මහින්ද-බැසිල්-නාමල් ආරාධනා කරලත් ආවේ නෑ!
VVIP මේසයට සුසිල්ගෙන් සුපිරි බ්‍රැන්ඩි බෝතලයක්!
ඡන්දය කල්දාන්න හැම තැනම රහස් සාකච්ඡා! නීති උපදෙසුත් අරන්!
ඡන්දෙ ගන්න සජිත්-ඩලස් පිල වෙනම මෙහෙයුමක!
ආණ්ඩුවට ඡන්ද අරහං!
ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මහපාරට බැස ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට අරගල කොට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කළ පසු රටේම අතිබහුතරයක් ජනතාව පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව පවා බලාපොරොත්තු වූයේ නව ජනවරමක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරනු ඇති බවකි. මන්ද 69 ලක්ෂයක් ජනතාව ජනවරමක් ලබාදී පත්කරගත් ජනාධිපතිවරයා රටින් පලා යෑමට පියවර ගත්තේය. 68 ලක්ෂයක් ජනතාව ඡන්දය දී පත්කරගත් අගමැතිවරයා ඒ වන විටත් සිටියේ අගමැති ධුරයෙන් ඉවත්වය. එවැනි පසුබිමක් යටතේ ජනවරම් දෙකම අහෝසි වී තිබුණු බැවින් නව ජනවරමක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී රජයක්, පාලනයක් බිහිකිරීම සඳහා මැතිවරණ පැවැත්වීම අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස මෙරට අතිබහුතරයක් පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවත් දුටහ.
රනිල් පොහොට්ටුවට දීපු පොරොන්දුව!
නමුත් ගෝඨාගෙන් පසු බලය අතට ගත් රනිල් වික්‍රමසිංහ මහතා මුල සිටම පොහොට්ටුවට ලබාදී තිබූ පොරොන්දුවක් වූයේ පාර්ලිමේන්තුවේ නියමිත කාලය අවසන් වන තුරු මැතිවරණ නොපවත්වන බවටය. වරක් දෙවරක් නොව අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා එය පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශයට පත්කොට තිබිණි. එපමණක් නොව මේ වන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සිටින්නේ ලබන මාර්තු 20 දිනට පවත්වා අවසන් කළ යුතුව ඇති පළාත් පාලන මැතිවරණයද කුමන හෝ උප්පරවැට්ටියක් යොදා කල්දමාගැනීමේ අරමුණින් යුතුවය.
ආණ්ඩුව ගහපු ගේම් ටික!
මේ සඳහා උපක්‍රම කිහිපයක්ම දියත් කිරීමට ආණ්ඩුව පසුගිය කාලසීමාවේ කටයුතු කළේය. ඉන් එකක් වූයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ධුර 8,000 ඉක්මවා සිටින බවත්, එය 4,000 දක්වා අඩුකළ යුතු බවත් ප්‍රකාශ කිරීමය. දෙවැන්න වූයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සතු බලය කණ්ඩායමකට විමධ්‍යගත කළ යුතු බවට ප්‍රකාශ කිරීමය. තුන්වැන්න වූයේ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ නායකත්වයෙන් යුතුව සීමා නිර්ණය කිරීම සඳහා නව කමිටුවක් පත්කිරීමය. සිවුවැන්න වූයේ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සංකල්පයකට අනුව යළිත් ගම්සභා ක්‍රමය කරළියට ගෙන ඒමය. ඒ සම්බන්ධයෙන් කරු සහ සිවිල් ක්‍රියාකාරයකු වන වික්ටර් අයිවන් කැබිනට් මණ්ඩලයට පවා පැමිණ කැබිනට ඇමැතිවරුන් දැනුවත් කිරීමට පියවර ගත්හ. නමුත් මේ සියල්ල පිළිබඳ විපක්ෂය වරින් වර ජනතාව දැනුවත් කිරීමට පියවර ගැනීමත් සමග ඒ හරහා ඡන්දය කල්දමන වැඩේ තරමක් අපහසු බව ආණ්ඩුවට දැකගන්නට ලැබිණි.
කැබිනට්ටුවේ ගහපු අලුත්ම ගේම!
ඒ අනුව ආණ්ඩුව තවත් අලුත් සැලසුම් කිහිපයක්ම පසුගිය සතිය වන විට ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබිණි. ඉන් එකක් වූයේ පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය 25%ක් විය යුතු බවටත්, වියදම් නියාමනය කළ යුතු බවටත් වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට වැඩි සද්ද බද්දයකින් තොරවම සම්මත කරගැනීමට පියවර ගැනීමය. දෙවැනි සැලැසුම වී තිබුණේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පිහිටුවූ ව්‍යවස්ථාදායක සභාවට කඩිනමින් නියෝජිතයන් පත්කර අවසන් කොට ඒ හරහා මැතිවරණ කොමිසම ඇතුලු අනෙකුත් කොමිසම්වලට තමන්ට හිතවත් නියෝජිතයන් පත්කර මැතිවරණ කල්දැමීමට පියවර ගැනීමය.
සුසිල් හදිස්සි කළේ ඇයි?
මෙම දෙවැනි සැලසුමට අනුව පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පක්ෂ නායකයන්ට දැනුම් දී සිටියේ ලබන 13 වැනි දිනට ප්‍රථම ව්‍යවස්ථාදායක සභාව පිහිටුවා අවසන් කළ යුතු බවත්, දැනට එහි හිස්ව පවතින ස්වාධීන නියෝජිතයන් තිදෙනා හැකි ඉක්මනින් පත්කළ යුතු බවත්ය. සුසිල් මෙම කරුණු දිගින් දිගටම මතුකිරීම හේතුවෙන් ඒ පිළිබඳ සැක මතුවූ සජිත් කියා සිටියේ දැනටමත් ඒ සඳහා සිවිල් පුරවැසියන්ගෙන් අයැදුම්පත් කැඳවා ඇති බවත්, නිවැරැදි නියෝජිතයන් තිදෙනකු ඒ හරහා පත්කරගැනීමට කටයුතු කළ යුතු බවත්ය. ඊට මද කාලයක් අවශ්‍ය බවද සජිත් එහිදී කියා සිටියේය. නමුත් ආණ්ඩුවේ බලපෑම හමුවේ මෙහි යම් සැඟවුණු සැලැස්මක් ඇති බවට වූ කුකුසක් සජිත්ට මතුව තිබිණි.
