන්න පුළුවන්. මම විරුද්ධයි කියලා මම එන්නම්.
පිලපිටිය- අන්න හරි.
රන්ජන්- ඔව් ඉතින් මම අල්ලස් එකට විරුද්ධව වැඩ කරනවා. මේ විදියට අපේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වාහනයෙක් අවභාවිතා කරලා තියනවා. ඒකට මම විරුද්ධයි. එයාට ඇප දෙනවට විරුද්ධයි කියලා මම නඩුවක් දාන්නම්.
රන්ජන්- හෙලෝ ගුඞ් මෝර්නින්ග්. අනේ කරදර කරනවට සමාවෙන්න.
පිලපිටිය- නැහැ. නැහැ. කියන්න.
රන්ජන්- ෆවුසිගේ වැඬේට මුළු ජනතාවම බලන් ඉන්නවා ඔබතුමා ගැන.
පිලපිටිය- මට ඔබතුමා එක්ක පොඞ්ඩක් කතා කරන්න ඕනේ ඒක ගැන. තව කල් තියනවා ඒකට. ඊට ඉස්සෙල්ලා අපි හම්බ වුණා නම් හොඳයි නේද?
රන්ජන්- ආණ්ඩුවම බේර ගන්න පුළුවන් ඔබතුමාට. කියන තැනකට වඳින්නම්. ඕන උදව්වක් කරන්නම්. කවුරුත් නැහැ නේද ඔතැන. පැය ගානක් දැම්මත් ඇති. පැයක් දැම්මත් ඇති. ප්‍රතිපාදන තියෙනවද ඒකට.
පිලපිටිය- හරි. ප්‍රතිපාදන තියෙනවා. අපේ මැඩම්ට තමයි කරන්න පුළුවන්. ඒකේ පොඩි දෙයක් තියෙනවා සහතිකයක් දාගන්න.
රන්ජන්- මැඩම්ට කතා කළා මං දැන්.
පිලපිටිය- අන්න හරි. එයා අතේ තියෙන්නේ. එයා ඉල්ලීම කළා නම් හරි. මොකද එන අය කියනවා ඇප දීමට විරුද්ධ නැත කියලා. ඊට පස්සේ මට අමාරුයිනේ.
රන්ජන්- ඔයා අසරණ වෙනවා. ඒක ඇත්ත.
පිලපිටිය- දැන් ගෝඨලගේ එකේ වුණෙත් නීතිපති ඇවිත් කෙළින්ම කියලා තියෙනවා අපි ඇප දීමට විරුද්ධ නැහැ කියලා. එතකොට මට කරන්න බැහැනේ.
රන්ජන්- වෙනත් පාර්ශ්වයකින් බැරිද?
පිලපිටිය- අපි චුට්ටකින් මේක කතා කරගමු. අපි ඔක්කොම බේරිලා කොහොමද කරන්නේ කියලා. අධිකරණය බේරන්නත් එපැයි. මිනිස්සුන්ගේ විශ්වාසය රකින්නත් ඕනෙනේ. ඇයි මේකට විතරක් කළේ කියලා නැත්නම් බලනවනේ. ආණ්ඩුවේ ඉත්තෙක් කියලා බලනවනේ. මං එකපාරට කණපිට ගැහුවොත් ඒක ආණ්ඩුවටත් හොඳ නැහැ. ඒ හින්දා අපි සියලු දෙනාම බේරෙන විදියට අර පැමිණිල්ලෙන් ඇප දීමට විරුද්ධයි කියලා විරුද්ධ වීමට හේතුව කියන්න ඕනේ.
රන්ජන්- මේගොල්ලෝ කියන්නේ අපි පළිගන්නවා කියලනේ. මෙයාව පොඞ්ඩක් දැම්මොත් අපි සේරම බේරෙනවා.
පිලපිටිය- හරි. හරි. මට තේරෙනවා.
රන්ජන්- එතකොට පළි ගැනීමක් නැහැනේ. මොකුත් කියන්න බැහැ කාටවත්. අපේ අයවත් හිර කරලා.
පිලපිටිය- එහෙනම් අපේ මැඩමුයි, මායි, ඔබතුමයි ෆොන් එකෙන් කොන්ෆරන්ස් හරි දාලා කතා කරන්න පුළුවන්නේ. අපි එහෙම කරමු.
රන්ජන්- මට මොනවද කරන්න පුළුවන්. මම විරුද්ධයි කියලා මම එන්නම්.
පිලපිටිය- අන්න හරි.
රන්ජන්- ඔව් ඉතින් මම අල්ලස් එකට විරුද්ධව වැඩ කරනවා. මේ විදියට අපේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වාහනයෙක් අවභාවිතා කරලා තියනවා. ඒකට මම විරුද්ධයි. එයාට ඇප දෙනවට විරුද්ධයි කියලා මම නඩුවක් දාන්නම්.
රන්ජන් රාමනායක- නිශාන්ත සිල්වා හඩ පටය
රන්ජන්- සුබ ආරංචියක් ආවා නේද? ඒක හරි නේද?
නිශාන්ත- අනේ සර්. සර්ලගේ කැපවීම හින්දා තමයි ඒක වුණේ.
රන්ජන්- නැහැ. නැහැ. ස්වාධීන පොලිස් කොමිසම අපි දාපු හින්දා හොඳයි නේද? අද මම වාදපිටියට යනවා. මම ඕක ගන්නම් නේද කමක් නැහැනේ.
නිශාන්ත- කමක් නැහැ සර් ගන්න. සර්ට මොනවත් ඩීටේල්ස් ඕනෙද සර්.
රන්ජන්- මට දෙන්න මොකුත් ඩොකියුමන්ට් තියනවද?
නිශාන්ත- තියෙනවා සර්. මම කරපු කේස් ටික තියෙනවා. මගේ පවුල් පසුබිම තියෙනවා. මගේ නිලධාරීන්ගේ නිර්දේශ තියෙනවා. මම එල්. ටී. ටී. ඊ. කියලා තමයි මේ කට්ටිය මාව ට්‍රාන්සර් කරන්න හදලා තියෙන්නේ. මම එල්. ටී. ටී. ඊ. කේස් සීයකට වැඩිය කරලා මිනිස්සු එල්ලුම් ගස් යවලා තියෙනවා ඕන තරම්.