සජබය විරුද්ධ වෙයි!
මෙම තත්ත්වය යටතේ සජබ ජ්‍යෙෂ්ඨයන්ද සඳුදා දිනයේදී මුණගැසී ආණ්ඩුවේ මේ හදිසිය පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී සියලු දෙනාම පාහේ සජිත්ට පෙන්වා දුන්නේ ආණඩුව මේ හරහා පළාත් පාලන ඡන්දය කල්දැමීමේ උත්සාහයක් දියත් කරමින් සිටින බවත්, ඊට එරෙහිව වහාම පියවර ගත යුතු බවත්ය. ඒ අනුව අඟහරුවාදා දිනයේදී සජබ මන්ත්‍රීවරුන් වූ ලක්ෂ්මන් කිරිඇල්ල, නලින් බණ්ඩාර, තුෂාර ඉඳුනිල්, එස්.එම්. මරික්කාර් වැනි මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ආණ්ඩුවේ සැලසුම රටට හෙළිකිරීමට පියවර ගත්හ. එහිදී මරික්කාර් කියා සිටියේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ පවත්වන තෙක් විපක්ෂ නායකවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට සිවිල් පුරවැසියන් පත්කිරීම නොකරනු ඇති බවය. මෙම පසුබිම යටතේ ව්‍යවස්ථාදායක සභාව හරහා මැතිවරණ කල්දැමීමේ ආණ්ඩුවේ සැලසුම අතේ පත්තු වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
පුංචිහේවා ඡන්ද තියයිද?
මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සම්බන්ධයෙන්ද යමක් සඳහන් කළ යුතුය. එහි සභාපති නිමල් පුංචිහේවා මහතා යනු රාජපක්ෂවරුන්ට අතිශය සමීප අයකු බව අප මෙම තීරයේ මීට පෙරද සඳහන් කර සිටියෙමු. පසුගිය දිනෙක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාද මේ බව පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධියේ සඳහන් කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් සජබයත්, විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂත් පසුගිය කාලයේදී වරින් වර මැතිවරණ කොමිසමේ නියෝජිතයන් මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී කොමිසම පෙන්වා දී තිබුණේ නියමිත කාලයට මැතිවරණය පවත්වන බවත්, 2023 ඡන්ද නාමලේඛනය සකස් කොට අවසන් වූ වහා එම කටයුතු ආරම්භ කරන බවත්ය. නමුත් පහුවන විට කොමිසම හිටිහැටියේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වැට උඩ සිට කතා කරද්දී සජිත් ඇතුළු විපක්ෂයේ කණ්ඩායමක්ම ගොස් ඒ පිළිබඳ කොමිසම සමග සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී කොමිසම කියා සිටියේ මේ වන විට සියලු කටයුතු අවසන් අදියරේ පවතින බවත්, දෙසැම්බර් 9-10 වන විට මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය නිකුත් කළ හැකි බවත්ය. ඒ අනුව සජිත් එළියට පැමිණ කොමිසම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වමින් දෙසැම්බර් 9 හෝ 10 වනවිට මැතිවරණය කැඳවීමට කොමිසම කටයුතු කරනු ඇති බව ප්‍රකාශ කිරීමට පියවර ගෙන තිබිණි.
පුංචිහේවා කිසිම දෙයක් කරලා නෑ!
නමුත් පසුගිය සතිය වන විට යළිත් ගැටලුවක් මතුවූයේ කොමිසම ඇතුළෙන් විපක්ෂයට ලැබුණු විශේෂ පණිවුඩයක් මුල් කරගෙනය. එම පණිවුඩයෙන් කියැවුණේ මැතිවරණය පවත්වන බව කීවද ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු කිසිවක් මැතිවරණ කොමිසම මගින් සිදුකොට නැති බවය. ඒ සඳහා අවශ්‍ය අයවැය ලේඛන සකස් කිරීම, නිලධාරීන් බඳවාගැනීම යනාදී කිසිවක් කොමිසම පැත්තෙන් සිදු නොකරන බව එම පණිවුඩයෙන් වැඩිදුරටත් දැනුම්දී තිබිණි. ඒ අනුව ආණ්ඩුව මැතිවරණය කල්දැමීම සඳහා කුමක් හෝ ගේමක් ගසමින් සිටින බවට විපක්ෂයේ වූ සැකය මෙම පණිවුඩය හරහා තීව්‍ර වූ ආකාරයත් දැකගන්නට ලැබිණි.
සජිත් ජී.එල් විශේෂ සාකච්ඡාවක!
ඒ අනුව වහාම සජිත් කළේ මේ පිළිබඳ විපක්ෂය නියෝජනය කරන මහාචාර්ය ජී.එල්.-ඩලස් පිල සමග සාකච්ඡා කිරීමය. එහිදී ජී.එල්. ඩලස් පිලද කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාව පත්කිරිම හරහා ඡන්දය කල්දමන ආණ්ඩුවේ සැලසුමට ඉඩදිය යුතු නැති බවය. මෙහිදී පිරිසට තවත් සැකයක් මතුවූයේ සාමාන්‍යයෙන් අයවැය විවාදය අවසන් වූ පසු සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුව නව වසර දක්වා කල්තැබීම සිදුකරන නමුත් මෙවර එසේ නොකොට ලබන 13 වැනිදාට විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීම හේතුකොට ගෙනය. ආණ්ඩුව මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට යැයි කියමින් පාර්ලිමේන්තුව කැඳවා තිබුණද එහි මැතිවරණය කල්දමාගැනීමේ යම් උපක්‍රමයක් ඇති බවක් සියල්ලන්ගේම අදහස විය.
පුංචිහේවා උදේ වැඩ පටන් ගනී!
කෙසේ වෙතත් මෙම පසුබිම යටතේ මැතිවරණ කොමිසමේ නියෝජිතයන් අඟහරුවාදා දිනයේදී කැඳවීමට සභාපති නිමල් පුංචිහේවා මහතා පියවර ගෙන තිබිණි. එහිදී පුංචිහේවා නිලධාරීන්ට දැනුම්දී තිබුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ කටයුතු ආරම්භ කරන ලෙසටය. බදාදා දින පොහෝ දිනයක් වූ නමුත් අත්‍යාවශ්‍ය රාජකාරි රැසක් සිදුකිරීමට නියමිතව තිබූ බැවින් කොමිසමේ නිලධාරීන් ඒ අනුව තීන්දු කළේ බදාදා දිනයේදීද රාජකාරියට පැමිණ ඊට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමටය.
දවල් එපා කියයි!
නමුත් මේ ආකාරයට කොමිසමේ නියෝජිතයන් මැතිවරණ රාජකාරි කටයුතු ආරම්භ කොට සිදුකරගෙන යද්දී සභාපති නිමල් පුංචිහේවාට ඉහළින් දුරකතන ඇමතුක් ලැබී ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එම ඇමතුමෙන් පසු නැවත වතාවක් කොමිසමේ නිලධාරීන් හමුවී ඇති පුංචිහේවා ‘කැබිනට් එකේ සම්මත වෙලා තියෙනවා මැතිවරණ වියදම් ගැනයි, තරුණ නියෝජනය ගැනයි යෝජනාවක්. ඒක පාර්ලිමේන්තුවට දානවා කියලත් දැනගන්න ලැබුණා. ඒ නිසා හදිස්සි වෙන්න ඕනෙ නෑ. අපි තව ටිකක් බලමු…’ යනුවෙන් දැනුම් දීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් මෙහිදී කොමිසමේ අනෙකුත් නිලධාරීන් සියලු දෙනාම එක හඬින් කියා සිටියෙ පුංචිහේවා කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු තාලේ පිළිතුරකි.
පුංචිහේවාට නියම උත්තරයක්!
‘සභාපතිතුමා, මොකක්ද මේකෙ තේරුම? ඔබතුමා උදේට කියනවා ඡන්දය තියන වැඩ පටන්ගන්න කියලා. හවසට කියනවා තවත්වන්න කියලා. අපට එහෙම කරන්න බෑ. මේක කොමිසමක්. අපේ රාජකාරිය තමයි නියමිත කාලයට ඡන්දය තියන එක. දැන් ඡන්දය නවත්වන්න පුළුවන් උසාවියට විතරයි. ඒ නිසා අපි අපේ රාජකාරිය දිගටම කරගෙන යනවා…’ යන්න කොමිසමේ නිලධාරීන් පුංචිහේවාට ලබා දුන් පිළිතුර විය. ඒ කිව්වා වාගෙම ඔවුහු බදාදා පෝය දිනයේදීද රාජකාරියට පැමිණ මැතිවරණයට අදාළ කටයුතු ඉදිරියට ගෙන යෑමට පියවර ගත්හ.
විජයදාස ඉක්මන් වෙයි!
කෙසේ වෙතත් කොමිසමේ නිලධාරීන් පුංචිහේවාට ලබාදුන් පිළිතුර වැඩි වේලාවක් යෑමට මත්තෙන් ආණඩුවේ ඉහළ තැන්වලටද ගිය බව අපගේ විශ්වාසයය. මන්ද යත් බ්‍රහස්පතින්දා දින උදෑසනම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඒ පසුබිම පිළිබඳ හොඳින් දැනගෙන විය යුතුය.
ඒ අනුව බ්‍රහස්පතින්දා දහවල් සිටම සජබ සහ ඩලස්, ජී.එල්. පිල අතර ආණ්ඩුවේ ඡන්ද කල්දැමීමේ අලුත් තුරුම්පුව පිළිබඳ සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්විණි. එහිදී දෙපාර්ශ්වයම ආණ්ඩුව මෙම පනත හරහා ඡන්දය කල්දැමීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කළහ. එම තීන්දු තීරණ සියල්ල සජිත්ටද දැනුම්දීමට ඔවුහු පියවර ගත්හ.
කොමිසම දෙකට බෙදෙයි!
කෙසේ වෙතත් විජයදාස මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පුංචිහේවාද මැතිවරණ කොමිසමේ නියෝජිතයන් සමග මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වීමට පියවර ගත්තේය. එහිදී පුංචිහේවා මුලින්ම දැනුම් දී තිබුණේ තමන් කලින් කී ආකාරයටම ආණ්ඩුව අලුත් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බවය. නමුත් කොමිසමේ සෙසු නිලධාරීන්ගේ තීරණය වූයේ ආණ්ඩුව කුමක් කළත් මැතිවරණ කොමිසම ආරම්භ කළ කටයුතු ඉදිරියට පත්වාගෙන යා යුතු බවකි. එමෙන්ම පළමුව මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිවේදනය ප්‍රකාශයට පත්කළ යුතු බවද නිලධාරීන්ගේ ස්ථාවරය විය. ඒ අනුව බ්‍රහස්පතින්දා සවස් වරුවේ මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා මහතාගේ අස්සනින් නිකුත් වූ නිවේදනයක සඳහන් වූයේ පළාත් පාලන මැතිවරණය කැඳවීම සම්බන්ධයෙන් වූ නිවේදනය දෙසැම්බර් මස අවසන් සතියේ නිකුත් කිරීමට තීරණය කොට ඇති බවය. නමුත් මෙම නිවේදනය නිකුත් වීමෙන් පසුවද විපක්ෂයේ බොහෝ දෙනා පෙන්වා දුන්නේ මේ මොහොත වන විටත් එම නිවේදනය නිකුත් කිරීමේ හැකියාව කොමිසමට තිබුණද එය දෙසැම්බර් අවසාන සතිය දක්වා කල්දැමීමට පියවර ගෙන තිබීම තුළ මැතිවරණය කල්දැමීමට ආණ්ඩුවට අවශ්‍ය කාලසීමාව කොමිසමේ සභාපතිවරයා විසින් ලබාදී ඇති බවට බරපතළ සැකයක් මතුවන බවකි.
බැසිල් වැඩ පටන් ගනියි!