රන්ජන්- මොනවද කතා. අපි ඕගොල්ලන්ට ගෞරව කරලා වඳින්න ඕනේ. ඕගොල්ලෝ බැංකු ලෝන් අරගෙන ගෙවල් හදා ගන්න බැරුව ඒවට හිරවෙලා. වාහන නැතුව වැඩ කරන්නේ. මං දැකලා තියෙනවනේ ශානිලගේ ගෙවල්. ටෙලිෆෝන් මං දැකලා තියෙනවනේ. රවී විද්‍යාලංකාරලා නෙවෙයිනේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ නියම නිශාන්ත සිල්වලා.
නිශාන්ත- මම අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියේ සර්. මම පොලිස් නිලධාරියෙක් වශයෙන් ඒ මිනිස්සුන්ගේ දුක විකුණුවොත් මට මොකක්ද තියෙන තත්ත්වය සර්. දැන් ඔය ස්වභාවධර්මය මට සලකපු විදිය අනිත් පැත්ත තමයි එහෙනම් වෙන්නේ.
රන්ජන්- නිශාන්ත ඔයාව කොහෙටද මීගමුවටද මාරු කරලා තියෙන්නේ?
නිශාන්ත- ඔව්. සර්.
රන්ජන්- දැන් කියන්න මොකක්ද වුණේ කියලා.
නිශාන්ත- සර් දෙන සපෝර්ට් එකට පින් සිද්ධ වෙන්න ඕනේ. ඒ ගැන සර්ට ලොකු ගෞරවයක් තියෙනවා අපේ. මම තමයි සර් ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර්, නේවි එකෙන් එකළොස් දෙනෙක් පැහැරගෙන ගිහින් මරපු කේස් එක, ප්‍රදීප් එක්නැලිගොඩ, ඊට පස්සේ ආයේ නේවි එකෙන් මිනිස්සු දෙන්නෙක් අරන් ගිහින් වාහනේක කෑලි හැත්තෑ දෙකට කපපු කේස් එක, නාවුක හමුදාවේ භූගත සිරමැදිරියක් තියෙනව ත්‍රිකුණාමලයේ කෑගල්ලේ ශාන්ත කියන කෙනාවයි ඉබ්බාගමුවේ වසන්ත කියන කෙනාවයි එහෙට ගිහින් මරලා දැම්මා. ඒ ඔක්කොම පරීක්ෂණ මම තමයි කරන්නේ.
රන්ජන්- දැන් ඔය ෆයිල් ටික උස්සයිද නිශාන්ත?
නිශාන්ත- නැහැ සර්. ෆයිල් ටික නම් මගේ භාරයේ තියෙන්නේ. අධ්‍යක්ෂතුමාට දීල යන්නේ යනකොට
රන්ජන්- ඒ ටිකේ කොපියක් ගන්න බැරි වෙයිද අපිට?
නිශාන්ත- කොපි දෙන්නේ නැහැ සර්. හැබැයි මම ඒ රිපෝර්ට්ස් ඔක්කොම බී වාර්තාව දාලා තියෙන්නේ සර්. ඒ ඔක්කොම විස්තර උසාවියේ තියෙනවා සර්. කිසි කෙනකුට වෙනස් කරන්න බැරි වෙන්න මම ලියලා තියෙන්නේ.
රන්ජන්- දැන් අපෙන් මොකක්ද වෙන්න ඕනේ ඔයාට?
නිශාන්ත- සර් ඉතින් මට නියෝගයක් ඇවිත් තියෙනවා. මම ලොකු කට්ටිය දන්නෙත් නැහැ සර්. සාමාන්‍ය විදියට ඒ ට්‍රාන්සර් එක මට යන්න පුළුවන් සර්. මට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් සර් මේ විමර්ශන ඔක්කොම ඇන හිටිනවා සර්. අහිංසක මිනිස්සු වෙනුවෙන් තමයි මම පෙනී හිටියේ. ඒ මිනිස්සුන්ට යම් කිසි සාධාරණයක් කරන්න පුළුවන් කියලා මට ට්‍රාන්සර් එක දීපු මිනිස්සු හිතනවා නම් ඒක ඒගොල්ලෝ කරයි.
රන්ජන්- කොහොමද? අපිට සුබ ආරංචියක් නැද්ද?
නිශාන්ත- සර්. අර කාරණාව සත්‍ය බවට දැන් තහවුරු වේගෙන තියෙනවා.
රන්ජන්- හොඳයි හොඳයි. මරු මරු. කවුද දිසානායකගේ කේස් එකද?
නිශාන්ත- මට පේන්නේ ඒ ඉන්ක්වයිරි එක ගාමිණී සෙනරත්ල වහගෙන වගේ ඉන්නේ. අපි එදා විස්තර ගත්ත එකනේ කළේ සර්. දැන් අපි වැඬේ පටන් ගන්න යන්නේ. දිසානායකව ඉක්මනටම අපිට සම්බන්ධ කර ගන්න ඕනේ.
රන්ජන්- හොඳයි හොඳයි ගෙනල්ලා දෙන්නම්. මිනිහා බොරුවක් නෙවේ කියලා තියෙන්නේ. වැඬේ ඇත්ත නේද?
නිශාන්ත- ඇත්ත. ඒක ජෙනියුන් කේස් එක.
රන්ජන්- එහෙනම් කවදද ඕනේ අද? මම අද නම් පාර්ලිමන්ට්.
නිශාන්ත- මොකක්ද සර් ආණ්ඩුවේ ඉන්දැද්දිත් ගුටි කනවනේ සර්. විපක්ෂයේ ඉන්දැද්දිත් ගුටි කනවා. ආණ්ඩුවේ ඉන්දැද්දිත් ගුටි කනවා. තේරුමක් නැහැනේ සර්.
රන්ජන්- දැන් යහපාලනනේ. ගුටි කාලා අපි මුංව ඇතුළට දාමු. අපි නිකන් චණ්ඩිකම් පෙන්වන්න ඕනේ නැහැනේ නේද?
නිශාන්ත- මැයි පෙළපාළිය හරියට සාර්ථකයි නේද?
රන්ජන්- ඒකනේ. මුං වියරු වැටිලා ඉන්නේ ඒකයි. අන්තිමට මහින්දම පිළිගත්තනේ බස් නැති හින්දා සෙනඟ නැහැ කියලා. මේ කාවද ළඟදි ඇතුළට දාන්නේ. අපිට දෙන්නකෝ සුබ ආරංචියක්.
නිශාන්ත- ඩී. අයි. ජී. මහත්තයාගෙන් අනුමැතිය අරගෙනම කියන්නම් සර්.
රන්ජන්- ඔයා මට කියන්න. ඔයා මගෙ මිත්‍රයනේ.