මෙම පසුබිම යටතේ පොහොට්ටුවේ මහමොළකරු වන බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ සියලු දෙනාටම පෙනෙන්නට මෙන් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට පියවර ගත්තේ පොහොට්ටුව නියෝජනය කරන පළාත් පාලන ආසන නියෝජිතයන් ගෙන්වා සාකච්ඡා කිරීමට පියවර ගැනීම හරහාය. එහිදී බැසිල් මුලින්ම කැඳවූයේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් පාලන ආයතන නියෝජිතයන්ය. එහිදී බැසිල් මතුව ඇති තත්ත්වය පොහොට්ටු නියෝජිතයන්ට දැනුම් දී මැතිවරණය පැවැත්වීමටත්, නොපැවැත්වීමටත් ඉඩ ඇති බවත්, ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානමින් සිටිය යුතු බවත් ඔවුන්ට දැනුම් දීමට පියවර ගත්තේය.
බැසිලුත් ඡන්දය කල් දාන තැනක!
මේ ආකාරයට මැතිවරණය පැවැත්වෙනු ඇති බවක් බැසිල් ඔවුන්ට සඳහන් කළද බැසිල් මේ වන විට සිටින්නේ කෙසේ හෝ මැතිවරණය කල්දැමිය යුතු ස්ථාවරයේ බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඊට හේතුව වී ඇත්තේ බැසිල් විසින් සිදුකරනු ලැබූ රහසිගත මත විමසුමේ ප්‍රතිඵලයය. අප පසුගිය සතියේ මෙම තීරයෙන් අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ බැසිල් මෙවැනි මත විමසුමක් සිදුකොට ඇති බවත්, එහි පළමු ස්ථානය සමගි ජන බලවේගයටත්, දෙවැනි ස්ථානය ජනතා විමුක්ති පෙරමුණටත්, තුන්වැනි ස්ථානය පොහොට්ටුවටත් හිමිව ඇති බවය. එමෙන්ම සජබ හා තුන්වැනි ස්ථානයේ සිටින පොහොට්ටුව අතර විශාල පරතරයක් එම මත විමසුමෙන් පෙන්වා දී ඇති බවත්, එම ප්‍රතිඵල එළියට දිය නොහැකි නිසා එම මත විමසුම අඩංගු ලේඛනය බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ බැසිල්ගේ කාමරයේ ඇති ලාච්චුවේ දමා අගුලු දමා ඇති බවත් අපි එහිදී පෙන්වා දුන්නෙමු.
රනිල් බැසිල් වජිර රහස් සාකච්ඡාවක!
කෙසේ වෙතත් මෙම මත විමසුමේ ප්‍රතිඵල ලැබීමෙන් පසු පසුගිය සතියේ ජනාධිපතිවරයා, බැසිල්, වජිර අබේවර්ධන ඇතුළු තවත් කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇති බවක් නිලනොවන ආරංචි මාර්ගවලින් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙම සාකච්ඡාවේදී වසරක පමණ කාලයකින් මැතිවරණය කල්දමා ගැනීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට තිබේ. අපට ඇති තොරතුරුවලට අනුව මෙම සාකච්ඡාව අතරතුරේදීම ඒ පිළිබඳ නීති උපදෙස් විමසීමටද ඔවුන් පියවර ගෙන ඇත. එහිදී නීති උපදෙස් විමසුවේ කවුද, නීති උපදෙස් ලබාදුන්නේ කවුද යන්න පිළිබඳ අප වෙත තොරතුරු ඇතත් මේ අවස්ථාවේදී අප එම තොරතුරු හෙළිදරව් කිරීමට කටයුතු නොකරමු. අවශ්‍ය වුවහොත් ඒවා ඉදිරියේදී හෙළිකිරීමටද අප සූදානම්ය.
කෙසේ වෙතත් මෙහිදී ලැබුණු නීති උපදෙස්වලින් කියැවුණේ ඔවුන්ට ඒ සම්බන්ධයෙන් මැදිහත් විය නොහැකි බවත්, එය ඉතා අපහසු කටයුත්තක් බවත්ය. නමුත් සීමා නිර්ණය කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් උපරිම මාස 06ක කාලයකට පමණක් මැතිවරණය කල්දමාගත හැකි බව එම නීති උපදෙස්වලින් වැඩිදුරටත් කියැවී ඇති බව පැවසේ. ඒ අනුව මැතිවරණය කල්දමා ගැනීම සඳහා දැන් ආණ්ඩුවට ඉතිරිව ඇති එකම විකල්පය මෙය පමණි.
ජවිපෙත් ආණ්ඩුවත් එක්ක!
අනෙක් අතට ආණ්ඩුව සහ පොහොට්ටුව පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණද සිටින්නේ පළාත් පාලන මැතිවරණය නොපවත්වා එය කෙසේ හෝ කල්දමාගත යුතු ස්ථාවරයකය. ඊට හේතුව, සිදුකර ඇති මත විමසුම්වලින් ජවිපෙ දෙවැනි ස්ථානයේ සිටියද ඔවුන් හා සමගි ජන බලවේගය අතර විශාල පරතරයක් තිබීමය. ඒ නිසා ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ පළාත් පාලන මැතිවරණය නොව මහ මැතිවරණයය. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවට ජවිපෙ එතරම් බලපෑමක් එල්ල නොකරන්නේ ඒ හේතුව නිසාය. ඒ අනුව සජබය සහ ඩලස් පිල පමණක් පළාත් පාලන මැතිවරණය ඉල්ලා සටනක් දියත් කර තිබියදී ආණ්ඩුවත්, පොහොට්ටුවත්, ජවිපෙත් යන කණ්ඩායම තුනම සිටින්නේ පළාත් පාලන මැතිවරණය නොපැවැත්විය යුතු ස්ථාවරයේ වීම විශේෂ සිදුවීමකි.
ආණ්ඩුවේ හැමතැනම පාටි පාටි පාටි!
මේ දිනවල දෙසැම්බර් උත්සව සමය නිසාදෝ හැම තැනම දක්නට ලැබෙන්නේ ප්‍රිය සම්භාෂණය. මධුවිතින් සපිරි සාදයන්ය. රාත්‍රී භෝජන සංග්‍රහයන්ය. කෑම බීමවල අධික මිල ගණන් නිසා සහ ජීවන වියදම විශාල ලෙස ඉහළ යෑම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට නම් මෙම ප්‍රිය සම්භාෂණ, රාත්‍රී භෝජන සංග්‍රහයන්, මධුවිතින් සපිරි සාද හීනයක් පමණක් වුණත්, මැති ඇමැතිවරුන්ට සහ ප්‍රභූ පැලැන්තියට දෙසැම්බර් මාසය යනු දිනපතාම වාගේ සාදවලින් අඩුවක් නැති මාසයකි. මේ බව තහවුරු කරමින් දෝ පසුගිය සතියේ අරලියගහ මැඳුරේ ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. අප ඒ බව ඉකුත් සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමටද පියවර ගත්තෙමු. එහිදී අප පෙන්වා දුන්නේ මෙම සාදයේදී මධුවිත ලබා නොදීමට පියවර ගෙන තිබූ බවත්, ඒ හේතුවෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පිටින් මධුවිත ගෙනැවිත් අරලියගහ මැදුරු පරිශ්‍රයේ තබාගෙන හිතවත් මැතිඇමැතිවරුන් සමග මදුවිත තොල ගෑ බවත්ය.
ජනපති එක්ක සෙල්ෆි ගසා වෙච්ච දේ!
කෙසේ වෙතත් මේ සතිය වන විට අපට මෙම සාදයේ අලුත් තොරතුරු කිහිපයක්ම වාර්තා විය. ඉන් එකක් වූයේ බිරින්දෑවරුන්ට ආරාධනා කර තිබුණද කිසිදු මැති ඇමැති බිරියක ඊට සහභාගි වී නොතිබීමය. එමෙන්ම සාදය අතරතුරදී සිදුවූ එක්තරා සිදුවීමක් හේතුකොට ගෙන කිසියම් අවුලක්ද මෙම සාදයේදී සිදුව තිබිණි. ඊට හේතුවී තිබුණේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ කලක සිට රාජකාරි කළ අයකු කළ ක්‍රියාවකි. මෙම සාදය මන්ත්‍රීවරුන්ට පමණක් සීමා කොට තිබුණත් තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් සමග ජනාධිපති මාධ්‍ය ඒකකයේ මෙම පුද්ගලයාද එදින අරලියගහ මැදුරේ සාදයට සහභාගි වී තිබිණි. සාදය අතරතුරදී මෙම පුද්ගලයා විවිධ මැති ඇමැතිවරුන් සමග සෙල්ෆි ගසමින් සිටියදී ජනාධිපතිවරයාද එම ස්ථානයට පැමිණි අතර එහිදී ඔහු ජනාධිපතිවරයා සමගද සෙල්ෆියක් ගැනීමට පියවර ගත්තේය. ඒ මොහොතේම ඔහු එය තම ෆේස්බුක් පිටුවේ පළකිරීමටද පියවර ගත්තේය. ප්‍රශ්නය මතුවුණේ එතැනින්ය. මෙය දුටු බොහෝ මන්ත්‍රීවරුන් ඉහළට පැමිණිලි කරමින් කියා සිටියේ මෙවැනි ආකාරයේ සාදය අතරතුරදී ගත් සෙල්ෆියක් ජනාධිපති මාධ්‍ය ඒකකයේ නියෝජිතයා විසින් සිය ෆේස්බුක් පිටුවේ පළකොට ඇති බවත්, රටේ ජනතාවට කන්න නැති මේ මොහොතේ මෙවැනි ඡායාරූප දැකීමෙන් ජනතාව කෝපයට පත්විය හැකි බවත්ය. මෙම පැමිණිල්ල ලැබීමත් සමග වහාම ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානීන්ද අදාළ පුද්ගලයාට කතා කොට වහාම එම ඡායාරූපය ඉවත් කරන ලෙසට දැනුම්දීමටද පියවර ගෙන තිබිණි. එපමණක් නොව පැමිණිලි දිගින් දිගටම ගලා ඒමට පටන්ගෙන තිබූ බැවින් එම සේවකයා ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ඉවත් කිරීමටද පියවර ගෙන ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
ප්‍රසන්න සුපිරි පාටියක් ලෑස්ති කරයි!
කෙසේ වෙතත් අරලියගහ මන්දිරයේ පැවැති මෙම සාදයට මධුවිත සපයා නොතිබීම නිසාත්, බිරින්දෑවරුන් සහභාගි නොවීම නිසාත්, මන්ත්‍රීවරුන්ගේ ඇඟට දැනෙන ආකාරයට සංගීතය නොතිබීම නිසාත් එතරම් ‘ගෝ එකක්’ එහි නොතිබිණි. මේ නිසාම මැති ඇමැතිවරු තැන් තැන්වල කසුකුසු ගාන්නට වූයෙන් ඊට පිළියමක් ලෙස තවත් සුපිරි පන්නයේ සාදයක් සංවිධාන කිරීමට යෝජනා විය. එම සාදය සංවිධාන කිරීමේ වගකීම භාරගත්තේ වෙන කවුරුවත් නොව ඇමැති ප්‍රසන්න රණතුංගය. ප්‍රසන්න යටතේ නාගරික සංවර්ධන අධිකාරිය පැවැතීම නිසාත්, ඒ යටතේ වෝටර්ස් එජ් හෝටලය පැවැතීම නිසාත් සාදය වෝටර්ස් එජ් හෝටලයේ පැවැත්වීමට තීරණය කෙරිණි. ඊට අදාළ ගෙවීම් කෙසේ සිදුවීදැයි තවමත් තොරතුරු වාර්තා වී නැත. ඒ අනුව ඉහළම පන්නයේ විස්කි සහ බ්‍රැන්ඩි ලබාදීම විවිධ මැති ඇමැතිවරුන් විසින් භාරගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. ඉහළම පන්නයේ වාදක වෘන්දයක්ද සාදයට රැගෙන ඒමට ප්‍රසන්න පියවර ගත්තේය. එමෙන්ම සියලු මැති ඇමැතිවරුන්ගේ බිරින්දෑවරුන්ට ආරාධනා කිරීමටද ප්‍රසන්න පියවර ගත්තේය.
ෆෝන් අරන් ඒම තහනම්!