නිශාන්ත- මෙහෙමයි මට දිනේ කියන්න බැහැ. හැබැයි එන් ව ඇතුළට දායි.
රන්ජන්- ඒක තමයි එන් කෑගහනවා වැඩියි. ජොන්ස්ටන්වත් දාන්න. එන්වත් දාන්න.
නිශාන්ත- ඊට වැඩිය ලොකු වැඩ ටිකක් කරලා පෙන්නම්කෝ
රන්ජන්- හොඳයි හොඳයි. අපේ ෆුල් සපෝර්ට් ආ..
රන්ජන්-ශානි හඩපටය
ශානි- සහරාන්ලගේ 8 දෙනා මැරුණා. ඉතුරු තව 12ක් ඉන්නවා අල්ලලා.
රන්ජන්- ඔයා කියන්නේ ඊබ්‍රාහිමුත් ඉන්නවද වැඬේ. දෙමටගොඩ. ඌ මැරුණේ නැහැනේ. පපුවේ අමාරුව හැදිලා මැරුණා කියන එක බොරුවක් නේද?
ශානි- බොරුනේ. අදත් මං කතා කළා ඌත් එක්ක.
රන්ජන්- ඌ දන්නවද පුතාලා මෙහෙමයි කියලා.
ශානි- පුතාලා රැඩිකල් කියලා දන්නවා. ගෙදර ඉඳන් ඔය ගේම ගහනකොට තාත්තා දන්නේ නැත්නම් ඌ ඇවිල්ලා පොල් බූරුවෙක් වෙන්න ඕනේ.
රන්ජන්- මේ ඔක්කොම ඉන්ජිනියරස්ලා. ඒ වගේ අය මේකට ආකර්ෂණය වෙන්නේ ඇයි. ඒ ගැන මොනවා හරි කියන්න.
ශානි- ආගමත් එක්ක බැඳුණම ඔයිට වැඩිය බූරු වැඩි ඉතිහාසේ ඉඳලම කරලා තියෙනවා. ආගම කියන්නේ අබිං කියලා කියලා තියෙනවනේ සර්. කෑවොත් ඉවරයි. හෙටත් ඕනේ. අනිද්දත් ඕනේ. දිගටම ඕනේ. ඉතින් මුං ඇවිල්ලා කන්‍යාවෝ හැත්තෑ දෙකක් එක්ක බුදියන්නනේ යන්නේ දෙවියෝ ගාවට.
රන්ජන්- අර අළුතෙන් ඇවිල්ලා තියෙනවා ගුවන් පාලම්වලට ගහනවා, ඉස්කෝලවලට ගහනවා කියලා. ඒක ඇත්තද?
ශානි- එහෙම ඉතිං කියලා ගහනවා නම් උං ත්‍රස්තවාදීන් නෙවෙයි. වෙන මොකක් හරි ක්‍රිකට් ටීම් එකක් වෙන්න ඕනේ.
රන්ජන්- එතකොට අර ලියුම. කලින් ආව එක.
ශානි- ඒක රෝ ඔත්තු සේවයෙන්නේ ආවේ.
රන්ජන්- එතකොට අපේ ලංකාවේ බුද්ධි අංශයෙන් නෙවෙයිද මේක හොයා ගත්තේ?
ශානි- නැහැ. නැහැ. එහෙන් ආව මැසේජ් එක.
රන්ජන්- එතකොට අපේ බුද්ධි අංශ දුර්වලයි කියලා කියන්න පුළුවන්ද?
ශානි- ලංකාවේ උන්ට හොයා ගන්න බැරි වුණාම කොහොමත් දුර්වලයිනේ. අනිත් එක සර්. දැන් යුධ හමුදාවේ ගානක් හිරේ දැම්මා. දාස් ගානක් යුද්දෙන් මැරුණා. හමුදාවක් තියෙන්නේ පස්සට යන්න නෙවෙයි. මැරුණත් ඉස්සරහට යන්න තමයි හමුදාවල් හදලා තියෙන්නේ. කරපු සහගහන අපරාදෙකට බන්ධනාගාරයට ගියාම අධෛර්යය වෙනවා නම් මුං හමුදාවක් නෙවෙයි. මුං නාට්ටාමිලා ටීම් එකක්. හමුදාවට පස්සට යන්න බැහැ. අණ දුන්නොත් විතරයි පස්සට යන්න පුළුවන්. අනිත් එක මිනිස්සු මරපු එක ලෝකේ තියෙන බරපතළම වැරැද්දනේ සර්.
රන්ජන්- සල්ලිවලට මිනිස්සු මරන්න නෙවෙයිනේ බුද්ධි අංශ ඉන්නේ. නේද?
ශානි- දැන් මේ නඬේ පෙනී සිටින්නේ බුද්ධි අංශ වෙනුවෙන්. ඒ නඬේ කොන්ත්‍රාත් එක තමයි බුද්ධි අංශ කළේ.
රන්ජන්- නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් හැටියට එයාට පුළුවන් ඇකියුස් කෙනෙක් එක්ක කතා කරන්න?
ශානි- කිසිසේත්ම බැහැ සර්.
රන්ජන්- එතකොට එයා ඉන්ටර්ඩික් වෙන්න ඕනෙද?
ශානි- ඉන්ටර්ඩික් නෙවෙයි. ඉල්ලා අස් වෙන්න ඕනේ. ඒක නම් මාර පාවා දීමක්. වැඩක් නැහැ සර් කියලා.
රන්ජන්. මං හිතන් හිටියේ හරි ලොකුවට මේ ගෑණි ගැන.
ශානි- ගෑනි නෙවෙයි සර්. මුළු සේරම අපිත් එක්ක විනාශයිනේ සර්. දැන් ඕක ඇප්ලයි කරනවනේ. ඔන්න දිල්රුක්ෂි මෙහෙම කිව්වා නම් ශානි අබේසේකර මොකෙක්ද කියලා අහයි.
රන්ජන්- දැන් මේකට අපි මොකද කරන්නේ?
ශානි- ජනාධිපතිතුමා හොඳ ලස්සනට ඕක පාවිච්චි කරාවි. ඡන්ද වෙලාවේ හොඳ කැවුම් ගෙඩියක් තමයි දුන්නේ.
රන්ජන්- ඒ කියන්නේ අපි සේරම කළේ බොරු. බොරු නඩු තමයි මේ දාලා තියෙන්නේ කියලනේ කියන්නේ.
ශානි- ඒක තමයි කියන්නේ සර්.