මීට අමතරව ප්‍රසන්න හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාටද, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාටද, රාජපක්ෂ පවුලේ මැති ඇමැතිවරුන් වූ චමල් රාජපක්ෂ, ශෂින්ද්‍ර රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂටද උත්සවයට ආරාධනා කිරීමට පියවර ගත්තේය. එමෙන්ම ඒ සියලු දෙනා සඳහා විශේෂ මේසයක්ද සංවිධාන කිරීමට ප්‍රසන්න කටයුතු කළේය. ඒ අනුව මෙම සාදය ගෝඨාභය ලංකාවට පැමිණීමෙන් පසු මැති ඇමැතිවරුන් සමග එකට හමුවන පළමු අවස්ථාව ලෙස දැකගන්නට ලැබිණි. එමෙන්ම අරලියගහ මන්දිරයේ පැවැති සාදයේදී ජනාධිපතිවරයා සමග සෙල්ෆියක් ගසා ලොකු අලකලංචියක් සිදුවීම හේතුවෙන් මැති ඇමැතිවරුන් හැරුණු විට අනෙක් කිසිවකුටත් සිය ජංගම දුරකතන සාදය පැවැත්වෙන ස්ථානයට රැගෙන ඒම තහනම් කිරීමටද ප්‍රසන්න පියවර ගත්තේය.
ගෝඨා චමල් එක්ක එකට එයි!
කෙසේ වෙතත් මෙම සාදය පැවැත්වෙන දිනම ජනාධිපතිවරයාට තවත් සාදයක් සඳහාද ආරාධනා ලැබී තිබිණි. ඒ, හිටපු අගවිනිසුරුවරයකු වූ අශෝක ද සිල්වා මහතාගේ නීතිඥ වෘත්තියට වසර 50ක් සපිරීමේ උත්සවයය. එම උත්සවයට යෑමට අවශ්‍යව තිබූ නිසා රනිල් කල් තියාම වෝටර්ස් එජ් සාදයට පැමිණි ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් කිසියම් අවුලක් දැකගන්නට ලැබුණේ සාදයට ආරාධනා කර තිබූ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඊට සහභාගි නොවීම මුල් කරගෙනය. අප මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම තීරයේ රාජපක්ෂ පවුල ඇතුළේ ඇති මතගැටුම් පිළිබඳ වාර්තා කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ පසුගිය කාලසීමාවේ ඇතිවූ යම් යම් දේශපාලන ගැටුම් මුල් කරගෙන රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර කිසියම් බෙදීමක් හටගෙන ඇති බවකි. මේ නිසා ගෝඨාභය පැමිණි උත්සවවලට රාජපක්ෂ පවුලේ සියලු දෙනා එකවර කිසිදු අවස්ථාවක එක්ව සිටි ආකාරයක් දැකගන්නට නොලැබිණි. වෝටර්ස් එජ් සාදයේදීද සිදුවණේ ඊට සමාන සිදුවීමකි. සාදය සඳහා ගෝඨා පැමිණියේ චමල් සහ ශෂීන්ද්‍ර සමග එකම රථයේ නැගීය. ඒ වන විට රනිල්ද සිටියේ සාදයට සම්බන්ධවය. අපට ඇති තොරතුරුවලට අනුව මහින්ද සහ බැසිල්ද සිටියේ උත්සවයට සහභාගි වීම සඳහා සියල්ල සූදානම් කොටය. නමුත් ගෝඨාභය පැමිණි නිසාද, එසේත් නැත්නම් වෙන යම් හේතුවක් නිසාද යන්න කියන්නට නොදන්නා නමුත් අවසන් මොහොතේ මහින්ද සහ බැසිල් වෝටර්ස් එජ් උත්සවයට සහභාගිව සිටියේ නැත. එමෙන්ම ආරාධනා ලැබ සිටි නාමල්ද උත්සවයට සහභාගි නොවීම කැපීපෙනෙන සිදුවීමක් විය.
වීඅයිපී මේසයට සුසිල්ගෙන් බ්‍රැන්ඩි!
මේ කිසිවක් නොදත් ප්‍රසන්න රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ ජනාධිපතිවරයා වෙනුවෙන් එක මේසයක් වෙන් කිරීමට පියවර ගෙන තිබිණි. එම මේසය සඳහා මධුවිත සම්පාදනය කිරීමේ වගකීම භාරගෙන තිබුණේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තය. ඒ අනුව සුසිල් ඉහළම වර්ගයේ එක්ස්.ඕ. බ්‍රැන්ඩි බෝතලයක් රාජපක්ෂ පවුල සහ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන්කර තිබූ මේසය අසල ස්ටූලයක තබා තිබිණි. මෙම එක්ස්.ඕ. වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් සාමාන්‍යයෙන් ලංකා මුදලින් රුපියල් 50,000ද ඉක්මවා යන බව ආරංචිය. නමුත් එම මේසයේ ගෝඨා සහ රනිල් හැරුණු විට වෙන කිසිවකු නොවීම හේතුවෙන් අවසානයේදී මෙම අධික මිලකින් යුත් එක්ස්.ඕ. බ්‍රැන්ඩි බෝතලයේ රස බලන්නට අනෙකුත් මැති ඇමැතිවරුන්ටස අවස්ථාව හිමිවිය.
කවුරුත් ඇවිත් කතා කරලා නෑ!
මෙහිදී තවත් එක්තරා විශේෂ සිදුවීමක්ද දැකගන්නට ලැබිණි. ඒ, හිටපු ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභයට සාදයේදී ලැබුණු තැනය. වෙනදා නම් ගෝඨා ජනාධිපති පුටුවේ සිටියදී මෙවැනි සාදයකට පැමිණියහොත් සභාවේ සියලු දෙනාගේම ඇස් ඇත්තේ ගෝඨාභය වෙතය. සියලු දෙනාම ගෝඨා අසලට පැමිණ දෙකට තුනට නැමී තරගයට මෙන් පිළිගන්නේය. ඔහු සමග ඡායාරූපවලට පෙනී සිටීමට පොරකන්නේය. ‘අනේ සර් අනේ සර්’ කියමින් ඔහු වටේ කැරකෙන්නේය.
ගෝඨා මේසෙන් මේසෙට යයි!
නමුත් එදින මේ කිසිවක් දැකගන්නට ලැබුණේ නැත. කොටින්ම කියනවා නම් ගෝඨා අසුන්ගෙන සිටි ආසනය ළඟට හෝ බොහෝ මැති ඇමැතිවරුන් පැමිණියේ නැත. ඉඳහිට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු හෝ දෙදෙනෙක් ගෝඨා සමග ළඟට පැමිණ කතා කළද එයද විනාඩි කිහිපයකට පමණක් සීමා වීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව ගෝඨා බොහෝ විට සිටියේ සිය පෞද්ගලික ලේකම්වරයා වූ සුගීෂ්වර බණ්ඩාර සමග කතාබහ කරමිනි. සාදයට පැමිණ සිටි තරුණ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ගෝඨා මඟහැර සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේවෙතත් සාදය ආරම්භ වී මොහොතක් යද්දී මැති ඇමැතිවරුන් ගෝඨා අසලට නොපැමිණෙන ආකාරයක් සුගීෂ්වර බණ්ඩාරටද දැකගන්නට ලැබිණි. ඒ අනුව සුගීෂ්වර ගෝඨාට කියා සිටියේ මෙවැනි පසුබිමක් යටතේ මැති ඇමැතිවරුන් රැඳී සිටි මේස අසලට ගොස් ඔවුන් සියලු දෙනා සමග කතා කරන්නට කටයුතු කරන්නැයි කියාය. සුගීෂ්වරගෙන් ලද මෙම උපදෙස අනුව ගෝඨාද හරියට මගුල් ගෙදර සිටින මනාල යුවලක් මේසයෙන් මේසයට ගොස් පැමිණ සිටින පිරිස් සමග කතාකරන්නා සේ සියලු මැති ඇමැතිවරුන්ගේ මේස වෙත ගොස් ඔවුන් සමග කතාබහ කරන ආකාරයක් දැකගත හැකි විය. එසේ පැමිණෙන විට මැති ඇමැතිවරුන් නැගිට ආචාරශීලීව ගෝඨා සමග කතා කළා විනා එහිදීද විශාල ප්‍රතිචාරයක් ගෝඨාට හිමිවන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
දෙපාරක් ගියේ වැරදිලාද?
කෙසේ වෙතත් සාමාන්‍යයෙන් මේ ආකාරයට මංගල උත්සවයකදී වුවද මනාල යුවල මේසයෙන් මේසයට යන්නේ එක් වතාවක් පමණි. නමුත් මෙම සාදයේදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම වූයේ ගෝඨා දෙවතාවක් මෙසේ මේසයෙන් මේසයට ගොස් මන්ත්‍රීවරුන් සමග කතාබහ කිරීමය. එය ගෝඨා හිතාමතා කළාද, එසේත් නැත්නම් අමතක වීමකින් කළාද කියන්න දන්නේ නැත. නමුත් ගෝඨා සාදයෙන් පිටව යෑමට පෙර නැවත වතාවක් එසේ මේසයෙන් මේසයට ගොස් මන්ත්‍රීවරුන් සමග කතාබහ කිරීම පිළිබඳ මන්ත්‍රීවරුන් අතර කිසියම් කසුකුසුවක් මතුව තිබූ ආකාරයක් දැකගත හැකි විය.
කයි බොයි නටයි!
පසුගිය කාලසීමාවේදී පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් වැඩි සද්ද බද්දයකින් තොරව, කිසිදු උත්සවයකට සහභාගි නොවී සැඟවී සිටි ආකාරයක් දැකගන්නට ලැබුණු නමුත් කලකට පසුව සිතූ සේ කා බී ප්‍රීති වීමට අවස්ථාවක් ලැබී තිබීම නිසා මෙම සාදයේදී මැති ඇමැතිවරු හිතේ හැටියට කමින් බොමින් ප්‍රීති වන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඊටම හරියන්නට වාදක මණ්ඩලයක්ද සිටි බැවින් පළමුව ගීත ගායනය සඳහා පිවිසියේ මහින්දානන්දය. මහින්දානන්දගේ ගීත ගායනයට අනුව පළමුව නටන්නට පැමිණියේ ඇමැති ප්‍රසන්නත්, ඔහුගේ බිරියත්ය. එසේ කළත් සියලු දෙනාම සිටියේ එකක් ගැන හොඳ අවධානයෙනි. ඒ, කවුරුන් හෝ මෙම සාදයේ සිදුවීම්ද ඡායාරූපගත කරනු ඇතැයි සැකයෙනි. මන්ද යත් අරලියගහ මැදුරේ තිබූ සාදයට පැමිණ ඡායාරූප ගත් තැනැත්තාද මෙම සාදයට මන්ත්‍රීවරයකු සමග පැමිණ සිටීම ඊට හේතුව විය.
රනිල්ට තවත් පාටියක්!
මේ අතර තවත් විශේෂ සාද දෙකක්ම පසුගිය සතියේ පැවැත්විණි. ඉන් එක් සාදයක් පැවැත්වුණේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදීය. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙනි. අනෙක් සාදය පැවැත්වුණේ හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙනි. එය පැවැත්වුණේ කොළඹ හිල්ටන් හෝටලයේදීය. මෙම සාද දෙක පැවැත්වීමට පෙරාතුව තවත් නීති ක්ෂේත්‍රයේ රැරස්වීමක්ද සංවිධාන වෙමින් තිබිණි. ඒ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වාර්ෂික සම්මේලනයය. මෙම සම්මේලනය එම සංගමයේ විශාලතම උත්සවය වීම හේතුකොට ගෙන ඊට ආරාධනා කරන්නන් සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබිණි. ඇතැමුන් කියා තිබුණේ ඊට ජනාධිපතිවරයාට ආරාධනා කළ යුතු යැයි කියාය. නමුත් තවත් පිරිසක් කියා සිටියේ ජනාධිපතිවරයා ජනතාවගෙන් තේරී පත් වූ ජනාධිපතිවරයකු නොව, පාර්ලිමේන්තුවෙන් තේරී පත්වුණු ජනාධිපතිවරයකු වීම නිසා ඔහුට ආරාධනා කළ යුතු නැතැයි කියාය. ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට ප්‍රධාන ආරාධිතයා සම්බන්ධයෙන් නීතිඥ සංගමය තුළ කිසියම් විවාදාත්මක තත්ත්වයක් මතුව තිබිණි.