රන්ජන්- අනේ මන්දා සොලිසිටර් ජෙනරල්. හැබැයි මගේ නඩුවට මරු. පෞද්ගලිකව මට වාසියි වැඬේ.
රන්ජන්- ගුඞ් ඊවිනින්ග්.
ශානි- ගුඞ් ඊවිනින්ග්. ශානි අබේසේකර සර්.
රන්ජන්- කොහොමද කොහොමද? මං නම්බර් එක දාගෙන ඉන්නේ. හෙට අපිට ගුඞ් නිව්ස් එකක් එයිද? බෑඞ් නිව්ස් එකක් එයිද?
ශානි- ගුඞ් නිව්ස් එකක් එනවා සර් අනිවාර්යයෙන්ම. සර් එනවා නේද උසාවි?
රන්ජන්- අනේ ඔයා ඒක වෙනස් කරන්න එපා. අපේ හිත කඩන්න එපා.
ශානි- නැහැ. නැහැ. සර්. දෙන්නෙක් ඒක ලියයි. හැබැයි. මැද එක්කෙනා නිදහස් වෙන්න ලියයි.
රන්ජන්- අම්මට සිරි. මැද එක්කෙනා කියන්නේ?
ශානි- ඒක ප්‍රශ්නයක් නැහැ. සර් හෙට එනවා නේද?
රන්ජන්- මං එන එක හරිද? එතකොට නිකං අපි වැඬේට ඉන්නවා වගේ පෙනෙයිද?
ශානි- හැම දූෂණ වැරැදි වැඩකට ඉන්නවා නම් ඕකට මොකද?
රන්ජන්- මං කෝල් එක දාපු එක අහුවෙයිද දන්නෑ එතකොට. ෂුවර් නේද? මං ආයේ මොකුත් කතා කරන්න යන්න ඕනේ නැහැ නේද?
ශානි- එපා. එපා. අම්මෝ එපා. වැඬේ දුන්නට පස්සේ මොනවා හරි කියන්න.
රන්ජන්- තැන්ක්යූ කියන්නම් නේද? අර මැද එක්කෙනා හදා ගන්න බැරිද?
ශානි- එයා ඕනත් නැහැ. දෙකත් තියෙනවා නම් ඇතිනේ.
රන්ජන්- එහෙනම් වැඬේ හරිනේ නේද? අපිව ආයේ කලකිරවන්නේ නැහැනේ. හොඳම එක දෙයිනේ නේද?
ශානි- හොඳම එක ඇරෙන්න වෙන දෙන්න එකක් නීතියේ නැහැ.
රන්ජන්- හොඳයි හොඳයි දෙයියන්ගේ පිහිටයි එහෙනම්. ඔය වගේම තාජුඩීන්ගේ වැඩෙත් කරලා දෙන්න.
ශානි- අපි දැන් බොහොම ළඟ ඉන්නේ.
රන්ජන්- මොකද කැනඩා යවපු එක මොකද වුණේ?
ශානි- ඒක නෙගටිව්. නෙගටිව් කියන්නේ ඒ කැමරා එක බොහොම බාල වර්ගයේ කොලිටියෙන් පල්ලෙහා එකක්.
ශානි- ලෝයර්ස්ලා කියන සියලුම කැටගරියේ උන් එක විදියයි. මොනවා හරි ජල්තරයක්. කිසිම කොලිටියක් නැති උන් තමයි ලෝයර්ස්ලා කියන්නේ. දැන් විජේදාස රාජපක්ෂ උන්නැහේ කරපු හරිය සර්ට කියන්න ඕනේ නැහැනේ.
රන්ජන්- මොනවද කතා. මේ වලස්මුල්ල පැත්තෙන් ආව හිඟන්නෙක්නේ ඔය යකා නේද?
ශානි- එයාට හුඟාක් උදවු කරපු එක්කෙනෙක් ඉන්නවා සර්. මෙතැන ෂොප් එකක් තියෙන කොඩිකාර කියලා.
රන්ජන්- මං දන්නවා. ඔඩෙල් එකට එහා පැත්තේ ෂෙඞ් එක උගේ.
ශානි- මිනිහා තමයි ගොඩක් උදවු කෙරුවේ ඡන්දෙට මෙයාට. අන්තිමට මෙයා මේ කෝට්ටේ අක්කර එකහමාරක ඉඩමක් ගන්න ඩීඞ් එක ගෙනිහින් දුන්නා. හරි මං බලලා කියන්නම් කොඩි කියලා කිව්වලු. කියලා සති දෙකකින් විතර කිව්වලු මේක හරි නැහැ ඩීඞ් ක්ලියර් නැහැ, තෑගි ඔප්පුවක් දීපු එකක් තියෙන්නේ වගේ ඒවා කියලා. කොහොම හරි ඒක අතඇරියා. අවුරුදු එකහමාරකට පස්සේ ආපහු මේ ඉඩමම විකුණන්න තියෙනවා කියලා මෙයාටම කැරකිලා ආවා. බැලුවහම විජේදාස රාජපක්ෂ තමයි ඕනර්.
රන්ජන්- අම්මටහුඩු. ඔන්න බඩු. මාර මිනිස්සු නේද මෙයා. අපේ පත්තර මල්ලිත් විජේදාසට කතා කරනවලු ඉන්ටර්විව් ගන්න. හැබැයි මල්ලි ඔෆිස් එකේ හම්බ වෙමු. මිනිස්ටි්‍රයේ හම්බ වෙමු කියනවා මිසක් ගෙදරට ගෙන්නන්නේ නැහැ. ගේ පෙන්නන්නන බැහැ මූට.
ශානි- ගේ පෙන්වන්න බැහැ. යන පාරෙන් නෙවෙයි එන්න තියෙන්නේ. කුස්සියට යන්නේ වෙන පාරකින්.
රන්ජන්- මාලිගාවක්ලු නේද?
ශානි- ඔය අපි දන්න ගේ. පිටරට තියෙන ඒවා.
රන්ජන්- අනිවාර්යයෙන් සේනාධිපති ඇමෙරිකාවේ එහෙම ගෙවල් අරන් දීල ඇති.
ශානි- අපෝ ඔව් ඔව්. නැත්නම් ඔය තරම් කඬේ යන්න ඕනෙද සර්?
රන්ජන්- මොනවද කතා. මොන තරම් කඬේ යෑමක් ගියාද. ඒ කියන්නේ කිව්වනේ එයා අධිකරණ ඇමැති ඉන්නකම් ගෝඨාභයවත්, සේනාධිපතිවත් අත්අඩංගුවට ගන්න බැහැ කියලා කිව්වනේ.