ටිකට් එකක් 8000ක්!
ජනාධිපතිවරයාගේ නීතිඥ දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් වූ උත්සවය ෂැංග්‍රිලා හෝටලයේ සංවිධාන වූයේ නීතිඥ සංගමය තුළ ප්‍රධාන ආරාධිතයා සම්බන්ධයෙන් මෙම විවාදාත්මක පසුබිම මතුව තිබියදීය. එම උත්සවයට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නීතිඥවරු 1000කට ආසන්න සංඛ්‍යාවකට ආරාධනා කර තිබීම විශේෂ සිදුවීමක් විය. ඒ කටයුතු සියල්ල භාරගෙන තිබුණේ එජාප සභාපති වජිර අබේවර්ධන මහතා විසිනි. එහි ටිකට්පතක් රුපියල් 8000කට මිල කර තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. උත්සවය සංවිධාන කර තිබුණේ එක මේසයක නීතිඥවරු 10 දෙනකුට අසුන්ගත හැකි ආකාරයටය. ඒ අනුව එක් මේසයක පුටු 10ක් තිබූ බැවින් එම මේසයේ වටිනාකම රුපියල් 80,000ක් විය. ඒ ආකාරයට එජාපයට සම්බන්ධ නීතිඥවරු 10 දෙනෙක් එවැනි මේස 10ක් එකවර වජිර ලවා වෙන්කරවා ගත් ආකාරයක්ද දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් බහුතරයක් නීතිඥවරුන් ඊට පැමිණ තිබුණේ කිසිදු ටිකට්පතක් නොගෙන නොමිලේම බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
සුපිරි ප්ලේට් එකක්!
බැලූ බැල්මටම ජනාධිපතිවරයාගේ නීතිඥ වෘත්තියට වසර 50ක් පිරීමේ උත්සවය සුපිරි සාදයක් ලෙස සංවිධාන කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම සීමාවකින් තොරව මත්පැන් ලබාදීමටද එහි පියවර ගෙන තිබිණි. එමෙන්ම වෙන්කර තිබූ සුපිරි පන්නයේ ආහාර පාන දුටු බොහෝ දෙනා තැන් තැන්වල කසුකුසු ගානු දක්නට ලැබුණේ මෙවැනි භෝජන සංග්‍රහයක් රුපියල් 8000කින් කෙසේවත් භුක්ති විඳිය නොහැකි යැයි කියාය. සෑම දේශපාලන පක්ෂයක්ම නියෝජනය වන ආකාරයට නීතිඥවරුන් වන මන්ත්‍රීවරුන්ද එහි පැමිණ සිටි ආකාරය දැකගත හැකි විය.
මහින්ද එයි හැබැයි අවුලෙන් යයි!
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීමක් වූයේ මහින්ද රාජපක්ෂ මහතාද නීතිඥවරයකු ලෙස ඊට එක්ව සිටීමය. නමුත් මහින්ද උත්සව අවස්ථාවේ වැඩි වේලාවක් රැඳී සිටියේ නැත. උත්සවය ආරම්භ කර මොහොතක් යන්නට මත්තෙන් මහින්ද නැගිට ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඊට හේතුව සොයා බැලීමේ දී අපට දැනගන්නට ලැබුණේ උත්සවයේ නිවේදන කටයුතු සිදුකළ නිවේදකයා විසින් උත්සවය ආරම්භ කරද්දී ජ්‍යෙෂ්ඨතම නීතිඥයකු මෙන්ම හිටපු ජනාධිපතිවරයකු, හිටපු අගමැතිවරයකු ලෙස කටයුතු කළ මහින්දගේ නම සඳහන් නොකිරීමය. එම සිද්ධියෙන් මහින්ද තරමක අවුලකින් සිටි බව එය දුටු බොහෝ දෙනාගේ අදහස වී තිබිණි. ඒ අනුව මහින්ද කළේ තවත් විනාඩි කිහිපයක් රැඳී සිට ෂැංග්‍රිලා හෝටලයෙන් පිටව යෑමය. කෙසේ වෙතත් උත්සවයේ බොහෝ වේලා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු තවත් විනිසුරුවරුන් කිහිප දෙනකු රැඳී සිටීම විශේෂ සිදුවීමක් විය.
හිටපු අගවිනිසුරුගේ පාටිය!
හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ නීතිඥ දිවියට වසර 50 පිරීමේ උත්සවය පැවැතියේ ඊට දින කිහිපයකට පසුවය. රනිල් හා අශෝක නීති විiාලයේ සමකාලීනයන් වූ අතර පසුව අශෝක රාජකීය විiාලයේ ගුරුවරයකු වශයෙන්ද කටයුතු කර තිබිණි. හිල්ටන් හෝටලයේ පැවැති මෙම උත්සවයට කිසිදු දේශපාලනඥයකුට ආරාධනා කර නොතිබූ අතර, අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන් රැසක් එහි පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි විය. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නීතිඥ ෆයිස් මුස්තාෆා මහතාද ආරාධිතයන් අතර විය.
එච්චර උඩට ගියේ කොහොමද?
ඉතා චාම්ව පැවැති මෙම උත්සවයේදී වරක් එක් ආරාධිතයකු අශෝකගෙන් විමසා සිටියේ රනිල් හා අශෝක සමකාලීනයන් වශයෙන් සිටියත් රනිල් අශෝකට වඩා මෙපමණ ඉහළට පැමිණියේ කෙසේදැයි කියාය. සාමාන්‍යයෙන් අශෝක නීති වෘත්තියේදී සැලකෙන්නේ නිතරම විහිළු තහළු කරන සිනහ මුසු මුහුණෙන් සිටින අයකු ලෙසය. ඒ අනුව ඊට අශෝක සිනාසෙමින් දුන්නේ අපූරු උත්තරයකි.
‘ඉතින් බලන්නකො එයාට කොච්චර කල් ගියාද එයාගේ ක්ෂේත්‍රයේ උඩටම එන්න? හැබැයි මට මගේ ක්ෂේත්‍රයේ උඩටම එන්න ගියේ පොඩි කාලයයි. එයා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා මම අගවිනිසුරු වුණා….’ යන්න එහිදී අශෝකගේ පිළිතුර විය.