ශානි- ඇත්තටම ඒක කළානේ සර්. නීතිපතිව සම්පූර්ණයෙන්ම බ්ලොක් කළේ නීතිපතිව සම්පූර්ණයෙන්ම නැති කළේ ඔය කාලකණ්ණි මිනිහනේ සර්.
රන්ජන්- ඒ වෙලාවෙන මං එළියට ඇවිත් කිව්වේ මෙයාට හොඳ කාන්තා කටයුතු ඇමැති කියලා. ඒකට මල පැනලා තමයි මිනිහගේ එකෙක් දාලා මට නඩු දැම්මේ.
රන්ජන් – ජනාධිපතිතුමා දවස් පහකට ඉස්සෙල්ලා මගෙ නම උඩින්ම දාලා අපිව පෙන්නුවා ෆාස්ට් ට්‍රැක් එකේ මේවා ඉවර කරන්න කියලා. ටෙම්පල් ටී්‍රස්වලට හෑන්ඞ් රයිටින්වලින් මගේ නම උඩින්ම ලියලා. රන්ජන් රාමනායක, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පාඨලී චම්පික, අජිත් පී. පෙරේරා කියලා පස් දෙනෙක්ගේ නම් ලියලා. ඩී.අයි.ජී. කවුද රවි සෙනෙවිරත්න. රවී විද්‍යාලංකාර පූජිත හිටියා. හත් දෙනෙක් ජනාධිපතිනියත් ආවා. චන්ද්‍රිකාත් ඇවිල්ලා වැලි අමුණත් ආවා. සාගල මැතිතුමත් හිටියා. කට්ටියම ඩිස්කසන් එක ඉවරවෙලා පාතට බහිද්දී මං ඇහුවා වැලි අමුණ මහත්තයගෙන් මොකක්ද මේ දුමින්ද සිල්වාට වෙන්නෙ. ඒක වැරැදි පාරකින් යනවද කියලා.
එතකොට ඒගොල්ලො කිව්වා නැහැ, නැහැ අපිට නම් ආරංචිය තියෙන්නේ හොඳ තැනක යන්නෙ කියලා. මං කාගෙවත් නම් කියන්නෙ නැතුව මම කිව්වා මට නිකං ආරංචියක් තියෙනවා දුමින්දගෙ අයියා අගමැතිතුමා අල්ලගෙන අගමැතිගෙ ලේකම් සුදත් අල්ලගෙන පජ්ලව තියන් කොන්ට්‍රෝල් කරනවා කියලා. ෂේප් කරලා කියලා වෙබ්සයිට්වල තියෙනවා කියලා. පිස්සුද රන්ජන් එතන ඉන්නෙ පද්මිණි රණවක ගුණතිලකයි අනෙක් අය නම් ටික කිව්වා. අනෙත් ජජ්ලාගේ නම් කියලා කිව්වා. උන් ජෙනුයින් අය එහෙම වෙන්න කියලා නම් ආරංචියක් නැහැ. දුමින්දට කෙළවෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නෙ. ඉතින් මම කටවහගෙන හිටියා. ඔයාගෙන් ආව ටික එක වෙනයි, මේ ආපු එක වෙනයි හින්දා සද්දෙ වහලා හිටියා.
ශානි – දැන් මං හිතන්නෙ එහෙම නම් සර්ගෙ කෝල් එකෙන් පස්සෙ වෙන්න ඕන.
රන්ජන් – ඉතින් ඔයානේ මාව බයකරලා මේ මාව නිකං මේව කරන්නෙ.
ශානි – හරි සර්, ඒ දවස්වල ඒ කිව්ව දේ තමයි මම කිව්වෙ සර්ට.
රන්ජන් – එහෙම දෙයක් තිබුණද බොරුවට බය වුණාද?
ශානි – නැහැ තිබ්බා. එහම එකක්. දැන් නම් කිසිම කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්න එපා. සර්ගෙ ගෙදර ඇවිල්ලා කුලී වැඩ කරන්නම්.
රන්ජන් – අපි දෙන්නගෙම ඉලක්කය අරයව යවන එකනෙ. ඉතින් ඒ හින්දා අපි දෙන්නම… ඔයා කිය විදියට දැන් මම කට වහගන්නම්. මට අප්සෙට් ගියේ ඔයා කියනවා වෙඩි කාලා මැරෙන්නම්, මට කවුරුත් නැහැ කියලා. එහෙම කිව්වම අපි අප්සෙට් යන්නෙ නැද්ද, මේ වගේ නිලධාරීන් දාල යනවා කිව්වම.
දැන් මගේ ප්‍රශ්නෙ මේකයි. මම මේ මැදින් පැනලා ඩිස්ටර්බ් කරලා අහන්නෙ කතාව. ඔයාගේ ටාගර්ට් එක දුමින්ද යවන එක. මගෙත් ටාගට් එක දුමින්ද යවන එක. භාරතගේ වයිෆ්ගේ ටාගර්ට් එක දුමින්ද යවන එක. හිරුණිකාගේ ටාගට් එකත් දුමින්දයාට දෙන්න. අපේ ඉලක්කය දුමින්දයාව යවන එක.
ඇයි අපි අපි හැප්පෙන්නෙ. රන්ජන්ගේ ටාගට් එකත් එක නේද?
ශානි – ඉතින් ඒකට හේතුව රන්ජන්නේ සර්.
රන්ජන් – ඒ කියන රන්ජන් ඉන්නෙ දුමින්ද පැත්තෙද.
ශානි – ඔව්. දෙයිහාමුදුරුවනේ එයත් එක්ක ඉන්නෙ.
රන්ජන් – ඉතින් අර ගෑනිනෙ මගේ නම්බරේ දීලා රන්ජන් මට කතා කරන්නෙ.
ශානි – නෑ. නෑ. වැල්ලම්පිටියේ ඉද්දි භාරත එක්ක බොහොම හිතවත්ව තමයි රන්ජන් හිටියෙ. වැල්ලම්පිටිය ඕ.අයි.සී. ක්‍රයිම්නෙ හිටියේ. ඔය වැඩවලට හිරුණිකාලා බොහොම ළඟින් ආශ්‍රය කරපු මිනිහෙක් රන්ජන්.
දැන් ඔය වාසියටනෙ ඔහොම ඉන්නෙ අවුරුදු හයක් මැන්ඬේට් කරලා රන්ජන්ට ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ප්‍රමෝෂන් එක දුන්නෙ.
රන්ජන් – ඉතින් අර භාරතගෙ ගෑනි රන්ජන්ගෙ ලණුව කාලනෙ ඉන්නෙ.
ශානි – ඒකනෙ මම කතා කරන්නෙවත් නැත්තෙ සර්. තරහවෙන්න එපා මෙහෙම කිව්වට. කැකුලාවල කියන සාක්‍ෂිකාරයෙක් රට ගිහිල්ලා ඉන්නවා. වැදගත් සාක්‍ෂිකාරයෙක්. මිනිහව ගෙන්නගන්න මම ඔය භාරතගෙ නෝනටයි, හිරුණිකාටයි කෝල් 15කට වැඩිය දුන්නා සර්. හැබැයි වැඬේ කරලා දුන්නෙ නැහැ අපිට.
රන්ජන් – අරූ වළක්වන්න ඇති එහෙනම්.
ශානි – මොකක් හරි කරලා දුන්නෙ නැහැ.
රන්ජන් – දෙයියනේ හිරුණිකා පොලිසියට සහයෝගය දෙන්න එපාය මේ වැඬේට.
ශානි – ඒවා වැඩක් නැහැ සර්. ඒවා ගැන පස්සෙ කතා කරමු. බැණපු එක තමයි අපිට කළේ සී.අයි.ඩී. එක මේක වහන්න යනවා කියලා.
හිරුණිකා මගේ නම කියලා බැනලා තියෙනවා.
රන්ජන් – පිස්සු මොකද වෙලා තියෙන්නේ. එයා රන්ජන්ගෙ ඇඞ්වයිස් ගත්තේ.
ශානි – බොහොම ස්වාධීන මනුස්සයෙක් තුසිත් මුදලිගේ. ඔය තංගල්ලෙ සභාපති හිරේ ඇරියේ එයා. ඔය ප්‍රසිද්ධ නඩු ගණනාවක් කරපු මනුස්සයා. කවද හරි දවසක සර්ට හම්බවුණාම අහන්න මේ රන්ජන් ඔයාගේ සාකච්ඡාවලට නොගෙන්වන්න හේතුව මොකද කියලා අහන්න.
රන්ජන් – දැන් ඔයා කියන්නෙ මට සයිලන්ට් ඉන්න කියලනෙ. මොකුත් කතා කරන්නෙ නැතුව ඉන්න කියලනේ නේද?
ශානි – බුදු අම්මේ වඳින්නම්. දැන් ඔක්කොම හොඳ පැත්තට කැරැකිලා තියෙන්නෙ.
රන්ජන් – ඔය කෝල් එක එදා දුන්නා නම් සයිලන්ට් ඉන්නවා ඔයානෙ මාව…
ශානි – එදා මේ තත්තවය තිබුණේ නැහැ. මම හිතන්නේ එහෙමනම් සර්ගෙ කෝල් එකෙන් පස්සෙ තමයි.
රන්ජන් – මම කිව්වා මැඩම්. මමත් ඇමැති කෙනෙක්නෙ වැඬේ කරගන්න. මම කිව්වා මැඩම් මුළු ලංකාවම බලන් ඉන්නෙ ජනවාරි 9 වැනිදා තීරණෙ ගැන. මොන තීරණයද? මම කිව්වා දුමින්ද සිල්වාගේ නඩුව ගැන. ඉතින් ඇයි මොකක්ද? මම කිව්වා මැඩම් මේක මහා දවල් වුණු මිනීමැරුමක්නෙ. මුළු ලංකාවම දන්නවනේ ඉතින්? ඉතින් මම කිව්වා. මුළු ලංකාවම දන්නවනේ ඔබතුමිය ශ්‍රේෂ්ඨ… එයාව ඉතින් මුරුංගා අත්තේ තිබ්බා. මම බොහොම හොඳ නමක් තියෙන ක්‍රෙඩිබිලිටියක් තියෙන.. හරි හරි කට්ටියක් එනවා දැන් මං තියන්නම් කිව්වා.
ශානි – ලොකු බේරිල්ලක් බේරිලා තියෙන්නෙ. ඊට වැඩිය එහෙම කිව්වා නම් මේකයි ජජ්ස්ලා කැමැති නැහැ. සර්. ඒ ගොල්ලො අතරේ මොනවා හරි තිබුණ වුණත් ඒවාපිටට යනවාට.
රන්ජන් – හැබැයි ඔයා දන්නවද ඉස්සර නඩුවකින් මාව බේරලා තියෙනවා. එයා දන්නවා මම කෙළින් කතා කරනවා කියලා. විජයදාස රාජපක්‍ෂගේ වෙඩින් එකේදී මෙයා හම්බවුණා. මං ළඟ ඇවිල්ලා වාඩි වුණා. මේ ඔයා මෙතැනින් යන්න මාත් නිළියක් කියලා හිතයි. දැන් මෙතැන ෆොටෝ අරන් මමත් මල්ගහේ වටේ දුවන නිළියක් කියලා හිතෙයි. ඔයා කරුණාකරලා මෙතැනින් යන්න.
මං කිව්වා නෑ මං ඉන්නවා. මං ෆොටෝ එකක් අරන් දානවා පත්තරේට මේ රන්ජන් විහිළු නොකර ඉන්න කිව්වා. ඊට පස්සෙ කිව්වා ඔයා මගේ මහත්තයා හම්බවෙලා තියෙනවද? මේ ඉන්නෙ මගේ මහත්තයා කියලා අඳුන්වලා දුන්නා. මං කිව්වා ඔයාගෙ නොම්බරේ නැතුව මං යන්නෙ නැහැ. මං කිව්වා. ආ එහෙනම් හොරෙන් ලියාගන්න කියලා තමයි නොම්බරේ දුන්නෙ.
මුළු මේසෙම ජජ්ස්ලා. අනෙක් ජජ්ස්ලාට පේන්නැතිවෙන්න ලියාගන්න කිව්වා. හරි හරි මං ගහගන්නම් කියලා තමයි නොම්බරේ ගත්තේ.
රන්ජන් – මං කිව්වා මැඩම් ගොඩක් උසාවි දූෂණ තියෙනවා මට ඕවා පාර්ලිමන්ට් එකේ කියන්න කියලා. එයා දන්නවා මං කවදාවත් එයාගෙන් උදව් ඉල්ලන්නෙ නැහැ. මට කිසිම ප්‍රශ්නයක් නැහැ මේකෙ. මං කාවවත් මරලා නැහැනේ.
ඉතින් එයා දන්නවා මං කතා කරන්නෙ රට වෙනුවෙන් කියලා. මෙහෙම මිනී මරලා ඇම්බියුලන්ස්, ෆ්ලයිට් දාගෙන මෙහෙට යන්න පුළුවන්නම් මවුන්ට් එළිසබෙත් එකට මේ රටේ නීතියක් නෑනේ එහෙනම්.
රන්ජන් දැන් කියන කතාව
කෙසේ නමුත් පොලිසියට බාර දුන් තම පෞද්ගලික තොරතුරු මාධ්‍යයට නිරාවරණය වීම සම්බන්ධයෙන් මේ වන විට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණය ඉදිරියේ මෝසමක් ගොනු කර ඇත. එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ තමන් ඉදිරියේ මුද්‍රා තැබූ සීඩී තැටිවල සටහන්ව තිබූ තොරතුරු මාධ්‍යයට නිරාවරණය වූ ආකාරය පිළිබඳව තමන් පුදුමයට පත් වන බවය. තමන් මේ ආකාරයෙන් කටයුතු කළේ තමන්ගේ ආරක්ෂාව සඳහා බවද මන්ත්‍රීවරයා එහිදී පවසා සිටියේය.
“දූෂණ විරෝධී හුදෙකලා සටන්කරුවෙක් විදියට මට විවිධ පාර්ශ්ව එක්ක කතා කරන්න වෙනවා. මම මගේ පෞද්ගලික නඩුවලට විනිසුරුවන්ට බලපෑම් කරලා නැහැ. මම කතා කළේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් අනුමත කරපු නඩුවක් ගැන. මේක රටම දන්න නඩුවක්. දැන් නාළිකාවල කියනවා මම බලපෑම් කරලලු මේ අයව ඇතුළට දැම්මේ. මීනී හතරක් මැරිලත් මේ අය කියනවා මැරුවේ නැහැ කියලා. ශානි අබේසේකර කියන්නේ මම දැක්ක ශ්‍රේෂ්ඨ සී. අයි. ඩී. නිලධාරියෙක්. එයා රෝයල් පාර්ක් නඩුවේ ලේ පැල්ලමක ඩී. එන්. ඒ. එකක් අරන් තමයි ජූඞ් සමන්තව අල්ල ගත්තේ. අන්තිමට මොකක්ද වුණේ. පාර්ලිමේන්තුවේ ඉන්න එක්තරා පූජකයෙන් කෝටි තුනක් අසපුවට අරන් හිටපු ජනාධිපතිතුමා විශ්‍රාම යන්න දවස් හතරක් තියෙද්දී ඒ චූදිතයාව නිදහස් කර ගත්තා. උදේ නිදහස් වුණු චූදිතයා හැන්දෑවේ සිංගප්පූරු ගියා. පැනලා ගියා. එතකොට කවුද අධිකරණයට බලපෑම් කළේ. රන්ජන් රාමනායකද? මේ අය. මම කතා කළේ ඕවා ගැන. ශානි අබේසේකර කියන්නේ ප්‍රදීප් එක්නැලිගොඩ නඩුව, ලසන්ත වික්‍රමතුංග නඩුව, කරන්නාගොඩ අතුරුදහන් කරපු නඩුව වගේ ඒවා කරපු හොඳම ඔෆිසර් කෙනෙක්. මේ හොරුන්ට ශානිව පෙන්වන්න බැහැ. මම ශානි වෙනුවෙන් පෙනී ඉන්නවා. ශානි තාම ගෙදර ස්ලැබ් එකක් දා ගන්න බැරුව ණය ගෙවන පොලිස්කාරයෙක්. මම කරන සටන කුපාඩි එකක් වෙන්න පුළුවන්. කුපාඩි හොරුන් එක්ක හොඳ සටනක් කරන්න පුළුවන්ද? මා එක්ක කතා කරපු ගෑනු ළමයා කියනවා නයිට් ක්ලබ්වල කොකේන් ගහන මන්ත්‍රීවරු ගැන. මම තොරතුරු ගන්නේ අමුතු විදියට. රංගේ වගේම මාව ගන්න අල්ලස් දෙන්න කතා කරපුව තව තියෙනවා. මම මේවා එකක්වත් දාන්න නෙවෙයි හිටියේ. මං මේවා මගේ ආරක්ෂාවට තියා ගත්තේ. මම ජනතාවට කියන්නේ ඕනෙ නම් මාව විශ්වාස කරන්න. නැත්නම් නිකං ඉන්න. ඒකෙන් මට නම් වැඩක් නැහැ. පහුගිය බැඳුම්කර වංචාවෙදි ඒ පාර්ශ්ව මා එක්ක කතා කරපුවත් මගෙ ළඟ තියෙනවා. මේ අය හරියට සෙට් කරලා ප්ලෑන් කරලා තමයි මේක කළේ. හැබැයි මේ අය මේක කරගත්තේ භූමරංගයක්. මේක බෝම්බයක් අරන් බැඳ ගත්තා වගේ වැඩක්. මේකේ තියෙන දේවල් ආපසු හැරෙන්නේ ඒ අයටමයි.”
හිරුණිකා කියන කතාව
මේ අතර මේ සිදුවීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදහස් දැක්වූයේ මෙසේය. “මට කියන්න කොතැනද රන්ජන් රාමනායක විසින් අහවල් නඩු තීන්දුව අර විදියට කරන්න කියලා කියන්නේ. ඔහු ශානිගෙන් අහන්නේ මොකක්ද? අහන්නේ නඩුවට මොකද වෙන්නේ කියලා. නඩුවට හොඳ දෙයක් වෙයි කියලා ඔහු අනිත් පැත්තට කියනවා. මහජන නියෝජිතයෙක් විදියට ඕනම කෙනකුට කතා කිරීමේ අයිතිය ඔහුට තියෙනවා. පද්මිණී රණවක මැතිනිය රන්ජන් රාමනායක මැතිතුමාට කියන්නේ මේ අධිකරණ ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්නයක් පිළිබඳව. අධිකරණ ක්ෂේත්‍රයේ, පොලිස් ක්ෂේත්‍රයේ ඇතුළු රාජ්‍ය අංශයේ හැම තැනම උසස් වීම් පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම නැත්නම් වෙන කාට හරි කමක් නැහැ මේ උසස්වීම් ටික හරියට කරන්න කියලයි එතුමිය කියන්නේ. ඇයගේ අවුරුදු 17 තුළ ඉතාමත් නීතිගරුකව, ඉතාමත් ගුණකරුකව රාජකාරි කළ බව ඇය පැහැදිලිවම කියනවා. මම පුළුවන් තරම් වෙහෙස වෙලා සාධාරණ විදියට කටයුතු කළා කියලා ශානි අබේසේකර කියනවා. දැන් පොලිසියෙන් අත්අඩංගුවට ගත්ත තැටි ටික තියෙන්නේ මහේස්ත්‍රාත් උසාවියේ. හැබැයි ඒ පටිගත කිරීම් පැය කිහිපයක් යද්දී දේශපාලනඥයන් අතට පත් වෙනවා. රූපවාහිනී නාළිකා අතට පත් වෙනවා. ඒක කොහොමද වෙන්නේ. මේ නඩු භාණ්ඩ මේ විදියට එළියට ගිය ආකාරය පොලිසිය කියන්න ඕනේ.”
අලුත්ගමගේ-ගම්මන්පිලගේ පරස්පර කතා
මේ අතර රන්ජන් රාමනායක මහතා සතු හඬ පට පිළිබඳව තොරතුරු අනාවරණය වූ අන්දම සම්බන්ධයෙන් රජයේ නියෝජිතයන් විසින් පරස්පර විරෝධී අදහස් පළ කිරීමද විශේෂත්වයක් වී ඇත. ඒ පිළිබඳව උදය ගම්මන්පිල මහතා අදහස් දැක්වූයේ මෙසේය.
“අපි දන්නවා මේක සිදුවුණු ආකාරය. රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා දුරකතනයේ ඉඩ මදි වුණාම මේ පටිගත වෙලා තියෙන සංවාද හාඞ් ඩිස්ක් එකකට එහෙම නැත්නම් සීඩීවලට පිටපත් කර ගෙන තියෙනවා. මේ ක්‍රියාවලිය කරන්න සම්බන්ධ එතුමාගේ මිත්‍රයෙක්. මං හිතන්නේ අමනාප වෙලා වෙන්න ඕනේ. මේ සියල්ල පිටපත් කර ගෙන දේශපාලකයකුට ලබා දීල තියෙනවා. ඒ දේශපාලකයා ඒක පොලිසියට යොමු කරලා තියෙනවා. පොලිසිය ළඟ තියෙන සෑම පිටපතක්ම ඒක පොලිසියට ලබා දුන් පුද්ගලයා ළඟත් තියෙනවා. ඔහු ඒවා කලින් හෙළිදරවු නොකළේ, එහෙම කළා නම් රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා මේවායේ තියෙන ඔරිජිනල් පිටපත් ටික විනාශ කරයි කියලා. එහෙම වුණා නම් මේ සිදු වෙලා තියෙන මහා අපරාධය ලොවට හෙළිදරව් කර ගන්න බැරි වෙනවා. ඒ නිසා පොලිසිය විසින් ඔරිජිනල් ටික අත්අඩංගුවට ගන්න තෙක් ඔහු ඒ පිටපත් ටික ප්‍රසිද්ධියට පත් කළේ නැහැ. රන්ජන් රාමනායක මන්ත්‍රීතුමත් හිස ගිනි අරගෙන මේ පුද්ගලයා කවුද කියලා හොයනවා. මේ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාට නඩු පැවරුණාම පළමුවැනි සාක්ෂිකරු බවට පත්වෙන්නේ කවුද? අන්න එයා තමයි ඒ පුද්ගලයා.” ගම්මන්පිල මහතා අදහස් දැක්වූයේ එසේය.
නමුත් අදාළ සීඩී තැටි පොලිසියට හමු වීම පිළිබඳ මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයා අදහස් පළ කළේ මෙසේය. “රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් දුරකතනයෙන් කරන ලද සංවාද එක්ලක්ෂ විසිඑක්දහසක් මේ වන විට පොලිසියව අත්අඩංගුවට අර ගෙන තියෙනවා. දැන් බොහෝ අය ප්‍රශ්න කරනවා මේ සීඩී තැටි දේශපාලනඥයන්ට හම්බ වුණේ කොහොමද කියලා. අපි ඔබට කියන්න ඕනේ මේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මේ සීඩී පට ලැබුණු ආකාරය පිළිබඳව. මාදිවෙල නිවෙසේ ඉඳලා පුද්ගලයෙක් ත්‍රී රෝද රථයකට අත දානවා. මොහු වාහනයේ නැඟලා යන ගමන් ඔහුගේ ජංගම දුරකතනයෙන් කියනවා මෙහෙම. හැමදාම රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා එන්න කියනවා. ආවට වැඩක් නැහැ අපිව රස්තියාදු කරලා යවනවා කියලා එයා කියනවා. එහෙම කිය කිය මෙයා ත්‍රී වීල් එකේ සිරිකොත පැත්තට යනවා. එහෙම යද්දී මෙයාට කෝල් එකක් එනවා රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා ආවා කියලා. මෙයා කලබල වෙලා ත්‍රී වීල් එකෙන් බැහැලා සල්ලි ටික දීල යන්න යනවා. ඊළඟට ත්‍රීවීල් එකට නඟින පුද්ගලයා තමයි රියැදුරාට කියන්නේ කෙනෙක් බෑග් එකක දාලා ගිහින් කියලා. මේ බෑග් එක ඇරලා බැළුවම බෑග් එකේ ෆයිල් ගොඩක් තියෙනවා. තොරතුරු ගොඩක් තියෙනවා. වටේම හොයලා බැලුවම අදාළ පුද්ගලයා අහල පහළ නැහැ. මේකේ තියෙන දේ බැලුවම මේකේ සීඩී තැටි කිහිපයක් තියෙන බවත් ඔහු දකිනවා. ඒ වගේම මේකේ පොලිසිවල නඩු වාර්තා බී රිපෝර්ට් වගයකුත් තියෙනවා. ඒ නිසා ඒ රියැදුරා ඒ සියල්ල මිරිහාන පොලිසියේ අයි. පී. ජයන්ත මහත්තයාට බාර දෙනවා. හැබැයි ඒ සීඩී තැටි වලින් කිහිපයක් නොදැනුවත්ව මේ රියැදුරු මහත්තයත් අරගෙන තියෙනවා. ඒ හරහා මේ සීඩී තැටි මාධ්‍ය හිමිකරුවන් අතට පත් වෙනවා. දැන් මේක හැමතැනටම ගිහින් තියෙනවා. දැන් මේක පාලනය කර ගන්න බැරි තැනට පත් වෙලා තියෙනවා.
චන්දන පොන්නම්පෙරුම











